කම්කරුවන් බුරුතු පිටින් දොට්ට දමන අතරතුර ජෙනරල් මෝටර්ස්, ෆෝඩ් සහ ක්‍රයිස්ලර් ප්‍රධාන විධායක නිලධාරීන්ට (ඩොලර්) මිලියන ගනන්

Mass layoffs for workers; millions for GM, Ford and Chrysler CEOs

2019 අගෝස්තු 19

ලබන මාසයේදී, ෆෝඩ්, ජීඑම් සහ ක්‍රයිස්ලර් සමාගම්වල එක්සත් ජනපද මෝටර් රථ කම්කරුවන් 155,000ගේ සේවා කොන්ත්‍රාත්තුව කල් ඉකුත්වීමත් සමඟ, “සමාගමේ යහපත” සඳහා කම්කරුවන් තමන්ගේ ම ජීවනෝපායන් කැප කල යුතු බව මෝටර් රථ සමාගම් විධායකයින් නැවත වරක් ඉල්ලා සිටිනු ඇත.

දැඩි ආර්ථික කාල ආසන්නයේ ඇති බව සමාගම් පවසනු ඇත. මෝටර් රථ නිෂ්පාදකයින් මුදල් හිගයෙන් පෙලෙන අතර, ගෝලීය තරඟකාරිත්වය දැඩි කරමින් තිබෙන්නා වූ, කැලඹිලි සහිත ලෝක ආර්ථිකයකට හා රියදුරුන් රහිත මෝටර් රථ සහ විදුලි වාහන නිසා ඇති වන කඩාකප්පල් වීමට මුහන දීමට තීරනාත්මක ලෙස මුදල් අවශ්‍ය වී ඇත.

මේ වසරේදී ජෙනරල් මෝටර්ස් මේ වන විටත් දොට්ට දමා ඇති ආකාරයෙන්, දොට්ට දැමීම් දැකීමට කම්කරුවන්ට අවශ්‍ය නො වන්නේ නම්, ඔවුන්ට වඩා දීර්ග, හා වඩා වෙහෙස මහන්සි වී අඩු වැටුප් සඳහා වැඩ කල යුතු වනු ඇත. මෝටර් රථ සමාගම්වලින් තුටුපඬුරු ලබා ගන්නා, එක්සත් මෝටර් රථ කම්කරුවන්ගේ වෘත්තීය සමිතියේ(යූඒඩබ්ලිව්) විධායකයින්, සමාගම්වල ඉල්ලීම් පිලිගැනීම හැර කම්කරුවන්ට වෙනත් විකල්පයක් නොමැති බව පවසනු ඇත.

එහෙත් සත්‍ය වන්නේ වැටුප් කප්පාදුවලින් කම්කරුවන්ගෙන් ලබා ගන්නා සෑම ඩොලරයක් ම කොටස් මිල දී ගැනීම්, මූල්‍ය සමපේක්ෂනය හා සංගත විධායකයින් සහ ඔවුන් නියෝජනය කරන ප්‍රකෝටිපති ධනපතියන්ගේ යාත්‍රා හා මන්දිර සඳහා ගෙවීමට වැය වන බව යි.

ආර්ථික ප්‍රතිපත්ති ආයතනය විසින් විධායක වැටුප් පිලිබඳ නව වාර්තාවකින් මෙය පැහැදිලි කර ඇති අතර, පසුගිය දශක හතර තුල ඉහල ම සමාගම් 350 හි ප්‍රධාන විධායක නිලධාරීන්ගේ වැටුප් සියයට 1000 කින් වර්ධනය වී ඇති අතර කම්කරුවන්ගේ වැටුප් එකතැන පල් වූ බව එය පෙන්වා දුන්නේ ය.

සාමාන්‍ය ප්‍රධාන විධායක නිලධාරියෙකුට ඩොලර් මිලියන 17.2 ක වැටුපක් ලැබී ඇති බව වාර්තාවේ දැක්වේ. එයින් අදහස් වන්නේ ඔහු හෝ ඇය සාමාන්‍ය සේවකයෙකු වසරක් තුල උපයන දේ එක් දිනක දී උපයා ගන්නා බව යි.

ජෙනරල් මෝටර්ස් ප්‍රධාන විධායක නිලධාරිනී මේරි බාරා ඇමරිකානු සමාජය පුරා පැතිරී ඇති සමාජ අසමානතාවය නිරූපනය කරයි. පසුගිය වසරේ දී බාරා ඩොලර් මිලියන 21.87 ක විධායක වැටුපක් ලැබුවා ය, එය සාමාන්‍ය ජෙනරල් මෝටර්ස් සේවකයකුගේ වැටුප මෙන් 281 ගුනයක් ද, ප්‍රවේශ මට්ටමේ සේවකයෙකුගේ වැටුප මෙන් 600 ගුනයක් ද විය.

එක්සත් ජනපදය හා කැනඩාවේ කර්මාන්තශාලා පහක් වසා දමන බව බාරා නොවැම්බර් මාසයේදී නිවේදනය කලේ, මෙට්‍රෝ ඩෙට්‍රොයිට් ප්‍රදේශයේ ඩෙට්‍රොයිට් හැම්ට්‍රම්ක් සහ වොරන් සම්ප්‍රේෂන ඔටෝ කම්හල් වසා දැමීම ඇතුළුව දොට්ට දැමීම් 6,000 කට අධික සංඛ්‍යාවකට මග පාදමිනි.

මෙය පසු පස ආවේ, රැකියා 8,000 ක් අහිමි වීමට මග පාදමින්, සුදු කරපටි සේවකයින් අතර දැවැන්ත “කාර්ය මන්ඩල අඩුකිරීමකි.”

පසුගිය වසරේ සමාගමේ ලාභය ඩොලර් බිලියන 10.8 ක් වූ අතර එය අළුතින් බදවා ගැනුනු සේවකයින් 300,000 කගේ වාර්ෂික වැටුප් ගෙවීමට ප්‍රමානවත් වේ. එහෙත්, ඒ වෙනුවට, සමාගම විශාල දොට්ට දැමීම් සිදු කිරීමත් සමග, කම්කරුවන්ගේ දහඩිය මහන්සියෙන් ඉපයූ මුදල් ගියේ විධායකයින්ට සහ කොටස් හිමියන්ට ය.

ෆෝඩ් හි ප්‍රධාන විධායක නිලධාරී ජිම් හැකට්ට පසුගිය වසරේදී ඩොලර් මිලියන 17.8 ක වන්දි මුදලක් ලැබී ඇති අතර, ෆියට් ක්‍රයිස්ලර් මටෝමොබයිල් ප්‍රධාන විධායක නිලධාරී මයික් මෑන්ලි ඉදිරි වර්ෂයේදී ඩොලර් මිලියන 14 ක් තරම් මුදලක් උපයා ගැනීමට අපේක්ෂා කරයි. මෝටර් රථ අමතර කොටස් නිෂ්පාදක ලෙයර් හි ප්‍රධාන විධායක නිලධාරි මැතිව් සිමොන්සිනිට ඩොලර් මිලියන 32.4 කට අධික මුදලක් ගෙවා ඇති අතර එය පසුගිය වසරට වඩා සියයට 14 කින් ඉහල ගොස් තිබේ.

ටෙස්ලා මෝටර් රථ සමායතනයේ ප්‍රධාන විධායක නිලධාරි එලොන් මස්ක්ට පසුගිය වසරේදී ඩොලර් බිලියන 2.2 ක දැවැන්ත මුදලක් ගෙවන ලද්දේ, ටෙස්ලා පාලක මන්ඩලය පවසන පරිදි, “මස්ක් මහතා දිගු කාලීන ව ටෙස්ලාවට නායකත්වය දීමට පෙලඹවීම සඳහා ය.”

පසුගිය වසරේ දී ටෙස්ලා සමායතනයේ, සිය ශ්‍රම බලකාය සියයට 9ක් කප්පාදු කරන බව නිවේදනය කල අතර, ඉදිරියට යන රැකියා සංහාරයේ කොටසක් ලෙස, මේ වසරේ තවත් සියයට 7 කින් අඩු කරන බව නිවේදනය කලේ ය.

විශාල දොට්ට දැමීම් අධීක්ෂණය කිරීම සඳහා ආර්ථිකය පුරා ප්‍රධාන විධායකයින්ට (ඩොලර්) මිලියන ගනන් ගෙවනු ලැබේ. පසුගිය වසරේදී ඩොලර් මිලියන 11 කට අධික මුදලක් ගෙවා ඇති එක්සත් ජනපද වානේ ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් බී. බුරිට්, මිචිගන්හි එකෝර්ස් හි එක්සත් ජනපද වානේ සමාගමේ පිපිරුම් උඳුන නිෂ්ක්‍රීය කිරීමත් සමග සිය ගනනක් දොට්ට දැමීම ප්‍රකාශයට පත් කර තිබේ.

සමස්තයක් වශයෙන්, එක්සත් ජනපදයේ විශාලතම සමාගම් 350 හි ප්‍රධාන විධායක නිලධාරීන්ට සාමාන්‍ය සේවකයෙකුට වඩා 278 ගුනයකට වැඩි මුදලක් ලැබී ඇති බව ඊපීඅයි වාර්තාවේ දැක්වේ. සංසන්දනාත්මකව බලන කල, සාමාන්‍ය ප්‍රධාන විධායක නිලධාරියෙකුට 1965 දී සාමාන්‍ය සේවකයෙකුට වඩා 20 ගුනයක් වැඩියෙන් ගෙවන ලදී

1978 සිට 2018 දක්වා කාලය තුල ප්‍රධාන විධායක නිලධාරියෙකුගේ වැටුප සියයට 1000 කට හෝ දශ ගුනයකට වඩා වැඩි විය. එම කාලය තුල කම්කරුවන්ගේ වැටුප් වැඩිවූයේ යන්තම් සියයට 11.9 කිනි. ෆෙඩරල් මහබැංකුව අච්චු ගසන මුදල්වලින් අවුළුවන ලද කොටස් වෙලඳපොල පිම්බීම ම මධ්‍යයේ, 2008 මූල්‍ය කඩාවැටීමෙන් පසු ආර්ථික “ප්‍රකෘතියේ දී” ප්‍රධාන විධායක නිලධාරී වැටුප සියයට 50 කින් වර්ධනය වී තිබේ. එම කාලය තුල කම්කරුවන්ගේ වැටුප් වර්ධනය වූයේ සියයට පහකින් පමනී. ඊපීඅයි වාර්තාව අනුව, 2017 සහ 2018 අතර වැටුප් සැබවින් ම පහත වැටුනි.

වැටුප් අඩු කිරීම, කම්කරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂන ප්‍රතිලාභ විනාශ කිරීම සහ සේවා කොන්දේසි වඩාත් නරක අතට හැරවීමට ධනපති පංතියට හැකි වීමත් සමග, සමාජ අසමානතාවය දශක ගනනාවක් තිස්සේ ඉහල යමින් පවතී.

මෙය ගෝලීය සංසිද්ධියකි. මේ වසරේ එක් උදාහරනයක් සඳහන් දක්වන්නේ නම්, ප්‍රංශ විලාසිතා ප්‍රකෝටිපතියෙකු වන බර්නාඩ් ආර්නෝල්ට් ඩොලර් බිලියන 100 කට අධික ශුද්ධ වත්කමක් ඇති තුන්වන පුද්ගලයා බවට පත්වූයේ පසුගිය වසර තුල පමනක් ඩොලර් බිලියන 25 ක් උපයා ගනිමිනි. අර්නෝල්ට්ගේ ධනය දැන් වසරක් තුල මුළු රටේ ආර්ථික නිමැවුමෙන් සියයට 3 කට සමාන වේ.

1960 සහ 1970 ගනන්වල ඇමරිකානු ධනවාදයේ ආර්ථික ආධිපත්‍යය ඛාදනය වීම සම්බන්ධයෙන් ඇමරිකානු පාලක පන්තියේ ප්‍රතිචාරය වූයේ පන්ති යුද්ධය, කාර්මිකහරනය හා මූල්‍යකරන ප්‍රතිපත්තියක් දියත් කිරීමයි. ක්‍රයිස්ලර් ප්‍රධාන විධායක නිලධාරී ලී ඉකෝකා විසින් නිරූපනය කරන ලද “කීර්තිමත් ප්‍රධාන විධායක නිලධාරියාගේ” කාර්යභාරය වූයේ මෙම ප්‍රහාරය මෙහෙයවීම සහ සංස්ථා පාලක මන්ඩල තුල වෝල් වීදියේ නියෝජිතයන් ලෙස සේවය කිරීමයි. ඒ සඳහා ඔවුන්ට ඉතා හොඳින් ගෙවූ අතර ගෙවනු ලැබේ.

කම්කරුවන්ට එරෙහි අරගලයේ දී වෘත්තීය සමිති ධනපතියන්ගේ හවුල්කරුවන් වී ඇත. සමාගම් වඩාත් “තරඟකාරී” බවට පත් කිරීම සහ “ඇමරිකානු රැකියා” ආරක්ෂා කිරීමේ නාමයෙන් යූඒඩබ්ලිව් සහ අනෙකුත් වෘත්තීය සමිති ගනන් කල නොහැකි තරම් කර්මාන්තශාලා වැසීම්, විශාල දොට්ට දැමීම් සහ ප්‍රතිලාභ කප්පාදු කිරීම් අනුමත කලහ. ඔවුහු බොහෝ කලකට පෙර තෙමේ ම සමාගම් හා ආන්ඩුවේ නියෝජිතයන් බවට පරිවර්තනය වූහ.

වෘත්තීය සමිති කුමක් බවට පත්ව ඇති දැ යි යන්න පිලිබඳ විශාලතම හෙලිදරව්ව වන්නේ යූඒඩබ්ලිව් වෘත්තීය සමිතිය ම යි. කම්කරුවන්ගේ විරෝධය නො තකා සංගතවලට හිතකර කොන්ත්‍රාත්තු සම්මත කර ගැනීම සහතික කිරීම සඳහා මෝටර් රථ සමාගම්වලින් ඩොලර් මිලියන ගනනක අල්ලස් ලබා ගත් බවට එහි නායකයින්ට චෝදනා එල්ල වී තිබේ.

ඔවුන්ගේ උපක්‍රමික වෙනස්කම් කුමක් වුවත්, ඩිමොක්‍රටිකයෝ මෙන් ම රිපබ්ලිකානුවෝ ද සමාජ අසමානතාවය වැඩි කරන සහ එයට වග කිව යුතු ධනේශ්වර පද්ධතිය ආරක්ෂා කරන ප්‍රතිපත්තිවලට එක සමානව කැපවී සිටිති. ට්‍රම්ප් පරිපාලනය සියල්ලට ම වඩා කොටස් වෙලඳපොලවල අඛන්ඩ නැගීම සඳහා කැපවී ඇති හෙයින්, කම්කරු පන්තියේ සමාජ විරෝධය පුපුරා යාම සම්බන්ධයෙන් අන් සියල්ලටම වඩා ඩිමොක්‍රටිකයෝ භීතියට පත්ව සිටිති.

පෙර නොවූ විරූ සමාජ අසමානතාවයක් ඇති කර ඇති එම කොන්දේසිම හොංකොං සහ පෝටෝ රිකෝවේ සිට ප්‍රංශය සහ අප්‍රිකාව දක්වා ලොව පුරා මහජන විරෝධතා සහ වැඩ වර්ජන ඇති කරමින් තිබේ. පෝටෝ රිකෝ හි දින ගනනාවක විරෝධතා වෝල් වීදියේ දූෂිත රූකඩයෙකු වන ආන්ඩුකාරවරයාට ධුරයෙන් ඉල්ලා අස්වීමට බල කලේ ය.

ජනවාරියේදී, මෝටර් රථ සේවකයින් ඩෙට්‍රොයිට් හි විශාල දොට්ට දැමීම්වලට එරෙහිව සටන් කරමින් සිටියදී, කම්කරුවන් දස දහස් ගනනක් මෙක්සිකෝවේ වාහන අමතර කොටස් කම්හල්වල වැඩ වර්ජනයක නිරත වූ අතර, පංති-සවිඥානක මෙක්සිකානු කම්කරුවෝ ඇමරිකානු මෝටර් රථ කම්කරුවන්ට සුබ පැතුම් යවමින් ඔවුන්ගේ සටනට එක්වන ලෙස ඉල්ලා සිටියහ.

ඇමරිකානු මෝටර් රථ කම්කරුවන් වෙනුවෙන් තීරනාත්මක සටනක් එලඹෙමින් තිබියදී, කම්කරුවන් සටන් කරන්නේ තමන් සහ තමන්ගේ ම පවුල් සඳහා පමනක් නොව, එක්සත් ජනපදය තුල, උතුරු ඇමරිකාවේ, හා ලොව පුරා කම්කරුවන් වෙනුවෙන් බව ඔවුන් තේරුම් ගත යුතු ය.

සමාජ අසමානතාවයට එරෙහි ප්‍රතිප්‍රහාරය වන්නේ පන්ති අරගලය යි. එහෙත් එලඹෙන අරගල සාර්ථක විය හැක්කේ ඒවා නව මූලෝපයක් සහිතව, එනම් ජාතිකවාදයට හා වෘත්තීය සමිතිවල ධනේශ්වර ක්ෂමාලාපකයන්ට එරෙහිව සහ ධනවාදයට එරෙහිව කම්කරු පන්තියේ ජාත්‍යන්තර එකමුතුව සඳහා මෙහෙයවනු ලැබුවහොත් පමනී.

සමාජ අසමානතාවයට එරෙහි අරගලයට විප්ලවීය වැඩපිළිවෙලක පදනම මත කම්කරුවන්ගේ අරගල සංවිධානය කිරීම හා එක්සත් කිරීම සඳහා නව දේශපාලන නායකත්වයක්, එනම් සමාජවාදී සමානතා පක්ෂය ගොඩනැගීම අවශ්‍ය වේ. ධනේශ්වර ලාභ පද්ධතිය සමානත්වය, ජාත්‍යන්තර සැලසුම්කරනය සහ නිෂ්පාදනයේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය මත පදනම් වූ සමාජවාදී සමාජයක් මඟින් වෙනස් කල යුතුය.

ආන්ද්‍රේ ඩමොන්

Share this article: