ශ්‍රී ලංකා ජනාධිපති මිලිටරි කඩාපැනීම් උත්සන්න කරයි

Sri Lankan president steps up military crackdown

කේ. රත්නායක විසිනි, 2019 අප්‍රේල් 27

සර්ව පාක්ෂික සමුලුව 26දා පැවැත්වුනේ, ඉරිදා සිදුවූ ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරයන්ගෙන් පසුව දිවයින තුල වේගයෙන් ක්‍රියාවට නැගෙන රුදුරු පොලිස්-රාජ්‍ය පියවරයන්ට මුද්‍රාව තැබීමටය.

සියලු මිලිටරි මෙහෙයුම් සම්බන්ධීකරන “ආරක්ෂක මෙහෙයුම් මධ්‍යස්ථානයක් විවෘත කරන” බව සිරිසේන රැස්වීමට දැනුම් දුන්නේය.

ජනාධිපති මාධ්‍ය වාර්තාවකට අනුව, සර්ව පාක්ෂික සමුලුවට සහභාගී වූ සියලු පක්ෂ නායකයෝ, “ජනාධිපති විසින්, මෙම ත්‍රස්තවාදී තර්ජනය මුලිනුපුටා දැමීමටත්, ජාතික ආරක්ෂාව සුරැකීමට මෙන්ම සැකකරුවන් රඳවා තැබීම සඳහාත් ගෙන ඇති පියවරයන්ට (ඔවුන්ගේ) පූර්න සහයෝගය පල කලහ.”

කෙටි වාර්තාවට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුනට නායකත්වය දෙන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, මිලිටරි බුද්ධි අංශය සවිමත් කිරීම ද ඇතුලු යෝජනා 11ක් ඉදිරිපත් කලේය.

සමස්ත දේශපාලන සංස්ථාපිතයම 21දා සිදුවූ බිහිසුනු ඛේදවාචකය අල්ලාගෙන ඇත්තේ, ත්‍රස්තවාදයට එරෙහි සටන් කිරීමේ නාමයෙන්, පොලිස් රාජ්‍ය පියවර යොදාගෙන, මතුවෙමින් ඇති කම්කරු පන්තියේ අරගල මැඬීමටය.

රැස්වීමට සහභාගී වූ සියලු පක්ෂ, ක්‍රියාවට නැගෙමින් ඇති රුදුරු පියවරයන්ට වගකීම දරති. මීට ඇතුලත් වූ පක්ෂ අතර, සිරිසේනගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, අගමැති රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය, රාජපක්ෂගේ ශ්‍රී ලංකා පොදුජන පක්ෂය, දෙමල ජාතික සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුන මෙන්ම ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය හා සමස්ත ලංකා මුස්ලිම් කොන්ග්‍රසය වැනි මුස්ලිම් වර්ගවාදී පක්ෂය ද විය.

ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරයන්ගේ ඉලක්ක වී තිබුනේ, ප්‍රධාන කතෝලික පල්ලි තුනක් හා සුපිරි හෝටල් තුනකි. කිසිදු පැහැදිලි කිරීමකින් තොරවම බලධාරීහු 26දා වන විට පිරිමි, කාන්තා හා ලමා මරන සංඛ්‍යාව 361 සිට 253 දක්වා සැලකිය යුතු තරමින් පහත හෙලූහ.

අයි එස් හෙවත් ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය ප්‍රහාරයේ වගකීම බාරගෙන ඇති නමුත් විශ්ලේෂකයින් පෙන්වා දුන්නේ, කිසිදු සෘජු සාක්ෂියක් ඉදිරිපත්කර නැති බවයි. ජාතික තව්හීත් ජමායත් යන මෙරට ක්‍රියාත්මක අන්තවාදී ඉස්ලාමීය කන්ඩායමට ඝාතනය පිලිබඳව ආන්ඩුව චෝදනා කල නමුත් එයට ජාත්‍යන්තර සම්බන්ධකම් ද පැවති බව ප්‍රකාශ කලේය.

අප්‍රේල් 4දා විදෙස් ඔත්තු ආයතනයක්, සිදුවිය හැකි ප්‍රහාරයක් පිලිබඳව ආන්ඩුවට හා ආරක්ෂක සංවිධාන වලට අනතුරු ඇඟවීම් සහිත විස්තර සපයා තිබුනි. කෙසේ වෙතත් පොලිස් නිලධාරීන්ට අප්‍රේල් 11දා ද පසුව ප්‍රභූ ආරක්ෂක අංශයේ ඉහල පොලිස් නිලධාරීන් ස්වල්ප දෙනෙකුට ද අනතුරු ඇඟවීම් යවා තිබුනි.

අනතුරු ඇඟවීමේදී ඔවුන්, ජාතික තව්හීත් ජමායත් කන්ඩායම, ප්‍රධාන කතෝලික පල්ලි වලට පහරදීමට සූදානම්ව සිටින බව හඳුනාගෙන තිබුනි. එහෙත් ප්‍රහාර සිදුවීමට මත්තෙන් වැලැක්වීමේ කිසිදු පියවරක් නොගත්තේ මන් ද යන්න පිලිබඳව සැලකිය යුතු පැහැදිලි කිරීමක් කිසිවෙකුත් විසින් කර නොමැත.

ඒ වෙනුවට ආන්ඩුව වැරැද්ද පැටවිය හැකි අය සොයමින් සිටී. 26දා ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ඉල්ලා අස්විය. ජනාධිපතිට අනුව ඒ ඔහුගේ ඉල්ලීම පිටය. සිරිසේන පොලිස්පති පූජිත් ජයසුන්දරට ද ඉල්ලා අස්වන ලෙස පවසා ඇත.

සියලු පාර්ලිමේන්තු පක්ෂ 26දා, මිලිටරියට පුලුල් බලතල පවරමින් ජනාධිපති පැනවූ හදිසි නීති රෙගුලාසි වලට පිටුබලය දුන්නේය. මෙයට, පෙලපාලි හා රැස්වීම් තහනම් කිරීම, රටේ නීතියට බාධාවන හෝ ජනතාවගේ නොසතුටට හේතුවන ප්‍රකාශන සීමා කිරීම හෝ තහනම් කිරීම, ඇඳිරි නීතිය ප්‍රකාශ කිරීම, වාහන ද ඇතුලු දේපොල අත්අඩංගුවට ගැනීම හා අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම ඇතුලත්ය.

ආරක්ෂක ලේකම්ගේ නියෝගය පරිදි වරෙන්තුවක් නැතිව පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නඩු විභාගයකින් තොරව වසරක කාලයකට රඳවා තැබීමේ බලතල මිලිටරියට හා පොලිසියට දැන් හිමිව ඇත. අතීතයේදී කලාක් මෙන්, වධදීම ද ඇතුලු ක්‍රම උපයෝගී කරගෙන ලබාගත් පාපෝච්ඡාරන අධිකරනයේදී වලංගු සාක්ෂි ලෙස ඉදිරිපත් කල හැකිය.

අසාමාන්‍ය පියවරක් ගනිමින් සිරිසේන 26දා මාධ්‍ය හමුවකදී නිවේදනය කලේ, හමුදාව දිවයින පුරා මූලික පරීක්ෂන මෙහෙයුම් සිදුකරන බවය. “රටේ සෑම නිවසක්ම පරීක්ෂා කරනු ඇත. නන්නාඳුනන පුද්ගලයින්ට කිසි තැනක විසිය නොහැකි වන පරිදි සෑම නිවසකම ස්ථිර නිවැසියන්ගේ ලැයිස්තු සකස් කරනු ඇත.”

හමුදා ප්‍රකාශක බි්‍රගේඩියර් සුමිත් අතපත්තු පැවසුවේ, රට පුරා 10,000ක් දෙනා මෙහෙයුම් සඳහා යොදවා තිබෙන බවය. ගුවන් හමුදාව සෙබලු 1,000ක් ආරක්ෂක කටයුතු වල යොදවා තිබෙන අතර නාවික හමුදාව තම බලඇනි ක්‍රියාන්විත සේවයේ යොදවා ඇත. ඒ කුප්‍රකට විශේෂ කාර්ය බලකාය ද ඇතුලුව පොලිසිය යොදවා ඇති 70,000ට අමතරවය.

මෙය පැහැදිලි කරන්නේ ආන්ඩුව හා ආරක්ෂක හමුදා හුදෙක් කුඩා මුස්ලිම් අන්තවාදී කන්ඩායමක් නොව ඉලක්ක කර ඇත්තේ, සමස්ත ජනතාවම බවය. සිරිසේන මේ පියවර යුක්තිසහගත කලේ, “ඒල්ටීටීඊ ත්‍රස්තවාදයට එරෙහි සටන් කරන අවධියේ” එවැනිම විධික්‍රමයන් යොදාගෙන ඇති බව පවසමිනි.

බෙදුම්වාදී එල්ටීටීඊයට විරුද්ධ දශක තුනක වර්ගවාදී යුද්ධය, දෙමල ජනතාව මැඬීමට හා කම්කරු පන්තිය බෙදීම පිනිස යොදාගත් දෙමල විරෝධී වෙනස්කම් කිරීමේ කුලුගැන්වීම විය. “ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමේ” නාමයෙන් දැන් එම ලේවැකි හා ම්ලේච්ඡ යුද්ධයේ විධික්‍රම යලි පනගන්වනු ලබයි.

ආන්ඩුව මුස්ලිම් විරෝධී උන්මාදයක් අවුලුවනු ලබන්නේ, කම්කරු පන්ති අරගල යලි නැගෙමින් ඇති කොන්දේසි තුලය. “ත්‍රස්තවාදී ප්‍රහාරයන්ට වගකිවයුතු ඉස්ලාමීය මිලිටන්ට් කන්ඬායම්” තහනම් කරන්නේදැයි අසන ලද ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් ජනාධිපති පැවසුවේ, ඔවුන් තහනම් කරනු ලබන්නේ, හදිසි නීතිය යටතේ නම් එය ඉවත් කරන විට තහනම ද ඉවත් වනු ඇත යනුවෙනි.

සිරිසේන පැවසුවේ, සංවිධාන ස්ථිරවම තහනම් කිරීමට හැකිවන පරිදි නව නීති පනවන ලෙස තමා ඉල්ලා ඇති බවය. නිලධාරීන් විසින් ඒක පාක්ෂික පොලිස් රාජ්‍යයක් වන සිංගප්පූරුව වැනි රටවල නීති, තමන් ද අනුගමනය කල යුතු මොඩලයක් ලෙස අධ්‍යයනය කරමින් සිටින බව ද ඔහු තවදුරටත් පැවසීය.

ආන්ඩුව විදේශයන්හි තස්ත විරෝධී විශේෂඥයින්ගේ උපදෙස් ද ලබාගන්නා බව ද සිරිසේන පැවසීය. ඇමරිකාවේ එෆ්බීඅයි නිලධාරී කන්ඬායමක් ද ඉන්දු-පැසිෆික් මිලිටරි අනදෙන මධ්යස්ථානයේ අය ද ආරක්ෂක හමුදාවන්හි “උපදේශකයින්” ලෙස දැනටමත් මෙරටට පැමින සිටිති. වොෂින්ටනය පසුගිය සිව් වසර තුල කලාක් මෙන්ම, බීජිනයේ වියදමෙන්, කොලඹ සමඟ සිය මිලිටරි හා දේශපාලන සම්බන්ධතා ශක්තිමත් කර ගැනීම පිනිස මෙම ඛේදවාචකය ද ගසාකනු ලබයි.

21දා මුහුනුපොත හා යු ටියුබ් ද ඇතුලු සමාජ මාධ්‍ය මත දිවයින පුරා පනවා තිබෙන තහනම ආන්ඩුව විසින් ඉවත් නොකරනු ඇති බව ද සිරිසේන පැවසීය.

21දා මුහුනුපොත හා යු ටියුබ් ද ඇතුලු සමාජ මාධ්‍ය මත දිවයින පුරා පනවා තිබෙන තහනම ආන්ඩුව විසින් ඉවත් නොකරනු ඇති බව ද සිරිසේන පැවසීය. තහනම ඉවත් කිරීම ප්‍රමාද වන්නේ” “සමාජ මාධ්‍යයන්හි සාධනීය හැසිරීමක් නොමැතිකම නිසා” බව ඔහු පැවසුවේ නිශේධනීය හැසිරීමක් ප්‍රකාශයට පත්වන කිසිදු තොරතුරක් නොසපයමිනි.

කොලඹ පවතින ගැඹුරු දේශපාලන අර්බුදය හමුවේ සෑම කොටසක්ම දැඩි පොලිස්-රාජ්‍ය පියවර වෙනුවෙන් හඬ නගති.

පසුගිය ඔක්තෝබරයේදී සිරිසේන, වික්‍රමසිංහ අගමැති කමෙන් පහ කර ඒ වෙනුවට ඔහුගේ පරම සතුරා වන රාජපක්ෂ පත් කලේය. ඔහු පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථා විරෝධී යයි දුන් ශ්‍රේෂ්ඨාධිකරන තීන්දුවෙන් පසුව සිරිසේනට, ඇමරිකාවේ බලපෑම යටතේ වික්‍රමසිංහ අගමැති ලෙස යලි පත්කිරීමට බලකෙරුනි.

කෙසේ වෙතත්, දේශපාලන කාකොටා ගැනීම් දිගටම සිදුවන අතර සිරිසේන 26දා එජාප ප්‍රමුඛ ආන්ඩුවට චෝදනා නැඟුවේ, තමන් පල කල විරුද්ධත්වය නොතකා මිලිටරි බුද්ධි අංශය “දුබල” කල බවටය. තමන්ගේ පැත්තෙන් වික්‍රමසිංහ, බෝම්බ තර්ජන ගැන කැබිනට්ටුවට කල්තියා දැනුම් නොදුන් බවට ජනාධිපතිට දොස් පැවරීය.

මහින්ද රාජපක්ෂගේ සොයුරා හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ බලාපොරොත්තු සහගත ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ 26දා පැවසුවේ, තමන් “රැඩිකල් ඉස්ලාම්වාදය” මට්ටු කරන බවය.” මානව අයිතීන් හා පුද්ගල නිදහස” ගැන බොහෝ කථා කරමින් “ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වය නොදී එය සමඟ කලවම් කිරීම” ගැන ඔහු ආන්ඩුවට චෝදනා කලේය.

එල්ටීටීඊයට එරෙහි යුද්ධයේ අවසන් අදියරෙහිදී ආරක්ෂක ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂ, අවසන් මිලිටරි මෙහෙයුම් වලදී දස දහස් ගනන් සිවිල් වැසියන් මරාදැමීමට මෙන්ම, හමුදාව සමඟ එක්ව වැඩකල මිනීමරු කල්ලි විසින් සිය ගනන් දෙමල හා ආන්ඩුව විවේචනය කල අය පැහැරගෙන ගොස් “අතුරුදහන් කිරීමට ද” වගකිව යුතුය.

ඉහත ප්‍රකාශ, ත්‍රස්තවාදීන් නොව, කම්කරු පන්තියේ හා ගම්බද පීඩිත ජනතාවගේ නැඟී එන අරගල මත මෘග ලෙස කඩාපැනීමේ සූදානම තුල, යුද කාලයේ පොලිස්-රාජ්‍ය යාන්ත්‍රනය ශක්තිමත් කර වේගයෙන් කඩාපාත් කිරීම සඳහා කෙරෙන සූදානම පිලිබඳ තවත් සලකුනකි.

Share this article: