ශිෂ්‍යයනි, විශ්වවිද්‍යාල සේවක වර්ජනයට ක්‍රියාශීලිව සහාය දෙනු!

සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) ප්‍රකාශය, 2019 සැප්තැම්බර් 16

රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ 17,000 ක් පමන වන අනධ්‍යන සේවකයන් හා පරිපාලන නිලධාරීන් ආරම්භ කර තිබෙන අඛන්ඩ වර්ජනය ඉදිරියට ගෙන යෑම සඳහා ක්‍රියාශීලීව සහාය දෙන ලෙස සියලුම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගෙන් සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) ඉල්ලා සිටී.

අනධ්‍යයන සේවකයන් සටන් වැද සිටින්නේ ශිෂ්ඨ සම්පන්න ජීවිතයකට සරිලන වැටුප් සහ යහපත් රැකියා කොන්දේසි සඳහා ය. අධ්‍යාපනය සඳහා අත්‍යාවශ්‍ය භෞතික හා මානව සම්පත්වල දැඩි ඌනතාවයට එරෙහිව සහ අධ්‍යාපනයේ පුද්ගලීකරනයට එරෙහිව නැවත නැවතත් අරගලයට අවතීර්න වෙමින් සිටින විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් වන ඔබ ද අනධ්‍යන සේවකයන් ද මුහුන දී සිටින්නේ එකම ප්‍රහාරයකට යි. එනම්, බලයට පත්වන සෑම ආන්ඩුවක් විසින්ම නොකඩවා ඉදිරියට ගෙනයන මහජන අධ්‍යාපනයේ රුදුරු කප්පාදුවට යි.

මේ වසරේම මුලදී මාසයකට අධික කාලයක් වර්ජනයේ නිරතව සිටි දහස් ගනනක් වූ අනධ්‍යන සේවකයන්, මාස කීපයකට පසු යලිත් අඛන්ඩ වර්ජනයක නිරත වීම ඉතා අර්ථභාරී ය. එය, ජාත්‍යන්තර පරිමානව පැන නැගී ඇති පන්ති අරගල මාලාවේ අත්‍යන්ත කොටසකි. මෙම ජාත්‍යන්තර පන්ති අරගල රැල්ල වනාහි, ලෝක ධනවාදය මුහුන දී සිටින ගැඹුරුතර අර්බූදය හමුවේ ලොවපුරා පාලක පන්තීන් කම්කරු-පීඩිත මහජනතාවට එල්ල කරන ප්‍රහාරයන්ට එරෙහි ලෝක කම්කරු පන්තියේ ප්‍රතිචාරය යි.

වැටුප්, රුදුරු රැකියා කොන්දේසි හා පෞද්ගලීකරනයට එරෙහිව ලංකාවේ සෞඛ්‍ය, දුම්රිය, තැපැල්, රාජ්‍ය බැංකු, වතු කම්කරු සහ අවශේෂ කම්කරු-පීඩිත මහජනයාගේ අරගල මාලාවක් වර්ධනය වී තිබේ. එහි කොටසක් ලෙස දෙලක්ෂයකට අධික පාසල් ගුරුවරු, අධ්‍යාපනය සඳහා යහපත් කොන්දේසි සකසා දෙන ලෙසත්, පාසල් තුල මුදල් අය කිරීම නීති ගත කරමින් අධ්‍යාපනයේ බර දෙමව්පියන් වෙත පැටවීම නතර කරන ලෙසත් ඉල්ලමින් මේ මස 26, 27 යන දෙදින වර්ජනයකට එලැඹීමට නියමිතය.

ඇමරිකාව ඇතුලු ජාත්‍යන්තර මෝටර් රථ කම්කරුවන්ගේ අරගල, ලොව පුරා පාසල් ගුරුවරුන්ගේ අරගල, අසමානතාවයට එරෙහි ප්‍රන්සයේ කහ බැනියම් ව්‍යාපාරය සහ පුවර්තෝ-රිකෝ හා හොංකොං හි පලල් මහජන නැගිටීම්, නැගෙන ජාත්‍යන්තර පන්ති අරගල රැල්ලේ ප්‍රමුඛතම අරගල කිහිපයකි.

අවශ්‍යවනුයේ එකම ප්‍රහාරයෙන් බැටකන විවිධ ක්ෂේත්‍රයන් හි කම්කරුවන්, සිසුන් සහ අවශේෂ පීඩිතයන් ඒකාග්‍ර කොට, ධනපති ආන්ඩු වලට සහ ධනපති ක්‍රමයට එරෙහි ඒකාබද්ධ ප්‍රතිප්‍රහාරයක් සූදානම් කිරීමයි. මේ සඳහා ආරම්භයක් ලෙස, විශ්ව විද්‍යාල ක්ෂේත්‍රය තුල වෙන් වෙන්ව සටන් වැද සිටින කම්කරුවන් සහ සිසුන් අනධ්‍යන සේවක වර්ජනයේ දී ඒකාබද්ධ විය යුතු ය.

අනධ්‍යන කම්කරුවන් සමග පිකට් උද්ඝෝෂනවලට, පෙලපාලි වලට සහ රැස්වීම් වලට සහභාගි වෙමින්, විශ්ව විද්‍යාල සිසුන් වර්ජනයට ක්‍රියාශීලීව සහාය දිය යුතු ය. වඩාත් වැදගත් කාරනය වන්නේ ආන්ඩුවේ ප්‍රහාරවලට ලක් වී සිටින අවශේෂ කම්කරු-පීඩිත කොටස් කරා අනධ්‍යයන වර්ජනය ව්‍යාප්ත කරමින් ආන්ඩුවට එරෙහි කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් වර්ධනය කිරීමට ශිෂ්‍යයන්ගේ හැරී ගැනීමයි.

නිදහස් අධ්‍යාපනය ඇතුලු සමාජ අයිතීන් මෙන්ම, ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ආරක්ෂා තරගත හැකි වන්නේ, එම අයිතීන් ආරක්ෂා කිරීමේ ශක්‍යතාව සතු එකම සමාජ බලවේගය වන, කම්කරු පන්තියේ නායකත්වය යටතේ ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලට සටන් වැදීමෙන් පමනක් බවත් සසජාතශි අවධාරනය කර සිටී.

අනධ්‍යන සේවක වර්ජනය කැඳවා ඇති විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සහ වෘත්තීය සමිති මධ්‍යම කමිටුව මෙන්ම, ශිෂ්‍ය විරෝධතා මත ලැග සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබමය), ධනපති ප්‍රහාරයන්ගෙන් බැටකන සියලු කොටස් ඒකාග්‍ර කරගත් එවන් දේශපාලන අරගලයක් වර්ධනය කිරීමට මුලුමනින්ම හතුරු ය.

අතලොස්සකගේ ලාභ අවශ්‍යතා මත පාදක වූ ධනේශ්වර නිෂ්පාදන සම්බන්ධතා ආරක්ෂා කරමින් ඒ යටතේ සහන දිනා ගැනීමේ බංකොලොත් ඉදිරිදර්ශනයෙන් මෙහෙයවෙන වෘත්තීය සමිති, ධනවාදයේ අර්බූදයේ සියලු බර කම්කරු පන්තිය මත පටවන ධනපති ආන්ඩුවල සහ මහා සමාගම්වල උපකරන ලෙස ක්‍රියාත්මකවීම ජාත්‍යන්තර ප්‍රපංචයකි. අනධ්‍යන සමිති නායකයන් වර්ජනය නවතා දැමීමට පොටක් සොයමින් සිටින අතර ජනාධිපතිවරනයක් නිවේදනය කලහොත් වර්ජනය නවතා දමන බවට දැනටමත් ඇඟවුම් කර තිබේ.

ව්‍යාජ-වාම සංවිධානයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) යටතේ මෙහෙයවන අවිශිබමය ශිෂ්‍ය සටන් උත්කර්ෂයට නැගීමේ යෙදී සිටින අතර එම පිලිවෙත සැමදා ක්‍රියාවේ යොදවා ඇත්තේ ශිෂ්‍යයන් කම්කරු පන්තියට එරෙහිව පිහිටුවීමටයි. මෙම පිලිවෙත් මත ක්‍රියාවට දැමෙන “ශිෂ්‍ය” විරෝධතා මගින් ධනපති ප්‍රහාර ආපස්සට හැරවිය නොහැකිය යන්න පසුගිය දශක කිහිපයේ පැහැදිලි අත්දැකීමයි. ලංකාව තුල සීමිතව හෝ පැවති මහජන අධ්‍යාපනය හා මහජන සෞඛ්‍යයමත් දිනා ගනු ලැබුවේ කම්කරු පන්තියේ අතීත අරගලවල ප්‍රතිඵලයන් ලෙසයි.

අනධ්‍යන සේවක වර්ජනයේ සහායට සිසුන් යොමු කරමින් වර්ජනය ව්‍යාප්ත කරනු වෙනුවට, “වහාම අනධ්‍යන සේවකයන්ගේ ප්‍රශ්න ටික විසඳලා විශ්වවිද්‍යාල පද්ධතිය යථා තත්වයට පත් කරන්න කියලා ආන්ඩුවට බලකරනවා” යයි අවිශිබමයේ නව කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන භික්ෂුව මාධ්‍ය සාකච්ඡාවක දී කියා සිටියේ ය.

බලගතු ආර්ථික අර්බුදයකට මුහුන දී සිටින සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවට කරන මෙවන් බලකිරීම් වලින් එහි කප්පාදු පිලිවෙත් ආපසු හැරවිය නොහැක. අපනයන ආදයම් සහ ආයෝජන ආකර්ෂනය පහත වැටීම හේතුවෙන් ආන්ඩුව උග්‍ර නය අර්බූදයකට මුහුන දී සිටී. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (ජාමූඅ) ලබාගත් දැවැන්ත නය කන්දරාවට හිලව් වසයෙන් එහි නියෝග ක්‍රියාත්මක කිරීමට ආන්ඩුව බැඳී සිටී. එම නියෝගයන්ට අනුව, 2015 දී දල ජාතික නිශ්පාදිතයෙන් සියයට 7.6 ක් වූ අය-වැය හිඟය 2020 දී සියයට 3.5 ක් දක්වා කප්පාදු කිරීමට යන සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවේ පලමු ඉලක්කය අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි කම්කරු පන්තියේ අත්‍යාවශ්‍ය සමාජ අයිතීන්ට පහරදීමයි.

ධනවාදයේ අර්බූදය මගින් වර්ධනය වන පන්ති සටන්, නාමික පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ රාමුව තුල තවදුරටත් රඳවාලිය නොහැකි ය. සංක්‍රමනිකයන්ට එරෙහිව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ෆැසිස්ට් පන්නයේ ප්‍රහාර, ජර්මනිය ඇතුලු යුරෝපය පුරා ෆැසිස්ට්වාදය යලි කරලියට ගැනීමට දරන උත්සාහය, හින්දු ස්වෝත්තමවාදය කරපින්නාගත් ඉන්දියාවේ මෝදි ආන්ඩුව කාෂ්මීරය තුල ගෙන යන මර්දනය මගින් ජාත්‍යන්තර පරිමානව පෙන්වා ඇත්තේ අන්ත දක්ෂිනාංශික හා ෆැසිස්ට් පන්නයේ පාලනයන් කරා මාරු වීමට පාලක පන්තීන් දක්වන නැඹුරුවයි.

අප්‍රේල් 21 දා ත්‍රස්ත බෝම්බ ප්‍රහාරය දඩමීමා කර ගනිමින් කම්කරු පන්තියේ හා පීඩිත මහජනයාගේ අරගල තලා දැමීමට සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව පොලිස් රාජ්‍ය පියවර දිනෙන් දින උග්‍ර කරමින් තිබේ. හදිසි නීතිය ඉවත් කලද මහජන ආරක්ෂක පනත යටතේ එම බලතල දිගටම ක්‍රියාත්මක වේ. විශ්වවිද්‍යාල තුලට හමුදා භට කන්ඩායම් දිගේලි කොට හිටපු මිලිටරි නිලධාරීන් විශ්වවිද්‍යාලයන් හි “නිසි බලධාරීන්” ලෙස පත් කරමින් ශිෂ්‍යයන්ගේ සහ සේවකයන්ගේ සියලු ප්‍රජාතන්ත්‍රීය අයිතීන් මැඩීමට පියවර ගෙන තිබේ.

වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය, සිරිසේනගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මහින්ද රාජපක්ෂගේ ශ්‍රී ලංකා පොදුජන පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුන වැනි සියලු ධනපති පක්ෂ අතර කවර මතභේද පැවිතියේ වී නමුත් කම්කරු පන්තිය දඬු ගැසීම සඳහා වන පොලිස් රාජ්‍ය සැලසුම්වලට මේ සියලු කොටස් අතර ඇත්තේ පොදු එකඟතාවයකි. වෘත්තීය සමිති නායකයෝ මෙම ධනපති පක්ෂවලට සහ ධනපති ක්‍රමයේ ආරක්ෂකයන් වන ව්‍යාජ-වාම පක්ෂවලට සම්බන්ධ වූවෝ වෙති.

අනධ්‍යයන කම්කරුවන් ඇතුලු සමස්ත කම්කරු පන්තියටත් සිසුන් සහ අවශේෂ පීඩිතයන්ටත් ධනපති පාලක පන්තියෙන් ස්වාධීන වූ තමන්ගේම දේශපාලන ක්‍රියාමාර්ගයක් තීරනාත්මකව අවශ්‍ය කෙරී ඇත්තේ වර්ධනය වන මේ දේශපාලන තත්වය හමුවේ ය. වෘත්තීය සමිතිවලින් කැඩී ගනිමින් කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට කම්කරුවන් පෙරට පැමිනිය යුතු යැයි ද, අවිශිබමයේ බංකොලොත් විරෝධතා දේශපාලනයෙන් මිදී එම කමිටු වලට සිසුන් එක්විය යුතු යැයි ද සසජාතශි අවධාරනය කර සිටී.

කම්කරු පන්තිය ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් වටා පීඩිත ගොවීන් සහ සිසුන් බලමුලු ගන්වා ගනිමින් කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමටත්, එමගින් මහා පරිමාන බැංකු, ෆැක්ටරි සහ වතු, කම්කරු පාලනය යටතේ ජනසතු කොට ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් යටතේ සමස්ත ආර්ථික සහ සමාජ ජීවිතය ප්‍රතිසංවිධානය කිරීමේ ඉදිරිදර්ශනය මත මෙම ක්‍රියාකාරී කමිටු පාදක විය යුතුය.

අනධ්‍යන කම්කරුවන් හා එක්ව, මෙම ඉදිරිදර්ශනය මත විශ්වවිද්‍යාල තුලත්, ආශ්‍රිත ප්‍රදේශ තුලත් ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට පෙරට එන ලෙස සසජාතශි ශිෂ්‍යයන්ගෙන් ඉල්ලා සිටී.

Share this article: