"සත්තකින්ම ට්‍රොට්ස්කි ස්ටැලින්ට විකල්පයක් විය": රොබට් සර්විස් විසින් රචිත ට්‍රොට්ස්කි චරිතාපදානය අරභයා මහාචාර්ය මාරියෝ කෙස්ලර් සමග සම්මුඛ සාකච්ඡාවක්- 2 කොටස

“Of course, Trotsky was an alternative to Stalin” - An interview with Professor Mario Kessler on the Trotsky biography by Robert Service—Part two

By Wolfgang Weber , 22 May 2012

මෙහි පලවන්නේ මහාචාර්ය මාරියෝ කෙස්ලර් සමග කල සම්මුඛ සාකච්ඡාවේ දෙවන කොටසයි.පලමුවන කොටස නොවැම්බර් 15 දින පලකරනලදී. රොබට් සර්විස් විසින් රචිත ට්‍රොට්ස්කි චරිතාපදානය මීට තෙවසරකට පෙර හාවඩ් විශ්වවිද්‍යාල මුද්‍රනාලය මගින් ඉංග්‍රීසි බසින් පලකිරීමෙන් පසුව ඉතිහාසඥයින්ගේ දැඩි විවේචනයන්ට ලක්ව ඇත. ඩේවිඩ් නෝර්ත් විසින් රචිත ලියොන් ට්‍රොට්ස්කිගේ ආරක්ෂාව සඳහා කෘතිය 2010 වසරේදි ‍මේරිංග් ප්‍රකාශකයින් විසින් පලකරන ලදී. සර්විස්ගේ ග්‍රන්ථයෙහි අනේක විධ පරිසිද්ධිමය දෝෂ, පැහැර හැරීම්, විකෘති කිරීම් හා මූලාශ්‍ර පිලිබඳ මුසාකරනයන්ට එමගින් ඔහු අවධානය යොමුකර තිබුනි.

ජර්මනිය, ඔස්ට්‍රියාව හා ස්විට්සර්ලන්තය යන රටවල ඉතිහාසඥයින්, සමාජ විද්‍යාඥයින් හා දේශපාලන විද්‍යාඥයින් 14 දෙනෙක් මෙම විවේචනයන්ට දායක වූහ. ආරම්භයේ දී පෞද්ගලික ලිපියක ස්වරූපය ගත් ලියවිල්ල තුල මොවුහු, සර්විස්ගේ කෘතියෙහි ජර්මානු සංස්කරනයක් ප්‍රකාශ කිරීමේ සැලැස්ම ගැන ප්‍රබල ව්‍යතිරේකයන් මතු කරමින්, ජර්මානු ප්‍රකාශන ආයතනය වන සූර්කාම්ප් වර්ලාග් ආයතනයේ අධ්‍යක්ෂ වෙත කරුනු දැක්වූහ.

මේ උත්සුකයන් හා විවේචන මධ්‍යයේ වුව ද සිය සැලැස්ම ක්‍රියාත්මක කිරීම, සූර්කාම්ප් ආයතනයේ අභිප්‍රාය බව පෙන්නුම් කර තිබේ. 2012 ජූලි 2 දිනට ප්‍රකාශනය එලිදක්වන බව එහි වෙබ් අඩවිය නිවේදනය කර තිබේ. ඉහත කී තීරනය පිලිබඳව ලෝක සමාජවාදී වෙබ් අඩවිය වෙනුවෙන් වුල්ෆ්ගෑන්ග් වෙබර් මහාචාර්ය මාරියෝ කෙස්ලර් සමඟ සාකච්ඡා කලේය. මහාචාර්ය කෙස්ලර් සූර්කාම්ප් ප්‍රකාශන ආයතනය වෙත යැවූ ලිපි‍යේ සම අත්සන්කරුවෙකි.

මහාචාර්ය මාරියෝ කෙස්ලර්

ඉතිහාසඥයෙකු වශයෙන් සිය වෘත්තිය ආරම්භයේ පටන්ම ඔහුගේ පරියේෂනයන්හි විශේෂිත ක්ෂේත්‍රය වූයේ යුදෙව් විරෝධය හා කම්කරු ව්‍යාපාරයයි. ජෙනා හා ලිප්සිග්හි අධ්‍යාපනය ලැබූ ඔහු, 1982දී ආචාර්ය උපාධිය හිමිකරගත් අතර 1990දී එවකට නැගෙනහිර ජර්මනියේ (ජර්මානු ප්‍රජාතන්ත්‍රීය ජනරජයේ) විද්‍යා පිලිබඳ විද්වත් පර්ෂදයෙහි පශ්චාත් ආචාර්ය උපාධි සුදුසුකම් ලබාගත්තේය.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ)- සිවිල් යුද්ධයෙන් පසුව වුව ද සෝවියට් සංඟමයේ ඇතැම් කොටස් අතර යුදෙව් විරෝධී මනෝභාවයන් පැලපදියම්ව තිබුනි.

මාරියෝ කෙස්ලර් (මා.කෙ.)- මෙහිදී ද සර්විස්ගේ කෘතියේ ඇති විස්තරවලට වඩා සංයුක්ත විස්තර ඉදිරිපත් විය යුතු ය. විශේෂයෙන්ම "තර්මිඩෝරය හා යුදෙව් විරෝධය” යන ට්‍රොට්ස්කිගේ රචනාවෙන් කරුනු ගෙනහැර දක්වන්නට තිබුනි. අවාසනාවකට මෙන් ට්‍රොට්ස්කිගේ ජීවිත කාලය තුල එම ලේඛනය පලවී නොතිබුනි.

සාර් පාලන අවධියේ පැවති යුදෙව් විරෝධී අගතීන් විප්ලවයෙන් හා සිවිල් යුද්ධයෙන් පසුව ද බොහෝ කොටම නොනැසී පැවතියේය. එසේ නොවිය හැක්කේ කෙසේ ද? මෙම සිද්ධිය ට්‍රොට්ස්කි විසින් පුද්ගලාරෝපිත යුදෙව්වන්ගේ වැඩක් යයි ඒත්තුගැන්වීමට විප්ලවයේ සතුරන් බොහෝ දෙනෙක් උත්සාහ කලහ. නව ආර්ථික ප්‍රතිපත්තිය යටතේ නැඟී ආ සුලු වෙලඳුන්ගේ ස්ථරයකට (8) බොහෝ යුදෙව්වන් ද අතුලත්වූ හෙයින් වෘත්තීය ඊර්ශියාව හා යුදෙව් විරෝධය එකට සම්පාත විය. යුදෙව් නිලධාරීන්ට විරුද්ධව පක්ෂය තුල පවා අගතීන් පැවතුනි. මොවුන් අතරින් වැඩි දෙනෙක් බොල්ෂෙවිකයින් බවට පත්වූයේ 1917න් පසුවය. ඊට පෙරාතුව ඔවුන් බොහෝ දෙනෙක් අතුලත් වූයේ ලෙනින්ගේ පක්ෂයට සතුරුවූ සමාජවාදී කන්ඩායම්වලට ය.

1920 ගනන්වල ආරම්භයේ දී යුදෙව් විරෝධී ප්‍රපංචයන් සමග බොල්ෂෙවික් පක්ෂය සටන් වැදුනේ නොයෙකුත් උපක්‍රම භාවිතා කරමිනි. බොහෝ විට මෙහිදී කැපී පෙනුනේ යුදෙව්වන් නොවූ කොමියුනිස්ට්වරු වීම අපූර්වයකි. ඔවුන් අතර කලිනින්, බුකාරින්, ප්‍රියෝ බ්‍රෙසන්ස්කි, ලුනචාර්ස්කි හා රයුටින් වූහ. සැබවින්ම යුදෙව් විරෝධයට එරෙහි සටනට යුදෙව් බොල්ෂෙවිකයෝ ද සම්බන්ධ වූහ. ඔවුහු වැදගත් හා විශ්ලේෂනාත්මක ලිපි පෙලක් පල කලහ. මේ අතර "යුදෙව්වන් හා සෝවියට් සමාජවාදී සමූහාන්ඩු සංඟමය තුල යුදෙව් විරෝධය” (1929 වසර), යන යූරි ලරින්ගේ කෘතිය කැපී පෙනුනි.

"ගොවි ජනතාව හා බැඳුනු කම්කරුවන්ගේ පසුගාමී කොටස් තුල හා කාන්තාවන් අතර” යුදෙව් විරෝධය පැතිර තිබීම පිලිබඳව ලරීන් සිය කෘතියෙහි ලියා ඇත. "යුදෙව් විරෝධයේ ප්‍රතිවිප්ලවවාදී භූමිකාව නොහඳුනන කම්කරුවන් යුදෙව් විරෝධී අදහස් දැරීම ගැන අපි නිතර අසා ඇත්තෙමු. යුදෙව් විරෝධීන් අතර කොම්සොමෝල් (කොමියුනිස්ට් තරුන සංවිධානය) සාමාජිකයින් හා පක්ෂ සාමාජිකයින් සිටීම සම්බන්ධයෙන් නොයෙකුත් කරුනු ගෙනහැර දැක්විය හැකිය.” යනුවෙන් ඔහු ලිවීය. (9) "එදිනෙදා ජීවිතයේ ගැටලු” නමැති සිය කෘතියෙහි කම්කරුවන් අතර යුදෙව් විරෝධී අදහස් හා හැසිරීම් පිලිබඳව ට්‍රොට්ස්කි ද ලියා ඇත.

කම්කරුවන් අතර පැවති යුදෙව් විරෝධය සමග අත්වැල් බැඳගෙන රුසියානු බුද්ධිමතුන් කොටසක් අතර ද යුදෙව් විරෝධී ආකල්ප පැතිර තිබුනි. මෙය පෝෂනය වූයේ ජාත්‍යන්තරයට යොමුවුනු හා බොහෝවිට උගත් යුදෙව්වන් පිලිබඳ (පදනම් විරහිත) හීනමානයක් තුලිනි. විප්ලවයට පෙරාතුව යුදෙව් කම්කරු සම්මේලනයේ හෝ පොඒල් සියෝන් සංවිධානයේ සමාජිකයින්ව සිටි දේශපාලන ක්‍රියාකාරීහු, රැඩිකලීකරනයේ ද එම ඉතා වැදගත් යුදෙව් සමාජවාදී පක්ෂ දෙක විසුරුවා හැරීමේ ද තතු හමුවේ බොල්ෂෙවිකයින්ගේ පක්ෂ ධුරාවලියට ඇතුල්වූහ. මේ අනුව එක්තරා ආකාරයකින් පක්ෂ ක්‍රියාමාර්ගයට දැඩි පක්ෂපාතිත්වයක් දැක්වීම තුලින් සිය බොල්ෂෙවික් විරෝධී අතීතය වසං කිරීමට උත්සුක වූ යුදෙව්වාදී "ආධුනිකයෙක්” බිහිවිය.

සැබවින්ම මෙය පක්ෂයේ සියලු යුදෙව් සාමාජිකයින්ට අදාල නො වී ය. ඔක්තෝබර් විප්ලවයෙන් හා සිවිල් යුද්ධයෙන් පසුව පක්ෂයට ඇතුලුවූ සියල්ලන්ට පවා අදාල නො වී ය. එසේ වුව ද තම කැපී පෙනෙන කටයුතු තුලින් මෙසේ "අලුතින් වෙනස්වුනු” යුදෙව් බොල්ෂෙවිකයින් සමහරෙක්, යුදෙව් පක්ෂ කාර්යධරයන් සම්බන්ධයෙන් යුදෙව්වන් නොවූ සෝවියට් පුරවැසියන්ට තිබූ මතය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කලේය.

යෙව්සෙක්ට්සියා ලෙසින් හැඳින්වුන කොමියුනිස්ට් පක්ෂයේ යුදෙව් කොටස් වල ඇතැම් පරිපාලනමය කටයුතු ද මීට ඇතුලත් විය. සිය යුදෙව් පුරවැසියන් නිතර භාවිතා කල ආගමික පුදපූජා ක්‍රම එම නිලධාරීහු ඇතැම් විට රුදුරු උපක්‍රම යොදාගනිමින් කඩාකප්පල් කලහ. හීබෲ භාෂාව සියොන්වාදී බස් වහරක් ලෙස නම්කල ඔවුහු එය හෙලාදුටු අතර මෝඩ අන්දමින් නිල මතවාදය පතල කිරීමට නැඹුරුවූහ. "යුදෙව් ආගමික වස්තූන්ට” එරෙහි සටන මධ්‍යයේ ඇතැම්විට නොසිතාම ඔවුහු සිය ජනතාවගේ ජීවන ක්‍රමයේ පදනම දුර්වල කලහ. මන් ද යත් (බිරෝබිඩ්සාන් ව්‍යාපෘතිය හැරුනු කල) ස්වයං නිජබිමක් නොමැතිවීම නිසා අනෙකුත් ජාතිකත්වයන් අතරට වඩා යුදෙව්වන් අතර ආගම හා වාර්ගිකත්වය කෙරෙහි සමීප බැඳීමක් තිබීමයි.

1930 ගනන්වල මුල් භාගයේදී බලහත්කාරී සාමුහිකකරන ව්‍යාපාරය තුල යුදෙව්වන්ගේ ක්‍රියාකලාපය, ප්‍රධානකොටම යුක්‍රේනයෙහි කගනොවිච් නමැති යුදෙව්වෙකු විසින් මේ රුදුරු ව්‍යාපාරය ක්‍රියාවට නැඟීම, ගම්බද දී යුදෙව් විරෝධය නැඟී ඒමට බහෙවින් දායක විය. එහෙත් සෝවියට් සංඟමය ස්ටැලින්කරනය වීම යුදෙව් විරෝධයේ වර්ධනයට දායක වූ බව පැහැදිලිය. ස්ටැලින් කල්ලිය දක්ෂ ලෙස යුදෙව් විරෝධී මනෝගතිය ප්‍රයෝජනයට ගත් බව ද පැහැදිලිය. එහෙත් විප්ලවයට ‍පෙරාතු කාලයේ යුදෙව් විරෝධයේ විවෘත බලපෑම නොවන්නට මේ සියල්ල සිදුවීමට අවකාශ නොතිබුනි. එක් අතෙකින් ස්ටැලින්වාදීහු යුදෙව් විරෝධය සිය වාසියට හරවාගත් අතර අනෙක් අතට ඔවුහු තිරයෙන් පිටුපස සිට යුදෙව් විරෝධයට අනුග්‍රහය දැක්වූහ. අවශ්‍ය වූ ද කල හැකි දෙයක් වූ ද යුදෙව් විරෝධය අඩපන කිරීමට ඔවුහු ක්‍රියා නොකලහ.

1928දී සෝවියට් සමාජවාදී සමූහාන්ඩුවෙන් පිටතට සංක්‍රමනය තහනම් කිරීම ද යුදෙව් හා යුදෙව් නොවන අය අතර දුරස්ත භාවයට හේතු විය. මෙය සියලු පුරවැසියන්ට බලපෑ නමුදු යුදෙව්වන් විසින් පලස්තීනය වෙත සියොන්වාදී සංක්‍රමන අවසන් කිරීම "සංක්‍රමනයේ නිශ්චිත අවුලක්” නිර්මානය කලේය. 1970 ගනන් වලදී ‍තහනම පිලිබඳ අර්ථකනය ලිහිල් කල විට සංක්‍රමන රැලි කිහිපයක් ඇති විය. එමගින් යලි වතාවක් යුදෙව්වන් අනෙකුත් සෝවියට් පුරවැසියන්ට වඩා වරප්‍රසාදිත කොටසක් බවට හැඟීමක් ඇති කලේය. 1939 හිට්ලර් ස්ටැලින් ගිවිසුම දක්වා කාලය තුල යුදෙව්වන් කිහිපදෙනෙක්ම රාජ්‍ය තාන්ත්‍රික සේවයෙන් ඉවත් කරන ලදී. ඊට විදේශ ඇමති ලිට්විනොව් ද ඇතුලත්ය. බොහෝ යුදෙව් රාජ්‍ය තාන්ත්‍රිකයින් ලිට්විනොව් ගේ සාමුහික ආරක්ෂාව පිලබඳ පිලිවෙතට සම්බන්ධ යයි ද එබැවින් හිට්ලර්ට එරෙහිව බටහිර සමග සන්ධානයක් වෙනුවෙන් පෙනී සිටි බව ද පිලිගැනීමේ කාරනයට ප්‍රධාන කොටම සම්බන්ධ බව පෙනී යයි. එහෙත් යුදෙව්වන් අත්විඳි බරපතලම හානිය වූයේ බොහෝ සංස්කෘතික ආයතන වසා දැමීම, සංවිධාන ගනනාවක් විසුරුවා හැරීම හා ඈත පෙරදිග බිරෝබිඩ්සාන් යන ස්වාධීන යුදෙව් නිජබිමෙහි පක්ෂයේ හා රජයේ නිලධාරීන් බොහොමයක් මරාදැමීමයි. සර්විස්ට අනුව තම විරුද්ධවාදියා වූ ස්ටැලින්ට බෙහෙවින් සමාන වූ ට්‍රොට්ස්කි මේ සිද්ධීන් ආරම්භ කිරීම කෙසේ වෙතත් ඒවා ඉවසා සිටියේවත් කෙසේ ද?

ලෝසවෙඅ- ට්‍රොට්ස්කි හා වාම විපාර්ශවයට එරෙහිව ස්ටැලින් නායකත්වය දුන් නිලධාරි තන්ත්‍රයේ සටන තුල යුදෙව් විරෝධය ඇවිස්සීම ද භූමිකාවක් ඉටුකර තිබේ. එය ගත්තේ කිනම් ස්වරූපයක් ද?

මා.කෙ.- ප්‍රතිවාදී එක්සත් විපක්ෂයට එරෙහිව බලය සඳහා ගෙන ගිය අරගලය තුලදී 1923-27 වසරවල පටන් ස්ටැලින් කල්ලිය යුදෙව් විරෝධී අගතීන් ගසාකෑමට පටන් ගත්හ. කලින් පැහැදිලි කල පරිදි සාර් පාලන අවධියේ පැනනැඟි මෙම අගතීන් ගම්බද ප්‍රදේශවල නැත්නම් ගොවි ජනතාව මත තවමත් තදින් මුල්බැස සිටි කම්කරු පන්ති ස්ථරයන් තුල නිදන්ගතව තිබුනි. ට්‍රොට්ස්කිට අනුව එම කාලය වන විට ස්ටැලින් මඳක් ප්‍රසිද්ධියේ පැවසුවේ විපාර්ශවයට නායකත්වය දුන්නේ අමනාපව සිටි යුදෙව්වන් තිදෙනෙකු බවය. ඒ තිදෙනා ට්‍රොට්ස්කි, කමනෙව් හා සිනොවියෙව්ය. මතුපිටට යටින් පැවති ව්‍යාපාරය තුල "යුදෙව්වන්” යන වචනය භාවිතා වූයේ කලාතුරකිනි. එහෙත් ප්‍රතිවාදී ත්‍රිත්වයට එරෙහිව සටන් වැදුනේ එහි සාමාජිකයින් යුදෙව්වන් වීම නිසා නොව ඔවුන් පක්ෂයේ සතුරන් වූ නිසා බවට ස්ටැලින් අවධාරනය කල නමුත්, ඒ තුල රුසියානු-යුදෙව් එදිරිවාදිකම්වල පිහිට පැතීමක් ගම්‍ය විය. ඒ සමග ම සෘජු අනුබල දීමකින් ‍තොරව වුවත් විපක්ෂය හා යුදෙව්වන් එකක් සේ අනන්‍ය කිරීමක් සිදුවිය හැකිව තිබුනි. ස්ටැලින් හා ඔහුගේ කල්ලිය යුදෙව් විරෝධී මනෝභාවයන්ගෙන් වාසි සලසා ගත් නමුදු ඔවුහු ඒවා නිර්මානය කලේ නැත. එතෙකුදු වුවත්, 1930 ගනන්වල පැවති ප්‍රදර්ශනාත්මක මොස්කව් නඩු විභාග නව "ගුනයක්” සැපයීය. ත්‍රස්තයේ නඩු විභාග සමග ක්‍රියාත්මක වූයේ යුදෙව් විරෝධී ප්‍රචාරක ව්‍යාපාරයකි. මේ ව්‍යාපාරය "ජනතාවගෙන් හුදෙකලා වූවන්” යයි කියනු ලබන විත්තිකරුවන්ට එරෙහිව එල්ල කරන ලද අතර එය "සෝවියට් දේශප්‍රේමය” ලෙස දුබල අන්දමින් ‍වෙස් ගන්වා තිබුනි. 1920 ගනන්වල අග භාගයෙන් පසුව, ජාත්‍යන්තරවාදයට නැඹුරුවූ බොල්ෂෙවික්වරු සියල්ලන්ටම මුහුන පෑමට සිදුවූ උභතෝකෝටිකය ස්ටැලින් ප්‍රයෝජනයට ගත්තේය. එනම්, "අශිෂ්ඨත්වයෙන් හා ම්ලේච්ඡත්වයෙන් පිරිපුන් ග්‍රාමීය රුසියාව පරමාදර්ශය ලෙස ගනිමින්, ගොලුබෙලි ගමනින් තමන් පසුපස දේශීය ගොවීන්ගේ කරත්ත ඇදගෙනයාමට සියල්ලන් අතරින් අඩුවෙන්ම අවකාශ තිබුනු අය යුදෙව් සම්භවයකින් යුත් බොල්ෂෙවිකයින්” යයි අයිසැක් ඩොයිශ්චර් ලිවිය. "තනිරටක සමාජවාදය පිලිබඳ අදහස ඔවුන් සඳහා නම් නො වීය.” (10) යුදෙව් විරෝධී සංඝටක නව සෝවියට් දේශප්‍රේමයේ අත්‍යවශ්‍ය අංඟයක් නො වී ය. එසේ නොවූවා පමනක් නොව, යුදෙව් විරෝධය අවසන් කරන ලද්දේ යයි ද මූලික විසංවාදය ඇත්තේ නාසිවාදය සමග යයි ද නිල වශයෙන් ප්‍රකාශ කරන ලදී. එහෙත් ප්‍රදර්ශනාත්මක නඩු විභාගවල යුදෙව් විරෝධී හැඟීම් ධාරා උනුසුම් වාතාවරනය තවත් උත්සන්න කලේය.

ලෝසවෙඅ- ප්‍රදර්ශන නඩු විභාගවලදී මෙම යුදෙව් විරෝධී යටි හැඟීම් ධාරා නිරීක්ෂනය කල හැක්කේ කෙසේ ද? යුදෙව් විත්තිකරුවන් පක්ෂය තුල භාවිතා කල නම්වලින් නොව ඔවුන්ගේ යුදෙව් නම් වලින් ඇමතීම තුලින් පවත්නා හෝ සැඟවුන යුදෙව් විරෝධී හැඟීම් අවුලුවන ලද්දේ ද හෝ උපයෝගී කරගන්නා ලද්දේ ද?

මා.කෙ.- සත්තකින්ම, ට්‍රොට්ස්කි විසින්මත් මෙය පෙන්වා දෙන ලදී. එසේ පෙන්වා දීම සාධාරනය. 1937 ජනවාරියේ මෙක්සිකෝවේදී පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවක දී ඔහු මෙසේ පැවසීය. "තම පාලනය ශක්තිමත් කර ගැනීම පිනිස නිලධරය, යාන්තමින් සැඟවුනු ස්වෝත්තමවාදය, විශේෂයෙන්ම යුදෙව් විරෝධී ප්‍රවනතා යොදාගැනීමට බිය නොවෙයි. නිදසුනක් ලෙස, අවසන් නඩු විභාගය (සිනොවියෙව්, කමනෙව් හා තවත් බොල්ෂෙවිකයින් 14 දෙනෙකු) ගෙන යන ලද්දේ, ජාත්‍යන්තරවාදීන් ගෙස්ටපෝවට (ජර්මානු රහස් පොලිසිය) දනගැසූ ද්‍රෝහී යුදෙව්වන් ලෙස පෙන්වාදීමේ යාන්තමින් සැඟවුනු අභිප්‍රායෙන් යුක්තවය. 1925 වසරේ පටන්, විශේෂයෙන්ම 1936 පටන්, යුදෙව් විරෝධයේ සැඟවුනු හා ඉතා සියුම් ප්‍රචාරයක් සැබෑ අපරාධකරුවන්ට එරෙහිව ගත් සංකේතාත්මක පියවර සමග අත්වැල් බැඳගෙන ගමන් ගත්තේය.” නිලධරයට එරෙහිව එල්ල වූ අප්‍රසාදය හැසිරවීමට නායකයින් දක්ෂ උපක්‍රම යොදාගත් අතර එය විශේෂයෙන්ම යුදෙව්වන්ට එරෙහිව කේන්ද්‍රගත කෙරුනි.” (11) මෙම තක්සේරුව ස්ටැලින්ගේ අවසන් වසර කිහිපය තුල ඔහුගේ සිත තුල පැසවමින් තිබුනු කර්කෂ යුදෙව් විරෝධය ට්‍රොට්ස්කිගේ බොහෝ සමකාලීනයන් වෙත පැටවීමට වඩා අවාසනාවන්ත ලෙස බෙහෙවින් ඒත්තු යන පරිද්දෙන් අනුනාද වන්නේය. සැලමන් සක්වාස්, සිවි ගිටෙල්මාන් හා වඩාත් මෑතක දී මියස් වෙටර් විසින් පසුකාලයේ දී පරියේෂනයෙන් සොයාගත් අධිගමනයන් ට්‍රොට්ස්කිගේ ප්‍රකාශ ආනුභාව සම්පන්නව තහවුරු කලේය. මෙම කතුවරුන් සියල්ලෝම ට්‍රොට්ස්කිවාදයෙන් දුරස්තවූ හා එසේ වන අයයි. සර්විස් මේ සියල්ල නොතකා හරින්නේ මන් ද?

ලෝසවෙඅ- සර්විස් සිය කෘතියේ මුල් පරිච්ඡේද හතර තුලින්, සිය ලමා වියේ හා තරුන කාලයේ ට්‍රොට්ස්කි ලීබා යන නමින් හඳුන්වන ලද බව සිය පාඨකයින්ට ඒත්තු ගැන්වීමට උත්සාහ දරයි. සිය නම වෙනස් කිරීමට ට්‍රොට්ස්කි තීරනය කලේ ඔහුගේ වයස අවුරුදු 18දී පමන බව සර්විස් ප්‍රකාශ කරයි. මෙම පරිසිද්ධිය ට්‍රොට්ස්කි සිය ස්වයං ලිඛිත චරිතාපදානයේ දී වසං කල බව සර්විස් කියා සිටියි. ට්‍රොට්ස්කි විශ්වාස කල නොහැකි කතුවරයෙකු යයි එමගින් ඔප්පු කිරීමට සර්විස් උත්සුක වෙයි. සෑම තැනක දී ම පාහේ ‍හෙතෙම ට්‍රොට්ස්කි හඳුන්වන්නේ ලීබා යන නමෙන්ය. කිසිදු සාක්ෂියක් නොමැති තතු තුල, මේ ප්‍රකාශය විශ්වාස කරන තෙක් පාඨකයාගේ මනස හැසිරවීමට දැරූ ප්‍රයත්නයක් විය හැකිය.

මා.කෙ.- ට්‍රොට්ස්කි යිඩිෂ් බස කතාකරන පරිසරයක හැදී වැඩී තිබුනේ නම්, සත්තකින්ම ලීබා යනුවෙන් ඔහුට ආමන්ත්‍රනය කරනු ඇත. එහෙත් තත්වය එසේ නොවීය. ඔහුට අමතනු ලැබුවේ ලෙව් යන නමිනි. අන්තර්ජාලය තුල සූර්කාම්ප් විසින් කරන ලද නිවේදනය ගැන කෙනෙකුට විශ්වාසය තැබිය හැකි නම් කෘතියේ ජර්මානු සංස්කරනයේ දී ඔහු හැඳින්විය යුතුව ඇත්තේ ඇතැම් විට ලෙව් යන නමිනි. ට්‍රොට්ස්කි සැක සහිත කෝනයකින් පෙන්විය හැකි සෑම අවස්ථාවක දී ම ඓතිහාසික සාධකවලට පටහැනිව වුව ද සර්විස් එසේ කරනු ඇතැයි යන උපස්ථිතිය නැවත වරක් පැන නඟියි.

ලෝසවෙඅ- ස්ටැලින්ගේ වධක යුගයේ පටන් ප්‍රසිද්ධියට පත් මෙම රටාව සර්විස් යලි ඇරඹුවේය යන කාරනයෙන් අවබෝධ කර ගත යුත්තේ කුමක් ද? එහි සන්දර්භය කවරක් වී ද?

මා.කෙ.- මම හේතු දෙකක් දකිමි. නිශ්චිතවම එකක් සම්බන්ධ වන්නේ, ඇතැම් ඇන්ග්ලෝ සැක්සන් බුද්ධිමතුන් අතර පැවති වාතාවරනයට ය. මා‍ගේ නිරීක්ෂනය අනුව ඇතැම් උචිත ප්‍රාග් විනිශ්චයන් අදටත් වැඩෙමින් තිබේ. එය සම්බන්ධ වන්නේ, මැදපෙරදිග ගැටුම හා ඊස්රායලය පිලිබඳ ග්‍රාම්‍ය භෞතිකවාදී දෘෂ්ටියකට බව මවිසින් කිව යුතුය. බටහිර ඉවුරේ හා ගාසා තීරයේ වාඩිලාගත් ඊස්රායල් තන්ත්‍රය පිලිබඳව අවශ්‍යවූත් ප්‍රතිපත්තිමයවූත් විවේචනය -ඇතැම් විට සිතා මතාම- "වර්ජනය” කර සියොන්වාදී ව්‍යාපෘතිය අවසන් කිරීමේ අන්තරාදායක මත හා පටලවාගෙන තිබේ. මෙයට ඊස්රායල වම හා වාම ලිබරල්වාදීන් ද ඇතුලත්ය. මීට වසර කිහිපයකට පෙර නිශ්චිතව ම එංගලන්තයේ වාග් විද්‍යාඥ ගිඩියන් ටොව්රි, විද්‍යාත්මක සඟරාවක උපදේශක මන්ඬලයෙන් පහකරන ලදී. ප්‍රගතිශීලී ඉතිහාසඥයෙකු වූ ටොව්රිගේ පියා නාසි රාජ්‍යය විසින් පිටුවහල් කල අයෙකි. ටොව්රි නිලයෙන් පහකරන ලද්දේ කිසිසේත්ම ඔහුගේ දේශපාලන මතිමතාන්තර හේතුකොටගෙන නොව, හුදෙක්ම ඔහු ඊස්රායල් ජාතිකයෙකු වූ හෙයිනි. මට වැටහෙන පරිදි, ටොව්රි කෙරේ සහයෝගය දැක්වීම හෝ සඟරාවේ සංස්කාරකවරුන්ගෙන් ඈත්වීම හෝ අවශ්‍ය යයි බ්‍රිතාන්‍ය වාම හා ලිබරල් මහජන මතය සැලකුවේ නැත. මෙය ජාතික ශිෂ්‍ය සංගමය හා ඇමරිකාවේ දර්ශනවාදී ජුඩිත් ගත් ස්ථාවරයට මුලුමනින්ම ප්‍රතිවිරෝධී විය. (12) ඊස්රායල බුද්ධිමතුන්ගේ දේශපාලන ස්ථාවරයන් කවරක් වුවත්, වගවිභාගයකින් තොරව ඔවුන් වර්ජනය කරන ලෙස ඉල්ලා සිටීම "පලස්තීනය සමග සහයෝගිතාවයේ” ප්‍රතිපත්තිය ද? එය ඊස්රායල් ජාතිකයින් මුලුමනින්ම දන්ඬනයට ලක් කිරී‍මක් නොවේ ද? එවැනි ආකල්පයක් යුදෙව් විරෝධී මනෝභාවයෙන් කෙතරම් දුරට ඈත් වන්නේ ද? එවන් මනෝභාවයන් යටත් පිරිසෙයින් එයටම ගැලපෙන වාතාවරනය සකස් නොකරන‍්නේ ද? ප්‍රබුද්ධත්වයේ වතින් සැරසුනු යුදෙව් විරෝධය වෙත මාවත මෙය ද? විප්ලවවාදියෙකු, න්‍යායාචාර්යවරයෙකු හා යුදෙව්වෙකු වූ ට්‍රොට්ස්කි පරිහාසයට ලක්කිරීම නිශ්චිත වාතාවරනයක් හා හොඳින් ගැලපේ. ඒ තුල හිටපු "ආලින්දයට සීමාවූ වම්මු” පන්ති විශ්ලේෂනය පිලිබඳව තමන් උගත් සියල්ල ඉවත දමා පැරනි හා නව ප්‍රාග් විනිශ්චයන් පෝෂනය කිරීමට යොමුවූහ. මේ ප්‍රාග් විනිශ්චයන් ව්‍යාජ ට්‍රොට්ස්කි විරෝධයක් හෝ පරිමිත වූ නමුදු යුදෙව් විරෝධයක ස්වරූපය ගත හැක. දෙවන වඩාත් පොදු හේතුව වන්නේ, සමස්ත ලෝකයම තුල දක්ෂිනාංශික කවයන් පමනක් නොව, ප්‍රතිගාමීන්, ධනේශ්වර ප්‍රභූවේ ලිබරල් කොටස් හා ඔවුන්ගේ බුද්ධිමත් වාක්‍ය හරඹ කරන්නෝ සමාජවාදී සංකල්පයන්ගේ පුනර්ජීවනයක් ඇතිවීම පිලිබඳ මහත් බියකින් පසුවෙති. එය ව්‍යර්ථ කරනු වස් ප්‍රචන්ඩත්වයේ හා ත්‍රස්තයේ කැලල, ස්ටැලින්ගේ සියලු සමාජවාදී විකල්පයන් මත පැටවිය යුතුය. ස්ටැලින්ගේ නැනවත්ම හා වඩාත්ම දිරිමත් විරුද්ධවාදියා වූ ට්‍රොට්ස්කිගේ ලියවිලි තවමත් සමාජවාදය පිලිබිඹු කරන්නාවූ මග පෙන්නුම් කරන අතර ඔහු එලෙස ඉදිරිපත් කිරීමට වඩා වෙනත් සුදුසු යමක් තිබේ ද? මූලධර්මාත්මකව ස්ටැලින්ගෙන් වෙන්කර දැක්විය නොහැකි පුද්ගලයෙකු ලෙස ට්‍රොට්ස්කි ඉදිරිපත්කල හැකි ද?

ලෝසවෙඅ- ඔබගේ කාලය මිඬංඟු කිරීම පිලිබඳව ස්තුතියි.

සටහන්-

(8) සෝවියට් සංගමය තුල නව ආර්ථික ප්‍රතිපත්තිය (එන්ඊපී) හඳුන්වාදුන්නේ සිවිල් යුද්ධයෙන් පසුව 1921 දී ය.

(9) ජු. ඔ. ලරින්ග්, Evrei i antisemitizm v SSSR, Moskau/Leningrad, 1929, 239 පි.

(10) අයිසැක් ඩොයිශ්චර්, The Prophet Unarmed: Trotsky 1921-1929 (නිරායුධ අනාගත වක්තෘ: ට්‍රොට්ස්කි 1921-1929); නිව් යෝර්ක් සහ ලන්ඩන්, 1959, 259 පි.

(II) මෙම ඡේදය ජර්මන්බසින් පලකෙරී ඇති.ජෝන් බන්සිල්ගේ, Klassenkampf in der Diaspora. Zur Geschichte der jüdischen Arbeiterbewegung, කෘතියෙනි. වියානා, 1975 150 පි.

(12) ගිඩන් ටොඔරි සිද්ධිය පිලිබඳ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ආස්ථානය සම්බන්ධයෙන් කියවන්න: “Against the boycott of Israeli academics”, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ප‍්‍රකාශය, 2002 ජුලි 12, “A letter on the boycott of Israeli academics and an answer by David North and Bill Vann”, 2002 ජුලි 17 සහ “WSWSr eplies to letters on boycott of Israeli academics” 2002 ජුලි 30

Share this article: