සමාජවාදී සමානතා පක්ෂයේ (ශී‍්‍ර ලංකාව) ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම් -- 6 වන කොටස

The Historical and International Foundations of the Socialist Equality Party (Sri Lanka)—Part 6

By the Socialist Equality Party (Sri Lanka), 15 May 2012

ලෝක සමාජවාදී වෙබ් අඩවිය මේ සමග පල කරන්නේ, 2011 මැයි 27-29 දිනවල කොලඹ දී පැවති පක්ෂයේ ආරම්භක සමුලුවේ දී ඒකමතිකව සම්මත කෙරුනු සමාජවාදී සමානතා පක්ෂයේ (ශී‍්‍ර ලංකාව) ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම් නමැති ලියවිල්ලයි. එය කොටස් 12කින් පල කෙරෙනු ඇත. මෙහි 1 වන කොටස , 2 වන කොටස , 3 වන කොටස , 4 වන කොටස හා 5 වන කොටස පිලිවෙලින් මැයි 3, 5, 9, 10 හා 12 දිනවල පල කෙරින.

13. විවෘත සංදේශයට ලසසපයේ ප‍්‍රතිචාරය

13-1 ලසසපය පැබ්ලෝවාදී අවස්ථාවාදයට විරුද්ධව එස්ඩබ්ලිව්පීයට සහ ජාත්‍යන්තර කමිටුවට සහයෝගය දීම ප‍්‍රතික්ෂේප කිරීම, එහි ඉතිහාසයේ තීරනාත්මක සන්ධිස්ථානය වූ අතර, එහි දේශපාලන පිරිහීම ඉමහත් ලෙස වේගවත් කලේ ය. පැබ්ලෝ ස්ටලින්වාදය කෙරේ දක්වන පක්ෂපාතිත්වය දේශපාලනිකව විවේචනය කරන අතරම, ඔහුගේ ආස්ථානයට යටින් පැවති දියකරහැරීම්වාදී දිශානතිය, පාර්ලිමේන්තුවාදයේ හා වෘත්තීය සමිති සින්ඩිකල්වාදයේ සංකලනයක් වූ, තමන්ගේ ම ජාතික ප‍්‍රතිසංස්කරනවාදී දේශපාලනයට අනුගතවීමට අවසරයක් වන බව වටහාගත් ලසසප නායකත්වය, ඊට දැඩිසේ පක්ෂපාත විය. පාර්ලිමේන්තුව සහ වෘත්තීය සමිති යන ක්ෂේත‍්‍ර දෙකම, විප්ලවවාදී පක්ෂය තම ඉදිරිදර්ශනය සඳහා සටන් කිරීමට යොදාගත යුතු සතුරු වේදිකාවෝය. එහෙත් ඒවා අනිවාර්යයෙන්ම කම්කරු පන්තිය තුල පවත්නා ප‍්‍රතිසංස්කරනවාදී මිත්‍යාවන්ට පක්ෂය අනුගත කරවීමට ද දැඩි බලපෑමක් ගෙනෙයි. ලසසප නායකයින් තවමත් වාචිකව ට්‍රොට්ස්කිවාදයට බැඳී සිටියත්, ඔවුහු එන්ට එන්ටම පාර්ලිමේන්තු ආසන ගනන සහ වෘත්තීය සමිතිවල ප‍්‍රමානය අනුව තම සාර්ථකත්වය මනින්නට පටන් ගත්තෝය. ඔවුහු කම්කරු පන්තිය ස්වාධීනව බලමුලූගැන්වීමට වඩා පාර්ලිමේන්තු හවුල් හා සීමිත ඉල්ලීම් වටා කෙරෙන ස්ට‍්‍රයික් සටන්, සමාජවාදයට මාවත වන්නේ යයි දකින්නට පටන් ගත්හ.

13-2 දිවයිනේ ධනපති පාලනය ප‍්‍රධාන අර්බුදයකට ඇද දැමූ 1953 සිදුවීම් මගින්, ලසසප අවස්ථාවාදී දිශානතියේ ප‍්‍රතිවිපාක කවරක්වී දැයි ඒ වන විටත් පෙන්නුම් කර තිබුනි. 1952 මහ මැතිවරනයේ දී එජාපය සැලකිය යුතු බහුතරයක් දිනාගත් අතර ඒකාබද්ධ වූ ලසසප ආසන අහිමි කර ගනිද්දී, 1951 දී බන්ඩාරනායක විසින් පිහිටුවන ලද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය (ශී‍්‍රලනිප) නව පක්ෂයක් වශයෙන් පලමු වතාවට සිය අලුත් මුහුන පෙන්වී ය. කෙසේ වුවත්, වසරක් ඇතුලත, කොරියන් යුද්ධය අවසන් වීමෙන් හටගත් ආර්ථික අර්බුදයට මුහුනපෑම සඳහා එජාප ආන්ඩුව ගත් පියවර මගින් අවුලුවන ලද කම්කරු පන්තියේ හා ගොවි ජනතාවගේ අර්ධ කැරලිකාරී ව්‍යාපාරයේ බලපෑම යටතේ, එය බිඳ නොවැටුනා පමනි. විප්ලවකාරී ලසසප, කොමියුනිස්ට් පක්ෂය, හා ෆෙඩරල් පක්ෂයේ සහාය ලත් ලසසප, බඩු මිල ඉහල නැංවීමට එරෙහිව විරෝධය පලකිරීම සඳහා, අගෝස්තු 12 දා එක්දින හර්තාලයක් කැඳවීය. ඊට පලවූ ප‍්‍රතිචාරය ලසසප ද ඇතුලු සෑම පක්ෂයක් ම අන්ද මන්ද කලේය. වැඩ වර්ජනය කොලඹ නගරය ඇනහිටවූ අතර විරෝධතා බටහිර හා දකුනේ ගම්බද ප‍්‍රදේශ කරා ද පැතිර ගියේය. බොහෝ ප‍්‍රදේශවල දී විරෝධතා කරුවෝ පොලිස් මර්දනය නොතකා පාරවල් අවහිර කර දුම්රිය පීලි ගලවා දැමූහ. බියපත් එජාප ආන්ඩුව, කොලඹ වරායේ නතරකර තිබුනු බි‍්‍රතාන්‍ය යුද නැවකට රැස්වී හදිසි නීතිය පැනවීය. මිලිටරිය පාරට බැස්සවූ අතර කම්කරු පන්ති පුවත්පත් හා පක්ෂ කාර්යාලවලට මුද්‍රා තබා ඇඳිරි නීතිය පැනවීය. තවත් දින දෙකක් ඉදිරියට ගිය විරෝධතාවන්හි දී පුද්ගලයින් නව දෙනෙක් පොලිසිය විසින් වෙඩි තබා මරා දමන ලදී.

13-3 1953 හර්තාලය, පක්ෂයේ විප්ලවකාරී ස්වභාවය හුවාදැක්වීමේ පසුකාලීන ලසසප මිත්‍යා ප‍්‍රබන්ධනය සඳහා යොදාගනු ලැබීය. යථාර්තය නම්, ලසසපය මහජන ව්‍යාපාරයට කිසිදු නායකත්වයක් සම්පාදනය නොකල බවය. උද්ඝෝෂනය පෙරට ගෙනයාම සඳහා කර්මාන්තශාලාවල, තදාසන්න ප‍්‍රදේශවල හා ගම්බදව ක‍්‍රියාකාරී කමිටු පිහිටුවීම හෝ රාජ්‍ය මර්දනයට එරෙහිව කම්කරුවන්ගේ ආරක්ෂක බලඇනි ගොඩනැඟීම වැනි මූලික පියවර තැබීම වෙනුවෙන් කිසිදු කැඳවුමක් කිරීමට එය අසමත් විය. ඒ වෙනුවට ලසසප නායකයින් කලේ, කොප හා විප්ලවකාරී ලසසප සමඟ එක්ව හර්තාලය අවසන් බව නිවේදනය කිරීම ය. එමගින් විරෝධතා තවත් ඉදිරියට ගෙනගිය අය රාජ්‍ය මර්දනයට අතහැර දැමුනි. සවිස්තරාත්මක ලිපියක් තුලින්, කොල්වින් ආර්. ද සිල්වා, හර්තාලය "කම්කරු ගොවි සන්ධානය පිලිබඳ ලාංඡනය” තැබූ පන්ති අරගලයේ නව අදියරක් වන බව ප‍්‍රකාශ කලේය. එහෙත් දැන් ඇත්තේ "එක්සත් ජාතික පක්ෂ ආන්ඩුවට ඉල්ලා අස්වී අලුතින් මහ මැතිවරනයක් පවත්වන ලෙස බලකිරීම” සඳහා සටන යයි, අවසානයේ ඔහු නිගමනය කලේය. හර්තාලය පුරාවට ම ලසසප එය දැකගනු ලැබුවේ, තම පාර්ලිමේන්තු උපාමාරුවල ආධාරකයට නොවැඩි දෙයක් ලෙසය. මෙහි ප‍්‍රතිපල වශයෙන් බන්ඩාරනායකට, මහජනයාගේ විරෝධතා මනෝභාවය ගසාකමින් සිය දේශපාලන ආනුභාවය වැඩිකර ගැනීමට කොන්දේසි සැකසුනි. විශේෂයෙන්ම ලසසප නායකත්වයේ බෙලහීනකම නිසා නොමග ගිය ග‍්‍රාමීය සිංහල ජනතාව අතර දී එසේ විය. එජාප අන්ඩුවට එරෙහිව බන්ඩාරනායක ගෙන ආ විශ්වාස භංග යෝජනාවට ලසසප සිය සහයෝගය දීමෙන් පසුව ඔහුගේ දේශපාලන නැගීම තවත් ශක්තිමත් විය. හර්තාලයේ පරිමානයෙන් තිගැස්මට පත්වූ ශ‍්‍රී ලංකා පාලක පන්තියේ සැලකිය යුතු කොටසක්, ධනපති පාලනයට විකල්ප ආධාරකයක් ලෙස ශ‍්‍රීලනිපයට සිය සහයෝගය ලබා දුන්හ. විරෝධතාවන්ට ශ‍්‍රීලනිපය සහභාගි නොවුනු අතර ඇත්ත වශයෙන්ම බන්ඩාරනායක ඊට විරුද්ධ වී තිබියදීත්, හර්තාලය මගින් ශ‍්‍රී ලංකාවේ පාලක පන්තිය සඳහා කේන්ද්‍රීය චරිතයක් ලෙස ඔහු පෙරමුනට ගෙන ආවේය.

13-4 හර්තාලයෙන් ඉක්බිතිව, ස්ටැලින්වාදී කොප හා විප්ලවකාරී ලසසප සමඟ "වමේ එකතුව” සඳහා ලසසප තුල ගෝසාව ඉහල නැග්ගේය. 1952 මැතිවරනයෙන් පසුව, පක්ෂය ලැබූ පරාජයට හේතුව, සෝවියට් සංගමයේ හා චීනයේ ස්ටැලින්වාදී තන්ත‍්‍රයන් පිලිබඳ ලසසපයේ විවේචන නතර කල යුතු යයි ඉල්ලා සිටි, කොප හා (වි)ලසසප සමග නිතරග ගිවිසුමක් ඇතිකර ගැනීමට අසමත් වීම යයි චෝදනා නැඟූ කන්ඩායමක් හිස ඔසවා තිබුනි. තුන්වන සමුලුව තුල පැබ්ලෝගේ ස්ටැලින්වාදී-ගැති පිලිවෙතෙන් දිරිමත් වූ මෙම "එක්සත්” කන්ඩායම, පක්ෂය "සමාජවාදී රටවල්” කෙරෙහි "කොන්දේසි විරහිත මිත‍්‍රත්වය” දැක්විය යුතු යයි ඉල්ලා සිටිමින්, 1953 ඔක්තෝබර් සම සමාජ පක්ෂ සමුලුවේ දී සංශෝධනයක් ගෙන ආවේය. මෙම සංශෝධනය පරාජය වීමෙන් පසුව ස්ටැලින්වාදී-ගැති කන්ඩායම් පක්ෂයෙන් කැඩී ගොස් (වි)ලසසප හා කොපට එක්වූහ.

13-5 ලසසප විවෘත ලිපියට ප‍්‍රතිචාර දැක්වූයේ මෙම සන්දර්භය තුලයි. එය කැනන්ගේ ඉල්ලීම ඉවත දමා ජාත්‍යන්තර කමිටුවට සම්බන්ධ වීම ප‍්‍රතික්ෂේප කල විට එම පිලිවෙතේ දේශපාලන සාපරාධීත්වය පෙර නොවූ විරූ අයුරින් ඉස්මතු වූයේ, හිටපු බීඑල්පීඅයි නායකයින් පැබ්ලෝගේ සංශෝධනයන්හි ස්ටැලින්වාදී-ගැති ස්වභාවය පිලිබඳව හොඳින්ම දැන සිටි බැවිනි. තව ද එය, පැබ්ලෝවාදය තම පක්ෂයේ ම සාමාජිකත්වය මත ඇතිකල බලපෑම පිලිබඳ සෘජු අත්දැකීමක් ලබා තිබුනේ යන්තම් මඳ කලකට පෙරය. එහෙත් ලසසප, විවෘත ලිපිය නිකුත් කල ආකාරය පිලිබඳ පෙරකදෝරු තර්ක ඉදිරිපත්කොට එයට විරුද්ධ වූ අතර දේශපාලන ආස්ථානයක් ගැනීම ප‍්‍රතික්ෂේප කලේය. ලසසප ඔවුන්ගේ පක්ෂයේ ම ස්ටැලින්වාදී-ගැති ප‍්‍රවනතාවය නෙරපා හැර තිබීම කෙරේ අවධානය යොමු කරවමින් ලෙස්ලි ගුනවර්ධන වෙත ලිපියක් යැවූ කැනන්, කෙලින්ම මෙසේ ද පැවසීය. "ජාත්‍යන්තරවාදීන් ලෙස අපි, අනෙකුත් පක්ෂ තුල හා පොදුවේ ජාත්‍යන්තර ව්‍යාපාරය තුලම ස්ටැලින්වාදී සංහිඳියාවාදයේ විවෘත හෝ සැඟවුනු ප‍්‍රකාශනයන් කෙරෙහි එකම ආකල්පය ගැනීම අත්‍යවශ්‍යය.” [29]

13-6 1954 අපේ‍්‍රල් වන තෙක්ම කල් මැරීමෙන් පසුව ලසසප මධ්‍යම කාරක සභාව, ස්ටැලින්වාදී පක්ෂ ජනතා පීඩනය යටතේ විප්ලවවාදී මාවතට තල්ලු කල හැකිය යන පැබ්ලෝගේ ප‍්‍රකාශයන්හි දුර දිග යන ප‍්‍රතිවිපාක හඳුනා ගනිමින් යෝජනාවක් සම්මත කලේය. "මෙම සංකල්පය, ස්ටැලින්වාදය සම්බන්ධ ට්‍රොට්ස්කිවාදයේ ආස්ථානයන් පිලිබඳ අතිමූලික සංශෝධනයකට තුඩු දෙනවා පමනක් නොව, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය ස්වාධීනව පවත්වාගෙන යාම සඳහා වන සියලු යුක්තිසහගත භාවය එමගින් ප‍්‍රතික්ෂේප කෙරේ.” එය සඳහන් කලේය. කෙසේ වුව ද භාවිතයේදී දේශපාලන පැහැදිලිකමේ වියදමෙන් පැබ්ලෝවාදීන් සමග "එක්සත්කම” රැක ගැනීම පිනිස සමගි සන්ධාන හා උපාමාරු දැමීම් කෙරේ ලසසප නැඹුරු වූ අතර එය එස්ඩබ්ලිව්පී හා ජාත්‍යන්තර කමිටුව මුහුනපෑ දුෂ්කරතා තවත් උග‍්‍ර කලා පමනි. අවසානයේදී ලසසප නායකයෝ පැබ්ලෝවාදයට යටත් වූහ. ඔවුහු 1954 පසු භාගයේදී පැබ්ලෝවාදී සිව්වන සමුලුවට සහභාගීව එයට සුජාතභාවයක් අත්කර දෙමින් සුලු සංශෝධන සහිතව එහි යෝජනාවලට සහාය දුන්හ. ඔවුහු පැබ්ලෝවාදී ජාත්‍යන්තර ලේකම් මන්ඩලය සමග ම රැඳී ගත්හ. කම්කරු පන්තිය සඳහා විපත්තිකර ප‍්‍රතිවිපාක ගෙන ආ තරයේ ම අවස්ථාවාදී සම්බන්ධතාවයක ආරම්භය එසේ සිදු විය. මේ මගින් ජාත්‍යන්තර ලේකම් මන්ඩලයට, ආසියාව තුල තමන්ට "ජනතා ට්‍රොට්ස්කිවාදී පක්ෂයක්” ඇතැයි කයිවාරු ගැසීමට හැකිවූ අතර ජාතික කරලියේදී ලසසපයට, තම ප‍්‍රතිසංස්කරනවාදී දේශපාලනය සඳහා ට්‍රොට්ස්කිවාදී අක්ත පත‍්‍ර ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසුනි. පැබ්ලෝවාදයට ලසසප දුන් සහයෝගය ට්‍රොට්ස්කිවාදයට හා ඒ නිසා කම්කරු පන්තියට, විශේෂයෙන් ම ආසියාවේ කම්කරු පන්තියට, දැවැන්ත පහරක් විය. ලසසප හෝ එහි කොටසක් මූලධර්මාත්මක ආස්ථානයක් ගෙන තිබුනේ නම් එය, ජාත්‍යන්තර කමිටුව දැවැන්තව ශක්තිමත් කොට, කලාපය පුරා විශේෂයෙන් ම ඉන්දියාව තුල ජාත්‍යන්තර කමිටුවේ වැඩ කටයුතු පෙරට ගෙන යමින් මාඕවාදයේ විසකුරු බලපෑමට එරෙහි බලගතු විෂ නාශකයක් ලෙස ක‍්‍රියා කිරීමට ඉඩ තිබුනි.

14. ලසසපයේ දේශපාලන පල්ලම් බැසීම

14-1 පැබ්ලෝවාදී ජාත්‍යන්තර ලේකම් මන්ඩලයෙන් සෑම අදියරක දී ම ලැබුනු ආධාර හා අනුග‍්‍රහය යටතේ ලසසප, 1953න් පසුව වේගයෙන් පරිහානි ගත විය. දශකයකට මඳක් වැඩි කාලයක් තුල පක්ෂය, ට්‍රොට්ස්කිවාදය සඳහා කුමන හෝ අරගලයක් අතහැර දමා, සිංහල වර්ගවාදය වැලඳගෙන, 1964 දී ශ‍්‍රීලනිප නායකත්වයෙන් යුත් සභාග ආන්ඩුවට ඇතුලු වෙමින්, කම්කරු පන්තිය පාවාදුන් අතර, ධනේශ්වර රාජ්‍යයේ කලමනාකාරිත්වයෙහි වගකීමට කර ගැසීය. ලසසපයේ පරිහානිය සෑම පියවරක දී ම, බන්ඩාරනායකට හා ශ‍්‍රීලනිපයට දේශපාලනිකව අනුගත වීම සමග දැඩි ලෙස බැඳී තිබුනි. එනම්, අවම වශයෙන් එහි (ශ‍්‍රීලනිපයේ) ආරම්භක අදියරයන්හි අධිරාජ්‍ය විරෝධී හා සමාජවාදී වාචාලය සමඟ වෙලී තිබුනු සිංහල ජනතාවාදයේ වාර්ගික දේශපාලනයට ය. ශ‍්‍රීලනිපයට එරෙහිව තිරසාර, මූලධර්මාත්මක ආස්ථානයක් ගැනීමට ලසසපයට පැවති නොහැකියාව, සමසමාජවාදයේ සුලු ධනපති රැඩිකල් සම්ප‍්‍රදායන් කරා එහි ලුහුටා යාම සමඟ බැඳී තිබුනි. එය තවදුරටත් දේශපාලනිකව සමජාතීය පක්ෂයක් නොවීය. 1948 අලූත් "නිදහස්” රාජ්‍යය පිලිබඳ ප්‍රෝඩාවට එරෙහිව පැවැත්වූ යෝධ රැලිය තුල කැපී පෙනෙන ලෙස පෙන්නුම් කෙරුනු නිර්ධන පන්තික ජාත්‍යන්තරවාදී සම්ප‍්‍රදායන් තුල, පැරනි බීඅල්පීඅයි සාමාජිකයින් ස්ථරයක් තවමත් මුල්බැස සිටියහ. කෙසේ වුවත්, පක්ෂයේ එන්ට එන්ටම ජාතිකවාදී වූ දිශානුගතවීම එන්.එම්. පෙරේරාගේ දක්ෂිනාංශික නායකත්වය විසින් තීන්දු කෙරුනු අතර, කොල්වින් ආර්. ද සිල්වා හා ලෙස්ලි ගුනවර්ධන වැනි පැරනි බීඑල්පීඅයි නායකයෝ ඊට අනුගත වූහ. අඩියෙන් අඩිය පෙරේරා, ශ‍්‍රීලනිපය හා සිංහල ජනතාවාදය විවෘතව වැලඳ ගැනීම කෙරෙහි පක්ෂය තුල පැවති ප‍්‍රතිරෝධය පරාජය කලේය.

14-2 1956 මැතිවරන සූදානම තුල බන්ඩාරනායක බි‍්‍රතාන්‍ය යටත් විජිත පාලනය යටතේ තමන් කොන්කිරීම පිලිබඳව නොසතුටට පත්ව සිටි කුඩා ව්‍යාපාරිකයින්, බෞද්ධ භික්ෂූන් හා අයුර්වේද වෛද්‍යවරුන් ඇතුලු සිංහල සුලු ධනේශ්වරයේ කොටස් බලමුලු ගැන්වීමට උත්සුක විය. පරන බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයේ පුරසාරම් කථා ඇද ගනිමින් බන්ඩාරනායක, සිංහලයින් වනාහි රටේ කටයුතුවල දී ප‍්‍රමුඛස්ථානයක් ලැබිය යුතු "අද්වීතීය ජන වර්ගයක්” බවට තර්ක කලේය. 1955 දී ශ‍්‍රීලනිපය, ඉංග‍්‍රීසි නොව, සිංහල හා දෙමල රටේ රාජ්‍ය භාෂා විය යුතුය යන එහි ප‍්‍රතිපත්තිය අතහැර දැමීය. ඒ වෙනුවට එය, අධිකරනය, රාජ්‍ය අංශයේ රැකියා, අධ්‍යාපන ක‍්‍රමය ඇතුලු සියලු නිල කටයුතුවල දී සිංහල එකම රාජ්‍ය භාෂාව බවට පත් කරන "සිංහල පමනක්” ප‍්‍රතිපත්තිය කරතබා ගත්තේය. එසේම ඔහු, බෞද්ධාගමට විශේෂ නිල තත්වයක් පිරිනමන බවට ද පොරොන්දු විය. රාජ්‍ය ප‍්‍රතිපත්තියේ මෙහෙයුම් මූලධර්මය බවට සිංහල අධිපතිවාදය පත්කිරීමට යෝජනා කිරීම මගින් ශ‍්‍රීලනිපය, දෙමල හා දෙමල කථාකරන මුස්ලිම්වරුන් දෙවන පන්තියේ තත්වයකට පිරිහෙලීය. සමාජවාදී හා අධිරාජ්‍ය විරෝධී සලුපිලිවලින් සිය සිංහල ජනතාවාදය සැරසීම සඳහා බන්ඩාරනායක, 1956 මැතිවරනයේ දී පිලිප් ගුනවර්ධනගේ විප්ලවකාරී ලසසපය සිය මහජන එක්සත් පෙරමුන (මඑපෙ) තුලට වැද්ද ගත්තේය.

14-3 සිංහල වර්ගවාදීන්ගේ ප‍්‍රචන්ඩ ප‍්‍රහාර හමුවේ ලසසපය, සිංහල පමනක් ප‍්‍රතිපත්තියට විරෝධය පෑ අතර දෙමල සුලුතරයේ මූලික ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් ආරක්ෂා කිරීමට ඉදිරිපත් විය. කෙසේ වෙතත් ලසසප නායකයින් යොදාගත් තර්ක, බීඑල්පීඅයිහි කම්කරු පන්ති ජාත්‍යන්තරවාදයෙන් කැපී පෙනෙන වෙන්වීමක් සලකුනු කලේය. ලසසපය ශ‍්‍රී ලංකා රාජ්‍යයේ සුජාතභාවය පිලිගත්තා පමනක් නොව, සිංහල පමනක් පිලිවෙත ජාතියට වලකපන්නේ යයි ද තර්ක කලේය. ඔවුන්ගේ විරුද්ධත්වය පදනම් වූයේ ජාතියේ එක්සත්කම ආරක්ෂා කිරීම මත මිස, කම්කරු පන්තියේ එක්සත්කම වෙනුවෙන් සටන් කිරීම මත නොවේ. 1955 ඔක්තෝබරයේ දී පාර්ලිමේන්තුවෙහි කල කථාවක දී එන්.එම්. පෙරේරා මෙසේ අනතුරු ඇඟවීය. "රටේ සදාතනික බෙදීමකට අපට මුහුන පෑමට සිදුවනු ඇත, අපට කිසි විටෙකත් එක්සත් ලංකාවක් නොලැබෙනු ඇත. එසේම අපට කිසිම පලක් නොමැති ඉමහත් ලේ වැගිරීමකට මුහුන පෑමට සිදුවනු ඇත, අවසානයේ දී මේ රට, බඩජාරී මහ බලවතුන්ගේ විජිතයක් හෝ පොර පිටියක් බවට පත්වනු ඇත.” [30] එය ප‍්‍රතිපත්ති මත පාදකව ගත් ආස්ථානයක් නොවීය. බන්ඩාරනායකගේ "සිංහල පමනක්” ප‍්‍රතිපත්තිය තිබිය දී ම ලසසප, ශ‍්‍රීලනිප සමග "නිතරඟ” මැතිවරන ගිවිසුමකට එලඹියේය. එමගින් එජාපයට ප‍්‍රගතිශීලී විකල්පයක් ලෙස, මෙම ධනේශ්වර පක්ෂයට නිහඬ සහතිකයක් ලබා දුන්නේය. ශ‍්‍රීලනිපය විශාල ජයග‍්‍රහනයක් ලබා ගැනීමෙන් පසුව ලසසප, නව බන්ඩාරනායක ආන්ඩුවට "අනුකූලාත්මක සහයෝගිතාව” දැක්වීම පිලිබඳ ආස්ථානයකට පැන ගනිමින් වසරක් පාසා ආන්ඩුවේ ප‍්‍රතිපත්තිය ගෙනහැර දක්වන රාජාසන කථාවට 1956 හා 1957 දී ඡන්දය දුන්හ. එය බන්ඩාරනායක කෙරෙහි විවේචනශීලී වූයේ 1957 අග හරියේ වැඩ වර්ජන පැන නැගීමත් සමග පමනි.

14-4 ශ‍්‍රීලනිප ප‍්‍රමුඛ නව ආන්ඩුවේ ධාවනය පැවතුනේ සියලු ක්ෂේත‍්‍රයන්හි සිංහල ආධිපත්‍යය තහවුරුකර ගැනීමට ය. එය දෙමල ජනතාවගේ විරෝධතාවන් ද බන්ඩාරනායකගේ පැත්තෙන් දෙමල ප‍්‍රභූ පැලැන්තිය සමග සම්මුතියක් සඳහා දැරෙන කුමන හෝ උත්සාහයක් පාවාදීමක් ලෙස සැලකූ සිංහල අන්තවාදීන්ගේ ජන හිංසක රුදුරු ප‍්‍රති ප‍්‍රහාරයක් ද අවුලුවා ලීය. ඔහුගේ ආන්ඩුව ක‍්‍රියාවට නැඟූ සීමිත ජනසතු කිරීම් රාජ්‍ය අංශය ප‍්‍රසාරනය කල අතර සිංහල බහුතරය සඳහා රැකියා අවස්ථාවන් ද පුලුල් කලේය. නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවය ප‍්‍රසාරනය කිරීමේ අරමුන වූයේ, පක්ෂයේ ගම්බද සිංහල ඡන්දදායකයින් අතර පදනමක් තහවුරු කර ගැනීම ය. කෙසේ වුවත් ආන්ඩුව, කම්කරුවන්ගේ හා ග‍්‍රාමීය ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාලීමට අසමත්වූ අතර එය වැඩ වර්ජන හා විරෝධතාවන්ට තුඩු දුන්නේය. 1958 මාර්තුවේ දී මහජන ආරක්ෂක පනත ශක්තිමත් කිරීම මගින් එහි කම්කරු පන්ති විරෝධී ස්වභාවය ඉක්මනින් ම හෙලිදරව් වූ අතර කෙටි කලකට පසුව දහ මාසයකට බලපැවැත්වෙන පරිදි හදිසි නීතිය ද පැනවීය. ශ‍්‍රීලනිප සඳහා ගම්බද පදනම නගා සිටුවීමටත් කම්කරු පන්තිය බෙදීම සඳහාත් සිංහල වර්ගවාදී දේශපාලනය උපයෝගී කරගත් බන්ඩාරනායක, ඔහුගේ ම නිර්මිතයෙහි ගොදුරක් බවට පත් විය. 1959 සැප්තැම්බරයේ දී බෞද්ධ අන්තවාදියෙකු විසින් ඔහු ඝාතනය කරන ලදී. නැඟී එන කම්කරු පන්ති ව්‍යාපාරය පාලනය කර ගැනීමට ආන්ඩුවට නොහැකිවේ යයි බියට පත් ඔහුගේ ම පක්ෂයේ දක්ෂිනාංශය ද ඊට ගෑවී සිටියේය. ආන්ඩුවේ ඇමතිවරයෙකුව සිටි පිලිප් ගුනවර්ධන නෙරපා හල යුතු යයි ඒ වන විටත් එම දක්ෂිනාංශය බල කර තිබුනි. ගුනවර්ධන තම නව සිංහල වර්ගවාදී සංවිධානය සඳහා ද මඑපෙ යන නම උපයෝගී කරගති.

14-5 1960 වසර ලසසපයේ තවදුර දකුනට තල්ලුවීම සලකුනු කලේය. මැතිවරන දෙකෙන් මාර්තුවේ පැවැත්වූ පලමු මැතිවරනයේදී ලසසප, විප්ලවවාදී මාක්ස්වාදය පිලිබද සෑම ඡායා මාත‍්‍රයක්ම අතහැර දමා සමාජවාදය කරා පාර්ලිමේන්තු මාවත වැලඳ ගත්තේය. එජාප හා ශ‍්‍රීලනිප මුලුමනින් ම අපකීර්තියට පත්ව ඇති බව කියා සිටිමින් පක්ෂය, පාර්ලිමේන්තුව හරහා "සමසමාජවාදී ආන්ඩුවක්” සඳහා උද්ඝෝෂනයකට බැස ගත්තේය. සිංහල හා දෙමලට සමතැන සඳහා තම ඉල්ලීම අතහැර දමමින් ද වතු කම්කරුවන් ගැන කිසිදු සඳහනකින් තොරව ශ‍්‍රී ලංකාවේ හා ඉන්දියාවේ ආන්ඩු අතර පුරවැසි භාවය පිලිබඳ ප‍්‍රශ්නය සාකච්ඡා කල හැකි බව දැන් කියා සිටිමින් ලසසප, භාෂා ප‍්‍රශ්නය හා පුරවැසි ප‍්‍රශ්නය පිලිබඳ සිය පූර්ව ආස්ථානය සැලකිය යුතු තරමින් දියකර හැරියේය. ලසසප මැතිවරන ව්‍යාපාරය "බලය සඳහා තීරනාත්මක අරගලයක්" ලෙස විස්තර කරමින් පැබ්ලෝවාදී ජාත්‍යන්තර ලේකම් මන්ඩලය, එහි පාර්ලිමේන්තු තකතිරුකම හා වාර්ගික දේශපාලනයට අනුගතවීම, උද්යෝගයෙන් අනුමත කලේය.

14-6 බලයට පත්වීම කෙසේ වෙතත් ලසසප, 1956 මැතිවරනයේදීටත් වඩා අඩු ආසන සංඛ්‍යාවක් හිමිකරගත් අතර එය පක්ෂය තුල අර්බුදයක් අවුලුවාලීය. අවස්ථාව ඩැහැ ගත් එන්.එම්. පෙරේරා, පක්ෂය ශ‍්‍රීලනිප සමග ධනපති ආන්ඩුවකට ඇතුල් වීමට සූදානම් විය යුතු යයි ප‍්‍රථම වතාවට යෝජනා කලේය. ඔහුගේ යෝජනාව මැයි මාසයේ පක්ෂ සමුලුවේ දී අනුමත වුවත් ඡන්දයෙන් තෝරා පත්කරගත් මධ්‍යම කාරක සභාව තුල ඔහුගේ දක්ෂිනාංශය සුලුතරයක් වීම නිසා එය ක‍්‍රියාවට නැගීම වැලකී ගියේය. එහෙත් කෙටි කලක් පැවති එජාප ආන්ඩුව බිඳ වැටී 1960 ජූලි මාසයේ නව මැතිවරනයක් කැඳවූ කල, ලසසපය ශ‍්‍රීලනිප සමග නිතරග ගිවිසුමකට එලඹියේ ය. බන්ඩාරනායකගේ වැන්ඳඹුවගේ නායකත්වයෙන් නව ශ‍්‍රීලනිප ආන්ඩුවක් පත්වූ කල ලසසපය, එහි පලමු රාජාසන කථාවට ද ප‍්‍රථම අයවැය ලේඛනයට ද ඡන්දය දෙමින් එහි මුලු ප‍්‍රතිපත්තියට ම සහයෝගය පල කලේය.

14-7 පැබ්ලෝවාදී ජාත්‍යන්තර ලේකම් මන්ඩලය (අයිඑස්) තම දියාරු විවේචන එල්ල කිරීමට පටන් ගත්තේ දැන් ය. 1956 දී ලසසපය පූර්වයෙන් ශ‍්‍රීලනිප සමග ඇති කර ගත් නිතරග ගිවිසුමට හා "අනුකූලතා සහයෝගය” සඳහා එය විරුද්ධත්වයක් පලකොට නොතිබුනි. 1960 මාර්තු මැතිවරනයේ දී ලසසපයේ සමාජවාදය කරා පාර්ලිමේන්තු මාවත පිලිබඳ අයිඑස්ට පැවති එකම විවේචනය වූයේ, එය සාර්ථක නොවූ බව හා මැතිවරන පරාජයට හේතු සොයා ගැනීම සඳහා "ප‍්‍රගාඪ පරීක්ෂනයක්” අවශ්‍ය බවයි. කෙසේ වුවත් එන්.එම්. පෙරේරා ධනපති ආන්ඩුවකට ඇතුල්වීමට යෝජනා කිරීමත් සමඟ අයිඑස්, තමන්ගේ ම අමු අවස්ථාවාදය සඳහා දේශපාලන ආවරනයක් සැකසීමට පටන් ගත්තේය. "නිතරග ගිවිසුම, මහජනතාව අතර ශ‍්‍රීලනිප ස්වභාවය කෙරේ මිත්‍යාවන් නිර්මානය කිරීමේ” අන්තරායක් මතු කරන්නේ යයි එය ප‍්‍රමාදවී ප‍්‍රකාශ කලේය. එහි හයවන ලෝක සමුලුව, ආන්ඩුවේ රාජාසන කථාවට හා අයවැය ලේඛනයට ලසසප දුන් සහයෝගය හෙලා දුටුවේය. එහෙත්, "යටත් විජිත හෝ අර්ධ යටත් විජිත රටක කම්කරු පන්තික නොවන ආන්ඩුවකට (එය මධ්‍යම පන්තික වුවත් ධනේශ්වර වුවත්) විවේචනාත්මක සහයෝගය" පුද කිරීම අයිඑස් බැහැර නොකලේය. ඒ අනුව එය ලසසපයේ දකුනට මාරුව අනුමත කල අතර, එහි අඛන්ඩ අවස්ථාවාදය සඳහා යුක්තිකරනයක් සම්පාදනය කලේය.

14-8 එසේම සෝවියට් සංගමයේ හා චීනයේ ස්ටැලින්වාදී තන්ත‍්‍රයන්ට ලසසපයේ අනුගත වීම ද පැබ්ලෝවාදය අනුමත කලේය. 1956 හංගේරියානු නැගිටීමෙන් ඉක්බිත්තේ 1957 දී, එඩ්මන්ඩ් සමරක්කොඩි හා කොල්වින් ආර්. ද සිල්වා ඇතුලු ලසසප නියෝජිත පිරිසක් නිල ආරාධිතයින් ලෙස මොස්කෝවේ සංචාරය කල අතර සෝවියට් හමුදාව විසින් හංගේරියානු කම්කරුවන් මැඩීම පිලිබඳව කිසිවක් සඳහන් නොකලහ. ඒ වසරේදී ම ලසසප පුවත්පත, "චෞ එන්-ලායිට ප‍්‍රනාමය” යන හිසින් කතුවැකියක් පලකරමින් "චීන විප්ලවය ජයග‍්‍රහනය කරා මෙහෙයවූ මෙම මිනිසුන් කල දැවැන්ත කැපකිරීම්" වෙනුවෙන් චීන විදේශ ඇමති හා ඔහුගේ සෙසූ ස්ටැලින්වාදී හවුල් කරුවන් උත්කර්ෂයට නැංවීය. ඇමරිකානු සමාජවාදී කම්කරු පක්ෂය කතුවැකියක් පලකරමින් ලසසප විවේචනය කලේය. "චෞ එන් ලායි හා චීන කොමියුනිස්ට් පක්ෂය ‘චීන විප්ලවය ජයග‍්‍රහනය කරා’ මෙහෙයවූයේ නැත. එම ජයග‍්‍රහනය සමග ඔවුන් යුක්ති සහගතව අනන්‍ය කල ද නොහැකිය." යනුවෙන් එහි සඳහන් විය. චීනයට යාමට නියමිත ලසසප නියෝජිතයින්, චීන ට්‍රොට්ස්කිවාදීන් නිදහස් කරන ලෙස තදින්ම ඉල්ලා සිටිය යුතු බව ද එස්ඩබ්ලිව්පීය කියා සිටි නමුත් ලසසප නායකයෝ එසේ කිරීම තරයේ ප‍්‍රතික්ෂේප කලහ.

15. එස්ඩබ්ලිව්පී යලි එකමුතුව

15-1 1953 දී එස්ඩබ්ලිව්පීයේ ජේම්ස් පී කැනන්, ඔහුගේ විවෘත ලිපිය මෙසේ නිමා කලේය. "පැබ්ලෝගේ සංශෝධනවාදය හා සම්ප‍්‍රදායික ට්‍රොට්ස්කිවාදය අතර බෙදුම් කඩන කෙතරම් ගැඹුරු දැයි කිවහොත්, දේශපාලනිිකව හෝ සංවිධානාත්මකව කිසිදු සම්මුතියක් ඇතිකර ගැනීමට පුලුවන්කමක් නැත.” [31] කෙසේ වෙතත් ඉතා ඉක්මනින් ම එස්ඩබ්ලිව්පීය, පැබ්ලෝවාදයට එරෙහි සිය විරුද්ධත්වය මෘදු කිරීමට පටන් ගත්තේය. 1957 තරම් නුදුරේ දී කැනන්, අයිඑස් සම. එස්ඩබ්ලිව්පීයේ එකමුතුව පිලිබඳ ශුභවාදී බලාපොරොත්තු දල්වමින් ලෙස්ලි ගුනවර්ධනගෙන් ලැබුනු ලිපියකට සාධනීයව ප‍්‍රතිචාර දැනවීය. මෙම මාරුව ඇමරිකානු මධ්‍යම පන්තික රැඩිකල් කවයන් වෙත එස්ඩබ්ලිව්පීයේ වැඩෙමින් පැවති අනුගත වීමේ කොටසකි. 1953දී පැබ්ලෝට එරෙහිව එස්ඩබ්ලිව්පී හා ජාත්‍යන්තර කමිටුව සමග එක්ව සිටි පෙං යන චීන ට්‍රොට්ස්කිවාදියා, දේශපාලන මතභේද පටුවී ඇතැයි කියා සිටිමින් යලි එකමුතු වීමට පක්ෂව දැඩි ලෙස පෙනී සිටියේය.

15-2 සැබවින්ම සම්මතධාරී ට්‍රොට්ස්කිවාදය හා පැබ්ලෝවාදය අතර අගාධය පුලුල් වී තිබුනි. එහෙත් එස්ඩබ්ලිව්පීය, අයිඑස් හා සමාන අවස්ථාවාදී ආස්ථානයන් කරා තල්ලු වෙමින් තිබුනි. දැන් ජෝසෆ් හැන්සන්ගේ නායකත්වය යටතේ එස්ඩබ්ලිව්පී 1960 අවසන් භාගය වන විට, ෆිඩෙල් කැස්ට්‍රෝ හා ඔහුගේ සුලු ධනපති ගරිල්ලා ව්‍යාපාරය විසින් පිහිටුවන ලද කියුබානු තන්ත‍්‍රය, "කම්කරු රාජ්‍යයක්” ලෙස උත්කර්ෂයට නංවමින් සිටියේය. කටෝර අනුභූතිවාදය මත පදනම්වූ එස්ඩබ්ලිව්පී, කම්කරු පන්තියේ කුමන ස්වාධීන ක‍්‍රියාවකට හෝ කියුබානු රාජ්‍යයේ විවෘත සතුරුකම හා කම්කරු බලය පිලිබඳ කුමන හෝ ආයතනයක් නොතිබීම යන දේ නොතකමින්, එහි කම්කරු පන්තික ස්වභාවය තීරනය කෙරෙන්නේ, බෙහෙවින්ම කෘෂිකාර්මික වූ ආර්ථිකය තුල කැස්ට්‍රෝගේ ජනසතු කිරීම් මගින් යයි අවධාරනය කලේය. තව ද එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට එරෙහිව, ආධාර පතා කැස්ට්‍රෝ සෝවියට් සංගමය වෙත හැරුනු සහ කියුබානු ස්ටැලින්වාදය සමඟ හාවූ තතු යටතේ එස්ඩබ්ලිව්පී දැඩි සේ කියා සිටියේ විප්ලවයේ ගමන් මගෙහි දී කැස්ට්‍රෝවාදීන් මාක්ස්වාදීන් බවට පරිවර්තනය වන බවයි. "සමස්ත යටත් විජිත විප්ලවවාදී ක‍්‍රියාවලිය ම ජයග‍්‍රහනයේ නව තලයකට එසවූ" සහ "නොනවතින විප්ලවයේ න්‍යායෙහි නිරවද්‍යතාවය නවමු ලෙස සනාථ” කල "ඇමරිකානු මහාද්වීපය තුල පලමු ජයග‍්‍රාහී සමාජවාදී විප්ලවය" පිලිබඳ එස්ඩබ්ලිව්පී අභිවාදනය, පැබ්ලෝවාදීන් සමග එහි යලි එකමුතුවේ උරගල බවට පත් විය.

15-3 1961 හා 1963 අතර කාලයේ සෝෂලිස්ට් ලේබර් ලීගයේ (එස්එල්එල්) බි‍්‍රතාන්‍ය ට්‍රොට්ස්කිවාදියෝ, එස්ඩබ්ලිව්පීයේ අවස්ථාවාදයට එරෙහිව ජාත්‍යන්තර කමිටුව තුල අධිෂ්ඨානවත් අරගලයක් සඳහා මූලිකත්වය ගත්හ. සුලු ධනපති නායකත්වයන්ට "විප්ලවයේ ම තර්කනය” මගින් කම්කරු පන්තිය බලය කරා මෙහෙයවීමට බලකල හැකිය යන එස්ඩබ්ලිව්පී තර්කය, එස්එල්එල් විසින් ප‍්‍රතික්ෂේප කරනු ලැබීය. හතරවන ජාත්‍යන්තරය හමුවේ ඇති ප‍්‍රධාන කර්තව්‍යය බොල්ශෙවික් වර්ගයේ පක්ෂ ගොඩනැඟීම තුලින් කම්කරු පන්තියේ නායකත්වය පිලිබඳ අර්බුදය විසඳීම බව ඔවුහු අවධාරනය කලහ. සංශෝධනවාදයට එරෙහි අරගලය විමර්ෂනය කිරීමෙන් අනතුරුව එස්එල්එල්, 1961 දී මෙසේ නිගමනය කලේය. "පැබ්ලෝවාදී සංශෝධනවාදය ට්‍රොට්ස්කිවාදය තුල ප‍්‍රවනතාවක් ලෙස සැලකීමේ අවධිය නිමා කිරීමට කාලය එලඹ තිබේ.”

15-4 චීනය සම්බන්ධයෙන් පැබ්ලෝ හා මැන්ඩෙල් පූර්වයෙන් යොදාගත් එම වෛෂයිකවාදී ක‍්‍රමවේදය ම එස්ඩබ්ලිව්පී විසින් ද කියුබාව සම්බන්ධයෙන් යොදාගත්තේ ය. "ට්‍රොට්ස්කිවාදය පාවාදී ඇත, එස්ඩබ්ලිව්පීය පැබ්ලෝවාදී සංශෝධනවාදයේ දේශපාලන ක‍්‍රමවේදය ම පිලිගනිති” යන 1962 ජූලියේ පල කරන ලද සිය ලිපිය තුල එස්එල්එල් ජාතික කමිටුව මෙසේ ප‍්‍රකාශ කලේය. "එස්ඩබ්ලිව්පීය සමග අපගේ ලිපි හුවමාරුවේ දී, විප්ලවවාදී පක්ෂවලින් තොරව ‘නොනවතින විප්ලවය සනාථවීම’ පිලිබඳව කතා කිරීම විකාරයක් බව යෝජනා කිරීමට නිර්භීත වීම මගින් අපි බලගතු ප‍්‍රතිචාරයක් ඇවිලවීමු. කෙසේ වෙතත් භාවිතයේ දී, පැබ්ලෝවාදීන් සේ ම එස්ඩබ්ලිව්පී ද කියුබාවේ හා ඇල්ජීරියාවේ සුලු ධනපති ජාතිකවාදී නායකයින් ඉදිරියේ දන්ඩ නමස්කාර කරයි. මෙම ප‍්‍රශ්නයේ දී අපගේ දෘෂ්ටිය එස්ඩබ්ලිව්පීයට එරෙහිව පිහිටන්නේ, හුදෙක් සිදුවීම් මාලාවක් හොඳින්ම පැහැදිලි කල හැක්කේ කාට ද යන කාරනා නිසා නොවේ. ඊට වඩා එය, මෙම පසුගාමී රටවල ට්‍රොට්ස්කිවාදී නායකත්වයේ සැබෑ ප‍්‍රතිපත්තිය හා ක‍්‍රියාමාර්ගය පිලිබඳ ප‍්‍රශ්නයකි. සෑම මාක්ස්වාදී න්‍යායක් සේ ම නොනවතින විප්ලවයේ න්‍යාය ද ක‍්‍රියාවට මග පෙන්වන්නකි. තමන්ගේ ම සෝවියට් බලය සඳහා ස්වාධීන හා අධිෂ්ඨානශීලී කම්කරු පන්තිය හා ගොවි ජනතාව තුල සිටින එහි මිතුරන් සංවිධානය කිරීමේ අවශ්‍යතාව පෙන්නුම් කරන්නක් බවට විශ්ලේෂනය පත්වෙයි. ‘නොනවතින විප්ලවය සනාථ වීම’ පිලිගත් ජාතිකවාදී නායකයින් වෙත මාක්ස්වාදීන් කරන ගෞරවාන්විත පිරිනැමීමක් නොව, මාක්ස්වාදීන් ම වගකීම දරන්නා වූ කර්තව්‍යයකි” [ 32]

15-5 තව ද කියුබාව හා ඇල්ජීරියාව තුල අත් කර ගත්තා යයි එස්ඩබ්ලිව්පී කියා සිටි ඊනියා සාර්ථකත්වයන්, පසුගාමී ධනේශ්වර රටවල මහජන අරගලයන් තුල ස්ටැලින්වාදය හා සුලු ධනපති රැඩිකල්වාදය පිලිබඳ පූර්න ශේෂ පත‍්‍රයක කොටසක් ලෙස තක්සේරු කල යුතුව ඇති බව එස්එල්එල් අවධාරනය කලේය. ඔවුහු මෙසේ පැවසූහ. "කියුබාව හා ඇල්ජීරියාව හැරෙන්නට, -- ඒ දෙරට පිලිබඳ අවබෝධයක් ඇතිකර ගැනීම සඳහා ද -- ඉරාකය, ඉරානය, ඊජිප්තුව, ඉන්දියාව, ඉන්දුනීසියාව, බොලිවියාව, ඉන්දු චීනය හා තවත් බොහෝ රටවල අත්දැකීම් ද සැලකිල්ලට ගත යුතුය. එවන් ඓතිහාසික විශ්ලේෂනයකින් මතුවනු ඇත්තේ, ‘අවධි දෙක’ පිලිබඳ න්‍යාය මත පිහිටා කටයුතු කල කම්කරු පන්තියේ එම නායකයින් ඉටුකල සැබෑ භූමිකාවයි. ස්ටැලින්වාදය, ‘ප‍්‍රගතිශීලී ක‍්‍රියා කලාපයක් ඉටුකිරීම සඳහා තල්ලු කරගත හැකි’ වීම කෙසේ වෙතත්, මේ සෑම රටක් ඇතුලත ම සැබවින් ම ඔවුන් සිදු කර ඇත්තේ වැඩි දියුනු කම්කරුවන් නිරායුධ කර පාවාදීමයි. ඒ මගින්, වත්මන් අවධියේ දී අධිරාජ්‍යවාදයට අපේක්ෂා කල හැකි එකම දේ වන තාවකාලික ස්ථාවරත්වයක් ඇති කිරීම පිනිස ධනේශ්වර ආන්ඩුවලට අවස්ථාව උදාකර දීමයි. මෙම අර්ථයෙන් හා මෙම අර්ථයෙන් පමනක් ම ‘නොනවතින විප්ලවයේ න්‍යාය සනාථවී’ තිබේ.” [ 33]

15-6 එසේම එස්එල්එල්, 1962 ප‍්‍රන්ස ආන්ඩුව හා ෆ‍්‍රන්ට් ඩි ලිබරේෂන් නැෂනලේ (එෆ්එල්එන්) නායකත්වය අතර ඇල්ජීරියානු "නිදහස” සඳහා ඇති කර ගත් ඊවියන් ගිවිසුම, "ඇල්ජීරියානු ජනතාව හා අරාබි හා යටත් විජිත විප්ලවය සඳහා දැවැන්ත ජයග‍්‍රහනයක්" නියෝජනය කලේය යන එස්ඩබ්ලිව්පී ප‍්‍රකාශයට ද විරුද්ධ විය. ජාතික ධනේශ්වරයට අධිරාජ්‍යවාදී අවශ්‍යතා සුරක්ෂිත කර දීමේ කර්තව්‍ය බාර කල එවන් නිල පශ්චාත් යුද්ධ කාලීන නිදහස් සම්මුතීන් පිලිබඳ හතරවන ජාත්‍යන්තරයේ තක්සේරුව, එස්එල්එල් ආරක්ෂා කලේය. බීඑල්පීය ඉන්දියාවට හා ශ‍්‍රී ලංකාවට අදාලව මෙම තක්සේරුව පැහැදිලිව විස්තාරනය කොට තිබුනි. එස්එල්එල් මෙසේ පැහැදිලි කලේය. "ඇල්ජීරියානු සුලු ධනේශ්වරය, උතුරු අප‍්‍රිකාව තුල ප‍්‍රන්ස ප‍්‍රාග්ධනයේ මූලික අවශ්‍යතා පිලිබඳ කීකරු සහතික කරුවෙක් ලෙස අඛන්ඩව කටයුතු කරන අතර වාරයේ, ප‍්‍රන්ස යටත් විජිතවාදය ඉවත් වීමෙන් ඇතිවූ හිඩැස පිරවීමට බලාපොරාත්තු වෙයි. එම අභිලාෂයේ ප‍්‍රකාශනය ලෙස අපට ඊවියන් සම්මුතීන් දැකගත හැකිය. එහි දී එෆ්එල්එන් නායකයෝ සිය ස්වභාවයට අනුව කටයුතු කරති.” [ 34]

15-7 1953 භේදයට තුඩුදුන් න්‍යායික හා දේශපාලන ප‍්‍රශ්න පිලිබඳ කිසිදු සාකච්ඡාවකින් තොරව එස්ඩබ්ලිව්පී ද ඒ වන විට ජාත්‍යන්තර කමිටුව සමග අනුබද්ධව සිටි හා සම්ප‍්‍රදායිකව නායකත්වය සඳහා එක්සත් ජනපද ට්‍රොට්ස්කිවාදීන් වෙත නෙත් යොමු කල බොහෝ ලතින් ඇමරිකානු රටවල කන්ඩායම් ද 1963 ජූනියේ රෝමයේ පැවති පැබ්ලෝවාදීන්ගේ හත්වන සමුලුවේ දී නිල වශයෙන් ඔවුන් සමග යලි එකමුතු වූහ. නොනවතින විප්ලවයේ න්‍යාය මුලුමනින්ම ප‍්‍රතික්ෂේප කිරීමක් වූ පැබ්ලෝවාදීන්ගේ "ලෝක සමුලුවේ” ප‍්‍රධාන යෝජනාව, කියුබානු විප්ලවයෙන් උපුටාගත් නිගමනය වූයේ, කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීමට සටන් වදින ලෙනින්වාදී පක්ෂයකින් තොරව "පසුගාමී රටවල සතුරාගේ බෙලහීනකම, මොට්ටවූ ආයුධයකින් පවා බලයට පත්වීමේ හැකියාව ඇති කරයි” යන්නය. පැබ්ලෝවාදීන් විසින් කැස්ට්‍රෝ හා ගරිල්ලා "සන්නද්ධ අරගලය” ඔජ වැඞීම, විප්ලවවාදී කොටස් කම්කරු පන්තියෙන් හුදෙකලා කිරීමටත් ඓතිහාසික පරාජයන්ට ඇද දැමීමටත් දායක වෙමින් ආර්ජන්ටිනාව, බොලිවියාව, චිලී හා ලතින් ඇමරිකාව පුරා ව්‍යසනකාරී ගමනාන්තයක් වූ බව සනාථ කෙරිනි. ලංකාව තුල "මොට්ටවූ ආයුධයක” කර්තව්‍යය ධනපති ශ‍්‍රීලනිප වෙත පැවරීමට වැඩ කල ලසසප නායකයෝ, යලි එකමුතු වීමට හා නව එක්සත් ලේකම් මන්ඩලයක් ස්ථාපිත කිරීමට මුලු හදින්ම සහාය දුන්හ. ඊට හිලව් වශයෙන් එස්ඩබ්ලිව්පීය ජනතා ට්‍රොට්ස්කිවාදී පක්ෂයක් ලෙස ලසසප හුවා දැක්වීය.

මතු සම්බන්ධයි:

සටහන්:

29. අවධාරනය, Trotskyism versus Revisionism (සංශෝධනවාදයට එරෙහිව ට්‍රොට්ස්කිවාදය), වෙලුම 2, ලන්ඩන්: නිව් පාර්ක්, 1974, යන මුල් ලේඛනයේ, පි. 89.

30. Blows against the Empire (අධිරාජ්‍යයට එරෙහි ප‍්‍රහාර), 169 පි.

31. අප රක්නා උරුමය, දෙවන කොටස, කම්කරු මාවත ප‍්‍රකාශන, 330 පි.

32. Trotskyism versus Revisionism (සංශෝධනවාදයට එරෙහිව ට්‍රොට්ස්කිවාදය), වෙලුම 3, ලන්ඩන්: නිව් පාර්ක්, 1974, පි. 244.

33. එම., පි. 250.

34. එම., පි. 248.

Share this article: