ඥානසාර නිදහස් කිරීමේ උද්ඝෝෂනයට කොලඹ ධනපති පාලකයෝ එක රොදට පෙල ගැසෙති

ඩබ්ලිව්. ඒ සුනිල් විසිනි, 2019 ජනවාරි 31

ධනේශ්වර දේශපාලන සංස්ථාපිතයේ ප්‍රමුඛ කොටස්, බෞද්ධ ප්‍රභූව, සුලු ජන විරෝධී වාර්ගික අන්තවාදීහු සහ ජනමාධ්‍ය එක රොදට පෙල ගැසෙමින්, සිංහල-බෞද්ධ අන්තවාදී සංවිධානයක් වන බොදු බල සේනා සංවිධානයේ නායක ගලබොඩඅත්තේ ඥානසාර භික්ෂුව ජනාධිපති සමාවක් මගින් සිරෙන් නිදහස් කරන ලෙස ඉල්ලා දක්ෂිනාංශික උද්ඝෝෂනයක් අරඹා ඇත.

පසුගිය වසරේ අගෝස්තු 8 වෙනිදා ඥානසාරට බරපතල වැඩසහිත වසර හයක සිර දඬුවමක් නියම විය. ඔහුට එම සිර දඬුවම නියම කෙරුනේ රාජ්‍ය බුද්ධි අංශ විසින් “අතුරුදහන්” කෙරුනු බවට සැලකෙන මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ ගේ නඩුව, 2016 දී හෝමාගම මහේස්ත්‍රාත් අධිකරනයේ විභාගවෙමින් පැවති අවස්ථාවක “අධිකරනයට අපහාස වන අයුරින් හැසිරීමේ” චෝදනා හතරකට වරදකරු බව ඔප්පුවීම යටතේය.

චෝදනා ඉදිරිපත් කිරීමකින් තොරව හෝ ගොතන ලද චෝදනා යටතේ, ඇප රහිතව වසර ගනනක් රැඳවුම් භාරයේ හෝ සිරගත කර සිටින දෙමල දේශපාලන සිරකරුවන් හෝ සෙසු පීඩිතයන් කෙරෙහි කිසිදු තැකීමක් නොමැති මෙම දේශපාලන, ආගමික හා වාර්ගික අන්තවාදී බලවේග ඥානසාර නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් පුදුමාකාර උනන්දුවක් පෙනුම් කර ඇත.

එක්සත් ජාතික පක්ෂ (එජාප) ආන්ඩුවේ බුද්ධශාසන ඇමති ගාමිනී ජයවික්‍රම පෙරේරා විසින් ජනවාරි 21 දාතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත යවා ඇති ලිපියකින් ඥානසාර නිදහස් කරන ලෙස ඉල්ලා ඇත. ඔහුව නිදහස් කරන ලෙස ඉල්ලා ත්‍රෛනිකායික සංඝ නායකයන් ඇතුලු ආගමික ප්‍රභූන් විසින් තමන් වෙත ලිපි යොමුකර ඇති බවත් එම ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් ඥානසාර නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස ඔහු සිරිසේනගෙන් ඉල්ලා ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) ජාතික සංවිධායක දුමින්ද දිසානායක, එහි පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බන්ඩාර ඇතුලු ශ්‍රීලනිප නායකයන් කිහිප දෙනෙකු ද, සිහලරාවය ඇතුලු බෞද්ධ අන්තවාදී සංවිධාන ද සිරිසේන හමු වී ඥානසාර නිදහස් කිරීම ගැන සාකච්ඡා කල බවත්, පෙබරවාරි 4 නිදහස් දිනයේ දී එම නිදහස ලබා දීමට සිරිසේන එකඟවූ බව සාකච්ඡාවන්ට සහභාගිවූවන් පැවසූ බවත් මාධ්‍යයන්හි වාර්තා විය.

ඥානසාර සිර ගත වුනේ “රට ජාතිය වෙනුවෙන් පෙනී සිටීම” නිසා යැයි බොදු බල සේනා සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙනියේ නන්ද භික්ෂුව 28 වෙනිදා පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කලේ ය. ඔහුව නිදහස් කරන ලෙස ඉල්ලා බොදු බල සේනා සංවිධානය සිහල රාවය ඇතුලු බෞද්ධ අන්තවාදී සංවිධාන විසින් “අඛන්ඩ සත්‍යග්‍රහයක්” ද පිටකොටුව බෝධිය අසල ආරම්භ කර ඇත.

සිය පූර්න අවධානය යොමුකර ඥානසාර ට පොදු සමාව ලබාදීම පිලිබඳ අවශ්‍ය කටයුතු සිදු කරන බවට සිරිසේන පොරොන්දු වූ බව ද නන්ද භික්ෂුව මෙහි දී සඳහන් කලේ ය.

තම පාලනයට එරෙහිව වැඩෙන දැවැන්ත මහජන විරෝධය හමුවේ මිලිටරිය සහ බෞද්ධ සංස්ථාපිතය මත වඩවඩාත් යැපීමට යත්න දරන ජනාධිපති සිරිසේන විසින් මෙම සමාව ලබා දීමට බොහෝ ඉඩකඩ ඇත. “තරුන බෞද්ධ භික්ෂුන්” සහ “රනවිරුවන්” අත් අඩංගුවට ගැනීම සහ සිරගත කිරීම ගැන සිරිසේන අවස්ථා කිහිපයක දීම පොලීසියට සහ රාජ්‍ය බුද්ධි අංශවලට චෝදනා කලේ ය.

ඥානසාර යනු, දෙමල හා මුස්ලිම් ජනයාට මෙන්ම අන්‍ය ආගමිකයන්ට හා එවන් ආගමික සංවිධාන වලට එරෙහිව ප්‍රසිද්ධියේ ප්‍රකෝපකරනයේ යෙදෙන්නෙකි. 2014 අලුත්ගම මුස්ලිම් ජනයාට එරෙහි ප්‍රකෝපකරනය හා තවත් එවන් ප්‍රකෝපකරනයන් සම්බන්ධව චෝදනා මත ඔහුට විරුද්ධ නඩු කිහිපයක් ඇත.

ඥානසාර නිදහස් කලොත් ඔහු සම්බන්ධයෙන් අධිකරනයේ විභාග වන නඩුවලට ඔහු විසින් බලපෑම් කිරීමට ඉඩ ඇති බැවින් සහ ඉන් අදාල පාර්ශවයන්ට අගතියක් වීමට ඉඩ ඇති බැවින් පොදු සමාවක් යටතේ ඔහු නිදහස් නොකරන ලෙස ඉල්ලා එක්නැලිගොඩ ගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ විසින් ජනාධිපතිට ලිපියක් යවා ඇත.

මේ අතර මානව හිමිකම් සංවිධාන ද ඒ සම්බන්ධයෙන් විරුද්ධත්වය පලකර තිබේ. ඥානසාර නිදහස් කිරීමෙන් ආගමික ප්‍රචන්ඩත්වයන් අවුලවන සෙසු ආගමික අන්තවාදීන් ද දිරිමත් කෙරෙනු ඇතැයි මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන සමර වෙත්තිමුනි මාධ්‍යයට පවසා ඇත. “ඔහු සිරගත කලේ ආගමට සම්බන්ධ වැරදි නිසා නොවේ. එම නිසා ආගමික පාර්ශවයන්ගේ ඉල්ලීම් මත ඔහු නිදහස් කිරීම තීන්දු නොවිය යුතු” යැයි ඔහු සඳහන් කර ඇත.

ස්වයං-ප්‍රකාශිත “ලිබරල් සහ ප්‍රතිසංස්කරනවාදී” ආන්ඩුවක් මගින් ඥානසාරට පොදු සමාවක් දුනහොත් ශ්‍රී ලංකාව ඉදිරි වසර වලදී වඩාත් ප්‍රචන්ඩ ක්‍රියාවන්ගෙන් හා ආතතීන්ගෙන් පීඩාවට පත්වන ඉරනමට මුහුන පෑමට ඉඩ ඇතැ” යි ඉන්ටර්නැෂනල් ක්‍රයිසීස් ගෲප් හි ශ්‍රී ලංකා නියෝජිත ඇලන් කීනන් පවසා ඇත.

සිරිසේන ඇතුලු කොලඹ දේශපාලන ප්‍රභූව මූලිකව පය ගසාගෙන සිටින්නේ බෞද්ධ සංස්ථාපිතය සහ සිංහල-බෞද්ධ සමාජ ස්ථරය මතය. 1948 ඊනියා නිදහසෙන් පසු සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරුවන් භේද කර තම පාලනය ගෙනයාමේ ප්‍රතිගාමී පිලිවෙත යටතේ දෙමල සහ මුස්ලිම් සුලුතර ජනයාට එරෙහි වාර්ගික ඇවිස්සීම් නිරන්තරව සිදු කෙරුනි.

පාලක පන්තියේ දේශපාලන අර්බුදය තීව්‍ර වූ හැම විටකම කම්කරු පන්තිය බෙදා වෙන් කිරීමට සහ ඔවුන්ට එරෙහි ප්‍රහාර තීව්‍ර කිරීමට වාර්ගික භේදකරනය යොදා ගත්තේය.

එජාප ආන්ඩුව විසින් 1983 දෙමල ජන විරෝධී වාර්ගික යුද්ධයක් මුදා හැරියේ ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ උවමනාකම් මත ක්‍රියාවට දැමුනු ආර්ථික ප්‍රතිසංස්කරන වලට එරෙහිව කම්කරු පන්තික අරගල පැන නැගුන කොන්දේසි තුලය. යුද්ධයේ දී දසදහස් ගනනක් දෙමල ජනයා ඝාතනය කෙරුනි. තවත් දහස් ගනනක් “අතුරුදහන්” කෙරුනි, නැතහොත් සිරගත කෙරුනි.

ඔවුන්ගෙන් සිය ගනනක් දේශපාලන සිරකරුවන් ලෙස චෝදනා රහිතව රැඳවුම් කඳවුරු තුල තවමත් ගාල් කර සිටිති. එහෙත් ලංකාව තුල දේශපාලන සිරකරුවන් සිටින බව පවා ධනේශ්වර පාලක පන්තිය ප්‍රතික්ෂේප කරයි.

ධනේශ්වර පාලක පන්තියේ මෙම වර්ගෝත්තමවාදී පිලිවෙත පවත්වාගෙන යාමට සහ දිරිමත් කිරීමට බෞද්ධ සංඝ සංස්ථාපිතය නිරන්තරව කටයුතු කලේ ය. පන්ති අරගලයේ වර්ධනය සහ පාලක පන්තියේ දේශපාලන අර්බුදය තීව්‍ර වන තතු තුල පාලක පන්තිය, සංඝ සංස්ථාපිතය සහ දක්ෂිනාංශික සමාජ බලවේග වාර්ගික ඇවිස්සීම නව වටයකින් තීව්‍ර කර ඇත. ඥානසාර නිදහස් කර ගැනීමේ උද්ඝෝෂනය එහි කොටසකි.

Share this article: