2019 වසර උදාවේදී සසජාතශි වෙතින් විශ්වවිද්‍යාල ශිෂ්‍ය-ශිෂ්‍යාවන්ට පනිවුඩයක්

සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ , 2019 ජනවාරි 12

සහෝදරවරුනි, සහෝදරියනි,

උදා වූ නව වසර තුල ඔබට මුහුන දීමට ඇති දේශපාලන අභියෝගයන් මුන ගස්වා ඒවා ජයගැනීමේ ක්‍රියාමාර්ගයක් සම්පාදනය කිරීම, සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) ව්‍යාපාරයෙහි ප්‍රමුඛ වගකීමක් ලෙස එය නියෝජනය කරන අපි සලකන්නෙමු.

විශ්ව විද්‍යාලයන් හි දැනට අධ්‍යාපනය ලබමින් සිටින සිසුන් මෙන්ම ඒවාට ඇතුලු වෙමින් පවත්නා නවක සිසුන් ද, 2019 වසර අත්දකිනු ඇත්තේ, තම අධ්‍යාපනය සඳහා අත්‍යවශ්‍ය, නේවාසිකාගාර, දේශන ශාලා, විද්‍යාගාර, පුස්තකාල සහ ආචාර්ය මන්ඩල සම්බන්ධයෙන් දැනට පවත්නා ඌනතාවයන් වඩාත් උග්‍ර කෙරෙන සහ අධ්‍යාපනයේ පුද්ගලීකරනය වේගවත් කෙරෙන ඉමහත් කප්පාදුවේ වසරක් ලෙසයි.

පසුගිය දා එක්සත් ජාතික පෙරමුනු ආන්ඩුවේ කැබිනෙට්ටුව විසින් සමම්මත කල 2019 අයවැය විසර්ජන පනතට අනුව 2022 වන විට රජයේ පුනරාවර්තන වියදම් දල ජාතික නිශ්පාදිතයෙන් (දජානි) සියයට 17 දක්වා ද, 2020 වනවිට රාජ්‍ය අයවැය හිඟය දජානියෙන් සියයට 3.5 දක්වා ද කප්පාදු කිරීමට නියමිතය. දැනට මෙම අගයන් පිලිවෙලින් සියයට 20.0 සහ 4.5 කි. මෙහි අර්ථය වනුයේ අධ්‍යාපනය සඳහා දැනට වෙන් කෙරෙන දජානියෙ න් සියයට 2 කට ත් අඩු සොච්චම් මුදල තවත් කප්පාදු කෙරෙන බවයි.

නිදහස් අධ්‍යාපනය ඇතුලු සමාජ සුබසාධනයන්ගේ කප්පාදුවේ හා පෞද්ගලීකරනයේ මූලය වන්නේ, ලංකාව ද ඇතුලත් ලෝක ධනේශ්වර ක්‍රමයේ පෙර නොවූ විරූ අර්බූදයයි. මෙම අර්බූදය හේතුවෙන් ලංකාවේ ආන්ඩුව, ඉහල යන ගෙවුම් ශේෂ අර්බූදයකට හා රුපියල අවප්‍රමානයවීම මගින් උග්‍ර කෙරුනු නය අර්බූදයකට මුහුන දී සිටී. මේ වසරේ අවසානය වන විට ගෙවීමට ඇති නයෙහි වටිනාකම ඇමරිකන් ඩොලර් බිලියන 2.9 කි.

මේ තත්වය තුල අවශේෂ රටවල පාලක පන්තිය මෙන්ම ලංකාවේ බලයට පත්වන සෑම ධනපති ආන්ඩුවකම එල්ලය වී ඇත්තේ ජාමූඅ නියෝග මත අර්බූදයේ සියලු බර කම්කරු පීඩිත මහජනයා මත පටවමින් ඒවාට එරෙහිව පැන නංවන අනිවාර්ය පන්ති අරගල මැඩීම සඳහා ආඥාදායක පාලන රූපයන් වෙත මාරු වීමයි.

අධ්‍යාපනයේ කප්පාදුව සහ පුද්ගලීකරනයට එරෙහි ශිෂ්‍ය විරෝධතාවන්ට සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවේ ප්‍රතිචාරය වූයේ පොලිස් කැරලි මර්දන ඒකකවල රුදුරු පහරදීම් හරහා විරෝධතා විසුරුවා හැරීම, උසාවි නියෝගවලින් විරෝධතා තහනම් කිරීම, ශිෂ්‍ය ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීම, පන්ති තහනම් කිරීම් ආදී ප්‍රහාර මුදා හැරීමයි. පැවති මහින්ද රාජපක්ෂ ආන්ඩුවේ ප්‍රතිවාරය ද එයම විය.

ශිෂ්‍ය විරෝධතා අඛන්ඩව පැවතියදීම නිදහස් අධ්‍යාපනයේ කප්පාදුව හා පෞද්ගලීකරනය වඩාත් වේගයෙන් ඉදිරියට ගෙනයාම ශිෂ්‍යයන් මුහුන දෙන කටුක යථාර්තයයි.

අනුප්‍රාප්තික ආන්ඩුවලට මෙම කප්පාදුව ඉදිරියටම ගෙනයාමට හැකිව පවතින්නේ ශිෂ්‍යයන්ගේ සටන්කාමීත්වයේ අඩුවක් නිසා නොවේ. අඩුවකට ඇත්තේ ධනපති ප්‍රහාර පරාජය කලහැකි ඉදිරිදර්ශනයක් හා නායකත්වයක් නොමැති වීමයි.

සිසු විරෝධතාවල මුදුනට පැන සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබමය) ධනපති ආන්ඩුවලට පීඩනය යෙදීමෙන් අධ්‍යාපනය ඇතුලු සමාජ අයිතීන් ජය ගත හැකිය යන මාරාන්තික මිත්‍යාව වගා දිගා කරමින් විරෝධතා දේශපාලනය තුල සිසුන් කොටු කරමින් සිටී. අවිශිබමය සහ එය මෙහෙයවන ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප), ධනපති ආන්ඩු ඉඳහිට ලබා දෙන සීමිත සහනයන් කීපයක් සුවිසල් ජයග්‍රහන ලෙස හුවා දක්වමින් විරෝධතා දේශපාලනයේ ශක්‍යතාව කියාපායි.

සයිටම් වෛද්‍ය පීඨය වසා දැමීම “දැවැන්ත ජයග්‍රහනයක්” බවත්, එය වසා දමන ලෙස ගෙන ගිය අරගලයේ “ප්‍රතිඵලයක් ලෙස වයඹ හා සබරගමුව විශ්ව විද්‍යාලයන්හි වෛද්‍ය පීඨයන් ආරම්භ කෙරෙන බවත් අවිශිබම කියයි. සයිටම් වසා දැමීම මෙන්ම, රජයේ විශ්ව විද්‍යාලයන් හි දැනට පවත්නා වෛද්‍ය පීඨයන් බලගතු ඌනතාවයන්ගෙන් වෙලී පැවතියදී නව වෛද්‍ය පීඨයන් ඇටවීම ආන්ඩුවේ කප්පාදුවලට එරෙහිව සිසුන් ඇතුලු මහජනතාව අතර වැඩෙන වෛරය සමනය කිරීමට ගෙන ඇති උපාමාරු ය.

මුලදී ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) යටතේ සහ පසුව පෙසප යටතේ මෙහෙයවුනු අවිශිබමය මෙවන් උපාමාරු “ජයග්‍රහන” ලෙස ඔජවඩමින් සිටියදී, අනුප්‍රාප්තික ධනපති ආන්ඩු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධානයන් අනුයමින් අධ්‍යාපන කප්පාදුව ඉදිරියටම ගෙන ගියහ.

අවිශිබමය හා පෙසප, “බහු ජන බලවේග“ හා “සිසු-ජන බලය“ ආදි නම්වලින් ශිෂ්‍ය විරෝධතා තුල ගොඩ නගමින් යන අවස්ථාවාදී පෙරමුනු ශිෂ්‍යයන් ධනේශ්වර පද්ධතියට ගැටගැසන දේශපාලන මරඋගුල් ය.

“සටන් කරන බලවේග“ ලෙස අවිශිබමය හුවා දක්වන සංවිධානවල ප්‍රතිගාමී ස්වරූපය නවක සිසුන් හඳුනාගත යුතු ය. එම “බලවේග“ අතර ඉදිරියෙන්ම සිටින්නේ, පන්ති සටන් හුදකලා කොට පාවාදීමට හවුල් වූ වෘත්තීය සමිති හා ධනපති ආන්ඩු බලයට ගෙන ඒමටත්, ආන්ඩුවල ප්‍රහාර මහජනයා මත දිගේලි කිරීමටත් කරබදු වූ එක්සත් සමාජවාදී පක්ෂය (එසප), වමේ හඬ වැනි ව්‍යාජ වාම සංවිධානයි. ආන්ඩුවට වැඩි පීඩනයක් යෙදීම සඳහා ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ), ජාතික හෙල උරුමය හා සයිටම් ආරම්භ කිරීම සඳහා පූර්න පිටුබලය ලබාදුන් මහින්ද රාජපක්ෂ වටා රැලි වී සිටින වාසුදේව නානායක්කාර වැන්නවුන් ද මෙම බලවේගවලට අයත්වේ.

අවිශිබම සහ පෙසප ඇතුලු මෙවන් ව්‍යාපාරයන් හි අති මූලික ලක්ෂනය වනුයේ ප්‍රහාරයන්ගේ මූලය වන ධනපති ක්‍රමය පෙරලා දැමීමේ කාර්යයෙහි ලා කම්කරු පන්තිය සතු විප්ලවවාදී විභවය ප්‍රතික්ෂේප කිරීම සහ එහි දේශපාලන ස්වාධීනත්වය ට සෑම අතින්ම වල කැපීමයි.

පසුගිය වර්ෂයේ ඇමරිකාවේ ප්‍රාන්ත ගනනාවක දිගහැරුනු පාසල් ගුරුවරුන්ගේ වැටුප් අරගලය, මෝටර් රථ කම්කරු අරගලය, කප්පාදුවට හා අසමානතාවයට එරෙහිව ප්‍රන්සයේ පැන නැගී ඇති “කහ බැනියම්” ව්‍යාපාරය හා ලංකාවේ වතු කම්කරුවන්ගේ වැටුප් අරගලය ඇතුලු ලොව පුරා පලල් කම්කරු පන්තික සටන් මගින් පෙන්වා ඇත්තේ පන්ති අරගලයේ නව කාල පරිච්ඡේදයක ආරම්භයයි. ධනපති පන්තියේ අවශ්‍යතාවන්ට සේවය කරන වෘත්තීය සමිති ඇතුලු දක්ෂිනාංශික සංවිධානවල ග්‍රහනයෙන් මිදෙමින් දශක ගනනාවකට පසු ධනපති පන්තියේ අඛන්ඩ ප්‍රහාරවලට එරෙහිව කම්කරු පන්තිය යලි නැගිට සටන් කිරීම අරඹා තිබේ.

තම “ශිෂ්‍ය දේශපාලනය” ට නවක සිසුන් ඇද ගැනීම සඳහා අවිශිබම විසින් යොදා ගන්නා ප්‍රජාතන්ත්‍ර-විරෝධී තිරශ්චීන ක්‍රමවේදයක් වන “නවකවදය” සිසු මර්දනය සඳහා රාජ්‍යයට ලබා දෙන වරපත්‍රයකි.

අනෙක් අතට, අවිශිබමයේ “නවකවදයට” විරුද්ධත්වය ප්‍රකාශ කරමින් විශ්ව විද්‍යාල තුල ක්‍රියාත්මක වන “නවකවද-විරෝධී“ කන්ඩායම් ද ධනපති ක්‍රමයට එරෙහිව කම්කරු පන්තිය යටතේ සිසුන් සංවිධානය කිරීමට මුලුමනින්ම එරෙහිය.

ශිෂ්‍යයන් කම්කරු පන්තිය දෙසට හැරී, පුපුරා යන පන්ති සටන් ධනපති පන්තියේ සෑම කොටසකින්ම ස්වාධීන කොට ධනවාදය පෙරලා දැමීමේ දැනුවත් දේශපාලන අරගලයක් සූදානම් කිරීමේ ඓතිහාසික හා තීරනාත්මක කර්තව්‍යයට උර දිය යුතුයි.

සැමට ගුනාත්මක නිදහස් අධ්‍යාපනයක් ඇතුලු සමාජ අයිතීන් හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන් තහවුරු කල හැක්කේ ද අධිරාජ්‍යවාදී යුද්ධය කරා යන ධාවනය නතර කල හැක්කේ ද ධනපති ලාභ පද්ධතිය පෙරලා දමා මහා පරිමාන බැංකු, සමාගම් හා වතු කම්කරු පන්ති පාලනය යටතේ ජනසතු කොට දැවෙන මනුෂ්‍ය අවශ්‍යතා සඳහා නිෂ්පාදනය කෙරෙන සැලසුම්ගත සමාජවාදී ආර්ථික ක්‍රමයක් යටතේ පමනි.

ජාත්‍යන්තර සමාජවාදී විප්ලවයේ ඉදිරි දර්ශනයේ කොටසක් ලෙස ලංකාවේ කම්කරු-ගොවි ආන්ඩුවක් සඳහා සටන් වැදීම කම්කරුවන්, ශිෂ්‍යයන් ඇතුලු පීඩිත ජන කොටස්වලට ඇති එකම ප්‍රගතිශීලි විසඳුමයි.

කම්කරු පන්තියේ ලෝක පක්ෂය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ශ්‍රී ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) තරුන සහ ශිෂ්‍ය ව්‍යාපාරය වන සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) හිතන මතන ශිෂ්‍යයන්ට කැඳවුම් කර සිටින්නේ, මෙම වැඩපිලිවෙල ගැඹුරින් හදාරා ලෝක සමාජවාදය සඳහා අරගලයට උර දීමට අප හා එක් වෙමින් විශ්වවිද්‍යාල තුල සසජාතශි ශාඛා ගොඩනැගීමට පෙරට එන ලෙසයි.

මෙම අරගලය සඳහා න්‍යායික සහ දේශපාලනික දිශාවනතිය සම්පාදනය කරදෙන ලෝක සමාජවාදී වෙබ් අඩවිය නිතිපතා කියවන ලෙස අපි සියලු ශිෂ්‍ය-ශිෂ්‍යාවන්ගෙන් ඉල්ලා සිටිමු.

සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ

Share this article: