මහපොල-ශිෂ්‍යාධාර ගැටලු‍ විසඳන ලෙස ඉල්ලා සරසවි සිසුහු උද්ඝෝෂනයේ යෙදෙති

ප්‍රදීප් රාමනායක විසිනි, 2020 ජනවාරි 13

මහපොල සහ ශිෂ්‍යාධාර රුපියල් 10,000 දක්වා ඉහල දැමීම සහ මාස තුනකින් ප්‍රමාද කෙරී ඇති එම ගෙවීම් වහා පියවීම යන ප්‍රධාන ඉල්ලිම් යටතේ විශ්වවිද්‍යාල සිසුන් 1500කට ආසන්න පිරිසක් පසු ගිය බ්‍රහස්පතින්දා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතා දැක්වූහ. ලංකාවේ සෑම විශ්වවිද්‍යාලයක්ම පාහේ නියෝජනය කල සිසුන් කොලඹ පිහිටි සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය වෙත පැමිනි අතර ඔවුහු පසුව පාගමනකින් ගාලු‍මුවදොර පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පැමින ඒ ඉදිරිපිට විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සහ සටන්පාඨ හඬනගමින් උද්ඝෝනයේ යෙදුනාහ.

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතා දක්වන සිසුන් පිරිසක්

මහපොල ඉල්ලීමට අමතරව දේශනවලට සහභාගීවීමේ සියයට 80 ප්‍රතිශතය අහෝසි කිරීම, අධ්‍යාපනයට වෙන්කරන මුදල් ඉහල නැංවීම, ජීවන වියදමට සරිලන පරිදි වැටුප් ඉහලදැමීම සහ විශ්වවිද්‍යාල තුල මර්දනය නතර කිරීම ආදිය ද සිසුන්ගේ සටන්පාඨ අතර විය. උද්ඝෝෂනය මෙහෙයවූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලයේ (අවිශිබම) නියෝජිතයින් කිහිපදෙනෙකු ජනාධිපති අතිරේක ලේකම්වරයෙකු, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ඇතුලු‍ නිලධාරීන් කන්ඩායමක් සමග සාකච්ඡාවක් පැවත්වීමෙන් පසුව අවිශිබම නායකත්වය විසින් සිසුන් හරවා යවන ලදී. මහපොල ආධාරය රුපියල් 7,000ක් දක්වා වැඩිකරන බව ආන්ඩුව මේ වන විට නිවේදනයකර ඇත.

ආන්ඩුවේ නියෝජිතයන් අවිශිබමට සාකච්ඡාවක් ලබාදීම හා පොරොන්දු වී ඇති මහපොල ආධාරයේ සොච්චම් වැඩිවීම, ශිෂ්‍යයන්ගේ ප්‍රශ්නවලට ඇහුම්කන් දී විසඳුම් ලබාදීමට නව ආන්ඩුව ගත් පියවරක් වෙතැයි යන වැරදි නිගමනයට කිසිඳු ශිෂ්‍යයෙකු නොඑලඹිය යුතුය. සත්‍ය වශයෙන්ම නම් ඉදිරියේදී නව ආන්ඩුවට කප්පාදු සහ පෞද්ගලීකරනය වේගවත් කිරීම හැරෙන්නට වෙනත් විකල්ප නැත.

මෙම වැඩපිලිවෙල ඉදිරියට යද්දී ඊට එරෙහිව කම්කරු පන්තිය සහ සිසුන් ඇතුලු‍ පීඩිත කන්ඩායම් අතරින් මතුවන අරගල රුදුරු ලෙස මර්දනය කිරීම සඳහා රාජපක්ෂට තමන් අතට ඒකාධිපති බලතල සංකේන්ද්‍රනය කරගැනීම අත්‍යවශ්‍ය වේ. එලඹෙන මහ මැතිවරනයේදී බහුතර බලයක් දිනාගනිමින් තමන් සතු විධායක බලතල ඉහලදමාගැනීමට නව ව්‍යවස්ථා සංශෝධනයක් කරා යෑම රාජපක්ෂගේ ප්‍රමුඛ ඉලක්කයකි. සිසුන්ට එරෙහිව ප්‍රහාරයක් දියත් කලේ නම් එය කම්කරු පන්තියේ කෝපය අවුලු‍වාලමින් ජනාධිපතිවරනයට පෙර මෙන් පන්ති අරගල රැල්ලක් ඇවිලෙනු ඇතැයිද ඒ හරහා තමන්ගේ මැතිවරන පදනමට හානිවනු ඇතැයිද රාජපක්ෂ ගනන් බලා ඇති බව පැහැදිලිය. සිසුන් වෙත සොච්චම් සහන විසිකර එවැනි බරපතල අවදානමක් වලක්වාගැනීමට රාජපක්ෂ ප්‍රවේසම් වී ඇත.

උද්ඝෝෂනය සඳහා සිසුන් සැලකිය යුතු ප්‍රමානයක් සහභාගිවීම තුලින් පෙන්නුම් කෙරුනේ තමන් මුහුනදෙන දුෂ්කර කොන්දේසි වලට එරෙහිව සටන්කිරීම සඳහා ඔවුන්ට ඇති බලවත් අවශ්‍යතාවයයි. මහපොල සහ ශිෂ්‍යාධාර නිසිපරිදි සහ ප්‍රමානවත් ලෙස ගෙවනු ලැබීම, සිසුන්ගේ අධ්‍යයන කටයුතු කරගෙන යාමේදී ඉතා තීරනාත්මක වන්නකි.

රැස්ව සිටි ශිෂ්‍යයන් අතර(සසජාතශි) මැදිහත්වෙමින්

සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සහ එහි ශිෂ්‍ය සහ තරුන අංශය වන සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානයේ සාමජිකයන් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය අසල උද්ඝෝෂනය සඳහා රැස්ව සිටි ශිෂ්‍යයන් අතර මැදිහත්වෙමින් ඔවුන් සමඟ කල සාකච්ඡාවන් වලදී සිසුන් තමන් මුහුන දෙන අධ්‍යන සහ සුබසාධන ගැටලු‍ පිලිබඳව සාකච්ඡා කලහ.

කොලඹ විශ්වවිද්‍යාලයේ කලමනාකරන පීඨයේ දෙවන වසර උදේශ් ප්‍රකාශ කලේ මහපොල ශිෂ්‍යධාරයත්, තම දෙමාපියන්ගෙන් ලැබෙන මුදලත් ප්‍රමානවත් නොවීම නිසා තමා මේ වනවිට අර්ධකාලීන රැකියාවක් සොයමින් සිටින බවයි. “ඇත්තෙන්ම අද පවතින තරගය නිසා මේ උපාධිය පමනක් ප්‍රමානවත් වෙන්නේ නැහැ. ඒක නිසා මම මුදල් ගෙවා වෙනත් වෘත්තීය පාඨමාලාවකුත් හදාරනවා. ඒක නිසා මුදල් ප්‍රශ්නය ලොකුවටම තියෙනව. දෙමව්පියන් වියදම් දරන්නේ අමාරුවෙන්. මට උසස්පෙල හදාරන සහෝදරියක් ඉන්නවා. දෙමව්පියන් ඒවාටත් වියදම් දරන්න අවශ්‍යයි. මම අර්ධ කාලීන රැකියාවක් සොයමින් ඉන්නේ. ඒත් කරන්න තියෙන පාඩම් වැඩ ප්‍රමානය අනුව ඒකට වෙලාවක් හොයාගන්න අමාරුවෙයි.”

අංජන

උද්ඝෝෂනයට සම්බන්ධ වීම සඳහා අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිට පැමිනි අංජන සාකච්ඡාවට එකතු වෙමින් ප්‍රකාශ කලේ විශ්වවිද්‍යාල තුල පාඨමාලාවන්ගේ ගුනාත්මකභාවය පිලිබඳව පාලකයින් ඉතාම අඩුසැලකිල්ලක් දක්වන බවයි. “අග්නිදිග විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේ විවිධ ගැටලු‍ නිසා තවම එකම ශිෂ්‍ය කන්ඩායමකටවත් උපාධිය සම්පූර්න කරගෙන ඉන් පිට වෙන්න බැරිවෙලා තියෙන්නෙ. පලවෙනි ශිෂ්‍ය කන්ඩායම බඳවගත්තේ 2012 වසරේ. සමහර සිසුන්ට තවම ඇතැම් විභාග පවත්වලා නැහැ. අපේ තාක්ෂන පීඨයේ සිසුන් ලිප්ටන් වටරවුමේ අට්ටාල ගහගෙන මාස ගනන් හිටියා ඔවුන්ගේ උපාධියේ ප්‍රශ්න විසඳගන්න. කිසිම විසඳුමක් නැහැ. ආරංචියක් තියෙනව තාක්ෂන පීඨයේ පාඨමාලවන්ගේ කොටස් අඩුකරන්න යනව කියල. මේ ඔක්කොම ආන්ඩුවේ කප්පාදුව නිසා”.

රුපියල් 2,500 සහ 1,500 වැනි සොච්චම් අගයක පැවති මහපොල සහ ශිෂ්‍යාධාර ගෙවීම් රුපියල් 5,000 දක්වා වැඩිකරන ලෙස ඉල්ලමින් සිසුන් විසින් උද්ඝෝෂන ආරම්භ කලේ 2010 වසරේදීය. එම ඉල්ලීමට අනුව මහපොල ආධාරය ඉහල යාමට අවුරුදු පහක් වැනි දීර්ඝ කාලයක් ගතවූ අතර සිසුන් රුපියල් 5,000ක ඉල්ලිම ඉදිරිපත් කල තැන් පටන් මේ වනවිට වසර 10ක් ගතවී ඇත. එම කාලය තුල ජීවන වියදම දැවැන්ත පරිමානයන්ගෙන් ඉහලගොස් ඇති අතර රුපියල් 5,000ක මුදල අප්‍රමානවත් වීම නිසා බොහෝ සිසුන්ට අර්ධකාලීන රැකියාවලින් මුදල් උපයාගැනීමකින් තොරව අධ්‍යයන කටයුතු පවත්වාගෙන යා නොහැකි කොන්දේසි නිර්මානය කෙරී ඇත.

විශ්වවිද්‍යාල නේවාසිකාගාර වල සීමාසහිතභාවය නිසා බොහෝ සිසුන්ට මුදල් ගෙවා බාහිර නවාතැන් සොයාගැනීමට සිදුවී ඇත. පිම්මේ ඉහල යන කෑම, බීම, ලිපිද්‍රව්‍ය සහ ගමනාගමන ආදී වියදම් දලවශයෙන් ගනන් බැලීමෙන් වුවත් පැහැදිලිවන්නේ රුපියල් 5,000කින් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුට තම වියදම් වලින් අර්ධයක් හෝ පියවාගැනීමට නොහැකි බවයි. එම මුදල පවා මාස තුනක කාලයකින් ලැබී නොමැති තත්වයක් තුල සිසුන් තම අධ්‍යයන කටයුතු කරගෙන යෑමේදී බරපතල දුෂ්කරතාවයන්ට මුහුනදී සිටිති. දේශන සඳහා සියයට 80 ක පැමිනීමක් අනිවාර්ය කර තිබීම නිසා සිසුන්ට අර්ධකාලීන රැකියාවලින් අමතර මුදලක් උපයාගැනීමද අපහසු වී ඇත. තමන්ගේ අයිතීන් වෙනුවෙන් අරගලයට ප්‍රවිෂ්ට වීමට සිසුන්ට බලකෙරී ඇත්තේ මෙවන් තත්වයක් තුලය.

සිසුන්ගේ මූලික අවශ්‍යතාවයක් ලෙස පවතින මහපොල ආධාරය ඇතුලු‍ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සමස්ත වියදම් කප්පාදුව වූ කලී ලංකාවේ අනුප්‍රාප්තික ආන්ඩු විසින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමූඅ) විධානය අනුව දියත්කර ඇති සමාජ සුභසාධන කප්පාදු මාලාවේ අංගයකි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තම මැතිවරන ප්‍රකාශනය තුල රාජ්‍ය අධ්‍යාපනය සඳහා වෙන් කෙරෙන මුදල ඉහල දමන බවට පොරොන්දු දී ඇතත් ඔහුගේ ආන්ඩුවට ජාමූඅ විසින් පනවා ඇති රුදුරු කප්පාදු ක්‍රියාවට දැමීමේදී එම පොරොන්දුවලට අනිවාර්යයෙන්ම පයින් ගසනු ඇත.

විශ්වවිද්‍යාල සිසුන් තම අරගලයේදී මුහුනදෙන්නේ ජාත්‍යන්තර මුල්‍ය ප්‍රාග්ධනය සහ එහි නියෝජිතයන් වන ජාමුඅ සහ ආන්ඩුව සමග සෘජු ගැටුමකටයි. කම්කරු පන්තියේ නායකත්වය යටතේ දේශපාලනිකව සන්නද්ධ වීමෙන් තොරව සිසුන්ට එම ගැටුමට මුහුන දිය නොහැකිය.

එනමුත් සිසුන්ගේ නායකත්වයේ සිටින අවිශිබම වසර ගනනක් මුලු‍ල්ලේ සිසුන් එම දේශපාලන පැහැදිලිකම වෙත ලඟාවීම වලක්වාගෙන සිටියි. මෙවර උද්ඝෝෂනයේදී ද සුපුරුදු පූච්චානම් සටන් පාඨ සිසුන් අතට දුන් අවිශිබම නායකයන් තමන්ට සුපුරුදු මෙන්ම මුලු‍මනින් බංකොලොත්, විරෝධතා දේශපාලනය කරපින්නා ගත්තේය. මුලු‍ උද්ඝෝෂනය පුරාවටම අවිශිබම නායකයන්ගේ ක්‍රියාකලාපය වංචනික විය.

සාකච්ඡාවකට අවස්ථාවක් ලැබීමෙන් පසු ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැස්ව සිටි සිසුන් ඇමතූ අවිශිබම නායකයෙකු පැවසුවේ “ගෝඨාභය මහත්තයා කරන්නේ බොරු සංදර්ශන බව දැන දැනත් අපි සාකච්ඡාවට යනවා. නමුත් අපි අරගලය අතහරින්නේ නැහැ” යනුවෙනි. “අරගලය” යන වචනය මන්තරයක් සේ ජපකරමින් අවිශිබම කරන්නේ රැවටිල්ලකි. ආන්ඩුව මේසා පරිමාන ආර්ථික අර්බුදයක ගිලී සිටියදී, ඊට බලපෑම් දැමීමෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවත්නා දහසකුත් එකක් ප්‍රශ්නවලට විසඳුම් දිනාගත නොහැකි බව දැන දැනත් අවිශිබම තම බංකොලොත් විරෝධතා දේශපාලනය තුලම සිසුන් සිරකරගෙන සිටියි.

කප්පාදුවට එරෙහිව සිසුන්ට සැබෑ ලෙසම සටන් කල හැක්කේ, ජාත්‍යන්තර සමාජවාදී ඉදිරි දර්ශනයක් මත කම්කරු පන්තිය විසින් දෙනු ලබන නායකත්වයක් යටතේ පමනි. මෙම දේශපාලනික අවබෝධයෙන් සිසුන් සන්නද්ධවීම වලකාලමින්, එකක් පසුපස තවෙකක් අකාරයට, නිමක් නැති විරෝධතාවන්ට සිසුන් මෙහෙයවීම අවිශිබම යේ භූමිකාවයි. ආන්ඩුවේ නියෝජිතයින් සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව සිසුන් වෙත පැමිනි අවිශිබම නායකයෝ සුපුරුදු පූච්චානම් භාෂාවෙන්, “පොරොන්දු ඉටුනොවුනොත් මීට වඩා ලොකු අරගලයක්” කරන බව පවසමින්, සිසුන් ආපසු හරවා යැවූහ.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රශ්න විසඳීමට දෙන පොරොන්දු වලට ප්‍රතිකූලව ආන්ඩුවේ සැබෑ සූදානම ශිෂ්‍ය අරගල මර්දනය කිරීම බව උද්ඝෝෂනය කඩාකප්පල් කිරීමට සහ ඊට සම්බන්ධිත ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් බියවැද්දීමට ආන්ඩුව ගන්නා ලද පියවරයන්ගෙන් පැහැදිලිය. අවිශිබමය වාර්තා කරන පරිදි උද්ඝෝෂනයට පෙර දිනයේ එහි කැඳවුම්කරු ඇතුලු ශිෂ්‍ය නායකයන් 10 දෙනෙකුට කොටුව උසාවියට පැමින කරුනු වාර්තා කරන ලෙස නියෝගයක් ලැබී තිබේ. උසාවියට ඉදිරිපත් නොවුනහොත් අත්අඩංගුවට ගන්නා බවට එහි දී තර්ජනය කෙරී තිබින. එමෙන්ම ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් සොයා එදින රාත්‍රියේ විශ්වවිද්‍යාල සහ නේවාසිකාගාර තුලට මෙන්ම නිවෙස්වලට පවා පොලිසිය ගොස් තිබෙන ආකාරය වීඩියෝ දර්ශනද සහිතව අවිශිබම වාර්තා කලේය.

“කප්පාදුවට සහ රාජ්‍ය මර්දනයට එරෙහි අරගලය සඳහා කම්කරු පන්තියට ක්‍රියාමාර්ගයක්” යන මාතෘකාව යටතේ සසප සහ සසජාතශි විසින් ඉරිදා පැවැත්වූ තීරනාත්මක රැස්වීමේ නිවේදන පිටපත් සියගනනක් විරෝධතාවට පැමිනි සිසුන් අතර බෙදාහරිමින් සසප සහ සසජාතශි සාමාජිකයෝ, සිසුන් සමඟ ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙල සාකච්ඡා කලහ.

“ඒකාධිපති, වර්ගවාදී රාජපක්ෂ තන්ත්‍රයට විරුද්ධව සටන් කිරීම සඳහා කම්කරුවන් සමාජවාදී, ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙල මත පදනම් විය යුතුය”යන සසප ප්‍රකාශනය මිලදී ගැනීමට ඇතැම් සිසුහු උනන්දු වූහ.

Share this article: