පන්ති අරගලය තීව්‍ර වෙද්දී,

ඉන්දීය ස්ටැලින්වාදීහු දක්ෂිනාංශික ධනේශ්වර ආන්ඩුවක් සඳහා වෙර දරති

As class struggle sharpens, Indian Stalinists stump for right-wing bourgeois government

දීපාල් ජයසේකර හා කීත් ජෝන්ස් විසිනි, 2019 මැයි 1

නරේන්ද්‍ර මෝදි හා ඔහුගේ හින්දු අධිපතිවාදී භාරතීය ජනතා පක්ෂය (බීජේපී) බලය කරා ආරෝහනය වීම හා චීනයට එරෙහි එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ප්‍රමුඛ පෙලේ සහකාර රාජ්‍යයක් බවට ඉන්දියාව පරිවර්තනය කිරීම මගින් විලක්ෂනය කරන පරිදි ඉන්දියානු ධනේශ්වරය, වාර්ගික ප්‍රතිගාමීත්වය, ආඥාදායක පාලන ක්‍රම, මිලිටරිවාදය හා යුද්ධය වැලඳ ගනිමින්, තව තවත් දකුනට තල්ලු වෙමින් සිටී.

එහෙත් ඉන්දීය පාලකයෝ වඩ වඩා කැරලිකාරී වන කම්කරු පන්තියකට හා ගම්බද දුගීන් අතර වැඩෙන විරෝධතාවන්ට මුහුන දෙති. 2017 සිට ඉන්දියාව පුරා පැතිර ගිය වැඩ වර්ජන හා ගොවි විරෝධතා රැල්ල ප්‍රානවත් කරනු ලබන්නේ, මෝදි ආන්ඩුව විසින් ක්‍රියාවට දමන කප්පාදු පිලිවෙත් විසින් පමනක් නො වේ. ඉන්දියාව, ගෝලීය ප්‍රාග්ධනයේ ලාබ-ශ්‍රම නිෂ්පාදන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ ඉලක්කය සහිත ව සමස්ත-ඉන්දීය හා ප්‍රාන්ත මට්ටමේ සියලු ආන්ඩු විසින් දශක තුනක් තිස්සේ අනුගමනය කල වෙලඳපොල හා ආයෝජන ගැති න්‍යාය පත්‍රයට ද එය අභියෝග කරමින් සිටී.

ඉන්දීය මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය හා එහි පැරනි, කුඩා සහකරුවා වන ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය යන ස්ටැලින්වාදී පාර්ලිමේන්තු පක්ෂ, පන්ති අරගලයේ මෙම තීව්‍ර වීමට ප්‍රතිචාර දක්වා ඇත්තේ, කම්කරු පන්තිය ඉන්දීය ධනේශ්වරයේ පක්ෂවලට හා කුනු වූ රාජ්‍ය ආයතනවලට දේශපාලනික ව යටත් කිරීමේ උත්සාහයන් දෙගුන කරමිනි.

“ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ” හා “සමූහාන්ඩුව ආරක්ෂා කිරීමේ” නාමයෙන් ස්ටැලින්වාදීන් උත්සාහ දරන්නේ, බීජේපීය නායකත්වය දෙන ආන්ඩුව කෙරෙහි කම්කරු පන්තියේ වැඩෙන විරුද්ධත්වය, මැයි 23දා අවසන් වන අදියර කිහිපයකින් යුත් ඉන්දීය මැතිවරනයෙන් පසුව, විකල්ප දක්ෂිනාංශික ආන්ඩුවක් බලයට ගෙන ඒමට පාලක ප්‍රභූවේ කොටසක් දරන ධාවනය පිටුපස පෙලගැස්වීමටයි. එවැනි ආන්ඩුවක්, ස්ටැලින්වාදීන් 1989 හා 2008 අතර මුක්කුව දුන් අනුප්‍රාප්තික මහ ව්‍යාපාරික ආන්ඩුවලට -මේවායින් බොහොමයකට නායකත්වය දුන්නේ කොංග්‍රස් පක්ෂය යි- සමාන වනු ඇත. නව-ලිබරල් ප්‍රතිසංස්කරන නො පැකිල ක්‍රියාවට දැමූ මෙම ආන්ඩු, වොෂින්ටනය සමග වඩා සමීප සබඳතා ගොඩනඟා ගත් හ.

ඉන්දීය මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය හෙවත් සීපීඑම් එහි මැතිවරන ප්‍රකාශය තුල මෙය කලු හා සුදු වර්නයන්ගෙන් කැටිකොට දක්වයි. වත්මන් මැතිවරනය “ස්වාධීන ඉන්දියානු ඉතිහාසයේ වඩාත් ම තීරනාත්මක එක” යි ප්‍රකාශ කරමින් තම උද්ඝෝෂනයට, එකිනෙකට අන්තර්-සම්බන්ධිත ඉලක්ක තුනක් ඇතැයි සීපීඑම් කියයි: බීජේපීය නායකත්වය දෙන සන්ධානය පරාජය කිරීම; “විකල්ප අනාගමික මධ්‍යම ආන්ඩුවක් පිහිටුවන බව තහවුරු කිරීම”; සහ සීපීඑම් හා එය නායකත්වය දෙන වාම පෙරමුනේ මන්ත්‍රී සංඛ්‍යාව වැඩි කිරීම ඒවා යි.

ස්ටැලින්වාදීන් ගොඩනගමින් සිටින්නේ “බීජේපී හැර ඕනෑම අයෙක්” යන උද්ඝෝෂනයකි. දෙන ලද ප්‍රාන්තයක් තුල බීජේපීය හා එහි ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය (එන්ඩීඒ) පරාජය කිරීමේ හොඳම සම්භාවිතාව සහිත ඕනෑම පක්ෂයකට හෝ බහු-පක්ෂ සන්ධානයට සහයෝගය දෙන ලෙස, එය කම්කරුවන් හා පීඩිතයින් උනන්දු කරමින් සිටී. කලින් බීජේපීය සමග පෙලගැසී සිටි තෙලිඟු දේසම් පක්ෂය (ටීඩීපී) හෝ ඔඩීෂාහි පදනම් වන බීජේඩී වැනි බොහෝ ප්‍රාදේශීය හා කුලවාදී පක්ෂ රොත්තක් මෙහෙයවා ගැනීම මෙයට අයත් වේ.

එහෙත් ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල දී, මෑතක් වන තුරු ම ඉන්දීය ධනේශ්වරයේ මනාප ආන්ඩු පක්ෂය වූ, කොංග්‍රස් පක්ෂය වෙනුවෙන් වන ඡන්ද සඳහා සීපිඑම් පෙනී සිටී. තමිල්නාඩුවේ දී සීපීඑම් හා ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය (සීපීඅයි) කොංග්‍රස් පක්ෂය ඇතුලත් වන මැතිවරන සන්ධානයකට හවුල් වී ඇති අතර, එම සන්ධානයට නායකත්වය දෙන්නේ කොංග්‍රසයේ සමීපතම සගයා වන ප්‍රාදේශීය දක්ෂිනාංශික ඩීඑම්කේ පක්ෂය විසිනි.

බටහිර බෙංගාලයේ දී ද කොංග්‍රස් පක්ෂය සමග එවැනි මැතිවරන සන්ධානයක් තැනීමට සීපීඑම් අපේක්ෂා කොට තිබුනි. එහෙත් කොංග්‍රසය මෙම යෝජනා ඉවත දැම්මේ, පක්ෂයෙහි අගමැති අපේක්ෂකයා වන රාහුල් ගාන්ධි කේරලයේ මැතිවරන කොට්ඨාශයකින් ඉදිරිපත් කරමින්, දැනට වාම පෙරමුනේ මන්ත්‍රීන් 11 දෙනාගෙන් අටක් ම සිටින කේරලයේ ස්ටැලින්වාදීන්ගෙන් ආසන උදුරා ගැනීමට ප්‍රමුඛත්වය දීම මඟිනි.

මේ කිසිවක්, බීජේපීයට එරෙහි “ප්‍රජාතන්ත්‍රවාදී, අනාගමික” විකල්පයක් ලෙස කොංග්‍රස් පක්ෂය හුවා දැක්වීමෙන් හෝ කොංග්‍රසය නායකත්වය දෙන ආන්ඩුවකට සහයෝගය දීමෙන් ස්ටැලින්වාන්දී නො වලක්වන බව පැහැදිලි කරමින්, කොංග්‍රසයේ “දෘෂ්ටිවාදාත්මක හා දේශපාලන අවුල් සහගත බව” එය “පලල් දෘෂ්ටියක් සහිත ව ජාතික මට්ටමේ දී බීජේපීය පරාජය කිරීම සඳහා සියලු බලවේග ඒකරාශි කරගැනීමෙන්” වලක්වමින් සිටින බවට සීපීඑම්හි සතිපතා ඉංග්‍රීසි පුවත් පත පීපල්ස් ඩිමොක්‍රසිහි පලවුනු කතුවැකියක් වැලපුනේ ය.

Scroll'in සමග පැවති සම්මුඛ සාකච්ඡාවක දී සීපීඑම් ප්‍රධාන ලේකම් සීතාරාම් යෙචුරි සඳහන් කලේ, පූර්ව ජාතික මැතිවරනවලින් පසුව ආන්ඩු සභාගයන් ප්‍රතිමල්ල විරුද්ධ පක්ෂ විසින් තනා ඇති බව යි. එවැනි “විකල්ප” මහ ව්‍යාපාරික ආන්ඩුවක් සංවිධානය කිරීම සඳහා නැඹුරු වීම ස්ටැලින්වාදීන්ගේ අපේක්ෂාව බව පැහැදිලි කරමින්, ඔහු ඉන්පසු සපථ කලේ “2019 දී ද මැතිවරනයෙන් පසු නව සැකැස්මක් ඉස්මතු වනු ඇති” බව යි.

1989 හා 2008 අතර සෑම බිජේපී නො වන ආන්ඩුවක් ම තනා පවත්වාගෙන යාමේ දී මූලික ක්‍රියා කලාපය ඉටුකලේ ස්ටැලින්වාදීන් බව යෙචුරි කලින් හඬ නගා කියා ඇත. 1991 දී ලෝක අධිරාජ්‍යවාදය සමග නව ආර්ථික හා මූලෝපායික හවුල්කාරීත්වයක් වාත්තු කරගැනීමේ ධනේශ්වරයේ ධාවනය ආරම්භ කලා වූත්, ඊ ලඟ වසර පහ පුරා ආයෝජන ගැති ප්‍රතිසංස්කරන හෙවත් “මහා පිපිරීමේ” ක්‍රියාවලියක් කරගසා ගත්තා වූත් නරසිම්හ රාඕගේ සුලුතර කොංග්‍රස් ආන්ඩුව සහ 2004 මැතිවරනයේ දී බීජේපීය අනපේක්ෂිත පරාජයන්ට මුහුන දීමෙන් පසුව, බොහෝ කොට ම සීපීඑම් විසින් අන්ඩ දැමූ කොංග්‍රස් පක්ෂය නායකත්වය දුන් එක්සත් ප්‍රගතිශීලී සන්ධාන (යූපීඒ) ආන්ඩුව, මේවාට ඇතුලත් විය.

කම්කරුවන් ප්‍රවේසම් විය යුතු ය. පසුගිය දශක තුන පුරා සීපීඑම් හා සීපිඅයි, කොංග්‍රසය හා අනෙකුත් ධනේශ්වර පක්ෂවලට කම්කරු පන්තිය ක්‍රමානුකූල ව යටත් කිරීම සාධාරනීකරනය කර ඇත්තේ, හින්දු අධිපතිවාදී බීජේපීය බලය කරා ආරෝහනය වීම වැලැක්වීමට එය අවශ්‍ය ය යන පදනමිනි. මෙහි අවසන් ප්‍රතිඵලය වන්නේ, මහජන විරෝධය නො තකා බි්‍රතාන්‍ය පාලනයෙහි ඉහල ම අවධියේ පැවති මට්ටම්වලට සමාන වන සමාජ අසමානතාවක් නිර්මානය කරමින්, කම්කරු පන්තිය සූරාකෑම නාටකාකාර ව තීව්‍ර කිරීමට ධනේශ්වරය සමත් ව ඇත යන්න යි. තව ද බීජේපීය අන් කවර කලකටත් වඩා ශක්තිමත් ය.

ස්ටැලින්වාදීන් විසින් කම්කරු පන්තිය මර්දනය කිරීම හේතුවෙන්, ආරම්භකත්වය ගැනීමටත්, ඉහ වහා යන සමාජ අසමානතාව, පලල් දරිද්‍රතාව හා පීඩාකාරී ආර්ථික අනාරක්ෂිත බව විසින් නිර්මිත සමාජ අතෘප්තිය හා කෝපය වාචාල ලෙස ගසාකෑමටත්, හින්දු දක්ෂිනාංශය සමත් ව ඇත.

මෝදි හා ඔහුගේ බීජේපීයේ අපරාධවලට ස්ටැලින්වාදීන් ඇඟිල්ල දිගු කරන්නේ, ඉන්දියානු ධනවාදයට චෝදනා කිරීමට හා කම්කරු පන්තිය අරගලය සඳහා කැඳවීමට නො ව, එය ධනේශ්වරයට ගැටගැසීමට යි.

මෙහි දී, “අනාගමික” යන යෙදුම ස්ටැලින්වාදීන් විසින් යොදාගැනීම සුවිශේෂී ලෙස ද්‍රෝහී ක්‍රියාකලාපයක් ඉටු කරයි. නිසැක ව ම, විෂකුරු ප්‍රජාගනවාදය දිරිමත් කරන බීජේපීය, එහි ආර්එස්එස් උපදේශකයා ද සමග ෆැසිස්ට්වාදී බල ඇනිවල ආරක්ෂකයෙකි. එහෙත් බීජේපීය හා එහි අනාගමික විරුද්ධවාදීන් යයි පෙනී සිටින්නන් අතර වෙනස්කම් අංශකය පිලිබඳ මිස තත්ත්වය පිලිබඳ කරුනක් නො වේ. ඉන්දියානු ධනේශ්වර දේශපාලනය නමැති කානුවෙහි සමස්තය වන්නේ, වෙනස් ධනේශ්වර හා සුලු ධනේශ්වර කන්ඩායම් ඔවුන් අතර ම මුදල් හා වරප්‍රසාද සඳහාත්, සියල්ලට ඉහලින් සමාජ ආතතීන් ප්‍රතිගාමී මාවත් ඔස්සේ අපසරනය කිරීමේ යාන්ත්‍රනයක් ලෙස සේවය කරන, කුල, වාර්ගික හා ප්‍රාදේශීය අනන්‍යතාවන්ට කරන ආයාචනා ය.

හින්දු දක්ෂිනාංශයට අනුගත වීමේත්, එහි වැරදි නොදුටුවාක් ලෙස සිටීමේත් දීර්ඝ ඉතිහාසයක් කොංග්‍රස් පක්ෂයට ඇත. 2019 මැතිවරනය කරා ආරෝහනයේ දී සංගත මාධ්‍ය පවා හින්දුත්වා හෙවත් හින්දු අධිපතිවාදී ලෙස විස්තර කල උද්ඝෝෂනයක් එය විසින් ගොඩනැගී ය. ස්ටැලින්වාදීහු පරිපූර්න කුහකත්වය සමගින් බීජේපීය සමග විරසක වන ඕනෑම පක්ෂයකට ඔවුන්ගේ “අනාගමික” ආශීර්වාදය පිරිනමති. දශක දෙකක් පමන බීජේපීයේ වඩාත් ම වැදගත් සගයා වූ ජේඩී (යූ) පක්ෂය බීජේපීය සමග ක්ෂනික ව විරසක වී එන්ඩීඒ වෙතින් ඉවත් වූ විට, එය “අනාගමික” විපාර්ශවයේ තීරනාත්මක පාර්ශවයක් ලෙස ඔජ වැඩවීමට ස්ටැලින්වාදීහු හැල්මේ ඉදිරියට ආ හ.

ස්ටැලින්වාදීහු මෝදිගේ “ක්ෂනික ප්‍රහාරවලට” හුරේ දමති

1917 රුසියානු විප්ලවයේ ස්ටැලින්වාදී පාවාදීමෙහි ආරක්ෂකයන් හා සෝවියට් ස්ටැලින්වාදී නිලධාරී තන්ත්‍රයෙහි අවසන් පාවාදීම වන පැරනි සෝවියට් සංගමය තුල ධනවාදය පුනස්ථාපනය කිරීමේ ආධාර කරුවන් වන නිවුන් ස්ටැලින්වාදී පක්ෂ දෙක, දශක ගනනක් පුරා ධනේශ්වර දේශපාලන සංස්ථාපිතයේ ඒකාග්‍ර කොටසක් ලෙස ක්‍රියාකර ඇත.

අද දින ඔවුන්ගේ ප්‍රතිවිප්ලවවාදී ස්වභාවය පෙන්නුම් කරනු ලබන්නේ, පකිස්තානය සමග වන ප්‍රතිගාමී මිලිටරි-මූලෝපායික එදිරිවාදිකම් සහ එක්සත් ජනපද අධිරාජ්‍යවාදය පිලිබඳ ඔවුන්ගේ වාචික හෙලාදැකීම් නො තකා, වොෂින්ටනය සමග වන චීන-විරෝධී සන්ධානයට දෙන දුස්සහාය ඇතුලු ඉන්දීය ධනේශ්වරයේ මහා බල අභිලාෂයන්ට ඔවුන් දෙන සහයෝගය විසිනි.

1930 ගනන්වල මෙන් අද ද ධනවාදී බිඳ වැටීම, කම්කරු පන්තියේ විප්ලවවාදී මැදිහත් වීමක් සිදු නො වුව හොත්, නිර්දය ලෙස ගෝලීය මහා ව්‍යසනයක් කරා ධාවනය කරනු ඇති අන්තර්-අධිරාජ්‍යවාදී හා මහා බල ගැටුමක යලි ඉස්මතු වීමක් ජනනය කරමින් තිබේ.

ඉන්දීය ධනේශ්වරය මෙම ක්‍රියාදාමයේ දී එහි ම දුෂ්ට ක්‍රියාකලාපය ඉටුකරමින් සිටී. එහි කොංග්‍රස් පූර්වගාමීන් විසින් එලි පෙහෙලි කරදුන් මාවත දිගේ යන මෝදි නායකත්වය දෙන බීජේපී ආන්ඩුව, චීනයට එරෙහි එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ යුද සූදානම්වීම් තුලට අන් කවරදාටත් වඩා ඉන්දියාව ඒකාග්‍ර කොට තිබෙන්නේ, තම ආර්ථික ආධිපත්‍යයේ ඛාදනය, ආක්‍රමනශීලීත්වය හා යුද්ධය හරහා හිලවු කරගැනීමට එක්සත් ජනපද අධිරාජ්‍යවාදය දරන ඉව බව නැති ධාවනය දිරිමත් කරමිනි. ඒ අතර ම, තමන්ගේ ම කොල්ලකාරී ඉලක්ක ලුහුබැඳීම සඳහා වොෂින්ටනය විසින් ප්‍රදානය කරන සහයෝගයේ හා මූලෝපායික වාසිවල බලපෑම යොදා ගැනීමට ඉන්දීය ධනේශ්වරය උත්සාහ දරමින් සිටී.

මෙ මගින් දකුනු ආසියාවේ හා ලෝකයේ ජනයාට ඉස්මතු කරන ආන්තික තර්ජනය, 2016 සරත් සමයේ සිට පකිස්තානය සමග දෙවරක් ද චීනය සමග එක් වරක් ද වසයෙන් ඉන්දියාව පැටලුනු ප්‍රධාන යුද අර්බුද තුනක් විසින් ප්‍රදර්ශනය කරනු ලැබ ඇත.

යුද අන්තරාය පිලිබඳ ව කම්කරු පන්තියට හා පීඩිතයින්ට අනතුරු අඟවා, ඉන්දියානු ධනේශ්වරයත්, එහි රාජ්‍යය හා එහි “ජාතික අයාචනා” කෙරෙහිත් වන අශමනීය විරුද්ධත්වයේ ජීවගුනයෙන් ඔවුන් උගන්වාගනු වෙනුවට සීපීඑම් හා සීපීඅයි, න්‍යෂ්ටික ත්‍රිකෝනයක් හා සාගර නාවික හමුදාවක් වර්ධනය කිරීම ඇතුලු ඉන්දියාවේ ක්ෂනික මිලිටරි ප්‍රසාරනයට සහයෝගය දී ඇත. මෝදිගේ නියෝග මත 2016 සැප්තැම්බරයේ දී ඉන්දීය මිලිටරිය පකිස්තානයට එරෙහි ව ක්‍රියාවට දැමූ හා අර්බුදයට තුඩු දී ඇති කාෂ්මීරයේ දේශසීමා හරහා මාස ගනනක වෙඩි තබාගැනීම් ජනනය කල “ක්ෂනික ප්‍රහාර,” ස්ටැලින්වාදියෝ සැමරූ හ.

ඒ හා සමාන ව, පෙබරවාරි පසු භාගයේ බීජේපී ආන්ඩුව නියෝග කල පකිස්තානය ඇතුලතට එල්ල කල ගුවන් ප්‍රහාරය ද සීපීඑම් හා සීපීඅයි විසින් උත්කර්ෂයට නැංවී ය. සීපීඑම් ප්‍රධාන ලේකම් යෙචුරි ප්‍රහාර සඳහා “සියලු පක්ෂවල සහයෝගය” ප්‍රදර්ශනය කිරීමට ආන්ඩුව කැඳවූ රැස්වීමකට සහභාගි වී සිටින අතරතුර, න්‍යෂ්ටිකබලවතුන් වන ඉන්දියාව හා පකිස්තානය අතර ආතතීන් පැසවමින් පැවතුනේ, 1971 ඉන්දු-පකිස්තාන යුද්ධයෙන් මෙපිට පලමු වතාවට දෙරට මහා පරිමාන යුද්ධයක් අද්දරට ම ගෙන එමිනි. පෙබරවාරි 14 පුල්වාමා ප්‍රහාරයට පකිස්තානය වගකිව යුතු යයි මෝදි ප්‍රකාශ කල තැන් පටන්, ඔහු කරනු ඇතැයි පැහැදිලි වූ පරිදි දේශානුරාගය හා බීජේපීයට සහයෝගය ඇවිලවීමට යුද අර්බුදය යොදා ගනිද්දී, මෝදි “ත්‍රස්තවාදයට” එරෙහි “එක්සත් ඉන්දියාවේ” ආස්ථානය “අවුල් කිරීම” හා ගුවන් ප්‍රහාරය දේශපාලනීකරනය කිරීම පිලිබඳ ව සීපීඑම් කනිපින්දම් ගැසී ය.

“එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ කනිෂ්ට සහකරුවකු” බවට “ඉන්දියාව ලඝු කිරීම” ගැන සීපීඑම්, ආන්ඩුව විවේචනය කරයි. එහෙත් මෙම විවේචනවලට, කම්කරු පන්තිය අධිරාජ්‍යවාදයට එරෙහි ව බලමුලුගැන්වීම සමග මෙලොව සම්බන්ධයක් නැති අතර, යුද්ධයට හා අධිරාජ්‍යවාදයට එරෙහි ව ගෝලීය කම්කරු පන්ති ව්‍යාපාරයක් ගොඩනැගීම ගැන කිසිවක් නො කියයි. ඒවා යොමු වී ඇත්තේ, “මූලෝපායික ස්වායත්තතාව” පවත්වා ගැනීම හා බහුපාර්ශවීයත්වය හෙවත් යුරෝපීය හා අනෙකුත් අධිරාජ්‍යවාදී හ මහා බලවතුන් සමග මෙන් ම වොෂින්ටනය සමග ද උපාමාරු දැමීමේ දී දෑත් නිදහස් ව තබා ගැනීම මගින් ඉන්දියානු ධනේශ්වරයට එහි ම අවශ්‍යතා හොඳින් පිරිමසාගත හැකි යයි එයට ඒත්තු ගැන්වීම දෙසට ය.

එක්සත් ජනපද අධිරාජ්‍යවාදය කෙරෙහි වන මෙම ප්‍රකාශිත විරෝධය පවා සම්පූර්නයෙන් ම දෙබිඩි ය. 1990 ගනන්වල හා වත්මන් සියවසේ පලමු දශක දෙක තුල, වොෂින්ටනය සමග සදාකාලික සමීප සබඳතා ගොඩනඟා ගැනීමට කටයුතු කල ආන්ඩු මාලාවකට ම මුක්කුව දීමෙන්, සීපීඑම් හා සීපීඅයි වැලැක්වූයේ නැත. තව ද 2008 ඔවුන් එක්සත් ජනපද-ඉන්දියා න්‍යෂ්ටික ගිවිසුම පිලිබඳ ව ප්‍රශ්න කල විට, ඍජු ව කතා කල ඔවුන්ගේ කොංග්‍රස් සගයෝ ඔවුන් ව ආන්ඩුවෙන් පන්නා දැමූ හ.

දශකයක් ගත වන තැන, ට්‍රම්ප් නායකත්වය දෙන ඇමරිකාව සමග නව දිල්ලියේ හවුල්කාරීත්වය අරබයා සමහර ආකාරගත අත්ඇඹරවීම් තුල නිරත වනු ඇති අතර ම සීපීඑම් හා සීපීඅයි නො මඳ ව පැහැදිලි කර ඇත්තේ, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමග ඉන්දියානු ධනේශ්වරයේ ඉව බව නැති හා ප්‍රතිගාමී මිලිටරි-මූලෝපායික සන්ධානය දිගට ම පවත්වාගෙන යමින් ප්‍රසාරනය කරන “විකල්ප” දක්ෂිනාංශික ආන්ඩුවක් බලයට ගෙනැවිත් එයට මුක්කුව දීමට ඔවුන් සහයෝගය දෙනු ඇති බව යි.

රාජ්‍යයේ පක්ෂ: ස්ටැලින්වාදීන් හා ඉන්දියානු සමූහාන්ඩුව

සීපීඑම් හා සීපීඅයි, පිලිවෙලින් ඉන්දියානු වෘත්තීය සමිති මධ්‍යස්ථානය (සීඅයිටීයූ) හා සමස්ත ඉන්දීය වෘත්තීය සමිති කොංග්‍රසය (ඒඅයිටීයූසී) යන අනුබද්ධිත වෘත්තීය සමිති යාන්ත්‍රනයන් යොදාගන්නේ, කම්කරු පන්තික සමාජ විරෝධය සීමා කොට, අපසරනය කරමින් මර්දනය කිරීමට හා එමගින්, ධනේශ්වර දේශපාලන සංස්ථාපිතය තුල ඔවුන්ගේ බලපෑම් ක්ෂේත්‍රයයෙහි හිමිකම කියාපෑමට යි.

බීජේපී ආන්ඩුවේ ගොරතර කප්පාදුවට හා ආයෝජන ගැති දේශපාලනයට තම විරෝධය ප්‍රකාශ කිරීමට ජනවාරි 8-9 මහා වැඩ වර්ජනයට ඉන්දියාව පුරා කෝටි සංඛ්‍යාත කම්කරුවෝ සම්බන්ධ වූ හ. එහෙත් ස්ටැලින්වාදීන්ට, වැඩ වර්ජනය වනාහි ඔවුන්ගේ විපාක්ෂික අක්තපත්‍ර ඔප දැමීම හා විකල්ප මහ ව්‍යාපාරික ආන්ඩුවක් බලයට ගෙන ඒමේ ඔවුන්ගේ උද්ඝෝෂනයට, කම්කරු පන්තිය වඩා හොඳින් බැඳ තැබීම ඉලක්ක කරගත් උපාමාරුවක් විය. මේ අනුව සීපීඑම්හි පීප්ල්ස් ඩිමොක්‍රසි නිර්ලජ්ජිත ලෙස ප්‍රකාශ කලේ, වැඩ වර්ජනය හුදෙක් ඉදිරියේ එන “මහා අරගලය,” එනම්, මහ මැතිවරනයේ දී බිජේපීය පරාජය කිරීම සඳහා සූදානම් වීමක් පමනක් විය.

මැතිවරනයේ දී “ප්‍රජාතන්ත්‍රවාදය” පරදුවට තැබී ඇතැයි ඔවුන් කරන කියාපෑම මගින් සීපීඑම් හා සීපීඅයි උත්සාහ දරන්නේ, කම්කරුවන් හා තරුනයන් කොංග්‍රය හා අනෙකුත් අපකීර්තිමත් කම්කරු පන්ති-විරෝධී පක්ෂවලට ඡන්දය දීම සඳහා බලහත්කාරයෙන් පෙලගස්වා ගැනීමට යි.

එහෙත් පසුගිය දශක තුන පැහැදිලි ව පෙන්නුම් කර ඇති පරිදි, කොංග්‍රසය විසින් හෝ දක්ෂිනාංශික ප්‍රාදේශීය පක්ෂ රොත්තක සමහර “ස්වාධීන” හෝ “තුන්වන පෙරමුනක්” විසින් නායකත්වය දෙන වෙනත් මහ ව්‍යාපාරික ආන්ඩුවක් මගින් බීජේපීය විස්ථාපනය කිරීම මගින්, වැඩකරන ජනයාගේ ප්‍රජාතන්ත්‍ර අයිතීන් ආරක්ෂා කිරීම හෝ හින්දු දක්ෂිනාංශය පරාජය කල නො හැක.

මැයි 23න් පසුව එවැනි ආන්ඩුවක් බලයට පැමිනියහොත්, එහි ධනේශ්වර ස්වාමිවරුන් විසින් ආර්ථික “ප්‍රතිසංස්කරනයේ” පියවර වේගවත් කිරීමේ, මිලිටරි වියදම් ඉහල දැමීමේ හා වොෂින්ටනය සමග ඉන්දියාවේ සන්ධානය ශක්තිමත් කිරීමේ කර්තව්‍යය එයට පවරනු ඇත. තව ද කම්කරු පන්තියේ වැඩෙන විරෝධය හමුවේ මෙම පියවර ගැනීම සඳහා, 1974 දුම්රිය වර්ජනය තලා දමා වසර දෙකක හදිසි නීතියක් පැනවූ කොංග්‍රස් ජාතික ආන්ඩුවේ හා 2012 දී මරුති සුසුකි කම්කරුවන්ට එරෙහි බොරු නඩුවක් සංවිධානය කල හර්යානා කොංග්‍රස් ප්‍රාන්ත ආන්ඩුවේ පියවරයන් අනුගමනය කිරීම සඳහා එය නො වලහා ආඥාදායක පාලන ක්‍රමවලට හැරෙනු ඇත.

ඒ අතර ම, “වම” හා වෘත්තීය සමිති විසින් සහයෝගය දෙන මහ ව්‍යාපාරික ආන්ඩුවට එරෙහි ව වැඩෙන මහජන කෝපය බීජේපීය හා හින්දු දක්ෂිනාංශය විසින් පෝෂනය කරනු ඇත.

සමාජ ප්‍රතිගාමීත්වයට හා ආඥාදායකත්වයට හැරීම, ධනේශ්වර බිඳවැටීමට ඉන්දීය ධනේශ්වරයෙහි ප්‍රතිචාරය යි. ධනවාදී සූරාකෑම වැඩිදුර තීව්‍ර කිරීම, මහා බල ආක්‍රමනය හා යුද්ධය යන එම අර්බුදයට ඉන්දීය ධනේශ්වරයේ විසඳුම, අතිමහත් බහුතරයේ අවශ්‍යතාවන්ට හතුරු වන්නේ, සාම්ප්‍රදායික ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී හා ව්‍යවස්තාමය සීමාවන්ට පවා බැඳීම වඩ වඩාත් කල නො හැක්කක් බවට පත් කරමිනි.

දැන් ජර්මනියේ නිල විපාර්ශවය වන නව නාසිවාදී ඒඑෆ්ඩී පක්ෂය හා ඉතාලියේ ලීගාව වැනි අන්ත-දක්ෂිනාංශික බලවේගයන්, ධනේශ්වරය හා මිලිටරි-ඔත්තු සේවා යාන්ත්‍රනයන් විසින් දිරිමත් කරන තතු තුල මේ හා සමාන ක්‍රියාවලීන් ලොව පුරා දැක ගත හැක. ප්‍රන්සය හා එක්සත් ජනපදය වැනි දීර්ඝ-කාලීන ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් සහිත වඩාත් ම වරප්‍රසාදිත අධිරාජ්‍යවාදී රටවල් සම්බන්ධයෙන් ද මෙය සත්‍ය ය. ප්‍රන්සයේ දී දුරදිග යන කප්පාදු ක්‍රියාවට නැඟීම පිනිස ආඥාදායක “හදිසි” බලතල “ලිබරල්” මැක්රොන් විසින් යොදාගෙන ඇත්තේ, නාසි වාඩිලාගැනීම සමයේ දකුනු ප්‍රන්සය පාලනය කල විචි තන්ත්‍රයේ ප්‍රධානියා වූ ජෙනරාල් පෙටේන් උත්කර්ෂයට නංවන අතරතුරේ ය. එක්සත් ජනපදය තුල, සංක්‍රමන විරෝධය හා වර්ගවාදය ඇවිලවීම හරහා ෆැසිස්ට් ව්‍යාපාරයක් ගොඩනැගීමට බිලියනපති ජනාධිපති ට්‍රම්ප් උත්සාහ දරමින් සිටින්නේ, රුසියාවට එරෙහි ව වඩා ආක්‍රමනශීලී පිලිවෙතක් ලුහුබැඳිය හැකි වන ලෙස ඔහු ඉවත් කිරීමට ඩිමොක්‍රටික් පක්ෂය මිලිටරි-ඔත්තු සේවා යාන්ත්‍රනය සමග කුමන්ත්‍රනය කරද්දී ය.

ධනේශ්වර ප්‍රතිගාමීත්වයේ වැඩීමට පවතින එකම ප්‍රගතිශීලී පිලිතුර වන්නේ, කම්කරු බලය සඳහා සටන තුල කම්කරු පන්තිය දේශපාලනික ව ස්වාධීන ලෙස බලමුලුගැන්වීම යි.

අද මෙන් ම ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය එහි දෙපා යටින් කුනුවෙද්දී, සීපීඑම් හා සීපීඅයිහි ස්ටැලින්වාදී දේශපාලන මුතුන්මිත්තෝ “ප්‍රජාතන්ත්‍රවාදී ධනේශ්වරය” සමග වන මහජන පෙරමුනේ නාමයෙන් කම්කරු පන්තියේ විප්ලවවාදී අභිලාෂයන් මර්දනය කරමින්, ධනපති සමාජ පර්යායේ අශමනීය ආරක්ෂකයන් ලෙස ඉස්මතු වූ හ. ප්‍රන්සය හා ස්පාඤ්ඤය තුල ද අධිරාජ්‍යවාදී දෙවන ලෝකය යුද්ධය සමයේ දී ද ප්‍රතිගාමීත්වයේ හා ෆැසිස්ට්වාදයේ ජයග්‍රහනයට මෙය මග හෙලි කලේ ය.

අද දින සීපීඑම් හා සීපීඅයි ක්‍රියාත්මක වන්නේ, කම්කරු පන්තිය ධනේශ්වරයේ දේශපාලන පක්ෂවලට යටත් කිරීමට හා එය රාජ්‍යයට දඬුගසා දීමට පේ වී සිටින රාජ්‍යයේ පක්ෂ ලෙස යි.

ස්ටැලින්වාදියෝ, ඉන්දියානු රාජ්‍යය ද පාර්ලිමේන්තුවේ සිට අධිකරනය, පොලීසිය හා හමුදාව දක්වා වන එහි ආයතන ද බීජේපීයට හා හින්දු දක්ෂිනාංශයට එරෙහි “ප්‍රජාතන්ත්‍රවාදයේ” ආරක්ෂකයන් ලෙස ඉදිරිපත් කරති. ස්ටැලින්වාදීන් ඉන්දියාවේ “අනාගමික ප්‍රජාතන්ත්‍රවාදී සමූහාන්ඩුව” යි මොරදෙන දෙය යථාර්ථයේ දී ගොඩනගන ලද්දේ, මුස්ලිමුන් ප්‍රමුඛ පකිස්තානයකට හා හින්දූන් ආධිපත්‍යය දරන ඉන්දියාවකට උප-මහාද්වීපය වාර්ගික ව බෙදීම ද දකුනු ආසියාවෙන් වෙන් වී යමින් සිටින බි්‍රතාන්‍යයද විජිත ස්වාමිවරුන් විසින් නිර්මිත රාජ්‍ය යාන්ත්‍රනයේ පාලනය ජාතික ධනේශ්වරයට මාරු කිරීම ද මගින් විසිවන ශතවර්ෂයේ පලමු බාගයේ දකුනු ආසියාව කැලඹවූ මහජන අධිරාජ්‍ය-විරෝධී ව්‍යාපාරය මර්දනය කිරීම හරහා ය.

ඉන්දියානු “ප්‍රජාතන්ත්‍රවාදය” හුදෙක් රැවටිල්ලක් පමනක් නො වී ය; එය උපතේ දී ම විකෘති ද විය. ශතවර්ෂ තුන්කාලකට ආසන්න, නිදහසෙන් පසු කාලය පෙන්වා දී ඇත්තේ, ධනේශ්වරයේ හා එහි සමූහාන්ඩුවේ පාලනය යටතේ, කුල පීඩනය හා ඉඩම්හිමිවාදය අහෝසි කිරීමේ සිට ප්‍රජාගනවාදය හා ආගමික බුද්ධිරෝධවාදය පරාජය කිරීම සහ ඉන්දියාවේ අසීමිත වාර්ගික හා ආගමික කන්ඩායම් අතර අව්‍යාජ සමානතාව ස්ථාපනය දක්වා වන මහජනයා මුහුන දෙන දැවෙන ගැටලු එකක් වත් විසඳිය නො හැකි බව ය.

ලියොන් ට්‍රොට්ස්කිගේ නො නවතින විප්ලවයේ ක්‍රියාමාර්ගයට ඉන්දියාව ඍනාත්මක ව සාක්ෂි දරයි. අධිරාජ්‍යවාදය විසින් ඓතිහාසික ව පීඩනයට පත් කරන ලද රටවල් තුල ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ මූලික කර්තව්‍යයන් විසඳිය හැක්කේ, කම්කරු පන්තිය නායකත්වය දෙන සමාජවාදී විප්ලවයක් හා සමාජවාදය සඳහා ලෝක පරිමාන අරගලයේ ඒකාග්‍රව කොටසක් ලෙස පමනි.

ස්ටැලින්වාදීන් ඔතරම් පාරට්ටු කරන ඉන්දියානු සමූහාන්ඩුව විලක්ෂනය කරනු ලබන්නේ, එහි ධනපති පාලක ප්‍රභූවේ කොල්ලකාරීත්වය හා අපරාධකාරීත්වය, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ සාමන්තයෙකු ලෙස ලෝක දේශපාලනය තුල එය ඉටුකරමින් සිටින දහනශීලී භූමිකාව සහ වාර්ගික හා කුලවාදී දේශපාලනය විනාශකාරී ලෙස ඉදිරියයට දැමීම හරහා විජිතවාදී බෙදා වෙන්කොට පාලනය කිරීමේ දේශපාලනය අඛන්ඩ ව පවත්වා ගැනීම විසිනි.

ස්ටැලින්වාදීන් ඉන්දියානු රාජ්‍යය දිරිමත් කිරීම අනතුරු ඇඟවීමක් ලෙස ගත යුතු ය. කම්කරු පන්තියේ මහා පුනර්ජීවනයක් යටතේ, 2007 දී බහුජාතික සලීම් ගෲප් සංගතය වෙනුවෙන් ගොවීන් අස්වාමික කිරීමේ සැලසුම්වලට එරෙහි මහජන විරෝධතාවන්ට මුහුන දුන් සීපීඑම් නායකත්වය දුන් බටහිර බෙංගාල ආන්ඩුව කල පරිදි, රාජ්‍ය ප්‍රචන්ඩත්වයට හා මර්දනයට සහයෝගය දීමට ස්ටැලින්වාදීන් නො පැකිලෙනු ඇත.

ධනේශ්වර ගැති වෘත්තීය සමිති සහ ස්ටැලින්වාදී හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ විසින් පන්ති අරගලය කෘතීම ව මර්දනය කර තිබුනු දශක ගනනාවකට පසුව, කොල්ලකාරී ධනේශ්වර සංවර්ධනයේ පසුගිය දශකවල ප්‍රතිඵලය ලෙස ඉස්මතු වී ඇති ගෝලීය ව බැඳුනු ඉන්දීය කම්කරු පන්තිය ඇතුලු ලොව පුරා කම්කරුවෝ, සමාජ අසමානතාවට, කප්පාදුවට හා යුද්ධයට එරෙහි ව ඔවුන්ගේ විරෝධය පලකිරීමට අධිෂ්ටානවත් වෙමින් සිටී. එහෙත්, ධනපති අර්බුදයට සමාජවාදී විසඳුමක් සඳහා සටනේ දී ඉන්දියානු කම්කරුවන් ගම්බද හා නාගරික පීඩිතයන් තමන් පිටුපස රැලි කරගන්නා ස්වාධීන දේශපාලන බලයක් බවට පත්වීමට නම්-ඔවුන් එලෙස කල යුතු ය- සීපීඑම් හා සීපීඅයි ගැන ද ඉන්දියාවේ හා ලොව පුරා කම්කරු පන්තියට ස්ටැලින්වාදී දේශපාලනයේ ව්‍යසනකාරී විපාක සමඟ ද දේශපාලනික ගනුදෙනු බේරාගැනීමක් අවශ්‍ය ය.

මෙහි අර්ථය වන්නේ හතරවන ජාත්‍යන්තරය දෙසට හැරීම යි. 1938 දී ලියොන් ට්‍රොට්ස්කි විසින් ගොඩනගන ලද හතරවන ජාත්‍යන්තරය, අධිරාජ්‍යවාදයටත්, එහි සියලු ඒජන්තයන්ටත්, සියල්ලටත් වඩා ස්ටැලින්වාදයටත් එරෙහි ව රුසියානු විප්ලවයට ප්‍රානය සැපයූ ලෝක සමාජවාදී විප්ලවයේ ක්‍රියාමාර්ගය ආරක්ෂා කොට වර්ධනය කර ඇත. 1953 පටන් හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) විසින් නායකත්වය දෙන එය, පසුගිය ශතවර්ෂයේ ද 21වන ශතවර්ෂයේ පලමු දශක දෙකේ ද ජාත්‍යන්තර කම්කරු පන්තියේ ජයග්‍රහනයන් හා පරාජයන් ඇතුලු එහි අරගලයන්ගේ සියලු මූලෝපායික පාඩම් මූර්තිමත් කරයි. කම්කරු පන්තිය විප්ලවවාදී සමාජවාදී ක්‍රියාමාර්ගයකින් සන්නද්ධ කිරීමටත් එහි අරගල ධනවාදයට එරෙහි ගෝලීය ප්‍රහාරයක් තුල ඒකාබද්ධ කිරීමටත් අභිලාෂ සහගත වන්නේ එය පමනි.

Share this article: