එක්සත් ජාතික පක්ෂයේ ජාතික ආන්ඩු යෝජනාව: අර්බුදග්‍රස්ත පාලනය “ස්ථාවර” කර ගැනීමේ මංමුලාසහගත ප්‍රයත්නයක්

රොහාන්ත ද සිල්වා විසිනි, 2019 පෙබරවාරි 6

ජාතික ආන්ඩුවක් සෑදීමේ එක්සත් ජාතික පක්ෂ (එජාප) යෝජනාව, සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල විසින්, කතා නායක කරූ ජයසූරිය වෙත භාර දුන් බව පෙබරවාරි පලවැනිදා කලම්බු පේජ් වෙබ් අඩවිය වාර්තා කලේය. යෝජනාව අනුමත කර ගැනීමෙන් ලැබෙන ව්‍යවස්ථාමය අවසරය මත, අමාත්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය සංඛ්‍යාව වැඩි කර ගැනීම හරහා, තම ආන්ඩුව ස්ථාවර කර ගැනීම එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහගේ අරමුන යි.

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ව්‍යවස්ථාවේ 46 (4) කොටසට අනුව, ජාතික ආන්ඩුවේ අමාත්‍ය ධුර සංඛ්‍යාව 48 නොඉක්ම විය යුතු බවත්, කැබිනට් නොවන හා නියෝජ්‍ය අමාත්‍ය ධුර සංඛ්‍යව 45 කට නො වැඩි විය යුතු බවත් අමාත්‍ය කිරිඇල්ල අමාත්‍යවරයා පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට භාර දුන් යෝජනාවේ සඳහන් වන බවත් එම වෙබ් අඩවිය වාර්තා කරයි. එම යෝජනාව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස, කිරිඇල්ල විසින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගෙන් ඉල්ලා ඇත.

පසුගිය ඔක්තෝබරයේ ශ්‍රීලනිප මන්ත්‍රීවරු කන්ඩායම ඉවත්වීමත් සමග, වික්‍රමසිංහගේ එජාප යත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් (ශ්‍රීලනිප) එක්ව 2015 දී පිහිටුවා ගත් ජාතික ආන්ඩුව බිඳ වැටුනි.

පසුගිය ඔක්තෝබරයේ දී අගමැති තනතුරෙන් පහකල වික්‍රමසිංහ දෙසැම්බරයේදී යලි එම තනතුරට පත් කිරීමෙන් අනතුරුව, ශ්‍රීලනිප සමඟ නැවත වරක් ජාතික ආන්ඩුවක් සෑදීමට එජාප ය උත්සාහ කලේය. කලින් පැවති එජාප-ශ්‍රීලනිප ජාතික සමගි ආන්ඩුව ගැන පැවති මහජන අප්‍රසාදය නිසාම ශ්‍රීලනිපය, එජාපය සමග යලි නිල වශයෙන් එක් වීමට මැලිවුනි.

එම පසුබිම තුල, වෙනත් ජාතික ආන්ඩුවක් තුලින් අමාත්‍ය ධුර සංඛ්‍යාව වැඩිකර ගෙන, ඇමතිකම් නො ලැබීම නිසා අතෘප්තියට පත් ව ඇති එජාප මන්ත්‍රීවරුන්ට මෙන් ම, එජාප ආන්ඩුවට සහාය දක්වන සුලු ජාතික පක්ෂවල මන්ත්‍රීවරුන්ට අමාත්‍යධුර ඇතුලු දොල පිදේනි ලබා දී, තම පාලනය ස්ථාවර කරගත හැකි වෙතැයි වික්‍රමසිංහ ගනන් බලයි. වත්මනේ දී තමන්ට සහාය නො දක්වන ශ්‍රීලනිප මන්ත්‍රීන්ටද ඇමතිකම් ලබා දී ඔවුන් අතරින් වැඩි සංඛ්‍යාවක් බා ගැනීමට ද ඔහු බලාපොරොත්තු වේ.

එජාපය, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය සමඟ එක් වී යෝජිත ජාතික ආන්ඩුව ගොඩනැගීමට බලාපොරොත්තු වෙයි. මුස්ලිම් කොන්ග්‍රස් නායක රවුෆ් හකීම් ද ඇතුලු ව එහි අනෙකුත් සාමාජිකයන් පාර්ලිමේන්තුවට පත් වූ යේ එක්සත් ජාතික පෙරමුනෙන් වන අතර, මුස්ලිම් කොන්ග්‍රසය තනිව තරඟ කලේ නැගෙනහිර පලාතේ පමනි. කොන්ග්‍රසයේ එක් සාමාජිකයෙක් එහි දී තේරී පත් විය.

මෙම එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පමනක් ඇති මුස්ලිම් කොන්ග්‍රසයත් සමඟ ජාතික ආන්ඩුවක් ගොඩනැගීමට එජාපයට ව්‍යාවස්ථාමයව හැකි නමුත්, එය පෙන්නුම් කරනුයේ වික්‍රමසිංහගේ ආන්ඩුව සහ සමස්ත පාලක පන්තිය මුහුන දී සිටින අර්බුදයේ ගැඹුර යි.

කෙසේ නමුත්, යෝජිත ජාතික ආන්ඩුවේ සංයුතිය කුමක් දැයි තවම ප්‍රකාශයට පත් කෙරී නැත. වාක්‍රමසිංහ නිලයෙන් පහකෙරූ ඔක්තෝබර් 26 කුමන්ත්‍රනය මෙන් ම, සියල්ල සිදු වන්නේ දේශපාලන තිරය පිටුපස ය. ආන්ඩු කරන්නේ කවුද, කෙසේ ද, යන්න ගැන දැන ගැනීමට මහජනතාවට කිසිදු අයිතියක් නැත. දේශපාලන සංස්ථාපිතයේ කුනු වීම ඒ සා ඉහල මට්ටමක ය.

මේ අතර ත්‍රිවාධ හමුදාව සහ පොලීසිය මෙහෙයවන ජනාධිපති සිරිසේන, වික්‍රමසිංහ සහ ඔහුගේ ආන්ඩුව එලිපිටම විවේචනය කරමින් සමාන්තර ආන්ඩුවක් ගෙන යමින් සිටී.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධානයන් මත රුදුරු කප්පාදු ක්‍රියාවට දමමින් පසුගිය ඔක්තෝබරය දක්වා පැවති ජාතික ආන්ඩුව මෙහෙය වූ සිරිසේන, එම ප්‍රහාරයන්ගේ වගකීම වික්‍රමසිංහ ප්‍රමුඛ එජාපය ට පවරා ඇඟ බේරා ගැනීමට උත්සාහ කරයි. මෙම ව්‍යාජ එජාප විරෝධය මගින්, තමාගේ සහ ශ්‍රීලනිපයේ දේශපාලන අනාගතය ස්ථාවර කර ගැනීම සිරිසේන ගේ අභිලාෂයයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දේශපාලන නායකත්වය දරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුන සමඟ සන්ධානයක් ඇති කර ගැනීමට සිරිසේන බලාපොරොත්තු වේ. ඒ සමඟම, පිලිපීන ආකාරයේ “මත් ද්‍රව්‍ය වලට එරෙහි සටනක්” මඟින් පොලිස් රාජ්‍යයක් කරා මාරු වීමට ද සිරිසේන ගනන් බලයි. නමුත් රාජපක්ෂ උත්සාහ කරන්නේ, සිරිසේන සහ වික්‍රමසිංහ යන දෙපාර්ශ්වයටම එරෙහිව වර්ධනය වී ඇති මහජන අප්‍රසාදයේ වාසිය අත්පත්කර ගනිමින් යලි තම පාලනයක් තහවුරුකර ගැනීමට යි.

මෙම සියලු පාර්ශ්වයන්හි ප්‍රමුඛ එල්ලය වනුයේ ජාත්‍යන්තර මුල්‍ය ආයතන හා බටහිර අධිරාජ්‍ය විසින් නියම කර ඇති ආර්ථික ප්‍රතිසංස්කරන ක්‍රියාවට දැමීම ය.

තම සමාජමය අයිතීන්ට සහ ජීවන කොන්දේසි වලට බරපතල ලෙස පහර එල්ල කෙරෙන මෙම ප්‍රතිසංස්කරන වලට එරෙහිව අරගලයට ඇදෙන කම්කරු පන්තිය හා ගොවි ජනතාව රුදුරුම ආකාරයෙන් මර්දනය කිරීම සඳහා පොලිස් රාජ්‍යයක් වෙතට වේගයෙන් ගමන් කිරීම හැර අන් විකල්පයක්, පාලක පන්තියේ කවර හෝ කොටසකට නොමැත.

ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) ප්‍රචාරක ලේකම් විජිත හේරත් සඳහන් කරන්නේ, එජාපයේ මෙම ජාතික ආන්ඩු යෝජනාව කැබිනට් ඇමතිවරු සංඛ්‍යාව වැඩි කර ගැනීමේ උපායක් බැවින්, තම පක්ෂය එයට එරෙහි වන බව යි. කෙසේ නමුත්, සිරිසේන විසින් වික්‍රමසිංහ අගමැති ධූරයෙන් පහ කිරීමෙන් පසු ගත වූ දින 50 තුල ජවිපෙ වැඩ කලේ නැවත වික්‍රමසිංහගේ ආන්ඩුවක් බලයට ගෙන ඒම සඳහා ය.

ලංකාවේ ධනපති පන්තියට පමනක් නොව, බටහිර රටවලට ද, තමන් ව විශ්වාස කල හැකි බවත්, තමන්ගේ කැරලිකාර අතීතයෙන් පරිපූර්න ව මිදී ඇති බවත් පෙන්නුම් කිරීම ඔවුන්ගේ අරමුන වෙයි. දේශපාලන සංස්ථාපිතයේ කොටසක් බවට පත්ව ඇති ජවිපෙ හි අරමුන වනුයේ, ප්‍රධාන ධනපති පක්ෂ අපකීර්තියට පත් ව ඇති තත්වයේ දී ධනපති පන්තියේ ආශිර්වාදයෙන් බලයට පත්වීම යි.

ජාතික ආන්ඩු උපාමාරු මගින් තම තත්වය ස්ථාවර කර ගැනීමට වික්‍රමසිංහ ගනන් බැලුවත්, දේශපාලන තත්වය වර්ධනය වන්නේ ඊට විපරීතව ය. ලොව අන් රටවල දී මෙන් ම, ලංකාව තුලත්, පන්ති අරගලය තියුනු ලෙසින් වර්ධනය වෙමින් පවතී. කප්පාදු වන ජීවන කොන්දේසි වලට එරෙහිව, වැඩි වැටුප් ඉල්ලා සටනට පිවිස ඇති වතු කම්කරුවන්ගේ අරගලය ඉන් ප්‍රධාන ය.

වර්ධනය වන භූ-දේශපාලනික ගැටුම්, දේශපාලන අස්ථාවරත්වයේ අනෙක් මූලික සාධකයකි. සමස්ත කලාපීය මහජනතාව අනතුරේහෙලමින්, ඇමරිකාව සහ චීනය අතර ප්‍රතිමල්ලවතා තුන් වන ලෝක යුද්ධයක් දෙසට වේගයෙන් වැඩෙමින් පවතී. වික්‍රමසිංහ ආන්ඩුව විසින්, චීනයට එරෙහි ඇමරිකානු යුද මුලෝපායට ලංකාව වඩවඩාත් ඒකාග්‍ර කෙරෙන තතු තුල රටෙහි දේශපාලන අර්බුදය තවදුරටත් උග්‍ර කෙරෙනු ඇත. 

ලොව පුරා පාලක පන්තීන් මුහුන දී සිටින දැවැන්ත දේශපාලන අර්බුදය හමුවේ ඔවුන්ට ඇති එකම විකල්පය වනුයේ, සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් සියල්ල වනසා දමන සමාජ ප්‍රතිවිප්ලවය සහ යුද්ධය යි. මෙම ව්‍යසනකාරී විකල්පයට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටන් වැදීම ලෝක කම්කරු පන්තියට ඇති එකම විකල්පය වන අතර, එහි කොටසක් ලෙස, ජාත්‍යන්තර සමාජවාදී වැඩ පිලිවෙලක් මත පාදක වූ කම්කරු-ගොවි ආන්ඩුවක් ලංකාව තුල බලයට ගෙන ඒම මහජනතාවට ඇති ශක්‍ය විසඳුම යි.

Share this article: