ඕස්ටේ‍්‍රලියානු ආන්ඩුවේ සරනාගත පිලිවෙත: නෛතික හා ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතීන් මත එල්ල කරන ප‍්‍රහාරයක්

Australian government’s refugee policy: An assault on legal and democratic rights

ක්වීන්ස්ලෑන්ඩ් සසප සෙනට් සභික ධූරාපේක්ෂක මයික් හෙඩ් විසිනි, 2013 අගෝස්තු 7

ඕස්ටේ‍්‍රලියාවට බෝට්ටුවලින් පැමිනෙන සියලු රැකවරන පතන්නන් රටට ඇතුල් වීම වලක්වමින් ඔවුන් කුඩා දුප්පත් පැසිෆික් දූපත්වල ප‍්‍රාථමික පරිසරයකට නෙරපා හැරීම, මූලික නෛතික හා ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතීන් නින්දිත ලෙස උල්ලංඝනය කිරීමකි.

පැපුවා නිව් ගිනියාවේ (පීඑන්ජී) මැනුස් දූපත්වල හෝ නායුරු රාජ්‍යයේ නිවර්තන උෂ්නත්වය මධ්‍යයේ මිලිටරි පන්නයේ කූඩාරම් තුල හිතාමතා පනවන ලද දන්ඩන නියෝග යටතේ මිනිසුන්, ගැහැනුන් හා ලමුන් දහස් ගනනක් දින නියමයක් නැතිව අත්අඩංගුවේ තබා ගැනෙනු ඇත. තවමත් හෙලි නොකල නීති රෙගුලාසි යටතේ පීඑන්ජී හෝ නායුරු ආන්ඩු සරනාගතයින් ලෙස ඔවුන් පිලිගත්ත ද 1951 සරනාගත ප‍්‍රඥප්තියෙන් සුරක්ෂිත කොට ඇති මූලික අයිතීන් වන ප‍්‍රමානවත් සෞඛ්‍යාරක්ෂනය, අධ්‍යාපනය, රැකියා අවස්ථා, නිවාස හා සුභසාධන ආධාර නොමැතිව ඔවුන්ට පීඑන්ජී හෝ නායුරු රාජ්‍යයේ සිරවී සිටීමට සිදුවනු ඇත. කිසිවෙක් සරනාගතයින් ලෙස ඕස්ටේ‍්‍රලියාවට භාර නො ගැනෙනු ඇත.

ජීවිත කාලයම සරනාගතයින් ලෙස මෙම කොන්දේසිවලට යටත් කිරීම මගින් 1951 ප‍්‍රඥප්තිය හා රැකවරන පතන්නන් පිලිබඳ අනෙකුත් ජාත්‍යන්තර නීති උල්ලංඝනය කිරීමේ දී අගමැති කෙවින් රඩ්ගේ ආන්ඩුව එහි කිසිදු පූර්වගාමියෙකුට වඩා ඉදිරියට ගොස් ඇත. කිසිදු කාලයක දී හිටපු කිසිදු ආන්ඩුවක් මේ ආකාරයෙන් ඕස්ටේ‍්‍රලියාවේ දේශ සීමා වසා නැත.

ජාත්‍යන්තර සරනාගත ප‍්‍රඥප්තිය සම්මත කරන ලද්දේ එක්සත් ජනපදය ඇතුලු ප‍්‍රධාන බලයන් යුදෙව්වන් හා ෆැසිස්ට්වාදයට බියෙන් පලාඑන අනෙකුත් අයට දොරවල් වසා තිබූ දෙවන ලෝක යුද්ධයේ සන්ත‍්‍රාසයෙන් පසුව ය. එහි කොන්දේසි සීමාසහිත වන අතර සරනාගතයින් යයි පටු ලෙස අර්ථ දක්වනු ලබන්නේ "වර්ගය, ආගම, ජාතිකත්වය, සුවිශේෂී සමාජ කන්ඩායමක සාමාජිකත්වය හෝ දේශපාලන අදහසක් නිසා පීඩාවට ලක්වන්නේ යයි හොඳින් තහවුරු කල බියක්” ඇති අයයි. එසේ වුවත් එම ප‍්‍රඥප්තිය සරන සොයන්නන්ට යම් මූලික ආරක්ෂාවන් සම්පාදනය කරයි.

ප‍්‍රථමයෙනුත් ප‍්‍රමුඛවත් පීඩාවෙන් මිදී පලා ඒමට ඇති අයිතිය පිලිගන්නා ප‍්‍රඥප්තිය, රටකට (ප‍්‍රඥප්තියේ භාෂාවෙන්) "නීති විරෝධීව” පැමිනෙන - එනම් "ඔවුන්ගේ ජීවිතය හෝ නිදහස තර්ජනයට ලක්ව ඇති භූමියකින්” නිල අවසරයකින් තොරව පැමිනෙන - සරනාගතයින්ට කිසිදු දඬුවමක් පැමිනවීමෙන් වලක්වයි (31වන වගන්තිය). බොහෝ රැකවරන පතන්නන්ට මර්දනකාරී පාලන තන්ත‍්‍රයන්ගෙන් බේරී පලා ඒම සඳහා තම ජීවිත නීති විරෝධී යයි සලකන මුහුදු ගමන් හරහා පරදුවට තබනවා හැරෙන්නට වෙනත් විකල්පයක් නැතැයි මෙම නියමය පිලිගනී. බෝට්ටු මගින් පැමිනෙන රැකවරන පතන්නන්ට දඬුවම් කිරීම මගින් ලේබර් ආන්ඩුව එම අයිතියට ඍජුව පහර එල්ල කරමින් සිටී.

"ගිවිසුමට බැඳි රාජ්‍ය, ජාතික ආරක්ෂාවේ හෝ ප‍්‍රසිද්ධ නීතිය පිලිබඳ කරුනු මත සරනාගතයෙකු පිටුවහල් නො කරනු ඇතැ”යි ද "එවැනි සරනාගතයෙකු පිටුවහල් කිරීම නිශ්චිත නෛතික ක‍්‍රියාදාමයකින් පැමිනි තීන්දුවක් අනුව සිදුවනු ඇතැ”යි ද 32වන වගන්තිය අවධාරනය කරයි. මැනුස් හෝ නායුරු රාජ්‍යය වෙත ප‍්‍රවාහනය කරනු ලබන සරනාගතයින් කිසිදු අපරාධයක් කර නොමැත. ඕස්ටේ‍්‍රලියාවෙන් පදනම් රහිතව පිටුවහල් කෙරෙන ඔවුන් කිසිදු නඩු ඇසීමකින් හෝ නෛතික ක‍්‍රියාදාමයකින් තොරව රොතු බුරුතු පිටින් රඳවා ගනු ලැබේ.

"ගිවිසුමට සම්බන්ධ රටවල් කිසිදු තත්ත්වයක් යටතේ සරනාගතයෙකු ඔහුගේ ජීවිතය හෝ නිදහස තර්ජනයට ලක්වන භූමියේ දේශසීමා වෙත පිටුවහල් කිරීම හෝ ආපසු එවීම ("යලි එවීම”) නො කරනු ඇතැ”යි 33වන වගන්ගතියෙන් තහවුරු කරයි. මැනුස් දූපත් හා නායුරු රටවල තමන් රඳවා නොගෙන නිදහස් කල ද ඔවුන් මුහුන දෙන තර්ජන නො තකා ආපසු සිය රටට යාමේදී සරනාගතයන් තියුනු පීඩනයකට යටත් වනු ඇත. පීඑන්ජී හා නායුරු රාජ්‍යයේ දී ඔවුන්ට යථා නිදහසක් නොමැති අතර ඔවුන්ගේ ජීවිත රෝගපීඩා, දරිද්‍රතාව, මානසික සෞඛ්‍යය බිඳවැටීම හා වාර්ගික ආතතීන් මගින් තර්ජනයට ලක්වනු ඇත.

බාධාවකින් තොරව නීත්‍යානුකූල උසාවිවල පෙනී සිටීමේ නිදහස, (16වන වගන්තිය), වැටුප් ඉපයීමේ රැකියාවක නියුක්ත වීම (17) හා හැකිතාක් සතුටුදායක නිවාස (21) වැනි නිශ්චිත අයිතීන් සරනාගතයන්ට තිබිය යුතු යයි ප‍්‍රඥප්තිය සඳහන් කරයි. ප‍්‍රාථමික අධ්‍යාපනය හා අනෙකුත් අධ්‍යාපන කටයුතුවල යෙදීමේදී ජාතික පුරවැසියන් හා සමානව සැලකීමට හිමිකම් ඇති සරනාගතයන් (22) රාජ්‍ය සහනාධාර හා උපකාර ලැබීමේදී ජාතික පුරවැසියන් මෙන් ම සලකනු ලැබිය යුතු ය (23).

රැකියාවේ දී සිදුවන හානි, වෘත්තීයමය රෝග, මාතෘත්වය, රෝගාබාධ, දුබලතා, වයස්ගත භාවය, මරනය, විරැකියාව, පවුල් වගකීම් හා අනෙකුත් ආපතිකතා සම්බන්ධ නීති පැනවීම ඇතුලු සමාජ ආරක්ෂන වැඩසටහන් මගින් සරනාගතයන් ආවරනය කල යුතු (24) අතර රටතුල තමන් පදිංචි වන ස්ථානය තීන්දු කිරීමට හා නිදහසේ ගමන් කිරීමට ඔවුන්ට අයිතිය තිබිය යුතු ය (26).

නීතිමය සුරක්ෂිත භාවය පසෙක තැබුවත් මෙම අයිතීන් පිලිබඳ සඳහනක් පවා රඩ් සහ පීඑන්ජී හා නායුරු ආන්ඩු අතර ඇති කරගත් ගිවිසුම්වල නැත. තව ද පිඑන්ජී හා නායුරු රාජ්‍යවල සමාජ ආරක්ෂන ප‍්‍රතිලාභ නැත. එම රාජ්‍යයන් දෙක ම සරනාගත ප‍්‍රඥප්තියට අත්සන් තබා තිබුවත් එම අයිතීන් ආරක්ෂා කිරීමට ඇති බැඳීමෙන් දුරස්ථ ය.

වධ බන්ධනවලට, අහඹු ලෙස අත්අඩංගුවට ගැනීම හා ලමුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට ලක්වීම ආදියෙන් ආරක්ෂා වීම ඇතුලු අනෙකුත් මූලික අයිතීන් ජාත්‍යන්තර මානව හිමිකම් නීතියෙන් තහවුරු කර තිබුනත් මැනුස් හා නායුරු ගිවිසුම්වල ඒ කිසිවක් සුරක්ෂිත කර නොමැත.

පසුගිය මාසයේ රඩ් යෝජනා කල සරනාගත ප‍්‍රඥප්තිය සම්පූර්නයෙන් යලි සලකා බැලිය යුතු ය යන්නෙන් ආන්ඩුව ආපස්සට ගොස් තිබේ. පීඑන්ජී හා නායුරු රාජ්‍ය සමග ඇති කරගත් "ප‍්‍රාදේශීය ප‍්‍රතිස්ථාපන සැලසුම්” සරනාගත ප‍්‍රඥප්තියට ඕස්ටේ‍්‍රලියානු ආන්ඩුවේ බැඳීම් සමගින් පරිපාලනය කරනු ලැබිය යුතු යයි එය කියා සිටී. එහෙත් එම කියාපෑමට පිටුබලය දෙන නෛතික උපදේශය නිකුත් කිරීම නීතිපති මාක් ඩෙ‍්‍රෆුස් විසින් ප‍්‍රතික්ෂේප කර තිබේ.

" ඕස්ටේ‍්‍රලියාව, මානව හිමිකම් හා නීතියේ පාලනය” යන නරුම ලෙස මාතෘකාව යෙදූ ජූලි 26දා විශ්ව විද්‍යාලයක දී කල කතාවක දී මුහුදේ දී අනතුරට ලක්වන සරනාගතයින්ගේ ජීවිත පිලිබඳ මානවවාදී කනස්සල්ල මෙන් ම එක්සත් ජාතීන්ගේ සරනාගතයන් පිලිබඳ මහ කොමසාරිස් (යූඑන්එච්සීආර්) විසින් බලාත්මක කොට ඇති "ජාත්‍යන්තර ආකෘතීන්” සහතික කිරීමට ආන්ඩුවේ "සදාචාරාත්මක අවශ්‍යතාවේ” පිහිට පතමින් ඩෙ‍්‍රෆුස් ලේබර් ආන්ඩුවේ "ස්ථීර පිලිවෙත” සාධාරනීකරනය කිරීමට තැත් කලේය.

සත්‍යය වන්නේ පසුගිය දශක දෙක පුරා සෑම ආන්ඩුවක් මෙන් ම ලෝකය පුරා එහි සහචරයෝ රැකවරන පතන්නන් වලක්වා ඇති බව යි. මධ්‍යධරනී මුහුදේ සිට ඉන්දියන් සාගර කලාපය දක්වා සරනාගතයින් වඩ වඩා අන්තරායකාරී මුහුදු ගමන්වලට යොමුවීමට මෙම තත්වය ඍජුව වගකිව යුතු වේ.

මෙම සරනාගත විරෝධී පියවරයන්, ඇෆ්ගනිස්තානය, ඉරාකය, ඉරානය, පාකිස්තානය, සිරියාව හා නැගෙනහිර අප‍්‍රිකාව වැනි ව්‍යසනයට පත් ස්ථානවල පිහිටි යෝධ කඳවුරු තුල මිලියන ගනන් ජනයා වසර ගනනාවක් කාලකන්නි ජීවිත ගත කිරීමට අත්හැර දැමීම, යූඑන්එච්සීආර් විසින් පනවා ඇති "ජාත්‍යන්තර ආකෘතීන්” හි කොටසකි.

වසර දෙකකට පෙර මැලේසියාවේ ලේබර් ආන්ඩුව සරනාගතයන් කිහිප දහසක් පලවා හැරීමට තැත්කල ආකාරයට නොව පීඑන්ජීය ප‍්‍රඥප්තියට අත්සන් තබා ඇති රටක් බැවින් ඕස්ටේ‍්‍රලියානු ලේබර් ආන්ඩුවේ පීඑන්ජී සැලැස්ම, රටේ නීතියට අනුකූල යයි ද ඩෙ‍්‍රෆුස් අවධාරනය කලේ ය. 2011 දී ඕස්ටේ‍්‍රලියානු ඉහල අධිකරනය "මැලේසියානු විසඳුම” තහනම් කලේ එම රට ප‍්‍රඥප්තියට අත්සන් නො තැබූ රටක් නිසා ය යන පචයක් ද නීතිපතිවරයා ඇද බෑවේ ය.

මැලේසියානු සැලැස්ම හා මැලේසියානු නීතිය සරනාගතයන්ට මානව හිමිකම් සුරක්ෂිත කිරීමේ කිසිදු වගකීමකට බැඳී නැතැයි උසාවිය තීන්දු කල අතර පීඑන්ජී හා නායුරු ගිවිසුම්වලට ද එය ම අදාල වේ. "ඕස්ටේ‍්‍රලියාවේ හා පීඑන්ජීහි අගමැතිවරුන් අතර ඇති කරගත් එකඟතාව තුල ‘අයිතිවාසිකම්’ යන වචනය සඳහන් කරලාවත් නැත. ඒක නීති විරෝධී වෙන්නේ ඒ නිසයි” යනුවෙන් ගෝලීය සරනාගත නීතිය පිලිබඳ විශේෂඥ මහාචාර්ය ජේම්ස් හතාවේ අදහස් දැක්වීය.

ඩෙ‍්‍රෆුස් සඳහන් නොකරන්නේ සරනාගතයින් පටවා හරින කිසිදු රටක් තුල "නියමිත මානව හිමිකම් ප‍්‍රමිතීන්” හා "[සරනාගතයන්ගේ] ආරක්ෂාව තක්සේරු කිරීමට ඵලදායී ක‍්‍රම” තිබිය යුතු ය යන අවශ්‍යතා ඉවත් කරමින් කඩිමුඩියේ සංක‍්‍රමන පනත වෙනස් කිරීමට ඕස්ටේ‍්‍රලියානු ලේබර් ආන්ඩුව ඉහල උසාවි තීන්දුව ගසා කෑ බව යි.

දැන් "ජාතික අවශ්‍යතාව සඳහා අවශ්‍ය යයි සිතන්නේ නම්” ආඥාවක් මගින් සංක‍්‍රමනික ඇමතිවරයාට රැකවරන පතන්නන් වෙන රටකට මාරු කිරීම අනුමත කල හැකි ය. දේශපාලන උපාමාරුවලට කුප‍්‍රකට ලෙස විවෘත අභිමතානුසාරී බලයක් වන මෙයට නෛතිකව අභියෝග කිරීම අසීරු ය.

ලේබර් ආන්ඩුවේ සංශෝධන මූලික නෛතික හා මානව අයිතිවාසිකම් කෙරෙහි එහි අවඥාව පෙන්නුම් කරයි. මෙම ආකාරයට ක‍්‍රියා කිරීමට එයට හැකියාව ලැබී ඇත්තේ දේශීය නීතියට, සුවිශේෂී වසයෙන් ජාත්‍යන්තර මානව හිමිකම් නීතිවලට ඉහලින් ක‍්‍රියා කල හැකි යයි ඉහල අධිකරනය තීන්දු කිරීම සහ අනුයාත ඕස්ටේ‍්‍රලියානු ආන්ඩු වඩ වඩා විවෘතව සරනාගත ප‍්‍රඥප්තිය උල්ලංඝනය කිරීම හෙලා දැකීම යූඑන්එඑච්ආර්සී විසින් එක දිගට ම ප‍්‍රතික්ෂේප කිරීම නිසා පමනි.

1992 දී පෝල් කීටිංගේ ලේබර් ආන්ඩුව නිල අවසරයකින් තොරව චෝදනාවලට ලක් නොවී පලා ඒම නිසා, සරනාගතයින්ට අප‍්‍රසන්න ලෙස දඬුවම් කරමින්, බෝට්ටුවලින් පැමිනෙන සරනාගතයින් රඳවා ගැනීමේ නීතිය ප‍්‍රථම වරට හඳුන්වා දුන්නේ ය. ඉන් දශකයකට පසුව ජෝන් හොවාඩ්ගේ ලිබරල්-නැෂනල් ආන්ඩුව රැකවරන පතා එන්නන් බලහත්කාරයෙන් මැනුස් හෝ නායුරු වෙත හරවා යවන "පැසිෆික් විසඳුම” අනුමත කලේ, අවසානයේ කිහිප දෙනෙකුට ඕස්ටේ‍්‍රලියාවේ රැඳී සිටීමට අවසර දෙමිනි.

ප‍්‍රථම වරට දැන් රඩ්ගේ තන්ත‍්‍රය, අත්අඩංගුවට පත්වූවන් නෛතික අයිතිවාසිකම්, නියමිත සේවා හෝ ශිෂ්ට සම්පන්න ජීවන කොන්දේසිවලින් තොරව අවිනිශ්චිත කාලයකට පීඑන්ජී හෝ නායුරු වෙත යවයි. වෙනත් කිසිදු බටහිර ආන්ඩුවක් රැකවරන පතන්නන්ට දොර වැසීමේ දී සහ ආර්ථික වසයෙන් පසුගාමී හා සමාජීය අයිතිවාසිකම් අහිමි රටවලට ඔවුන් පිටුවහල් කිරීමේ දී එතරම් දුර ගොස් නැත.

ජාත්‍යන්තර කම්කරු පන්තියේ වඩාත් ම අන්තරායන්ට මුහුන දෙන ස්ථරවලින් එක් කොටසක් වන පීඩනයෙන් හා යුද්ධයෙන් පලා එන ජනයාට ලේබර් ආන්ඩුව සලකන අවනීතික විධිය, කප්පාදු වැඩසටහන් වලට හා මිලිටරිවාදයට එරෙහි සමාජ හා දේශපාලන විරුද්ධත්වයට මුහුන දීමේ දී රට තුල ක‍්‍රියාවට යොදන පොලිස් රාජ්‍ය විධික‍්‍රම පිලිබඳ අනතුරු ඇඟවීමක් ද වේ.

සමාජවාදී සමානතා පක්ෂය, අනාථ ජනයා විකර්ෂනය කිරීමට හා පිටුවහල් කිරීමට කෟෟර විධික‍්‍රමවලට අනිවාර්යයෙන් ම යොමු වීමේ තර්කය සහිත සංක‍්‍රමනික පාලනය හා "දේශසීමා ආරක්ෂා කිරීමේ” සමස්ත ජාතික රාජ්‍ය රාමුවට ම විරුද්ධ වේ. අපගේ සහෝදර ජාත්‍යන්තර පක්ෂ සමගින් අප සටන් වදින්නේ සියලු ජනයාට පූර්න නෛතික හා සිවිල් අයිතිවාසිකම් සමගින් තමන් කැමති තැනක ජීවත්වීමට හා වැඩ කිරීමට ඇති මූලික ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතිය වෙනුවෙනි. මෙය මිලියන ගනන් ජනයා සිය මුල් භූමිවලින් පලවා හරින යුද්ධ හා සමාජ කාලකන්නිභාවයේ මූලික හේතුව වන ධනේශ්වර ලාභ පද්ධතිය පෙරලා දැමීම සඳහා ලෝක කම්කරු පන්තිය ඒකාබද්ධ කිරීමට කරන අරගලයේ අත්‍යවශ්‍ය සංරචකයකි.

Share this article: