අගමැති වික්‍රමසිංහ රුදුරු ප්‍රති-ත්‍රස්තවාදී පනත වහාම සම්මත කරදෙන ලෙස ඉල්ලයි

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2019 මැයි 4

අගමැති රනිල් වික්‍රමසිංහ පසුගිය ඉරිදා කල විශේෂ ප්‍රකාශයක දී ප්‍රති-ත්‍රස්තවාදී පනත වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ”ත්‍රස්තවාදය” පරාජය කිරීම සඳහා කඩිනමින් එය බලාත්මක කල යුතු බව අවධාරනය කලේ ය. “ත්‍රස්තවාදය” මර්දනය කිරීමේ දී රට තුල දැනට පවතින නීතියේ තිබෙන “හිදැස්” පිරවීම පිනිස ප්‍රති-ත්‍රස්තවාදී පනත් කෙටුම්පතට කරුනු ඇතුලත් කර ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

ප්‍රති-ත්‍රස්තවාදී පනත කෙටුම්පත් කෙරුනේ 2018 වසරේ දී වුවත් තවමත් එය සම්මත කිරීම ප්‍රමාදවීම ගැන වික්‍රමසිංහ කනස්සල්ල පලකලේය. ඔහු පිටපොට ගසන්නේ අප්‍රේල් 21 දා ත්‍රස්තවාදී බෝම්බ

ප්‍රහාරයෙන් සිදුවූ ඛේදවාචකය සහ කම්පනය පාවිච්චිකරගෙන පනත වහා සම්මත කර එහි මර්දන නීති ක්‍රියාවට දමා ගැනීමටයි.

පනතේ නීති සම්මත කර නොතිබූ නිසා මේ පුද්ගලයන් නීතියේ රැහැනට අල්ලා ගැනීමට නොහැකි වූබව කියා ඇති ඔහූ “මේ අවස්ථාව නැති කර ගන්නට අපට නොහැකිය” යි සඳහන් කරයි. පනත සම්මත කිරීම ප්‍රමාද කෙරුනේ ඊට එරෙහිව පලල් මහජන විරෝධයක් පැතිරෙමින් තිබූ නිසාය. ප්‍රති-ත්‍රස්ත පනත, ජාත්‍යන්තරව “ත්‍රස්තවාදය” මර්දනය කිරීමේ නමින් නව නීති සම්මත කිරීමේ කොටසකි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ වික්‍රමසිංහගේ ආන්ඩුව ත්‍රස්තවාදී ප්‍රහාරයට පසු දිනම හදිසි නීතිය ප්‍රකාශයට පත්කර විසකුරු බලතල පොලීසියට හා හමුදාවලට ලබාදී මර්දනය මුදා හැර ඇත. ඉන් එහා ගොස් පොලිස් රාජ්‍ය පියවර තවත් ශක්තිමත් කිරීමට සිරිසේන සහ වික්‍රමසිංහ මානබලයි.

හදිසි නීතිය ක්‍රියාවට දමා ඇතත් එය ප්‍රමානවත් නොවන බව කීි අගමැති 1979 ක්‍රියාවට දැමුනු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (පීටීඒ) ලංකාවට බලපාන පරිදි සකස් කර පසුව ලංකාවෙන් ඉන්දියාවට පලා ගොස් කඳවුරුවලට කොටුවූ පුද්ගලයන්ට ද බලපාන පරිදි වෙනස් කලත් දැන් එය ප්‍රමානවත් නොවන බව කිවේය. එහෙත්, ප්‍රති-ත්‍රස්ත පනත යටතේ ලංකාවේ හෝ විදේශ රාජ්‍යයක අවශ්‍යතාවන්ට විරුද්ධව ක්‍රියාකරන පුද්ගලයන්ට එරෙහිව ක්‍රියා කල හැකි බව ඔහු සඳහන් කලේය.

පනතේ 3 වන වගන්තියෙන් කියවෙන පරිදි, ජනගහනයක් බිය ගැන්වීමේ අරමුනින් යුතුව; යම් ක්‍රියාවක් සිදු කිරීම හෝ සිදු කිරීම වැලැක්වීමට ශ්‍රී ලංකා ආන්ඩුව හෝ වෙනත් යම් ආන්ඩුවක් හෝ ජාත්‍යන්තර සංවිධානයක් සාවද්‍ය ලෙස හෝ නීති විරෝධී ලෙස පෙලඹවීමේ අරමුනින් යුතුව; එවැනි යම් ආන්ඩුවක කටයුතු ඉටුකිරීම වැලැක්වීමේ අරමුනින් යුතුව යම් ක්‍රියාවක් කරන්නෙකු ත්‍රස්තවාදී වරදකට වරදකරු වෙයි.

මෙම අනුමාන වගන්ති යටතේ ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට භෞමික අඛන්ඩතාවයට හා එහි කටයුතු වලට හානිකර යයි සලකන ලංකාව තුල හෝ ඉන් පිටත ක්‍රියාත්මක වන [ලංකාවේ] කවර හෝ දේශපාලන පක්ෂයක් හෝ සංවිධානයක් තහනම් කල හැකිය. මෙය වික්‍රමසිංහ සම්මත කිරීමට වලිකන පනතේ මුලිකම ප්‍රතිගාමී නීතියකි.

දෙපැත්ත කැපෙන මෙම නීතිය ජාත්‍යන්තරව ක්‍රියා කරන සමාජවාදී පක්ෂයකට, කම්කරුවන්ගේ හෝ තරුනයන්ගේ වෙනත් සංවිධානයකට එරෙහිව යොදාගත හැකිය.

මේ වගන්තිය මගින් අර්ථ නිරුපනය කෙරෙන “ත්‍රස්ත” ක්‍රියාවකට වරදකරුවෙකු වන අයෙකුට අවුරුදු 20 ක සිර දඬුවමක් හෝ රුපියල් මිලියනයක දඩයක් පැනවිය හැකිය. මිනී මැරීමේ චෝදනාවකට වරදකරුවෙකු වන අයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් නියම කෙරෙයි.

පිටු 86 ක් දිග පනතේ අනෙකුත් විසකුරු නීති අතර පහත සඳහන් වගන්ති ද ඇත:

* ජනාධිපති විසින් නම්කරනු ලබන අත්‍යාවශ්‍ය සේවාවලට හෝ සැපයීම් වලට බාධා සිදු කිරීම හෝ හානි සිදු කිරීම ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස සලකනු ලබයි. ඒ අනුව වර්ජන, උද්ඝෝෂන, පෙලපාලි හා පත්‍රිකා බෙදීම ඇතුලු පන්ති ක්‍රියාවන් තහනම් කිරීමට සහ ත්‍රස්ත ක්‍රියාවන් ලෙස සලකා දඬුවම් කල හැකිය.

* පනත යටතේ වරදක් කරන්නෙකු ලෙස සැලකෙන තැනැත්තෙකු ට තොරතුරු සැපයීමේ අරමුනින් “රහස්‍ය තොරතුරු රැස්කිරීම ” පනතේ 10 වන වගන්තිය යටතේ ත්‍රස්තවාදී ක්‍රියාවකි.

* එමෙන් ම, ”ත්‍රස්තවාදී‘ වරදක් හෝ වෙනත් වරදක් සිදුකිරීමට පෙලඹවීමේ අරමුනින් සහ ඒ වරද සිදුකරනු ලැබීම පිලිබඳව බිය වැද්දීමේ අරමුනින් යම් තොරතුරු මහජනතාවට ”හිතාමතාම සහ නීත්‍යානුකුල” නොවන ආකාරයට බෙදා හැරීම හෝ අන්‍ය ආකාරයකින් ලබාදීම පනතේ 11 වන වගන්තියට අනුව ත්‍රස්තවාදයට අනුබල දීමකි. මෙහි දැක්වෙන නිශ්චිත නොවන ”වෙනත් වරදක්” යන්න බලධාරීන්ට අභිමත පරිදි අර්ථ දැක්විය හැකිය.

මෙම නීති මගින් ප්‍රකාශනයේ හා භාෂනයේ නිදහස ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තලා දැමීමට රාජ්‍ය අතට බලය පැවරෙයි.

පොලිසියට පමනක් නොව සන්නද්ධ හමුදා නිලධාරීන්ට ද පුද්ගලයන් අත්අඩංගුවට ගත හැකිය. අවශ්‍යබව තීරනය කෙරුනුවිට පොලිසියට හා ආරක්ෂක හමුදාවලට සෝදිසි මෙහෙයුම් කරීමේ බලය තිබේ. නඩු නොපවරා සැකකරුවෙකු රක්ෂිත බන්ධනාගාර ගත කල හැක්කේ හය මාසයකට පමනක් වුවද එය විටින්විට දික්කල හැකි අතර සති දෙකක රැඳවුම් නියෝගයක් ද විටින්විට දික් කිරීමට පුලුවන. රැඳවුම් ස්ථානය නීතිය හා සාමය පිලිබඳ ඇමති තීන්දු කරන තැනකි. ඔහුට සංවිධානයක් තහනම් කිරීමේ හා සංවිධාන හෝ පුද්ගලයන් මත සීමා පැනවීමේ බලය සතුවේ.

සමස්තයක් ලෙස මෙම නීති පොලිස් රාජ්‍යයක රාමුවකි. ලංකාවේ දේශපාලන අර්බුදය උග්‍ර කෙරෙමින්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල් විසින් නිර්දේශිත ආර්ථික කප්පාදු පිලිවෙත් වලට එරෙහිව වැඩකරන ජනයාගේ ප්‍රතිරෝධය වර්ධනය වන කොන්දේසි තුල ඒවා තලා දමා පොලිස් රාජ්‍යයක් කරා ඉදිරියට යාමට මේ අවස්ථාව යොදා ගත හැකියයි වික්‍රමසිංහ පාලක පන්තියට පෙන්වා දෙයි.

පනත මගින් හඳුන්වා දෙන අලුත් නීති ක්‍රියාත්මක කලහොත් “මුලු රටම මර්දනය වී ත්‍රස්තවාදීන් ට ආරක්ෂාව සැලසෙන” බවට ශ්‍රී ලංකා පොදු ජනපෙරමුනේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ආගමික නායකයන් සමග 29 වෙනදා පැවති සාකච්චාවක දී මැත දෙඩවිල්ලක යෙදී ඇත. සිය පාලන කාලය තුල බිහිසුනු යුද අපරාධවලට ඉඩදී, කම්කරුවන්ගේ හා දුගින්ගේ අරගල ලෙයින් මැඩීමට ක්‍රියා කල ඔහු ප්‍රජාතන්ත්‍රවාදියෙකු ලෙස කිඹුල් කඳුලු හෙලන්නේ ආන්ඩුවේ හදිසි නීති මර්දනයට මුලුමනින්ම සහාය දෙමිනි. හිටපු සන්නද්ධ හමුදා නායකයන් පිරිවරාගෙන මිලිටරියට කැඳවුම් කරමින් සිංහල වර්ගවාදී නඩ ගොනුකරගෙන බලයට පැමින පොලිස් පාලනයක් ඇටවීමට රාජපක්ෂ තමන්ගේ පැත්තෙන් සුදානම් වේ.

සත්‍යය නම්, වත්මන් අර්බුදයේ වෛෂයික කොන්දේසි තුල ධනපති පන්තියේ මොනම කන්ඩායමකට හෝ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සහතික කිරීමට හෝ ගෙන යාමට නොහැකිය යන්නයි.

Share this article: