පාස්කු ප්‍රහාරයෙන් පසු අහිංසක මුස්ලිම් ජනයා ඉවබව නැතිව අත්අඩංගුවට ගැනුනු බව සනාථ වෙයි

සකුන ජයවර්ධන විසිනි, 2019 ජූලි 1

“ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත” යටතේ අත් අඩංගුවට ගත් “අහිංසක” යැයි හඳුනාගත් පුද්ගලයින් වහාම නිදහස් කරන ලෙස පසුගියදා පැවති ජාතික ආරක්ෂක කවුන්සිල රැස්වීමේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කලේය.

ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය කලේ, ආන්ඩුවේ ද අනුග්‍රහයෙන් මුදාහැර ඇති මුස්ලිම්-විරෝධී ප්‍රචන්ඩත්වයට එරෙහිව වැඩෙන මහජන විරෝධය යටපත් කිරීමේ අරමුනෙන් වුවද, ඉන් ප්‍රකාශයට පත්වන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු දහස් සංඛ්‍යාත අහිංසක මුස්ලිම් ජනයා ඉවබව නැතිව අත්අඩංගුවට ගෙන රඳවා සිටි බවයි.

“පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධකම් තිබුනු බවට” අත් අඩංගුවට ගත් පුද්ගලයින් 2,289 අතරින් 1,820 ක් මුස්ලිම් වාර්ගිකයන් බවත් ඉන් 1,665 ක් නිදහස් කොට ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුනසේකර පසුගිය දා ප්‍රකාශ කලේය. ගුනසේකරට අනුව, ඉතිරි 634 දෙනා රිමාන්ඞ් භාරයේ සහ පොලිස් රැඳවුම් භාරයේ සිටින අතර රිමාන්ඞ් භාරයේ සිටින 423 අතරින් 358 ක් මුස්ලිම් වාර්ගිකයන් ය.

ජේඩීඑස්ලංකා වෙබ් අඩවියට අනුව මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකොට ඇත්තේ, අපරාධ පරීක්ෂන දෙපාර්තුමේන්තුවේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය, පොලිස් විශේෂ කාර්ය බලකාය, ගුවන් හමුදාව, ජාතික බුද්ධි තොරතුරු කාර්යාංශය හා ප්‍රාදේශීය පොලීසි මගිනි.

එම වෙබ් අඩවිය වාර්තා කරන්නේ පල්ලෙකැලේ දුම්බර, කෑගල්ල ඇතුලු බන්ධනාගාර බොහොමයක මුස්ලිම් වාර්ගිකයින් විශාල පිරිසක් රඳවා ගෙන ඇති බවයි. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ මැයි 27 වනදා සිරිසේන නිකුත් කල ගැසට් නිවේදනයකින් වැලිසර ගැමුනු නාවික හමුදා කඳවුර රැඳවුම් මධ්‍යස්ථානයක් වශයෙන් නම් කල අතර එහිද මින් කොටසක් රඳවා තිබේ.

ආරක්ෂක ඇමතිවරයා වශයෙන්, මෙම ප්‍රජාතන්ත්‍ර-විරෝධී මෙහෙයුම් වලට සිරිසේන සෘජුවම වගකිව යුතු ය. මුස්ලිම්-විරෝධී උද්ඝෝෂනයේ ඉස්මත්තෙහිම සිටින ඔහු මුස්ලිම් කාන්තාවන් පලඳින නිකාබය හා බුර්කාව තහනම් කිරීමට පවා පියවර ගත්තේය.

ත්‍රස්ත ප්‍රහාරය ක්ෂනිකව ඩැහැ ගනිමින් හදිසි නීතිය බල ගන්වා, චෝදනා නොමැතිව පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සහ වරෙන්තුවකින් තොරව සෝදිසි කිරීම ආදී විසකුරු බලතල පොලීසියට හා මිලිටරියට පවරා දුන්නේ සිරිසේන ප්‍රමුඛ ආන්ඩුවයි. එයට මහින්ද රාජපක්ෂගේ පොදුජන පෙරමුන සහ ජනතා විමුක්ති පෙරමුන ඇතුල ධනපති සංස්ථාපිතයේ සියලු පක්ෂ පූර්න සහාය ලබාදුන්හ.

අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන් තුනෙන් දෙකකට ආසන්න පිරිසක් චෝදනා නොමැතිව නිදහස් කිරීමෙන් පැහැදිලි වන්නේ මෙම ඉවබව නොමැති අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත්තේ කවර හෝ පූර්ව විිමර්ශනයකින් තොරව බවයි.

තිස් අවුරුදු වර්ගවාදී යුද්ධය සමයේ මෙම විෂ ඝෝර නීතිම යොදාගෙන අත්තනෝමතික අත් අඩංගුවට ගැනීම්, නඩු නොඅසා දිගුකල් රඳවා තබා ගැනීම් සහ උසාවිවල දී යොදා ගත හැකි වන පාපොච්චාරන ලබා ගැනීම සඳහා වධබන්ධනයන්ට ලක් කිරීමේ කුරිරු ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවර යොදාගැනීමේ කුප්‍රකට ඉතිහාසයකට ලංකාවේ රාජ්‍යය සහ මිලිටරිය හිමිකම් කියයි. වර්ගවාදී යුද්ධය සමයේදී අත්අඩංගුවට ගත් දෙමල දේශපාලන සිරකරුවන් මෙතෙකුදු චෝදනා නොමැතිව සහ නඩු සම්පූර්න නොකොට බන්ධනාගාරවල රඳවා සිටිති.

අප්‍රේල් 21 බෝම්බ ප්‍රහාරයෙන් පසු මුස්ලිම් ජනයාට එරෙහිව ගෙනගිය ප්‍රචන්ඩ උද්ඝෝෂනය තුල සිදුකරන ලද මෙම අත් අඩංගුවට ගැනීම් අතරින් වෛද්‍ය ශියබ්දින් සාෆි සම්බන්ධ සිදුවීම වඩාත් අවධානයට ලක් වියයුතු කරුනකි. මැයි 24 වනදා ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහුගේ වත්කම් මාර්ග පිලිබඳව වැඩි දුර පරීක්ෂා කිරීමට බව පවසමිනි. නමුත් දැන් ඔහු රඳවාගෙන සිටිනුයේ ත්‍රස්තවාදය වැලැක්වීමේ නීතිය යටතේ ය.

මෙම වෛද්‍යවරයා “සිසේරියන්” සැත්කම් කරන අතරතුර සිංහල කාන්තාවන් වන්ධ්‍යකරනයට භාජනය කර ඇති බවට ව්‍යාජ චෝදනා එල්ල කරමින් මාධ්‍ය සහ දේශපාලන සංස්ථාපිතය මුස්ලිම් විරෝධී උද්ඝෝෂනය වඩාත් ඉහල තලයකට නැංවීය. කෙසේ නමුත් ජූනි 27 වනදා පොලිස් අපරාධ විමර්ශන ඒකකය කුරුනෑගල මහේස්ත්‍රාත් අධිකරනයට දැනුම් දී ඇත්තේ, අයුතු ලෙස මුදල් රැස් කිරීම සහ වන්ධ්‍යකරනය සම්බන්ධයෙන් සාෆිට එල්ල කර ඇති චෝදනා කිසිවක් ඔප්පු කිරීමට සාක්ෂි නොමැති බවයි.

ආන්ඩුව ඇතුලු සමස්ත දේශපාලන සංස්ථාපිතයම අප්‍රේල් 21 වනදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු දැන සිටි අතර ඔවුහු එය සිදුවීමට දැනුවත්ව ඉඩ හලහ. ආන්ඩුව “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය” සහ “ජාතික ආරක්ෂාව” යන කඩතුරාවන් යටතේ සංස්ථාපිතයේ සියලුම පක්ෂ වල සහයෝගයෙන් වහාම හදිසි නීති රෙගුලාසි සම්මත කර පොලිස් රාජ්‍යයක් දෙසට වන පියවර ක්‍රියාවට දමන ලදී.

“ත්‍රස්තවාදීන්” සහ “ත්‍රස්තවාදී ප්‍රහාරය” සම්බන්ධයෙන් මුස්ලිම් සමාජය වගකිවයුතු යැයි පවසමින් ආන්ඩුව සහ සංස්ථාපිතයේ අනෙකුත් පක්ෂ අවුලුවා ලූ විසකුරු මුස්ලිම් විරෝධය මධ්‍යයේ දහස් ගනන් මුස්ලිම් ජනයා අත් අඩංගුවට ගැනුනි. සිංහල බෞද්ධ වර්ගවාදී නඩ වල ප්‍රචන්ඩ ක්‍රියා හේතුවෙන් මීගමුවේ නවාතැන් ගෙන සිටි මුස්ලිම් සරනාගතයින් පිරිසකට නිවාස වලින් පලා යාමට සිදු විය.

මැයි 13 වනදා වර්ගවාදී නඩ විසින් කුරුනෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය, හෙට්ටිපොල ආදී ප්‍රදේශ වල මුස්ලිම් ජනතාවට අයත් ව්‍යාපාරික ස්ථානවලටත් ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ හා යාබද මුස්ලිම් ගම්මාන වලටත් වැද පහර දුන්හ.

මුස්ලිම් වෙලඳ ස්ථාන වර්ජනය කරන ලෙස සිංහල බෞද්ධ වර්ගවාදීන් විසින් දිගු කලක් තිස්සේ ගෙන යන උද්ඝෝෂනය නව වටයකින් ඉහල නැංවුනි. මෙම තතු තුල වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපති කේ.වී. සුසන්ත පෙරේරා ජූනි 24 වන දින “සාමකාමී වාතාවරනය ආරක්ෂා කිරීමට” යැයි කියමින් “මුස්ලිම් වෙලඳ ප්‍රජාවට තාවකාලිකව දංකොටුව සතිපොල භූමියේ වෙලඳාම් කටයුතු තහනම් කිරීමට” පියවර ගන්නා ලෙස දංකොටුව පොලිස් ස්ථානාධිපතිට ලිපියක් යවා ඇත.

මෙම මුස්ලිම්-විරෝධී කෙනහිලිකම් වලින් වඩාත් කැපී පෙනෙන සිද්ධියක් වනුයේ, අත්අඩංගුවට ගැනුනු මුස්ලිම් වාර්ගිකයන් වෙනුවෙන් අධිකරනයේ පෙනීසිටීම සිංහල නීතීඥයන්ගේ බහුතරය විසින් වර්ජනය කිරීමයි.

කෙසේ නමුත්, මැයි 13 වන දා මුස්ලිම් ජනයාට එරෙහි ප්‍රචන්ඩ ක්‍රියාවන් හි යෙදුනු බවට සැකපිට අත්අඩංගුවට ගත් සිංහල වාර්ගිකයන් සම්බන්ධයෙන් සිංහල නිීතීඥයන්ගේ භාවිතය මෙයට ඉඳුරාම වෙනස් විය. ඔවුනට ඇප ලබා නොදෙන ලෙස නිකවැරටිය අධිකරනයේදී පොලීසිය ඉල්ලා සිටිවිිට එහි සිටි නීතීඥයන් එයට බලගතු ලෙස විරුද්ධ වී ඇත.

මෙම ප්‍රජාතන්ත්‍ර-විරෝධී සහ අචාරධර්ම-විරෝධී ක්‍රියාවන් විවේචනය කරමින් ශ්‍රී ලංකාවේ මානව හිමිකමි කොමිසමේ සභාපතිනිය වන දීපිකා උඩගම විසින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ලිපියක් ද යවා ඇත.

උඩගම මෙසේ ලියයි: “එවන් අසමාන ලෙස සැලකීමක් මගින් ශ්‍රී ලංකා ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ එන නීතියෙන් සමාන ආරක්ෂාවක් භුක්ති විඳීමේ හැකියාව අපගේ සමහර පුරවැසියන්ට අහිමි කෙරෙන බව ඔබ පිලිගන්නවා ඇති.”

ඇය මෙසේද ලියයි: “මෙය අපගේ නීතිඥ වෘත්තියේ හරයාත්මක වටිනාකම් ප්‍රශ්න කෙරෙන බැරෑරුම් අවස්ථාවකි.”

“ජාතික ආරක්ෂාවේ” නාමයෙන් ආන්ඩුව පොලිස් රාජ්‍යයක් දෙසට ගත් පියවරයන්හි සහ මුස්ලිම්-විරෝධී උද්ඝෝෂනයේ සැබෑ අරමුන වනුයේ, ජාත්‍යන්තර පරිමානව වැඩෙන පන්ති අරගල මාලාවේ කොටසක් ලෙස, ආන්ඩුවේ ප්‍රහාරයන්ට එරෙහිව ලංකාව තුල වැඩෙමින් පවත්නා පන්ති අරගල මාලාව තලා දැමීම සහ කම්කරු පන්තිය වාර්ගික රේඛා ඔස්සේ බෙදා ඔවුනගේ පන්ති ශක්තිය දුර්වල කිරීම යි.

Share this article: