පැරිස් ගිවිසුමෙන් සිව් වසරකට පසු

එක්සත් ජාතීන්ගේ වාර්තාව ගෝලීය දේශගුනික ව්‍යසනය වලක්වා ගැනීම සඳහා “රැඩිකල් පරිවර්තනයන්” ඉල්ලා සිටී

Four years after the Paris Agreement: UN report calls for “radical transformations” to avert global climate catastrophe

බ්‍රයන් ඩයින් විසිනි, 2019 නොවැම්බර් 27

එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන සිය දසවන විමෝචන වාර්තාව ඊයේ නිකුත් කල අතර එය ගෝලීය හරිතාගාර වායු විමෝචනය මැඩ පැවැත්වීමට සහ ගෝලීය උනුසුම නැවැත්වීමට 2015 පැරිස් ගිවිසුම බෙහෙවින්ම අසාර්ථක වීමේ කාරනය මතු කලේය. මීට වසර හතරකට පෙර සිට රටවල් තම විමෝචන පොරොන්දු ඉටු කලත්, ගෝලීය සාමාන්‍ය උෂ්නත්වය, පූර්ව කාර්මික (යුගයේ) මට්ටමට වඩා සෙල්සියස් අංශක 3.2 දක්වා ඉහල නගින අතර පෘථිවිය මිනිස් ජීවිතයට වැඩි වැඩියෙන් සතුරු වනු ඇති බවත් වාර්තාව අනතුරු අඟවයි.

මෙය පැරිස් ගිවිසුම මගින් නියම කර ඇති අංශක දෙකේ සීමාව ඉක්මවා ගොස් ඇති අතර ඉන් පසුව සම්මත කර ඇති අංශක 1.5 සීමාව මෙන් දෙගුනයකටත් වැඩිය. වාර්තාවේ සඳහන් වන පරිදි, ආන්ඩු සහ සංගත ඔවුන්ගේ කාබන් විමෝචනය මැඩපැවැත්වීම නොව බොහෝ දුරට ඊට ප්‍රතිවිරුද්ධ දේ සිදු කර ඇත. හරිතාගාර වායු විමෝචනය පසුගිය දශකය තුල සාමාන්‍යයෙන් සියයට 1.5ක අනුපාතයකින් ඉහල ගොස් ඇති අතර එහි ප්‍රතිපලයක් ලෙස 2018 දී (අංගාරිකාම්ල) කාබන් ඩයොක්සයිඩ් ගිගාටොන් 55.3 ට සමාන ප්‍රමානයක් වායුගෝලයට මුදා හැර ඇති අතර, ඉන් ගිගාටොන් 37.5 ක් පොසිල ඉන්ධන දහනය කිරීමෙන් විමෝචනය විය.

ගෝලීය උෂ්නත්වය ඉහල යාම නිසා දැනටමත් ලෝක ජනගහනයෙන් විශාල පිරිසකට විනාශකාරී හානි සිදුවී ඇත. සැන්ඩි, මරියා සහ ඩෝරියන් වැනි වඩා බලවත් සුලි කුනාටු නිසා ඩොලර් බිලියන ගනනක් විනාශයට පත්වූ අතර ජීවිත දහස් ගනනක් අහිමි විය. ඕස්ට්‍රේලියාවේ ලැව්ගිනි නිසා කෝලා වලසුන් “වඳ වී යාමට මුහුනපා ඇත.” මීට පෙර පැවති සාරවත් ඉඩම්, කාන්තාර බවට පත්වීම නිසා මිනිසුන් මිලියන 900 කට ආසන්න ප්‍රමානයක් සාගින්නේ අවදානමට මුහුනපා සිටින අතර ඊලඟ දශකය තුල බිලියන 3.2 ක් පිරිමින්, ගැහැනුන් හා ලමුන්ට ජීවත් වීමට සිදුවන්නේ, අවසන් වශයෙන් මිනිස් ජීවිතයට සහය නොදක්වන ප්‍රදේශවල ය.

හිම තට්ටුවක කොටසක් (Credit: Nasa.gov)

මේ වන විටත් අවම වශයෙන් මිලියන 210 ක් ජනතාව ඊනියා “දේශගුනික සරනාගතයින්ව” සිටී. මොවුන් දේශගුනික විපර්යාස ආශ්‍රිත ව්‍යසනයන්හි ප්‍රතිපලයක් ලෙස ස්ථිරවම තම නිවෙස්වලින් පලා යාමට බල කරනු ලබන අය මිස, යුද්ධයෙන් හෝ වෙනත් ආකාරයේ ප්‍රචන්ඩත්වයෙන් සරනාගතයින් වූවන් නොවේ. එක්සත් ජාතීන්ගේ තක්සේරුව අනුව 2050 වන විට බිලියනයක් පමන අවතැන් වනු ඇත.

දිග හැරෙමින් පවතින අර්බුදය සමනය කිරීමේ කිසියම් අවස්ථාවක් ලබා ගැනීම සඳහා, කාබන් ඩයොක්සයිඩ්, මීතේන් සහ නයිට්‍රස් ඔක්සයිඩ් විමෝචනය අඩු කරන ලෙස ඉල්ලා ඇති, දශක හතරකට වඩා පැරනි වාර්තා ගැන ලේඛනයේ සඳහන් වෙයි. 2011 දී එක්සත් ජාතීන්ගේ දේශගුනික විපර්යාස පිලිබඳ මන්ඩලයේ පස්වන තක්සේරු වාර්තාව අනතුරු ඇඟවූයේ, ලෝක දේශගුනය කරා ආපසු නොපැමිනීමේ තීරනාත්මක අවස්ථාවකට පැමිනීමට පෙර, ලෝකයට දැවිය හැක්කේ අතිරේක ගිගාටොන් 565ක කාබන් (ගල් අඟුරු, තෙල්, ස්වාභාවික ගෑස්) පමනක් බවයි. හාරාගැනීමට නියමිත පොසිල ඉන්ධන සංචිතවල දැනටමත් කාබන් ගිගාටොන් 2,795 ක් අඩංගු බව ද එහි සඳහන් ය.

එතැන් පටන් බලශක්ති නිෂ්පාදනය හා කාර්මික භාවිතය මගින් ඇස්තමේන්තුගත කාබන් ගිගාටොන් 364 ක් වායුගෝලයට නිකුත්කර ඇත. විමෝචන පරතරය පිලිබඳ වාර්තාවේ සඳහන් වන පරිදි, රටවල් හා සමාගම් විසින් නිකුත් කරනු ලබන හරිතාගාර වායූ ප්‍රමානය 2020 සිට 2030 දක්වා සෑම වසරකම අවම වශයෙන් සියයට 7.6 කින් අඩු කල යුතුය. ඒ මිනිසා විසින් නිර්මානය කරන ලද දේශගුනික විපර්යාස මඟින් දැනටමත් කර ඇති විනාශය සමනය කිරීමට කිසියම් අවස්ථාවක් ලබා ගැනීමට හා ඊටත් වඩා දරුනු ව්‍යසන ඇතිවීම වැලැක්වීම සඳහා ය.

ගෝලීය හරිතාගාර වායු විමෝචනයෙන් සියයට 78කටම වගකිව යුත්තේ, ලෝකයේ ධනවත්ම රටවල් 20 (ජී 20) බව වාර්තාව විශේෂ අවධානයක් යොමු කරමින් සටහන් කරයි. ඒවා නම්, යුරෝපීය සංගමය සහ එක්සත් ජනපදය, චීනය, ඉන්දියාව සහ රුසියාව වැනි රටවල් යයි වාර්තාව සඳහන් කරයි. එම රටවල් වඩාත් දරුනු ලෙස වායු නිකුතුව කපාහල යුතුය. ගල් අඟුරු සහ තෙල් වලින් විදුලිය උත්පාදනය කිරීම වෙනුවට, සූර්ය තාපය, සුලං, උදම් රල, භූතාප ජනනය හා වෙනත් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත මාරු වීම සඳහා “රැඩිකල් පරිවර්තනයන්” බලශක්ති නිෂ්පාදන සහ කාර්මික ක්ෂේත්‍ර වලින් එය ඉල්ලා සිටී.

කෙසේ වෙතත්, හරිතාගාර වායු විමෝචනයෙන් සියයට 70 ටම වගකිව යුත්තේ, ප්‍රධාන සමාගම් 100 බව එක්සත් ජාතීන්ගේ වාර්තාවල සඳහන් වේ. දේශගුනික විපර්යාස සඳහා වගකිව යුත්තේ, ලෝක ජනතාව නොව, එහි විධායකයන් සහ ප්‍රධාන කොටස් හිමියන් පොහොසත් කිරීම සඳහා පමනක් ක්‍රියාත්මක වන ලෝක අන්තර්ජාතික සමාගම් ය. බ්‍රිතාන්‍ය පෙට්‍රෝලියම් (බීපී) උපුටා දක්වන්නේ නම්, ඔවුන් වැඩි අවධානයක් යොමු කරන්නේ, ග්‍රහලෝකයේ සහ ඒ මත ජීවත්වන අයට වඩා, කාබන් විමෝචනය සීමා කිරීමේ “විභව මූල්‍ය බලපෑම” ගැන ය.

කෙසේවෙතත් එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන, දැනටමත් සිදුවී ඇති උනුසුම් වීමෙන් අවුලුවන ලද ස්වාභාවික ක්‍රියාවලීන් ගනන් නොගනී. පසුගිය වසරේදී ඕස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය ඇන්ඩෘ ග්ලික්සන් ආක්ටික් ප්‍රදේශයේ “මීතේන් කාල බෝම්බයක්” ගැන අනතුරු ඇඟවූයේ, එක දිගටම පර්මාෆ්‍රොස්ට් දියවීම නිසා මීතේන් ගිගාටොන් සියගනනක් ක්‍රමානුකූලව මුදා හරිනු ඇතැයි යනුවෙනි. හරිතාගාර වායුව කාබන් ඩයොක්සයිඩ්වලට වඩා 80 ගුනයක් බලවත් ය. කැනඩාවේ සහ සයිබීරියාවේ පස, විල් සහ අවසාදිත තට්ටුවල එසේය. ආක්ටික් සාගරයට යටින් මීතේන් උනුවෙමින් ඇති බව විද්‍යාඥයින් දැක ඇති අතර එහි ගිගාටොන් දහස් ගනනක් මීතේන් අඩංගු වේ.

මෙම මීතේන් සංචිත කවදා හෝ සම්පූර්නයෙන් මුදා හරිනු ලැබුවහොත්, ප්‍රතිපල ව්‍යසනකාරී වනු ඇත. පසුගිය දශකය තුල පැවති ආන්තික කාලගුනික සිදුවීම්, වඩාත් විනාශකාරී කුනාටු, දිගු තාප තරංග, වියලි නියඟ සහ නොනවතින ලැව්ගිනි වල පූර්වගාමීන් පමනි. ආහාර දාමයේ සැලකිය යුතු කොටස් ඉවත් කරමින් ලොව පුරා කොරල් පර මිය යනු ඇත. ග්ලැසියර දියවීම හා මුහුදු මට්ටම ඉහල යාම නිසා ලෝක ජනගහනයෙන් තුනෙන් එකක් හා අඩක් පමන වාසය කරන පෘථිවියේ සෑම වෙරලබඩ නගරයක්ම ගංවතුරට ගොදුරු වනු ඇත. ඉන් බිලියන සංඛ්‍යාත ජනතාව මිය යනු ඇත. පෘථිවියේ ජීව විශේෂයන් අවම වශයෙන් මිලියනයක්වත් මිය යන අතර ලෝකයේ මහාද්වීප පරිමාන කොටස්වල ජීවත් විය නොහැකි වනු ඇත.

එපමනක් නොව, පෘථිවියේ උෂ්නත්වය තවදුරටත් ෆොසිල ඉන්ධන දහනය සමඟ සෘජුව සම්බන්ධ නොවන අතර නවීන විද්‍යාත්මක ශිල්පීය ක්‍රම මඟින් එම තත්වය පාලනය කිරීම හෝ ආපසු හැරවීම වඩාත් දුෂ්කර වනු ඇත.

එවැනි තත්වයක් වලක්වා ගත හැකි එකම ක්‍රමය වනුයේ, පොසිල ඉන්ධන මත රඳාපැවැත්ම අවසන් කර, පුනර්ජනනීය බලශක්තිය කරා මාරුවීම සඳහා ලෝක බලශක්ති කර්මාන්තයේ විද්‍යාත්මකව සැලසුම් කල ගෝලීය ප්‍රතිව්‍යුහගත කිරීමකි. අනෙක් අතට ප්‍රවාහන, සැපයුම්, කෘෂිකර්මාන්තය සහ අවසානයේ සමස්තයක් වශයෙන් සමාජයේ එකම පරිමානයේ පරිවර්තනයක් මෙයට ඇතුලත් වේ. එවැනි වෙනස්කම් අනිවාර්යයෙන්ම ජාතික සීමා මායිම්, ව්‍යාපාරික ලාභ සහ ජාතික ආරක්ෂක අවශ්‍යතා කපාගෙන යනු ඇත. මේ සියල්ල ධනවාදයේ ලක්ෂන වේ: ලෝකය ප්‍රතිවාදී ජාතික රාජ්‍යයන් ලෙස බෙදීම සහ පෞද්ගලික ලාභ සමුච්චය කිරීම වෙනුවෙන් ආර්ථික ජීවිතය යටත් කිරීම.

ලෝකයේ නිෂ්පාදන බලවේග එවැනි ජාත්‍යන්තර සම්බන්ධීකරන පදනමක් මත තැබිය හැකි එකම ක්‍රමය වන්නේ, ලාභ ක්‍රමය, ජාතික රාජ්‍යයන් සහ ධනවාදය පෙරලා දැමීමයි. එහි ප්‍රතිවිරුද්ධය ස්ථාපිත කල යුතුය. එනම්, ජාත්‍යන්තර කම්කරු පන්තිය විසින් ලෝකයේ නිෂ්පාදන බලවේගයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය තහවුරු කෙරෙන සමාජවාදයයි.

Share this article: