රුහුනු විශ්ව විද්‍යාලයේ මර්දනයට එරෙහිව ශිෂ්‍යයෝ විරෝධතාවයෙහි නිරත වෙති

සකුන ජයවර්ධන විසිනි, 2020 ජනවාරි 20

රුහුනු විශ්වවිද්‍යාලයේ ගෙන යන මර්දනය නවතන ලෙස ඉල්ලා පසුගිය බ්‍රහස්පතින්දා සිසුන් 500 කට ආසන්න පිරිසක් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (විප්‍රකොස) ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ. “‍රුහුනේ මර්දනයට එරෙහිව වීදී බසිවු!, රුහුන මහා ශිෂ්‍ය සංගමයේ සභාපති, ලේකම් ඇතුලු‍ සිසු ක්‍රියාකාරීන්ට ලබා දී ඇති සියලු‍ ශිෂ්‍යභාවය අහෝසි කිරීම් හා නේවාසිකාගාර තහනම් වහා අහෝසි කරනු!”‍ යන ප්‍රධාන සටන් පාඨ ඔස්සේ මෙම උද්ඝෝෂනය සංවිධානය කරනු ලැබුයේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබම) විසිනි. “‍මර්දනය නවතනු, සිසු නිදහස තහවුරු කරනු”‍ ආදී විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සහ සටන් පාඨ කියමින් සිසුහු සෞන්දර්්‍ය විශ්ව විද්‍යාලයේ සිට විප්‍රකොස දක්වා පාගමනින් පැමිනියහ.

එහිදී අවිශිබම කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන ඇතුලු‍ සිසුන් 14 දෙනෙකුට විප්‍රකොස සභාපති සම්පත් අමරතුංග සමග සාකච්ඡාවක නිරත වීමට අවස්ථාව ලබාදුනි. රුහුනු විශ්ව විද්‍යාලයේ උපකුලපති, පරිපාලන බලධාරීන් ඇතුලු‍ වගකිව යුතු සියලු නිලධාරීන් එක්ව ඉදිරියේදී සාකච්ඡා කර විසඳුමකට පැමිනීමට සති දෙකක කාලයක් ලබාදෙන ලෙස එහිදී සභාපතිවරයා විසින් ඉල්ලා ඇත.

ඊට එකඟවූ අවිශිබම නියෝජිතයින්, සිසු මර්දනය ඇතුලු ගැටලු වලට විසඳුම් ලබාදෙන බවට ලිඛිත ප්‍ර‍කාශයක් දෙන ලෙස ඉල්ලා ඇත. එයට සභාපති අමරතුංග අකමැති වී ඇති බැවින් සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වී ඇත

මීට කලින් ද ලෝක සමාජවාදී වෙබ් අඩවිය පැහැදිලි කල පරිදි, පොලිස් ප්‍රහාරයන්ගෙන් තොරව ශිෂ්‍යයන්ට මෙම සාකච්ඡා ලබාදීම සිසුන්ගේ ගැටලු විසඳීමට ආන්ඩුව ගත් පියවරක් යැයි වැරදි නිගමන වලට එලැඹිය යුතු නැත. උග්‍ර වන ලෝක ආර්ථික අර්බුදය යටතේ, කප්පාදුව හා පුද්ගලීකරනය තීව්‍ර‍ කිරීම මෙන්ම, ඊට එරෙහිව පැන නගින විරෝධතා රුදුරුම ආකාරයෙන් තලා දැමීම හැරෙන්නට ආන්ඩුවට වෙනත් විකල්ප නොමැත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මාන බලමින් සිටින්නේ, ඉහත වැඩපිලිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා බලතල සංකේන්ද්‍රනය කරගනුවස් ඉදිරි මැතිවරනයෙන් තුනෙන් දෙකක බහුතරයක් ලබා ගැනීමටය. සිසුන්ට එරෙහිව එල්ල කරන ප්‍රහාරයක් මගින්, වෘත්තීය සමිති විසින් යටපත් කොට ඇති කම්කරු පන්තික අරගල යලි ඇවිලී තම මැතිවරන පදනමට හානි පමුනුවනු ඇතැයි ගනන් බලන රාජපක්ෂ, සොච්චම් සහන දෙමින් එම අවදානම වලක්වා ගැනීමට උත්සාහ දරයි.

දිගින් දිගටම ශිෂ්‍ය උද්ඝෝෂන පැන නැගීම මගින් පෙන්නුම් කරන්නේ ශිෂ්‍යයින් මුහුන දෙන රුදුරු කොන්දේසි වර්ධනයවීම සහ ඒවාට එරෙහිව සටන් කිරීමට සිසුන්ගේ ඇති දැඩි අධිෂ්ඨානයයි. මහපොල ගැටලු‍ වලට විසඳුම් ඉල්ලා ජනවාරි 9 වන දා ද විරෝධතාවයක් පැවැත්වුනි.

රුහුනු විශ්වවිද්‍යාලය තුල පහුගිය කාලය තුල ගෙන ගොස් ඇති මර්දනකාරී ක්‍රියාමාර්ග හේතුවෙන්, රක්ෂිත බන්ධනාගාර ගතකිරීම් 19 ක්, ශිෂ්‍යභාවය අහෝසි කිරීම් 14 ක්, තාවකාලිකව ශිෂ්‍යභාවය අහෝසි කිරීම් 40 ක්, නේවාසිකාගාර තහනම් 37 ක්, විනය පරීක්ෂන 63 ක්, නිවෙස්වලට පොලීසිය මැදිහත් කිරීම් 07 ක්, උපාධි ප්‍රදානෝත්සව තහනම් කිරීම් 09 ක් සහ නඩු පැවරීම් 55 ක් සිදුකොට ඇත.

මීට අමතරව ශිෂ්‍ය සංගම් කාර්යාලය සීල් තැබීම, විශ්ව විද්‍යාල භූමිය සිසුන්ට තහනම් කිරීම, නේවාසිකාගාර වලින් ඉවත් කිරීම ආදී පිලිවෙත් ද ක්‍රියාත්මක කර ඇත. පසුගිය වසරේදී අවිශිබම නියෝජිතයෙකු විශ්ව විද්‍යාලයට “‍අනවසරයෙන් කැඳවා ගැනීම”‍ හේතුවෙන් ආරක්ෂාවට තර්ජනයක් එල්ල වූ බවට චෝදනා කොට මහා ශිෂ්‍ය සංගමයේ සභාපති හා ලේකම් දෙදෙනාගේ ශිෂ්‍යභාවය ජීවිතාන්තය දක්වා අහෝසි කෙරිනි.

එමෙන්ම මැයි 30 වෙනිදා පැවති ශිෂ්‍ය විරෝධතාවය මැඩලීමට පොලීසියට අමතරව හමුදා භටයින් 250 කට ආසන්න පිරිසක් යොදාගනු ලැබිනි. මෑතම සිදුවීම වූයේ මර්දනයට එරෙහිව අත් පතිකා බෙදමින් සිටි මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් ඉන්දික විදානපතිරන පොලීසිය විසින් ව්‍යාජ චෝදනා එල්ල කොට අත් අඩංගුවට ගැනීමයි.

මෙම කටයුතු සිසුන්ගේ සංවිධානයවීමේ සහ දේශපාලනයෙහි නිරතවීමේ ප්‍රජාතන්ත්‍ර අයිතියට එල්ල කර ඇති ප්‍රබල ප්‍රහාරයකි. මෙම පියවරයන්ට එරෙහිව දිගින් දිගටම සිසුන් විරෝධතා වල නිරත වී ඇති අතර මර්දනය තවමත් එලෙසින්ම ක්‍රියාත්මක වෙමින් පවතී.

නම සඳහන් කිරීමට අකමැති වූ පේරාදනිය විශ්ව විද්‍යාලයේ සමසෞඛ්‍ය පීඨයේ ශිෂ්‍යයෙකු “‍රුහුනෙ විතරක් නෙවෙයි හැම විශ්ව විද්‍යාලයකම සිසුන් මර්දනය කරන්න තමයි හදන්නෙ. මේ තත්වය කලින් පැවති තත්වයක් නෙවෙයි. දැන් නවකවදය යොදාගෙන මර්දනය අරගෙන යනවා”‍ යැයි පැවසීය.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන් සමග අදහස් දක්වමින් තවත් ශිෂ්‍යයෙකු ප්‍රකාශ කලේ, රහස් පොලීසියේ නිලධාරීන් 34 දෙනෙකු යොදවා ඇති බවට පේරාදනිය විශ්ව විද්‍යාලයේ උපකුලපති විසින් ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර ඇති බවයි. එමෙන්ම නවකවදය නතරකිරීමේ ව්‍යාජ කඩතුරාව ශිෂ්‍යයින් මර්දනය කිරීම සඳහා යහමින් යොදා ගැනීමට ආන්ඩුව සැරසෙමින් සිටී.

සාකච්ඡාවට යෑමට පෙර සිසුන් ඇමතූ අවිශිබම කැඳවුම්කරු ජිනරතන, ඔවුනට සුපුරුදු පූච්චානම් භාෂාවෙන් මෙසේ පැවසීය: “‍මාස ගානකට කලින් අපි මේ ප්‍රශ්න කතා කරලා තියෙනවා. ලිපි භාර දීලා තියෙනවා. උද්ඝෝෂන කරලා තියෙනවා, සාකච්ඡා කරලා තියෙනවා. අදත් අපි සාකච්ඡාවට යන්න සූදානම්. එලියට එන්නේ උත්තරත් එක්ක.”‍ ඔහුගේ දීර්ඝ ක්‍රියාකාරකම් ලැයිස්තුව ඵල රහිත වීමෙන් පැහැදිලි වන්නේ අවිශිබමයේ විරෝධතා දේශපාලනයේ බංකොලොත් බවයි.

මෙම ප්‍ර‍හාරයන් පැන නංවා ඇත්තේ ධනපති ක්‍රමයේ පද්ධතිමය බිඳ වැටීමෙනි. එබැවින් ධනපති ක්‍රමයටම එරෙහි දේශපාලන අරගලයකින් තොරව, මෙවන් විරෝධතා මගින් ආන්ඩුවේ කප්පාදු සහ පුද්ගලීකරන පිලිවෙත් වලට තිත තැබිය නොහැක.

අවිශිබම දැනුවත් ව වසන් කරන්නේ මෙම කාරනාවයි. ඔවුන් රුහුනු විශ්ව විද්‍යාලයේ මර්දනය ගැන කතා කිරීමේදී “‍උම්මන්තක”‍ උපකුලපති යන යෙදුම යොදාගැනීමෙන් මෙම මර්දනය හුදෙක් උපකුලපති ගේ ගිනුමට බැර කරනු ලබයි. මෙය ධනපති ආන්ඩුවේ නායකයන්ගේ හෝ එහි පිලිවෙත් ක්‍රියාවට දමන විශ්ව විද්‍යාල පාලකයන්ගේ දුර්ගුනයක ප්‍ර‍තිඵලයක් නොවේ. තමා මුහුන දී සිටින දැවැන්ත ආර්ථික අර්බුදයේ බර, කම්කරු-පීඩිත මහජනතාවගේ උරමත පැටවීම හැර අන් විකල්පයක් නොමැති තැනට පත්ව ඇති පාලක පන්තියක දැනුවත් ප්‍රතිචාරයකි.

අසල්වැසි ඉන්දියාවේ ජවහර්ලාල් නේරු සරසවියේ සිසුන් තම නේවාසික ගාස්තු දෙගුන කිරීමට එරෙහිව මාස ගනනක් පුරා විරෝධතාවල නිරතව සිටි අතර, පසු ගිය 5 වනදා, පාලක භාරතීය ජනතා පක්ෂය සමග සමීප සම්බන්ධතා ඇති හින්දු ස්වෝත්තමවාදී මැර කන්ඩායමක් එම සිසුන්ට එරෙහිව රුදුරු කායික ප්‍රහාරයක් එල්ල කල අතර ඉන් සිසුන් 40 කට ආසන්න පිරිසක් රෝහල් ගත කෙරුනි.

ජාත්‍යන්තර ප්‍ර‍පංචයක් වන මෙම කප්පාදුව සහ මර්දනය‍ අවිශිබම උත්කර්ශයට නංවන ඊනියා “‍ශිෂ්‍ය අරගල”‍ මගින් නවතාලිය නොහැක. ජාත්‍යන්තර සමාජවාදී ඉදිරි දර්ශනය මත පාදක වෙමින්, ධනපති ක්‍ර‍මය පෙරලා දැමීම අරමුනුකරගත් දේශපාලන අරගලයක් සඳහා සිසුන් කම්කරු පන්තිය පිටුපස පෙල ගැසීම අත්‍යවශ්‍ය වන්නේ එබැවිනි.

Share this article: