ඉල්ලීම් නොතකා හැරීමට එරෙහිව යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෝ පන්ති වර්ජනයක යෙදෙති

අපේ වාර්තාකරුවන් විසිනි, 2019 අගෝස්තු 25

යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෝ ඉල්ලීම් තුනක් මත අගෝස්තු 15 සහ 16 යන දෙදින පන්ති වර්ජනයක නිරත වූහ. වසරක කාලයක් තුල අත පසු කෙරී ඇති උපාධි ප්‍රදානෝත්සවය වහා පවත්වන ලෙස, පසුගිය මාස තුන තුල ප්‍රමාද කරමින් දිබෙන විභාග ප්‍රතිඵල නිකුත් කරන ලෙස සහ ස්ථිර උපකුලපතිවරයෙකු පත් කරන ලෙස ශිෂ්‍යයෝ ඉල්ලා සිටිති.

පංති වර්ජනය කැඳ වූ යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය අගෝස්තු 7 වන දින විශ්වවිද්‍යාල පරිපාලනයට ලිපියක් මගින් දැනුම් දුන්නේ සිසුන්ගේ ඉහත ඉල්ලීම් ඉටු නොකලහොත් පන්ති වර්ජනය කරන බවයි. ලිපියට විසඳුමක් නොලැබුනු බැවින් වර්ජනය කැඳවූබව ශිෂ්‍ය සංගමය පවසයි. මෙම පන්ති වර්ජනය වාර්තා කිරීම සඳහා වාර්තාකරුවන්ට විශ්ව විද්‍යාලයට ඇතුලුවීම පරිපාලනය විසින් තහනම් කර තිබුනි.

උපාධි ප්‍රදානෝත්සවය නොපැවැත් වූ නිසා නියමිත කාලය තුල විශ්ව විද්‍යාල අධ්‍යාපනය නිම කර රැකියාවක් සොයාගැනීමට නොහැකි වූ බවත්, දෙමාපියන්ගේ ආදායම මත දිගට ම යැපීමට බල කෙරී ඇති බවත් සිසුහු පැවසූහ. ඔවුහු අතෘප්තියෙන් හා නොසන්සුන්කමෙන් වෙලී සිටිති. විභාග ප්‍රතිපල නියමිත වේලාවට නොලැබුනහොත්, අවශ්‍ය සාධන මටිටම් සපුරා නොමැති විෂයයන් සඳහා නැවත පෙනී සිටීම සඳහා කාලය කලමනාකරනය කර ගැනීම ඉතා අපහසු බව සිසුහු පවසති.

යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයාව සිටි ආර්. විග්නේශ්වරන් එම තනතුරෙන් ඉවත් කිරීම මෙම ප්‍රමාදයන්ට බලපා ඇති ප්‍රධානතම හේතුව බව සිසුහු පවසති. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින්, මැයි 5 වන දින සිට බලපැවැත්වෙන පරිදි, විග්නේශ්වරන් නෙරපා හැරීමෙන් පසු විශ්ව විද්‍යාලය පාලනය වන්නේ “වැඩ බලන නිසි බලධාරියකු” යටතේ ය.

වර්ගවාදී යුද්ධයෙන් මියගියවුන් සැමරීම ඇතුලු දේශපාලනික වැඩ කටයුතු සඳහා විශ්ව විද්‍යාලය තුල ඉඩලබාදීම, විග්නේශ්වරන් නෙරපා හැරීමට ප්‍රධාන හේතුව බව මාධ්‍ය වාර්තාවන් මගින් ප්‍රකාශයට පත්විය.

උපකුලපතිවරයා ධුරයෙන් පහ කිරීම සිදු වුයේ, අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ආන්ඩුව මුදාහල රුදුරු මර්දනය මධ්‍යයේ ය.නැග එන පංති අරගල රැල්ල තලා දැමීමට අවශ්‍ය මර්දන පියවර ක්‍රියාත්මක කිරීම සඳහා නිමිත්තක් සොයමින් සිටි ආන්ඩුව, බෝම්බ ප්‍රහාරය වහා ඩැහැ ගත්තේ ය.

මැයි 3 දා යාපනයේ විශ්ව විද්‍යාලය සෝදිසි කල හමුදා සහ පොලීසිය ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ විශ්වවිද්‍යාල ශිෂ්‍යය සංගමයේ සභාපති සහ ලේකම් අත්අඩංගුවට ගත්තේ ය. එල්ටීටීඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ඡායාරූපයක් සහිත පෝස්ටර් ශිෂ්‍ය සංගම් කාර්යාලයේ තිබුනු බවට චෝදනා එල්ල කරමින් ඔවුන් රඳවා ගැනුනි. උපකුලපතිවරයා දඩයම් කරනු ලැබුවේ මෙම සිදුවීම්වලින් පසුව ය. සිසු විරෝධතා හේතුවෙන්, මැයි 16 වන දින, ශිෂ්‍ය නායකයන් දෙදෙනා ඇප මත නිදහස් කෙරුනි.

කෙසේ නමුත්, දකුනේ ක්‍රියාත්මක වන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබම) මෙන් ම, යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගමය ද, අධ්‍යාපන කප්පාදුවේ සහ රාජ්‍ය මර්දනයේ මූලය වනුයේ ලෝක ධනේශ්වර ක්‍රමයේ පෙරනොවූවිරූ අර්බුදය බව ප්‍රතික්ෂේප කරයි. එබැවින් ධනපති ආන්ඩුවට සහ ධනපති ක්‍රමයට එරෙහිදේශපාලනික අරගලයකට ඔවුහු පරම ලෙසම සතුරු වෙති. එමෙන්ම, එවන් අරගලයකට නායකත්වය දියහැකි එකම සමාජ බලවේගය වන වන කම්කරු පංතිය දෙසට ශිෂ්‍යයන් යොමුවීම වලකාලීම ඔවුනගේ දේශපාලනයේ මූලික අංග ලක්ෂනය වී ඇත. පංති වර්ජනය කැඳවුම් කල යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගමය, සිසුන්ගේ අධ්‍යයන කටයුතුවලට බාධාවක් ඇති වන්නේය යන තර්කය පෙරට දමා වර්ජනය නවතා ඇත්තේ ශිෂ්‍යයන්ට එල්ල කෙරී ඇති රාජ්‍ය මර්දනයට සහ තර්ජනයන්ට අනුගත වෙමිනි. මේ යටත්වීම ගලා එන්නේ ඔවුන්ට ආවේනික බංකොලොත් දේශපාලනයෙනි.

ශ්‍රී ලංකාවේ වාර්ගික යුද්ධය පැවති සමයේ හා පසු ව, යාපනය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රාලිකයින් හා ශිෂ්‍ය සංගමය, දෙමල ජාතිකවාදයේ හඬක් ලෙස ක්‍රියා කල අතර දෙමල ධනපති පංතියේ අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාකරන දෙමල ජාතික සන්ධානය ඇතුලු දෙමල ධනේශ්වර පක්ෂ සමඟ සමීපව කටයුතු කර ඇත. 2015 ජනාධිපතිවරනයේ දී වත්මන් සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව බලයට ගෙන ඒම සඳහා වොෂින්ටනයේ සැලසුම්ගත කුමන්ත්‍රනයට දෙමල ජාතික සන්ධානය සමග එක්ව යාපනයේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමය ද සහය දුන්නේ ය.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) කතා කල යාපනය විශ්ව විද්‍යාලයේ සිසුහු ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකලාපය විවේචනය කල අතර ඔවුන් මුහුන දෙන ගැටලු පැහැදිලි කලහ.

අවසන් විභාගයට පෙනී සිට උපාධිය පිරි නමන තෙක් බලා සිටින සිසුවියක වන රේනුකා මෙසේ පැවසුවාය: “මම විශ්ව විද්‍යාලයෙ අධ්‍යාපනය අවසන් කරලා වසරක් ගත වී ඇති නමුත් උපාධිය පිරිනැමුවේ නැහැ. ඔවුන් මේ වගේ කාලය දිග්ගසමින් අපේ ජීවිත සමඟ සෙල්ලම් කරනවා. උපකුලපතිවරයා ප්‍රජාතන්ත්‍ර විරෝධී ව හේතුවක් නැතුව ඉවත් කිරීම මගින් මෙහි ප්‍රශ්න උග්‍ර වෙලා තිබෙනවා. මෙම ගැටලු විසඳීම සඳහා, දේශපාලන පක්ෂ මැතිවරනවලදී පොරොන්දු දෙන විදියටමයි ශිෂ්‍ය සංගමයත් වැඩ කරන්නේ. පසුගිය කාලයේ ශිෂ්‍ය සංගමයේ හිටපු අය කලේ මොකක්ද දැන් ඉන්න අයත් කරන්නේ ඒකමයි. අපගේ අනාගතය ගැන බයක් අපිට තියෙනවා.” යයි ඇය පැහැදිලි කලා ය.

කලා අංශයේ තෙවන වසරේ ඉගෙනුම ලබන විජයන් මධ්‍යම කඳුකර ප්‍රදේශයේ සිට යාපනයේ විශ්ව විද්‍යාලයට තේරුනු කෙනකි. ඔහුගේ දුගීභාවය හේතුවෙන් වෙලඳසැලක අර්ධකාලීන ව වැඩ කරයි. “ඇති කරලා තිබෙන තත්ත්වය නිසා අපගේ අධ්‍යාපන කාලය දික්වෙන්නයි යන්නේ. අපි විවිධ පැතිවලින් දුෂ්කරතාවලට මුහුන දෙනවා. නවාතැන් පහසුකම් ප්‍රමානවත් නොවන බැවින් විශ්ව විද්‍යාල නේවාසිකාගාරවල රැඳී සිටිය හැක්කේ පලමු වසරේ සහ අවසාන වසරේ සිසුන්ට විතරයි. අනෙක් අය සිටින්නේ කුලියට ගත් කාමරවල. කුලිය මසකට රුපියල් 1500 සිට 2000 දක්වා ගෙවන්න ඕන. මෙහි විභාග කාලයට, ප්‍රමානවත් ගොඩනැගිලි පහසුකම් නැති නිසා විභාගවලට දින 20-30 ක් ගත වෙනවා. මේ වන විට නව ගොඩනැගිලි ඉදිවෙමින් පැවතුනත් ඒවා ද ප්‍රමානවත් නෑ” යයි ඔහු කීවේ ය.වතු කම්කරු පවුල් වලින් විශ්ව විද්‍යාලයට ඇතුලුවන සිසුන් පහත් කොට සැලකීම ගැන විජයන් කනස්සල්ල පල කලේ ය. “විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමය තුල ප්‍රදේශවාදය තියෙනවා. කඳුකරය කිව්වාම ඔවුන් අප දිහා බල්ලනේ වපර ඇහැකින්.”

ලලිත කලා අංශයෙන් තෙවන වසරේ ඉගෙනුම ලබන සීලන්, නැගෙනහිර පලාතේ අයෙකි. “මට. සහෝදරියන් දෙදෙනෙක් සහ සහෝදරයෙක් ඉන්නවා. 1990 ගනන්වල දී හමුදාව මගේ තාත්තාට විදුලි සැර වද්දා වධ දුන්නු නිසා ඔහු ලෙඩ වෙලා ඉන්නවා. මගේ මස්සිනා 90 දශකයේ දී හමුදාවෙන් මැරුවා. අපව හදාවඩා ගත් මාමාවත් 2000 දී හමුදාව මරල දැම්ම ම, අපි අනාත උනා. මේ වගේ පීඩාකාරී තත්වයන් යටතේ ඉගෙන ගෙන විශ්ව විද්‍යාලයට ආවමත් අපි ඒ වගේ ම පීඩාකාරී තත්වයන්ට මුහුන දීලා ඉන්නවා.” “මම සවස 6 සිට රාත්‍රි 11 දක්වා අවන්හලක අර්ධකාලීන ව වැඩ කරනවා. දිනකට රුපියල් 350 ක් ගෙවනවා.”

ඔහු දේශපාලන පක්ෂ ගැන දැඩි කෝපයෙන් කතා කලේ ය. “සියලු දෙමල දේශපාලන පක්ෂ වංචාකරුවන් සහ දෙමල ජනතාවගේ ලේ බොන අය. දෙමල ජනතාවට ඔවුන් විශ්වාස කරන්න බෑ. ශිෂ්‍ය සංගමය තුල සමහර දේශපාලන පක්ෂවල බලපෑම තියෙනවා. දෙමල දේශපාලන පක්ෂ මෙම ආන්ඩුව යහපාලනය ලෙස හැඳින් වූවා. එහෙත් මේ ආන්ඩුව ජාතිවාදය අවුස්සනවා. ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ග ගනිමින් ඒකාධිපතියෙකු බවට පත්වෙමින් ඉන්නවා. සමස්තයක් වශයෙන් ගත්ත ම මේක ඒකාධිපති පාලනයක්.”

Share this article: