කීර්ති බාලසූරිය පිලිබඳ මතකය වෙනුවෙන්

In memory of Keerthi Balasuriya

By David North, 18 December 2012

අදට යෙදී ඇති කීර්ති බාලසූරියගේ හදිසි හා ඛේදජනක අකල් මරනයේ විසිවෙනි සංවත්සරය, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) සමරන්නේ ප‍්‍රගාඪ ගරුත්වයකින් මෙන්ම පාඩුව පිලිබඳ නොනස්නා හැඟීමකින්ද යුතුව ය. වසර ගනනාවකින් පසුව පවා, කීර්ති සහෝදරයා සමඟ වැඩ කල හා ඔහු දන්නා හඳුනන සියල්ලන්ට ඔහු අහිමිවීමේ පෞද්ගලික හා දේශපාලන පාඩුව තදින්ම දැනේ.

කීර්ති බාලසූරිය

ශ‍්‍රී ලංකා සමාජවාදී සමානතා පක්ෂයේ පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ කාර්යාලයෙහි වැඩ කරමින් සිටියදී 1987 දෙසැම්බර් මස 18 වෙනි දින උදේ ඔහුගේ මරනය සිදු වූයේ කිසිදු පූර්ව සලකුනකින් තොරව ය. ඒ වනවිට ජාත්‍යන්තර කමිටුවේ රැුස්වීමකට සහභාගි වී යුරෝපයේ සිට ආපසු පැමින මාසයක් වත් ගතවී තිබුනේ නැත.

මාරාන්තික හෘදයාබාධය වැලඳෙන විට ඔහු 1985-86 හජාජාක භේදයේ දේශපාලන පාඩම් පිලිබඳ ප‍්‍රකාශයක් ලියමින් මේසය අසල වාඩිවී සිටියේය. වයස 39 ක් වූ කීර්ති සහෝදරයා අද ජීවතුන් අතර සිටියේ නම් සැමරීමට බලාපොරොත්තු වනු ඇත්තේ ඔහුගේ 60 වෙනි උපන් දිනයයි.

එහෙත්, ඔහුගේ අකල් මරනයෙන් අපට අහිමිවූ සියල්ල තිබියදීත් ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ අත්‍යාවශ්‍ය පදනමක් බවට පත්වන්නාවූ දේශපාලන වැඩ කටයුතු පිලිබඳ සැලකිය යුතු හා කල්පවත්නා උරුමයක් කීර්ති සහෝදරයා ඉතිරි කර තිබේ.

පසුගිය දශක දෙකේ ඉමහත් ආර්ථික හා දේශපාලන වෙනස්කම් මධ්‍යයේ වුවත්, කීර්ති පොරබදමින් සිටි ප‍්‍රශ්න හා ගැටලූ ඔහු ජීවත්ව සිටි කාලයටත් වඩා අදට, නොඅඩු හදිසි භාවයක් හා අදාලභාවයක් ගැබ්කර ගනියි.

උප-මහාද්වීපයේ ජාතික ධනේශ්වරය හා බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදය අතර පිලිකුල් සහගත ගිවිසුම් පදනම් කරගනිමින්, ඉන්දියාව හා ලංකාව (1972 දක්වා ශ‍්‍රී ලංකාව හැඳින්වූයේ ඒ නමින්ය) නිදහස ලබාගැනීමට වසරකට මඳක් වැඩි කාලයකට පසුව, 1948 නොවැම්බර් 4 වෙනි දින කීර්ති උපත ලැබීය. එක් අතකින් ඉන්දීය හා ලාංකේය ජාතික ධනේශ්වරයත්, අනෙක් අතින් බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදයත් අතර විවිධ ක‍්‍රමවලින් ගිවිසුම් ඇතිකරගත්තේ වී නමුත්, ඊලඟ දශක හය පුරා දිගහැරුනු සියලූ දේශපාලනික ඛේදාන්තයන්ට එමගින් වේදිකාව සකස් විය.

මෙම ගිවිසුම් මගින් පෙන්නුම් කලේ ඉන්දියාවේ හා ලංකාවේ ධනේශ්වරය, අව්‍යාජ නිදහසට දැක්වූ ඇල්මට බෙහෙවින් වැඩිමනත් ලෙස සමාජ විප්ලවයට බිය වූ බවයි. ගාන්ධි හා නේරු ආගමික රේඛා ඔස්සේ ඉන්දියාව බෙදීමට එකඟ වූහ. එය ජනතාවගේ සමාජ අපේක්ෂාවන් පාවාදීමක් වූ අතර දශලක්ෂ ගනනකට ඒ වෙනුවෙන් ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවූ අතර, කලාපය පුරා අධිරාජ්‍යවාදයේ ග‍්‍රහනය ස්ථාපිත කරමින් උප මහාද්වීපය නිරන්තරයෙන් ඇවිලී ගිය යුද්ධයන්ගේ තෝතැන්නක් බවට පත් කලේය. ලංකාවේ දී, ජාතික ධනේශ්වරය විසින් ”නිදහස”, දෙමල සුලූතරයට එරෙහිව ක‍්‍රමානුකූලව වෙනස්කම් කිරීම් සංස්ථාපනය කිරීමටත් අනාගතයේ සිවිල් යුද්ධය සඳහා බීජ වැපිරීමේත් රාමුව ලෙස යොදාගත්හ.

ජාතික ධනේශ්වරය විසින් නිදහස් අරගලය පාවාදීමෙන්, ජාත්‍යන්තර සමාජවාදී කි‍්‍රයා මාර්ගයක් මත පදනම්වූ මාක්ස්වාදී පක්ෂයක් විසින් නායකත්වය සපයන කම්කරු පන්තිය විසින් බලය අල්ලාගැනීම හරහා පමනක් අධිරාජ්‍ය විරෝධී ප‍්‍රජාතන්ත‍්‍රවාදී අරගලයේ ඓතිහාසිකව ප‍්‍රගතිශීලී කර්තව්‍යයන් සාක්ෂාත් කල හැකි යයි අවධාරනය කල ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලවයේ මූලික පිලිවෙත සනාථ කරනු ලැබුනි.

සැබවින්ම, ඉන්දීය හා ලාංකේය ධනේශ්වරයට විධිමත් ලෙස බලය පවරා දීමෙන් පසු අවධියේ දී, නිදහස ලබා ගත් කොන්දේසි හෙලාදුටු ලංකාවේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ නායකයන් නොනවතින විප්ලවයේ මූලධර්මයන්ට බැඳීගත්හ. කෙසේ වුවද එලඹුනු දශකය තුල ට්‍රොට්ස්කිවාදී ලංකා සම සමාජ පක්ෂය (ලසසප* වේගයෙන් දකුනට තල්ලූවී ගියේය.

පාර්ලිමේන්තු ජයග‍්‍රහන පසුපස යාමේ දී සියලු වර්ගවල අවස්ථාවාදී අනුගතවීම් දිරිගැන්වූ, ජාතික පසුබිමේ පීඩනයන්හි බලපෑම යටතේ වර්ධනය වූ මෙම ක‍්‍රියාවලිය තුල, ලසසපය පරිහානිගත වීමේ මූලික සාධකය වූයේ හතරවන ජාත්‍යන්තරය ඇතුලත පොදුවේ වැඞී ගිය ප‍්‍රතිසංස්කරනවාදී ප‍්‍රවනතාවන්ය.

මයිකල් පැබ්ලෝ හා අර්නස්ට් මැන්ඩෙල් විසින් මෙම බලවේගයන් ක‍්‍රමානුකූලව වසං කරනු ලැබූ අතර ලසසපයේ අවස්ථාවාදී නැඹුරුව දිරිගැන්වීමට නායකත්වය පවා සම්පාදනය කලහ. තවමත් කම්කරු පන්තිය තුල විශාල අනුගාමිකත්වයක් සහිත වූ ලසසපයේ දිග් ගැස්සුනු දේශපාලන අර්බුදය, බන්ඩාරනායක මැතිනියගේ ධනේශ්වර ආන්ඩුවට ඇතුල්වීමට එය කැමැත්ත පලකිරීමත් සමග 1964 දී, එහි හිනිපෙත්තට ලඟාවිය. මෙය ලංකාවේ මෙන්ම හතරවන ජාත්‍යන්තරයේ ඉතිහාසයේ ද සන්ධිස්ථානයක් සලකුනු කලේය.

දෙවැන්න සම්බන්ධයෙන් ගත්කල, ලසසපය ධනේශ්වරය සමග ප‍්‍රතිගාමී දේශපාලන සභාගයකට ඇතුල්වීම, පැබ්ලෝවාදී ප‍්‍රතිසංස්කරනවාදයේ ප‍්‍රතිවිප්ලවවාදී ස්වභාවය හෙලිදරව් කලේය. ලංකාව සම්බන්ධයෙන් ගත්කල සභාගය ගොඩනැගීම, විසිවසරකටත් අඩු කාලයක් තුල නිර්දය සිවිල් යුද්ධයේ පැනනැඟීමට තුඩුදුන් ක‍්‍රියාවලියක් පනගැන්වී ය.

අන් සියල්ලටමත් වඩා කීර්ති බාලසූරියගේ අධ්‍යාපනය මුල්බැස ගත්තේ මෙම අත්දැකීම්වල පාඩම් උකහා ගැනීම තුලය. මෙම ක‍්‍රියාවලිය තුල ජාත්‍යන්තර කමිටුව ප‍්‍රධාන ක‍්‍රියා කලාපය ඉටු කලේය. 1953, හතරවන ජාත්‍යන්තරය තුල පැනනැගි පැබ්ලෝ හා මැන්ඩෙල්ට එරෙහි අරගලයේ නිමැවුමක් ලෙස ගොඩනඟන ලද ජාත්‍යන්තර කමිටුව, ලංකාවේ වර්ධනයන් පිලිබඳව සැලකිලිමත් වූ අතර ලසසපයේ එන්ට එන්ටම අවස්ථාවාදී වූ හැඩගැසීම කෙරෙහි අවධානය යොමු කලේය.

ලසසපය සභාගයට ඇතුල්වීමෙන් පසුව ජෙරී හීලිගේ නායකත්වය යටතේ බි‍්‍රතාන්‍ය ට්‍රොට්ස්කිවාදීන් ලසසපයට එරෙහිව දේශපාලන ප‍්‍රහාරයක් දියත් කල අතර එය ලංකාව තුල ට්‍රොට්ස්කිවාදී තරුන ශිෂ්‍යයන් අතර ආකර්ශනයක් දිනා ගත්තේය. 1968 දී විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය ගොඩනැගීමට මුල්වූයේ දේශපාලනික පැහැදිලිකම සඳහා වසර ගනනාවක් තිස්සේ කරන ලද වැඩ කටයුතු ය. කීර්ති ප‍්‍රධාන ලේකම් තනතුරට තෝරා පත්කර ගන්නා ලදී.

විකොස හා කීර්ති සහෝදරයා ප‍්‍රධාන දේශපාලන පරීක්ෂනයකට ලක් වීමට වැඩි කල් ගතවූයේ නැත. ලසසපයේ දේශපාලන ද්‍රෝහිත්වය කම්කරු පන්ති ව්‍යාපාරය දුබල කලේය. එය ගොවීන් කම්කරුවන්ගෙන් භේද කිරීමට තුඩුදුුන් අතර තරුන ශිෂ්‍යයන් හා ගොවි තරුනයන් සැලකිය යුතු කොටසක් අතර මාවෝවාදී බලපෑම වර්ධනය වීමට ද තෝතැන්නක් සැපයී ය. මෙය ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ගොඩනැඟීමටත් එහි සීග‍්‍ර වර්ධනයටත් දායක විය.

මෙම සංවිධානය, රුදුරු අධිරාජ්‍ය විරෝධී සටන්කාමිත්වයේ මූර්තියක් ලෙස පෙනී සිටියේය. ජවිපෙ විප්ලවකාරී දෙඩවිලි තුල සැඟවී ඇති අවශ්‍යයෙන් ම සුලු ධනපති හා ප‍්‍රතිගාමී දේශපාලන ඉදිරි දර්ශනය සොයා හෙලිදරව් කිරීම සඳහා දේශපාලන ධෛර්ය මෙන් ම මාක්ස්වාදී තීක්ෂන භාවය ද අවශ්‍ය විය.

1970 දී කීර්ති ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනය හා පන්ති ස්වභාවය නම් කෘතිය ලියා පල කලේය. එමගින් මෙම සංවිධානයේ සුලුධනපති හා ප‍්‍රති මාක්ස්වාදී ස්වභාවය පැහැදිලිව තහවුරු කලේය. එහි නායක විජේවීර, ජවිපෙ බලයට පැමිනි කල කීර්ති එල්ලන බවට තර්ජනය කලේය.

එහෙත් 1971 දී සභාග අන්ඩුව ජවිපෙට හා ගම්බද තරුනයන් අතර එහි අධාරකරුවන්ට එරෙහිව රුදුරු මර්දන රැුල්ලක් දියත් කලේය. ජවිපෙ සමග ඇති සිය අශමනීය මතභේද තිබියදීත් විකොස, ආන්ඩුවේ මර්දනයට එරෙහිව අරගලයක් ගෙන ගියේය.

ජවිපෙට පවා විකොස දේශපාලනයේ ප‍්‍රතිපත්තිමය ස්වභාවය පිලිගැනීමට සිදුවිය. හිරෙන් නිදහස්වූ පසුව විජේවීර, පක්ෂය ගෙනගිය උද්ඝෝෂනය පිලිබඳව සිය කෘතඥතාවය පලකිරීමට පෞද්ගලිකව ම විකොස කාර්යාලයට ගියේය. (එමගින්, 1980 ගනන්වල දී විකොස සාමාජිකයන් ඝාතනය කිරීමෙන් ජවිපෙ වැලැක්වූයේ ද නැත.)ඪ

කීර්තිගේ දේශපාලන දෘඪතරභාවය හා පෞරුෂය පෙන්නුම් කල තවත් වැදගත් අවස්ථාවක්වූයේ බි‍්‍රතාන්‍යයේ සමාජවාදී කම්කරු සංගමයේ (සකස) ට්‍රොට්ස්කිවාදීන් විසින් බෙංගාලි විමුක්ති ව්‍යාපාරයට සහාය පිනිස බව පෙනීගිය, ඉන්දියානු අගමැති ඉන්දිරා ගාන්ධිගේ නැගෙනහිර පකිස්ථානයට හමුදා යැවීමේ තීරනය පිලිබඳව ගත් ආස්ථානය ගැන ඔහු කල විවේචනය යි. 1971 දෙසැම්බර් 6 වෙනි දින ප‍්‍රකාශයට පත්කල සකස හි (කම්කරු විප්ලවවාදී පක්ෂයේ පූර්වගාමියා) මයිකල් බන්ඩා විසින් ලියන ලද ප‍්‍රකාශනයක මෙසේ සඳහන් විය. ”ඉන්දියානු ධනේශ්වර ආන්ඩුව බංග්ලාදේශයට මිලිටරි හා ආර්ථික ආධාර යැවීමට ගත් තීරනයට අපි විවේචනාත්මකව සහයෝගය පලකරමු.”

විකොස විසින් ගන්නා ලද්දේ සකසට වඩා මුලුමනින් ම වෙනස් වූ ආස්ථානයකි. 1971 දෙසැම්බර් 8 වෙනි දින ප‍්‍රසිද්ධ කල ප‍්‍රකාශනයෙන් කියා සිටියේ:

"නිර්ධන පන්තියේ විප්ලවවාදී අවශ්‍යතාවන් නියෝජනය කරන ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය, මෙම සියලූ දේශපාලන ධරාවන්, අරගල හා ගැටුම් පිලිබඳව සිය ආස්ථානය නීර්නය කරගන්නේ සමාජවාදය සඳහා වූ කම්කරු පන්ති අරගලයේ දෘෂ්ටි ආස්ථානයෙනි. එය අවධාරනයෙන් හා එක එල්ලේ ප‍්‍රකාශ කරන්නේ යුද වැදී සිටින ධනේශ්වරයේ කිසිදු පාර්ශවයකට සහයෝගය දීම කම්කරු පන්තියේ කර්තව්‍ය නොවන බවත්, පන්ති සතුරාගේ කඳවුරේ සෑම හා සියලු ගැටුමක් ම, උප-මහාද්වීපයේ දශ ලක්ෂ සංඛ්‍යාත පීඩිතයන්ගේ සමාජ හා ජාතික අභිලාෂයන් සාක්ෂාත් කලහැකි එක ම මාවත වන සමාජවාදී සමූහාන්ඩු සංගමයක් ගොඩනැගීමේ ඉදිරිදර්ශනය මත බලය අල්ලාගැනීම සඳහා යෙදා ගත යුතු බවත් ය.”

අද මෙන් ක්ෂනික සන්නිවේදනයේ පහසුකම් නොමැති තතු තුල, තම ප‍්‍රකාශනය පලකරන අවස්ථාව වනවිට විකොස සමාජවාදී කම්කරු සංගමයේ ආස්ථානය ගැන දැන සිටියේ නැත. සකප ප‍්‍රකාශනය කොලඹට ලඟාවීමෙන් පසුව, විකොස සිය ආස්ථානය ජනතාව අතට පත්වීම වහාම අත්හිටවිය යුතු යයි කීර්ති උපදෙස් දුන්නේ ය. ඔහු හජාජාක ලේකම් ක්ලිෆ් ස්ලෝටර්ට ලිව් පරිදි ඔහු එසේ කලේ "ජාත්‍යන්තරය ඇතුලත පැහැදිලිකම අන් සියල්ලටමත් වඩා වැදගත් ය. ජාත්‍යන්තරය ගොඩනැගීමට සටන් වැදීමෙන් තොරව අපට ජාතික ශාඛාවක් ගොඩනැගිය නොහැකි ය.” කෙසේ වුවද 1971 දෙසැම්බර් 16 වෙනි දින, සකස සමග විකොසට ඇති මතභේද පැහැදිලි කරමින් ස්ලෝටර් වෙත යැවූ සිය ලිපිය තුල කීර්ති වචන පටලවා නොගත්තේ ය.

"ඉන්දු පකිස්ථානු යුද්ධයට විරුද්ධ නොවී බෙංගාලි ජනතාවගේ ජාතික විමුක්ති අරගලයට සහාය දැක්වීම හා සමාජවාදී පදනම් මත ඉන්දියාව ස්වේච්චාවෙන් ඒකාබද්ධ කිරීම කල නොහැකි ය. ඉන්දියාව හා පකිස්ථානය ඇතුලතින් ම යුද්ධයට විරුද්ධ නොවී, ඉන්දු උප මහාද්වීපය තුල බොහෝ ජාතීන්ගේ ස්වයං නීර්න අයිතිය ආරක්ෂා කල හැකි එක ම ක‍්‍රමය වන ඒකාබද්ධ සමාජවාදී ඉන්දියාවක් ගැන කථා කිරීම මුලූමනින්ම අභූතයකි.”

1972 ජනවාරි 11 වෙනි දින කීර්ති ලංඩනය වෙත තවත් ලිපියක් යැවීය. මෙවර එය ගාන්ධිගේ මැදිහත්වීම කෙරෙහි බන්ඩා දැක්වූ උද්යෝගිමත් සහයෝගයට පිලිතුරකි. බන්ඩාගේ ආස්ථානය වනාහි මීට පෙර පැබ්ලෝවාදීන්ට එරෙහිව හජාජාක විසින් අරක්ෂා කල ට්‍රොට්ස්කිවාදී මූලධර්මයන්ගෙන් පසුබැසීමක් බව ඔහු තහවුරු කලේය.

"යටත් විජිත ජනතාවන්ගේ අරගලය පිලිබඳව මාක්ස්වාදී ව්‍යාපාරය සතු සියලු අතීත අත්දැකීම්, බංග්ලාදේශය පිලිබඳ හජාජාක වේ සාවද්‍ය දේශපාලන ආස්ථානය පිලිබඳ තර්කනය විසින් අත්හැර දැමීම හා අත්හැර දැමීමට තුඩුදිය හැකිව තිබේ. 1961-63 කාල පරිච්චේදයේදී සමාජවාදී කම්කරු පක්ෂය (ඇමෙරිකාවේ* ට එරෙහිව සකස නායකත්වය විසින් අත්කරගත් සියලූ ප‍්‍රතිලාභයන් සංශෝධනය කිරීමේ දිසාවකට දැන් තල්ලු වෙමින් තිබෙන බවට සාධක තිබේ. දෙසැම්බර් 27 වෙනි දින ඔබගේ ලිපිය මාක්ස්වාදයෙන් මුලූමනින් ම කැඞී ගිය දේශපාලන ආස්ථානයක් ආරක්ෂා කිරීමේ උත්සාහයකට වැඩි දෙයක් නො වේ. එය ආරක්ෂා කිරීමට දරන උත්සාහයේ දී ඔබ මාක්ස්වාදය විකෘති කරයි. ඉන් ඔබ ම ව්‍යාකූලත්වයේ ගිලී යන අතර ඔබගේ දේශපාලන බංකොලොත්කම හෙලිදරව් කෙරේ.” පෙර දක්නාවූ කීර්තිගේ ලිපි සමාජවාදී කම්කරු සංගමයේ නායකයන් විසින් ජාත්‍යන්තර කමිටුව තුල බෙදාහැරියේ නැත. හජාජාක වැඩ කටයුතු කෙරෙහි ස්වාධීන හා විවේචනාත්මක ආකල්පයක් ගැනීමට විකොසට පැවති හැකියාව ගැන වැටහීමක් සහිතව සිටි සමාජවාදී කම්කරු සංගමය කීර්ති සහෝදරයා හා ශ‍්‍රී ලංකාවේ ට්‍රොට්ස්කිවාදීන් හුදෙකලා කිරීමේ උත්සාහයක නිරත විය.

සකස හා පසුව කම්කරු විප්ලවවාදී පක්ෂය වඩ වඩාත් දකුනට තල්ලුවී ගිය අතර විකෙස හුදෙකලා කිරීමේ ව්‍යායාමය ද එන්ට එන්ටම විසකුරු හා නිර්දය විය. 1985 දී ජාත්‍යන්තර කමිටුව හා එහි බි‍්‍රතාන්‍ය සංවිධානය ඇතුලත දේශපාලන අර්බුදය පුපුරා යන තෙක් ම ජාත්‍යන්තර ව්‍යාපාරය ඇතුලත මෙම අගනා ලිපි සඳහා පේ‍්‍රක්ෂකත්වයක් සොයාගැනීමට හැකි වූයේ නැත.

ඉන්දියානු ආන්ඩුව නැගෙනහිර පකිස්ථානයේ සිදු කල මිලිටරි මැදිහත්වීමට සෝෂලිස්ට් ලේබර් ලීගය දැක්වූ ධාරනාවාදී ප‍්‍රතිචාරයත් විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ විවේචනයන් සම්බන්ධයෙන් එය දැක්වූ දුෂ්ට පලි ගන්නා සුලූ ප‍්‍රතිකි‍්‍රයාවත් බි‍්‍රතාන්‍ය සංවිධානය තුල පැවති ගැඹුරු වන දේශපාලන අර්බුදයක් පිලිබිඹු කලේය. ඉන්දියානු ආන්ඩුවේ පිලිවෙත් අනුමත කිරීමේ එස්එල්එල් ආස්ථානයේ ප‍්‍රකාශකයා ලෙස මයිකල් බන්ඩා මතු වීම කිසිසේත් ම අහම්බයක් නොවීය.

අධිරාජ්‍යවාදයට එරෙහි අරගලය තුල කම්කරු පන්තියේ කේනද්‍රීය හා තීරනාත්මක විප්ලවවාදී කාර්ය භාරය අවධාරනය කල ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යායෙහි අදාලත්වය පිලිබඳව ඔහු වසර ගනනාවක් තිස්සේ සැක පල කරමින් සිටියේ ය.

වියට්නාමයේ හෝ චි මිංගේ, චීනයේ මාඹ් සේතුංගේ හා යුගෝස්ලාවියාවේ ටිටෝගේ පවා ජයග‍්‍රහනය ගොවි ජනතාවගේ සන්නද්ධ අරගලය මත පාදකව සමාජවාදය සඳහා විකල්ප මාවත්වල හැකියාව පෙන්නුම් කර නැති ද? නික්සන් පාලනාධිකාරයේ විරසකයට හේතු වූ කි‍්‍රයාවක් වන අගමැතිනි ඉන්දිරා ගාන්ධිගේ නැගෙනහිර පකිස්ථාන මැදිහත්වීම, බන්ඩාටනම්, අධිරාජ්‍ය විරෝධී අරගලයේ තවත් රූපාකාරයක් විය. බන්ඩාගේ දෘෂ්ටියට අනුව, එය පෙන්නුම් කලේ, ට්‍රොට්ස්කිගේ ඉදිරිදර්ශනයට ප‍්‍රතිකුල ලෙස විප්ලවවාදී මූලිකත්වයක් ගැනීමට ආසියාවේ ජාතික ධනේශ්වරය සමත් බව යි.

බි‍්‍රතාන්‍ය ශාඛාවේ මූලික නායකයා වූ ජෙරී හීලි, මූලික කි‍්‍රයාමාර්ගික ගැටලු සම්බන්ධයෙන් එස්එල්එල් නායකත්වය තුල හටගන්නා විවෘත ගැටුමක ප‍්‍රතිඵල ලෙස ඇති විය හැකි සංවිධානාත්මක බාධාවන් ගැන බියපත්ව, දේශපාලන මතභේද පිලිබඳ සාකච්ඡුාවක් වලකා ගැනීමට උත්සාහ කලේ ය. එපමනක් නොව, ට්‍රොට්ස්කිවාදී ඉදිරිදර්ශනයේ ශක්‍ය භාවය ගැන සැක පහල කිරීමේ දී බන්ඩා තනි වූයේ නම් නැත. 1960 ගනන්වල දී, සුලු ධනේශ්වරයේ සැලකිය යුතු කොටස්වල සිදු වූ දේශපාලන රැඩිකලීකරනය, පැබ්ලෝ හා මැන්ඩෙල් විසින් මූලාරම්භය ගනු ලැබූ සංශෝධනවාදී දේශපාලන රූපාකාරය සඳහා පවත්නා සමාජ සහයෝගී පදනම සැලකිය යුතු ආකාරයකින් වර්ධනය කර තිබුනි. එස්එල්එස් සංවිධානය මත් තරුන ශිෂ්‍යයන්ගේ රැඩිකලීකරනයෙන් සංවිධානාත්මකව වාසි ලබා ගෙන තිබුනි. විප්ලවවාදී කි‍්‍රයාමාර්ගය හා ඉදිරිදර්ශනය පිලිබඳ අත්‍යවශ්‍ය ප‍්‍රශ්න සම්බන්ධයෙන් එය පෙර දැක්වූ ක්ෂමා විරහිත භාවයෙන් එස්එල්එල් පසු බැස සිටි තාක් දුරට, සුලු ධනේශ්වරයෙන් පැමිනි අලුතෙන් රැඩිකලීකරනය වූ තරුනයන් හා සෙසු කොටස් බි‍්‍රතාන්‍ය ව්‍යාපාරයට ඇතුලූ වූයේ, හතර වන ජාත්‍යන්තරයේ ඉතිහාසය හා මූලධර්ම සම්බන්ධයෙන් අවශ්‍ය අධ්‍යාපනය ලැබීමෙන් තොරව ය. එස්එල්එල් සංවිධානයේ න්‍යායික හා අධාපනික වැඩකටයුතු තුල මූලික කාර්ය භාරයක් ඉටු කල වෘත්තීය විද්වතුන්ගෙන් යුක්ත දේශපාලනික ආනුභාවයක් සහිත ස්ථරය,මාක්ස්වාදයේ සුලු ධනේශ්වර සංශෝධනයන්ගේ විවිධ රූපාකාරයන්ට ආකර්ශනය වීමෙහි විශේෂ ඉඩකඩක් පැවතුනි යන කාරනාව මගින් මෙම අන්තරාය තවත් වැඩි දියුනු කෙරුනි.

දාර්ශනික විධික‍්‍රමය පිලිබඳ එකඟතාව වඩා වැදගත් බවට තර්ක කරමින් එස්එල්එල් නායකත්වය කි‍්‍රයාමාර්ගික පැහැදිලිකම සඳහා වූ අරගලය මගහැරීමේ සිය පිලිවෙත සාධරනීකරනය කලේ මෙම වඩ වඩා මඩ කෙරුනු දේශපාලන වාතාවරනය තුල ය. සත්තකින් ම, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය සිය ඉතිහාසය පුරා ගෙන තිබූ ප‍්‍රවිෂ්ටය විශ්මයජනක ප‍්‍රති-අර්ථකථනයකට ලක් කරමින්, හීලි සහ න්‍යායික කරුනු පිලිබඳ ඔහුගේ ප‍්‍රධාන උපදේශක ක්ලිෆ් ස්ලෝටර්, තර්ක කිරීමට පටන් ගත්තේ, කි‍්‍රයාමාර්ගය පිලිබඳ සාකච්ඡුාව ම අපෝහක චින්තනයේ වර්ධනයට සැබෑ බාධාවක් බවට යි. එබැවින් ස්ලෝටර් විසින් රචිත පහත කියාපෑම ජාත්‍යන්තර කමිටුවේ ලියවිලි තුල පල විය. එනම්, බි‍්‍රතාන්‍යය තුල විප්ලවවාදී පක්ෂය ගොඩනැගීමේ අත්දැකීම් _ පෙන්නුම් කර ඇත්තේ විඥානවාදී චින්තන ක‍්‍රමයන්ට එරෙහි ගැඹුරුට ම යන අසීරු අරගලය අවශ්‍ය බව හා එය කි‍්‍රයාමාර්ගය හා පිලිවෙත සම්බන්ධ 1 එකඟතාව පිලිබඳ ප‍්‍රශ්නවලට වඩා බෙහෙවින් ගැඹුරට ගිය බව යි. _ ඤඔරදඑිනහසිප ඪැරිමි ඍැඩසිසදබසිපල ඪදකග6ල ඛදබාදබල 1975ල චග 83ග% (සංශෝධනවාදයට එරෙහිව ට්‍රොට්ස්කිවාදය, 6 වන වෙලූම, ලන්ඩන්, 1975, 83 පි.)

මෙය හා එයට සමාන සූත‍්‍රගත කිරීම් තුල ඉදිරිපත් කෙරුනු, කම්කරු පන්තියේ විප්ලවවාදී ඉදිරිදර්ශනය වර්ධනය කිරීමෙන් මාක්ස්වාදී න්‍යාය සඳහා අරගලය වෙන් කිරීමේ මෙම රූපාකාරය, මාක්ස්වාද-විරෝධී නව වමේ සුලු ධනේශ්වර කල්ලි තුල පුලුල්ව ජනපි‍්‍රයව පැවති සංකල්පයන්ට අන්තරායකාරී ලෙස දේශපාලනිකව හා න්‍යායිකව යටත් වීමක් නියෝජනය කල බව, (මහාචාර්ය ක්ලිෆ් ස්ලෝටර් නිශ්චිතව ම එය අවබෝධ කර ගෙන සිටියා වුවත්) හීලි පැහැදිලිව අවබෝධ කර ගෙන නොසිටියා විය හැක. එහෙත් කෙසේ වෙතත්, හීලි තමන්ගේ ම සිත තුල සිය ආස්ථානය සාධාරනීකරනය කර ගත්තේ ය. නව න්‍යායික තර්ක හතර වන ජාත්‍යන්තරයේ ඓතිහාසික කාර්ය භාරය පිලිබඳ සංශයවාදයක් පිලිබිඹු කලාක් මෙන් ම එම සංශයවාදය දිරිගැන්වී ය.

ස්ලෝටර් 1972 දී ලියූ පරිදි: අර්බුදය විසින් නිර්මානය කෙරෙන දේශපාලන වර්ධනයන්ගේ කරලිය වෙතට කි‍්‍රයාමාර්ගය, ට්‍රොට්ස්කිවාදයේ පවත්නා බලවේග, හුදෙක් ගෙන ඒම මගින් කම්කරු පන්තිය බලය කරා ගෙන විත් සමාජවාදය ගොඩනැගීමට විප්ලවවාදී පක්ෂ සමත් වනු ඇති ද? නැති නම්, න්‍යාය සඳහා වූ, පන්ති අරගලයේ පරිවර්තිත යථාර්ථය තුලට ව්‍යාපාරයේ සමස්ත අතීත අත්දැකීම් හා න්‍යාය නිශේධනය කිරීම සඳහා වූ, දැනුවත් අරගලයක් ගෙන යාම අවශ්‍ය නැති ද? _ (එම. 226 පි.)

ස්ලෝටර් විසින් ඉදිරිපත් කරන ලද පැහැදිලිවම සංශෝධනවාදී හා දේශපාලනිකව දියකරහැරීම්වාදී ආස්ථානයන් දෙක එලිදරව් කරනු වස් අවශ්‍ය වන්නේ, මෙම වැකිවලින් ඒවායේ පූච්චානම් රූපාකාරයන් ගලවා ඉවත් කොට සුලු ධනේශ්වර විද්වතුන්ගේ එතරම් ආදරයට පාත‍්‍ර වූ ඒවායේ මවාපාන සුලු ව්‍යාජ-දාර්ශනික ව්‍යුහය විඛන්ඩනය කිරීම පමනි. එනම්, 1) හතර වනජාත්‍යන්තරයේ ඓතිහාසිකව වර්ධනය කෙරුනු කි‍්‍රයාමාර්ගය මත පාදක වන ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය කම්කරු පන්තිය බලය කරා මෙහෙයවීමට සමත් නොවනු ඇත. 2) පන්ති අරගලයේ පරිවර්තිත යථාර්ථය _ (පි‍්‍රයතම පැබ්ලෝවාදී වාක්‍යාංශයක්) ඉල්ලා සිටින්නේ ව්‍යාපාරයේ සමස්ත අතීත අත්දැකීම් හා න්‍යාය _නිෂේධනය _ (එනම්, ඉවත දැමීම) කිරීමෙන් සමන්විත න්‍යාය සඳහා වූ දැනුවත් අරගලයක් _ ය.

හීලිට, බන්ඩාට සහ ස්ලෝටර්ට, මෙම සූත‍්‍රගත කිරීම් හුදු වියුක්ත විවාදයක් සඳහා වූ කාරනාවක් නොවී ය.

1970 ගනන් දිග හැරෙන විට, ඔවුහු එම සූත‍්‍රගත කිරීම් අතිශය රුදුරු ආකාරයකින් කි‍්‍රයාවට දැමීමට උත්සාහ කලහ. ට්‍රොට්ස්කිවාදයේ කි‍්‍රයාමාර්ගික උරුමය වඩ වඩා නොතැකීමට ලක් කල එස්එල්එල් සංවිධානය හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛාවන්ට (ට්‍රොට්ස්කිවාදයේ පවත්නා බලවේග ) සතුරු බවට පත් වූ අතර නව සන්ධාන ගොඩනගා ගත හැකි වෙනත් දේශපාලන බලවේග සෙවීමට පටන් ගත්තේ ය. මැද පෙරදිග ජාතික ව්‍යාපාර හා තන්ත‍්‍රනයන් තුලින් ඒවා අවසානයේ සොයා ගැනීමට නියමිත විය.

ජාත්‍යන්තර කමිටුව තුල කීර්ති බාලසූරිය සහ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය මුහුන දුන් ගැඹුරු වන හුදකලාවට යටින් පැවතුනේ (1973 නොවැම්බරයේ දී කම්කරු විප්ලවවාදී පක්ෂය බවට පත් වූ) එස්එල්එල් සංවිධානයේ දේශපාලනයේ මෙම දක්ෂිනාංශික මාරුව යි. 1971 ඉන්දු-පකිස්ථාන යුද්ධය සම්බන්ධයෙන් එස්එල්එල් දැක්වූ ප‍්‍රතිචාරය පිලිබඳ විකොස විවේචන. හීලි, බන්ඩා සහ ස්ලෝටර් විසින්, වඩා නිවැරදි ලෙස, සලකනු ලැබුවේ. ට්‍රොට්ස්කිවාදී දේශපාලනය අතහැරීමේ ඔවුන්ගේ පිලිවෙත සමග ශී‍්‍ර ලංකා ශාඛාව සහයෝගී නොවන බව පෙන්නුම් කල දර්ශකයක් ලෙස යි.

ශී‍්‍ර ලංකාවේ සහෝදරුවරුන්ට හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව තුල සහෝදරාත්මක සහයෝගයේ හා සහයෝගිතාවයේ ඡායාමාත‍්‍රයක් වත් ප‍්‍රතික්ෂේප කෙරී පැවතුනි යන කාරනාව මගින් තව දුරටත් උග‍්‍ර කෙරුනු අතිශයින් දුෂ්කර කොන්දේසි යටතේ එම සහෝදරවරු සිය වැඩ කටයුතු ගෙන ගියත්, විකොස ට්‍රොට්ස්කිවාදී මූලධර්ම දිගට ම ආරක්ෂා කලේ ය. මේ සම්බන්ධයෙන් විශේෂයෙන් ම සඳහන් කිරීමට වටින්නේ, 1983 ජුලියේ දී ආන්ඩුවේ පෙලඹවීම මත කොලඹ දී ඇවිලූනු දෙමල විරෝධී ජනඝාතනවලට පක්ෂය දැක්වූ ප‍්‍රතිචාරය යි. මෘග මර්දන පිලිවෙත්වලට ද මුහුන දෙමින්, විකොස දෙමල විරෝධී ඝාතන ව්‍යාපාරයට විරුද්ධව නිර්භීතව සිය හඬ අවදි කලේ ය.

මෙම අන්තරායකාරි කොන්දේසි යටතේ පවා, කම්කරු විප්ලවවාදි පක්ෂයේ පාලනය යටතේ පැවති ජාත්‍යන්තර ව්‍යාපාරයෙන් විකොසට කිසිදු සහයෝගයක් ලැබුනේ නැත. කවිප ඇත්ත වසයෙන්ම කලේ, මයිකල් බන්ඩා විසින් ලියන ලද ප‍්‍රකාශයක් සිය පුවත්පතේ පල කිරීම යි. එය යන්තමින් මෙසේ සඳහන් කලේ ය: (ශී‍්‍ර ලංකාවේ පොලීසිය හා හමුදාව හදිසි නීති යටතේ ඔවුන්ට ලැබී ඇති හිතුවක්කාරී හා අපාලිත බලයන් යොදා ගෙන අපගේ සහෝදරවරු ඝාතනය කොට ඔවුන්ගේ මුද්‍රනාලය විනාශ කර තිබීමට ඉඩ ඇත. _ කෙසේ වෙතත්, මෙම ප‍්‍රකාශය මෙම මර්දනය පිලිබඳ හෙලා දැකීමක් වත් විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය ආරක්ෂා කරනු වස් ජාත්‍යන්තර උද්ඝෝෂනයක් සඳහා කැඳවුමක් වත් නිකුත් නොකලේ ය.

1982 ඔක්තෝබර් හා 1984 පෙබරවාරි අතර කාල පරිච්ජේදයේ දී වර්කර්ස් ලීගය විසින් මතු කරන ලද බැ?රුම් න්‍යායික හා දේශපාලනික විවේචන ගැන විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයට දැනුම් නොදීමට කම්කරු විප්ලවවාදී පක්ෂය ප‍්‍රවේශම් විය. 1984 ජනවාරියේ දී, කම්කරු විප්ලවවාදී පක්ෂයේ දේශපාලන පිලිවෙත සම්බන්ධ නව විවේචන සාකච්ඡාවට භාජන කිරීමට නියමිතව තිබූ හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ රැුස්වීමකට සහභාගි වනු පිනිස කීර්ති සහෝදරයාට ලන්ඩනයට ආරාධනා කිරීම අවශ්‍ය යැයි වර්කර්ස් ලීගයේ දේශපාලනකමිටුව විශේෂයෙන් ම ඉල්ලා සිටියේ ය. කෙසේ වෙතත්, මා ලන්ඩනයට ලඟා වූ කල මයිකල් බන්ඩා මට පැවසුවේ ශී‍්‍ර ලංකාවේ සහෝදරුවරුන් සමග සබඳතා ඇති කර ගැනීමට නොහැකි වූ බවත් එබැවින් කීර්ති රැුස්වීමට නොපැමිනෙන බවත් ය. බන්ඩාගේ අමු බොරුව මගින් පෙන්නුම් කෙරුනේ ජාත්‍යන්තර කමිටුව තුල දේශපාලන මතභේද පිලිබඳ සප‍්‍රතිපත්තික සාකච්ඡාවක් වලක්වනු වස් කවිප නායකත්වය කෙතරම් නම් දුරක් යාමට සූදානම් ද යනවග යි. තථ්‍ය වසයෙන් ගත් කල, යොදා ගෙන තිබූ රැුස්වීම ගැන විකොසට දැනුම් නොදීමට හීලි, බන්ඩා සහ ස්ලෝටර් ඔවුනොවුන් අතරේ තීන්දුවක් ගෙන තිබුනි.

කෙසේ වෙතත්, දශකයකට වැඩි කාලයක් තිස්සේ පැවති අවස්ථාවාදයේ කූටප‍්‍රාප්තිය ලෙස කවිප තුල පැන නැගි කුනු සෝලිය හා තියුනු සංවිධානමය අර්බුදය හමුවේ, ජාත්‍යන්තර කමිටුව තුල දේශපාලන සාකච්ඡාවක් දිගට ම වලක්වා ගෙන සිටීම කවිප නායකත්වයට කල නොහැකි විය. 1985 ඔක්තෝබර් අග භාගයේ දී, ඕස්ටේ‍්‍රලියානු ශාඛාවේ සහයෝගයෙන් ලන්ඩනයට පැමිනීමට කීර්ති සමත් විය. එහි පැමිනි වහාම පාහේ ඔහු මයිකල් බන්ඩාගේ කාර්යාලයට කැඳවන ලදි. හීලි සම්බන්ධිත ලිංගික සෝලියක රාගාධික විස්තර ඔහු හමුවේ දිග හැරීමට බන්ඩා පටන් ගති.

බන්ඩා අවසානයේ වෙහෙසට පත් වූ කල, කීර්ති මෙසේ විමසී ය: මයික් සහෝදරය, නිශ්චිතව ම ඔබට ජෙරී හීලි සමග පවතින දේශපාලන මතභේද මොනවාද? _ මෙම ප‍්‍රශ්නයෙන් බන්ඩා අන්දමන්ද වූ බවක් පෙනුනි. තමන්ගේ ම පිලිතුරක් සූත‍්‍රගත කර ගැනීමට අපොහොසත් වූ බන්ඩා, 1984 පෙබරවාරියේ හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටු රැුස්වීමට මා ඉදිරිපත් කර තිබූ, කම්කරු විප්ලවවාදී පක්ෂයේ දේශපාලන පිලිවෙත සම්බන්ධයෙන් විස්තරාත්මක විවේචනයකින් සමන්විත, වාර්තාවක පිටපතක් කීර්ති අතට දුන්නේ ය.

1985 ඔක්තෝබර් 20 වන ඉරිදා උදෑසන, මට දුන් දුරකතන ඇමතුමකින් බන්ඩා දැනුම් දුන්නේ, හීලි පක්ෂයෙන් නෙරපීම නිවේදනය කරමින් කවිප පුවත්පත වන නිව්ස්ලයින්හි ප‍්‍රකාශයක් පල කිරීමට නියමිත බව යි. මෙම තීන්දුව ගෙන තිබුනේ ජාත්‍යන්තර කමිටුව තුල කිසිදු සාකච්ඡාවකින් තොරව ය. බොහෝ විට පසුව සිතා බැලීමකින් බන්ඩා මට තව දුරටත් කියා සිටියේ කීර්ති ද ඕස්ටේ‍්‍රලියානු ශාඛාවේ ලේකම් නික් බීම්ස් ද ලන්ඩනයේ සිටින බව යි. මට කතා කිරීමට ඔවුන්ට හැකි ද යනුවෙන් මම විමසී ය. බන්ඩා එයට දුන් මග හරින සුලු පිලිතුරෙන් මට ඉක්මනින් ම ඒත්තුගියේ ඔහු සමග තව දුරටත් එම කාරනාව ගැන කතා කිරීමෙන් කිසිදු ප‍්‍රයෝජනයක් නොවන බව යි.

දුරකතනය ආපසු තැබීමෙන් පසුව, වෙනත් දුරකතන මාර්ගයකින් කවිප කාර්යාලය ඇමතූ මම නික්ට හා කීර්තිට කතා කල හැකි දැයි විමසී ය. කීර්ති දුරකතනයට පැමිනි වහාම ඔහු සඳහන් කලේ, මම ඔබගේ දේශපාලන විවේචන කියෙව්වා. මම ඒවා සමග එකඟයි." _ යනුවෙනි. කවිප තුල පුපුරා තිබූ අර්බුදය විසින් මතු කෙරෙන දේශපාලන ප‍්‍රශ්න සාකච්ඡා කොට ජාත්‍යන්තර කමිටුව තුල ඒකාබද්ධ ප‍්‍රතිචාරයක් වර්ධනය කර ගැනීම අවශ්‍ය යැයි නික්, කීර්ති සහ මම එකඟ වීමු. එදින සැන්දෑවේ මම ලන්ඩනය බලා ගියෙමි.

1970 ගනන් මුල සිට මා කීර්ති දැන ගෙන සිටි නමුදු, මෙම අත්‍ය-සාමාන්‍ය මිනිසා සමග මාගේ දේශපාලන සහයෝගිතාව සත්තකින් ම ආරම්භ වූයේ හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව තුල අරගලය පිපිරීමත් සමග පමනි.

ඉන් පසුව එලඹුනු සති හා මාස ගනන් තුල දිග හැරුනු දේශපාලන අරගලය හතර වන ජාත්‍යන්තරයේ ඉතිහාසය තුල හැරුම් ලක්ෂ්‍යයක් සලකුනු කලේ ය.

ප‍්‍රචන්ඩ කලබගෑනිවලින් සමන්විත පසුගිය දශක දෙකක කාල පරිච්ජේදය තුල ජාත්‍යන්තර කමිටුව පෙන්නුම් කර ඇති දේශපාලන ශක්තියේ ප‍්‍රභවය සොයා ගත යුත්තේ කම්කරු විප්ලවවාදී පක්ෂයේ අර්බුදය හා බිඳ වැටීම පිලිබඳ සවිස්තර විශ්ලේෂනයක පදනම මත සාක්ෂාත් කර ගැනුනු ඉහල මට්ටමේ න්‍යායික පැහැදිලිකම හා කි‍්‍රයාමාර්ගික එකඟතාව තුල ය. භේදයට යටින් පවත්නා දේශපාලන හා න්‍යායික ප‍්‍රශ්න මෙතරම් ගැඹුරින් හා සවිස්තරාත්මකව විශ්ලේෂනයට භාජන කෙරුනු වෙනත් අරගලයක් ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉතිහාසය තුල නොපැවති බව ප‍්‍රකාශ කිරීම අතිශයෝක්තියක් නොවේ.

මෙම කාල පරිච්ජේදය තුල දී කීර්ති ඉටු කල කාර්ය භාරය මුලුමනින් ම තීරනාත්මක ස්වභාවයක් අත්පත් කර ගත්තේ ය. විප්ලවවාදී සමාජවාදී ව්‍යාපාරයේ ඉතිහාසය පිලිබඳව ඔහුට පැවති පුලුල් ඥානය දේශපාලන විශ්ලේෂනයෙහි ලා ඔහු සතු සුවිශේෂී හැකියාව සමග සංයුක්ත කෙරුනි. කීර්ති, 1973 හා 1985 අතර දී කවිප විසින් පල කරන ලද දේශපාලන ප‍්‍රකාශ සාවධානව කියවමින්, මාක්ස්වාදයෙන් පසුබැසීමක් පෙන්නුම් කරන තීරනාත්මක වැකි ඒවා තුලින් සොයා ගනී. කීර්ති අවධානය යොමු කරන වැකිවල අර්ථභාරය බොහෝ විට ක්ෂනිකව ම පැහැදිලි වූයේ නැත. ඔහු එවිට එය වඩා විවෘත වචනවලින් ප‍්‍රකාශ කොට එහි ප‍්‍රායෝගික ඇඟවුම් විස්තාරනය කිරීමට පටන් ගනී.

මෙම අන්තර්ඥානයන් මාක්ස්වාදී ව්‍යාපාරයේ ඉතිහාසයට කෙරෙන සැඳහුම් මගින් පෝෂනය කෙරෙයි. සාකච්ඡාව දිග හැරෙන විට, පැහැදිලි වූයේ විවාදයේ දී අතිරේක ලකුනක් රැස් කර ගැනීමට වඩා දෙයක් එහි පවත්නා බව යි. හතර වන ජාත්‍යන්තරය ඇතුලතින් දුර්වල කොට විනාශ කර තිබූ පැබ්ලෝගේ හා මැන්ඩෙල්ගේ සංකල්පවලට නෑකම් කියන දේශපාලන අවස්ථාවාදයේ න්‍යාය හා භාවිතය පිලිබඳව පුලූල් සංයුක්ත විවේචනයක් විස්තාරනය කිරීමෙහි ලා කීර්ති නිමග්න විය.

මෙම විවේචනයේ සාරභූත නිගමනය හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ න්‍යායික සඟරාව වන ෆෝර්ත් ඉන්ටර්නැෂනල් හි 1987 මාර්තු කලාපයේ පල වූ කතුවැකියක මෙසේ කැටි කර දක්වන ලදි:

එනයින් ගත් කල දෙවන ලෝක යුද්ධයෙන් පසුව හතර වන ජාත්‍යන්තරයට පහර දුන් සංශෝධනවාදය අධිරාජ්‍යවාදයේ ම වෙනස් වන දේශපාලන උවමනාකම් පිලිබිඹු කල පන්ති ප‍්‍රපංචයක් විය. කම්කරු පන්තික විප්ලවය පැන නැගීමට මුහුන දී සිටී අධිරාජ්‍යවාදයට තමන්ගේ අවශ්‍යතා සහ කම්කරු පන්තියේ අවශ්‍යතා අතර බෆරයක කි‍්‍රයාකලාපය භාර ගන්නා මධ්‍යම පන්තික නව ස්ථර සඳහා හැකියාවන් විවෘත කිරීමට සිදු විය. පැබ්ලෝවාදී සංශෝධනවාදය මෙම අධිරාජ්‍යවාදයේ මූලික උවමනාකම් හා සුලූ ධනේශ්වරයේ පන්ති අවශ්‍යතා, මෙම බලවේගවලට ට්‍රොට්ස්කිවාදි ව්‍යාපාරය අනුගත කිරීම යුක්තියුක්ත කල එම තීරනාත්මක න්‍යායික සූත‍්‍රයන්ට පරිවර්තනය කලේ ය. විවිධාකාර මධ්‍යම පන්තික පුංගියන් නොව කම්කරු පන්තිය මූලික ඓතිහාසික භූමිකාව ඉෂ්ට කරන කම්කරු පන්තික විප්ලවය මගින් පලමු කොට ම පැරනි ධනේශ්වර රාජ්‍යය විනාශ කරනු ලැබීමෙන් තොරව, සුලු ධනේශ්වරයට රාජ්‍ය යන්ත‍්‍රය සිය පාලනයට නතු කර ගැනීම හරහා සමාජවාදය නිර්මානය කල හැකිය යන නිෂ්පල මිථ්‍යාවට එය උඩ ගෙඩි දුන්නේ ය.

1951 තරම් ඈත දී, නැගෙනහිර යුරෝපය තුල ධනවාදය පෙරලා දැමීමේ සුවිශේෂ කොන්දේසිවලින් පැබ්ලෝ උකහා ගත් දුර දිග යන දේශපාලන සාමාන්‍යකරනයන්ගෙන් කි‍්‍රයාමාර්ගික නව්‍යකරනයන් නිර්මානය කෙරුනු අතර ඒවායේ සංශෝධනවාදී අන්තර්ගතය සමාජවාදය මහා න්‍යෂ්ටික අවි ගැටුමකට ( _යුද-විප්ලව _ න්‍යාය* සම්බන්ධ කිරිමේ එහි ආස්ථානයෙන් බොහෝ ඔබ්බට ගමන් කලේ ය.

කම්කරු පන්තියේ මහජන ව්‍යාපාරයක විප්ලවවාදී මූලිකත්වයක් මත වත් මාක්ස්වාදීන් විසින් නායකත්වය දෙනු ලබන ස්වාධීන කම්කරු පන්තික පක්ෂ මත වත් පාදක නොවන මාවතක් සමාජවාදය සඳහා පවතී යන සංකල්පය, පැබ්ලෝවාදයට ගලේ කෙටූ අකුරක් බවට පත් විය. එනයින් එහි සංශෝධනවාදයේ කේන්දී‍්‍රය අක්ෂය වූයේ හුදෙක් ස්ටැලින්වාදය පිලිබඳ එහි තක්සේරුව හා ස්ටැලින්වාදයේ ස්වයං-ප‍්‍රතිසංස්කරනය පිලිබඳ හැකියාවන් නොවේ. එය පැබ්ලෝවාදී සංශෝධනවාදයේ කැත මුහුනු ගනනාවෙන් එකක් පමනක් විය.

පැබ්ලෝවාදයේ සාරභූත සංශෝධනය හා එය අධිරාජ්‍යවාදයට එතරම් ම ප‍්‍රයෝජනවත් වීමට කාරනය වන්නේ, විද්‍යාත්මක සමාජවාදයේ අතිමූලික ම පරිශ‍්‍රයන්ට එය එල්ල කල ප‍්‍රහාරය යි. කම්කරු පන්තියේ විමුක්තිය කම්කරු පන්තියේ ම කර්තව්‍යයක් බවටත් 1851 තරම් ඈත දී මාක්ස් පෙන්නුම් කර පරිදි, සමාජවාදයේ කර්තව්‍යය ආරම්භ වන්නේ කම්කරු පන්තියේ ආඥාදායකත්වය සමග බවටත් පැවති විද්‍යාත්මකව-පාදක වූ ඒත්තු ගැනීමට පැබ්ලෝවාදය සෘජුව ම අභියෝග කරන අතර ඔවුන්ගේ සමාජවාදය පිලිබඳ න්‍යාය ප‍්‍රධාන කාර්ය භාරය පවරන්නේ සුලු ධනේශ්වරයට යි. පැබ්ලෝවාදය විටින් විට කම්කරු පන්තියට ආකාරගතව වන්දනාමාන කරන නමුත් කම්කරු පන්තියේ සැලකිය යුතු කොටසක් තුල, මාක්ස්වාදී පක්ෂයක් ගොඩ නැගීමට අවශ්‍ය කරන, වසර ගනනාවක අරගලය හරහා ගොඩ නැගෙන ඉතා ඉහල මට්ටමේ න්‍යායික දැනුවත් භාවයක පැවැත්මෙන් තොරව, ධනවාදය පෙරලා දැමීම හෝ සමාජවාදය ගොඩ නැගීම කල නොහැකි ය යන්න අවධාරනය කිරීම දක්වා එය කිසි දිනක යන්නේ නැත.

පැබ්ලෝවාදීන් යොදා ගන්නා උපායන් නිරතුරුව ම ගුනාංගීකරනය කරන අපාලිත අවස්ථාවාදය නොවැලැක්විය හැකි ලෙස ම ගලා එන්නේ සමාජවාදයේ කම්කරු පන්තිය පදනම ප‍්‍රතික්ෂේප කිරීමේ ඔවුන්ගේ පිලිවෙත තුලිනි. එහි දිගු කාලීන ඓතිහාසික කර්තව්‍යයන් පිලිබඳ විද්‍යාත්මක තක්සේරුවකින් කම්කරු පන්තිය උගන්වා ගැනීම සප‍්‍රතිපත්තික පිලිවෙතක් ඉල්ලා සිටින බව මාක්ස්වාදියා අවබෝධ කර ගනී. එබැවින් කම්කරු පන්තියේ දේශපාලන පැහැදිලිකම අනතුරේ හෙලා ලබා ගන්නා කෙටි-කාලීන ජයග‍්‍රහනවලට වඩා තාවකාලික හුදකලාව ඔහු වඩා පි‍්‍රය කරයි. එහෙත් පැබ්ලෝවාදියා එවන් කාරනාවන් සැලකිල්ලට භාජන කිරීමෙන් පාලනය වන්නේ _ නැත. ඔහුගේ උපායන් යොමු කෙරෙන්නේ මහජන ව්‍යාපාරය මත තාවකාලිකව ආධිපත්‍යය දරන මොන යම් හෝ කම්කරු පන්තික නොවන බලවේගයකට කම්කරු පන්තියේ ස්වාධීනත්වය යටත් කිරීම දෙසට ය. _ (,වෙලුම 14, 1 වන කලාපය, 1987 මාර්තු, iii-iv පි.)

කම්කරු විප්ලවවාදී පක්ෂයෙන් භේද වීමෙන් අනතුරුව සිදු කරන ලද වැඩකටයුතු අත්‍ය-සාමාන්‍යයෙන් ම බලගතු විය. එම කාල පරිච්ජේදය තුල නිෂ්පාදනය කෙරුනු බොහෝ ලියවිලි සම්බන්ධයෙන් කීර්ති සමග උරෙනුර ගැටී වැඩ කිරීමේ වරප‍්‍රසාදය මම භුක්ති වින්දෙමි. ලියවිලි නිර්මානය කිරිමට දායක වූ පැය ගනන් තිස්සේ පැවති සාකච්ඡුාවන් මගේ මතකයට නැගෙයි. එහෙත් මට මතක් වන්නේ දේශපාලන සාකච්ඡුා පමනක් නොවේ. කීර්තිගේ උනන්දුව පුලූල් ක්ෂේත‍්‍ර හරහා විහිද පැවතුනි.

ඔහු දේශපාලනයට හැරීමට ප‍්‍රථම, ඒ වන විටත් ශිෂ්‍යයකුව සිටි, කීර්ති, කවියකු ලෙස සැලකිය යුතු අනාගත බලාපොරොත්තුවක් ප‍්‍රදර්ශනය කලේ ය. සාහිත්‍යය, සංගීතය හා කලාවන් පිලිබඳ පුලුල් ඥානයක් ඔහුට පැවතුනි. ඔහුගේ සම්පූර්න බුද්ධිමය අනම්‍යශීලී භාවය තිබිය දී ම, කීර්ති සහෝදරවරුන් හා මිතුරන් සමග සිය සබඳතාවන්හි දී සුවිශේෂ කාරුනික හා මානුෂික භාවයක් පෙන්නුම් කලේ ය. ඔහුගේ සමාජවාදී ඒත්තුගැනීම් ගලා ආවේ පීඩිතයන්ගේ කොන්දේසි පිලිබඳව ගැඹුරට ම මුල් බැස ගෙන පැවති සහානුමතියක් හා මනුෂ්‍ය වර්ගයාගේ ඉරනම සම්බන්ධයෙන් පැවති උත්සුකතාව තුලිනි.

සිය අභාවයෙන් විසි වසරකට පසුව, කීර්ති සහෝදරයා අපගේ ජාත්‍යන්තර ව්‍යාපාරය තුල බලගතු දේශපාලන හා ගෞරවනීය පැවැත්මක් භුක්ති විඳියි. ඔහුගේ අභාවයේ පටන් පැවති දශක දෙකක කාලය තුල දී, අප සම්මුති විරහිතව සටන් වැදුනු දේශපාලන බලවේග -- ධනේශ්වර ජාතිකවාදීන්. ස්ටැලින්වාදීන්, මා ඕවාදීන්, ලසසපයේ ට්‍රොට්ස්කිවාද විරෝධී භ‍්‍රෂ්ටයන්. කවිප සහ සෙසු සංශෝධනවාදී ප‍්‍රවනතා -- සිද්ධීන් විසින් අපකීර්තියට හෙලනු ලැබ ඇත. කම්කරු පන්තියේ විප්ලවවාදී ප‍්‍රහාරය අව්‍යාජ මාක්ස්වාදය පිලිබඳ නව්‍ය හා උද්යෝගිමත් උනන්දුවක් නොවැලැක්විය හැකි ලෙස ම අවුලූවාලනු ඇත. ජාත්‍යන්තර කමිටුවේ දේශපාලන ආනුභාවය පුලූල් කිරීමට පවත්නා අතිමහත් අවස්ථාවන් ඉක්මනින් ම පැන නගිනු ඇත. එහෙත් මෙම අවස්ථාවන් ග‍්‍රහනය කර ගත යුත්තේ හුදු උපායික වාසි ලෙස නොව ඓතිහාසික අරමුනු සාක්ෂාත් කර ගැනීමේ විධි ක‍්‍රම ලෙස ය. අප කීර්ති බාලසූරිය සහෝදරයා පිලිබඳ මතකයට ගෞරව දක්වන්නේ ද ඔහුගේ වැඩකටයුතු ඉදිරියට ගෙන යන්නේ ද ලෝක සමාජවාදී විප්ලවයේ ඉදිරිදර්ශනය ආරක්ෂා කොට වර්ධනය කිරීමට ගෙන යන සම්මුති විරහිත අරගලය හරහා ය.

Share this article: