ලංකාව ඇමරිකානු මිලිටරියේ සැපයුම් සේවා කේන්ද්‍රයක් නොකරන බව කියමින් අගමැති රවටන්ට හදන්නේ කවුද?

ප්‍රදීප් රාමනායක විසිනි, 2019 පෙබරවාරි 15

අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ දී පෙබරවාරි 6 වනදා මතු කෙරුනු ප්‍රශ්නයකට පිලිතුරුදෙමින් ඇමරිකානු නාවුක හමුදාවට අයත් යුද නෞකාවක් වෙත ලංකාවේ සිට භාන්ඩ තොග ප්‍රවාහනය කිරීම අරබයා විරුද්ධ පාර්ශවයෙන් එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කලේය. වික්‍රමසිංහ තවදුරටත් ප්‍රකාශ කලේ විදේශීය හමුදාවකට කඳවුරු පිහිටවීමට හෝ ”මිලිටරි උපාංග මාරු කිරීමට මෙරට යොදාගැනීමට ඉඩ නොදෙන” බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර දි අයිලන්ඩ් පුවත්පතේ පලවූ වාර්තාවක් ගැන සඳහන් කරමින් ප්‍රශ්නය ලෙස මතු කලේ ලංකාව ඇමරිකානු සැපයුම් කේන්ද්‍රයක් බවට පත් කිරීම රටේ “ස්වෛරීත්වයට බලපාන” ඇමරිකාවේ යුද සැලසුම් වලට ඈඳන” කරුනක් නොවන්නේද යන්නයි.

ඊට පිලිතුරු දෙමින් ඇමරිකාවේ යුද ශක්තිය ගැන වික්‍රමසිංහ මෙසේ දේශනාවක් කලේය: “ඇමරිකාවට සිය හයවන සහ හත්වන නාවුක බලඇනි නංගුරම් ලා තිබෙන ඉන්දියානු සාගරයේ දියාගෝ ගාෂියා දූපතේ විශාල කඳවුරු තිබෙනවා. ඊට අමතරව බහරේනයේත් බල ඇනි තිබෙනවා.” ලංකාවේ ගුවන් හමුදාවටම තියෙන මුලු යානාවලට වැඩි යානා ප්‍රමානයක් ගෙනයා හැකි තරම් ලොකු නැව් ඇති නිසා අමරිකාවට විශාල කඳවුරු තබා ගැනීමට අවශ්‍ය නැතිබව කී ඔහු “තාක්ෂනික දියුනුවේ තරම නිසා ඇමරිකාවට ලෝකයේ කිසිම තැනක ස්ථිර කඳවුරු හදන්න උවමනාවක් නැහැ” යි සඳහන් කලේය.

ඇමරිකානු අධිරාජ්‍යවාදීන් දැනට ලෝකයේ සුපිරි මිලිටරි බලය බවට විවාදයක් නැත. ඒ ගැන වගවර්නනා කරන ගමන් අගමැති වික්‍රමසිංහ රවට්ටන්න හදන්නේ කවුද? ඇත්ත වසයෙන් නම්, මෑතදී ඇමරිකාවේ නාවික හමුදාව ලංකාවේ සිට සිදුකල යුද සැපයුම් ක්‍රියාකාරකම් වල සැබෑ වාර්තාව අගමැතිගේ ප්‍රකාශවල පල්ල යවයි.

ජනවාරි 21 සිට 29 දක්වා කටුනායක බන්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිට ලංකාවේ මුහුදු සීමාවෙන් පිටත නැංගුරම් ලා තිබූ ජෝන් සී ස්ටෙනිස් නෞකාව වෙත එහි ගුවන් යානා යොදාගනිමින් තොග ප්‍රවාහනය කෙරුනි. මෙම දැවැන්ත යුද නෞකාව ප්‍රහාරක ගුවන්යානා 90 ක්, හෙලිකොප්ටර් සහ 6,500ක භට පිරිසක් හා කාර්ය මන්ඩලයක් රැඳවිය හැකි සක්‍රීය සේවයේ යොදවා තිබෙන නැවකි. කටුනායක සිට ප්‍රවාහනය කෙරුනේ නාවිකයන්ගේ පෞද්ගලික ලියුම්, ලිපි ද්‍රව්‍යය, අමතර කොටස් සහ යාන්ත්‍රික මෙවලම් බව කියවේ. එහෙත් ප්‍රවාහනය කෙරුනේ එම භාන්ඩම ද යන්න දන්නවා ඇත්තේ ඇමරිකානු නාවික හමුදාව ම පමනෙකි.

දින නවයක් පැවති මෙම අභ්‍යාසය ලංකාවේ වරායවල් සහ ගුවන් තොටුපලවල් කලාපීය භාන්ඩ හුවමාරු මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ වැඩකටයුතුවල කොටසක් විය. ඇමරිකාව ඒ සඳහා ගෙවීමට පොරොන්දු වී ඇති ගාස්තුව රුපියල් මිලියන 25කි.

පසුගිය දෙසැම්බර් මාසයේදී මෙම යුද නෞකාව ත්‍රිකුනාමලය වරායට පැමිනියේ ඇමරිකානු නාවුක හමුදාවේ තාවකාලික සැපයුම් කේන්ද්‍රයක් එහි ස්ථාපනය කිරීම සඳහා වන පෙන්ටගනයේ සැලසුම්වල කොටසක් ලෙසයි. ඉකුත් අගෝස්තුවේදී ඇමරිකානු නාවුක හමුදාවේ සත්වන බලඇනියට අයත් ඇන්කරේජ් නෞකාව නාවුක සෙබල ඛන්ඩයක් සමග එම වරායට පැමිනීම, වාර්තාවලින් දැනට සොයාගත හැකි එම සැලසුමේ මුල් පියවර විය.

මෙම මෙහෙයුමේ සැබෑ අරමුනු වටහාගැනීමෙහි ලා ඇමරිකානු නාවුක හමුදාවේ නිල වෙබ් අඩවියට ස්ටෙනිස් නෞකාවේ භාන්ඩ පරිපාලක අංශයේ ප්‍රධානී ලුතිනන් බ්‍රියන් ඔරිට්ස් පලකල අදහස් උදව්වෙයි: “මෙම මෙහෙයුමේ මූලික අරමුන වන්නේ ගමනාගමනයේ නිරත ඇමරිකානු නැව්ව්ලට සිය ක්‍රියාන්විතයන්හිදී තීරනාත්මක වන සැපයුම් සහ සේවා සම්පාදනය කිරීමයි. දෙවන අරමුන ඇමරිකානු නාවුක හමුදාවට ස්ථිර සැපයුම් සේවා නොපවතින ගොඩබිම්වල තාවකාලික සැපයුම් මධ්‍යස්ථාන පිහිටුවා ගැනීමට එයට ඇති හැකියාව විදහා දැක්වීමයි.”

ජනවාරි මාසයේ කොලඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය නිකුත්කල රාජ්‍යතාන්ත්‍රක මෙහෙයුම් පිලිබඳ නිල ප්‍රකාශනයක එම අරමුනු වඩාත් සෘජු ලෙස සඳහන් කෙරුනේ දෙරට අතර සහයෝගීතාවය තුල ශ්‍රී ලංකාව “මූලෝපායික සැපයුම් කේන්ද්‍රයක්” බවට පරිවර්තනය කර ඇති බවයි. ප්‍රකාශනයෙහි වචන වලින්ම කියතොත් එම පරිවර්තනය සඳහා ලංකාව උපයෝගී කරගනිමින් සිටින්නේ “දිවයිනේ [මුලෝපායික] පිහිටීම” නිසා ය.

තතු එසේ වුවද, වික්‍රමසිංහ මහජනයාගේ ඇස්වලට වැලිගසන්නට තැත් කරමින් අඟවන්නට යන්නේ ඇමරිකානු නාවුක හමුදාවේ ක්‍රියාකාරකම් සුලුපටු, සාමාන්‍ය දේවල් ලෙසය.

ලෝකයේ දෙවන ගැඹුරුතම ස්වභාවික වරාය පිහිටා ඇති ත්‍රිකුනාමලය ඉන්දියානු සාගරය මධ්‍යයේ දැවැන්ත මිලිටරි මූලෝපායාත්මක වටිනාකමක් උසුලයි. දෙවන ලෝක යුද්ධයේදී බ්‍රිතානයේ පෙරදිග බලඇනියේ නාවුක ආඥා මධ්‍යස්ථානය ලෙස එහි සේවය ලබා ගත්තේය. චීනය හා යුරෝපය යාකරන මුහුදු මාර්ගයේ කේන්ද්‍රගත වන ලංකාව සමග වඩා ස්ථිරසාර මිලිටරි සබඳතා ගොඩනගා ගැනීමට උත්සුක වන වොෂින්ටනය, එහිදී ත්‍රිකුනාමලය ප්‍රධාන කරගත් මූලෝපායික මර්මස්ථාන තම අනසකට නතුකර තබාගැනීම ප්‍රමුඛතාවයේ ලා සලකයි.

මෙය වනාහි, ඇමරිකාව චීනයේ නැගීමට වලකපා එය තම අධිරාජ්‍යවාදී අධිපති බලය යටතට ගැනීමට ගෙනයන මිලිටරි සහ රාජ්‍ය තාන්ත්‍රික ආක්‍රමනශීලී වැඩපිලිවෙලක කොටසකි. බැරක් ඔබාමාගේ “ආසියවට හැරීමේ” වැඩ සටහනට පසුව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යටතේ එක්සත් ජනපදය චීනයට එරෙහි යුද සුදානම වේගවත් කරමින් සිටියි. ඇමරිකාවේ යුද සැලසුම් මූලස්ථානය වන පෙන්ටගනය ගිය අවුරුද්ද මුල මූලෝපායික නව හැරීමක් ප්‍රකාශයට පත් කලේය. ඒ අනුව, ඉන්දියානු හා ශාන්තිකර ලෙස සාගර කලාප නම්කිරීම නතර කර ඉන්දියානු-ශාන්තිකර සාගර කලාපය යන්න ප්‍රකාශයට පත් කලේය.

ප්‍රශ්නයට පිලිතුරුදෙමින් අගමැති වික්‍රමසිංහ තවදුරටත් සඳහන් කලේ තම ආන්ඩුව ක්‍රියා කරන්නේ “ප්‍රවේශය සහ ප්‍රතිසේවා පිලිබඳ ගිවිසුම (ඒසීඑස්ඒ)” අනුව බවයි. ඇත්ත එයයි. මෙම ගිවිසුම වනාහි, වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති වික්‍රමසිංහ, චන්ද්‍රිකා කුමාරතුංග සහ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ධනපති පන්තියේ සියලුම කල්ලි පෙන්ටගනයේ යුද කරත්තයට කරබදු වෙමින් ඇති කරගත් එකකි.

2002 තරම් ඈතදී එවක ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග සහ අගමැති වික්‍රමසිංහ ආන්ඩුව යටතේ මුලින්ම මේ ගිවිසුම ගැන ලංකාවේ ආරක්ෂක අමාත්‍යංශයේ සහ මිලිටරියේ ලොක්කෝ ඇමරිකානු ජෙනරාලවරුන් හා රාජ්‍ය තාන්ත්‍රිකයන් සමග රහස් සාකච්චා පැවැත්වුහ.

ඒ අනුව, 2007 දී ප්‍රවේශය සහ ප්‍රතිසේවා ගිවිසුම වසර දහයක කාලයකට වොෂින්ටනය සමග අත්සන් කලේ එවක ආරක්ෂක ලේකම්ව සිටි මහින්ද රාජපක්ෂගේ සහෝදරයා වූ ගෝඨාභය රාජපක්ෂයි. එකල කොලඹ සිටි ඇමරිකානු තානාපති රොබර්ට් බ්ලේක් සඳහන් කලේ ගිවිසුම “මූලෝපායික සැපයුම් හුවමාරු කරගැනීමට, ආධාර කිරීමට, ප්‍රති-ඉන්ධන සැපයුම් සේවා සැලසීමට, සාමසාධක මෙහෙවර සඳහා, මානුෂික මෙහෙයුම්වලට සහ ඒකාබද්ධ යුද අභ්‍යාසවලට” අවස්ථාව ලබාදෙන බවයි. වසර 10කට පසු 2017දී අගමැති වික්‍රමසිංහගේ ආන්ඩුව දින නියමයක් නැතිව ගිවිසුම අලුත් කලේය.

වාසුදේව නානායක්කාර ද ඇතුලු රාජපක්ෂ වටා රැලිවී සිටින කල්ලියෙන් වික්‍රමසිංහට එල්ලවන “මෙරට තුල විදේශ හමුදා කඳවුරු පිහිටුවීමට ඉඩදීම” පිලිබඳ චෝදනා අතිශයින්ම කුහකය. මොවුන් සියලුදෙනා ම ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ගැත්තන් ය.

ඇමරිකාවේ යුද සැලසුම්වලට ලංකාව එකාග්‍ර කිරීමේ සැලසුම් මනාව ප්‍රදර්ශනය වූ අවස්ථාවක් වූයේ, 2015 දී වොෂින්ටනය නවදිල්ලියේද ආධාර ඇතිව ඇමරිකානු ගැති ආන්ඩුවක් පිහිටුවීම සඳහා සිරිසේන ජනාධිපති ධුරයට ගෙන ඒමේ තන්ත්‍ර-මාරු මෙහෙයුමක් ක්‍රියාවට දැමීමයි. ජනාධිපති රාජපක්ෂගේ ආන්ඩුවේ යුද්ධයට හා ප්‍රජාතන්ත්‍ර-විරෝධී ක්‍රියාවලට වොෂින්ටනය සහයෝගය දුන්නේය. එසේ නමුත් රාජපක්ෂ චීනය සමග ගෙනගිය සම්බන්ධකම් වලින් දුරස්ත නොවූ නිසා ඔහු බලයෙන් ඉවත්කර සිරිසේන ගෙන ඒමට වොෂින්ටනය වික්‍රමසිංහ ඇතුලු කන්ඩායම්වල සහයෝගයෙන් මෙම තන්ත්‍රමාරුව ක්‍රියාත්මක කලේය.

ඉනික්බිති ව සිරිසේන-වික්‍රමසිංහ තන්ත්‍රය යටතේ ඇමරිකාව සමග ලංකාවේ දේශපාලනික සහ මිලිටරිමය සබඳතා තවත් ශක්තිමත් කෙරුනි.

වික්‍රමසිංහ මෙන්ම පෙර පැවති ආන්ඩු නියෝජනය කල පාලක ප්‍රභූවේ කොටස් රටේ මහජනතාවට හොරා ඇමරිකානු යුද මූලෝපායට ලංකාව ගැටගැසීමට ගෙන ගිය වැඩකටයුතු හෙලිදරව් කිරීම එක දිගට කලේ ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) සහ සමාජවාදී සමානතා පක්ෂය පමනකි.

ලෝසවෙඅ හි ඊට අදාල ලිපි ගනනාවක්ම පල කර ඇත. 2002 ජුනි 11 දින “ශ්‍රී ලංකාව එක්සත් ජනපද කලාපීය මිලිටරි සැලසුම්වලට ඒකාග්‍ර කිරීමට යයි ” යන මැයෙන් ද 2019 ජනවාරි 17 “එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සමග මිලිටරි සබඳතා තර කරගනී ” යන මැයෙන් ද පලවූ ලිපි ඒවායින් දෙකකි.

ලංකාවේ අනුප්‍රාප්තික ආන්ඩු ඇමරිකාවේ යුද සැලසුම් තුලට ලංකාව ඒකාග්‍ර කිරීමේ නිරත වී ඇත. න්‍යෂ්ටික බලයෙන් සන්නද්ධ තවත් රාජ්‍යයක් වන චීනයට එරෙහි ඇමරිකානු අධිරාජ්‍යවාදීන්ගේ මිලිටරි සැලසුම් තුන්වන ලෝක යුද්ධයක් අවුලුවාලීමේ අනතුර දරා සිටී. එම විනාශය වලකාලීමේ එකම බලවේගය වන්නේ ජාත්‍යන්තර කම්කරු පන්තිය යි. ඒ සඳහා වන ඉදිරිදර්ශනය හා ක්‍රියාමාර්ගය හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් යුද්ධයට එරෙහිව සමාජවාදය සඳහා සටන නම්වූ ප්‍රකාශනයේ ඉදිරිපත්කර ඇත. ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය ඇතුලු හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ සියලු ශාඛා මෙම ක්‍රියාමාර්ගය මත සටන් කරයි.

සැලකිය යුතුයි : 2009 දක්වා වූ පැරනි ලිපි බාගැනීමේදී [aKandyNew]අකුරු භාවිතා කරන්න.

Share this article: