නව සම සමාජ නායකයා අධිරාජ්‍ය ගැත්තෙක් වන රනිල් වික්‍රමසිංහ ඒබ්‍රහම් ලින්කන්ට සම කරයි

විලානි පීරිස් විසිනි, 2019 ජනවාරි 09

නව සමසමාජ පක්ෂයේ (නසසප) නායක වික්‍රමබාහු කරුනාරත්න එක්සත් ජාතික පක්ෂයේ (එජාප) නායක අගමැති රනිල් වික්‍රමසිංහට ප්‍රජාතන්ත්‍රවාදයේ ආයිත්තම් පැලඳවීමටත් අගමැති ලෙස ඔහු යලි බලයට පත්කර ගැනීමට රැලි කෙරුනු දක්ෂිනාංශික ව්‍යාපාරය “ජනතා නැගිටීමක්” ලෙස පින්තාරු කිරීමටත් ඉදිරිපත්ව සිටි. දේශපාලන වංචනිකත්වයේ මුදුනටම නගින කරුනාරත්න එජාප නායකයා 19 වන සියවසේ ඇමරිකාවේ වහල්භාවයට එරෙහි සිවිල් යුද්ධය මෙහෙයවූ ඒබ්‍රහම් ලින්කන්ට සමානකර ඇත.

දෙසැම්බර් 22 දා ඩේලි නිවුස් පුවත්පතට ලියූ කොලමක කරුනාරත්න මෙසේ සඳහන් කරයි. “කලින් සතියේ සිදුවූ යෝධ මහජන නැගිටීම රනිල් [වික්‍රමසිංහ] සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් තුන්වන ලෝකයේ රටක සිදුවූ අද්විතීය සිද්ධියකි. එය වර්ගොත්තමවාදය සහ වර්ගවාදය නැති ජාතික එකමුතුවෙන් අද්විතීය විය.”

කරුනාරත්න මෙලෙස ලියන්නේ දෙසැම්බර් 17 දා එජාපය ගෝල් ෆේස් පිටියේ පැවැත්වූ රැලිය ගැනයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එක් පැත්තකට ද වික්‍රමසිංහ අනෙක් පැත්තට ද දෙපිල බෙදී පාලක පන්තියේ ප්‍රමුඛ කන්ඩායම් දෙකක් අතර සිදු කෙරුනු කාකොටා ගැනීම් මධ්‍යයේ මේ රැස්වීම පැවැත්වූයේ ශ්‍රේෂ්ඨාධිකරන තීන්දුවකින් පසු වික්‍රමසිංහ අගමැති ලෙස යලි දිවුරුම් දුන් දිනයේය. මෙම කාකොටා ගැනීම විවෘතව පිපිරී ඉස්මත්තට ගියේ ඔක්තෝබර් 26 දා වික්‍රමසිංහ අගමැතිකමෙන් නෙරපූ සිරිසේන හිටපු ජනාධිපති රාජපක්ෂ එතනට පත්කර, ඔහුට පාර්ලිමේන්තුවේ වැඩි මන්ත්‍රී බලයක් අත්කර ගැනීමට නොහැකි වූ පසු පාර්ලිමේන්තුව ද විසුරුවා හැරීමෙනි. ඇමරිකාවේ බලපෑමත්, දිග්ගැස්සෙන පාලන අර්බුදය නිසා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ කුනුවීම මහජනයාගේ ඇස් ඉදිරිපිට ප්‍රදර්ශනය වීම ගැන භීතියත් මධ්‍යයේ ශ්‍රේෂ්ඨාධිකරනය සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථා විරෝධී බව ප්‍රකාශ කලේය.

කරුනාරත්න “මහජන නැගිටීමක් ලෙස පින්තාරු කරන්නේ, එජාප නායකයන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ජනයා එකතු කර බස්වල පටවාගෙනවුත් සිය පක්ෂය හා වික්‍රමසිංහ ප්‍රමුඛ දක්ෂිනාංශික ව්‍යාපාරය පිම්බීමට තැබූ රැලියයි. දහස් ගනනක් ජනයා ගෝල් ෆේස් පිටියට කැඳවා ගැනීමට අපකීර්තිමත් එජාපයට හැකිවූයේ නසසප බඳු ව්‍යාජ වම්මුන්, වෘත්තීය සමිති හා ඊනියා-සිවිල් සංවිධාන මහජනයා නොමග යැවීම සඳහා සිරිසේනගේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී ක්‍රියාවලට ඇඟිල්ල දික්කොට වික්‍රමසිංහ ප්‍රජාතන්ත්‍රවාදයේ මුර දේවතාවෙකු ලෙස හුවා දක්වමින් ගෙනගිය ප්‍රචාරයේ ද උදව්වෙනි.

එජාප රැස්වීම කරුනාරත්න පින්තාරු කරන්නාක් මෙන් “මහජන නැගිටීමක්” නොව ධනපති පාලනයට එරෙහිව මහජන නැගිටීමක් ඇතිවීම පීලිපැන්වීමට දෙපිල බෙදුනු පාලක පන්තියේ කන්ඩායම් ගෙන ගිය ව්‍යාපාරයේ කොටසකි. දෙපාර්ශවය අතර කාකොටා ගැනීමට තුඩු දුන්නේ කම්කරු පන්තියේ, දුගීන්ගේ හා තරුනයන්ගේ අරගල නැගී එමින් බරපතල සමාජ පිපිරීමක් සූදානම් වන තතු තුලය.

වැඩුන විරසක කම් තිබියදී, සිරිසේන 2015 ජනවාරි බලයට ආ තැන් පටන් වික්‍රමසිංහ අගමැති ලෙස තබාගෙන එකට පාලනය ගෙන ගියහ. සිරිසේන පසුව සඳහන් කල පරිදි, පසුගිය පෙබරවාරි පලාත්පාලන චන්දයේදී සිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) හා එජාපය බරපතල පරාජයන්ට ලක්වීමෙන් ආන්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කිරීම ප්‍රදර්ශනය වූ තත්වය තුල වික්‍රමසිංහ සමග එකට පාලනය කිරීම තව දුරටත් කල නොහැකි බවට ඔහු තීන්දු කලේය. රාජපක්ෂගේ ශ්‍රී ලංකා පොදුජන පක්ෂය එම චන්දයේදී වැඩි ආයතන ගනනක් දිනුවේය. රාජපක්ෂගේ පක්ෂය දිනුවේ මහජනයාගෙන් විශාල කොටසක් ආන්ඩුවට විරුද්ධත්වය පල කිරීම සඳහා ඊට චන්දය දීම නිසාය.

මේ දෙපාර්ශ්වය අතර පවතින උපායාත්මක වෙනස්කම නම් කම්කරුවන් ප්‍රමුඛ මහජනයා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙලට දක්වන ප්‍රතිරෝධය තලා දැමීමට කෙලෙස ක්‍රියා කල යුත්තේද යන්න ය. ආන්ඩුව අපකීර්තියට පත්ව ඇති තත්වය තුල ඉන් දුරස්තවී තමන්ගේ සතුරා ලෙස සැලකුනු රාජපක්ෂ සමග පෙලගැසී අධිපතිවාදී පාලනයක් තහවුරු කර ගැනීම යෝග්‍ය බව සිරිසේනගේ ගනන් බැලීමයි.

ධනපති පන්තියේ මේ පිල් දෙකෙන් එකක් නියෝජනය කරන වික්‍රමසිංහ එසේ මෙසේ අයෙකු නොව ඒබ්‍රහම් ලින්කන්ටත් එහා ගිය ප්‍රජාතන්ත්‍රවාදියෙකු ලෙස කරුනාරත්න ඓතිහාසිකව විකෘත සාම්‍යයක් ඉදිරිපත් කරයි. නසප නායකයා මෙසේ කියයි: “වර්ගෝත්තමවාදී සුදු ඇමරිකානුවන් විසින් ඒබ්‍රහම් ලින්කන් අභියෝගයට ලක්කෙරුනාවූ ඇමරිකාවේ සිවිල් යුද්ධයට යම් ආකාරයකින් සමාන තත්වයක අපි සිටිමු.”

මෙම ව්‍යාජ වමා වික්‍රමසිංහ ලින්කන්ට සමාන කිරීමට ඔවුන් දෙදෙනාගේ ජීවදත්ත සැසඳීමකට ද යයි: ලින්කන් මෙන්ම වික්‍රමසිංහ ද නීතිඥයෙකි. විග් පක්ෂයෙන් දේශපාලනය පටන්ගත් ලින්කන් වහල් ක්‍රමය අහෝසි කිරීම දක්වාම ඉදිරියට ගියේය. කරුනාරත්නට අනුව වික්‍රමසිංහ ලින්කන් පවා පරයා යන බලගතු තැනක සිටියි. මන්ද යත් ඔහු පුවත්පත් අධිපතියෙකුගේ පුතෙකු ද වන නිසාය.

කරුනාරත්න වික්‍රමසිංහගේ පිට පිරිමදිමින් මෙසේ කියයි: “ඔබට [දැන්] නිදහසට මොනම හේතුවක් වත් නැත. ඔබ පෙරට ගොස් ප්‍රගතිය සඳහා රට එක්සත් කල යුතුය.”

නසසප නායකයා එජාප නායකයාට ප්‍රජාතන්ත්‍රවාදයේ පිරුවට අන්දන්නේ ඔහුගේ හා පක්ෂයේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී ලේ වැකි ඉතිහාසය වහංගු කරමිනි. එජාප ආන්ඩුව 1948 ඊනියා නිදහස සමග ලක්ෂ ගනනක් වතු කම්කරුවන්ගේ පුරවැසි අයිතිය අහෝසි කරන පනත සම්මත කලේ කම්කරු පන්තිය වාර්ගිකව බෙදා ධනපති පන්ති පාලනය ආරක්ෂා කිරීම සඳහා ය. එතැන් පටන් ගතවූ දශක තුල එජාපය හා ශ්‍රීලනිපය හරිහරියට දුෂ්ට දෙමල විරෝධී වර්ගවාදය ඇවිස්සුවේ, 1983 දී තිස් අවුරුදු යුද්ධය අවුලුවා රට විනාශ මුඛයට ඇද දමමිනි.

වික්‍රමසිංහ සම්බන්ධයෙන් ගත්කල ඔහු 1977 පිහිටුවූ ජයවර්ධනගේ දක්ෂිනාංශික ආන්ඩුවේ ඇමතියෙක් ලෙස යුද්ධයට ද විනාශකාරී වෙලඳපොල ආර්ථික ප්‍රතිපත්ති ඇරඹීමට ද කරඋර දුන්නෙකි. 2001 දෙසැම්බරයේදී ඔහු අගමැතිකමට පත්වූයේ ඇමරිකාවේ ජනාධිපති ජෝර්ජ් බුෂ්ගේ ඊනියා “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයට” සහයෝගය දෙමින්, ඊට අනුගතවූ බෙදුම්වාදී එල්ටීටීඊය සමග දකුනු කොරියාව, තායිවානය හා සිංගප්පුරව යන රටවල මෙන් “ව්‍යාඝ්‍ර ආර්ථිකයක්” ගොඩ නැගීමට පිඹුරුපත් ඇතිවය. ඔහු ඇමරිකාව ප්‍රමුඛ රටවල ආශීර්වාදය ලත් ඊනියා සාම ක්‍රියාවලිය ඇරඹුවේ කම්කරු විරෝධී ප්‍රතිපත්ති සඳහා එල්ටීටීඊය ඇතුලු දෙමල ධනපති සංවිධානවල සහයෝගය ලබා ගැනීමටය. නසසපය හා එක්සත් සමාජවාදී පක්ෂය එතැන් පටන් වික්‍රමසිංහගේ සමීපතම සගයන් බවට පත්විය.

2015 දී රාජපක්ෂ ඉවත්කර සිරිසේන බලයට ගෙන ඒමට වික්‍රමසිංහ හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග සමග එක්ව වොෂින්ටනය පසුබිමේ සිට ක්‍රියාවට දැමූ තන්ත්‍ර මාරුවට හවුල්වුයේය. රාජපක්ෂ යලි ඇරඹු යුද්ධයට හා ඔහුගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයට සහයෝගය දුන් ඇමරිකාව රාජපක්ෂ පාලනයට විරුද්ධවුයේ එය වඩාත් චීනය සමග සමීප සබදතා ඇතිකර ගැනීම නිසාය. වොෂින්ටනයට අවශ්‍යවූයේ ලංකාව චීනයට එරෙහි මිලිටරි හා රාජ්‍ය තාන්ත්‍රික ප්‍රහාරයේ ජාලයට එකතුකර ගැනීමයි. කරුනාරත්න අවශේෂ ව්‍යාජ වාම කන්ඩායම් සමග මෙම අධිරාජ්‍යවාදී යුද ව්‍යායාමය සමග පෙල ගැසුනේය.

පසුගිය අවුරුදු හතරේ සිරිසේනගේ හා වික්‍රමසිංහගේ ප්‍රමුඛ කාර්ය වූයේ වොෂින්ටනයේ භූදේශපාලන උවමනාකම් ඉටුකර ගැනීමට ගොඩනගන මිලිටරි ජාලය සමග ලංකාව ගැටගැසීමයි. වික්‍රමසිංහ අගමැති කමෙන් නෙරපූ විට ඇමරිකාව ප්‍රමුඛ බලයන් ඔහු තනතුරේ යලි පිහිටුවන තුරු බලපෑම් කලේය. රාජපක්ෂ තමන් ද මෙම බලයන්ට අවනත බව පෙන්වීමට සිය නියෝජිතයන් තානපතියන් වෙත බඩ ගාවන ලද නමුත් ඔවුන් කැමැත්ත දැක්වූයේ වික්‍රමසිංහට ය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදු වැඩසටහන ක්‍රියාවට දැමීමට ද ඊට එරෙහිව පැනනැගුනු අරගල පොලිසිය හා මිලිටරිය උසිගන්වමින් මැඩීමට ද සිරිසේන හා වික්‍රමසිංහ ගිය අවුරුදු හතරේ නොපැකිල ක්‍රියා කලහ. මොවුන් දෙදෙනා දෙමල ජනයා මත කොලඹ වර්ගවාදී මිලිටරි පීඩක පාලනය පවත්වා ගැනීම සඳහා උතුරු-නැගෙනහිර පලාත්වල හමුදා වාඩිලා ගැනීම අඛන්ඩව ගෙනයති.

මේ එජාප නායකයාගේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී වාර්තාවෙන් කොටසකි. හිතනමතන කම්කරුවන්ගේ, තරුනයන්ගේ හා බුද්ධිමතුන්ගේ බුද්ධියට නිගා කරමින් කරුනරත්න වික්‍රමසිංහට සුදු පිරුවට අන්දයි.

ලින්කන් ඉතිහාස ගතවන්නේ ඇමරිකාවේ වහල්භාවය අහෝසිකිරීම සඳහා 1861-1865 සිවිල් යුද්ධයට නායකත්වයදීම නිසාය. 1854 වහල් භාවය ඇමරිකාවේ බටහිර ප්‍රාන්තවලට පැතිරවීමේ පනතට විරුද්ධවීමේ පටන් දේශපාලන පොරපිටියේ මුලිකත්වය ගැනීම ඇරඹු ලින්කන් 1861 ජනාධිපති වූ තැන පටන් එය අහෝසි කිරීමේ සටනට අවසානය දක්වා නායකත්වය දුන්නේය. සටන අවසාන සමයේ, වහල් හිමියන්ට එරෙහි යුද්ධයෙන් මියගිය 750,000ක් දෙනා සිහිපත් කරමින් 1863 ගැටිස්බර්ග්හි ඔහු කල කෙටි ඓතිහාසික කතාව අවසන් කෙරුනේ මෙසේය:

“ලෝකය අප දැන් මෙහි කියනදේ, එතරම් සැලකිල්ලට ගනු හෝ දිගු කලක් මතක තබා ගනු හෝ නැත. එනමුදු මොවුන් ඉෂ්ට කල කර්තව්‍යය ලෝකයට කවර කලෙකවත් අමතක කල නොහැකිය. මෙතැන සටන් කලවුන් විසින් මේතාක් දුරට මෙතරම් උතුම් ලෙස ඉදිරියට ගෙන ගියා වූ ද එහෙත් සම්පුර්න කරගත නොහකිවූ ද කර්තව්‍යයට කැප වී ගැනීම සැබවින්ම භාර වී තිබෙන්නේ ජිවත්ව සිටින අපට ය.

“මේ ගෞරවනීයව මියදුනවුන්ගෙන් අප උකහාගන්නේ ඔවුන් සිය කැපකිරීම අවසානය දක්වාම සිදුකලාවූ එම පරම කාර්යයට දිවිපිදුවේ නිරර්ථකව නොවන බවය. අප මෙතැනදී මෙලෙස දෘඪව අධිෂ්ඨාන කර ගනිමු. ඒ දෙවියන් යටතේ පවත්නා මෙම ජාතිය නිදහසේ නව උත්පත්තියක් ලබනු බවද ජනතාව විසින්, ජනතාව සඳහා කැරෙන ජනතාවගේ පාලනය මේ මිහිපිටින් මියනොයන බවද සහතික කිරීමටය.”

නිදහස සහ සමානතාව පිලිබඳ අති මූලික සංකල්ප ලින්කන් ඉදිරිපත් කලේ එසේය. පසු සමයේ ඇමරිකාව ලෝකයේ ප්‍රමුඛතම අධිරාජවාදී බලය බවට ද භු-දේශපාලන ආධිපත්‍ය පතුරවන ප්‍රතිගාමිත්වයක් බවට ද පර්වතනය වී ඇතත් වහල්භාවය අහෝසි කල මෙම විප්ලවවාදී යුද්ධයේ ද ලින්කන්ගේ ද ප්‍රගතිශීලී වැදගත්කම අහෝසි නොවේ.

1865 දී ජනාධිපති ලෙස ලින්කන් යලිත් බලයට පත්වූ අවස්ථාවේ කාල්මාක්ස් ඔහුට සුභපතමින් මෙසේ ලීවේය: “ස්වාධීනත්වය සඳහා ඇමරිකානු යුද්ධය මධ්‍යම පන්තියේ නැගීමේ නව කාල පරිච්චේදයක් ඇරඹුවේ යම්සේ ද ඇමරිකාවේ වහල්-විරෝධී යුද්ධය කම්කරු පන්තීන් සම්බන්ධයෙන් ද නව කාල පරිච්චේදයක් උදා කරනු ඇතැයි යුරෝපයේ වැඩකරන ජනතාව සහතිකෙන්ම හඟිනු ඇත.”

ධනපති පන්තියේ එක් කල්ලියක් පරයා තමන් අතට හෙලෙත්තාඩු බලයක් ලබා ගැනීමට හැකිවීම ගැන උදම්වී වික්‍රමසිංහ ගෝල්ෆේස් රැස්වීමේ දී කල කතාව ලින්කන්ගේ ගැටිස්බර්ග් කතාව අසලින් තබන කරුනාරත්න එය “ලංකාවේ කල්පසුවූ ධනපති ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය සම්බන්ධයෙන් තීරනාත්මක ය” යි කියයි.

වික්‍රමසිංහගේ ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය නම්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩපිලිවෙල පෙරට ගෙනයාම, ඇමරිකානු අධිරාජ්‍යවාදීන් චීනයට එරහිව ශක්තිමත් කරන මිලිටරි ජාලය සමග සම්බන්ධතා තහවුරු කර ගැනීම හා කම්කරු පන්තිය භේද කිරීමට සිංහල ස්වෝත්තමවාදයට හා බෞද්ධ අධිපතිවාදයට ඔටුනු දමා ධනපති පාලනය ගෙනයාමයි!

කරුනාරත්න 2015 සිරිසේන බලයට ගෙන ඒම නරුම ලෙස හැඳින්වුයේ “ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයක්” ලෙස ය. ඇත්ත වසයෙන් නම් එය රාජපක්ෂ පාලනයට පමනක් නොව ධනාපති පන්ති පාලනයට එරෙහිව නැගී ආ කම්කරුවන්ගේ හා දුගීන්ගේ අරගලය පීලිපැන්වීමකි. මහ ජනයාට ලැබුනේ සමාජ හා ජිවන අයිතීන් කප්පාදුව, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මැඩීම හා අන් සියල්ලටමත් වඩා භයානකවන ඇමරිකානු යුද සැලසුම්වලට රට ඒකාග්‍ර කිරීමයි.

කරුනාරත්න අද “ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයක්” ගැන කතා කරන විට එහි විසකුරු අර්ථය කම්කරුවන්ගේ හා තරුනයන්ගේ අවධානයට ලක්විය යුතුය. ජාත්‍යන්තර කම්කරු පන්තියේ අරගල පුනර්ජීවනය සමග සමපාතවෙමින් ලංකාව තුල ද අරගල වර්ධනය වෙමින් පවතී. ජාත්‍යන්තරව මෙන්ම ලංකාව තුල ද පාලක පන්තියේ කොටස් මෙම අරගල තලා දැමීම සඳහා පොලිස් රාජ්‍යයක් ඇටවීමට මාන බලති. සිරිසේන-රාජපක්ෂ කල්ලියේ මෙන්ම වික්‍රමසිංහ කල්ලියේද සැලසුම් ඒ දෙසටය.

වික්‍රමසිංහ ඒ සඳහා කැපවුනු ප්‍රතිගාමී ව්‍යාපාරයක් තැනීමට ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුන නමින් විවිධ මධ්‍යම පන්තික කල්ලි ද එකතු කරගත් සංවිධානයක් ඇටවීම අරඹා ඇත. නසසපය ද ඊට ඇතුලත් ය. කරුනාරත්නගේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන පච දෙඩවිලි එම අධිරාජ්‍ය ගැති දක්ෂිනාංශික ව්‍යාපාරය තර කිරීමට වික්‍රමසිංහ සමග පෙල ගැසීමේ කොටසකි.

Share this article: