ශ්‍රී ලංකාවේ සසප ප්‍රසිද්ධ රැස්වීම: නව රාජපක්ෂ තන්ත්‍රයට එරෙහිව සටන් කරන්නේ කෙසේද?

Sri Lankan SEP holds public meeting: How to fight the new Rajapakse regime

අපගේ වාර්තාකරුවන් විසිනි, 2020 ජනවාරි 16

සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) 12දා කොලඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී ප්‍රබල මහජන රැස්වීමක් පැවැත්විය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුවේ කප්පාදු ප්‍රතිපත්ති හා රාජ්‍ය මර්දනයට එරෙහිව සටන් කිරීම සඳහා කම්කරුවන් සමාජවාදී මූලෝපායකින් සන්නද්ධ කිරීමේ අවශ්‍යතාවය පිලිබඳව සාකච්ඡා කිරීම මෙහි අරමුන විය. කොලඹ සහ ඒ අවට ප්‍රදේශවල කම්කරුවන්, තරුනයින්, වෘත්තිකයන් සහ ගෘහනියන් මෙන්ම යුද්ධයෙන් විනාශ වූ උතුරේ හා මධ්‍යම වතුකරයේ නියෝජිතයෝ 150 ක් පමන මෙම අවස්ථාවට සහභාගී වූහ.

රැස්වීමේ මුලසුන දැරුවේ, නොවැම්බර් ජනාධිපතිවරනයට තරඟ කල පක්ෂයේ නියෝජිත, සසප දේශපාලන කමිටු සාමාජික පානි විජසිරිවර්ධන ය. රාජපක්ෂ සිය සුලු‍තර ආන්ඩුව පිහිටුවා ඇති ආකාරය විමසුමට ලක් කල ඔහු, ඒකාධිපති පාලන ක්‍රම කරා ඔහුගේ හැරීම පිලිබඳව පක්ෂය කල අනතුරු ඇඟවීම් එමඟින් සනාථ කරන බව පැවසීය. එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙනුවට, සිය සහෝදර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පත්කල ඔහු, ආරක්ෂක අමාත්‍යාංශය ඇතුලු ආන්ඩුවේ ආයතන ගනනාවක ප්‍රධානීන් ලෙස හිටපු හමුදා නිලධාරීන් පත් කලේය.

රාජපක්ෂ බලයට පත්වී දින කිහිපයක් ඇතුලත, වැඩ වේගවත් කිරීමට හා දරිද්‍රතා වැටුප් වලට එරෙහිව වතු කම්කරුවන්ගේ අරගල පුපුරා යාම පිලිබඳව ද විජෙසිරිවර්ධන පෙන්වා දුන්නේය. කම්කරු පන්තියේ අනෙකුත් කොටස් ද ඉක්මනින්ම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විසින් නියම කරන ලද කප්පාදු පියවර ක්‍රියාත්මක කරන කොලඹ පාලනය සමඟ ගැටෙනු ඇතැයි ඔහු අනතුරු ඇඟවීය.

කපිල ප්‍රනාන්දු

රැස්වීම අමතමින් සසජාතශි කැඳවුම්කරු කපිල ප්‍රනාන්දු පැහැදිලි කලේ, ජනාධිපතිගේ සමහර බලතල කප්පාදු කරන ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමේ රාජපක්ෂගේ ප්‍රකාශිත අරමුන, කම්කරු පන්තියට එරෙහිව ඒකාධිපති ප්‍රහාර දියත් කිරීම බවයි. ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) විසින් දේශපාලනිකව මෙහෙයවනු ලබන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමන්ඬලය, ශිෂ්‍ය විරෝධතා මඟින්, රටේ තරුන පරම්පරාව මුහුන දෙන ගැටලු‍ විසඳන ලෙසට ආන්ඩුවට බලපෑම් කල හැකිය යන භයානක මිත්‍යාව පතුරුවා හරින බවට ඔහු අනතුරු ඇඟවීය.

සසප ප්‍රධාන ලේකම් විජේ ඩයස් අවසාන කථිකයා ලෙස රැස්ව සිටි පිරිස අමතමින් කියා සිටියේ, කප්පාදුවට හා රාජ්‍ය මර්දනයට එරෙහි සටන පිලිබඳ ප්‍රශ්නය ජාතික නොව ලෝකයේ සෑම ප්‍රදේශයකම කම්කරුවන් මුහුනපා සිටින ප්‍රශ්නය බවයි. එය සමාජවාදී ජාත්‍යන්තර ඉදිරිදර්ශනයක් ඉල්ලා සිටින බව ඔහු අවධාරනය කලේය.

එක්සත් ජනපදය විසින් ඉරාන ජෙනරාල් සුලෙයිමානි ඝාතනය කිරීම ගැන සඳහන් කල ඩයස්, එය ඇමරිකානු අධිරාජ්‍යවාදය සිය ගෝලීය ආධිපත්‍යය පවත්වා ගැනීමට දරන ලද මංමුලා සහගත උත්සාහය සංකේතවත් කරන බව පැවසීය. එක්සත් ජනපද නායකත්වය යටතේ ස්ථාපිත කරන ලද පශ්චාත් දෙවන ලෝක සංග්‍රාම ගෝලීය පිලිවෙල බිඳ වැටෙද්දී, සියලු‍ ප්‍රධාන බලවතුන් හා පැරනි යටත් විජිත ආන්ඩු, කම්කරුවන්ගේ හා තරුනයින්ගේ මහජන විරෝධයට මුහුන දී සිටින බව ඔහු පැවසීය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දෙවන වරටත් මාස අටකට පෙර බලයට පත්වූයේ විශාල බහුතරයකින් ය. මෝඩිගේ ජයග්‍රහනය ගැන ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂ දෙක සහ ඉන්දියාවේ සියලු‍ ව්‍යාජ වම්මු මවිතයට පත් වූ අතර, ඔහු නැවත තේරී පත්වීමට හේතුව, පන්ති සහයෝගිතා ස්ටැලින්වාදී, මාඕවාදී සහ අනෙකුත් ඊනියා රැඩිකල්වාදීන් සහ වෘත්තීය සමිති ඇතුලත් සාම්ප්‍රදායික විකල්ප, ධනේශ්වර කොන්ග්‍රස් පක්ෂයේ දීර්ඝ කාලීන දේශපාලන කොඳු ඇට පෙල බව අපගේ ව්‍යාපාරය පමනක් පැහැදිලි කලේය.”

මෝඩිගේ කප්පාදු ප්‍රතිපත්ති හා වර්ගවාදී ප්‍රකෝපකරනයන්ට එරෙහිව මිලියන සංඛ්‍යාත කම්කරුවන් විසින් ජනවාරි 8 වන දින පැවැත්වූ මහා වැඩ වර්ජනය වාර්ගික, ආගමික, කුල හා ස්ත්‍රී පුරුෂ භේදයන් කපාගෙන සිදුවූ හැරීමකි. “කම්කරු පන්තියේ නායකත්වය යටතේ, ධනේශ්වර විරෝධී එක්සත් අරගල සඳහා ඇති විභවය මෙම වර්ධනය තුල ප්‍රමානවත් ලෙස ප්‍රකාශ වී” යයි ඩයස් තවදුරටත් පැවසීය.

“රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වී සති අටක් ගතවී ඇත.” විපක්ෂ එජාප සහ වාමාංශික පක්ෂ හා වෘත්තීය සමිති “රාජපක්ෂගේ බහුතරය ගැන මවිතයට පත් වුවද, ගැඹුරු අතෘප්තියේ සලකුනු දැනටමත් පුලුල් කම්කරුවන් හා ග්‍රාමීය දුප්පතුන් අතර මතුවෙමින් තිබේ.

සිරිසේන හා වික්‍රමසිංහගේ ආන්ඩුවට එරෙහිව, 2018 - 19 දී සිංහල, දෙමල හා මුස්ලිම් ජනතාව එක්සත් කල කම්කරු, ගොවි හා තරුන අරගල හා විරෝධතා යලි නැඟී ඒමට වැඩි කලක් ගත නොවනු ඇත. රාජපක්ෂ සිංහල-බෞද්ධ වර්ගවාදය වෙත වන සිය යොමුව ශක්තිමත් කිරීම සහ රාජ්‍ය හා මිලිටරිය වෙත යොමුවීම වැනි වර්ධනයන් එමඟින් පූර්වභංඟ කරනු ඇත.”

ශ්‍රී ලංකාවේ ධනපති ක්‍රමය මුහුන දී ඇති මූල්‍ය අර්බුදය පිලිබඳව සමාලෝචනය කල කථිකයා, එලඹෙන අප්‍රේල් මැතිවරනය තෙක් ආන්ඩුව, දැඩි කප්පාදු පියවර ප‍්‍රමාද කරමින් සිටිය ද සියලු‍ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහල යාම සහ රාජපක්ෂ ජනාධිපති වීමෙන් පසු රැකියා 10,000 කට අධික සංඛ්‍යාවක් විනාශ කිරීම, නව තන්ත්‍රය සමඟ කම්කරුවන් තියුනු ගැටුමකට ගෙන ඒම සලකුනු කරයි.

ලාභ ක්‍රමයේ ප්‍රතිවිරෝධතාවන්ට වෙනත් විසඳුම් ධනවාදය සතුව නැති නිසා යුද්ධ හා සමාජ හා දේශපාලන ප්‍රති-විප්ලවයන් කෙරේ ඔවුන් වාරුවී ඇත. නිෂ්පාදන බලවේග කෙතරම් මට්ටමකට වර්ධනය වී ඇත් ද යත් ඒවා ධනේශ්වර හිමිකාරිත්වය සහ ජාතික රාජ්‍ය ක්‍රමය තුල තවදුරටත් සාමකාමීලෙස අඩංගු කල හෝ වර්ධනය කල නොහැක.

“පසුගිය ශතවර්ෂය තුල ලෝකය අධිරාජ්‍යවාදී යුද්ධ දෙකකට මුහුන දුන් නමුත්, මෙම ප්‍රතිවිරෝධතාවන්ට දිගු කාලීන විසඳුමක් සම්පාදනය කල නොහැකි විය. නව සහස්‍රයේ පසුගිය දශක දෙක තුල එක්සත් ජනපදය, එක් හෝ වෙනත් රටකට විරුද්ධව යුද්ධ නොකල එක දවසක්වත් නැත. එක්සත් ජනපද ජනාධිපති වීමෙන් පසු ට්‍රම්ප් උතුරු කොරියාවට හා ඉරානයට තර්ජනය කරමින් ලෝකය න්‍යෂ්ටික යුද්ධයේ අද්දරට ගෙනැවිත් තිබේ.

“කිසිදු මානුෂීය ආයාචනයක් මගින් අධිරාජ්‍යවාදී පාලක ප්‍රභූන් යුද්ධයට යාම වලක්වනු නොලබන බව ඉතිහාසයේ ඔප්පු වී ඇති සත්‍යයකි,” පෙසප සහ වෙනත් ව්‍යාජ වම්මුන්, ඉරානයට එරෙහි ආක්‍රමනය අවසන් කර මැද පෙරදිගෙන් ඉවත්වන ලෙසට එක්සත් ජනපදයට කනිපින්දම් කීම ගැන සඳහන් කරමින් ඩයස් පැවසීය.

න්‍යෂ්ටික සමූල ඝාතනයකින් මනුෂ්‍ය වර්ගයා බේරා ගැනීමේ ඓතිහාසික කර්තව්‍යය තනිකරම ජාත්‍යන්තර කම්කරු පන්තිය වෙත පැවරී ඇති අතර එයට මිලියන ගනනක පීඩිතයන්ගේ සහාය හිමිව තිබේ. ජනවාරි 3 වන දින ප්‍රකාශයට පත් කරන ලද “සමාජවාදී විප්ලවයේ දශකය ආරම්භ වේ” යන ලෝසවෙඅ ඉදිරිදර්ශන ලිපියෙන් ගෙනහැර දක්වන විප්ලවවාදී ජාත්‍යන්තරවාදී වැඩ පිලිවෙල ඩයස් සමාලෝචනය කලේය.

විජේ ඩයස් කොලඹ රැස්වීම අමතමින්

පසුගිය දශකය තුල මැදපෙරදිග, උතුරු අප්‍රිකාව, ලතින් ඇමරිකාව සහ වෙනත් තැන්වල කැලඹීම් ඇති කල විප්ලවීය අරගල සහ වඩාත් මෑත එක්සත් ජනපදයේ මෝටර් රථ කම්කරුවන් සහ ගුරුවරුන්ගේ අරගල හා ප්‍රන්ස කම්කරුවන් සහ තරුනයින්ගේ “කහ බැනියම්” ව්‍යාපාරය ගැන ඩයස් සඳහන් කලේය.

කථිකයා ලෝසවෙඅ ඉදිරිදර්ශනයෙන් උපුටා දැක්වීය : “කම්කරු පන්තියේ වැඩීම සහ ජාත්‍යන්තර පරිමානයෙන් පන්ති අරගලය මතුවීම විප්ලවයේ වෛෂයික පදනමයි. කෙසේ වෙතත්, කම්කරුවන්ගේ ස්වයංසිද්ධ අරගල සහ සමාජවාදය සඳහා ඔවුන්ගේ සහජ උනන්දුවම පමනක් ප්‍රමානවත් නොවේ. පන්ති අරගලය සමාජවාදය සඳහා සවිඥානක ව්‍යාපාරයක් බවට පරිවර්තනය කිරීම දේශපාලන නායකත්වය පිලිබඳ ප්‍රශ්නයකි.”

විජේ ඩයස්

ඩයස් පැහැදිලි කලේ මෙම දේශපාලන නායකත්වයට, පසුගිය ශතවර්ෂයේ හා වර්තමානය දක්වා පන්ති අරගලයේ ඓතිහාසික හා ජාත්‍යන්තර මූලෝපායික අත්දැකීම් මූර්තිමත් කරන ජාත්‍යන්තරවාදී පක්ෂයක් අවශ්‍ය බවය. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) එම පාඩම් ගැබ්කරගත් එකම ලෝක පක්ෂය බව ඔහු පැවසීය.

හජාජාක හි ශ්‍රී ලංකා ශාඛාව ලෙස සසප, මෙම පාඩම් ශ්‍රී ලංකාවේ සහ දකුනු ආසියාවේ වැඩකරන ජනතාව වෙත ගෙනයාමට කැපවී සිටී. අපගේ අරගලය, වැඩකරන ජනතාව බෙදීමට හා පීඩාවට පත් කිරීම සඳහා පාලක ප්‍රභූන් විසින් දැනුවත්ව උසිගන්වන ලද හා නඩත්තු කරන ලද භාෂාමය, වාර්ගික, ආගමික හා අනෙකුත් සියලු‍ බෙදීම් කපා ගෙන හා ඔවුන් යටත් විජිත ආක්‍රමනකාරිත්වයට හා වහල් භාවයට නැවත පාවාදීමට එරෙහිව මෙම කලාපයේ කම්කරු පන්තිය එක්සත් කිරීමයි.

“ඓතිහාසිකව අර්ධ සංවර්ධිත සියලු‍ රටවල කම්කරු පන්තියේ වර්ධනය, ඉතිහාසයේ පෙර නොවූ විරූ මට්ටමක ජාත්‍යන්තර පන්ති එක්සත්කමට පදනම දමා තිබේ. මෙම දශකයේ සමාජවාදී විප්ලවය ජයග්‍රාහී එකක් බවට පත් කිරීමට හජාජාක සහ ලෝසවෙඅ උත්සාහ දරයි. ”

කොලඹ රැස්වීමට සහභාගී වූවන් අතර ප්‍රවීන ලේඛක ශක්තික සත්කුමාර ද විය. බුද්ධාගමට අපහාස කිරීමේ ව්‍යාජ චෝදනා යටතේ සත්කුමාර, බලධාරීන් විසින් දඩයමට ලක්කර ඇත.

රැස්වීමෙන් පසු සත්කුමාර ලෝසවෙඅ සමඟ මෙසේ පැවසීය: “ගෝලීය මට්ටමේ සැබෑ තත්වය මෙහිදී පැහැදිලිව ඉදිරිපත් කෙරුනි.“

මෝඩිගේ පාලනය යටතේ මාස අටක් තුල ඉන්දියාවේ සිදු වූ දේ ශ්‍රී ලංකාවේ සිදුවීමට ගතව ඇත්තේ සති අටක් වැනි කෙටි කාලයකි. ඉන්දියානු වර්ධනයන් සමඟ සමාන්තරයක් ඇඳීම සැලකිය යුතු කාරනයකි. අපට ජාත්‍යන්තර විසඳුමක් අවශ්‍යය යන කථාව තාර්කික ය. මෙම ව්‍යාපාරය තව දුරටත් තරුන පරපුර අතරට ගෙනයා යුතු අතර ගොඩනැගිය යුතුය.”

ටොයොටා ලංකා අනියම් සේවකයෙකු වන විමුක්ති මෙසේ පැවසීය. “ආන්ඩුව සෑම විටම රටේ සංවර්ධනය ගැන කතා කරයි. නමුත් කම්කරුවන්ගේ හා දුප්පතුන්ගේ ජීවන තත්ත්වය දිනෙන් දින පිරිහෙමින් පවතී. ‘රට ගොඩනැඟීම‘ ගැන මේ ආන්ඩුවේ පුරසාරම බොරුවක් බව මට පැහැදිලියි.

“ලොව පුරා කම්කරුවන් මුහුන දෙන කටුක කොන්දේසි සමාන නිසාය, කම්කරු පන්තිය ජාත්‍යන්තරව එකට නැඟී සිටිය යුත්තේ. කම්කරු පන්තිය මුහුන දෙන එක් ප්‍රධාන ගැටලුවක් වන්නේ, ධනවාදී අර්බුදයේ ගැඹුර පිලිබඳව ඔවුන් නොදැන සිටීමයි... වෙනත් රටවල කම්කරුවන් මුහුන දෙන තත්ත්වය පිලිබඳව කම්කරුවන් හොඳින් දැන සිටිය යුතුය, මන්ද ධනවාදී ක්‍රමයට එරෙහිව සටන් කිරීමට ඔවුන්ගේ ආවේෂය එමඟින් දැඩි කරන බැවින් ය. විශේෂයෙන් ඉන්දියාවේ තත්වය පිලිබඳව රැස්වීමේදී මම ඉගෙන ගත් අතර ධනේශ්වර ක්‍රමයට අභියෝග කිරීමේ අවශ්‍යතාවය හා හැකියාව කම්කරු පන්තියට ඇති බව මම තේරුම් ගතිමි. ”

Share this article: