ජනාධිපති රූපවාහිනිය අතට ගැනීම අත්තනෝමතික පාලන පියවරක්

කේ.රත්නායක විසිනි, 2019 සැප්තැම්බර් 12

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳුදා මධ්‍යම රාත්‍රියේ නිකුත් කෙරුනු අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ලංකාවේ රජය සතු ප්‍රධාන ප්‍රචාරක නාලිකාව වන ජාතික රූපවාහිනිය ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් ඉවත්කර තමන් යටතේ ඇති ආරක්ෂක අමාත්‍යංශයට පවරා ගත්තේය. ජනාධිපතිගේ මෙම අත්තනෝමතික ක්‍රියාව දුෂ්ට අරමුනු ඇතිව තම අතේ බලතල ගොනුකර ගැනීමේ තවත් පියවරකි.

”ජාතික ආරක්ෂාව තහවුරු කරමින්, ජනතාව අතර සාමය, සමගිය සහ සංහිඳියාව ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යයෙන් වර්ධනය කිරීමටත් අති නවීන තාක්ෂනය යොදා ගනිමින් ජනතාවගේ රසඥතාව වර්ධනය කිරීම හා උසස් මාධ්‍ය සදාචාරයක් ඇතිකිරීම සඳහාත් අවශ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට” ජාතික රුපවාහිනිය තමන් යටතට ගත් බව සිරිසේන ගැසට් නිවේදනයේ සඳහන් කර ඇත.

මෙය අන්ත පචයකි. ජනාධිපති ලෙසද එයට පෙරාතු ආන්ඩුවල ඇමතියෙකු හා ධනපති පක්ෂ නායකයෙකු ලෙස ද සිරිසේනට ඇත්තේ ඉහත දක්වා ඇති කරුනු වලට ප්‍රතිවිරුද්ධ වාර්තාවක් බව හිතනමතන කිසිවෙකුට අමුතුවෙන් කියාදිය යුතු නැත.

ජාතික රූපවාහිනිය ඇතුලු ආන්ඩුවේ හා පුද්ගලික අංශයේ රූපවාහිනී නාලිකා මූලිකව යොදාගෙන ඇත්තේ බලයේ සිටින පක්ෂයේ හා ධනපති පන්තියේ අවශ්‍යතාවල ප්‍රචාරක අවියක් ලෙස මෙන්ම ඔවුන්ගේ සියලු ප්‍රතිගාමී දෘෂ්ටිවාදයන් වැගිරීම සඳහා ය.

දහ නවවන ව්‍යවස්ථා සංශෝධනයෙන් විධායක ජනාධිපතිගේ බලතල සීමිතව අඩු කෙරුනු තතු යටතේ අගමැති හෝ විෂය භාර ඇමති විමසීමෙන් පසුව විෂය ක්ෂේත්‍රයන් බෙදා ගැනීමේ පියවර ගතයුතු යැයි සැලකුනි. එහෙත් සිරිසේන වෙනත් තැන්වල දී මෙන්ම මෙහිදී ද එවන් විධි නියමයන් තුට්ටුවකට ගනන් ගෙන නැත.

ජනමාධ්‍ය සාකච්චාවක් පවත්වමින් මාධ්‍ය ඇමති රුවන් විජේවර්ධන ඊයේ මෙසේ ප්‍රකාශ කලේය: “පොලීසිය, ත්‍රිවිධ හමුදා සහ ටෙලිකොම් නියාමන කොමිසම ජනාධිපති අතේ පවතින අතර, මාධ්‍ය ආයතනවලට බලපත්‍රය නිකුත්කරන රූපවාහිනි සංස්ථාව ද පවරාගෙන ඇත. රූපවාහිනී සංස්ථාව පවරා ගැනීමෙන් පසුගිය ඔක්තෝබර් 26 දා දකින්නට ලැබුන වර්ගයේ ව්‍යවස්ථා කුමන්ත්‍රනයකට ජනාධිපති විසින් අරඅදින්නේ ද යන සැකය මතුවේ.”

ඇමරිකන් ගැති එක්සත් ජාතික පක්ෂයේ නායකයෙකු වන විජේවර්ධන මෙම ප්‍රකාශ දෙන්නේ ඔහු කිසි ලෙසකිනුත් ප්‍රජාතන්ත්‍රවාදියෙක් නිසා නොවේ. ඔහුගේ බරපතල චෝදනාකාරි ප්‍රකාශයෙන් පෙන්නුම් කෙරෙන්නේ පාලක පන්තියේ ප්‍රතිවාදී කන්ඩායම් අතර දේශපාලන යුද්ධයේ අන්ත කුමන්ත්‍රනකාරී ස්වභාවයයි.

මෙම දේශපාලන බෙලිකැපීමේ යුද්ධය පුද්ගලික කෝන්තර තරහමරහ නිසා ඇතිවී තිබෙන්නක් නොවේ. සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ නායකත්වය දෙන සෑම ප්‍රමුඛ ධනපති කල්ලියක් ම දැන් තමතම කල්ලි අතට බලය ඩැහැ ගැනීම සඳහා මතුපිටින් පෙනෙනවාට වඩා රුදුරු කාකොටා ගැනීමක යෙදී සිටිති. එය දැන් සිදුවන්නේ ජනාධිපතිවරන දුමාරයට මුවා වී ගෙන ය.

මහජනයාට එල්ල කල ප්‍රහාර නිසා අපකීර්තියට පත්ව සිටින ධනපති පන්තියේ සෑම කල්ලියක්ම, කම්කරු පන්තිය දේශපාලන ක්ෂේත්‍රයට එලැඹීම ප්‍රකාශයට පත්කරමින් ලොවපුරා වැඩෙන පන්ති අරගල රැල්ලේ කොටසක් ලෙස ලංකාවේ පැන නැගී ඇති පන්ති අරගල මාලාව නිසා භීතියට පත්ව සිටිති. මේ සතියේ 17,000ක් විශ්ව විද්‍යාල සේවකයින් දින නියමයක් නැති වර්ජනයකට එලැඹි අතර පරිපාලන නිලධාරීන් දින දෙකක් වර්ජනය කිරීම මෙම දේශපාලන කැකෑරීම පෙන්නුම් කරයි. සති දෙකකින් දෙලක්ෂයකට අධික ගුරුවරු වර්ජනයකට ඒමට නියමිතය. ගැඹුරුවන ගෝලීය ආර්ථික අර්බුදයත් සමග ආර්ථික බිඳ වැටීමක් අද්දර ගමන් කරන පාලක පන්තියේ වියරුව උත්සන්න වී තිබේ. ඔවුහු තමතමන්ගේ පැත්තෙන් පොලිස් පාලනයකට සූදානම් වෙති.

තමන් ද වික්‍රමසිංහ ද මහජන විරෝධයකට මුහුන දෙන තත්වයක, වික්‍රමසිංහ නෙරපා, සිය අන්ත ප්‍රතිවාදියා ලෙස සැලකු රාජපක්ෂ අගමැති කමට පත්කරමින් සිරිසේන ව්‍යාවස්ථා කුමන්ත්‍රනයක යෙදීම ඒකාධිපති පාලනයකට අරඇදීමේ වැඩිදියුනු අවස්ථාවක් පෙන්නුම් කලේය. එම සැලසුම ගැස්සී ගියේය.

මෙම පාලක පන්ති කල්ලිම අප්‍රේල් 21 රුදුරු ත්‍රස්තවාදී ප්‍රහාරයකට ඉඩදී අහිංසක මිනිසුන්ගේ ජීවිත මතින් හදිසි නීතිය පනවා මිලිටරිය මුදාහැර ත්‍රස්ත පාලනයකට සිය සූදානම පෙන්නුම් කලේය.

වික්‍රමසිංහ ඇමරිකානු අධිරාජ්‍යවාදීන්ගේ ද උදවු ඇතිව නැගීසිටීමට තැත් කරයි. රාජපක්ෂ 2015 නතර කලතැන් පටන් යලි ඒකාධිපති පාලන සැලසුම් තරකරමින් සිටියි. ධනපති සංස්ථාපිතයේ පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුන සියලු අංශවල නීතියේ ආධිපත්‍යය සඳහා ඍජුවම ඉදිරිපත්වීම පාලක පන්තියේ දක්ෂිනාංශික ගමන පෙනුම් කරයි.

රූපවාහිනිය අතටගත් අත්තනෝමතික ආකාරය මගින්, මැතිවරන දුමාරයට මුවාවී ඒකාධිපති පාලනයකට මාරුවීම පිලිබඳව සිරිසේන දී ඇති සංඥාව ගැන කිසිවෙකු අඩුතක්සේරු නොකල යුතු ය. හිතන මතන කම්කරුවන් තරුනයන් හා බුද්ධිමත් කොටස් දේශපාලන තත්වයේ පැද්දීම් ගැන බරපතල ලෙස අවධානය යොමුකොට නිගමන උකහා ගත යුතුය.

Share this article: