සෝවියට් සංගමය විසුරුවා හල තැන් පටන් විසි වසරක්

2012 වසරේ ධනේශ්වර අර්බුදය හා කම්කරු පන්තියේ රැඩිකලීකරනය

Twenty years since the dissolution of the USSR - The capitalist crisis and the radicalization of the working class in 2012

By David North, 30 January 2012

පහත පලවන්නේ ජනවාරි මාසය තුල එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) විසින් පවත්වන ලද ප‍්‍රදේශීය සාමාජික සමුලු මාලාවකට ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කතෘ මන්ඩලයේ සභාපති හා සසප ජාතික සභාපති ඩේවිඩ් නෝර්ත් විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවයි.

අප මේ දැන් පසු කර ඇත්තේ ලෝකය පුරා අතිඅසාමාන්‍ය සිදුවීම් අත්දුටු වසරකි. 2011 වර්ෂය ඉතිහාසය තුල, පන්ති අරගලය ජාත්‍යන්තර පරිමාවකින් පුනර්ජීවනය ලද වර්ෂය ලෙස සිහිපත් කෙරෙනු ඇත. ටියුනීසියාවේ ආඥාදායකත්වය මහජන විරෝධතා මගින් බිඳ හෙලනු ලැබුනේ යන්තම් වසරකට පෙර ය. බෙන් අලි තන්ත‍්‍රය බිඳ වැටී වහාම මෙන් පැනනැගි ඊජිප්තුවේ සමාජ පිපිරීම, සති කිහිපයක් ගතවීමටත් පෙර හොස්නි මුබාරක් බලයෙන් පහකලේ ය. ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ), කයිරෝවේ තහ්රිර් චතුරශ‍්‍රයේ දිගහැරුනු අරගලයේ ඓතිහාසික වැදගත්කම නිවැරදිව තක්සේරු කලේ ය. පෙබරවාරි 1දා ලෝසවෙඅ ඉදිරිදර්ශන තීරුව මෙසේ පැවසීය. "ඉතිහාසය යලි එලඹ ඇත්තේ සිය පලිය ද ගනිමිනි. දැන් කයිරෝවේත් ඊජිප්තුව පුරාත් දිගහැරෙමින් ඇත්තේ විප්ලවයයි. නියම විප්ලවයයි.”

ලෝක සමාජවාදී වෙබ් අඩවිය, ඊජිප්තු කම්කරු පන්තිය මුහුන පා සිටින අභියෝග අවතක්සේරු කලේ නැත: මුබාරක්ගේ ඉරනම කුමක් වුවත්, ධනේශ්වරයට එරෙහිව පහසුම ජයග‍්‍රහනයක් අපේක්ෂා කලේ ද නැත. අපි මෙසේ ලිව්වෙමු:

විප්ලවය පවත්නේ තවමත් එහි ආරම්භක අදියරවල ය. පිපිරීම මගින් මුදා හැරුනු පන්ති බලවේග සුවිශේෂ ඉල්ලීම්වල භාෂාවෙන් අනන්‍යවී ගැනීම පටන් ගත්තා පමනි. ක‍්‍රියා මාර්ග සුත‍්‍රගත කෙරී ඇත්තේ යන්තමිනි. දශක ගනනාවක මර්දනයෙන් පසු නැගිට එන කම්කරු පන්තිය තවමත් තමන් ගේ ම වැඩ පිලිවෙලක් කෙටුම්පත් කර ගෙන නැත. තවමත් දිගහැරෙමින් පවත්නා අරගලයේ මෙම ආරම්භක මොහොත් වල, එබන්දක් වෙනත් අයුරකින් සිදුවීම ද නොහැකි ය. සෑම විටක ම පාහේ, විප්ලවවාදී කැලඹීමක ආරම්භක අවධියේ දී, රජයන සටන් පාඨ, සාමාන්‍යයෙන් ප‍්‍රජාතන්ත‍්‍රීය ස්වභාවයක් ගනියි. එලඹෙන අගාධයට බියෙන් සැලෙන පාලක පන්ති, පැරනි පර්යායෙන් පුලුවන් දෙයක් බේරා ගැනීමට වියරුලෙස දඟලති. ඔවුන්ගේ තොල්වලින් "ප‍්‍රතිසංස්කරන” පොරොන්දු ඉතා ලෙහෙසියෙන් ලිස්සා එලියට පනියි. සමාජයේ ඉහල තට්ටු යම් වෙනසකට කැමති වෙතොත්, ඒ තම ධනයට හා සමාජ තත්වයන්ට තර්ජනයක් නොවන තාක් දුරට පමනි. ඔවුහු සියලුම ප‍්‍රජාතන්ත‍්‍ර බලවේගයන් - සත්තකින්ම ධනපති පන්තියේ නියෝජිතයින්ගේ දේශපාලන අධිකාරය යටතේ - "එක්සත් විය යුතු යයි” උද්වේගයෙන් හඬ නගති.

වසර විසිපහකට පෙර, හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, විප්ලවවාදී අරගලයන්ගේ මීලඟ කාල පරිච්ඡේදය ඉක්මනින්ම ජාත්‍යන්තර පරිමාවක් අත්කරගන්නා බව පෙර දැක ප‍්‍රකාශ කලේ ය. මෙම අභිනිවේෂය ඊජිප්තුව තුල විකසිත වර්ධනයන්ට යොදමින් ලොසවෙඅ මෙසේ පැවසීය:

සමාජ අසමානතාවය ලෝකය පුරාම කම්පාකාරී මට්ටම්වලට එලඹ තිබේ. ඇත්ත වශයෙන්ම, සමහර වාර්තාවන්ට අනුව, එක්සත් ජනපදයේ ආදායම් අසමානතාවය ඊජිප්තුවේ හා ටියුනීසියාවේ පවතිනවාට වඩා බොහෝ වැඩි ය. එපමනක් නොව, යුරෝපය හා එක්සත් ජනපදය පුරා ආන්ඩු සමාජ වියදම්වල යෝධ කප්පාදුවක් ඉල්ලමින් ද දැනටමත් ක‍්‍රියාවට නගමින් ද සිටිති. කම්කරු පන්තියේ එන්ට එන්ටම පලල් කොටස් දරිද්‍රතාවට ඇද වැටෙමින් සිටිති.

දියුනු ධනේශ්වර රටවල දේශපාලන තන්ත‍්‍ර - නිසැකව ම වඩාත් සූක්ෂම ප‍්‍රචාරක සංස්ථා අත ඇතිව සිටින නමුත් - ඊජිප්තු ආන්ඩුව තරම් ම පුලුල් ජනතාවගේ අතෘප්තිය කෙරෙහි ඝනීභූත අසංවේදී බවකින් යුක්ත ව සිටිති.

කයිරෝවේ, ඇලෙක්සැන්ඩි‍්‍රයාවේ හා රටපුරා වීදිවල දිගහැරෙමින් ඇති තත්වය ලෝක ඓතිහාසික අර්ථභාරී බවක් දරා සිටී. ඊජිප්තුවේ සිදුවීම් පෙන්නුම් කරන්නේ, දියුනුම රටවල් ද ඇතුලු සෑම රටක ම සමාජ වෙනස ගනු ඇති රූපයයි. එම පෞරානික භූමිය තුල අප අත්දකිමින් සිටින්නේ. ලෝක සමාජවාදී විප්ලවයේ නව යුගයක ප‍්‍රාථමික චලනයන් ය.

ලෝක ගෝලය පුරාම සමාජ ගැටුම් පුපුරා යද්දී මෙම ඉදිරිදර්ශනය සනාථ වී තිබේ. මුබාරක් පහ කල තැන් පටන් සති කිහිපයක් ඇතුලත, (එක්සත් ජනපදයේ) විස්කොන්සින් ප‍්‍රාන්තයේ වෝකර් පාලනය කම්කරුවන්ගේ මූලික අයිතීන්ට එල්ල කල ප‍්‍රහාරයන්ට එරෙහිව මහජන විරෝධතා පැන නැංගේය. යුරෝපයේ සමාජ වියදම් දරුනු ලෙස කපාහරින ලෙසට යුරෝපීය මහ බැංකුව කල නිර්දේශයන්ට එරෙහිව ස්පාඤ්ඤයේ හා ග‍්‍රීසියේ මහජන විරෝධතා පුපුරා ගියේය. ලක්ෂ ගනන් ඊස්රායල් වැසියෝ, නොඉවසියහැකි සමාජ තත්වයන්ට විරුද්ධව පෙලපාලි පැවැත්වූහ. චීනයේ හා රුසියාවේ ද සැලකිය යුතු ප‍්‍රමානයක විරෝධතා හටගත්තේය. පරම්පරාවකටත් වැඩි කාලයකට පසුව එක්සත් ජනපදය තුල, සමාජ අසමානත්වයට එරෙහිව පලමු වැදගත් ජනතා ව්‍යාපාරය වෝල් වීදිය වාඩිලාගැනීමේ ව්‍යාපාරය ලෙස ඇරඹුනි.

2011 තුල පැනනැංගා වූ ව්‍යාපාර කෙරෙහි ලෝසවෙඅ අවිවේචනාත්මක ආකල්පයක් දැරුවා නොවේ. සියල්ලටත් පලමුව වටහා ගත යුතු වන්නේ, මේ එකදු ව්‍යාපාරයක් හෝ මාක්ස්වාදී කෙසේ වෙතත්, සමාජවාදී ක‍්‍රියාමාර්ගයක් මතවත් පදනම් නොවුන බව ය. ලෝසවෙඅ "ව්‍යාජ වම” යනුවෙන් හඳුන්වන මෙම සුලු ධනපති පක්ෂ, කම්කරු පන්තියේ ඕනෑම ව්‍යාපාරයක්, ධනේශ්වර පාලනයට අභියෝග කිරීමෙන් වලක්වා ලීම පිනිස නිර්දයව වෙහෙස දරති. ඊජිප්තුවේදී, (කිසිසේත් ම සමාජවාදී හෝ විප්ලවවාදී නොවන්නාවූ), සුලු ධනපති රෙවලූෂනරි සෝෂලිස්ට් සංවිධානය, මිලිටරිය ගැන මෙන්ම මුස්ලිම් සහෝදරත්වය ගැන ද මිථ්‍යාවන් වැපිරීමේ යෙදී සිටියි. ග‍්‍රීසිය සහ ස්පාඤ්ඤය තුලදී ද එම ද්‍රෝහී ක‍්‍රියාවලිය ම දැකගත හැකි විය. ග‍්‍රීසියේ SYRIZA (සිරිසා) හා ANTARSYA (ඇන්ටාස්යා) ද ස්පාඤ්ඤයේ ඉස්කුවෙර්ඩා ඇන්ටිකැපිටලිස්ටා ද වැනි ව්‍යාජ වාම සංවිධාන, කම්කරුවන්ගේ හා තරුනයින්ගේ මහජන විරෝධතා, ධනපති දේශපාලනයේ තටුව යට රඳවා තැබීමේ උත්සාහයක නිරත වෙති.

එක්සත් ජනපදයේ විරෝධතාවන් තවමත් කම්කරු පන්තියේ සැලකිය යුතු කොටස් අලලා ගෙන නැත. ඒවා ප‍්‍රධාන කොට ම ශිෂ්‍යයන් පාදක කර ගත් ව්‍යාපාරයක් ලෙස ය. මෙම විරෝධතාවන් මත ආධිපාත්‍යය පිහිටුවාගත් - "දේශපාලනය එපා” යන සටන් පාඨය තුල ස්වකීය දේශපාලනය සඟවාගත් - දේශපාලන බලවේග නියෝජනය කරන්නේ, ජනගහනයෙන් ඉහලම සියයට 10 ඇතුලත ධනය බෙදී පවත්නා ආකාරය කෙරෙහි නොසතුටට පත් මධ්‍යම පන්තික කොටස් ය. ඔවුන් අපේක්ෂා කරන්නේ තම මූල්‍ය හා සමාජ තත්වයේ දියුනුවකි.

කෙසේ වුවත් මෙම ව්‍යාපාරය සැලකිය යුතු සමාජ සහයෝගයක් දිනා ගෙන ඇත. විවිධ විරෝධතාවන්හි යෙදී සිට ඇති ඉන් බොහෝ දෙනෙක්, පවත්නා සමාජ අසමානතාව කෙරෙහි ඔවුන් දක්වන විරෝධයේදී මුලුමනින්ම අව්‍යාජ වෙති. ව්‍යාපාරයේ නායකත්වයේ සුලු ධනපති හා ප‍්‍රතිසංස්කරන දේශපාලනය උඩ, මෙම විරෝධතා නොතකා හැරීම බරපතල වැරැද්දක් වනු ඇත. ඒවා වනාහි වැඩෙන මහජන කෝපයේ ප‍්‍රකාශනයයි. රට පුරා කම්කරුවන් හා තරුනයින් මෙම විරෝධතා දැකගෙන ඇත්තේ, ජනගහනයේ කුඩා ප‍්‍රතිශතයක් අත ධනය එක්රැස්වීමට ද මූල්‍ය ආයතනයන්හි සාපරාධී කටයුතුවලට, පරපුටුකමට සහ ව්‍යාපාරික බලය අපයෝජනය කිරීමට ද ඇමරිකානුවන් අති මහත් බහුතරයක ගේ ජීවන තත්වයන්හි නිර්දය පරිහානියට ද එරෙහිව බොහෝ කලකට පෙර දැක්විය යුතුව තිබුනු ප‍්‍රතිචාරයක් කල් ගතවී හෝ මතුවී ඒමක් ලෙස ය. ලෝසවෙඅ නව වසරේ පලමු ඉදිරි දර්ශන ලිපිය තුල මෙසේ පැහැදිලි කලේ ය:

ආර්ථික අර්බුදය ද ජීවන තත්වයන් බිඳ වැටීම ද සමාජ අසමානතාවය පලල් වීම ද රාජ්‍ය- අනීතිය ද පාරිසරික ව්‍යසනයන් ද නව ලෝක යුද්ධයක තර්ජනය ද යන මේ සියල්ල නිරන්තරව උග‍්‍ර වන තත්වයකට මුහුන දී සිටින මහජනයා අතර ධනවාදය අසාර්ථක වී ඇතැයි යන විඥානය පැනනැගිමින් පවතී. මේ වන විටත් ලෝකය පුරා කෝටි ගනනක් ජනතාව අලලා ගත් සමාජ අරගලයන්ගේ නැගී ඒම, ධනවාදයේ වෛෂයික අර්බුදය මෙම ග‍්‍රහ ලෝකයේ මූලික විප්ලවවාදී බලවේගය වන ජාත්‍යන්තර කම්කරු පන්තියේ ආත්මීය විඥානය තුල ට පිවිස තැන්පත් වෙමින් පවතින්නේ ය යන්න සංලක්ෂනය කරයි.

2011 වර්ෂයේ සිද්ධි ඇමරිකා එක්සත් ජනපදයේ ද ලෝකය පුරාම ද පාලක පන්තිය ගැඹුරින් ම කම්පාවට පත් කර තිබේ. ගිය වසරේ විරෝධතා නව වසර කරා ද පැතිර යමින් වඩාත් තීව‍්‍ර වන බවට හැඟීමක් පුලුල්ව පැතිර පවතී. මේ මස මුල, ද ෆිනෑන්ෂල් ටයිම්ස්හි ලිපියක මොසෙස් නයිම් නම් ලේඛකයා මෙසේ ලිවීය: "අසමානත්වය, 2012 වසරේ ද මූලික තේමාව වනු ඇත... 2012දී අසමානත්වය සමග සාමකාමී සහජීවනය, අවසන් වනු ඇති අතර ඊට එරෙහිව සටන් කරන ලෙස කෙරෙන ඉල්ලීම් හා දෙනු ලබන පොරොන්දු, සීතල යුද්ධය අවසන් වීමෙන් මොබ දක්නට ලැබුනු උග‍්‍රතම හා පුලූල්ව ම පැතිරුනු මට්ටමකට නගිනු ඇත.” එම පුවත්පතෙහි ම ඈන් මේරි ස්ලෝටර් මෙසේ අනතුරු හැඟවුවා ය. "2012 දී ද විශාල ම ප‍්‍රශ්නය වනු ඇත්තේ තවත් එවැනි සිද්ධීන් ය. දේශ සීමා හරහා ඉතිර - පැතිර යන විරෝධතා රටවල් ගනනාවක් තුල විප්ලව බවට මුහුකුරනු ඇත.”

ටයිම් සඟරාව, 2011 පුපුරා ගිය සමාජ ව්‍යාපාරයේ අර්ථභාරය පිලිගනිමින්, තම "වසරේ පුරුෂයා” ලෙස "විරෝධකයා” නම් කලේය. ටයිම් සඟරාව දක්නා පරිදි, පසුගිය වසරේ සිදුවීම් පෙන්නුම් කරන්නේ, 1991 සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසුව එලඹුනු - ෆ්රැන්සිස් ෆුකුයාමා "ඉතිහාසයේ අවසානය” ලෙස උත්කර්ෂනය කල - සමාජ හා දේශපාලන උකටලී සමයක අවසානය යි. ඉක්බිති එලඹුනු වර්ෂ පිලිබඳව ටයිම් සඟරාව මෙසේ ලියයි: "නය ගැනීම පහසු විය, උදාසීනතාවය සහ අසංවේදීතාවය රජ කලේ ය, වීදි-විරෝධතා, 20වන සියවස-මැද (දෙවන ලෝක) යුද්ධය තුල අසරු සේනාවන් සේ - යල්පිනූ, අභූතව ගිය, නිරර්ථක හා භාවාතිශය අතුරුජවනිකාවක් සේ පෙනී ගියේය. ධනවත් ලෝකයේ කලාතුරකින් ඇති වූ පෙලපාලි, දුබල හා අනදාල ලෙස පෙනී ගියේය.”

එහෙත් දැන්, දිගු කලක් තිස්සේ පැවති සමාජ හා දේශපාලන පල්වීම හදිසියේ ම අවසාන වී ඇත. ටයිම් ලියන පරිදි:

කෙටියෙන් කිවහොත්, 2011 වර්ෂය 1989න් මෙපිට කිසිදු වර්ෂයකට සමාන නොවී ය: වඩාත් අතිඅසාමන්‍ය ද, වඩාත් ගෝලීය ද, වඩාත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ද විය. මන්ද යත්, ‘89 දී පාලන තන්ත‍්‍රවල සියලු බිඳ විසිර යාම් සිදු වූයේ, මූලස්ථානයෙහි, එනම්, මොස්කෝවේ මහ ස්විචය නිවා දැමීම මගින් පද්ධතිය පුරා විදුලි බලය එක පහරින් විසන්ධි කර ලීමේ විපාකය වශයෙනි. එසේම 2011 වර්ෂය, 1968න් මෙපිට කිසිදු අවුරුද්දකට ද සමාන නැත. එය වඩාත් විපාක සහගත වන්නේ, සෑම ප‍්‍රතිරෝධකයෙකුම ‘89 දී ට වඩා බරපතල යමක් පරදුවට තබා ඇති නිසාය. ඔවුන්ගේ විරෝධතා 1968 මෙන් විරුද්ධ - සංස්කෘතික අංගයක් නොවූ අතර, ඒවා ඉක්මනින් හා මුලුමනින් ම කැරලි බවට පත් වෙමින්, පාලන තන්ත‍්‍ර බිඳ දමමින්, ඉතිහාසයේ ගමන් මග ක්ෂනිකව වෙනස් කර දැමී ය... වෙනත් වචනවලින් කිවහොත් ඒවා, අපගේ ජීවිත කාලයේ අන් කිසිවකට සමාන නැත: 2011 සමහරවිට 1848න් මෙපිට කිසිදු වසරකට සමාන නොවේ. එහිදී (1848දී) පැරිසියේ එක් වීදි අරගලයක් තෙදින විප්ලවයක් මල්පල ගැන්වූ අතර එය, රාජාන්ඩුව ප‍්‍රජාතන්ත‍්‍ර සමූහාන්ඩුවක් බවට පත්කරමින්, ටෙලිග‍්‍රාෆ්, දුම්රිය මාර්ග, රොටරි මුද්‍රන ක‍්‍රම වැනි නව තාක්ෂනය මගින් සති කිහිපයක් තුල මියුනිච්, බර්ලින්, වියානා, මිලාන්, වෙනීසිය හා යුරෝපය පුරා තවත් ස්ථාන ගනනක දී නොනැවැත්විය හැකි විරෝධතා හා ප‍්‍රචන්ඩ නැගිටීම් රැල්ලක් පන ගැන්විය.

ටයිම් සඟරාව, 2011 සිදුවීම් 1848 හා 1968 සමග සැසඳීම, බැරෑරුම් ඓතිහාසික, දේශපාලනික හා සමාජයීය විශ්ලේෂනයක් දරා සිටීමට අසමත් අති සරල කරනයකි: කලින් ව්‍යාපාරයන්හි දේශපාලන හා සමාජ ගතික ඊට බෙහෙවින් වෙනස් ය. එම වර්ෂයන්හි සිදුවීම් විමසීමට තැන මෙය නොවේ. එහෙත් එම අරගලයන් තුල කම්කරු පන්තියේ භූමිකාව අතිශයින්ම වඩාත් සුවිශාල පරිමාවක් ගත්තේ ය. විශේෂයෙන් ම 1848 කම්කරු පන්ති අරගල, ප‍්‍රචන්ඩ නැගිටීමක් මෙන්ම කෙලින්ම විප්ලවකාරී ස්වභාවයක් දරා සිටියේ ය. එම වසරේ අරගලය, කම්කරු පන්තිය ද සමාජවාදය ද ප‍්‍රමුඛ බලවේගයක් ලෙස පැන නැගීම අත්දුටුවේය. 1968 හුදෙක් "ප‍්‍රති-සංස්කෘතික සංදර්ශනයක්” වුයේ නැත. එම වසරේ ප‍්‍රන්සයේ හටගත්තේ, කම්කරු පන්තියේ බලය පිලිබඳ ප‍්‍රශ්නය මතුකල දැවැන්ත මහා වැඩවර්ජනයකි. එම අරගලය, කම්කරු පන්තියේ සැලකිය යුතු කොටසක් සමාජවාදී විශ්වාසයකින් උත්තේජනය කලේය. ධනවාදයේ පන රැකගැන්ම රඳා පැවතියේ ප‍්‍රන්ස ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය සිතාමතාම අනුගමනය කල ප‍්‍රතිවිප්ලවවාදී පිලිවෙත තුලිනි.

කෙසේ වෙතත් ටයිම් ලිපිය, 2011 සිදුවීම් කෙරෙහි පාලක පන්තියේ ප‍්‍රතිචාරය වෙත අභිනිවේෂයක් සපයන තාක් දුරට, වැදගත් බවක් උසුලයි. ටයිම් සඟරාවේ අවධානය, පසුගිය වසරේ විරෝධතාවන්ට තම විශේෂ දේශපාලන පැහැය ලබා දුන් මධ්‍යම පන්තික අසංතෘප්තියේ කොටස් කෙරෙහි මුලුමනින්ම පාහේ යොමුව තිබේ. "විරෝධයේ පෙරටු ඇනිය” ලෙස ටයිම් සඳහන් කරන "උගත් හා මධ්‍යම පන්තික” කොටස ගැන එය වඩාත්ම උනන්දු වෙයි. ජනගහනයෙන් සියයට 0.1 හා සියයට .01 ක් වන සුපිරි ධනපති ස්ථරවලින් සැදුම්ලත් පාලක ප‍්‍රභූව අදූරදර්ශී ලෙස හුදෙකලාවී සිටීම ගැන බරපතල කනස්සල්ලක් මෙම අරමුන මගින් සලකුනු කෙරෙයි. දැවැන්ත ධන සමුච්ඡය විසින් ධනය, අවස්ථාව, බලපෑම හා නම්බුව ආදී වශයෙන් තමන් සුපිරි ධනවතුන්ගෙන් වෙන්කරන මහා අගාධය පිලිබඳව, සැලකිය යුතු මධ්‍යම පන්තික කොටස් වඩ වඩාත් සංවේදී වෙමින් අතෘප්තියට හා කනස්සල්ලට පත්ව විරසකව සිටිති. එහි ප‍්‍රතිඵලය වශයෙන් ඔවුහු, "සිය රටවල දේශපාලන ක‍්‍රම හා ආර්ථිකයන් අබලන් හා දූෂිත වී ඇති අතර ධනවතුන්ගේ හා බලවතුන්ගේ වාසිය පිනිස විවෘත කොට හැඩ ගස්සා ගන්නා ලද රැවටිලිකාර ප‍්‍රජාතන්ත‍්‍රවාදයන් විසින් අර්ථභාරී සමාජ වෙනසක් ඇතිවීම වලක්වන්නේය යන විශ්වාසය දරා සිටින තැනට” පත්කර තිබේ.

මෙම අසංතෘප්තිය 2008 ආර්ථික බිඳවැටීමේ අතුරු පලයකි. ටයිම් මෙසේ ලියයි: "බුබුල පැවති වසරවල දී ඔවුන් සතුටින් මෙන් තැබීමට සෑහෙන මුදලක් යටට කාන්දු විය. එහෙත් දැන්, නිමක් නැති මූල්‍ය අර්බුද හා ආර්ථික පල්වීම මගින් තමන් රවටනු ලැබ ඇතැයි යන හැඟීමකින් ඔවුහු පසුවෙති.”

ටයිම් සඟරාව 2011 සිදුවීම් දැකගෙන ඇත්තේ ඇස අරවන හඬක් ලෙසය. තමන්ගේ ම සමාජ හුදෙකලාවෙන් පැන නැගිය හැකි අන්තරාය පිලිබඳව පාලක ප‍්‍රභූවන් දැනුවත් විය යුතුය. ‘සමාජවාදය’ යන වචනය එක තැනක හෝ සඳහන් නොකරන ටයිම් ලිපිය (‘කම්කරු පන්තිය’ ගැන ආවාට ගියාට කරන සඳහනකට සීමා වන නමුත්) මෙසේ ද කියයි. "නෙක්සස් නම් ප‍්‍රවෘත්ති මාධ්‍ය දත්ත ගබඩාව ‘අසමානතාවය’ ගැන කරන සති පතා වාර්තා සටහන් සංඛ්‍යාව දැන් 500ක් තරම් ඉහල නැග ඇත. එහෙත් වෝල් වීදිය වාඩිලාගැනීම පටන් ගැනීමට සතියකට පෙර එය 91ක් පමනි.”

ඉහල ම සියයට 10 යේ තට්ටු අතර ධනය බෙදී ගොස් ඇති ආකාරය ගැන අසතුටට පත් මධ්‍යම පන්තියේ අඩුවෙන් හෝ වැඩියෙන් වරප‍්‍රසාදිත කොටස්වලින් ඔබ්බෙහි ඇත්තේ ජීවන තත්වයන් ඉමහත් හා නිර්දය ලෙස පරිහානියට පාත‍්‍රවන්නා වූ අතිමහත් වැඩකරන මහා ජනතාව ය. ධනේශ්වර ක‍්‍රමයට එරෙහි විවෘත අරගලයකට -එවන් අරගලයක් විසින් ජනනය කරනු ලබන සකල විප්ලවවාදී ඇඟවුම් සහිතව - අවතීර්න නොවී ඔවුන්ගේ ජීවන තත්වයන් ගේ දියුනුවක් ඇති කල නොහැකිය. කම්කරු පන්තියේ එන්ට එන්ටම පුලුල් වන කොටස් එවන් අරගලයන්ට මැදිහත්වීම 2012 වසරේ දී දැකගත හැකිවනු ඇත. අප පක්ෂය මුහුන දෙන තීරනාත්මක කර්තව්‍යයන් අතරින් එකක් වන්නේ කම්කරු පන්තිය තුල, එයට ම සුවිශේෂී වූ සමාජ හා දේශපාලන ආසක්තයන් පිලිබඳ සවිඥානකත්වය වර්ධනය කිරීමත්, මෙම අරගලයන් සමාජවාදී දිශාවනතියකට යොමු කිරීමත් ය. සමාජවාදී සමානතා පක්ෂය විසින් කලයුත්තක් නම් එක්සත් ජනපදය තුල කම්කරුවන් හා තරුනයින් අතර ඔවුන්ගේ අරගල ජාත්‍යන්තර පන්ති අරගලයේ අවියෝජනීය කොටසක් වන බව හා ඇමරිකානු පාලක පන්තියට එරෙහි අරගලය ජාත්‍යන්තර සමාජවාදී මූලෝපායක් මත පාදක කල යුතු බව පිලිබඳ වැටහීම වර්ධනය කිරීම ය.

සෝවියට් සංගමයේ අවසානයෙහි පටන් විසි වසරක්

කම්කරු පන්තිය ජාත්‍යන්තර විප්ලවවාදී බලවේගයක් ලෙස වර්ධනය කිරීමේ ලා ඒසා ප‍්‍රගාඪ භූමිකාවක් ඉටුකරන ලෝක ඓතිහාසික සන්දර්භය අවබෝධ කර ගැනීමෙන් තොරව දේශපාලන දිශාවනතිය හා සවිඥානකත්වය පිලිබඳ ගැටලු ජයගත නොහැකිය.

2011 පැනනැගි අරගල සෝවියට් සංගමයේ (සෝ.ස) ධජය ක්‍රෙම්ලිනයෙන් පහතට ඇද දමා එය විසුරුවා හැරියා වූ 1991 දෙසැම්බර් 25 දින දක්වා ම සලකුනු කර ගත හැකි, දේශපාලන පල්වීමේ විසි වසරක සමය හමාර කොට තිබේ. ස්ටැලින්වාදී ද්‍රෝහිත්වයේ දශක ගනනාවක විපාකය වූ සෝවියට් සංගමයේ අවසානය කම්කරු පන්තිය ඉමහත් ලෙස අවමංගත කරන බලපෑමක් ඇති කල අතර එම සිද්ධිය මාක්ස්වාදය උත්තර-රහිත ලෙස ඛන්ඩනය කර ඇතැ යි ද සමාජවාදයේ අවසානය නියෝජනය කරතැයි ද නිවේදනය කල ධනේශ්වර විජයග‍්‍රහන වාදයේ මහා ඝෝෂනයක් ජනිත කලේ ය. මෙම ව්‍යාජ අර්ථනයන්ගේ සාරභූත පදනම වූයේ, මාක්ස්වාදය හා සමාජවාදය ස්ටැලින්වාදය සමග අනන්‍ය කිරීම යි.

1938 ලියොන් ට්‍රොට්ස්කිගේ නායකත්වය යටතේ පිහිටවූ තැන් පටන් හතර වන ජාත්‍යන්තරය, සෝවියට් සංගමයේ මිනීවල කනින්නා ස්ටැලින්වාදී නිලධරය යයි විනිශ්චය කර තිබුනි. හතර වන ජාත්‍යන්තරයේ සංක‍්‍රමන ක‍්‍රියාමාර්ගය, කම්කරු පන්තිය දේශපාලන විප්ලවයක් මගින් නිලධරය පෙරලා නොදැමුවහොත්, එය ධනවාදය පුනස්ථාපනයේ උපකරනය ලෙස එන්න එන්න ම වඩවඩාත් විවෘතව වැඩ කරනු ඇති බවට අනතුරු ඇඟවී ය. නාසි ජර්මනියට එරෙහිව සෝවියට් ජයග‍්‍රහනයෙන් ඉක්බිත්තෙහි, ක්‍රෙම්ලිනය හා එහි රූකඩ පක්ෂ සමග සන්ධානගත වීම තුලින් අධිරාජ්‍යවාදයට එරෙහි කිසියම් වර්ගයක ප‍්‍රතිසංස්කරනවාදී හෝ රැඩිකල් ජාතිකවාදී ප‍්‍රතිතුලනයක් (counterweight) තැනීමට වෑයම් කල සුලු ධනේශ්වරයේ කොටස් පිටුපස ගාල්වුන සංශෝධනවාදී ප‍්‍රවනතා, හතරවන ජාත්‍යන්තරය තුල ද හිස එසවූ හ. ට්‍රොට්ස්කිගේ විප්ලවවාදී ක‍්‍රියා මාර්ගය පාවාදුන් පැබ්ලෝවාදී සංශෝධනවාදීහු, සෝවියට් සංගමය තුල හා ජාත්‍යන්තරව සමාජවාදය සාක්ෂාත් වනු ඇත්තේ සියවස් ගනනක් පුරා විහිදෙන කි‍්‍රයාවලියක් තුල වුවත් ස්ටැලින්වාදී නායකත්වයන් යටතේ බව පවසමින් සිය පාවාදීම යුක්තිසහගත කිරීමට උත්සාහ කලහ.

පැබ්ලෝවාදීන් ද පොදුවේ වාම සුලු ධනේශ්වර දේශපාලන නිර්මිතයන් ද තුල ස්ටැලින්වාදී තන්ත‍්‍රයේ දෘශ්‍යමාන බලය විසින් ජනනය කෙරුනු විභීතිය (ගෞරව සම්ප‍්‍රයුක්ත භීතිය), අද දිනයේ දී නිරූපනය කර ගැනීම පවා දුෂ්කර ය. ක්‍රෙම්ලින් තන්ත‍්‍රය තරම් ස්ථිර හා නොසෙල්විය හැකි අන් කිසි දෙයක් ඔවුන්ට පෙනුනේ නැත. ඒ අතර විවිධාකාර රාජ්‍ය -ධනේශ්වර ප‍්‍රවනතා ද - එනම් ට්‍රොට්ස්කි පෙන්වාදුන් පරිදි සෝවියට් නිලධරය නියෝජනය කරන්නේ පරපුටු කුලයක් නොව, නව පාලක පන්තියක් බව කියා සිටි මධ්‍යම පන්තික සංවිධාන - ස්ටැලින්වාදයේ බලය උත්කර්ෂනය කිරීමට එක්රැස් වූහ. ස්ටැලින්වාදී තන්ත‍්‍රය, කම්කරු පන්තිය විසින් පෙරලා දමනු නොලැබුවහොත්, සෝවියට් සංගමය විනාශය කරා මෙහෙයවනු ඇති බවට ට්‍රොට්ස්කි පල කල අනාවැකිය තරම් අභූත අන් කිසිවක් ඔවුනට නොවීය.

1980 ගනන් වන විට එවකට ජාත්‍යන්තර කමිටුවේ බි‍්‍රතාන්‍ය ශාඛාව ව පැවැති කම්කරු විප්ලවවාදී පක්ෂය (කවිප) නායකත්වය තුල ට්‍රොට්ස්කිගේ විශ්ලේෂනය කෙරෙහි සංශයක් වැඩෙමින් තිබුනි. කවිප ප‍්‍රධාන ලේකම්ව සිටි මයික් බන්ඩා සමග 1983දී කල, මා විශ්මයට පත්කල, සාකච්ඡාවක් මෙහිදී සිහියට නැගෙයි. ට්‍රොට්ස්කිගේ අනතුරු ඇඟවීම වැරදි බව ඔහු කීය. සෝවියට් සංගමය සදහට ම පැවැත්ම ඓතිහාසිකව "තීන්දු ව ඇති ප‍්‍රශ්නයකි.” මම බන්ඩාගෙන් මෙසේ ඇසීමි: එහෙත් මෙහි අර්ථය, හතරවන ජාත්‍යන්තරය ගොඩනැගීමට ගත් තීරනයේ දී ට්‍රොට්ස්කි පදනම් කරගත් ස්ටැලින්වාදය පිලිබඳ විශ්ලේෂනය වැරදි බව ද? බන්ඩා මගේ ප‍්‍රශ්නයට දුන්නේ කපටි පිලිතුරකි. එහෙත් ඔහු තෙවසරක් ගතවීමටත් මත්තෙන්, ට්‍රොට්ස්කි ප‍්‍රතික්ෂේප කොට හතරවන ජාත්‍යන්තරය හෙලා දැක ස්ටැලින් පිලිබඳ සිය ප‍්‍රහර්ෂය නිවේදනය කලේ ය.

1985 මාර්තුවේ දී ගොර්බචෙව් ප‍්‍රධාන ලේකම් වූ කල සංශෝධනවාදියෝ, ඔහු අලුත් සමාජවාදී ගැලවුම්කරුවා බව පැවසීමට ලොල් වූහ. උන් ඔහුගේ ග්ලස්නොස්ට් හා පෙරෙස්ට්‍රොයිකා ප‍්‍රතිපත්තිවලට ආවැඩුවේ ඉමහත් ප‍්‍රමෝදයෙනි. ප‍්‍රමුඛ පැබ්ලෝවාදී න්‍යායාචාර්ය අර්නස්ට් මැන්ඩෙල් ජීවත්ව සිටින විශිෂ්ටතම දේශපාලනඥයා ලෙස ගොර්බචෙව් උත්කර්ෂයට නැංවූ අතර "සෝවියට් නායකයා යත්න දරන්නේ සෝවියට් සංගමය තුල යලි ධනවාදය පිහිටුවීමට ය යන විහිලූ න්‍යාය” හෙලා දුටුවේ ය. [අර්නස්ට් මැන්ඩෙල්, Beyond Perestroika පෙරෙස්ට්‍රොයිකාවෙන් ඔබ්බට, (වර්සෝ බුක්ස්, 1989), පි.129]

"හාස්‍යජනක න්‍යාය” ලෙස මැන්ඩෙල් හෙලා දුටුවේ, හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ඉදිරිපත් කර තිබුනු විශ්ලේෂනය යි. 1987 මාර්තුවේ දී ජාත්‍යන්තර කමිටුව, "සෝවියට් සංගමය තුල සිදුවන්නේ කුමක් ද?” යන මැයින් ගොර්බචෙව් තන්ත‍්‍රයේ පිලිවෙත් පිලිබඳ සවිස්තර විශ්ලේෂනයක් ප‍්‍රකාශයට පත්කර තිබුනි. ක්‍රෙම්ලිනයේ නව පිලිවෙත්වල අරමුන වනාහි 1917 ඔක්තෝබර් විප්ලවයේ පදනම මත තහවුරු කෙරුනු දේපල ස්වරූපයන් විනාශ කිරීම බවට එය අනතුරු ඇඟවීය. එහි මෙසේ ප‍්‍රකාශ කර ඇත:

සෝවියට් ආර්ථිකය එන්ට එන්ටම බටහිර ධනවාදයේ අර්බුදයෙහි ග‍්‍රහනය ට හසුවුන තතු තුල ගොර්බචෙව් ගේ ප‍්‍රතිසංස්කරන සැලසුම්ගත ආර්ථිකයේ පදනම්වලට වල කපයි. ගොර්බචෙව් අමාත්‍යංශ 20කට ද රාජ්‍ය ව්‍යවසාය 70කට ද ධනපති රටවල් හා සමාගම් සමග කෙලින්ම තම වෙලඳ සබඳතා ඇතිකර ගැනීමටත්, විදේශ විනිමයෙන් සියයට 40ක් තමන් අත ම රඳවා ගැනීමටත් ඉඩ හැරීම මගින් - නෙප්මන්වරුන් (නව ආර්ථික පිලිවෙතේ මිනිසුන්) හා ලෝක වෙලඳපොල අතර ඍජු සම්බන්ධයක් ඇති කිරීමට ස්ටැලින් කල උත්සාහය ලෙනින් හා ට්‍රොට්ස්කි විසින් (1922 දී) පරාජය කිරීමෙන් අනතුරුව ප‍්‍රථම වතාවට - සෝවියට් විදේශ වෙලඳාමේ රාජ්‍ය ඒකාධිකාරයට වල කපයි. ඒ සමග ම ඔහු, ජනසතු කරන ලද දේපල සම්බන්ධතාවන්ගේ පදනමට බරපතල පහරක් වනු ඇති ධනේශ්වර සමුච්ඡය කාරක ක‍්‍රියාවලියකට මුල පුරයි. [Fourth International, හතර වන ජාත්‍යන්තරය, 1987 ජූනි කලාපයේ (හතරවන වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ප‍්‍රකාශය, 1987 මාර්තු 23), පි. 38]

සෝවියට් සංගමය විසුරුවා හැරීමට නිලධරය හදාගත්, සෝවියට් ආර්ථිකයේ බිඳවැටීමේ හේතු පිලිබඳ විද්වත් පර්යේෂනයනයෝ මෙම විශ්ලේෂනය සනාථ කරති. ස්ටීවන් රෝස් ෆීල්ඞ් සහ ස්ටෙෆාන් හෙඩ්ලූන්ඩ් යන මහාචාර්යවරු, 2008 වසරේ කේම්බි‍්‍රජ් සරසවියේ මුද්‍රනාලය පල කල, Russia Since 1980 (1980න් පසු රුසියාව) නම් කෘතියේ ගොර්බචෙව් දියත් කල පියවරයන් ඇත්තවශයෙන් ම සෝවියට් ආර්ථිකය කඩාකප්පල් කිරීම අරමුනු කරගත් ඒවා බව පුනරාවලෝකනයේ දී තහවුරු කෙරෙන සාක්ෂි ඉදිරිපත් කරති. ඔවුහු මෙසේ ලියති. "දේවල් පාලනය කරගත නොහැකි තත්වයක් ඉක්මනින්ම උද්ගත කිරීමට හේතුකාරක වූ, කෑදර රහස් සැලැස්මක් ගොර්බචෙව් හා ඔහුගේ පිරිවර අත තිබුණු බව පෙනෙන්නට තිබේ.” (38 පි) ගොර්බචෙව්ගේ පිලිවෙත් විනාශක තක්සේරුවකට භාජන කරන රොස්ෆීල්ඩ් හා හෙඩ්ලූන්ඩ් මෙසේ කියති:

ඉතිහාසය එලි කරන දෙය නම්, (1917) බොල්ශෙවික් රාජ්‍ය බල කොල්ලයේ මුනුබුරාලා සෝවියට් සංගමය විනාශ කලේ කොමියුනිස්ට් සමෘද්ධියේ අරමුන වර්ධනය කිරීමේ විරෝදාර ප‍්‍රයත්නයක් ලෙස හෝ අඩු ගනනේ තම පොදු යුරෝපීය නිවහනට පෙරලා පැමිනීම සඳහා හෝ නොවන බව ය. ඒ වෙනුවට ඇත්ත වශයෙන්ම සිදුවුයේ, සෝවියට් කලමනාකරුවන් හා ඇමතියන්, නව - මොස්කවික (මොස්කවික:, මුල් රුසියාවේ මොස්කව් කේන්ද්‍රිත වැඩවසම් පාලනය) පාලනය යටතේ ජනතාවගේ වත්කම් හා ආදායම් තම මඩි තුලට පුද්ගලීකරනය කරගැනීම ට ජනාධිපති ගෙන් වරපත‍්‍රයක් ලබාගත්, වත්කම් කොල්ලකන පුද්ගලික ජාවාරම් කරුවන් හෙවත් රස්තියාදුකාර මංපහරන්නන් බවට පත් වී ගැනීම ය.” (40 පි.)

1917 පටන් සෑම බොල්ශෙවිකයෙක් තුලට ම කාවද්දා තිබුනු පරිදි, රාජ්‍ය ආදායම්, ද්‍රව්‍යමය සම්පත් හා දේපොල පුද්ගලිකව පාවිච්චි කිරීම පිලිබඳව අදාල සුපරීක්ෂ්භාවය ඉවත ලූ ගොර්බචෙව්, යටින් එන විප්ලවයට ඉඟි කලේ, පැන්ඩෝරා ගේ පෙට්ටගම ( ග‍්‍රීක ජනප‍්‍රවාදයකට අනුව සකල නස්පැත්තිය ම රඳවා තැබුනු ‘පේ‍්‍රත පෙට්ටිය’ ) ඇර දැමීමෙනි. ඔහු ව්‍යවසායන්ට සහ අනෙකුත් අයට විවිධ ක‍්‍රම මගින් රාජ්‍ය ලාභ උපරිම කර ගැනීමට පමනක් නොව, රජය සතු වත්කම් කොල්ලකෑමටත් ඉන් ලද ධනය රට පැටවීමටත් ඉඩ හැරියේය. මෙම කි‍්‍රයාවලිය තුලදී රතු අධ්‍යක්ෂකවරු රාජ්‍ය ගිවිසුම් හා වගකීම් නොතකා හැර කර්මාන්ත අතර සම්පාදන ගලනය කඩාකප්පල් කර, සෝවියට් සංගමයට කිසි දිනෙක ගොඩ ඒ ගත නොහැකි වූ හා රුසියාවට යාන්තමින් පමනක් හිස ඔසොවා ගත් හැකි වූ අවපාතයක් ඇති කලේ ය.’ (47 පි.)

යෙල්ට්සින් හා ඔහුගේ කම්පක චිකිත්සාව විසින් මහා කොල්ලය පැනනැංවූ යේ කෙසේ ද යන්න පිලිබඳව පසුව පැනනැගි උනුසුම් විවාද මැද්දේ සටහන් කරගත යුතු දෙය නම් කොල්ලය ඇරැඹුනේ ගොර්බචෙව්ගේ අධීක්ෂනය යටතේ ය යන්න යි. වෙලඳපොල කොමියුනිස්ට්වාදය පිලිබඳ කයිවාරුව, ජාතියේ වත්කම් කොල්ලකෑම කරා පරිවර්තනය කරන ලද්දේ ඔහුගේ දුෂ්ට නොතැකීම විසිනි.

මෙම කොල්ලයේ පරිමාව විශ්මය ජනක ය. එය සෝවියට් සංගමය බංකොලොත් කරමින් ඩොලර් බිලියන 6 ක ආධාරයක් පතා 1991 දෙසැම්බර් 06දා ජී-7 කන්ඩායමට ආයාචනා කිරීමට රුසියානු ජනාධිපති බොරිස් යෙල්ට්සින්ට බල කලා පමනක් නොවේ, 1990න් ඇරඹුනු කැටස්ට්‍රොයිකා (ව්‍යසනය නිර්මානය) යනුවෙන් උචිතව හඳුන්වනු ලබන, සමස්ත නිෂ්පාදනයේ නිර්බාධිත වැටීම අවුලුවා ලීය.

ආපසු හැරී බලන කල්හි, "සෝවියට් ආර්ථිකය බිඳ වැටුනේ 1953න් පසුව පැවති සැලසුම්ගත පාලිත ක‍්‍රමයේ මරනය කොහොමටත් නියමිතව තිබුනු නිසා නොවේ. එම ක‍්‍රමය විවිධ අංශවලින් අකාර්යක්ෂම, දූෂිත හා ගර්හාකටයුතු වුවත් සීඅයිඒ හා බොහෝ සෝවියට් විශේෂඥයින් ගේ නිගමනය වී තිබුනේ කලක් පවත්වා ගෙන යා හැකි එකක් ය කියා ය. එය විනාශ කරනු ලැබුවේ, ගොර්බචෙව් පුද්ගලික ජාවාරම්කරුවන්ට රාජ්‍ය ආදයම් කොල්ලකා, දේපල සොරකම් කර හිතු මතේ ම පෞද්ගලීකරනය කර ගෙන, තමන් ගසාකෑ ධනය ඒ වහාම විදේශ ගත කිරීම යන මේ සියල්ල මගින් නිෂ්පාදනය කඩාකප්පල් කිරීමට ඉඩහැර ඉවසා සිටීම පමනක් නොව ඊට හවුල් ද වීම නිසා ය. (49 පිටුව)

ගොර්බචෙව්ගේ කටයුතු පිලිබඳ රොසිෆීල්ඩ් හා හෙඩ්ලූන්ඩ්ගේ මැනීම නිරවද්‍ය වුව ද ඔවුන් ගේ විශ්ලේෂනය අති සරල ය. ගොර්බචෙව්ගේ ප‍්‍රතිපත්ති වටහාගත හැක්කේ, අති මූලික දේශපාලන හා සමාජ-ආර්ථික සාධක පිලිබඳ රාමුවක් තුල පමනි. ප‍්‍රථම හා වඩාත් වැදගත් කාරනය සෝවියට් ආර්ථිකයේ සැබෑ වෛෂයික අර්බුදය යි: එම අර්බුදය ස්ටැලින් හා බුකාරින් 1924දී "තනි රටක සමාජවාදය” පිලිබඳ වැඩපිලිවෙල හඳුන්වාදුන් තැන් පටන්, ගොර්බචෙව් බලයට පත් වීමට දසක ගනනාවකට පෙර පැනනැග, සෝවියට් නිලධාරි තන්ත‍්‍රය අනුගමනය කල ආර්ථික ස්වයංතාන්ත‍්‍රික ජාතිකවාදී පිලිවෙත්වල ප‍්‍රතිඝතිතා තුලින් වැඩී අවුත් තිබුනි. සෝවියට් ආර්ථිකයේ වේගවත් වර්ධනය හා ඉහල නගින සංකීර්නතා ලෝක ආර්ථිකයේ සම්පත් වෙත ප‍්‍රවිෂ්ටයක් ඉල්ලා සිටියේ ය: එවන් ප‍්‍රවිෂ්ටයක් සඳහා එක්කෝ, සමාජවාදී විප්ලවය දියුනු ධනපති රටවලට පැතිරවිය යුතු විය නැත හොත් ලෝක ධනවාදයේ ආර්ථික ව්‍යුහයතුලට සෝවියට් සංගමය ප‍්‍රතිවිප්ලවවාදී ලෙස ඒකාග‍්‍ර කල යුතු විය.

සෝවියට් ආර්ථිකයේ ප‍්‍රතිවිරෝධයන් විප්ලවවාදී ආකාරයකට විසඳීම, සිය වරප‍්‍රසාද ආරක්ෂාකර ගැනීමට කැපවූ හා කම්කරු පන්තිය කෙරෙහි මර බියෙන් පෙලුනු පරපුටු සමාජ කුලකයක් වූ සෝවියට් නිලධරයට, පරම වශයෙන්ම සිතීමට වත් හැකි දෙයක් නොවී ය. ඔවුන්ට සිතාගැනීමට හැකි වූ එකම මග වූයේ දෙවැන්න ය, එනම්, අධිරාජ්‍යවාදයට යටත් වීමයි. එපමනක් නොව, නිලධරයේ ප‍්‍රමුඛ කොටස්වලට සිය වරප‍්‍රසාද සදහට ම සුරක්ෂිත කර ගැනීම හා තම ධනය බෙහෙවින් ප‍්‍රසාරනය කර ගැනීම කරගත හැකි වූයේ දෙවැනි මග ඔස්සේ ය. වරප‍්‍රසාදිත කුලය මෙමගින් පාලක පන්තියක් බවට ප‍්‍රතිවර්තනය වනු ඇත. ගොර්බචෙව්, යෙල්ට්සින් හා ඔවුන්ගේ සගයින් ගේ දූෂනය, හුදෙක් මෙම තරයේම ප‍්‍රතිගාමී හා අතිශයින්ම විනාශකාරී විපාකය අත්කර ගැනීම සඳහා නිලධරය විසින් යොදා ගැනුනු අවශ්‍ය මාධ්‍යය පමනි.

සෝවියට් සංගමය විසුරුවා හැරීමට තෙමසකටත් අඩු කාලයකට පෙර, 1991 ඔක්තෝබර් 03දා, මම කියෙව්හි දේශනයක් පැවැත්වීමි. එහිදී ස්ටැලින්වාදී තන්ත‍්‍රය විසින් පුලුල් ලෙස පතල කරන ලද, ‘ධනවාදය පුනස්ථාපනය මගින් ජනතාවට ඉමහත් වාසි සලසනු ඇතැ’යි යන තර්කයට අභියෝග කරමින් මෙසේ පැවසීමි.

මේ රටේදී ධනවාදය පුනස්ථාපනය කල හැක්කේ, දැනට පවතින නිෂ්පාදන බලවේග හා ඒ මත පාදකව ඇති සමාජ-සංස්කෘතික ආයතන මහා පරිමානයෙන් විනාශ කිරීමේ පදනම මත පමනි. වෙනත් වචනවලින් කිවහොත්, සෝවියට් සංගමය ධනේශ්වර පදනමක ලෝක ධනේශ්වර ආර්ථිකයට ඒකාග‍්‍ර කිරීමෙන් ඇති වනු ඇත්තේ පසුගාමී ජාතික ආර්ථිකයේ හෙමිහිට සිදුවන වර්ධනයක් නොවේ, තුන්වන ලෝකයට වඩා දියුනු රටවල පවත්නා තත්වයට වඩාත් සමීප, අඩුම තරමින් කම්කරු පන්තියේ තිරසාර ජීවන තත්වයන් රැකී ඇති - (සෝවියට්) ආර්ථිකයේ වේගවත් විනාශයයි. ධනවාදී පුනස්ථාපනයේ නියමුවන් විසින් එලියට දමන ලද විවිධ ව්‍යාපෘතීන් විමසා බලන කල යමෙකුට, ඔවුන් ලෝක ධනවාදී ආර්ථිකයේ සැබෑ කි‍්‍රයාකාරිත්වය පිලිබඳව නොදැනීමෙන් හා මුග්ධත්වය අතින් ස්ටැලින් පරයන බව නිගමනය නොකර බැරි ය: මොවුන් සමාජ ඛේදවාචකයක් සඳහා පසුබිම සූදානම් කරමින් ස්ටැලින්ගේ තත්කාර්යවාදී හා ජාතිකවාදී ප‍්‍රතිපත්ති මගින් නිර්මානය කල අන්ධකාරය ම ගෙනෙනු ඇත. [The Fourth International, හතර වන ජාත්‍යන්තරය, (සිසිර - කලාපය, "සෝවියට් සංගමය සංධිස්ථානයක” ලිපිය 1992, වෙලුම 19, අංක 1. පි.109, අවධාරනය මුල් ලිපියේ]

හරියටම 20 වසරක් තරම් ඈතදී එනම් 1992 ජනවාරි 04දා වර්කර්ස් ලීගය, (ජාත්‍යන්තර කමිටුවේ ඇමරිකානු ශාඛාව) සෝවියට් සංගමය විසුරුවා හැරීමේ ඓතිහාසික, දේශපාලන හා සමාජ ඇඟවුම් සලකා බැලීම පිනිස පක්ෂයේ සාමාජික රැස්වීමක් ඩිට්‍රොයිට්හි දී පැවැත්වීය. බොහෝ වසර ගනනාවකට පසුව එම වාර්තාව යලි කියවා බැලීමේදී එය කාලයාගේ පරීක්ෂනයෙන් සමත්ව තිබූ බව මට වැටහේ. එය මෙසේ සඳහන් කලේය:

සෝවියට් සංගමය විසුරුවා හැරීම, "කම්කරු රාජ්‍යය නීති ප‍්‍රකාරව විසුරුවා හැර, ජාතික ආර්ථිකයේ ඉතිරිව තිබෙන දේ ද ඔක්තෝබර් විප්ලවය මගින් බිහිකල සැලසුම් ක‍්‍රමය ද විනාශ කිරීමට විවෘතව හා අත්‍යන්තයෙන්ම කැපවූ පාලන තන්ත‍්‍ර ආදේශ කිරීමක් නියෝජනය කරයි. ස්වාධීන රාජ්‍යයන්ගේ සංගමය හෙවත් සීඅයිඑස් හෝ එයට ඇතුලත් ස්වාධීන සමූහාන්ඩු, තවදුරටත් කම්කරු රාජ්‍යයන් ලෙස නිර්වචනය කිරීම, කම්කරු රාජ්‍ය යන නිර්වචනය පූර්ව කාලපරිච්ඡේදයේ දී දරුවා වූ සංයුක්ත අන්තර්ගතයෙන් මුලුමනින්ම වියෝ කර දැමීමකි.” [ඩේවිඩ් නෝර්ත්, The End of the USSR සෝවියට් සංගමයේ අවසානය, (ලේබර් පබ්ලිකේෂන්ස්, 1992, පි.6 )]

වාර්තාව තවදුරටත් මෙසේ සඳහන් කලේය:

විප්ලවවාදී පක්ෂයක් යථාර්තයට මුහුන දිය යුතු අතර එය කුමක් දැයි නම් කල යුතුය. සෝවියට් කම්කරු පන්තිය බරපතල පරාජයක් අත්විඳ තිබේ. කම්කරු පන්තිය විසින් නිලධරය ඉවත් කිරීමට පෙරාතුව නිලධරය කම්කරු රාජ්‍යය බිඳ දැමීය. මෙම කාරනය අමිහිරි බව සැබැවි: එහෙත් එය හතරවන ජාත්‍යන්තරය - පිහිටවූ 1938 පටන් ම - දරා සිටි ඉදිරි දර්ශනය නිෂ්ප‍්‍රභා කරන්නේ නැත. අප ව්‍යාපාරය නැවත නැවතත් කියා තිබුනේ කම්කරු පන්තිය නිලධරය විනාශ කිරීමට අසමත් වුවහොත්, සෝවියට් සංගමය ගල් පරයක වැදුනු නැවක් සේ ගිලා බසිනු ඇති බවයි. දේශපාලන විප්ලවයේ අවශ්‍යතාවය ට්‍රොට්ස්කි නීර්නය කලේ, නිලධරයේ ඒ හෝ මේ නපුරුකම්වලට එරෙහිව කිසියම් පමන ඉක්මන් ප‍්‍රතිචාරයක් හැටිය ට නොවේ. ඔහු දේශපාලන විප්ලවය අවශ්‍ය යයි කියාසිටියේ, සෝවියට් සංගමය කම්කරු රාජ්‍යයක් ලෙස අධිරාජ්‍යවාදයට එරෙහිව ආරක්ෂා කරගත හැක්කේ ඒ ආකාරයෙන් පමනක් නිසා ය.” [පි. 6]

සෝවියට් කම්කරු පන්තිය සෝවියට් සංගමය විසුරුවා හැරීමට විරුද්ධව නැගී සිටීමට අසමත් වූයේ මන් ද යන කාරනය පැහැදිලි කිරීමට මම උත්සාහ කලෙමි. නාසි ආක‍්‍රමනයේ භීෂනයෙන් පවා ගැලවී ගත් සෝවියට් සංගමය විනාශ කිරීමට, "සෝවියට් සමාජයේ කසලයන් ගේ ඕනෑ එපාකම් වෙනුවෙන් කටයුතු කල කාලකන්නි සුලු මැර කන්ඩායමකට හැකියාව ලැබුනේ කෙසේ ද?” මෙම ප‍්‍රශ්නයට මම පහත දැක්වෙන පරිදි පිලිතුරු සැපයීමි:

ස්ටැලින්වාදී තන්ත‍්‍රය විසින් සෝවියට් සංගමය තුල දැවැන්ත පරිමාවකින් විප්ලවවාදී කේඩරය විනාශ කිරීමේ ඇඟවුම් අවධාරනය කරමින් අපි මෙම ප‍්‍රශ්නවලට පිලිතුරු දිය යුතුය. එම විප්ලවය සවිඥානකව සූදානම් කර මෙහෙයවූ විප්ලවවාදී සම්ප‍්‍රදාය නියෝජනය කල සෑම මිනිසෙක් ම පාහේ වනසා දමනු ලැබීය. විප්ලවයේ දේශපාලන නායකයින් පමනක් නොව සෝවියට් රාජ්‍යයේ මුල් වසරවල විකසිත වූ බුද්ධිමතුන් අතර අතිශයින්ම නිර්මානශීලී නියෝජිතයින් ද එක්කෝ මරා දමනු ලැබූහ, නැත්නම් ත‍්‍රස්ත කර නිහඬ කර දැමුනාහ.

තවදුරටත් අපි, කම්කරු පන්තිය රාජ්‍ය දේපල වෙතින් මුලුමනින්ම පාහේ වියෝ වීමේ කාරනය ද පෙන්වා දිය යුතුය. ට්‍රොට්ස්කි සටහන්කර තිබුනු ආකාරයට දේපල අයත්වූයේ රාජ්‍යයට ය. එහෙත් රාජ්‍යය "අයිතිව” තිබුනේ නිලධරයට ය. න්‍යායික ආස්ථානයකින් වැදගත් වන රාජ්‍ය දේපොල හා ධනපති දේපොල අතර මූලික වෙනස, මෙම තතු තුල ප‍්‍රායෝගික ආස්ථානයෙන් ගත් කල එන්ට එන්ටම අදාල නොවන තැනට පත්විය. වචනයේ විද්‍යාත්මක අර්ථයෙන් ගත් කල්හි ධනේශ්වර සූරාකෑම තවමත් සෝවියට් සංගමය තුල නොපැවති බව සත්‍යයක් වුවත්, කම්හල්වල, පතල්වල හා අනෙකුත් සේවා ස්ථානවල දෛනික ජීවිතයේ කොන්දේසි, ඕනෑම දියුනු රටක දක්නට ලැබුනු තත්වයක හෝ බොහෝ විට ඊටත් වඩා නරක කාලකන්නි තත්වයක පැවතුනේය යන කාරනය ඒ නිසා අවලංගු වන්නේ නැත.

අවසාන වශයෙන් අපි ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරයේ දිග් ගැස්සුනු දිරාපත්වීමේ විපාක සලකා බැලිය යුතුය...

විශේෂයෙන් ම පසුගිය දශකයක කාලය තුල, ලෝකයේ කොතැනක හෝ ධනපති ප‍්‍රහාරයකට කම්කරු පන්තිය වෙතින් පලවූ කි‍්‍රයාශීලී ප‍්‍රතිරෝධයේ බිඳ වැටීම, සෝවියට් කම්කරුවන් කෙරෙහි දිරිසුන් කරන බලපෑමක් ඇති කලේ ය. ධනවාදය "අපරාජිත භාවයේ” ප‍්‍රභාවයක් අත්කරගත් නමුත් මෙම ප‍්‍රභාවය, ලෝකය පුරා, සෑම අවස්ථාවක දී ම කම්කරු පන්තිය පාවාදී ධනේශ්වරයට යටත් වූ, කම්කරු නිලධරයෙහි කොන්ද පනනැතිකමේ හුදු මායාකාරී පිලිබිඹුවක් විය. මෙම තතු තුල සෝවියට් කම්කරුවන් ට දැක ගන්නට ලැබුනේ ප‍්‍රාග්ධනයේ ප‍්‍රහාරයට එරෙහිව කම්කරු පන්තික කොටස්වල දැඩි ප‍්‍රතිරෝධයක් දැක්වූ සැටි නොව, පරාජයන් හා ඒවායේ විපාකයන් ය. [පි. 13-14]

වාර්තාව, පාලක නිලධරය විසින් සෝවියට් සංගමය විනාශ කිරීම, පුලුල් ජාත්‍යන්තර ප‍්‍රපංචයකට සම්බන්ධ කලේය. සෝවියට් සංගමය බිඳ දැමීම, එක්සත් ජනපදය තුල පාර්ශවීය ව හෝ කම්කරු පන්තියේ ආරක්ෂක උපකරන ලෙස පැවති වෘත්තීය සමිති විනාශ කිරීම තුල සම රූපී ප‍්‍රකාශනයක් අත්කරගති.

දියුනු රටවල් ද ඇතුලු ලෝකයේ අස්සක් මුල්ලක් නෑර කම්කරුවෝ තමන්ගේම පක්ෂ හා තමන්ගේම වෘත්තීය සමිති කම්කරු පන්තිය ක‍්‍රමානුකූලව දුගී භාවයටත් පාතාලයටත් ඇද දැමීමේ කර්තව්‍යයට සම්බන්ධවී සිටින ආකාරය අත්දකිමින් සිටිති. [පි. 22]

අවසාන වශයෙන්, වාර්තාව සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් සලකුනු කරන්නේ ප‍්‍රගතිශීලී ධනේශ්වර සංවර්ධනයේ නව අවධියක්ය යන කුමන මතියක් වුව ප‍්‍රතික්ෂේප කලේය.

දශ ලක්ෂ සංඛ්‍යාත ජනතාව, අධිරාජ්‍යවාදය සැබෑ සැටි දැකගැනීමට පටන් ගන්නවා ඇත. ප‍්‍රජාතන්ත‍්‍රවාදී වෙස්මූන ඉරා දැමීම අනිවාර්යයෙන් ම සිදුවනු ඇත. අධිරාජ්‍යවාදය සාමය සමග ගැලපෙන්නේය යන අදහස හෙලිදරව් වීමට අනිවාර්ය ය. අතීතයේ දී ජනතාවන් විප්ලවවාදී අරගල තුලට තල්ලු කල එම මූලික අංග ලක්ෂන ම යලි ඉස්මත්තට එනු ඇත. රුසියාවේ හා යුක්‍රේනයේ කම්කරුවන් තමන් විප්ලවයක් සිදුකලේ ම ඇයිදැයි කල්පනා කිරීමට ඇරඹීම ද අනිවාර්ය ය. ඇමරිකානු කම්කරුවන්, තමන් පෙර කල මහා සමාගම්වලට එරෙහිව දැවැන්තම අරගලයන්ට සම්බන්ධ වූයේ මන්දැයි විමසා බලනු ඇත. යුරෝපයේ කම්කරුවන්, තමන්ගේ මහාද්වීපය සමාජවාදයේ හා කාල් මාර්ක්ස්ගේ නිජ බිම වූයේ මන්දැයි කල්පනා කරනු ඇත. [පි. 25]

සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසු අවධිය: "ආර්ථික අර්බුදයේත්, සමාජ ජරපත් වීමේත්, දේශපාලන ප‍්‍රතිගාමිත්වයේත් විසි වසර”

ලිබරල් න්‍යායට අනුව නම් සෝවියට් සංගමය විසුරුවා හැරීම, ප‍්‍රජාතන්ත‍්‍රයේ නව මල්පල ගැන්වීමක් ඇතිකල යුතුව තිබුනි. සත්තකින්ම එවැන්නක් පැරනි සෝවියට් සංගමය තුල වේවා එක්සත් ජනපදය තුල වේවා කිසිසේත් ම සිදුව ඇත්තේ නැත. තව ද, සෝවියට් සංගමය බිඳී යාම හෙවත් කොමියුනිස්ට්වාදයේ ඊනියා පරාජය, ජාත්‍යන්තර කම්කරු ව්‍යාපාරය තුල එහි අශමනීය සතුරන් වන සමාජ ප‍්‍රජාතන්ත‍්‍ර, ප‍්‍රතිසංස්කරනවාදී වෘත්තීය සමිති හා දේශපාලන පක්ෂවල ජයග‍්‍රාහී පුනර්ජීවයක් ඇතිකලේ ද නැත. සිදුවූයේ එහි ප‍්‍රතිපක්ෂය යි. සෝවියට් සංගමය බිඳී යාමෙන් ඉක්බිති මුලු කාලය පුරාම කොමියුනිස්ට්වාදයේ පරාජය සිය මූලික එල්ලය බවට පත්කරගත් එක්සත් ජනපදයේ වෘත්තීය සමිති ව්‍යාපාරය මුලුමනින්ම පාහේ බිඳවැටී ඇත. සෝවියට් සංගමය බිඳ වැටීමෙන් ඉක්බිතිව ගෙවීගිය දශක දෙකක කාලය තුල, ඒඑෆ්එල්-සීඅයි ඕ සමිති සංවිධානය සිය සාමාජිකත්වයෙන් සැලකිය යුතු කොටසක ට අහිමිව, තරයේ බෙලහීන මට්ටමක ට දියවී ගොස් සමාජීයව පිලිගත හැකි කිසිදු අර්ථයකින් කම්කරු සංවිධානයක් ලෙස පැවැත්ම හමාර කරගත් තැනට පත්ව තිබේ. ඒ සමග ම, රාජ්‍යය ප‍්‍රතිපත්ති හැඩ ගැස්වීමෙහිලා තමන් සතු බලපෑම ද තම ශ‍්‍රමයෙන් නිර්මානය කරන අතිරික්ත වටිනාකමේ තමන්ගේ ම පංගුව වැඩිකරගැනීමේ හැකියාව ද වශයෙන් ගත් කල, ලෝකයේ සැම තැනකම කම්කරු පන්තියේ සමාජ තත්වය යසරඟ ට පිරිහී ඇත.

නිශ්චිත වැදගත්කමක් දරන නිගමන මෙම කාරනයෙන් ගලා එයි. ප‍්‍රථම කොට, සෝවියට් සංගමයේ බිඳ වැටීම, කියනු ලබන පරිදි මාක්ස්වාදයේ හා සමාජවාදයේ අසාර්ථකත්වයෙන් ගලා ආවා නොවේ. ප‍්‍රශ්නය එය වූයේ නම්, ප‍්‍රති මාක්ස්වාදී හා සමාජවාද විරෝධී කම්කරු සංවිධාන ලොව පශ්චාත් සෝවියට් සමය තුල සාර්ථකත්වයක් ඇති කරගත යුතුව තිබේ. මෙම සංවිධාන සියල්ල ලත් නින්දිත අසාර්ථකත්වය "කොමියුනිස්ට්” මෙන්ම "ප‍්‍රතිකොමියුනිස්ට්” යන ඊනියා කම්කරු සංවිධාන සියල්ලේම කි‍්‍රයාමාර්ගයෙහි මෙන්ම දිශාවනතියේ ද සමාන ස්වභාවය හාරා ඇවිස්සීමට බල කරයි. මෙම සියලු සංවිධානයන්හි දේශපාලන ජානයන්ට පොදු වූ මූලය කුමක් ද? පිලිතුර වන්නේ, කුමන නම් දැරුවත් ප‍්‍රතිවිරුද්ධ දේශපාලන ප‍්‍රතිසංධාන හා නොගැඹුරු දෘෂ්ටිමය වෙනස්කම් නොතකා, පශ්චාත් දෙවන ලෝක සංග‍්‍රාම අවධියේ විශාල කම්කරු සංවිධාන අනුගමනය කල අවශ්‍යයෙන්ම ජාතිකවාදී වූ ප‍්‍රතිපත්තීන්ය යන්නයි. ඔවුහු, කම්කරු පන්තියේ ඉරනම ඒ හෝ මේ ජාතික රාජ්‍යයට ගැට ගැසූහ. මෙම තත්වය, ලෝක ආර්ථිකයේ වැඩි වැඩියෙන් සිදුවූ ඒකාග‍්‍රකරනයට ප‍්‍රතිචාර දැක්වීමෙහිලා ඔවුන් අපොහොසත් කලේය. අන්තර්ජාතික සංගතයන් මතුවී ඒම සමග අත්වැල් බැඳගත් සංසිද්ධියක් වූ ධනේශ්වර ගෝලීයකරනය විසින්, ජාතිකවාදී කි‍්‍රයාමාර්ගයක් මත පදනම් වූ සියලු කම්කරු සංවිධාන කුඩුපට්ටම් කර දමනු ලැබී ය.

ජාත්‍යන්තර කම්කරු පන්තියේ තත්වයන් වැඩි දියුනු වීම, ඒ හෝ මේ පමනකින් හෝ සෝවියට් සංගමයේ පැවැත්ම හා බැඳී තිබුනේය යන්න දෙවැනි නිගමනය විය. ස්ටැලින්වාදී නිලධරයේ ද්‍රෝහිත්වය හා අපරාධයන් තිබුනේ වුව ද සමාජවාදී විප්ලවයේ පදනම මත නැගී ආ සෝවියට් සංගමයේ පැවැත්ම, ඇමරිකානු හා යුරෝපීය අධිරාජ්‍යවාදය මත නිශ්චිත දේශපාලන හා සමාජ සීමා පැටවීය. නිර්බාධිත අධිරාජ්‍යවාදී මිලිටරිවාදය, ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය හා ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රයේ ම අත්‍යවශ්‍ය මූලධර්ම ඉවත ලීම මගින් සංලක්ෂිත පසුගිය දශක දෙකේ දේශපාලන වාතාවරනය, සෝවියට් සංගමය විසුරුවා හැරීමේ සෘජු ප‍්‍රතිපලය විය.

සෝවියට් සංගමය බිඳ වැටීම එරට හිටපු පුරවැසියන්ගෙන් අති මහත් ජනකායට අනූන ව්‍යසනයක් බවට පත්විය. ඔක්තෝබර් විප්ලවයෙන් ඉක්බිත්තෙහි පිහිටුවන ලද නව දේපොල සබඳතාවෝ, ස්ටැලින්වාදී තන්ත‍්‍රයේ සියලු දේශපාලන අපරාධයන් මැද්දේ වුව, පසුගාමී රුසියාවට ඔක්තෝබර් විප්ලවයෙන් විසි වසරකට පසුව අසාමාන්‍ය සමාජ පරිවර්තනයක් අත්කර ගත හැකි කල හ. සෝවියට් සංගමය නාසි ජර්මනිය සමග පැවති සිව් වසරක යුද්ධය මගින් පැටවුනු බිහිසුනු අලාභ හානි දරාගෙන ම යුද්ධාවසානයෙන් විසි වසරකට පසු සිය ආර්ථිකයේ ආශ්චර්යමත් වර්ධනයක් අත්කර ගැනීමට සමත් වූවා පමනක් නොව, විද්‍යාවේ හා සංස්කෘතියේ මුලු ලෝකයම විශ්මයට පත් කරන වර්ධනයක් ඇති කලේය.

එහෙත් පශ්චාත් සෝවියට් අත්දැකීම පිලිබඳව රුසියානු ජනතාවගේ තීන්දුව කුමක් ද? පලමු ව හා සියල්ලටත් වඩා, සෝවියට් සංගමය විසුරුවා හැරීම ජනගහන ව්‍යසනයක් මුදා හලේය. සෝවියට් සංගමය බිඳ දැමීමෙන් දස වසරක් ඉක්ම යද්දී, රුසියානු ජනගහනය වසරකට 750,000 බැගින් හැකිලී ගියේ ය. වාර්ෂික උපත් සංඛ්‍යාව 1983 හා 2001 අතර හරි අඩකින් පහත වැටුනි. රුසියාවේ ගැබිනි කාන්තාවන්ගෙන් සියයට 75ක් ම සිය නූපන් දරුවාට අන්තරායකාරී වන කිසියම් වර්ගයක රෝගයකින් පෙලුනි. සෞඛ්‍ය සම්පන්නව උපත ලැබුවේ ලදරුවන්ගෙන් හතරෙන් එකක් පමනි.

ධනවාදය පුනස්ථාපනය කිරීමෙන් පසුව රුසියාවේ සමස්ත සෞඛ්‍ය තත්වය නාටකීය ව පිරිහී ඇත. බේබදුකම, හෘද රෝග, පිලිකා හා ලිංගාශි‍්‍රත රෝග සිත් සසල කරන පරිද්දෙන් වැඩිවී ඇත. මේ සියල්ල සිදුවූයේ පැරනි සෝවියට් සංගමය ආර්ථිකයෙහි ඇතිවූ විනාශකාරී කඩා වැටීම තුල ජනතාවගේ දුප්පත්කම භයංකර ලෙස වැඞී යන තතු හමුවේය.

ප‍්‍රජාතන්ත‍්‍රය සම්බන්ධයෙන් ගතහොත් පශ්චාත් සෝවියට් පර්යාය තහවුරු කරන ලද්දේ ජන සංහාරයක පදනම මතය. වසර 70කටත් පෙර 1918 ජනවාරියේ දී බොල්ශෙවික් අධිකාරය විසින් එකම ජීවිතයක් හෝ නැති නොකට සිදු කරන ලද ව්‍යවස්ථාදායක සභාව විසුරුවා හැරීම, අමතක කල නොහැකි හා සමාව දිය නොහැකි ප‍්‍රජාතන්ත‍්‍ර මූලධර්ම උල්ලංඝනයක් ලෙස (ධනපති ප‍්‍රචාරකයන් විසින්) තප්පු ගසන ලදී. එහෙත් 1993දී මහජන ඡන්දයෙන් තෝරා පත්කරගත් පාර්ලිමේන්තුවේ බහුතරයක ජීවිත අහිමි කරමින් මොස්කව් නගර මධ්‍යයේ පිහිටි රුසියානු පාර්ලිමේන්තුවේ ධවල මන්දිර පරිශ‍්‍රයට බෝම්බ හෙලීමට යෙල්ට්සින් නියෝග කලේය. මෙම මිලිටරි ප‍්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 2,000ක් තරම් යයි ගනන් බලා ඇත. මෙම සංහාරය මගින් යෙල්ට්සින් තන්ත‍්‍රය මිලිටරිය හා ආරක්ෂක හමුදා මත පදනම් වූ ආඥදායකත්වයක් බවට තත්වය පරිවර්තනය විය. පුටින්-මෙඩ්විඩෙව් තන්ත‍්‍රය ද එම ආඥාදායක මාවත ම ගෙන ඇත. ක්ලින්ටන් පාලනය, රුසියානු ධවල මන්දිරයට එල්ල කල ප‍්‍රහාරයට සහයෝගය දැක්වීය. (බොල්ශෙවික් පාලනය විසින්) ව්‍යවස්ථාදායක සභාව විසුරුවා හැරීම ගැන මොර දෙන ලද නමුත් 1993 රුසියානු පාර්ලිමේන්තුවට බෝම්බ හෙලීමේ සිද්ධිය මුලුමනින් ම වාගේ අමතක කරනු ලැබුනි.

පශ්චාත් සෝවියට් සංස්කෘතිය පිලිබඳව කීමට ඇත්තේ කුමක් ද? ඕනෑම අවස්ථාවක සිදුවන පරිදි බැරෑරුම් කර්තව්‍යයන් ඉටුකිරීම සඳහා සිය මුලු වෙර යොදන මිනිස්සු නැත්තේ නොවේ. එහෙත් පොදු චිත‍්‍රය මහා පාලුවකි. සෝවියට් සංගමය බිඳ දැමීම තුලින් පැනනැග නූතන රුසියානු සංස්කෘතිය හෝ ඉන් ඉතිරිව ඇති දේ නිර්වචනය කිරීමට ඇත්තේ, "මාෆියාව” ජාවාරම් කාරයා” සහ "කතිපයාධිකාරයා” වැනි වචන ය.

රුසියාව තුල සිදුව ඇති දේ, සියලු ධනේශ්වර රටවල දී දක්නට ලැබෙන සමාජ හා සංස්කෘතික සෝදාපාලුවේ ආන්තික ප‍්‍රකාශනය පමනකි. රුසියාව තුල සකසා ගෙන තිබුන ආර්ථික ක‍්‍රමය, බි‍්‍රතාන්‍යයේ හෝ එක්සත් ජනපදයේ පවතින තත්වයට වඩා දූෂිත යයි නිශ්චිතව කිව හැකි ද? රුසියානු කතිපයාධිකාරීන් යොදාගන්නා විධික‍්‍රම සමහර විට වඩාත් ග‍්‍රාම්‍ය හා ගොරහැඩි විය හැකිය. කෙසේ වුවත්, ඔවුන්ගේ කොල්ලයේ ක‍්‍රමෝපායන් ඇමරිකානු මූල්‍ය ක්ෂේත‍්‍රයේ මුදුන්වල ඉන්න ඔවුන්ගේ සමාන්ගිකයන් යොදාගන්නා ක‍්‍රමවේදයන් තරම් කාර්යක්ෂම නොවේ දැයි විශ්වසනීය තර්කයක් ඉදිරිපත් කල හැකි ය. මොනවා වුනත් 2008 සිසිර සෘතුවෙහි එක්සත් ජනපදයේ ද මුලු භූ තලයේ ද ආර්ථිකය කඩාවැටීමේ අද්දරට ගෙන ආ සමපේක්ෂනයේ යෙදුනු ඇමරිකානු මූල්‍ය කතිපයාධිකාරයෝ දින ගනනක් ඇතුලත තමන්ගේ අලාභවල සියලු බර ජනතාව මත පැටවීමට යටිනූල් ඇදීමට සමත් වූහ.

1991 අවසානයේ සෝවියට් සංගමය විසුරුවා හැරීම, බෝල්කන් ප‍්‍රදේශයන්හි ද මැද පෙරදිග හා මධ්‍යම ආසියාවේ ද ඇමරිකානු බලය පාවිච්චි කිරීම සඳහා නිමක් නැති අවස්ථා, විවෘත කර දුන් බව නිසැක ය. එහෙත් ඇමරිකානු මිලිටරිවාදයේ පුපුරායාම, අවසාන විග‍්‍රහයේදී වඩාත් ප‍්‍රගාඪ හා ඓතිහාසිකව වැදගත් ප‍්‍රවනතාවක් වූ, ඇමරිකානු ධනවාදයේ තත්වය දිගු කාලීනව පරිහානිගත වීමෙහි ප‍්‍රකාශනයයි. ඇමරිකානු ධනවාදයේ පරිහානිය සෝවියට් සංගමය බිඳ වැටීම හේතු කොට ගෙන ආපසු හැරුනේ නැත. පසුගිය දශක දෙකක කාලය තුල ඇමරිකානු ධනවාදයේ ඉතිහාසය දිරාපත්වීමේ ඉතිහාසයකි. ආර්ථික ප‍්‍රසාරනයේ කෙටි අවධීන් පදනම්ව තිබුනේ අනවධානය හා කල් ඇල්ලිය නො හැකි සමපේක්ෂනය මතය. 1990 ගනන්වල ‘ක්ලින්ටන් උත්පාතය’ට තෙල් දැමුනේ, ඊනියා ඩොට් කොම් බුබුල යනුවෙන් හැඳින්වූනු වෝල් වීදියෙහි "අතාර්කික පී‍්‍රත්‍යොන්මාදය” මගිනි. එන් රොන් සමාගම දිදුලන සංකේතය බවට පත්ව තිබූ දශකයේ දී ශ්‍රේෂ්ඨ ව්‍යාපාරික සුරුවම්වලට තරයේ ම සාපරාධී කි‍්‍රයාන්විතයන් පදනම කොට ගෙන විශ්මය ජනක ඇගයුම් ලබාදෙන ලදී . ඒ සියල්ල 2000-2001 අතර බිඳ වැටුනි. පසුව ආ පන ගැස්සීමට තෙල් වැටුනේ නිවාස ජාවාරමේ උන්මත්තක සමපේක්ෂනය මගිනි. අවසාන වශයෙන් 2008දී එය ද බිඳ වැටුනු අතර, අන්තිමේ දී 2008 බිඳවැටීම එලඹුනු අතර මොනම සුවවීමකට හෝ ඉඩක් ඉතුරු නොවීය.

සෝවියට් සංගමය බිඳවැටීම හා ඇමරිකානු ධනවාදයේ දිග්ගැස්සුනු පරිහානිය යන මේ දෙක ම, නිෂ්පාදන මාධ්‍යයන්ගේ පෞද්ගලික අයිතියේ පදනම මත හා ජාතික රාජ්‍ය පද්ධතියේ ආකෘතිය තුල මානව වර්ගයාගේ යෝධ නිෂ්පාදන බලවේගයන් තවදුර ප‍්‍රවර්ධනය කිරීම සිදුකල නො හැකි බව විසින් ජනනය කෙරෙන ගෝලීය අර්බුදයක අන්තර් සම්බන්ධිත සිදුවීම් බව ඉතිහාසඥයින් විසින් වටහා ගනු ලැබ ඇත්තේ, ඔවුන් වත්මන් බුද්ධිමය මූර්ඡාවෙන් මිදෙන්නට පටන් ගන්නා කල්හි ය.

ජාත්‍යන්තර කමිටුව හා ලෝක සමාජවාදී විප්ලවයේ ඉදිරිදර්ශනය

දේශපාලන ප‍්‍රතිගාමිත්වයේ අවධීන් තුල, සමාජ චින්තනයේ මට්ටම ශීඝ‍්‍රයෙන් ඇදවැටේ, මූලධර්ම පොදුවේ පිලිකෙව් කිරීමක් සිදුවෙයි. දේශපාලන මාරුතයන්ගේ මාරුවෙන් ව්‍යාකූල හා අවමංගතවන බුද්ධිමතුන් ක‍්‍රමානුකූල චින්තනය පමනක් නොව, තාර්කික චින්තනය පවා අහෝසි කරගන්නා බවක් පෙනී යයි. ඔවුහු නිල ‘මහජන මතය’ට අනුගතවීම සහ එහි ප‍්‍රසාදයට පාත‍්‍ර වීම උදෙසා සාකල්‍යයෙන් ම මෙන් අතෘප්තිකර ආශාවකින් පෙලෙති. මෙම නිර්ලජ්ජිත ප‍්‍රවනතා, අනුගතවීම මූල්‍යමය වශයෙන් වාසිදායක බවත් විසංමතිය උදෙසා විශාල වන්දියක් ගෙවීමට සිදුවනු බවත් වටහා ගැනීමෙන් තවත් දිරි ගනිති.

සෝවියට් සංගමය බිඳ වැටීමත් සමග වාම බුද්ධිමත්තු සාර්වති‍්‍රකව පාහේ මාක්ස්වාදය හා ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනය ප‍්‍රතික්ෂේප කලෝ ය. ඔවුහු මාක්ස්වාදය සමග තමන්ගේ ම අතීත සහවාසය ප‍්‍රතික්ෂේප කරන ගමන් ම විසිවන සියවසේ විප්ලවවාදී නැගිටීම් භයානක වැරැද්දක් ලෙස විහිලුවට ලක් කිරීමට තදියම් වූහ. බි‍්‍රතාන්‍ය කොමියුනිස්ට් පක්ෂයේ දිගුකාලීන සාමාජිකයෙක් හා ස්ටැලින්වාදයේ ක්ෂමාලාපකයෙක් වූ මහාචාර්ය එරික් හොබ්ස්බෝම්, කියන පරිදි 1991 සෝවියට් සංගමය විසුරුවා හැරීම, 1914 ආරම්භ වූ, "ලඝු සියවස” සමාපත කර තිබේ. "ලඝු විසිවන සියවස” පිලිබඳ මෙම සංකල්පය සාරය වශයෙන් ගත් කල්හි, ෆුකුයාමාගේ "ඉතිහාසයේ අවසානයේ” ප‍්‍රතිරාවයකි. මේ අනුව දැන් යුද්ධ සහ විප්ලව පිලිබඳ කලකෝලාහල නිමාවකට පත්ව ඇත. ඕනෑම කෙනෙකුට ස්වයං - තෘප්ත ලිබරල් වාදියෙකු විය හැකිය.

මෙසේ ඉතිහාසය සංශෝධනය කිරීම වනාහී ප‍්‍රති - ද්‍රව්‍යවාදී දාර්ශනික අතාර්කිකත්වය පිලිබඳ, පශ්චාත් නූතනවාදයේ හා ඊට සම්බන්ධ ගුරුකුලයන්හි ආධිපත්‍යය සමග බැඳුනු, බුද්ධිමය ප‍්‍රතිගාමිත්වයේ පුලුල් කි‍්‍රයාවලියක කොටසක් විය. දිරිය බිඳීම බොහෝ ශාස්ත‍්‍රාලිකයින් හා බුද්ධිමතුන් මාක්ස්වාදය ප‍්‍රතික්ෂේප කල පශ්චාත් සෝවියට් ප‍්‍රවනතාවය තුල නිශ්චිත කි‍්‍රයාකලාපයක් ඉටුකල බව සත්‍ය ය. නමුත් දේශපාලන පරාජයන් හමුවේ බුද්ධිමය බිඳ වැටීම ප‍්‍රකාශ කලේ හුදෙක් පෞද්ගලික ධෛර්යය භංගය පමනක් නොවේ. වඩාත් ප‍්‍රගාඪ මට්ටමක දී මාක්ස්වාදය ප‍්‍රතික්ෂේප කිරීම, සමාජ විභේදනයේ වෛෂයික සන්තතියක පිලිබිඹුවක් විය. බුද්ධිමතුන් බිහිව ආ හා ඔවුන් නියෝජනය කල - මධ්‍යම පන්තියේ වඩාත් සමෘධිමත් සමාජ ස්ථරය එන්ට එන්ටම කම්කරු පන්තියෙන් හුදෙකලා විය. මාක්ස්වාදයෙන් හා සමාජවාදයෙන් බිඳී වෙන්වීමේ දී, බුද්ධිමත්තු පාලක පැලැන්තිය සමග ඔවුන්ට පැවති පොදු ආසක්ත හා ද්‍රව්‍යමය සම්බන්ධතා පිලිබිඹු කලෝ ය. එක්සත් ජනපදය තුල මෙන්ම ජාත්‍යන්තරව ද නානාවිධ "වාම” ප‍්‍රවනතා ධනේශ්වර දේශපාලන ව්‍යූහය තුලට දේශපාලනිකව ඒකාග‍්‍ර කිරීමෙහි ලා අත්‍යවශ්‍ය පදනම වුයේ මෙයයි.

ජාත්‍යන්තර කමිටුව සිය ඉදිරි වර්ධනය අත්පත්කර ගත්තේ මෙම සියලු පරාගාමී සමාජ, දේශපාලන හා බුද්ධිමය ප‍්‍රවනතාවන්ට එරෙහි අරගලයේ කි‍්‍රයාවලියක් තුලින් ය. සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් ඉක්බිත්තෙහි, යටත් වූ සියලු ප‍්‍රවනතාවන්ට එරෙහිව ජාත්‍යන්තර කමිටුව සටන් වැදුනි. එය අහම්බයක් නොවීය. එය 1982 තරම් ඈතට දිවයන, වසර දහයක් (1982-1992) පුරා, කම්කරු විප්ලවවාදී පක්ෂයේ දේශපාලන යටත්වීමට එරෙහිව ගෙනගිය අරගලයේ ඵලය විය. ඉතිහාසය තුලට ගැඹුරින් එබී බැලීමේ දී, කම්කරු විප්ලවවාදී පක්ෂයට එරෙහි සටන වර්ධනය කලේ, ඊට පූර්ව දශකයේ දී සමාජවාදී සමානතා පක්ෂයේ පූර්වගාමියා වූ වර්කර්ස් ලීගය තුල ටිම් වුල්ෆර්ත්ගේ ද සමාජවාදී කම්කරු පක්ෂයේ (එස්ඩබ්ලිව්පී) ජෝසෆ් හැන්සන්ගේ ද අවස්ථාවාදයට එරෙහි අරගලය තුලින් ය. ජාත්‍යන්තර කමිටුව හා එහි ට්‍රොට්ස්කිවාදී උරුමය අතර බැම්ම අලුත් කල අරගලයේ එම දිගු ඉතිහාසය, වර්ධනය වන ගෝලීය අර්බුදයේ ප‍්‍රමුඛ අංග නිවැරදිව විශ්ලේෂනය කලා වූ ද සෝවියට් සංගමය බිඳවැටීම මගින් මුදාහරින ලද දැවැන්ත වෙනස්කම්වලට මුහුන දීම පිනිස ව්‍යාපාරය සූදානම් කලා වූ ද ලෝක විප්ලවවාදී ඉදිරිදර්ශනයක් විස්තාරනය කිරීම සඳහා ජාත්‍යන්තර කමිටුවට හැකියාව ගෙන දුන්නේය.

පසුගිය විසි වසර පුරා ජාත්‍යන්තර කමිටුවේ විකාශනය විභාග කිරීමේ දී එහි අභිවර්ධනයේ සමහර මූලික ‘මොහොත්’ අවධාරනය කල යුතුය.

(1) 1992 මාර්තුවේ සිය 12වන සමුලුවේ දී ජාත්‍යන්තර කමිටුව කම්කරු පන්තිය තුල ජාත්‍යන්තර සමාජවාදී සංස්කෘතියක් ගොඩනැගීමේ සුවිශේෂ හා ඉහල විඥානයකින් යුත් අරගලයක වැදගත්කම අවධාරනය කලේය. මෙම සන්දර්භය තුල ජාත්‍යන්තර කමිටුව ඊලඟ විසි වසර පුරා කලාව පිලිබඳ ප‍්‍රශ්න මත වැදගත් වැඩ කොටසක් වර්ධනය කලේ ය.

(2) 1993 පෙබරවාරියේ දී ජාත්‍යන්තර කමිටුව, අභාවප‍්‍රාප්ත වාඩිම් රොගෝවින් සමග සමීප බුද්ධිමය ඒකාබද්ධතාවක් ඇතිකර ගනිමින්, "ඓතිහාසික මුසාකරනයේ පශ්චාත් සෝවියට් ගුරුකුලය” ලෙස තමන් හඳුනාගත් දෙයට එරෙහිව ජාත්‍යන්තර ප‍්‍රති ප‍්‍රහාරයක් දියත් කලේය. ඔක්තෝබර් විප්ලවයේ ඓතිහාසික වාර්තාව හා විශේෂයෙන්ම ලියොන් ට්‍රොට්ස්කිගේ භූමිකාව ආරක්ෂා කිරීම, පසුගිය දශක දෙක තුල ජාත්‍යන්තර කමිටුවේ කටයුතුවල ප‍්‍රධාන අංගයක්ව තිබුනි. 2007-2010 අතර ජාත්‍යන්තර කමිටුව, ප‍්‍රතිගාමී ඉතිහාසඥයින් වූ ඉයන් තැචර්, ජෙෆ්රි ස්වේන් හා රෝබට් සර්විස් විසින් ට්‍රොට්ස්කිට එල්ල කල ප‍්‍රහාර සවිස්තරව නිෂේධනය කිරීමේ හා හෙලිදරව් කිරීමේ ලේඛන ප‍්‍රකාශයට පත් කලේය. මෙම ලේඛන In Defense of Leon Trotsky (ලියොන් ට්‍රොට්ස්කි ආරක්ෂා කිරීම සඳහා) යන මාතෘකාව යටතේ පල විය.

(3) 1995 ජූනියේ දී වර්කර්ස් ලීගය සමාජවාදී සමානතා පක්ෂය බවට පරිවර්තනය වීමේ සිය කර්තව්‍යය ආරම්භ කල අතර, ජාත්‍යන්තර කමිටුවේ සියලු ශාඛාවන් ද එයට එකඟව පක්ෂ පිහිටුවූහ.

(4) 1997 පෙබරවාරියේ දී ලෝක සමාජවාදී වෙබ් අඩවිය පිහිටුවීමේ වැඩ පටන් ගත් අතර 1998 පෙබරවාරියේ දී එය නිල වශයෙන් දියත් කරන ලදී.

(5) 2003 මාර්තුවේ දී සමාජවාදී සමානතා පක්ෂයේ හා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ප‍්‍රථම ප‍්‍රසිද්ධ ජාතික සැසිය පැවැත්විනි. මෙය සමාජවාදී සමානතා පක්ෂයේ කැපී පෙනෙන වර්ධනයක ආරම්භය සලකුනු කලේය.

(6) ඉන් පසුව එලඹුනු වසරවල සසප සාමාජිකත්වය වැඩී යද්දී, පක්ෂය, සුලු ධනපති රැඩිකල්වාදයේ ප‍්‍රතිගාමී දාර්ශනික පදනම්වලට එරෙහිව සිය ප‍්‍රහාරය පෙරට ගෙන ගියේය. මේ සම්බන්ධයෙන්, මාක්ස්වාදය, ඉතිහාසය හා සමාජවාදී විඥානය කෘතිය පල කිරීම විශේෂ වැදගත් කමක් දරයි.

(7) 2008 අගෝස්තුවේ දී එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂය සිය ආරම්භක සම්මේලනය පැවැත්වූ අතර එහිදී සමාජවාදී සමානතා පක්ෂයේ ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම් සම්මත කලේය. ඊලඟ තෙවසර තුල ඕස්ටේ‍්‍රලියාවේ, ජර්මනියේ, බි‍්‍රතාන්‍යයේ හා ශී‍්‍ර ලංකාවේ ජාත්‍යන්තර කමිටු ශාඛා ද සිය ආරම්භක සමුලු පැවැත්වූහ.

(8) 2010 අගෝස්තුවේ දී සසප සිය පලමු ද්විවාර්ෂික ජාතික සමුලුවේ දී, කම්කරු පන්තිය තුල, එහි පුලුල් වන අරගලයන් පාදක කරගන්නා, දේශපාලන කි‍්‍රයාමාර්ගයක් සම්මත කලේය.

Russian Marxists and the Origins of Bolshevism: (රුසියානු මාක්ස්වාදීන් හා බොල්ශෙවික් වාදයේ මූලාරම්භයෝ) යන සිය ඓතිහාසිකව වැදගත් කෘතියේ හැඳින්වීම තුල අභාවප‍්‍රාප්ත ලියෝපෝල්ඩ් හයිම්සන් Macbeth (මැක්බත් - ශේක්ස්පියර් ගේ) නාට්‍යයෙන් උපුටා දැක්වූ සිහිකටයුතු ඡේදයක් මෙසේය: "ඔබට කාලයාගේ බීජ තුලට එබී බලා කුමන ශස්‍යයක් බෝ වේ ද කුමක් බෝ වෙනු නැතිදැයි කිව හැකි නම්”

වර්කර්ස් ලීගය හා ජාත්‍යන්තර කමිටුව බොහෝ වසර ගනනකට පෙර පැලකරන ලද ශස්‍යය බෝවී ඇත, පසුගිය දශක හතරේ දැඩි න්‍යායික, දේශපාලන හා ප‍්‍රායෝගික වැඩ තුලින් පෝෂනයව වැඞී ඇත. මෙම බීජවලින් මතුව එන අව්‍යාජ ජාත්‍යන්තර ට්‍රොට්ස්කිවාදී ප‍්‍රවනතාව මාක්ස්වාදයේ සමස්ත ඓතිහාසික අඛන්ඩතාවය අන්තර්ගත කර ගනියි.

2012 වසරේදී අප මුහුන දෙන කර්තව්‍යය වන්නේ පැතිර යන සමාජ අරගල තුල මැදිහත්ව කම්කරුවන් හා තරුනයින් අතර හොඳම බලවේග සමාජවාදය සඳහා අරගලයට දිනාගැනීම යි.

Share this article: