වුහාන්හි කොරෝනා වෛරසය පැතිර යාම හා ගෝලීය ආසාදිත රෝග තර්ජනය

The Wuhan coronavirus outbreak and the global threat of infectious diseases

2020 ජනවාරි 28

සති කිහිපයක් ඇතුලත චීනයේ වුහාන් නගරය කේන්ද්‍ර කරගෙන කොරෝනා වෛරසය පැතිර යාම හේතුවෙන්, නිව් යෝක් නගරයටත් වඩා විශාල, මිලියන 11ක ජනකායක් වෙසෙන ප්‍රධාන ගෝලීය මහ නගරයක් වසා දමා ඇත.

කිසිදු ධනපති ආන්ඩුවක් ප්‍රමානවත් ලෙස සූදානම් නොමැති අන්තරායන් වන මෙවන් ආසාදිත රෝගවල නව පීඩාවන්ට වර්තමාන සමාජය මහා පරිමානයෙන් ගොදුරුවීමේ හැකියාව කෙතෙක්ද යන්න මෙම රෝගයේ පැතිර යාම මගින් හෙලිදරවු කර තිබේ.

-බීජිංහි උමං මාර්ගික දුම්රිය ස්ථානයෙහි දොරටුවේ දී මගියෙකුගේ උෂ්නත්වය මනින අන්තරායකාරී ද්‍රව්‍ය වලින් ආරක්ෂාවීමේ ඇඳුමකින් සැරසී සිටින කම්කරුවෙක්, 2020 ජනවාරි 26 ඉරිදා (ඒපී ඡායාරූපය/මාක් ෂීෆල්බයින්)

අර්බුදයෙහි අපිකේන්ද්‍රයේ ප්‍රාදේශීය යටිතල පහසුකම් බිඳ වැටීම අද්දරට තල්ලු‍ කරමින් පවතින්නේ, වුහාන් ඇතුලු‍ චීනයේ හුබෙයි පලාතේ නගර 15ක් ආංශිකව හෝ පරිපූර්නව වසා දමා, කලාපයේ මිලියන 58.5ක් වන ජනයාගෙන් අතිමහත් බහුතරය මත නිරෝධායනයක් (අන්අයගෙන් වෙන්කර තැබීමක්) පටවමිනි.

සමාජ මාධ්‍ය8 ජාලා මත පලකල වීඩියෝ හා ඡායාරූප මගින්, උන හෝ උන වැනි අනෙකුත් රෝග ලක්ෂන පෙන්නුම් කරන, සන්ත්‍රාසයට පත් වැසියන් පිරී ඉතිරී ගිය රෝහල්වල පොරොත්තු කාමර පෙන්නුම් කෙරුනි. වෛද්‍ය සැපයුම් අන්තරායකාරී ලෙස අඩු මට්ටමක පවතිද්දී පවා, ආසාදිත හෝ ආසාදනය වී ඇතැයි සැක කරන රෝගීන්ට ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරුන්, හෙදියන් හා අනෙකුත් වෛද්‍ය කාර්යමන්ඩලවලට බලකෙරී තිබේ.

රෝහල්වලින් පිටත, අත්‍යවශ්‍ය භාන්ඩ, ඉන්ධන, ආහාර හා ජලය රැස් කරගැනීමට යුහුසුලු‍ වූ ජනයාගෙන් පිරී පවතින අතර ඒ හේතුවෙන් මූලික අවශ්‍යතාවන්ගේ මිල ඉහල නැග ඇත. අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර හැර අනෙකුත් ආකාරගත ක්‍රම සොයන්නන්ට ද ව්‍යාකූලත්වය විසින් ප්‍රමාදයන් ජනනය කර ඇත. ආසාදනය වෙතැයි පවතින බිය හේතුවෙන් කූලී වාහන වලට රෝහල් කම්කරුවන් නංවා නො ගන්නා නිසා ඔවුන්ට ඇවිද ඒමට හෝ පුද්ගලික මෝටර් රථ භාවිතා කිරීමට බලකරමින් වුහාන් නගරය ඇතුලත පොදු ප්‍රවාහනය නවතා දමා තිබේ.

චීනයේ හඳුනාගත් රෝගීන් 4,494 ක් හා මරන 106 ක් විසින් මිලියන සියගනනක් ජනයාගේ සමාජ ජීවිතයේ සෑම අංශයක් ම ඇන හිටුවා ඇත.

දැනට චීනයෙන් පිටත රටවල් 14ක -ඕස්ට්‍රේලියාව, කාම්බෝජය, කැනඩාව, ප්‍රන්සය, ජපානය, මැලේසියාව, නේපාලය, සිංගප්පූරුව, දකුනු කොරියාව, ශ්‍රී ලංකාව, තායිවානය, තායිලන්තය, එක්සත් ජනපදය හා වියට්නාමය- සිද්ධීන් 65ක් වාර්තා වේ. චීනයේ සෞඛ්‍ය නිලධාරීන් වසංගතයේ පැතිරීම වේගවත් වන බව ජාත්‍යන්තර ව අනතුරු අඟවා ඇති අතර, චීනයේ ප්‍රධාන වෛරස විද්‍යඥයෙකු හා 2003 සාස් වසංගතයේ ප්‍රවීනයෙකු වන ගුවාන් යී “වුහාන්හි පැතිරීම අවම වසයෙන් සාස් වසංගතයේ පැතිර යාමට වඩා 10 ගුනයක් විශාල” යි පවසයි.

ඒ අතර ම, දුගී බව, සමාජ අසමානතාව හා පිරිහුනු සෞඛ්‍ය ආරක්ෂන යටිතල පහසුකම් මගින් ආර්ථික බිඳ වැටීම්, රෝගී තත්ත්වයන් හා මරන ඉහල දමනු ලැබේ. චීනයේ තත්ත්වය බියකරු වන අතර ම, ඊනියා පලමුවන ලෝකයේ රටවල් ද වර්තමානයේ වුහාන්හි ඇති වන පරිමානයේ පැතිරී යාමකට සූදානම් නැති බව සටහන් කල යුතු ය. සෑම වසරක ම එක්සත් ජනපදයේ 30,000ක් ජනයා, වුහාන් කොරෝනා වෛරසයට වඩා බොහෝ සෙයින් අඩුවෙන් බෝවන රෝගයක් වන සෙම්ප්‍රතිශ්‍යාවෙන් පමනක් මිය යති.

නව කොරෝනා වෛරසයේ ප්‍රධාන අන්තරායන්ගෙන් එකක් වන්නේ, ආසාදිත පුද්ගලයෙකු රෝග ලක්ෂන පෙන්නුම් නො කලත් සාමාන්‍යයෙන් දින 3-7 අතර කාලයක් තුල අනෙක් පුද්ගලයන්ට බෝ විය හැකිවීම සහ දින 14ක් දක්වා වෛරසය පැවතිය හැකි වීම යි. හොංකොං විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨාධිපති ගේබ්රිංයල් ලෙවුං විසින් නායකත්වය දෙන පර්යේෂකයන් තක්සේරු කරන පරිදි, වුහාන්හි පමනක් මූලික රෝග ලක්ෂන පෙන්නුම් කරන 25,630 ක් සිටින අතර, එය දින හය හතක් ඇතුලත 44,000ක් දක්වා ආසන්න වසයෙන් දෙගුන විය හැකි ය.

එක්සත් ජනපදයේ සිද්ධීන් පහක් තහවුරු කෙරී ඇති අතර, තවත් රෝගීන් 110ක් නිරීක්ෂනය යටතේ පසුවෙති. මධ්‍යම රෝග පාලන මධ්‍ය ස්ථානයේ (සීඩීසී) ඒජන්සියක් වන ජාතික ප්‍රතිශක්තිකරන හා ශ්වසන රෝග මධ්‍ය‍ස්ථානයේ අධ්‍යක්ෂිකා නැන්සි මෙසෝනියර්ට අනුව, එම ගනන් හිලවු “ඉහල යාම පමනක් සිදු වනු ඇත.”

වෛරසය හඳුනාගැනීමෙන් හුදෙක් සති කිහිපයකට පසුව එය පැතිර යාමේ විභවය, එහි විෂඝෝර ස්වභාවය, විශේෂයෙන් ම චීනය හා ලෝකයේ අනෙකුත් කොටස් අතර නවීන ආර්ථික හා සමාජ ජීවිතයේ පවතින අතිශය ඒකාග්‍රිත ස්වභාවය පිලිබඳ ව කතා කරයි. වුහාන් කොරෝනා වෛරසය, සාස් වෛරසය මෙන් අවම වසයෙන් හතර ගුනයක වේගයෙන් පැතිර යන්නේ හා පස් ගුනයක් ජනයාට ආසාදනය වන්නේ, රටින් පිටතට රට තුලට මහජනයාට සංචාරය කිරීමේ පහසුව හේතුවෙනි.

එහෙත්, සහස්‍රය ආරම්භයේ සිට ගුවන් ගමන්වල ඇතිවූ වර්ධනය, ආසාදිත රෝගවල පැතිරී යාම සමග සටන් කිරීමට ජාත්‍යන්තර මට්ටමේ සූදානම ඉහල නංවා නැත. ජාත්‍යන්තර දේශ සීමා හරහා මහජනයාගේ ගලා යාමට, රෝගයේ පැතිර යාම නැවැත්වීමට ජාත්‍යන්තර සම්බන්ධීකරනයක් අවශ්‍ය කරතත්, සීඩීසී වැනි සංවිධාන ඒවායේ අරමුදල් 2010 දී ඩොලර් බිලියන 10.8ක් ව තිබී 2020 දී බිලියන 6.6ක යෝජිත අගයක් දක්වා කපා හැර ඇත. තම අරමුදල්වලින් සියයට 80ක් ස්වේච්ඡා ප්‍රදානයන්ගෙන් ලබන ලෝක සෞඛ්‍ය සංවිධානයට 2016-2017 සමයේ තිබුනේ ඩොලර් බිලියන 5.1ක අයවැයක් පමනි.

ඒ අතර ම, එක්සත් ජනපද කොංග්‍රසය ඩොලර් බිලියන 738 ක ආරක්ෂක පනතක් සම්මත කලා පමනි. චීනයේ වාර්ෂික ආරක්ෂක අයවැය ඩොලර් බිලියන 250 ක් තරම් ඉහල යයි තක්සේරු කරනු ලැබේ. මේවා, “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය” සඳහා එක්සත් ජනපදය වියදම් කර ඇති ඩොලර් ටි්‍රලියන 6 හා 2008 අර්බුදයෙන් පසුව වෝල් වීදියේ බැංකුවලට ප්‍රදානය කල තවත් ටි්‍රලියන ගනන්වලට අමතර ව ය.

තවත් ආකාරයකින් කියතොත්, විශේෂයෙන් ම එක්සත් ජනපදය ඇතුලු‍ ලෝකයේ ආන්ඩු පසු ගිය සියවස් කාල තිස්සේ විශාල පරිමාන යුද්ධය සඳහා අතිසාවධාන සැලසුම් සකස් කර ඇතත්, එම කාලය පුරා ම ග්‍රහලෝකයට ව්‍යසනය කැඳවා ඇති වසංගතයන්ගේ ප්‍රතික්‍රියාවන් පරාජය කිරීමට එවන් සම්පත් හෝ දූරදර්ශී භාවයක් කැපකර නැත. 1996 සිට 2001 දක්වා පැතිර ගිය පිස්සු ගව රෝගය, 2009 ඉන්ෆ්ලු‍වන්සා වසංගතය, 2015-2016 සමයේ සිකා වසංගතය හා 1960 දී මුල්වරට මතු වූ පසු අවම වසයෙන් මිලියන 30ක් මරා දමා ඇති එච්අයිවී/ඒඞ්ස් වසංගතය ඇතුලු‍ ව 1996 පටන් ලොව පුරා වසංගත 67ක් පැවතී ඇත.

සෑම අවස්ථාවක දී ම මෙම ව්‍යසනයන් වලක්වා ගත හැකි ය. කවර මට්ටමක් දක්වා වෛද්‍ය විද්‍යව දියුනු වී ඇද්ද යත් එයට නව වෛරසයන් සති ගනනක් ඇතුලත හඳුනාගෙන මාස ගනනක් ඇතුලත එන්නත් වර්ධනය කල හැකි ය. එහෙත්, 2014 දී එවකට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය මාගරට් චැන්, එබෝලා පැතිර යාම ගැන සඳහන් කලේ “ලාභය මත පදනම් වූ කර්මාන්තයක්, වෙලඳපලට ගෙවිය නොහැකි නිශ්පාදන සඳහා ආයෝජනය නොකරයි” යනුවෙනි.

මේ ගෙවී ගිය වසරේ බ්‍රසීලයේ, කැලිෆෝනියාවේ, අප්‍රිකාවේ හා ඕස්ට්‍රේලියාවේ ඇති වූ ලැව්ගිනිවල සිට සුලි සුලං හා කුනාටු විසින් ජනනය කරන ලද ඉහල යන හානි හා දේශගුන වෙනස විසින් ඇති කරන ගනන් නැති විනාශයන් දක්වා වන සෑම වසංගතයක දී ම හා ස්වාභාවික විපතක දී ම මෙම තේමාව ප්‍රතිරාවය කෙරුනි. අනාගතයේ දී අවශ්‍ය කරන සැලසුම් හා ගෝලීය අන්තරායන් සඳහා සූදානම් වීමට, ධනවාදයට ආවේනික කෙටි කාලීන ධනලෝභී ලාබ සැලසුම් මගින් සම්පත් වෙන් කල නො හැක. ජාතික රාජ්‍ය පද්ධතිය තුල මුල් බැස තිබෙන සෑම ධනපති රටක් ම වර්තමානයේ තමාගේම අභිවෘද්ධිය සඳහා බලපෑම් යොදන්නේ, බැරෑරුම්ව හා විද්‍යාත්මක ව අවශ්‍ය ජාත්‍යන්තර ඒකාබද්ධතාවට හරස් වෙමින් අනාගතය බිලි දෙමිනි.

මෙම ගැටුම් තීව්‍ර වෙමින් තිබෙනවා පමනි. විෂඝෝර රෝගයක් ගෝලීය ව පැතිර යාම පරාජය කිරීමට ජාතික දේශ සීමා කපාගෙන යන තාර්කික සැලසුමක් තීරනාත්මක වන සමයක, එක්සත් ජනපදය හා චීනය නව “සීතල යුද්ධයක්” ලෙස හඳුන්වන වැඩෙන වෙලඳ යුද්ධයකට කොටු වි ඇත. නව රෝගකාරකයන් පරාජය කිරීමට සෑම මහාද්වීපයක ම විද්‍යාත්මක සම්පත් අවශ්‍ය වෙද්දී පවා, ලෝකයේ රටවල් රූපික හා යථා ප්‍රාකාරයන් ගොඩනගමින් සිටිති.

දේශගුන වෙනස හා පාරිසරික ව්‍යසනයන්ගේ වැඩෙන තර්ජනය වැනි ගෝලීය වසයෙන් ව්‍යාප්ත වසංගතයන්ගේ තර්ජනයට එරෙහි ව මානව ශිෂ්ටාචාරය ආරක්ෂා කිරීමට ධනවාදය අසමත්ව ඇති තත්වයක, සැලසුම්කරනයේ ඉහල මට්ටමක් හා ගෝලීය සහයෝගීත්වයක් අවශ්‍යම කරයි. සමාජය, ධනපති ක්‍රමය හා එය ලෝකය මත පටවන අත්තනෝමතික බෙදීම් ඉක්මවා ගොස් ඇත. අතිශයින් ම අත්‍යවශ්‍ය සමාජ අවශ්‍යතා සම්පාදනය කිරීමට තාර්කික සැලැසුම්කරනය අවශ්‍ය කරයි. එනම්, එයට සමාජවාදය ආවශ්‍යක වෙයි.

බ්‍රයන් ඩයින්

Share this article: