රාජපක්ෂ ආන්ඩුව විශ්ව විද්‍යාල තුල කප්පාදු සහ මර්දන පිලිවෙත් තීව්‍ර කරයි

සකුන ජයවර්ධන විසිනි, 2019 දෙසැම්බර් 31

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ ආන්ඩුව බලයට පත්වී දෙමසක් ගත වන්නටත් පෙර, විශ්ව විද්‍යාල තුල නව වටයකින් අධ්‍යාපනය කප්පාදු කිරීමට සහ සිසු මර්දනය තීව්‍ර කිරීමට ක්‍රියාත්මකවී ඇත.

ශිෂ්‍යභාවය අහෝසි කිරීම්, පන්ති තහනම් කිරීම්, විනය පරීක්ෂන ආදී පියවර හරහා රුහුනු විශ්ව විද්‍යාලයේ සිසුන්ට එරෙහිව දීර්ඝ කාලයක් පුරා ගෙනයන මර්දනයට එරෙහිව, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලයේ (අවිශිබම) සංවිධානයෙන්, දෙසැම්බර් 16 වන දා, විශ්ව විද්‍යාලය ඉදිරිපිට සිදු කල අත් පත්‍රිකා බෙදා හැරීමකදී පොලීසිය විසින්, එහි මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් ඉන්දික විදානපතිරන අත් අඩංගුවට ගෙන ඇත. එහිදී, නියෝජ්‍ය උපකුලපති, විනයාධිකාරී, විශ්ව විද්‍යාල ආරක්ෂක අංශ සහ මැරයින් පිරිසක් සිසුන්ව ඉවත් කිරීමට කීප වරක්ම උත්සාහ දරා ඇත.

ශිෂ්‍ය නායකයා අත් අඩංගුවට ගෙන ඇත්තේ, ඔහුට එරෙහිව “පොලීසියට ලැබුනු පැමිනිලි කිහිපයක් විභාග කිරීම සඳහා පොලිසියට පැමිනෙන ලෙස දැන්වූවද එය මග හැරීම”‍ යන චෝදනාව මතය. අවිශිබම කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන මාධ්‍යයට ප්‍රකාශ කලේ එවන් දැනුම් දීමක් සිදු කර නොමැති බවයි.

අනතුරුව, දෙසැම්බර් 17 වනදා, ඉහත අත්අඩංගුවට ගැනීමට එරෙහිව උද්ඝෝෂනයක නිරත වූ එම විශ්ව විද්‍යාලයේ කලමනාකරන පීඨයේ සිසුන්ට විශ්ව විද්‍යාල භූමියට ඇතුලුවීම තහනම් කරන ලදී.

රුහුනු විශ්ව විද්‍යාලය තුල සහ අනෙක් විශ්ව විද්‍යාල තුල පවතින මර්දනකාරී තත්වය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමට, දෙසැම්බර් 17 වනදා, කොලඹ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයෙහි අවිශිබම විසින් පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාවට සහභාගිවීම සඳහා පැමිනි මාධ්‍යවේදීන්ට විශ්ව විද්‍යාල පරිශ්‍රයට ඇතුලු‍වීමට පරිපාලනය විසින් ඉඩ නොදුන් බැවින් එම සාකච්ඡාව විශ්ව විද්‍යාල පරිශ්‍රයෙන් පිටත ස්ථානයක පවත්වන්නට සිදු විය.

මීට අමතරව, ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ තාක්ෂන පීඨයේ පිරිමි සිසුන් රැඳී සිටි බොරලැස්ගමුව නේවාසිකාගාරයට, දෙසැම්බර් 1 වන දින රාත්‍රියේ, ගිනි අවි රැගත් පොලිස් නිලධාරීන් පිරිසක් හදිසියේ කඩා වැදී ඇත. සිසුන් විසින් නේවාසිකාගාරය තුල පවත්වමින් තිබූ සාදයකින් අසල්වැසියනට බාධා සිදුවූ බවට ලැබුනු පැමිනිල්ලක් මත පැමිනි බව පොලීසිය පවසා ඇති අතර, අසල්වැසියෙකුයැයි තමන්ව හඳුන්වාගත් පුද්ගලයෙකු, පොලීසිය ඉදිරිපිටදීම සිසුන්ට මරන තර්ජන එල්ල කර ඇත. ඔහු නව ආන්ඩුවේ ප්‍රාදේශීය දේශපාලන හෙංචයියෙකු බව සිසුන් පවසයි.

සිසුන්ගේ සහ කම්කරුවන්ගේ ඉදිරි අරගල වලට එරෙහිව පොලීසිය සමග එක්ව කඩා පැන්නවීම සඳහා ආන්ඩුවේ අනුග්‍රහය මත සූදානම් කෙරෙන දක්ෂිනාංශික මැර නඩ පිලිබඳ පූර්ව ඇඟවුමක් මෙම සිද්ධියෙන් සම්පාදනය කෙරෙයි.

මෙම මර්දනය හුදෙක් විශ්ව විද්‍යාල වලට සීමා වූවක් නොවේ. වැඩෙන පන්ති අරගල රැල්ල මැඩීමේ අරමුනෙන්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වූ විගසම “මහජන සාමය”‍ රැකීමේ කඩතුරාව යටතේ පොලීසිය සහ ආරක්ෂක අංශ සීරුවෙන් තැබීමට ක්‍රියා කලේය. මිලිටරීකරනය තීව්‍ර‍ කරමින් රාජ්‍ය ආයතන වල ප්‍රධානින් ලෙස හිටපු මිලිටරි නිලධාරීන් පත් කෙරිනි.

එමෙන්ම මාධ්‍ය වාර්තා මගින් පෙන්නුම් කෙරුනේ රාජපක්ෂ බලයට පත් වී දින 26 ක් ඇතුල ත මාධ්‍යවේදීන් 13 දෙනෙකුට ප්‍රහාර එල්ල වී ඇති බවයි. දෙසැම්බර් 13 වනදා ”‍නිදහස උදෙසා කාන්තාවෝ”‍ සංවිධානයේ ක්‍රියාකාරිනියන් පිරිසක් කාන්තා අයිතිවාසිකම් පිලිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක නිරත වී සිටියදී කොටුව පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ට “‍මහජනතාව සමග සාකච්ඡා පැවැත්වීම තහනම්”‍ යැයි පවසා මුදා හැර ඇත.

මීට අමතරව, ජයවර්ධන විශ්ව විද්‍යාලයේ සියලු පීඨ වල සිසුන්ට පසුගිය දෙමාසයේ මහපොල වාරික මෙතෙකුදු ලැබී නොමැත. එහි මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨය තුල පැවති තොරතුරු තාක්ෂන උපාධිය කප්පාදු කිරීමට පරිපාලනය විසින් තීරනය කොට ඇත.

ධනපති ක්‍ර‍මය පද්ධතිගත අර්බුදයකට මුහුන දී සිටින තතු යටතේ, ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව ඇතුලු‍ ලොවපුරා ධනපති ආන්ඩු වලට, කම්කරු-පීඩිත මහජනතාවගේ සමාජ අයිතීන් සියල්ල විනාශ කිරීම සහ, එයට එරෙහිව අරගලයන්ට පිවිසෙන ලක්ෂ සංඛ්‍යාත මහජනතාව රුදුරුම ආකාරයෙන් මැඩීම සඳහා ආඥාදායක පාලන රූපයන්ට මාරුවීම හැර, අන් විකල්පයක් නොමැත.

ඊට ප්‍ර‍තිචාරී වශයෙන් ලොවපුරා දැවැන්ත පන්ති අරගල රැල්ලක් වේගයෙන් වැඩෙමින් පවතී. ප්‍ර‍න්සයේ මැක්රෝන් ආන්ඩුවේ ප්‍ර‍හාරයන්ට එරෙහිව මිලියන සංඛ්‍යාත කම්කරුවන්ගේ සහ තරුනයන්ගේ සහභාගිත්වයෙන් වසරක් පුරා ඇදීයන කහබැනියම් ව්‍යාපාරය සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර‍ මෝදිගේ ආන්ඩුව ගෙන ආ ප්‍ර‍තිගාමී පුරවැසි සංශෝධන පනතට එරෙහි ලක්ෂ සංඛ්‍යාත ඉන්දීය මහජනතාවගේ විරෝධතා මෙම පන්ති අරගල රැල්ලේ කැපී පෙනෙන අංශයන් ය. ලංකාවේ කම්කරුවන්ගේ සහ විශ්ව විද්‍යාල සිසුන් ගේ වැඩෙන අරගල මාලාව ඉහත දැක්වූ ජාත්‍යන්තර පන්ති අරගල රැල්ලේ අත්‍යන්ත කොටස්ය.

කෙසේ නමුත්, මෙම ප්‍ර‍හාරයන්ගේ මූලය ධනපති ක්‍ර‍මයේ පද්ධතිගත අර්බුදය බැවින් ආන්ඩුවලට පීඩනය යෙදීමෙන් එම ප්‍ර‍හාර ආපසු හැරවිය නොහැක. එම ප්‍ර‍හාර පරාජයකල හැක්කේ ධනපති ක්‍රමයට සහ ධනපති ආන්ඩුවලට එරෙහි දේශපාලන අරගලයක් තුලින් පමනි.

එසේ වුවද, අවිශිබම දිගටම උත්සාහ දරන්නේ, ආන්ඩුවලට බලපෑම් දැමීමේ බංකොලොත් දේශපාලනය තුල සිසුන් සිරකර තැබීමටයි. අවිශිබම, රාජපක්ෂ බලයට පත්වූ සැනින් “‍විශ්ව විද්‍යාල තුල මතුව ඇති ගැටලු කඩිනමින් විසඳන ලෙස”‍ ඉල්ලා ඔහුට ලිපියක් යැවීය. ඉන් පසු දෙසැම්බර් 2 වන දින අධ්‍යාපන අමාත්‍යවරයා සමග සාකච්ඡාවක නිරත විය. නැවතත් ඔවුන් දෙසැම්බර් 9 වන දින මහපොල ශිෂ්‍යාධාර ගැටලු විසඳන ලෙස ඉල්ලා ජනාධිපතිවරයාට ලිපියක් භාරදුනි.

අවිශිබමයේ මෙම පිලිවෙත් ගලා එන්නේ එයට නායකත්වය දෙන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ධනපති ගැති දේශපාලනයෙනි. ධනපති ක්‍රමයේ මෙම ඓතිහාසික අර්බුදය වසන් කරන ඔවුහු ආන්ඩු වලට බලපෑම් දැමීමෙන්, අහිතකර ලක්ෂන ඉවත් කරගත්, ”‍මානව හිතකාමී ධනපති ක්‍රමයක්”‍ නිර්මානය කර ගත හැකිය යන මිථ්‍යාව වපුරමින් සිටිති.

මෙම කප්පාදු සහ මර්දන පිලිවෙත් වලට තිත තැබිය හැකි වන්නේ, කම්කරු පන්තියේ නායකත්වය යටතේ, ගොවීන්, සිසුන් සහ අවශේෂ පීඩිතයන් බලමුලු‍ ගන්වා ගනිමින් ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටන් වැදීමෙන් පමනි. මෙම ඉදිරි දර්ශනයට සටන් වදින්නේ සමාජවාදී සමානතා පක්ෂය සහ එහි ශිෂ්‍ය අංශය වන සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ ව්‍යාපාරයයි.

Share this article: