හතර වැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව

ලෝක සමාජවාදී වෙබ් අඩවිය යනු?

ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) යනු ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය වන හතර වැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේත්, එයට අනුබද්ධ ලොව පුරා සමාජවාදී සමානතා පක්ෂවලත් අන්තර්ජාල ප්‍රකාශනයයි. 1998 දී, දියත් කෙරුනු එය, පසු ගිය වසර 22ක කාලය පුරා අඛන්ඩ ව ප්‍රකාශයට පත් කෙරී ඇත.

අද්‍යතන සමාජ ගැටලු සම්බන්ධයෙන් නිරවද්‍ය ගැඹුරු අවබෝධයක් සඳහා අද දින තදින් ම දැනෙන අවශ්‍යතාව සැපිරීමට ලෝසවෙඅ අරමුනු කරයි. එය නූතන සමාජ ජීවිතයේ තත්ත්වයත්, එමෙන් ම එය සංස්ථාපිතයේ මාධ්‍ය විසින් ඉදිරිපත් කරනු ලබන නරුම සහගත ප්‍රතිගාමී ආකාරයත් සම්බන්ධයෙන් අතෘප්තියට පත් ජනතාවන්ට ආමන්ත්‍රනය කරයි.

ලෝක ජනගහනයේ අතිබහුතරය සහ ධනවත් ස්වල්ප පිරිසක් අතර දිගින් දිගට ම පලල් වන ආගාධයක් නිර්මානය කර ඇති සමාජ අසමානතාවේ බිහිසුනු දැවැන්ත බවින් සංවේගයට පත් අයට අපගේ වෙබ් අඩවිය ඉදිරි දර්ශනීය මූලාශ්‍රයක් සම්පාදනය කරයි. ආර්ථික අර්බුදයන්ගේ සිට මිලිටරිවාදයේ සහ යුද්ධයේ පුපුරා යාම දක්වා දැවැන්ත සිදුවීම් පන්ති සබඳතාවන්ගේ පවතින තත්ත්වය බිඳ දමද්දී, ලෝසවෙඅ අරගලයට හෙලනු ලබන වැඩී යන කම්කරු පන්තියට දේශපාලන දිශාවනතියක් සම්පාදනය කරනු ඇත.

විරැකියාවට, සොච්චම් වැටුප්වලට, කප්පාදු ප්‍රතිපත්තීන්ට සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් උල්ලංඝනයට එරෙහි ව සෑම රටක ම දැවැන්ත අරගල අපි අපේක්ෂා කරමු. නමුත්, ලෝසවෙඅ අවධාරනය කරන්නේ මේ අරගලවල සාර්ථකත්වය මාක්ස්වාදී ලෝක දැක්මකින් මෙහෙය වනු ලබන සමාජවාදී දේශපාලන ව්‍යාපාරයක බලපෑම වර්ධනය කිරීම සමඟ අවියෝජනීය ව බැඳී ඇති බවයි.

මෙම වෙබ් අඩවියේ දෘෂ්ටි ආස්ථානය ධනේශ්වර වෙලඳපොල ක්‍රමයට එරෙහි විප්ලවවාදී විරුද්ධත්වයකි. එහි අරමුන ලෝක සමාජවාදය ස්ථාපිත කිරීමයි. එය මෙම පෙරැලියේ කාරකය ජාත්‍යන්තර කම්කරු පන්තිය බව ද, විසි එක් වැනි සියවසේ කම්කරු පන්තියේ ඉරනමත් අවසාන වශයෙන් සමස්ත මානව වර්ගයේත් ඉරනමත් සමාජවාදී විප්ලවයේ සාර්ථකත්වය මත රඳා පවතින බව අවධාරනය කරයි.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පැත්තක් ගැනීම කවර ආකාරයෙන් හෝ වෛෂයිකත්වය හෝ අව්‍යාජ විවාදයන් හෝ බැහැර ලන්නේ නැත. ධනේශ්වර දේශපාලනයට සහ ධනේශ්වර ආර්ථික විද්‍යාවට විකල්පයක් සොයන කම්කරුවන්, ශිෂ්‍යයන් සහ ශාස්ත්‍රවන්තයන් සමඟ පුලුල් අදහස් හුවමාරු කර ගැනීමක් සාදරයෙන් අපේක්ෂා කරමු. දැනුම සහ සත්‍යය පිහිටවනු ලබන අපෝහක මාධ්‍යන් වන විවාදාත්මක සාහිත්‍ය ලෝසවෙඅයට බද්ධ වූ අංගයකි. වෙබ් අඩවියට දායක වීමට කැමති අයගෙන් අපේක්ෂා කෙරෙන්නේ බුද්ධිමය අව්‍යාජත්වයත් ඓතිහාසික සත්‍යයට කැප වීමත් පමනි.

වසර 20කට අධික එහි ප්‍රකාශිත කාලය තුල, ලෝසවෙඅ ජාත්‍යන්තර විප්ලවවාදී සමාජවාදයේ අධිකාරවත් හඬ බවට පත් ව ඇත. දැවැන්ත අර්බුදග්‍රස්ත කාලයක සහ මනුෂ්‍ය වර්ගයා දුක් විඳින යුගයක සිදු වන දේ වටහා ගැනීමට උත්සහ දරන, ම්ලේච්ඡත්වයට පරිහානිගත වන ව්‍යාධිගත ධනේශ්වර ලෝකයට අව්‍යාජ ප්‍රගතිශීලි, එනයින් විප්ලවවාදී විකල්පයක් සොයන ලොව පුරා කම්කරුවන්ට ශිෂ්‍යයන්ට සහ තරුනයන්ට නැතිව ම බැරි දේශපාලන සහ ශාස්ත්‍රීය මාර්ගෝපදේශය වශයෙන් එය සේවය කර ඇත.