විවෘත විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ ගැටලු විසඳන ලෙස ඉල්ලා උද්ඝෝෂනය කරති

සකුන ජයවර්ධන විසිනි, 2020 ජනවාරි 24

පසු ගිය සඳුදා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරියේ විවෘත විශ්ව විද්‍යාල ශිෂ්‍ය විරෝධතාවය

විවෘත විශ්ව විද්‍යාලයේ පවතින ගැටලු විසඳන ලෙස ඉල්ලා සිසුන් 150 කට ආසන්න පිරිසක් පසු ගිය සඳුදා දිනයේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරියේ විරෝධතාවයක නිරත වූහ. “විවෘත විශ්ව විද්‍යාලයේ ගැටලු වහා විසඳනු!”‍, “‍වැඩිකල පාඨමාලා ගාස්තු වහා ඉවත් කරනු!”‍,“‍ප්‍රතිපාදන කප්පාදුව නවතනු!”‍ ආදී ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන විරෝධතාවය සංවිධානය කරනු ලැබූයේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබම) සහ විවෘත විශ්ව විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසිනි. සිසුහු ඉහත සටන් පාඨ අඩංගු විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් පැයකට අධික කාලයක් උද්ඝෝෂනයෙහි නිරත වූහ. මෙය විශ්ව විද්‍යාල සිසුන් විසින් මසක් තුල පැවැත්වූ තුන්වන විරෝධතාවයයි.

ශිෂ්‍ය නියෝජිතයින් කිහිප දෙනෙකුට මෙහිදී උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ඉහල නිලධාරියෙකු සමග සාකච්ඡා කිරීමට අවස්ථාව ලැබුනි. ඔහු පවසා ඇත්තේ සති තුනක් ඇතුලත විසඳුම් ලබා දෙන බවයි.

පසුගිය කාලය පුරා ගෙන ගිය අධ්‍යාපන කප්පාදුව විවෘත විශ්ව විද්‍යාලය තුල ඇති කර ඇත්තේ දරුනු කොන්දේසිය. වසරකට උපාධි අපේක්ෂකයින් 40,000 කට ආසන්න පිරිසක් විවෘත විශ්ව විද්‍යාලයෙහි ලියාපදිංචි වන අතර මේ වන විට සිසුන් ලක්ෂ තුනකට අධික පිරිසක් ඉගෙනුම ලබති. රැකියාවක නිරත වෙමින් උපාධිය සම්පූර්න කල හැකි වන ආකාරයට එහි පාඨමාලාවන් නිර්මානය කර තිබුනි.

නමුත්, පසුගිය කාලයේ සිදුවූ කප්පාදු පිලිවෙත් නිසා එම තත්වය සම්පූර්නයෙන් වෙනස් වී ඇත. ශිෂ්‍යයින්ට විශාල අර්බුදයක් මතු කරමින් පාඨමාලා ගාස්තු වැඩි කොට තිබේ. සෑම වසරකටම සියයට 10 බැගින් පාඨමාලා ගාස්තු වැඩි කිරීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීන්දුවක් ගෙන ඇති අතර, 2013 සිට 2019 වන විට සියලුම පාඨමාලා වල පාහේ රුපියල් දහසකට වැඩි මුදලකින් ගාස්තු වැඩිවී ඇත. ඇතැම් පාඨමාලා ගාස්තු ලක්ෂයට වැඩි මුදලකින් ද ඉහල ගොස් තිබේ. පෙල පොත් වල වියදම් මෙම පාඨමාලා ගාස්තුවට එකතු වීම මෙම අර්බුදය තවදුරටත් වැඩි කර ඇත.

මීට අමතරව නේවාසිකාගාර තුලද ගැටලු‍ රාශියක් මතුව තිබේ. ශිෂ්‍යයෙකු අධ්‍යයන හා සුභසාධන කටයුතු සඳහා ගාස්තු ගෙවා විශ්ව විද්‍යාලයට ඇතුලු වූ පසු නැවත නේවාසිකාගාර ගාස්තු ගෙවිය යුතු වෙයි. මූලික තැන්පතු මුදලක් ලෙස රුපියල් 500 ක්ද සෑම දින 20කටම රුපියල් දහසක මුදලක් ද සිසුන් ගෙවිය යුතුය. මීට අමතරව නේවාසික පහසුකම් ලබා දෙන්නේ කොලඹ ප්‍රාදේශීය මධ්‍යස්තානයේ සිට කිලෝමීටර් 50 කට වැඩි දුරකින් සිටින ශිෂ්‍යයින්ට පමනි. එමෙන්ම නේවාසිකාගාරයට ඇතුලුවීමට හා ඉන් පිටවීමට හැක්කේ පෙ.ව 5.30-8.30 සහ ප.ව 4.30-8.30 කාල වලදී පමනක් නිසා දුර ප්‍රදේශ වල සිට පැමිනෙන සිසුන් සහ රැකියාවල නිරත සිසුහු දැඩි පීඩාවකට ලක්වෙති. නේවාසිකාගාර පහසුකම් ලබාදෙන්නේ දින 60 ක සීමාවකට යටත්වය. එම නිසා අධ්‍යයන කාලය දින 60 ඉක්මවන පාඨමාලාවල සිසුහු දැඩි අසීරුතාවලට මුහුන දෙති.

එමෙන්ම අලු‍ත්වැඩියා කටයුතු නිසි ලෙස සිදු නොකිරීම නිසා නේවාසිකාගාර අනාරක්ෂිත තත්වයකට පත්ව ඇත. විදුලි පංකා කඩාවැටී සිසුන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇත. වැසිකිලි හා කාමර වල ජලය බැස යාම නිසියාකාරව සිදු නොවන නිසා සිසුන් සනීපාරක්ෂක ගැටලු වලට ද මුහුන දෙති.

එමෙන්ම විශ්ව විද්‍යාලයේ හදාරන සෑම විෂයකටම අදාලව අවසන් විභාගයට නියමිත සුදුසුකම් ලබාගත් පසු වසර ගනනාවකට පසුව වුව අවසන් විභාගයට පෙනී සිටීමට හැකියාව පැවතුනු නමුත් මේ වන විට එය ක්‍රමිකව වසර 2 දක්වා අඩු කර ඇත. මේ හේතුවෙන් ශිෂ්‍යයෙකුට මෙම වසර දෙක තුල අධ්‍යන කටයුතු අවසන් කල නොහැකි වුවහොත් නැවත මුදල් ගෙවා එම විෂයට අදාල අධ්‍යයන කටයුතු මුල සිට සිදු කල යුතුය.

එමෙන්ම අධ්‍යයන, අනධ්‍යන කාර්ය මන්ඩල, දේශන ශාලා හිඟය මෙම දුෂ්කර කොන්දේසි තවත් වැඩිවී ඇත. ඇතැම් දේශන පවත්වන්නේ කුලියට ගත් අඩු ඉඩ පහසුකම් සහිත පෞද්ගලික අධ්‍යාපන ආයතන තුලය. එමෙන්ම අධ්‍යයන ශාලා නොමැති වීම නිසා සිසුන්ට කොරිඩෝ වල, බෝක්කු මත රැඳී පාඩම් කිරීමට සිදුව ඇත. පානීය ජලය, සනීපාරක්ෂක පහසුකම්, වෛද්‍ය මධ්‍යස්ථානයේ බෙහෙත් හිඟවීම ආදී ගැටලු‍ද උද්ගතව පවතී.

මීට අමතරව විවෘත විශ්ව විද්‍යාලයේ ප්‍රාදේශීය මධ්‍යස්ථාන වල විද්‍යාගාර, විභාග ශාලා, තාක්ෂන ශිල්පී හිඟය, නේවාසිකාගාර ආදී ගැටලු මීටත් වඩා උග්‍ර තත්වයක පවතී.

දැරිය නොහැකි පාඨමාලා ගාස්තු, අසීරු අධ්‍යයන කොන්දේසි හේතු කොටගෙන සිසුන් විශාල ප්‍රමානයක් උපාධිය අත් හැර යති. අවිශිබම කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන සඳහන් කලේ මෙම ගැටලු නිසා පසුගිය වසර පහ තුල පහලොස්දහසකට අධික පිරිසක් විශ්වවිද්‍යාලය හැර ගොස් ඇති බවයි.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන්ට අදහස් දැක්වූ දිල්ශාන් නම් ඉංජිනේරු පීඨ ශිෂ්‍යයෙකු සඳහන් කලේ ඔහු මන්චි සමාගමේ රැකියාවක් කල බවත් එම මුදලින් පාඨමාලා ගාස්තු ගෙවීමට සිතා සිටි බවයි. නමුත් මෙහි පවතින දැඩි අධ්‍යයන කොන්දේසි හේතු කොට ගෙන රැකියාව අත් හරින්නට සිදුවූ බව ඔහු පැවසීය. ”‍සෙකන්ඞ් ඉයර් එකට යන්න නම් ෆස්ට් ඉයර් එකේ ඔක්කොම විභාග පාස් වෙන්න ඕනේ. ඒක හින්දා තමා උපාධිය ගන්න කල් යනවා කියල කියන්නෙ. පාඨමාලා ගාස්තු හොයාගන්න ගෙදරට බර දෙන්න වෙලා තියෙනවා. තාත්තා පතල් කම්කරුවෙක්. අයියගෙ රස්සාවෙන් තමා කොහොමහරි ගැටගහගන්නෙ. අවසාන විභාගයට කලින් ලැබෙන මාස දෙකේ පාට් ටයිම් මොනව හරි කරලා සල්ලි හොයාගන්නවා. හරි අමාරුයි මේ විදිහට කරගෙන යන්න”‍යැයි පවසමින් ඔහු තමා මුහුන දෙන දුෂ්කර කොන්දේසි පැහැදිලි කලේය.

දිල්ශාන්

විද්‍යා පීඨයේ සුදේශ් සඳහන් කලේ ඔහුට දෙවනි කාර්තුව සඳහා පොත් ගැනීමට ලබන මාසයේදී රුපියල් 54,000 ක මුදලක් ගෙවිය යුතු බවයි.” ‍ක්‍රෙඩිට් එකකට ගෙවන්න ඕනි ගාන සෑහෙන්න වැඩි කරලා තියෙන්නෙ. ඒක හින්දා අවුරුද්දට සම්පූර්න කරන්න ඕනි ක්‍රෙඩිට් තිහට සෑහෙන ගානක් ගෙවන්න ඕනි. මේකෙ තියෙන කාර්යබහුල කාලසටහන හින්දා ලොකු පීඩනයකට ලක් කෙරිලා ඉන්නේ. මට එක විභාගයකදී එක දිගට ප්‍රශ්න පත්‍ර දහයකට ලියන්න වුනා. මටත් රස්සාව අත් අරින්න උනා. හුඟක් අය පාට් ටයිම් ජොබ් කරලා උපාධිය ගන්න හිතාගෙන තමා එන්නේ. ඒ වුනාට ෆුල් ටයිම් ජොබ් කරන්න සිද්ධ වෙලා තියෙන්නෙ. සල්ලි තියෙන්න ඕනි සයන්ස් ඩිග්‍රියක් ගන්න”‍ යැයි ඔහු පැවසීය.

සුදේශ්

සාකච්ඡා කල වාර්තාකරුවන්ට පැහැදිලි වූයේ බහුතරයක් සිසුන් කම්කරු පන්‍තික සහ ගොවි පවුල් වලින් පැමිනි අය බවයි. ඔවුන් බහුතරය මෙම පාඨමාලා ගාස්තු ඉහල නැගීම නිසා විශාල අර්බුදයකට පත්ව ඇත. එමෙන්ම උපාධිය සම්පූර්න කිරීමට ලබා දෙන වසර ගනන අඩු කිරීම සහ අසීරු අධ්‍යයන කොන්දේසි නිසා ඔවුන්ට අර්ධ කාලීන රැකියාවක් කරමින් හෝ උපාධිය සම්පූර්න කර ගැනීම ගැටලුවක් වී ඇත.

සිසුන් දිගින් දිගටම අරගල වලට පැමිනීමෙන් පෙන්නුම් කරන්නේ මෙම දුෂ්කර කොන්දේසි වලට එරෙහිව සටන් කිරීමට ඔවුන්ට පවත්නා අධිෂ්ඨානය යි. නමුත් ඔවුන්ගේ නායකත්වයෙහි සිටින අවිශිබම, ආන්ඩු වලට සහ පරිපාලනයට බලපෑම් දැමීමේ නිස්සාර අරගල තුල සිසුන් නැවත නැවතත් කොටුකොට තබයි.

මෙම අරගල වලට පාලනාධිකාරයේ ප්‍රතිචාරය වී ඇත්තේ මර්දන පිලිවෙත් ක්‍රියාත්මක කිරීමයි. 2012 වසරේ දී මහා ශිෂ්‍ය සංගමය තහනම් කර ඇති අතර එය නැවත පිහිටුවා ඇත්තේ 2017 දීය. ඉන් පසුත් ශිෂ්‍ය සංගම් ව්‍යවස්ථාව හරහා මර්දනය ක්‍රියාත්මක කොට ඇත. 2019 පාස්කු ප්‍රහාරය යොදාගෙන, නේවාසිකාගාරයේ සීසීටීවී කැමරා පද්ධතියක් සවිකොට ඇති අතර, පොදු කියවීම් ශාලාව භාවිතා කල හැක්කේ රාත්‍රී 10 වන තෙක් පමනි.

අවිශිබම විවෘත විශ්ව විද්‍යාලයේ සිසුන්ට සමාන කොන්දේසි වලට මුහුන දෙන අනෙක් විශ්වවිද්‍යාලවල සිසුන්ගේ සහයෝගය මෙම විරෝධතාවයට ගොනු කර නොතිබුනි. සාකච්ඡාවෙන් අනතුරුව සිසුන් ඇමතූ කැඳවුම්කරු ජිනරතන, “‍පොරොන්දු දී කරන කටවරද්දා ගැනීම් ශිෂ්‍ය ව්‍යාපාරය එක්ක බෑ” යැයි පවසමින් සුපුරුදු පූච්චානම් කතාවක් කලේය. කෙසේ වෙතත් මෙම කප්පාදුව විශ්ව විද්‍යාල තුල දිගින් දිගටම ගෙන ගොස් ඇත්තේ ඔවුන්ගේ ඊනියා ශිෂ්‍ය අරගල දිගින් දිගටම පැවතියදීය.

විවෘත විශ්වවිද්‍යාලයේ සිසුන් මුහුන දෙන මෙම ඛේදජනක ප්‍රතිවිපාක ගලාගෙන එන්නේ නිදහස් අධ්‍යාපනයට යොදවන මුදල් කප්පාදුව තුලිනි. ධනපති ක්‍රමයේ ගෝලීය අර්බුදයෙන් සෑම රටකම ධනපති පන්තියට බල කෙරී ඇත්තේ කම්කරු පීඩිත මහජනතාවගේ සුභසාධනය සඳහා වෙන් කර ඇති මුදල් දැවැන්ත ලෙස කප්පාදු කිරීම සහ පුද්ගලීකරනය ක්‍රියාවට දැමීමයි.

අවිශිබමයෙහි බලපෑම් දැමීමේ පිලිවෙත් මගින් ධනපති ආන්ඩුවේ මෙම ප්‍රහාර නවතාලිය නොහැක. එය කල හැක්කේ කම්කරු පන්තියේ නායකත්වයෙන් යුතුව ධනපති ක්‍රමය පෙරලා දමා, ජාත්‍යන්තර සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට නංවන කම්කරු ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමේ දේශපාලන අරගලයකින් පමනකි.

Share this article: