වසරකදී ශ්‍රී ලංකාවේ පාසල් හැරයන ලමුන් සංඛ්‍යාව 20,000 දක්වා ඉහල යයි

සකුන ජයවර්ධන විසිනි, 2020 ජනවාරි 17

වයස අවුරුදු 5 ත් 17 අතර ලමුන් 20,000 කට ආසන්න පිරිසක් වසරක් තුල පාසල් වලින් ඉවතට විසිවන බව ලමා ආරක්ෂක හා පරිවාස සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් චන්දිමා සිගේරා ප්‍රකාශ කලාය. ඇය මෙම කරුනු අනාවරනය කලේ පසුගිය සතියේ පුද්ගලික ආයතනයක් විසින් පවත්වන ලද ශිෂ්‍යාධාර නිකුත් කිරීමේ වැඩසටහනකට සහභාගී වෙමිනි.

ඇය එහිදී ප්‍රකාශ කල කරුනු වලින් හෙලිදරව් වූයේ කම්කරු පීඩිත මහජනතාව මුහුන දෙන එකදු ප්‍රශ්නයක් හෝ විසඳීමට ධනපති ක්‍රමයට ඇති නොහැකියාවයි.

ලමා ආරක්ෂක හා පරිවාස සේවා දෙපාර්තමේන්තුව විසින් කරන ලද සමීක්ෂනයකින් අනාවරනය වූ කරුනු මත තමා පාදක වන බව සඳහන් කල සිගේරා, උතුරු සහ දකුනු පලාත් වල සහ කොලඹ දිස්ත්‍රික්කයේ පාසැල් හැරයාම බහුල වශයෙන් දැකිය හැකි බව පෙන්වා දුන්නාය. සමීක්ෂනයට අනුව මෙම ලමුන්ගෙන් සියයට 18 කට දෙමාපියන් නොමැත. ඉන් බහුතරය ප්‍රචන්ඩත්වයට මුහුන දුන් සහ තිස් වසරක යුද්ධයෙන් බැට කෑ ලමුන් ය. කෙසේ වෙතත්, පාසැල් හැරයන ලමුන්ගෙන් සියයට 13 ක් දරිද්‍රතාව හේතු කොටගෙන එම තත්වයට පත්ව ඇත.

2018 වසරේ දි මහබැංකු අධිපති ප්‍රකාශ කලේ ලංකාවේ ජනගහනයෙන් සියයට විසි පහක් සිය ජීවිතය ගැටගසාගන්නේ දිනක ආදායම රුපියල් හාරසීයකින් බවයි. සිගේරා විසින් නම්කල පලාත් වල දරිද්‍රතා ප්‍රතිශතය වඩා ඉහල අගයක පවතී. තිස් වසරක වර්ගවාදී යුද්ධයෙන් උතුරු පලාතේ සමස්ත ජන ජීවිතය විනාශභාග් කෙරුනු අතර, බොහෝ ලමුන්ට සිය දෙමාපියන් ඇතුලු‍ පවුලේ සාමාජිකයින් මෙන්ම උන් හිටි තැන් ද අහිමි විය. තම ගම්බිම් වලින් පලවා හැරීමෙන් අහිමි වූ ජීවනෝපායන් යලි ගොඩනගා ගැනීමට දහස් සංඛ්‍යත ජනයා මෙතෙකුදු යත්න දරති. මිලිටරිය අත්පත් කරගත් පීඩිත දෙමල ජනයාගේ ඉඩම් අක්කර දහස් ගනනක් මෙතෙක් ආපසු ලබා නොදීමෙන් මෙම තත්වය වඩාත් උග්‍ර කෙරී ඇති අතර, මේ සියල්ලේ ප්‍රතිඵලය වී ඇත්තේ දැවැන්ත දරිද්‍රතාවය යි.

කොලඹ දිස්ත්‍රික්කය විශාල වශයෙන් කම්කරු පන්තික කොටස් ජීවත් වන ප්‍රදේශයකි. විරැකියාව, අර්ධ කාලීන රැකියා, වැටුප් එකතැන පල්වීම, සුභසාධන කපා දැමීම, පාසල් වැසී යාම ආදී කරුනු නිසා මෙම ප්‍රදේශ වල ලමුන් මුහුන දෙන්නේ කටුක ජීවන තත්වයන්ටය.

පාසල් හැරයන ලමුන්ගෙන් සියයට 13 ක් දුප්පත්කම හේතුවෙන් ඉවත් වීම පෙන්නුම් කරන්නේ දරිද්‍රතාවය සහ පාසල් යෑම අතරේ සෘජු සම්බන්ධයක් ඇති බවයි. 2017 ප්‍රතිපත්ති අධ්‍යන ආයතනය නිකුත් කල වාර්තාවක සඳහන් වූයේ 5-14 වයස් කාන්ඩයේ ලමුන් සියයට 11.3 ක් දරිද්‍රතාවයෙන් පෙලෙන අතර ඉන් සියයට 6.2 පාසල් නොයන බවයි. වාර්තාවට අනුව වයස් කාන්ඩය වැඩි වනවිට පාසල් නොයන ලමුන්ගේ ප්‍රතිශතය වැඩිවේ. ඒ අනුව, දුප්පත් ලමුන්ගෙන් බහුතරයකට ද්විතීයික අධ්‍යාපනය අහිමි වෙයි. වතුකරයේ වෙසෙන ලමුන්ගෙන් සියයට 27ක් දරිද්‍රතාවයෙන් පෙලෙන අතර, එය නගරබදව සියයට 5 ක් ද, ග්‍රාමීයව සියයට 11 ක් ද වේ. දරිද්‍රතාවයෙන් පෙලෙන ලමුන්ගෙන් සියයට 79.2 ක් ගම්බදව ජීවත් වෙති.

දරිද්‍රතාවය, මන්දපෝෂනය ලෙසද ප්‍රකාශයට පත් වේ. වතුකරයේ බර අඩු ලමුන් ප්‍රතිශතය සියයට 25.4 ක් වේ. නාගරිකව එය සියයට 12.7ක් ද ගම්බදව 15.7 ක් ද වේ. මන්දපෝෂනය රෝග රාශියකට හේතු වන අතර නිසි පරිදි අධ්‍යාපනයක් ලබා ගැනීමට එය ද එක් බාධකයකි. දරිද්‍රතාවය, පාසල් හැරයාම, මන්දපෝෂනය මේ සියල්ල එකිනෙකින් වෙන් කල නොහැකි ගැටලුය. මේ සියල්ලම, අනුප්‍රාප්තික ධනපති ආන්ඩු විසින් වැටුප්, ජීවන මට්ටම්, සුභ සාධන කාබාසිනියා කිරීමේ ප්‍රතිඵලයන් ය.

පාසල් හැරයාමට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ දැරිය නොහැකි අධ්‍යාපන වියදම් ය. අධ්‍යාපනයට ප්‍රමානවත් තරමේ මුදලක් වෙන් නොකරන තත්වය යටතේ පාසල් වලට දෙමාපියන්ගෙන් මුදල් අය කිරීමට සිදුවී ඇත. එමෙන්ම පාසල් වලින් ලැබෙන අධ්‍යාපනය ප්‍රමානවත් නොවන නිසා උපකාරක පන්ති යැවීමට සිදුවීමෙන් අධ්‍යාපනයට වියදම් වන මුදල විශාල වශයෙන් වැඩිවී ඇත. මෙම මුදල කෙසේවත් දරාගත නොහැකි පවුල්වල ලමුන්ට පාසල හැරයාම හැර අන් විකල්පයක් නොමැත.

2014 වසරේ ජාතික අධ්‍යාපන කොමිසම සිදු කල සමීක්ෂනයකින් හෙලිදරව් වී තිබුනේ අමතර පෞද්ගලික පන්ති සඳහා පවුලක අධ්‍යාපන වියදම් වලින් විශාල කොටසක් වැය වන බවයි. 2013/14 වර්ෂ වලදී එය අධ්‍යාපන වියදමින් සියයට 36 විය. එම අගය 2006/07 වර්ෂ වලට වඩා සියයට පහකින් වැඩිවී ඇත. වැඩි වශයෙන් පෞද්ගලික අධ්‍යාපනයට වියදම් වන්නේ බස්නාහිර පලාත තුලය. මේ වන විට මෙම අගයන් වඩාත් ඉහල ගොස් ඇති අතර, එම වියදම් ද්විතීයක අධ්‍යාපනයට ප්‍රවේශ වන විට වඩාත් වැඩි වන බැවින් බොහෝ සිසුන් ද්විතීයික අධ්‍යාපනය නොලබයි.

ලමුන්ට අධ්‍යාපනය අහිමිවෙද්දී පසුගිය දශක කිහිපය පුරා ධනපති ආන්ඩු වල ප්‍රතිචාරය වී ඇත්තේ කුමක්ද? ධනපති ආන්ඩු අධ්‍යාපනයට වෙන් කරන මුදල වසරින් වසර දැවැන්ත ලෙස කප්පාදු කර ඇත. 1995 වසරෙන් මෙපිටට අධ්‍යාපනයට වෙන් කරන මුදල පවත්වාගෙන ගොස් ඇත්තේ දල ජාතික නිශ්පාදනයෙන් සියයට තුනට වඩා අඩු මට්ටමේය. මෙම කප්පාදුවට සමගාමීව පුද්ගලීකරනය වේගවත් කිරීම හේතුවෙන් දිනෙන් දින පෞද්ගලික පාසල් ගනන වැඩිවෙමින් පවතී.

පාසල් හැරයාමේ අර්බුදය ලංකාවට පමනක් සීමා වූවක් නොවේ. 2017 වසරේ යුනෙස්කෝ සංවිධානය නිකුත් කල වාර්තාවකට අනුව වසරකට සිසුන් මිලියන 263 ක්, එනම් සමස්ත සිසු ජනගහනයෙන් පහෙන් එකක් පාසල් හැරයයි. 6-11 වයස් කාන්ඩයෙන් සියයට නමයක් (මිලියන 69) ද, 12-14 වයස් කාන්ඩයෙන් තුනෙන් එකක්ද (මිලියන 139) පාසල් නොයති. 15-17 කාන්ඩයේ පාසල් නොයන ලමුන් ගනන 12-14 වයස් කාන්ඩයේ එම සංඛ්‍යාව මෙන් දෙගුනයකි. මෙය පෙන්නුම් කරන්නේ බහුතරයකට ද්විතීයික අධ්‍යාපනය අහිමි වන බවයි. යුනෙස්කෝ වාර්තාව සඳහන් කරන්නේ පාසල් හැරයන ලමුන් ගනන 2012 සිට මිලියන 4 කින් වැඩිවී ඇති බවයි. මෙම වාර්තාවද සඳහන් කරන්නේ අධ්‍යාපනය ලැබීමට ඇති ප්‍රධාන බාධකය දුප්පත්කම බවයි.

මෙයට හේතුව පවතින්නේ ගෝලීයවම ධනපති ක්‍රමය මුහුන දී ඇති ආර්ථික අර්බුදය තුලයි. සෑම රටකම ධනපති පන්තියේ පිලිවෙත වී ඇත්තේ අර්බුදයේ බර ජනතාව මත පටවමින් කප්පාදු සහ පුද්ගලීකරන පිලිවෙත් ක්‍රියාවට දැමීමය. මෙම ක්‍රියාවලිය ධනපති පන්තිය තුල ධනය එක්‍ රැස් වීමටත් කම්කරු පන්තිය තව තවත් දරිද්‍රතාවයට ඇද දැමීමටත් හේතු වී ඇත.

අධ්‍යාපනය, ආයෝජකයින්ට ලාභ ගැරිය හැකි ක්ෂේත්‍රයක් බවට පත්කිරීම සෑම රටකම පාලක පන්තියේ පිලිවෙත බවට පත්ව ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස පාසල් බහුතරයක් වැසී යමින් පවතින අතර පුද්ගලික පාසල් ගනන වැඩිවෙමින් පවතී. මෙහි අනිවාර්ය ප්‍රතිඵලය වන්නේ අධ්‍යාපනය මුදල් ඇති සිසුන්ට පමනක් සීමාවූවක් බවට පත් වීමයි. දැනටමත් මෙම පාසල් හැරයන සංඛ්‍යාව පෙන්නුම් කරන්නේ එම තත්වය වර්ධනය වන ආකාරයයි.

ලාභ ගරන ධනපති ක්‍රමය, පලල් මහජනතාවගේ අවශ්‍යතාවයන් සමග කිසිසේත් නොපෑහේ. අධ්‍යාපනය ඇතුලු‍ සමාජ අවශ්‍යතා සපුරාලිය හැක්කේ, ධනපති ක්‍රමය පෙරලා දමා සමාජවාදී පදනමක සමස්ත ලෝක ආර්ථිකය ප්‍රතිසංවිධානය කර ගැනීමෙන් පමනකි.

Share this article: