ශ්‍රී ලංකාව තුල රුදුරු පොලිස්-රාජ්‍ය පියවරයන් බලාත්මක කෙරේ

Severe police-state measures come into force in Sri Lanka

පානි විජේසිරිවර්ධන සහ කේ. රත්නායක විසිනි, 2019 අප්‍රේල් 24

ඉරිදා ශ්‍රී ලංකාවේ සිදු වූ ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරවලින් ඉක්බිති ව, මිලිටරියට මෙන් ම පොලීසියට ද ගොරතර ප්‍රජාතන්ත්‍ර-විරෝධී බලතල ලබා දෙන ජාතික හදිසි තත්ත්වයක් ඊයේ බලාත්මක කෙරුනි.

ලොව පුරා අනෙකුත් ආන්ඩු මෙන් කොලඹ ආන්ඩුව ද ත්‍රස්තවාදයට එරෙහි ව සටන් වැදීමේ කඩතුරාව යටතේ, කම්කරු-පන්තික අරගලයන් හි පුනර්ජීවනය මැඩලීම සඳහා පොලිස්-රාජ්‍ය යාන්ත්‍රනය ශක්තිමත් කරමින් සිටී.

“කැලඹිලි, කැරලි හෝ සිවිල් කෝලාහල මර්දනය කිරීමට හෝ ප්‍රජාවගේ ජීවිතයට අත්‍යවශ්‍ය වන සැපයුම් හා සේවාවන් පවත්වාගෙන යාම” සඳහා අවශ්‍ය පියවර ගැනීමට හදිසි නීති රෙගුලාසිවලින් ආරක්ෂක හමුදාවන්ට අවසර ලබා දේ. අත්‍යවශ්‍ය සේවා වගන්තිය අතීතයේ දී යොදාගෙන ඇත්තේ වැඩ වර්ජන හා අනෙකුත් කාර්මික ක්‍රියා තහනම් කිරීමට ය.

හදිසි තත්ත්වය යටතේ “පුද්ගලයන් රඳවා ගැනීම; ඕනෑම දේපොලක් අයත් කරගැනීම හෝ පාලනය කිරීම හෝ පවරාගැනීම” වරෙන්තුවක් නොමැතිව ක්‍රියාකිරීම ඇතුලු පොලිස් බලතල මිලිටරියට ලබාදී ඇත. ඊනියා ත්‍රස්තවාදී සැකකරුවන් ව චෝදනා හෝ නඩු නොමැති ව දීර්ඝ කාලයක් රඳවාගැනීමට ද මෙම රෙගුලාසි මගින් අවසර ලැබේ.

දෙමල ජනයා ද සමස්තයක් ලෙස කම්කරු පන්තිය ද මර්දනය කිරීම පිනිස බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි ව දශක තුනක් තිස්සේ ගෙනගිය, වාර්ගික යුද්ධයේ දී පෘථුල ලෙස යොදා ගත් විෂඝෝර ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතෙහි (පීටීඒ) වගන්ති හදිසි තත්ත්වය විසින් යලි සක්‍රීය කෙරේ.

දහස් ගනන් මිනිසුන් හා ගැහැනුන් අත්තනෝමතික ලෙස රඳවා ගැනීමටත්, වධ බන්ධන පැමිනවීම් හරහා පාපෝච්චාරන ලබාගැනීමටත්, වරද ඔප්පු කිරීම සඳහා එම පාපෝච්චාරන යොදාගැනීමත් පීටීඒ භාවිතා කරන ලදී. හදිසි තත්ත්වයේ ආවරනය යටතේ තවත් දුර ගිය ආරක්ෂක හමුදා, “එල්ටීටීඊ සැකකරුවන්” පමනක් නො ව ආන්ඩුවේ විරුද්ධවාදීන් හා විවේචකයන් සිය ගනනක් අතුරුදන් කිරීමට හා නඩු නො අසා මරා දැමීමට ක්‍රියා කල හ.

දැන් ආන්ඩුව මෙම විෂඝෝර පියවරයන් පලල් කරමින් සිටී. බහුල ව භාවිතාකරන හා ජනප්‍රිය සන්නිවේදන මාධ්‍යයක් ලෙස භාවිතා කෙරෙන සමාජජාලයන් වන මුහුනුපොත හා යූටියුබ් ඇතුලු සමාජ මාධ්‍ය වාරනය කරමින් පෙර නුවූ විරූ තහනමක් පනවා ඇත. පසුගිය ඔක්තෝබරය වන විට, ශ්‍රී ලංකාව තුල ජංගම දුරකථන භාවිතා කරන්නන් මිලියන 23 ක්, අන්තර්ජාලය භාවිතා කරන්නන් මිලියන 6.4 ක් හා මුහුනුපොත් ගිනුම් හිමියන් මිලියන පහක් සිටිය හ.

සියල්ල අලලා යන මෙම පියවරයන් පිලිබිඹු කරන්නේ, අදහස් පතල කිරීමට පමනක් නො ව සාමූහික ක්‍රියාකාරීත්වය සංවිධානය කිරීමටත් පවතින බලගතු ආවුධයක් ලෙස, සමාජ මාධ්‍යවල විභවය කෙරෙහි ශ්‍රී ලංකාවේ හා ජාත්‍යන්තර ව පාලක කවයන් තුල පවතින ගැඹුරු භීතිය යි. වැඩ වර්ජන හා විරෝධතාවල නැගෙන රැල්ලක සන්දර්භය තුල, “ව්‍යාජ ප්‍රවෘත්ති” වාරනය කිරීමේ මුවාවෙන්, ආන්ඩුව පලල් පරිමාන වාරනයක් පටවමින් සිටී.

ඊයේ පාර්ලිමේන්තුව දී කතා කල අගමැති රනිල් වික්‍රමසිංහ, ලෝක නායකයන් ශ්‍රී ලංකාවට සහයෝගය ප්‍රකාශ කර ඇති බව සඳහන් කලේ ය. “ත්‍රස්තවාදය තුරන් කිරීම සඳහා ඔවුන්ගේ සහයෝගය ලබාගැනීමට අප මෙම අවස්ථාව යොදාගත යුතු” යි ඔහු මොනම පැහැදිලි කිරීමක්වත් නොමැතිව කීවේ, “මෙම ත්‍රස්තවාදී තත්ත්වයට මුහුන දීමට” ව්‍යුහාත්මක වෙනස්කම් අවශ්‍ය බවයි. අනිවාර්යයෙන් එහි අර්ථය වනු ඇත්තේ පොලිස්-රාජ්‍ය යන්ත්‍රය ශක්තිමත් කිරීම යි.

ඉරිදා සිදු වූ ම්ලේච්ඡ ප්‍රහාරයෙන් මැරුනු මිනිසුන්, ගැහැනුන් හා ලමුන් සංඛ්‍යාව 321ක් දක්වා ඉහල නැග ඇත; තුවාල ලත් සංඛ්‍යාව 500කට වැඩි අතර ඔවුන්ගෙන් බොහෝ දෙනා අසාධ්‍ය තත්ත්වයේ පසු වෙති. ඝාතනය වූවන් අතර ලමුන් 45 ක් සහ ඉන්දියානු කම්කරුවන් පිරිසක් මෙන් ම ඇමරිකානු, යුරෝපීය, චීන හා ජපාන සංචාරකයන් ඇතුලු විදේශිකයන් 48ක් සිටිති.

බෝම්බ ප්‍රහාර පිලිබඳ තොරතුරු අල්පයක් පමනක් නිකුත් කර තිබේ. රජයේ රස පරීක්ෂකට අනුව, දේවස්ථාන හා සුඛෝපභෝගී හෝටල් වෙත එල්ල කල ප්‍රහාරයන්ට මරාගෙන මැරෙන බෝම්බකරුවන් හත් දෙනෙක් සම්බන්ධ විය. 40 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්‍රකාශ කර ඇති අතර, ඔවුන්ගෙන් සමහරක් නැෂනල් තවුහීත් ජමාත් (ටීඑන්ජේ) නමැති ඉස්ලාමීය කන්ඩායමේ සාමාජිකයන් යයි සැක කෙරෙන්නන් ය.

බෝම්බ ප්‍රහාර එල්ල කලේ “ඉස්ලාමීය රාජ්‍ය සටන්කරුවන්” යයි ප්‍රකාශ කරමින් ඉරාකයේ හා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍යය (අයිඑස්අයිඑස්) සංවිධානය ඊයේ ප්‍රහාරවල වගකීම බාරගත්තේ ය. බොහෝ අදහස් දක්වන්නෝ මෙම ප්‍රකාශය පිලිබඳ ව සැක මතු කොට ඇත්තේ, තම කීර්තිය වැඩි කරගැනීම සඳහා අයිඑස්අයිඑස් සංවිධානය මීට කලින් තමන් සිදු නො කල ප්‍රහාරවල වගකීම භාරගෙන ඇති බව සඳහන් කරමිනි.

අයිඑස්අයිඑස් යම් ආකාරයකින් ප්‍රහාරයට සම්බන්ධ වුවත් නැතත් බරපතල ප්‍රශ්න එලෙස ම පවතී. එන්ටීජේ සංවිධානය ක්‍රිස්තියානි දේවස්ථානවලට බෝම්බ එල්ල කිරීමට සැලසුම් කරමින් සිටි බව ප්‍රහාරයට දින 10කට පෙර නිශ්චිත අනතුරු ඇඟවීමක් ලැබීමෙන් පසුව පියරවක් නො ගත්තේ මන්ද යන්නට ශ්‍රී ලංකාවේ ආන්ඩුව තවමත් විශ්වාස කලහැකි පැහැදිලි කිරීමක් ලබා දී නැත.

“මෙවැනි පරිමානයක” ප්‍රහාරයක් “මෙතරම් ඉක්මනින්” සිදුවෙතැයි ආන්ඩුව අපේක්ෂා නො කල බව ප්‍රකාශ කරමින්, අක්‍රීයත්වය සාධාරනීකරනය කිරීමට ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු උත්සාහ දැරුවේ තවදුරටත් මෙසේ කියමිනි: “පසුගිය ඉරිදා විශාල දේවස්ථාන ගනනක් ආරක්ෂා කිරීම පැහැදිලි ව ම කල හැක්කක් නො වී ය.”

මේවා නරුම මෙන්ම විකාර ප්‍රකාශයන්ය. ලෝකයේ විශාලතම ඒකජන ආරක්ෂක හමුදාවන්ගෙන් එකක් වන ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා ඊනියා එල්ටීටීඊ ත්‍රස්තවාදීන් මර්දනය කිරීමට ම්ලේච්ඡ යුද්ධයක් දියත් කර ඇත. එහෙත් එන්ටීජේ ගැන විමර්ශනය කිරීමට හා සියලු දේවස්ථාන පසෙක තැබුවත් කිසිදු දේවස්ථානයක් ආරක්ෂා කිරීමට ක්‍රියා කල බවක් නො පෙනේ. ආන්ඩුව “එවැනි පරිමානයක” ප්‍රහාරයක් අපේක්ෂා නො කලේ නම්, එය අපේක්ෂා කලේ කුමක් ද? යලිත් මතුවන්නේ කිසිදු පියවරක් නො ගත්තේ ඇයි? යන ප්‍රශ්නයයි.

සමස්ත දේශපාලන සංස්ථාපිතය හා ආරක්ෂක හමුදා සිංහල බෞද්ධ ස්වෝත්තමවාදයේ ගිලී සිටින අතර, පොලීසිය අතීතයේ දී කිතුනුවන් හා මුස්ලිම් ජාතිකයන්ට බෞද්ධ අන්තවාදී කන්ඩායම් ප්‍රහාර එල්ල කිරීමට ඉඩදී පොලිසිය අන්ධ ව අහක බලාගෙන සිටියේය.

ඛේදවාචකය දේශපාලන අවශ්‍යතා හා ආරක්ෂක හමුදා කඩා පැනීමක් සාධාරනීකරනය කිරීමට ගසා කෑ හැකි යයි ගනන් බලමින්, ශ්‍රී ලංකාවේ ආන්ඩුව හා රාජ්‍යය ඉරිදා එලඹෙන බෝම්බ ප්‍රහාර සිදුවීමට ඉඩදී අහක බලාගෙන සිටියේද?

බෝම්බ ප්‍රහාරවලින් ඉක්බිති ව, සියලු ප්‍රතිමල්ල දේශපාලන කන්ඩායම් මෙන් ම මිලිටරිය ද තමන්ගේ ම අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා ඛේදවාචකය ගසා කෑමට උත්සාහ දරමින් සිටිති.

යුද හමුදාපති මහේෂ් සේනානායක අඟහරුවාදා මෙසේ පැවසී ය: “මේ තත්ත්වය පාලනය කිරීමට අපට හැකි වීමට නම් හමුදාවට බලතල ලැබෙන පරිදි කෙටි කාලයකට හෝ හදිසි තත්ත්වය පැනවිය යුතු ය.” මිලිටරිය පාලනය කිරීමට උත්සාහ දරන්නේ කුමක් ද යන්න පැහැදිලි නැත.

එක්සත් ජනපදය ක්‍රියාවට දැමූ තන්ත්‍ර-මාරු මෙහෙයුමක් හරහා 2015 මැතිවරනයේ දී මෛත්‍රීපාල සිරිසේන, මහින්ද රාජපක්ෂ ඉවත් කල තැන් පටන්, කොලඹ සංස්ථාපිතය රුදුරු දේශපාලන ගැටුමක වෙලී සිටියි. දැන්, ගැඹුරු වන ආර්ථික අර්බුදයක් හා වැඩෙන පන්ති අරගල මධ්‍යයේ, තමන් ම අගමැති ධුරයට පත් කල වික්‍රමසිංහ සමග සිරිසේන යුද වැදී සිටී.

පොලීසියේ හා ආරක්ෂක අමාත්‍යාංශවල පාලනය දරන සිරිසේනට, බෝම්බ ප්‍රහාර වැලැක්වීමට ක්‍රියා නො කිරීම ගැන වික්‍රමසිංහ එකපැහැර දෝෂාරෝපනය කර ඇත. ඒ අතර ම, ආන්ඩුව පැහැදිලි ව ම මුස්ලිම්-විරෝධී ස්වෝත්තමවාදය අවුලුවාලීමට සුදානම්විම පෙන්නුම් කරමින් මුස්ලිම් කාන්තාවන් බුර්කාව පැලඳීම තහනම් කිරීම ගැන ඇමතිවරුන් විවෘත ව සාකච්ඡා කරන්නට පටන්ගෙන ඇත.

යුද්ධයේ දී සිදුකල ක්‍රියා හේතුවෙන් මිලිටරි නිලධාරීන්ට හා තම සහෝදරයා හා හිටපු ආරක්ෂක ලේකම් වන ගෝඨාභය රාජපක්ෂට හිරිහැර කර ඇතැයි කියමින්, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ත්‍රස්තවාදී ප්‍රහාර සඳහා වගකිව යුතු යයි පාර්ලිමේන්තුවේ දී ආන්ඩුවට චෝදනා කලේ ය. සත්‍යය නම්, සමස්ත කොලඹ සංස්ථාපිතය ම වගකිව යුතු යුද අපරාධ සම්බන්ධයෙන් ආන්ඩුව කිසිදු පියවරක් ගෙන නැති බව යි.

එක්සත් ජනපදය ද ලංකාව තුල තම උවනාකම් වැඩි දියුනු කරගැනීමටත් චීනයේ අනුහසට වලකැපීමටත් බෝම්බ ප්‍රහාර යොදාගැනීමට උත්සාහ දරයි. මහින්ද රාජපක්ෂ කෙරෙහි වොෂින්ටනය සතුරුවූයේ බීජිනය සමග ඔහුගේ සමීප සබඳතා නිසාය. වික්‍රමසිංහ යටතේ ශ්‍රී ලංකාව චීනයේ වියදමින් එක්සත් ජනපදය සමග රාජ්‍ය-තාන්ත්‍රික හා මිලිටරි බැඳීම් ශක්තිමත් කරගෙන තිබේ.

වික්‍රමසිංහට දුරකථනයෙන් කතා කර ඇති ජනාධිපති ට්‍රම්ප් හා රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ යන දෙදෙනා ම සහයෝගය පල කල හ. දැනට මත් එෆ්බීඅයි නිලධාරියෝ කොලඹට වැදී විමර්ශනවල නිරත වෙති.

හදිසි තත්ත්වය පැනවීමට කම්කරුවන් තරයේම විරුද්ධ විය යුතුය. ඔවුහු පාලක පන්තියේ සියලු කන්ඩායම්වල ප්‍රතිගාමී කුමන්ත්‍රන හා උපාමාරු ප්‍රතික්ෂේප කල යුතු ය. ඔවුහු සියල්ලෝ, ආඥාදායක පාලන රූප ස්ථාපනය කිරීමට හා කම්කරු පන්තිය බෙදීම සඳහා මුස්ලිම්-විරෝධී ස්වෝත්තමවාදය අවුලුවාලීමට ක්‍රියා කරමින් සිටිති. ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා අරගලය ඉදිරියට යා හැක්කේ, සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනයක පදනම මත වාර්ගික හා ආගමික රේඛා කපාගෙන කම්කරු පන්තිය කරන ඒකාබද්ධ අරගලයක් හරහා පමනි.

Share this article: