හිටපු ඉහල හමුදා නිලධාරියා ශ්‍රී ලංකා ජනාධිපතිවරනයෙන් ජය ගනී

Former top military official wins Sri Lankan presidential election

කේ. රත්නායක විසිනි, 2019 නොවැම්බර් 18

16දා පැවති ජනාධිපතිවරනයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ (ශ්‍රීපොපෙ) අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහනය කර ඇති බව මැතිවරන කොමිසම ඊයේ (18දා) නිවේදනය කලේ ය.

හිටපු හමුදා කර්නල්වරයකු සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සහෝදරයෙකු වූ ගෝඨාභය රාජපක්ෂ, 2005 සහ 2014 අතර කාලයේ ආරක්ෂක ලේකම්වරයා විය. 2009 මැයි මාසයේ අවසන් වූ බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි යුද්ධයේදී ගෙනගිය රුදුරු මර්දනය සම්බන්ධයෙන් ඔහු පාලක පන්තියේ කොටස් වල ද මිලිටරියේ හා සිංහල වර්ගවාදීන්ගේ ද පැසසුමට ලක්විය. මාධ්‍යවේදීන් ද ඇතුලු‍ කම්කරු අරගලවල යෙදුනවුන් සහ ආන්ඩුවේ විවේචකයින් කුරිරු ලෙස මර්දනය කිරීම පිලිබඳව ඔහු බෙහෙවින් වෛරයට පාත්‍රව සිටියේය.

ගෝඨාභය රාජපක්ෂ (AP Photo)

ශ්‍රීලපොපෙ අපේක්ෂකයා ඡන්ද 69 ලක්ෂයක් හෙවත් මුලු‍ ඡන්ද වලින් සියයට 52 ක් ලබාගෙන තිබුනි. එක්සත් ජනපද ගැති පාලක එක්සත් ජාතික පක්ෂයේ (එජාප) අපේක්ෂක සජිත් ප්‍රේමදාස ඡන්ද ලක්ෂ 55 ක් හෙවත් මුලු‍ ඡන්ද වලින් සියයට 42 ක් ලබා ගත්තේය. ලියාපදිංචි ඡන්දදායකයින්ගෙන් සියයට 82 ක් පමන 16දා මැතිවරනයේදී ඡන්දය දී තිබුන අතර එය රටේ පැවති මැතිවරනයක ඉහලම අගයන්ගෙන් එකකි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ පාලක එජාප නායකත්වයෙන් යුත් ආන්ඩුව කෙරෙහි ද එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු ඉල්ලීම් ක්‍රියාත්මක කිරීම කෙරෙහි ද පැවති දැඩි විරුද්ධත්වය මධ්‍යයේ මෙම මැතිවරනය පැවැත්විනි. බොහෝ දෙනෙක් ශ්‍රීලපොපෙ අපේක්ෂකයාට ඡන්දය ප්‍රකාශ කලේ ආන්ඩුවට එරෙහි විරෝධය පල කිරීමට මිස පිරිහෙමින් ඇති සමාජ කොන්දේසි අහෝසි කරන බවට රාජපක්ෂ දුන් මැතිවරන පොරොන්දු ගැන විශ්වාසයකින් නොවේ.

කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීම සාමාන්‍ය වැඩකරන ජනතාව දැකගැනීමට ලැබෙනු ඇත්තේ, සිය තත්වය වැඩි දියුනු කිරීම වෙනුවට, වත්මන් ආන්ඩුවේ කප්පාදු වැඩපිලිවෙල උග්‍ර කිරීම සහ කම්කරුවන්, තරුනයින් සහ දුප්පතුන්ගේ විරෝධය කුරිරු ලෙස මර්දනය කිරීමට යොමුවුන පාලනයක් බලයට පත්වීම ලෙසය.

මැතිවරන ව්‍යාපාරය අතරතුර රාජපක්ෂ, 2009 දී එල්ටීටීඊට එරෙහි යුද්ධය අවසන් කිරීමේදී තමන් ඉටුකල ක්‍රියාකලාපය ගැන පුරසාරම් දෙඩූ අතර ස්ථාවර පාලනයක් සඳහා අවශ්‍ය කෙරෙන “ශක්තිමත් පුද්ගලයා” ලෙස ඔහුට ප්‍රශංසා කරනු ලැබින. ආරක්ෂක ලේකම් වශයෙන් ඔහු, අවම වශයෙන් දෙමල සිවිල් වැසියන් 40,000 ක් ඝාතනය කිරීමේදී මූලිකත්වය දැරූ අතර යුද අපරාධවලට සෘජුවම සම්බන්ධ බවට දෝෂාරෝපන එල්ල වී ඇත. විපක්ෂයේ දේශපාලඥයින්, විචාරකයින් සහ මාධ්‍යවේදීන් ද ඇතුලු‍ සිය ගනනක් නීති විරෝධී ලෙස “අතුරුදහන් කිරීම්” වලට හා මිලිටරියේ අනුග්‍රහය ලත් ඝාතක කල්ලිවලට ද ඔහු වගකිව යුතු ය.

රාජපක්ෂ බලයට පත්වීම, මූලික ව්‍යවස්ථාමය හා නෛතික සම්මතයන් සමඟ කවලම් කරගත් අත්තනෝමතික පාලන ක්‍රම දෙසට තියුනු හැරීමක් සනිටුහන් කරයි. ජනාධිපති වශයෙන් ඔහු කම්කරු පන්තිය සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේදී, ඔහු සහ ඔහුගේ සහෝදරයා යුද්ධය අවධියේදී සිය දේශපාලන විරුද්ධවාදීන්ට සහ දෙමල ජනතාවට එරෙහිව යොදා ගත් එම සාපරාධී ක්‍රමවේදයන් වෙත අනිවාර්යයෙන්ම යොමුවනු ඇත.

අයිඑස්අයිඑස් පිටුබලය ලත් ජාතික තව්හීත් ජම්මාත් ත්‍රස්ත ප්‍රහාරයෙන් අප්‍රේල් 21දා 300 කට ආසන්න පිරිසක් ඝාතනය වීමත් සමඟ, ආන්ඩුව බුද්ධි අංශ දුර්වල කර ඇති බව පවසමින් ශ්‍රීලපොපෙ, ආන්ඩු විරෝධය ඇවිස්සීය.

සමාජ ආතතීන් වාර්ගික රේඛා ඔස්සේ වෙනතකට හැරවීමට උත්සාහ කරමින් ගෝඨාභය රාජපක්ෂ, මුස්ලිම් විරෝධී හැඟීම් වලට තෙල් දමන අතර රට නව ඉස්ලාමීය ත්‍රස්තවාදී තර්ජනයකට මුහුන දී ඇති බව පවසමින් “එල්ටීටීඊ ත්‍රස්තවාදය යලි පන ගන්වන”‍ බවට ආන්ඩුවට චෝදනා කලේය.

ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරන ව්‍යාපාරය කේන්ද්‍රගත වූයේ, ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා දැඩි “ජාතික ආරක්ෂාවක්” වෙනුවෙන් ගෙනගිය උද්ඝෝෂනය මත ය. එහි සැබෑ අරමුන කම්කරු පන්තියට එරෙහිව මිලිටරි හා බුද්ධි අංශ යාන්ත්‍රනය ගොඩනැගීමයි. මෙම ප්‍රතිගාමී න්‍යාය පත්‍රය, එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ප්‍රේමදාස සහ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ද බෙදාහදා ගන්නා ලද අතර මැතිවරන ව්‍යාපාරය තුලදී ඔවුන් ද කියා සිටියේ ජාතික ආරක්ෂාව ශක්තිමත් කල යුතු බව ය.

දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ) සහ මුස්ලිම් පක්ෂ, ගෝඨාභය රාජපක්ෂ ප්‍රතික්ෂේප කර එජාප අපේක්ෂකයාට ඡන්දය දෙන ලෙස දෙමල හා මුස්ලිම් ජනයාගෙන් ඉල්ලා සිටියහ. දෙමල ජාතික සන්ධානය සහ මුස්ලිම් පක්ෂ අපකීර්තියට පත්ව ඇත. දෙමල හා මුස්ලිම් ජනතාව, උතුරේ සහ නැගෙනහිර සෑම දිස්ත්‍රික්කයකදීම අන්ත පරාජයකට පත්කරමින් රාජපක්ෂ, දැඩි ලෙස ප්‍රතික්ෂේප කලහ.

රාජපක්ෂ දිවුරුම් දීමේ උත්සවය 18දා අනුරාධපුරයේදී පැවැත්වීමට නියමිත අතර එය බෞද්ධ සංස්ථාපිතයේ සහ සිංහල වර්ගවාදීන්ගේ ගෞරවයට පාත්‍ර වේ. දමිල රජු පරාජය කිරීමෙන් පසු එම ප්‍රදේශය පාලනය කිරීම පිලිබඳ ප්‍රබන්ධයන් තුල දුටු ගැමුනු රාජධානියේ මධ්‍යස්ථානය මෙම නගරයයි.

ප්‍රේමදාස පරාජය පිලිගෙන පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරයෙන් ඉල්ලා අස් වූ වහාම අගමැති රනිල් වික්‍රමසිංහ කියා සිටියේ, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හෝ විපක්ෂයේ වාඩි ගත යුතුද යන්න පිලිබඳව නව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කරන බවයි. මුදල් හා ජාත්‍යන්තර වෙලඳාම භාර ඇමතියන් ඇතුලු‍ ආන්ඩුවේ ඇමතිවරු කිහිප දෙනෙක් දැනටමත් ඉල්ලා අස්වී තිබේ.

ශ්‍රීලපොපෙ නායක මහින්ද රාජපක්ෂ ඊයේ නිකුත් කල ප්‍රකාශයකින් කියා සිටියේ, පාලක එජාපය ”‍මැතිවරන වරමට ගරු කරනු ඇතැයි”‍ තමා විශ්වාස කරන බවයි. ඔහු ඇඟවුම් කලේ, නව ජනාධිපති දිව්රුම් දීමෙන් පසුව “19 වන ව්‍යවස්ථා සංශෝධනය මඟින් නිර්මානය කරන ලද සංකූලතා”‍ විසඳා ගැනීමට මුල් තැන ලැබිය යුතු බවයි.

“ආර්ථිකය පහල සිට ඉහලට ගොඩනැඟීමට හා මෙම අරමුනු සාක්ෂාත් කර ගැනීම සඳහා ව්‍යවස්ථාමය හා නීතිමය ප්‍රතිසංස්කරන හඳුන්වා දීමට පියවර ගන්නා බව” ද හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කලේය.

වෙනත් වචන වලින් කිවහොත් ශ්‍රීලපොපෙ සහ ගෝඨාභය රාජපක්ෂ ඇඟවුම් කරන්නේ, එජාප නායකත්වයෙන් යුත් ආන්ඩුව ඉල්ලා අස්විය යුතු බවත්, සිය දක්ෂිනාංශික, කම්කරු පන්ති විරෝධී න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා නව තන්ත්‍රයක් පිහිටුවීමට පාර්ලිමේන්තු මැතිවරනයක් පැවැත්විය යුතු බවත් ය.

ඊනියා “‍19 සංශෝධනය මඟින් නිර්මානය කර තිබෙන ප්‍රතිවිරෝධයන්”‍ ගැන කරන සඳහන එල්ල වී ඇත්තේ ඇතැම් ජනාධිපති බලතල සීමා කිරීමට එජාප ආන්ඩුව විසින් හඳුන්වා දුන් සීමිත පියවර ගැනය. විවෘතව ප්‍රකාශ නොකල ද, අනාගත නීති ප්‍රතිසංස්කරන සහ ව්‍යවස්ථාමය වෙනසක් ඇතිකිරීම යොදාගනු ඇත්තේ, රට ඒකාධිපති පාලන ක්‍රම වෙත යොමු කිරීම සඳහා ය.

මැතිවරනය පැවැත්වුනේ, ආන්ඩුවේ හා පාලක ප්‍රභූවේ ගැඹුරු දේශපාලන හා ආර්ථික අර්බුදය සහ කප්පාදුවට එරෙහිව කම්කරු පන්තියේ නැගී එන අරගල මධ්‍යයේ ය. පාලක ප්‍රභූවේ සෑම කන්ඩායමක්ම උත්සාහ කරන්නේ පොලිස් රාජ්‍ය පාලනය ස්ථාපිත කිරීමට ය. ජනාධිපතිවරනය ජයගත් ශ්‍රීලපොපෙ එවැනි පියවර ගැනීමට පටන්ගනු ඇත.

“ආර්ථිකය පහල සිට ඉහලට නැවත ගොඩනැඟීම” පිලිබඳ මහින්ද රාජපක්ෂගේ කථාව ද අර්ථභාරී එකකි. රට, කඳුගැසෙන නය බරින් මිරිකී ආර්ථික පසුබෑමකට මුහුන දෙයි.

අර්බුදය විසඳීමේ නාමයෙන් ජාමූඅ, රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීකරනය කිරීම සහ සුභසාධන වැඩසටහන් කප්පාදු කිරීම ඇතුලු පුලු‍ල් ආර්ථික ප්‍රතිසංස්කරන ඉල්ලා තිබේ. 2020 වන විට අයවැය හිඟය දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 3.5 දක්වා අඩු කිරීමට ජාමූඅට අවශ්‍ය වුවත්, මේ වසරේ හිඟය දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5.6 දක්වා ඉහල ගොස් තිබේ. මෙම මාසය මුලදී ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි අනතුරු ඇඟවූයේ, එම ඉලක්ක සපුරා නොගත හොත් “මූලික වශයෙන් ග්‍රීසියට සමාන තත්වයක්” උද්ගත වනු ඇති බවයි.

ශ්‍රීලපොපෙ පිහිටුවන ලද්දේ, මහජන විරෝධය මධ්‍යයේ 2015 මැතිවරනයෙන් මහින්ද රාජපක්ෂ නෙරපා හැර වසර දෙකකට පසුව, ජනාධිපති සිරිසේනගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ (ශ්‍රීලනිප) කන්ඩායමක් විසිනි. සිංහල ස්වෝත්තමවාදයට ආයාචනා කරමින් එය, ෆැසිස්ට් බොදු බල සේනා ඇතුලු‍ බෞද්ධ භික්ෂූන් සහ වර්ගවාදී බලවේගයන්ගෙන් සහ හමුදා නිලධරයේ කොටස් වලින් සහයෝගය ලබා ගෙන තිබේ.

මැතිවරන ව්‍යාපාරය තුල කම්කරුවන් දේශපාලනිකව නිරායුධ කල ව්‍යාජ වාම සංවිධාන හා වෘත්තීය සමිති, ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලන ක්‍රම පිලිබඳ දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන, දක්ෂිනාංශික එජාපය ප්‍රවර්ධනය කිරීම මගින් ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒමට කොන්දේසි නිර්මානය කිරීමට උදව් විය.

එජාප ආන්ඩුවේ අන්ඩක් ලෙස කටයුතු කරන ව්‍යාජ වාම නව සමාජ සමාජ පක්ෂය මෙම මැතිවරනයේදී, සජිත් ප්‍රේමදාසට ඡන්දය දෙන ලෙස ඉල්ලා සිටියේ, එමඟින් “ෆැසිස්ට්” ගෝඨාභය නැවැත්විය හැකි බව පවසමිනි. එලෙසම එක්සත් සමාජවාදී පක්ෂය ප්‍රේමදාසයට වක්‍රව සහාය දුන්නේ, ප්‍රධාන කාර්යය “ෆැසිස්ට් ගෝඨාභය” නැවැත්වීම බව ප්‍රකාශ කරමිනි.

වැටුප් හා ජීවන කොන්දේසි මුල්කරගෙන කම්කරුවන්ගේ මෑත වැඩ වර්ජන හා විරෝධතා රැල්ල අතරතුර වෘත්තීය සමිති, එජාප නායකත්වයෙන් යුත් ආන්ඩුවට සහාය දැක්වූහ. තවත් ව්‍යාජ වාම සංවිධානයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය, කම්කරුවන්ගේ සීමිත හා දේශපාලනිකව හුදෙකලා වූ අරගල තුලින් හා වෘත්තීය ක්‍රියාමාර්ග මඟින් සහන ලබා දෙන ලෙස ආන්ඩුවට සහ සමාගම්වලට බලපෑම් කල හැකි යැයි කියා සිටියේය.

පාලක පන්තියේ සෑම කන්ඩායමකටම එරෙහිව කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු‍ ගැන්වීම සඳහා ද සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා කැපවූ වූ කම්කරු හා ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒම පිනිස ද සමාජවාදී සමානතා පක්ෂය ගෙනගිය අරගලයට මෙම සියලු‍ කොටස් විරුද්ධ විය. වෘත්තීය සමිති හා ව්‍යාජ වම ඒ ආකාරයෙන්, ඒකාධිපති පාලන ක්‍රම කරා පාලක පන්තියේ ගමන ශක්තිමත් කිරීමට උපකාරී වී තිබේ.

අධිරාජ්‍යවාදී යුද්ධයට, කප්පාදුවට හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වලට එරෙහි ප්‍රහාරයන්ට විරුද්ධව ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක පදනම මත මැතිවරනයට ඉදිරිපත් වූ එකම පක්ෂය සසප පමනකි. සසප ව්‍යාපාරයට බොහෝ කම්කරුවන් හා තරුනයින් හොඳ ප්‍රතිචාරයක් දැක්වූ අතර අපගේ අපේක්ෂකයා දිවයින පුරා ඡන්ද 3,014 ක් ලබා ගත්තේය. කුඩා වුවත් මෙය සමාජවාදය සඳහා දුන් පන්ති විඥානයෙන් යුක්තව ඡන්දය ප්‍රකාශ කිරීමකි.

වැඩි කල් යන්නට මත්තෙන් කම්කරු පන්තිය, නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ ආන්ඩුව සමඟ ගැටුමකට එලඹෙනු ඇත. එම ප්‍රහාර පරාජය කිරීම සඳහා නම් කම්කරුවන් ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් මත පදනම් විය යුතුය. අප හා එක් ව මෙම අරගලයට අවශ්‍ය විප්ලවවාදී පක්ෂය ලෙස සසප ගොඩනැගීමට එක්වන මෙන් කම්කරුවන් හා තරුනයින්ගෙන් අපි ඉල්ලා සිටිමු.

Share this article: