ලේඛක සත්කුමාර නිදහස් කරනු!

සසප හා සසජාතශි කැඳවුමක් , 2019 අප්‍රේල් 12

ශක්තික සත්කුමාර

බෞද්ධ අන්තවාදීන්ගේ උසිගැන්වීම පිට අප්‍රේල් 1දා පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද 33 හැවිරිදි තරුන ශ්‍රී ලාංකික ලේඛකයකු වන ශක්තික සත්කුමාර පොල්ගහවෙල මහේස්ත්‍රාත්වරියක විසින් අප්‍රේල් 23දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබ ඇත. මහේස්ත්‍රාත්වරිය මෙම රචකයාගේ බන්ධනාගාතර ගත කිරීම දිගු කලේ අප්‍රේල් 9දා ඔහු උසාවියට ඉදිරිපත් කරනු ලැබූ අවස්ථාවේ දී ය.

සත්කුමාර ඔහුගේ ෆේස්බුක් ගිනුමෙහි පලකල කෙටිකතාවකින් බුද්ධාගමට අපහාස කලේ යයි චෝදනා කල බෞද්ධ අන්තවාදී කන්ඩායම්වල පැමිනිලි මත පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබී ය.

ඔහු අත්අඩංගුවට ගැනීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් හා ප්‍රකාශනයේ නිදහස මත එල්ල කරන ප්‍රහාරයකි. රටෙහි පාලක ප්‍රභූවේ හා එහි අනුප්‍රාප්තික ආන්ඩුවල පූර්න පිටුබලය බුක්ති විඳින බෞද්ධ සංස්ථාපිතය, සමාජයේ සෑම අංශයක් මතම එහි ප්‍රතිගාමී ආධිපත්‍යය ස්ථාපිත කිරීමට සෑම විට ම උත්සාහ දරයි.

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානය සත්කුමාර අත්අඩංගුවට ගැනීම හෙලා දකිති. එය ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත එල්ල කරන පලල් ප්‍රහාරයක කොටසකි. ඔහු වහා ම නිදහස් කරන්නැයි බලකරන ලෙස අපි කම්කරුවන්, තරුනයන් හා ප්‍රගතිශීලී හිතැති බුද්ධිමතුන්ගෙන් අපි ඉල්ලමු.

සත්කුමාර ජාතික තරුන සේවා සභාවේ හොඳ ම කෙටිකතා රචකයාට හිමි සම්මානය 2010 දී හා 2014 දී දිනාගෙන ඇත. වයඹ සාහිත්‍ය සම්මානය ඔහුට තුන් වරක් හිමි වී තිබේ. සත්කුමාර කවි හා අනෙකුත් ලිපි ද ලියා ඇත. අත්අඩංගුවට ගන්නා විට ඔහු පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරියෙකු ලෙස සේවය කරමින් සිටියේ ය.

පොල්ගහවෙල ප්‍රදේශයේ බෞද්ධ සංවිධාන දෙකක්, ෆේස්බුක්හි පලකල ඔහුගේ අර්ධ නම්වූ නවතම කෙටිකතාවකින් බුද්ධාගමට පරිභව කෙරී ඇතැයි පොලීසියට පැමිනිලි කල හ. එම කතාව පන්සලක සිදුවන ලිංගික සම්බන්ධතාවක් පිලිබඳ වූවකි.

බත්තරමුල්ලේ පිහිටි බෞද්ධ තොරතුරු මධ්‍යස්ථානය, රචකයාට එරෙහි ව පියවර ගන්නා ලෙස ඉල්ලමින් පෙබරවාරි 25දා පොලිස්පති පුජිත ජයසුන්දරට ලිපියක් ලීවේ ය. එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතීන් පිලිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තියේ (අයිසීසීපීආර්) තුන්වන වගන්තිය හා බි්‍රතාන්‍ය විජිත පාලන කාලයේ සිට ශ්‍රී ලංකාවේ බල පැවැත්වෙන නීතියක් වන ශ්‍රී ලංකාවේ දන්ඩ නීති සංග්‍රහයේ 219බී වගන්තිය රචකයා විසින් උල්ලංඝනය කර ඇතැයි බෞද්ධ මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ වන අගුලුගල්ලේ සිරි ජිනානන්ද නමැති භික්ෂුවක් ලියූ එම ලිපියෙන් කියා සිටියේ ය.

සත්කුමාර අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය සැබවින්ම යොදාගෙන ඇත්තේ භික්ෂුව විසින් උපුටා දැක්වූ මෙම නීති දෙකයි. අයිසීසීපීආර්හි 3වන වගන්තිය මෙසේ කියයි: “කිසිදු පුද්ගලයෙක් යුද්ධය ප්‍රචාරනය කිරීම හෝ වෙනස්කම් කිරීම, වෛරය හෝ ප්‍රචන්ඩත්වයට පොලඹවන ජාතික, වාර්ගික හෝ ආගමික වෛරය පැතිරවීමට අනුබල නොදිය යුතු ය.”

දන්ඩ නීති සංග්‍රහයේ 219බී වගන්තිය යටතේ වන චෝදනාව වන්නේ “කිසිදු පන්තියක ආගමික හැඟීම්වලට හිතාමතා හා ද්වේෂ සහගත ලෙස පරිභව කිරීම යි.”

අයිසීසීපීආර්හි 3වන වගන්තිය යටතේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්විට ඇප නියම කල හැක්කේ ඉහල උසාවියට පමනක් වන අතර, එ ද සුවිශේෂී තත්ත්වයන් යටතේ ය. සත්කුමාරට එරෙහි ව මෙම නීතිය භාවිතා කිරීම මගින් පොලීසිය හා බෞද්ධ අන්තවාදීන් ඔහු ව ආන්තික දඬුවම් කිරීමකට යටත් කිරීමට සැලසුම් කර ඇත. මෙම නීතිය යටතේ වරදකාරී යයි නිගමනය කලහොත් පුද්ගලයෙකුට වසර 10කට නො වැඩි කාලයකට බරපතල වැඩ සහිත සිර දඬුවම් පැමිනවිය හැක.

මානව හිමිකම් රැකීම සඳහා වූ එක්සත් ජාතීන්ගේ මෙම සීමිත නීතිය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලද්දේ දශක ගනනකට පසුවය. 2007 දී ශ්‍රී ලංකාවේ ආන්ඩුව ප්‍රඥප්තියට අත්සන් තැබුවේ අකමැත්තෙනි. තව ද ශ්‍රී ලංකාවේ පනතට සම්පූර්න අයිසීසීපීආර් නීතිය ඇතුලත් කොට නැත. නීතියේ අභිප්‍රාය මානව හිමිකම් රැකීම වුවත් එය මෙහි දී බෞද්ධ අන්තවාදීන්ගේ උවමනාවට අවභාවිතා කර ඇත.

අප්‍රේල් 9දා සත්කුමාරගේ නඩුව විභාගයට ගත්විට බියවැද්දීමේ උද්ඝෝෂනයේ කොටසක් ලෙස බෞද්ධ භික්ෂූන් කිහිප දෙනෙක් උසාවිය අසල විරෝධතා පෙලපාලියක් පැවැත්වූ හ.

සත්කුමාර වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ට නීතිඥ එස්. ටී. ජයනාග, පොලීසිය උසාවියට සියලු කරුනු ඉදිරිපත් කර නැතැයි පෙන්වා දුන්නේ ය. මෙම සිද්ධියට සම්බන්ධ කෙටිකතාව පවා උසාවියට ඉදිරිපත් කර නැති බව ඔහු කීවේ ය. “සාමාන්‍ය සදාචාරාත්මක ප්‍රශ්නවලට” උසාවිය මැදිහත් නො විය යුතු බවට ඔහු තර්ක කලේ ය. නීතිඥවරයා තවදුරටත් සඳහන් කලේ, පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඔහුගේ පුද්ගලික නිදහස අහිමි කොට පොලීසිය විසින් අසාධාරන තොරතුරු දුන් විට “උසාවිය රබර් මුද්‍රාවක් බවට පත් නො විය යුතු” බවයි.

“විමර්ශන කටයුතු” සඳහා තවත් කාලය අවශ්‍ය බව පොලීසිය කියා සිටි විට මහේස්ත්‍රාත්වරයා සත්කුමාර අප්‍රේල් 23 දක්වා බන්ධනාගාරගත කලේ ය.

බුද්ධාගමට “පරිභව කරන්නේ ය” යන පදනම මත කලා කෘති මත එල්ල කරන ප්‍රහාරය සත්කුමාරට සීමා වූවක් නො වේ. පසුගිය අගෝස්තුවේ ආන්ඩුවේ බෞද්ධ කටයුතු අමාත්‍යාංශය ප්‍රමුඛ කලාකරුවකු වන මාලක දේවප්‍රියගේ “කනට පාරක්” ගුවන් විදුලි කතා මාලාව තහනම් කිරීමට නියෝග කලේ “බුද්ධාගමට අපහාස කරති” යි යන ව්‍යාජ පදනමක් මත ය. බෞද්ධ අන්තවාදී කන්ඩායම්වල පැමිනිල්ලකට පසුව දන්ඩ නීති සංග්‍රහයේ 291ඒ හා 291බී වගන්ති යටතේ පොලීසිය තමන්ට විරුද්ධ ව නඩුවක් පවරා ඇති බව දේවප්‍රිය ඬේලි මිරර් වෙත පසුගිය මාසයේ කීවේ ය.

කම්කරු පන්තිය හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අගයකරන සියලුදෙනා මෙම වර්ධනයන් බැරෑරුම් ව ගතයුතු ය. කම්කරු පන්තිය වාර්ගික හා ආගමික රේඛා ඔස්සේ බෙදා ඔවුන් ව මර්දනය කිරීමට අවශ්‍ය ආයුධයක් ලෙස ශ්‍රී ලංකාවේ පාලක ප්‍රභූව සිංහල ස්වෝත්තමවාදය හා බෞද්ධ අධිපතිවාදය නිරන්තරයෙන් පෝෂනය කරයි.

ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව වාර්ගික විස කැවූ එකකි. 1948 නාමික නිදහසෙන් යන්තම් ඉක්බිත්තේ දෙමල කතා කරන වතු කම්කරු පුරවැසි අයිතීන් අහෝසි කරමින් දෙමල-විරෝධී වෙනස්කම් කිරීම ඇරඹිනි. 1956 දී බහුතරයේ සිංහල භාෂාවට රාජ්‍ය භාෂාවේ තත්ත්වය ලබා දුනි. ඊට එකතු කරමින් 1972 දී බුද්ධාගමට ව්‍යවස්ථාවේ “ප්‍රමුඛස්ථානය” ප්‍රදානය කරන ලදී. දෙමල ජනයාට එරෙහි වෙනස්කම් කිරීම 1983 දී දශක තුනක් දිග්ගැස්සුනු යුද්ධයක් මට්ටමට නැංවූ අතර, එය 2009 මැයි මාසයේ දී ලේ වැකි අවසානයකට ගෙන ආවේ බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය පරාජය කරමින් හා සිවිල් වැසියන් දස දහස් ගනනක් ඝාතනයට ලක්කරමිනි.

මෙම වාර්ගික ප්‍රතිගාමීත්වය විසින් “බොදු බල සේනා”, “රාවනා බලය” හා “සිංහලේ” වැනි අන්තවාදී බෞද්ධ කන්ඩායම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුවේ ආශීර්වාදය සහිත ව දශකයකට පමන පෙර ඉස්මතු කර ගැනුනි.

මෙම සංවිධාන දෙමල, මුස්ලිම් වැසියන්ට හා අනෙකුත් ආගමික කන්ඩායම්වලට එරෙහිව ප්‍රකෝපකරනයේ යෙදෙමින් සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව යටතේ නිදහසේ කටයුතු කරති. බොහෝ අවස්ථාවල මෙම කන්ඩායම් වලට පොලීසියේ හා මිලිටරියේ කොටස් වල සහයෝගය ලැබෙයි.

ශ්‍රී ලංකාවේ පාලක පන්තිය ආර්ථික අර්බුදයකට මුහුන පා සිටී. වැඩෙන නයවල ගිලී සිටින අතර ආර්ථිකය පල්ලම් බසිමින් තිබේ. සියල්ලටත් වඩා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියම කර ඇති කප්පාදු පියවරයන්ට එරෙහි ව කම්කරුවන්ගේ සමාජ විරෝධය ඉස්මතු වෙමින් පවත්නේ පන්ති අරගලයේ ජාත්‍යන්තර පුනර්ජීවනයක කොටසක් වසයෙනි.

වර්ධනය වන සමාජ ආතතීන් මධ්‍යයේ පොලිස් රාජ්‍යයක රාමුව සැකසීමට ආන්ඩුව පලල් බලතල සහිත ප්‍රති-ත්‍රස්ත පනතක් සූදානම් කරමින් සිටී. ජනාධිපති සිරිසේන මත්ද්‍රව්‍යවලට එරෙහි යුද්ධයේ නාමයෙන් සන්නද්ධ හමුදා හා පොලීසිය බලමුලුගන්වා ඇත. කලාත්මක නිදහස ද ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත ප්‍රහාරය, පොලිස් රාජ්‍ය පාලනයක් කරා යමින් සිටින ආන්ඩුවේ හා සමස්ත පාලක ප්‍රභූවේ දක්ෂිනාංශික ගමනේ ප්‍රකාශනයකි. ලංකාව තුල ප්‍රකාශයට පත්ව ඇත්තේ ලෝක ධනවාදයේ අර්බුදය තුල ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තලා දමමින්ඒකාධිපති පාලන ක්‍රමයන් කරා සෑම රටකම පාලක පන්තීන්ගේ වේගයෙන් ගමන්කිරීමේ ප්‍රවනතාවයයි.

සත්කුමාර නිදහස් කරන ලෙස බලකිරීමට එක්වන ලෙස කම්කරුවන්ගෙන්, තරුනයන්ගෙන් හා ප්‍රගතිශීලි ප්‍රජාතන්ත්‍රවාදී බුද්ධිමතුන්ගෙන් ඉල්ලන සසප හා සසජාතශි, ඒ සමගම අවධාරනය කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැක ගැනීමේ අරගලය ධනවාදයට එරෙහිව සමාජවාදය සඳහා කරන සටන සමග බැඳී ඇතිබවයි.

Share this article: