එක්සත් ජනපද‍යේ සසප ජාතික සම්මේලනයේදී සම්මත කරගන්නා ලද ඉදිරිදර්ශන යෝජනා
2012 මැතිවරනය හා සසප මැතිවරන උද්ඝෝෂනය

Resolutions of the SEP (US) National Congress
On the 2012 Election and the SEP Campaign

31 August 2012

2012 ජූලි 8-12 දිනවල පවත්වන ලද සමාජවාදී සමානතා පක්ෂයේ දෙවන ජාතික සමුලුවේදී ඒකමතිකව සම්මත කරගන්නා ලද දෙවන ඉදිරිදර්ශන යෝජනාව මෙහි පලවෙයි. එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂය ජාතික සම්මේලනය පවත්වයි සහ ප‍්‍රධාන යෝජනාව: සමාජවාදී සමානතා පක්ෂයේ ඉදිරිදර්ශන යන ලිපි ද කියවන්න.

1. කම්කරුවන්ගේ ද තරුනයන්ගේ ද අරගල ඒකාබද්ධ කරමින් හා සමාජය විප්ලවවාදී ලෙස පරිවර්තනය කිරීමේ කාර්යයට ඔවුන් දේශපාලනිකව සංවිධානය කරමින් කම්කරු පන්තියේ සමාජවාදී නායකත්වය ගොඩනැගීමේ අරගලයේ ක්‍ර‍මෝපායයක් ලෙස සමාජවාදී සමානතා පක්ෂය 2012 මැතිවරනයට මැදිහත්වෙයි; එහි අපේක්ෂකයන් ලෙස ජනාධිපති ධුරයට ජෙරී වයිට් ද උපජනාධිපති ධුරයට ෆිලිස් ෂෙරර් ද තරග වදිති.

2. 2012 මැතිවරනය පැවැත්වෙන්නේ මහා අවපාතයේ කාලපරිච්ඡේදයෙන් පසුව එක්සත් ජනපදයේ ඇතිව තිබෙන නරකම ආර්ථික හා සමාජ අර්බුදයේ තතු යටතේය. අතිශය දුර්භාග්‍ය සම්පන්න මට්ටමකට දැනටම ඇද වැටී ඇති රැකියා තත්ත්වය තවදුරටත් නරක අතට හැරෙමින් තිබේ. කෝටි ගනන් ජනයා විරැකියාවෙන් පෙ‍ලෙති; වැටුප් කප්පාදු කෙරෙමින් තිබේ, සිය නිවෙස්වලින් මහ මගට ඇද දමනු ලැබෙති. විරැකියා කාලපරිච්ඡේදයේ සාමාන්‍ය අගය 2008 කඩාවැටීමේදී නැඟුනු වාර්තාගත මට්ටමේ තවමත් රැඳී පවතී. ජනගහනයෙන් අඩක් දුගීන් හෝ ආසන්න දුගීන් ලෙස වර්ග කර ඇති අතර මිලියන 4ක් ජනයා යැපෙන්නේ දිනකට ඩොලර් දෙකකට අඩු ආදායමකිනි.

3. ජනාධිපතිවරන උද්ඝෝෂන ව්‍යාපාර දෙක වෙනුවෙන් ඩොලර් බිලියන තුනක පෙර නොඇසූ විරූ මුදල් කන්දරාවක් පොම්ප කරන සමාගම් හා මූල්‍ය අධිපති පැලැන්තියේ ආරක්ෂාව වෙනුවෙන් ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් පක්ෂ දෙකම එක් සමව කැපවී සිටින තතු හමුවේ ද්වි-පක්ෂ නිල මැතිවරන තරගය කම්කරු පන්තියට කිසිදු තෝරා ගැනීමේ අවස්ථාවක් ලබා නොදෙයි. "විවාදය” පැවැත්වෙන්නේ වත්කම් කඩාවඩා ගැනීමෙන් මිලියන පති‍යෙක් බවට පත්ව සිටින අන්ත ප්‍රතිගාමී රොම්නි ද, තුමූම ද මිලියන පතියෙකුවූත්, වසර තුන හමාරක (ජනාධිපති ) සේවා කාලය තුල තමා බැංකුකරුවන්ගේ නිර්දය නියෝජිතයෙකු බැව් ඔප්පුකොට ඇත්තාවූ ඔබාමා ද අතර ය. මෙම පක්ෂ දෙක අතර පවත්නා වෙනස්කම් හුදු උපායාත්මක ස්වභාවයේ ඒවාය. සමාගම් හා මූල්‍ය ප්‍රභූ පැලැන්තියේ මූලික උවමනාකම් වලට අදාල සියලු කාරනාවන්හි දී ඔවුහු එක්සත්ව සිටිති.

4. ජනගහනයේ අති බහුතරයක උත්සුකයන් කෙරේ දේශපාලන පද්ධතියේ පවත්නා අප්‍රතිචාරී භාවය මිලියන සංඛ්‍යාත ජනතාවක් හමුවේ හෙලිදරව් කිරීමට ඔබාමා පාලනයේ අත්දැකීම ඉවහල්වී ඇත. එහි වාර්තාවෙන් ඉතා පැහැදිලිව පෙන්නුම් කෙරෙන්නේ ඇමරිකානු පාලක පන්තියට ප්‍රතිසංස්කරනයේ ප්‍රතිපත්ති කිසිවක් නොමැති බවයි. සමාජයීය ප්‍රතිවිරෝධයන් පැන නැගීම හමුවේ එහි ප්‍රතිචාරය වන්නේ ප්‍රතිසංස්කරනය නොව මර්දනයයි.

5. දේශීය ප්‍රතිපත්තිය සැලැකූ කල, ඔබාමා සිය පාලනය ආරම්භ කලේ බැංකුවලට ඇප දීම් දීර්ඝ කිරීමෙන් හා ප්‍රසාරනය කිරීමෙන්ය. ඒ සඳහා ඩොලර් ට්‍රිලියන ගනනින් වෙන් කරන ලද්දේ රැකියා වියුක්තිකයන්ට රැකියා සම්පාදනය කිරීම සඳහාවූ කවර හෝ වැඩ පිළිවෙලක් ප්‍රතික්ෂේප කරමිනි. අලුතින් බඳවාගන්නන්ගේ වැටුප් අඩකින් කපා දැමීම ද විශ්‍රාමික සේවකයන්ගේ සහන කප්පාදු කිරීම ද මත පදනම් කල මෝටර් රථ කර්මාන්තයට ඇප දීම මගින් සමාගම් වලට හා ප්‍රාන්ත සහ පලාත් පාලන ආයතනයන්ට එම වර්ගයේ ප්‍රහාර සඳහා සංඥාව නිකුත් කලේය. (ඔබාමා) පාලනයේ ප්‍රමුඛතම "ප්‍රතිසංස්කරන" කටයුත්ත වූ සෞඛ්‍ය සේවා ප්‍රතිසංස්කරන, සැබැවින්ම සමාගම්වල හා රජයේ සෞඛ්‍ය සේවා පිරිවැය කපා දැමීම පිනිස දැනට දරනු ලබන ව්‍යායාමයේ ආරම්භක වෙඩි මුරය වූයේය. ඔබාමාගේ "ප්‍රකෘතිය" යටතේ, ආදායම් ප්‍රතිලාභ වලින් සියයට 93ක්ම ගොස් ඇත්තේ ඉහලම සියයට එකක් වූ කන්ඩායමේ සාක්කු වලට ය.

6. විදේශ ප්‍රතිපත්තිය සැලැකූ විට, ඉරාකයේ හා ඇෆ්ගනිස්ථානයේ ආක්‍රමනික අත්පත් කර ගැනීම දිගටම පවත්වා ගෙන ගිය ඔබාමා පාකිස්ථානය, යේමනය හා අනෙකුත් රටවලට එරෙහිව (නියමුවන් රහිත ගුවන්යානා යොදා කෙරෙන) ඩ්‍රෝන් ප්‍රහාර උත්සන්න කල අතර ලිබියාවට එරෙහිව නව යුද්ධයක් ආරම්භ කලේය. එය දැන් සිරියාවට හා ඉරානයට එරෙහිව ගැටුම් උසිගන්වමින් සිටී. මෙම ඔලමොට්ටල යුදවාදයේ තර්කනය වන්නේ, න්‍යෂ්ටික බලවතුන් වන චීනය හෝ රුසියාව සමඟ එලඹෙන, මහත් ව්‍යසනකාරී ප්‍රතිවිපාක ගෙන එනු ඇති විවෘත ගැටුමකි.

7. බුෂ් යටතේ ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට එල්ල වූ ප්‍රහාර වටය, ගුවන්තනාමෝ කඳවුර දිගටම විවෘතව පවත්වාගෙන යාමේ සිට, සීඅයිඒ වධකයන් ආරක්ෂා කිරීම දක්වා ද, හමුදා සෙබල බ්රැඩ්ලි මැනිං වැනි එක්සත් ජනපදයේ යුද අපරාධ හෙලිදරව් කරන්නන්ට එරෙහිව නඩු පැවරීම දක්වා ද ඔබාමා පාලනය යටතේ ඉදිරියට ගෙන ගොස් ඇත. ධවල මන්දිරය දැන් තිරසාරව ප්‍රකාශ කරන්නේ, එක්සත් ජනපද පුරවැසියන් ද ඇතුලුව ඕනෑම අයෙකු ලෝකයේ ඕනෑම තැනකදී ඩ්‍රෝන් මිසයිල ප්‍රහාරයකින් මරා දැමීමට අන දීම සඳහා ජනාධිපතිට අයිතියක් ඇති බවයි.

8. මේ ප්‍රහාරයන්ගෙන් සනිටුහන් කෙරෙන්නේ ඇමරිකානු ධනපති ප්‍රජාතන්ත්‍රයේ දශක ගනනාවක් පුරා දිග්ගැස්සුනු දිරාපත්වීමේ කුලුගැන්වීමයි. එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරනය ෆ්ලොරිඩාවේ ඡන්ද ගනන් කිරීම නවතා ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් ධවල මන්දිරයේ පැලපදියම් කරවූ 2000 සොරාගත් මැතිවරනය මෙම ක්‍රියාදාමයේ එක් සන්ධිස්ථානයකි. ඩිමොක්‍රටික් පක්ෂය මෙම ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රනයට යටත් වීම මගින් පෙන්නුම් කෙරුනේ එක්සත් ජනපද පාලක ප්‍රභූ පැලැන්තියේ කවර හෝ කොටසක් තුල වුව ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයන්ට කිසිදු සැලකිය යුතු සහයෝගයක් තවදුරටත් නොපවතින බවයි. දේශපාලන ආස්ථානයන්හි මේ වෙනසම වඩාත් ගැඹුරු සමාජයීය ක්‍රියාවලීන්ගේ ප්‍රකාශනයකි: මේ සා පරිමානයෙන් එක් පැත්තකටත් අසමාන ලෙසත් ධනය බෙදී ගොස් ඇති සමාජයක, පාලනයේ ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතීන් පවත්වාගෙන යාම නොකලහැක්කකි.

9. ගෙවී ගිය වසර තුන හමාරක කාලය විසින්, ඔබාමාගේ තේරී පත්වීම සමාජ ප්‍රතිසංස්කරනවාදයේ පුනර්ජීවනයක් පිලිබඳ සංඥාවක් නොවූ බවටත්, ඒ වෙනුවට එය වැඩකරන ජනතාවගේ රැකියා, ජීවන තත්ත්වයන් හා සමාජ අයිතීන් එහැම පිටින් වනසාලන සංගත ප්‍රහාරයේ නව අවධියක් බවටත් කල සසපයේ තක්සේරුවෙහි නිරවද්‍යතාවය සනාථ කෙරී ඇත. ප්‍රථම අප්‍රිකානු-ඇමරිකානු ජනාධිපතිවරයාගේ තේරී පත්වීම "පසුගිය දශක තුන පුරා එක්සත් ජනපද දේශපාලනයේ ආධිපත්‍යය ඉසිලූ දක්ෂිනාංශික වැඩපිලිවෙලින්" බිඳී වෙන්වීමක් සනිටුහන් කෙරෙනු ඇති "පරිවර්තනීය සිදුවීමකැ"යි නිවේදනය කල ජාත්‍යන්තර සමාජවාදී සංවිධානය වැන්නවුන්ගේ කියාපෑම් අපි ප්‍රතික්ෂේප කලෙමු.

10. ඇමරිකානු සමාජය තුල වර්ධනය වෙමින් පවත්නා අතිශය තීව්ර සමාජ ආතතීන් ස්වාධීන දේශපාලන ප්‍රකාශනයක් සොයා ගැනීම වලක්වා, ඩිමොක්‍රටික් පක්ෂයට අනුග්‍රහ දක්වන්නාවූ මධ්‍යම පන්තියේ වරප්‍රසාදිත ස්ථර නියෝජනය කරන වෘත්තීය සමිති හා ලිබරල් ප්‍රකාශන ඇතුලු සංවිධාන ජාලයක්, ඇමරිකානු දේශපාලනය තුල තීරනාත්මක කාර්ය භාරයක් ඉටුකරමින් සිටිති. මෙම දේශපාලන බලවේගයෝ බරක් ඔබාමා යලි තෝරාපත්කර ගැනීමත් නියෝජිත මන්ත්‍රී මන්ඩලයට හා සෙනේට් සභාවට ඩිමොක්‍රටිකයන් තෝරාපත්කර ගැනීමත් පසු පස යලිත් වරක් පෙල ගැසෙමින් සිටිති. ඔවුන්ගේ ඇල් මැරුනු හා කුහක විවේචන කවරාකාර වුව ද ඔබාමාගේ ව්‍යාජ වාම ඔල්වරසන් දෙන්නන් ඩිමොක්‍රටික් පක්ෂයට දක්වන සහාය එහි දක්ෂිනාංශික වැඩ පිලිවෙල නොතකා ලබාදෙන්නක් නොව, එම වැඩපිලිවෙල නිසාම ලබාදෙන්නකි. ඔවුන් කථාකරන්නේ කම්කරු පන්තියට සාකල්‍යයෙන්ම සතුරු වරප්‍රසාදිත ඉහල මධ්‍යම පන්තියේ කුඩා ස්ථරයක් වෙනුවෙනි.

11. නොවැම්බර් 6 මැතිවරනය ජයගත හැක්කේ ඩිමොක්‍රටික් හෝ රිපබ්ලිකන් පාක්ෂිකයකුට පමනක් හෙයින්, කම්කරු ජනයා ඉන් "අඩුනපුර" ලෙස සලකා ඩිමොක්‍රටිකයා හට සහාය දිය යුතුය යන තර්කය සසප අවඥාවෙන් ප්‍රතික්ෂේප කරයි. මෙය ශතවර්ෂාධික කාලයක් පුරා ඇමරිකාව තුල මහා ව්‍යාපාරයන්හි දේශපාලන ආධිපත්‍යය ආරක්ෂාකර ගැනීමට යොදාගන්නා ලද අවසාන තුරුම්පුවයි. ද්වි-පාක්ෂික දේශපාලන ඒකාධිකාරය අතිශ‍යෙන්ම ප්‍රජාතන්ත්‍ර විරෝධීය. එය අතුගා දැමිය යුතුය.

12. සමාජවාදී සමානතා පක්ෂයේ ක්‍රියාමාර්ගය කම්කරු පන්තියට ඇති එකම ඉදිරි මාවත සම්පාදනය කරයි. මූලික සමාජ, ආර්ථික හා දේශපාලන අයිතිවාසිකම් උදෙසා වන වැඩකරන ජනතාවගේ අරගලය විප්ලවවාදී සමාජවාදයේ ක්‍රියාමාර්ගය සමග බද්ධ කිරීමට සසප සටන් වදී. සමාජ ප්‍රගතියට ඇති ප්‍රධාන බාධාව වන්නේ සමාජ සම්පත් මත බලපවත්වන සංස්ථාපිත හා මූල්‍ය ප්‍රභූවේ මාරාන්තික ග්‍රහනයයි. දේශපාලන බලය අත්පත්කර ගැනීමට ද, සම්පත් පෙරලිකාරී ලෙස යලි බෙදාහැරීමට ද, තථ්‍ය සමාජ සමානතාවය තහවුරු කිරීමට ද ආර්ථික ජීවිතය පෞද්ගලික ලාභය පිනිස නොව සමාජ අවශ්‍යතා සපුරනු පිනිස කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ ප්‍රතිසංවිධානය කිරීමට ද කෙරෙන අරගලය තුල ස්වාධීනව කම්කරු පන්තිය බලමුලු ගන්වා ගැනීමෙන් විනා අන් ආකාරයකින් කම්කරු පන්තියේ අයිතිවාසිකම් ආරක්ෂාකල නොහෙන බව සසප උදක්ම කියා සිටී.

13. සසප මැතිවරන උද්ඝෝෂනය පදනම්වී ඇත්තේ ජාත්‍යන්තරවාදී මූලධර්ම මතය. ගෝලීය ආර්ථික ව්‍යුහයක් තුල, සෑමරටකම කම්කරුවන් සූරාකන අතරතුර පෙලපත, ජන වාර්ගිකත්වය, ආගම් හා ජාතිකත්වය පදනම් කරගෙන කම්කරුවන් එකිනෙකා කෙටවීමට මාන බලන සංස්ථාපිත පාලක ප්‍රභූ පැලැන්තියකට මුහුනට මුහුන දී සිටින කම්කරු පන්තියට, තම උත්සුකයන් ආරක්ෂාකරගත හැක්කේ, පුලුල්ම ජාත්‍යන්තර එක්සත්කමක පදනම මත පමනකි. ඇමරිකානු කම්කරුවෝ ජාත්‍යන්තර කම්කරු පන්තියේ කොටසක් වෙති. ඔවුහු ජාත්‍යන්තර මූලෝපායක පදනම මත සිය අරගලය කල යුත්තෝය. ලෝකයේ වඩාත් බලගතු යුද යාන්ත්‍රන‍යේ පාලනය (ස්වකීය ) පාලක පන්තිය අත පවතින ලෝක අධිරාජ්‍යවාදී මධ්‍යස්ථානයේ සිටින ඇමරිකානු කම්කරුවාට, ඇමරිකානු යුද වාදයටත් එහි ගෝලීය ප්‍රචන්ඩත්වයේ අසමසම වාර්තාවටත් එරෙහිව සිය පන්ති ශක්තිය බලමුලු ගැන්වීමේ වගකීමක් ඇත.

14. බොහෝ ප්‍රාන්තවලදී ජෙරි වයිට් සහ ෆිලිස් ෂෙරර් තරග වදිනු ඇත්තේ ලියා දක්වන අපේක්ෂකයන් ලෙසය. ඇමරිකාවේ මැතිවරන පද්ධතිය ප්‍රජාතන්ත්‍රවාදී වන්නේ නමින් පමනකි. යථාර්ථය වන්නේ මහා ව්‍යවසායකයේ දේශපාලන පක්ෂ දෙක සමස්ත ක්‍රියාවලිය ගල ග්‍රහනයෙන් ගෙන සිටීමයි. ඡන්ද පත්‍රිකාවට නම ඇතුලත් කර ගැනීම පිලිබඳ නීති රීති වලට අනුව බොහෝ ප්‍රාන්තවලදී හුදෙක් අපේක්ෂකයකුගේ නම ඡන්ද පත්‍රිකාවට ඇතුල් කිරීම සඳහා දස දහස් සංඛ්‍යාත අත්සන් ප්‍රමානයක් අවශ්‍ය කෙරේ. සංස්ථාපිත මාධ්‍ය විකල්ප දෘෂ්ටි කෝනයන් පිලිබඳ කවර හෝ සාකච්ඡාවක් වැලැක්වීමට හිතා මතාම ක්‍රියා කරති. තව ද සමස්ත ක්‍රියාවලිය මත සිතාගත නොහෙන තරම් මුදල් කන්දරාවක් ආධිපත්‍යය දරයි. සසප, පවත්නා මැතිවරන ක්‍රමය හෙලා දකින අතර, එහි දූෂිත හා ප්‍රජාතන්ත්‍ර-විරෝධී ස්වභාවය හෙළිදරව් කිරීමට අපේක්ෂා කරයි. කෙසේ වෙතත්, පූර්ව අවශ්‍යතාවන්හි දුෂ්කර හා ආයාසකර ස්වභාවය සාපේක්ෂව අඩුවෙන් පවතින, තෝරාගත් ප්‍රාන්තයන්හිදී, ඡන්ද පත්‍රිකාවට ඇතුලත් වීමට පක්ෂය ක්‍රියා කරනු ඇත. මෙසේ නොකල හැකි ස්ථානයන්හි දී විප්ලවවාදී සමාජවාදී වැඩපිලිවෙලකට පල කෙරෙන සහයෝගයේ පන්ති සවිඤ්ඤානක ප්‍රකාශයක් ලෙස අපේ අපේක්ෂකයන්ගේ නම් ඡන්ද පත්‍රිකාවේ ලියා යවන මෙන් රට පුරා කම්කරුවන් හා තරුනයන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

15. මැතිවරන උද්ඝෝෂනය දියත් කොට ගතවී ඇති මාස කිහිපය තුලදී රටේ සෑම කොටසකම කම්කරුවන් හා තරුනයින් අතර බලගතු ශ්‍රාවකත්වයක් දිනා ගැනීමට සසප මැතිවරන උද්ඝෝෂනය සමත් විය. මිඩ්වෙස්ට්, නෝර්ත්ඊස්ට්, සවුත් හා වෙස්ට්හිදී මෙන්ම කැනඩාවේදී ද වැදගත් මැතිවරන රැස්වීම් පවත්වන ලදී. ජෙරි වයිට් හා ෆිලිස් ෂෙරර් කූපර් ටයර් හා කැටපිලර්හි පිටගුලුලෑම් (ලොකවුට්කිරීම් ) වලට මෙන්ම, අධ්‍යාපන, සෞඛ්‍ය සේවා හා මහජන ගමනා ගමනය වැනි සමාජ වැඩපිලිවෙලවල් කප්පාදු කිරීමට එරෙහිව කටුක අරගලයක යෙදී සිටින කම්කරුවන් අතර උද්ඝෝෂනයේ යෙදී ඇත්තාහ.

16. සෑම තැනෙකම සමාජවාදය ගැන උනන්දුවක් ද මහා ව්‍යවසායකයේ පක්ෂවලට දේශපාලන විකල්පයක් සඳහා වූ බලගතු අභිරුචියක් ද පවතී. ආර්ථික අර්බුදය කම්කරුවන්ගේ ද තරුන ජනයාගේ ද විඥානය මත ප්‍රගාඪ බලපෑමක් ඇති කරයි. ධනපති ක්‍රමය පිලිබඳ විශ්වාසය ඇමරිකානු කම්කරු පන්තියෙන් ගිලිහී යමින් පවතී. අර්බුදයේ වෛෂයයික වර්ධනය ද, කම්කරු පංතියේ අත්දැකීම් ද ලෝක ධනවාදයේ හදවත වන එක්සත් ජනපදය තුල මහජන විප්ලවවාදී ව්‍යපාරයක පැන නැඟීමට අවශ්‍ය පදනම නිර්මානය කරයි.

17. සසප මැතිවරන උද්ඝෝෂනය පෙන්නුම්කර ඇති පරිදි, පන්ති අරගලයේත් ධනේශ්වර ක්‍රමයේ අර්බුදයේත් වර්ධනය; දේශපාලන නායකත්වයේ හා පක්ෂයේ මැදිහත්වීමෙහි ඇති තීරනාත්මක වැදගත්කම තිරනාත්මක ලෙස ඉස්මතු කරයි. මූලික න්‍යායික, ඓතිහාසික හා දේශපාලනික ප්‍රයුක්තීන් පැහැදිලි කර ගත යුතුවේ. සමාජවාදය යනු කුමක්ද? සෝවියට් සංගමය කුමක්වී ද? පාලක ප්‍රභූ පැලැන්තියෙන් ස්වාධීනවූ දේශපාලන ව්‍යාපාරයක් කම්කරු පන්තියට කෙසේ ගොඩනැඟිය හැකි ද? 20වන සියවසේ ඉතිහාසයේද, ලියොන් ට්‍රොට්ස්කිගේ ජීවිතය හා ඔහුගේ ලේඛන වලින් පුද්ගලාරෝපිත කම්කරු පන්තියේ විප්ලවවාදී ව්‍යාපාරයක් ගොඩනැඟීමේ දිග්ගැස්සුනු අරගලයේ ද පාඩම් පිලිබඳ උද්යෝගයේ නිසැක වර්ධනයක් පවතී. මේ මහා ඓතිහාසික ප්‍රයුක්තීන් පිලිබඳ කම්කරු පන්තියට පැහැදිලි කිරීමේ අරගලයත්, ධනේශ්වර හා ස්ටැලින්වාදී බොරුකාරයන්ගේ ප්‍රයත්නයන්ට එරෙහිව සටන් කිරීමත් සසප මැතිවරන උද්ඝෝෂනය සමඟ අවශ්‍ය‍යෙන්ම බද්ධව පවතී.

18. මැතිවරන ව්‍යාපාරයේ ඉදිරි සිව් මස තුල සසප එහි ක්‍රියාමාර්ගික වැඩපිලිවෙල කම්කරුවන්ගේ හා තරුනයන්ගේ පුලුල්ම කොටස් කරා ගෙන යාමට සටන් වැදිය යුතුය. අප කම්කරු පන්තිය වෙත හැරීමේ නාභිය වනු ඇත්තේ මැතිවරන ව්‍යාපාරයයි. එහි අර්ථය වන්නේ මැතිවරන ප්‍රකාශන හා පත්‍රිකා හැකිතාක් පුලුල් ආකාරයකින් බෙදාහැරීමත්, සසප වැඩපිළිවෙල හා ඉදිරිදර්ශනය සඳහා ශ්‍රාවකයින් දිනා ගැනීමට සෑම අවස්ථාවක්ම භාවිතා කිරීමත්, රට පුරා ආධාරකරුවන්ගේ රැස්වීම් පැවැත්වීමත්ය. මෙම උද්ඝෝෂනය මඟින් 2012 මැතිවරන කාලසීමාව තුලදී හා ඉනික්බිතිව ද නිසැකව වර්ධනය වනු ඇති අරගලයන් සඳහා පක්ෂය මෙන්ම කම්කරු පන්තිය ද සූදානම් කරනු ඇත.

Share this article: