පශ්චාත් නූතනවාදී විස්මලන්තය: ඇලන් සොකාල් සහ ජීන් බි‍්‍රක්මෝ ගේ බුද්ධිමය වංචාවෝ කෘතිය

The post-modernist wonderland: Intellectual Impostures by Alan Sokal and Jean Bricmont

By Stefan Steinberg, 1 July 2000

Intellectual Impostures (බුද්ධිමය වංචාවෝ), ප්‍රොෆයිල් බුක්ස් ISBN 1 86197 1249

මෙම කෘතිය දැනට ඉංග‍්‍රීසිය ඇතුලු භාෂා ගනනාවකට පරිවර්තනය කෙරී ඇති අතර දැන් මෙහි ඉංග‍්‍රීසි ලාභ මුද්‍රනයක් ද ඇත. මෙය, නවීන මතවාදි ප‍්‍රවනතාවන් ගැන - විශේෂයෙන් ම ‘පශ්චාත් නූතනවාදය’ යන දෙමුහුන් යෙදුමෙන් හැඳින්වෙන නිශ්චිත හැඩහුරුවක් නැති නොයෙකුත් චින්තන ගුරුකුල ගැන - උනන්දුවක් ඇති සෑම අයකු ම කියවිය යුත්තකි.

ඇලන් සොකාල් සහ ජීන් බි‍්‍රක්මෝං තම කඩු සහ පලිහ රැගෙන ප‍්‍රංශ පශ්චාත් නූතනවාදීන් අතුරින් වඩාත් ප‍්‍රමුඛයන් කිහිප දෙනෙකු ගේ කෘතිවල දක්නට ලැබෙන විකාර රැසකට ම එරෙහිව සටන් බිමට පිවිසෙයි. සොකාල් සහ බි‍්‍රක්මෝං ඉදිරිපත් කරන ප‍්‍රකාශ සහ නිගමන ගනනාවක් සමග මෙම ලේඛකයා එකඟ නො වූවත් පශ්චාත් නූතනවාදීන් තම සංකල්පීය අපවාදවලින් පුම්බා ඇති විකාර සහගත බැලූනය පුපුරවා හැරීමට ඔවුන් ගන්නා උත්සාහයට පමනක් නොව කතුවරුන් ගේ ම වචනවලින් පවසතොත් "සමහර පුද්ගලයින් කෙරෙහි හා මෙවැනි වර්ගයේ ‘කතිකාවක් ’ ඉවසමින් ඒවාට අත දුන් ඇමරිකා එක්සත් ජනපදයේ සහ යුරෝපයේ බුද්ධිමතුන් සමූහයක් ද ගැන විවේචනාත්මක ආකල්පයක් ගැනීමට උනන්දු කරවීම ” (පි.6) ගැන ද මේ දෙදෙනාට ස්තූති කල යුතු ය.

ඉහත කී කෘතිය බිහි වූ හැටි නැවතත් මෙනෙහි කර ගැනීම වටනේ ය. සොකාල් නිව්යෝක් සරසවියේ සේවය කරන භෞතික විද්‍යාඥයෙකි. සමාජ විද්‍යාවට හා වෙනත් විෂයයන්ට අදාලව වඩාත් මෑත ගොඩනැගුනු ක්ෂේත‍්‍රයන් වන "සංස්කෘතික අධ්‍යයන” නමැති විෂයයට කැප වූ වාම නැඹුරුවකින් යුතු බලගතු සඟරාවක් සේ සැලකෙන Social Text (සමාජ පඨිතය) නම් වූ සඟරාවේ පල කිරීම සඳහා ඔහු 1996 දී ලිපියක් ඉදිරිපත් කලේ ය. ඔහු එම ලිපියට යෙදූ මාතෘකාව වූයේ Transgressing the Boundaries:Toward a Transformative Hermeneutics of Quantum Gravity ( කඩයිම් ඉක්මවා යෑම: ක්වාන්ටම් ගුරුත්වාකර්ෂනයේ පරිවර්තනාත්මක අර්ථවිවරන විද්‍යාවක් කරා) යන්නයි.

මෙහි දී ඔහු පිටු කිහිපයක් තුල තමාට ලිවිය හැකි ඉතාමත් ම විකාරාත්මක සහ ව්‍යාජ ම විද්‍යාත්මක ලෙස පෙනෙන ප‍්‍රකාශ රාශියකින් ලිපිය පිරෙව්වේ ය. [අරුත් සුන් ගාඪ වචන සහ විකාර යෙදුම් හා වාක්‍යවලින් තම ලිපි පිරවීම පාඨකයින් රැුවටීම ස`දහා පශ්චාත් නූතනවාදීන් යොදා ගන්නා උප්පරවැට්ටියකි. පරි. ] පාඨකයින් ගේ විනෝදය සඳහා එම ලිපියේ එක් කොටසක් පමනක් මෙහි දී ඉදිරිපත් කරමි.

කලින් කාල පරිච්ඡෙදයේ දී ස්ථාවර යැයි ද විශ්වමය යැයි ද උපකල්පනය කරනු ලැබූ යුක්ලිඞ්ගේ පයි සහ නිව්ටන්ගේ ජීය දැන් සංජානනය කෙරෙනු ලැබෙන්නේ ඒවායේ පවතින මගහැරිය නො හැකි ඓතිහාසිකත්වය තුලිනි. අනුමානනීය නීරික්ෂකයා අවකාශ-කාල ලක්ෂ්‍යයකට ඇති ඥානවිභාගාත්මක පුරුකකින් මරනීය ආකාරයෙන් අවකේන්ද්‍රගත කෙරී සහ අසම්බන්ධිත කෙරී ඇත.

[ මෙම උධෘතයේ නියම විසුලු ස්වභාවය පෙනෙන්නේ ඉංගී‍්‍රසි පාඨ තුල ය. එබැවින් මෙහි දී එය ඉදිරිපත් කරමු. පරි.]

The pi of Euclid and the G of Newton. formerly thought to be constant and universal, are now perceived in their ineluctable historicity; and the putative observer becomes fatally de-centered, disconnected from any epistemic link to a space-time point.

ඉහත කී සඟරාවේ කතුවරයෙකු හා සම ආරම්භකයකු වූ නිව් යෝක් විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයකු වන ස්ටැන්ලි ආරොනොවිට්ස් ඇතුලු එම ලියවිල්ලට රැවටුනු කතෘ මන්ඩලය එය බැරෑරුම් ලියවිල්ලක් ලෙස සලකා සඟරාවේ පල කලහ.

පල වූ ලිපිය කතුවරුන් මෝඩයින්ට ඇන්ඳීමේ අරමුනින් ගොතන ලද විකාරයක් බව සොකාල් ඉදිරියට පැමින ප‍්‍රකාශ කිරීමත් සමග ම කතෘ මන්ඩලයේ පස්සා ගැසීම පටන් ගැනිනි. සොකාල් කලේ කුනු වූ තුවාලයක් ඇඟිල්ල ඔබා පෑරීමකි. දැන් අප විචාරය කරන මෙම කෘතියෙහි දී ඔහු කරන්නේ තුවාලය තව තවත් ගැඹුරට හෑරීමයි.

කතුවරයා ප‍්‍රංශ පශ්චාත් නූතනවාදයේ ප‍්‍රධාන පුද්ගලයින් ගනනාවකගේ කෘති කපා කොටා විභාග කරයි. ඔවුන් අතර ෂාක් ලකාන්, ෂෝන්-පියර් ලියෝතාද්, ජුලියා කි‍්‍රස්තේවා, ෂෝන් බෝදියාද්, ගයිල් ඩෙලූෂ්, සහ පීලික්ස් ගුවත්තාරී වෙති. මේ අය තම තර්ක හඳුන්වාදී ඒවා වර්ධනය කරන්නේ ඉවක් බවක් නැති ආකාරයට බව පෙන්වාදීම සඳහා සොකාල් ඔවුන් ගේ කෘතිවලින් උදාහරන ඉදිරිපත් කරයි.

ලියුස් ඉරිගැරේ සහ ජුලියා කි‍්‍රස්තේවා

ලියූස් ඉරිගැරේ පශ්චාත්නූතනවාදී දාර්ශනික හා විද්‍යාත්මක මවා පෙන්වීම් කරන අය අතුරින් ප‍්‍රමුඛ ප‍්‍රංශ ස්ති‍්‍රවාදිනියකි. යුරෝපයේ සහ ඇමරිකාවේ ශාස්ත‍්‍රාලීය කව අතර ඇගේ කෘති ඉහලින් ම පිලිගැනේ. `"Le sujet de la science est-il sexue?" (1987) , නමැති ඇගේ කෘතියෙහිඇය අයින්ස්ටීන් ගේ සුප‍්‍රසිද්ධ සාපේක්ෂතා න්‍යාය ගැන මෙතෙක් කවුරුවත් නො දැකපු අංශයක් ඉස්මත්තට ගෙනෙයි. ඇය මෙම ප‍්‍රශ්නය මතු කරයි: " e=mc2 යන සමීකරනය ලිංගික සමීකරනයක් ද?” ඇය තවදුරටත් මෙසේ ද කියයි: "සමහර විට එය එසේ විය හැකි ය . අපි මෙවැනි අභ්‍යුපගම්‍යයක් ඇති කර ගනිමු: එය එසේ වන්නේ අපට ඕනෑ කරන වෙනත් වේගයන්ට වඩා ආලෝකයේ වේගය මෙම න්‍යාය විසින් වරප‍්‍රසාදී ලෙස ඉහලින් ඔසවා තැබීමේ හේතුව නිසා ය. මෙම සමීකරනය ලිංගිකමය එකක් වීිමට ඉඩ ඇති බව මාහට පෙනෙන්නේ න්‍යෂ්ටික ආයුධ සඳහා එය යොදා ගැනීම නිසා නොව අනෙකුත් දේවල් ගමන් කරන වේගයට වඩා එහි වේගය ඉහත කී න්‍යාය මගින් වරප‍්‍රසාදිත කෙරෙන නිසා ය.” (පි. 110)

මෙම ලිපියේ අඩංගු දෑවලට සමාන කරුනු ලියන වෙනත් ලිපියක ඉරිගැරේ මෙසේ අඬ හැර තබයි: "න්‍යාෂ්ටික බලාගාර පිහිටුවීමත් ජීවිතයේ අවශ්‍ය කොන්දේසියක් වන ශාරීරිකමය අවස්ථිතිය (අකර්මකතාව) ප‍්‍රශ්නයට භාජනය කිරීමත් හැර මේ මහලොකු සාපේක්ෂතාවාදී න්‍යාය අපට කර ඇත්තේ කුමන සේවයක් ද? (පි.98)

ඇත්ත වශයෙන් මේ අවස්ථා මෙහි දී ඉදිරිපත් කෙරෙන තර්කය බොහෝ පශ්චාත් නූතනවාදීන්ගේ තර්ක මෙන් එතරම් අන්තෝජටා බහුජටා වර්ගයේ එකක් නො වේ. එය මෙසේ ය: අයින්ස්ටීන් (ඔහු පිරිමියෙකි. එය ඔප්පු කල යුත්තකි) නවීන විද්‍යාවේ මුල් ගලක් බවට පත් වී ඇති සාපේක්ෂතාවාදය පිලිබඳ න්‍යාය වර්ධනය කලේ ය. ඔහු ගේ න්‍යායයේ එක් අංගයක් වන්නේ භෞතික වස්තූන්ට ආලෝකයේ වේගයට වඩා වේගයෙන් ගමන් කල නො හැකි බවයි. එනම් අපට සිතා ගත හැකි ඉහල ම වේගය ආලෝකයේ වේගය යි. ඉරිගැරේගේ අදහසට අනුව වේගය යනු බොහෝ සෙයින් ම පිරිමි ලක්ෂනයකි. අයින්ස්ටීන් තම සමීකරනයේ දී වේගය ගැන "එල්බී ගැනීම” ලිංගිකමය පරමාර්ථයක් පෙන්නුම් කරන්නකි. මේ අනුව මේ සමීකරනය සම්පූර්නයෙන් ම සැක සහිත ය. ( එමෙන් ම එය අපේ ශරීරමය අකර්මකතාවට තර්ජනයකි. අකර්මකතාව දිගු කල් දිනේ වා!)

බැරෑරුම් තර්ක කිරීමකට වඩා ඇලිස් ගේ විස්මලන්තයට සමාන වන්නා වූ තම තර්කය ගොඩ නැගීම සඳහා ඉරිගැරේ එක් කරුනක් අමතක කරයි. එය නම් ආලෝකයේ වේගය ලබා ගැනීමට උත්සාහ කරන්නේ නම් පිරිමි ඇඟට මෙන් ම ගැහැනු ඇඟට ද එකම වර්ගයේ ප‍්‍රශ්නවලට මුහුන දීමට සිදුවේ ය යන කරුන යි. ඉරිගැරේ ගේ තර්කය ගැන සොකාල් සහ බි‍්‍රක්මෝං පැමිනෙන්නේ මෘදු නිගමනයකට ය: "අවාසනාවකට මෙන් ඉරිගැරේ ගේ ප‍්‍රකාශවලින් පෙන්නුම් කෙරෙන්නේ ඇය සාකච්ඡා කරන විෂයයන් ගැන ඇයට පවතින්නේ නො ගැඹුරු දැනීමක් බවයි. මේ නිසා ඇය සාකච්ඡ‍ාවට කිසි දෙයක් එකතු නො කරයි.”

අයාලේ යන ඉරිගැරේ තමන්ට ඉතා සුලු දැනීමක් ඇති ක්ෂේත‍්‍රයකට කඩා වැදීමෙන් පසු ව පඹගාලක පැටලී ඇත. ඇය දඟලද්දී අපි ගමනේ යමු.

සාහිත්‍යමය කි‍්‍රයාකාරකම් සහ ගනිතය අතර සම්බන්ධයක් පවතී යැයි තහවුරු කිරීමට උත්සාහ කල තවත් ප‍්‍රමුඛ පශ්චාත් නූතනවාදියෙක් නම් ජුලියා කි‍්‍රස්තේවා ය. විශේෂයෙන් ම ඇය වීජගනිතයේ අංශයක් වන කුලක න්‍යාය සමග පද්‍යයට සම්බන්ධකමක් ඇතැ යි තහවුරු කිරීමට උත්සාහ දරා ඇත. , "Semiotike: Researches for a Semioanalysis", නමැති ඇගේ කෘතියෙහි (1969) එක් ඡේදයක් මෙසේ ය.

(මින් මත්තට අප විසින් කාභා යනුවෙන් හඳුන්වන- කාව්‍යමය භාෂාව රේඛීය තර්කනයේ කේත ඇතුලත් කර ගනී. එපමනක් නොව, එය තුල, කෘතිම සංඥා පද්ධතියක් තුලින් වීජගනිතය විසින් රූපික බවට පත් කර ඇත්තා වූ ත් සාමාන්‍ය භාෂාවේ ප‍්‍රකාශයට පත් වීමේ මට්ටමේ දී බාහිරීකරනය කර නොමැත්තා වූ ත් සියලූම සංඛ්‍යාමය ගැලපීම් අපට එහි දී දැක ගත හැකි ය.” (පි.41)

තම ලිපිය තුල කි‍්‍රස්තේවා විසින් ප‍්‍රකාශ කර ඇති මුසාවාද සහ විකෘති කිරීම් බොහොමයක් ම සොකාල් සහ බි‍්‍රක්මෝං එලිදරව් කරති. ඒ අතර ම ඔවුන් පෙන්වා දෙන කරුනක් වන්නේ පද්‍යයත් ගනිතයේ එක් අංශයකුත් අතර සම්බන්ධතාවයක් පවතීය යන ඇගේ ප‍්‍රවාදය සනාථ කිරීමට කි‍්‍රස්තේවා එකම බැරෑරුම් තර්කයක්වත් ඉදිරිපත් නො කරන බවයි.

අප‍්‍රසන්නතාවය මැඩ ගනිමින් අපට පැවසිය හැක්කේ මැය ද අනවශ්‍ය ලෙස පුම්බා අධිතක්සේරුවකට ලක් කර ඇති න්‍යායඥයෙකු බව ය. කෙසේ වෙතත් වංචා ලැයිස්තුව තවත් දිග ය.

තමන් ගේ දේශපාලනය වමට නැඹුරු වූවක් යැයි බොහෝ දෙනෙක් විසින් කියා පාන්නා වු ප‍්‍රංශ තත්කාලීන චින්තකයින් අතර ඉතාමත් ගෞරවනීය තත්වයක් උසුලන්නා වූ පුද්ගලයින් වෙනුවෙන් සොකාල් සහ බි‍්‍රක්මෝං පරිච්ඡෙදයෙන් පරිච්ඡෙදය වෙන් කරති. මෙසේ ගොනු කර ගෙන ඇති බුද්ධිමත්තු ස්වභාව විද්‍යාව තුල ගරුත්වයට පත් වූ ද සංකල්ප සමාජවිද්‍යවේ ද සාහිත්‍ය විවේචනය, වාග්විද්‍යාව, සංස්කෘතික අධ්‍යයන හා තවත් විෂයයන් ගනනාවක් තුල මතභේදාත්මක න්‍යායන් ඉදිරිපත් කිරීම සඳහා වංචනිකව යොදා ගන්නා බව ඔවුහු හෙලිදරව් කරති.

පශ්චාත් නූතනවාදය යනු කුමක්ද?

ඉඳිකටුවක තුඩ මත දේව දූතියන් කීදෙනෙකුට නැටීමට හැකිද යනුවෙන් මධ්‍යතනයුගයේ දී සිදු වූ දේවධාර්මික විවාදය තුලින් බිහි වූ විකාර තරම් ම විකාර පශ්චාත් නූතනවාදය විසින් බිහි කර ඇති බව තහවුරු කල හැකි කරුනු සම්භාරයක් සොකාල් සහ බි‍්‍රක්මෝං විසින් ඉදිරිපත් කරති. එහෙත් ප‍්‍රශ්නය එතනින් අවසාන වේ ද? පශ්චාත් නූතනවාදය හුදෙක් විකාරයක් පමනක් ද? පශ්චාත් -නූතනවාදය යනු කුමක් ද ? මෙම ව්‍යාපාරයේ මුල් මොනවාද?

මේ සම්බන්ධයෙන් සොකාල් සහ බි‍්‍රක්මෝං වැදගත් නිරීක්ෂන කිහිපයක් ම කරති. ප‍්‍රථමයෙන් ම ඔවුහු පශ්චාත් නූතනවාදයේ සාමාන්‍ය ප‍්‍රවනතාවය නිවැරදි ව හ`දුනා ගනිති.: එය ඥානනය කල හැකි විෂයබද්ධ යථාර්ථයක පැවැත්ම ප‍්‍රතික්ෂේප කරන්නා වූත් චින්තනයේ සහ විද්‍යාවේ සෑම ක්ෂේත‍්‍රයකට ම සාපේක්ෂත්වය ඇතුල් කරන්නා වූ ත් චින්තන ගුරුකුලයකි.

මීට අමතරව මෙම කතුවරුන් "ශාස්ත‍්‍රාලීය වමේ” පලල් තට්ටුවකට මෙම පශ්චාත්නූතනවාදී න්‍යායයක් සමග පවතින විශේෂ නෑකමක් පෙන්වා දෙති. Intellectual Impostures කෘතියේ මුල් මුද්‍රනයට එල්ල වූ "වාම” විවේචන කිහිපයකට පිලිතුරු දීමේ දී සොකාල් තමා මෙම කෘතිය ලිවීමට තල්ලූ කරනු ලැබූ හේතු මෙසේ විස්තර කලේ ය:

මම මෙය ලියූවේ ඇයි? මා පැවසිය යුත්තේ මම විසංයෝජනය කම්කරු පන්තියට උදව් කරන්නේ කෙසේද යන්න ඇත්ත වශයෙන් ම නො තේරුනා වූත් ලැජ්ජා නො වන්නා වූත් පරන තාලයේ වාමාංශිකයෙක් බවයි. ඒ සමගම මම, බාහිර ලෝකයක් පවතින බවත් එම ලෝකය ගැන සත්‍යයන් පවතින බවත් මගේ කාර්යය වන්නේ ඒවායින් සමහරක් සොයා ගැනීම බවත් විශ්වාස කිරීමට තරම් මෝඩ වූ පැරනි තාලේ වයස්ගත වූ විද්‍යාඥයෙක් බවත් පැවසිය යුතු ය. (පි.249)

ප‍්‍රංශ බුද්ධිමතුන් පශ්චාත් නූතනවාදයේ ගාමක බලවේග වන බව මෙම කතුවරු පැහැදිලි කරති. එහෙත් ඔහු පෙන්වා දෙන්නේ මෙම ව්‍යාපාරය බි‍්‍රතාන්‍යයේ සහ ඇමරිකාවේ බුද්ධිමතුන් ගේ කන්ඩායම් තුල පලල් පිලිගැනීමකට ලක් වී ඇති බවයි. ”ලකාන්, කි‍්‍රස්තේවා , බ්‍රෝදියාද් සහ ඩිලූස් ගේ ලියවිලි තුල, දැඩි විද්‍යාත්මක විනයානුකූල භාවය කෙරෙහි දක්වන කෂඩ ආකල්පය 1970 ගනන්වල දී ප‍්‍රංශය තුල පැහැදිලි ලෙස ම ජනපි‍්‍රය වු අතර එහි එය තාමත් තියුනු ලෙස බලපෑම් සහගත වෙයි. මෙම චින්තන ක‍්‍රමය 1980 ගනන්වල සහ 1990 ගනන්වල දී ප‍්‍රංශයෙන් පිටත ඉංගී‍්‍රසි කථා කරන ප‍්‍රදේශය තුල පැතිර ගියේ ය.( පි 194)

එක් ඡේදයක දී සොකාල් සහ බි‍්‍රක්මෝං පශ්චාත් නුතනවාදය සම්බන්ධයෙන් "බොහෝ විට අතිශයෝක්තියට නංවනු ලැබූ සමාජ විද්‍යාත්මක පුරුකක් පවතින ” බව පිලිගන්නා නමුදු මෙසේ ද පවසයි: "විශේෂයෙන් ම මෙහි දී විග‍්‍රහයට ලක් කෙරී ඇති අදහස්වලට දේශපාලනය සමග සංකල්පිත හෝ තර්කානුකූල සම්බන්ධයක් පවතින්නේ නැති තරම් ය. පවතින්නේ නම් යාන්තමිනි.” තමන් ගේ ම මෙම ස්ථාවරයේ ප‍්‍රතිඵලයක් ලෙස කතුවරුන්ට පශ්චාත් නූතනවාදයේ මූලයන් ගැන තවදුරටත් වැදගත් යමක් කීමට නැත.

එහෙත් පශ්චාත් නූතනවාදයේ ප‍්‍රධාන අය තමන්ගේ ම චින්තනයේ ඓතිහාසික සහ දේශපාලනික මූලයන් පැහැදිලි කිරීමේ දී මැලිකමක් නො දක්වති. පශ්චාත් නූතන ව්‍යාපාරයේ පාප්වහන්සේ හෙවත් සීයා ලෙස බොහෝ අය සලකන්නේ ෂෝන්- ෆ‍්‍රන්සුවා ලියෝතාද් ය. The Post-modern Condition නමැති ඔහුගේ කෘතියේ දී ඔහු නූතනය සහ පශ්චාත් නූතනය අතර වෙනසක් දක්වයි.

විඥානයේ අපෝහකය, අර්ථයේ අර්ථවිවරන ශාස්ත‍්‍රය සහ තාර්කිකත්වය හෝ කි‍්‍රයාකාරී විෂයයේ විමුක්තියට පත් කිරීම හෝ ධනය නිර්මානය කිරීම වැනි සතර මහා ආඛ්‍යානයන් පැහැදිලි ලෙස කැඳවුම් කරන්නා වූ මෙම වර්ගයේ මහා කතිකාවකට සම්බන්ධ කර තමා යුක්තියුක්ත කර ගන්නා වූ ඕනෑම විද්‍යාවක් මම නූතන යනුවෙන් හඳුන්වමි.

අන්තයට ම සරල කර පවසන්නේ නම් මම පශ්චාත්-නූතනය ලෙස හ`දුන්වන්නේ මහා ආඛ්‍යායන කෙරෙහි දක්වන අවිශ්වාස සහගත බවයි. මෙම අවිශ්වාසය නිසැකව ම විද්‍යාවේ වර්ධනය නිසා ඇති වූ වකි. එහෙත් මෙම වර්ධනය ම අනෙක් අතට එම අවිශ්වාසය පූර්වයෙන් පිලිගෙන බිහිවෙයි. අධිභෞතික දර්ශනවාදයේ සහ අර්ධ වශයෙන් එය මත ම රැඳෙන විශ්ව විද්‍යාල කාර්යභාරයේ අර්බුදය යුක්ති යුක්ත කිරීම පිලිබඳ මහා ආඛ්‍යානමය මෙවලම් පද්ධතියේ යල් පිනූ ස්වභාවය වඩාත් පැහැදිලිව අනුරූප වෙයි. ආඛ්‍යානමය කාර්යයට එහි කාර්ය සාධකයින් අහිමි වෙමින් පවතී. ආඛ්‍යාන කාර්යයයේ කාරකයින් ද මහා වීරයා ද එහි මහා වීර චාරිකාවන් ද එහි මහා එල්ලය ද ඊට අහිමි වෙමින් පවතී” The Post-modern Condition ^1977&

එක්තරා අවබෝධයක් මගින් ලෝකය සහ සමාජය ගැන දැනුවත් ව වෙනස් කිරීමේ යම් පදනමක් සපයන්නේ ද ඒ සඳහා පොදු වැටහීමක් ලබා ගැනීමේ හැකියාවෙන් ආරම්භ වන්නා වූ සෑම දාර්ශනික සහ සමාජයීය සංකල්පයක් ම මහාආඛ්‍යාන ලෙස ලියෝතාද් සලකයි. එවැනි සෑම සංකල්පයක් ම ලියෝතාද් දැඩිසේ ප‍්‍රතික්ෂේප කරයි.

මේ සම්බන්ධයෙන් ගත් කල නරකම වැරදිකරුවා ලෙස ජර්මන් දර්ශනවාදී හේගල් (විඥානයේ අපෝහකය) සැලකීම අතින්, ලියෝතාද් පශ්චාත් -නූතනවාදීන් අතර හුදකලා වූ වෙක් නො වේ. පශ්චාත් -නූතනවාදීන්ට හේගල් ගැන ඇති නුරුස්සීම ( මේ ගැන පසු ව කරුනු දැක්වේ) විශේෂයෙන් ම එල්ල වන්නේ අපෝහක විධික‍්‍රමය මත පදනම් වූ සර්ව-අන්තර්ගත ලෝක දෘෂ්ටියට එරෙහිව ය. පශ්චාත්-නූතනවාදීන් ගේ අවිශ්වාසයට ඒ හා සමානව ම ගොදුරු වන්නේ සමාජවාදී කම්කරු ව්‍යාපාරය හැටියට සමාජ බලවේගයක් බවට පත් වූ මාක්ස් එංගල්ස් විසින් හේගල් ගේ අපෝහකය ද්‍රව්‍යවාදී ලෙස ප‍්‍රතිසංස්කරනය කිරීමයි.

පශ්චාත් නූතනවාදය සහ ස්ටැලින්වාදය

ස්ටැලින්වාදය සහ එහි අපරාධ සමාජවාදය සමග අනන්‍ය කරන්නා වූ ලියෝතාද් සහ අනෙකුත් පශ්චාත්-නූතනවාදීන් දරන මතය වන්නේ විසිවැනි සියවස සටහන් කරන්නේ මාක්ස්වාදී මහා ආඛ්‍යානයේ අවසාන අසාර්ථක භාවය ("තාර්කිකත්වයේ හා වැඩ කරන විෂයයාගේ විමුක්තිය") බවයි. මීට අමතරව ඔවුහු තාර්කික ආකාරයකට ධනපතිවාදය සංවර්ධනය කිරීම ( ධනය නිර්මානය කිරීම)ට ඇති ඉඩකඩ තහවුරු කරන්නා වූත් සියල්ල අලලා ගත්තා වූත් න්‍යායයක් ගැන තම අසතුට පල කරති.

පශ්චාත් -නූතනවාදය වර්ධනය වීමේ දී දේශපාලනය ඉටු කල කාර්යය සොකාල් සහ බි‍්‍රක්මෝං විසින් අඩු තක්සේරු කෙරෙන නමුත් ලියෝතාද් ගේ විකාශනය හෙලිදරව් කරන්නේ ඔහුගේ න්‍යායයන් හි විකාශනය ප‍්‍රංශය තුල පශ්චාත් -යුද්ධ වාමාංශික දේශපාලනය සම්බන්ධයෙන් ඔහු ගේ ම අත්දැකීම් සමග අත්‍යාන්තයෙන් ම බැ`දී පවතින බවයි.

1924 දී වර්සේයි නගරයේ උපන් ලියෝතාද් පැරිසියේ සෝබෝන් විශ්ව විද්‍යාලයේ දී දර්ශනවාදය සහ සාහිත්‍යය උගත්තේ ය. තරුනයෙක් ලෙස ඔහු වෘත්තීය සමිති දේශපාලනයේ කි‍්‍රයාත්මක වූ අතර ඇල්ජීරියාවේ ගුරුවරයෙකු ලෙස සේවය කරද්දී ඇල්ජීරියාව තුල ප‍්‍රංශ යටත්විජිතවාදය සම්බන්ධයෙන් පුද්ගලිකව ම ලැබූ අත්දැකීම් නිසා ඔහු ගේ අදහස් සටන්කාමී පරිවර්තනයකට ගොදුරු විය. ඇල්ජීරියානු ජාතිකවාදය මර්දනය කිරීමට සහාය දුන් ස්ටැලින්වාදී ප‍්‍රංශ කොමියුනිස්ට් පක්ෂය ප‍්‍රතික්ෂේප කල ලියෝතාද්, කොර්නේලියස් කැස්ටෝරියාඩිස් නායකත්වය දුන් "සමාජවාදය හෝ ම්ලේච්ඡත්වය” නමැති සංවිධානයට බැඳුනේ ය. තමන් ට්‍රොට්ස්කිවාදීන් යැයි කියා ගත් මෙම කන්ඩායම සෝවියට් සංගමය ගැන ට්‍රොට්ස්කි ගේ විග‍්‍රහය ප‍්‍රතික්ෂේප කරමින් එය රාජ්‍ය ධනේශ්වර වර්ගයේ ආර්ථිකයක් යැයි ප‍්‍රකාශ කලේ ය.

1950 ගනන්වල දී කැස්ටෝරියාඩිස් වේගයෙන් දකුනට යෑමත් සමගම ලියෝතාද් මෙම කන්ඩායමෙන් කැඞී 1964 දී "කම්කරු බලය” නමැති සඟරාව වටා තමන් ගේ ම කන්ඩායමක් ගොඩ නැගුවේ ය. ඉන් අවුරුදු දෙකකට පසු ව ඔහු විප්ලවවාදී දේශපාලනයෙන් මුලුමනින් ම බිඳී වෙන් විය. පසු ව ඔහු 1988 දී දුන් සම්මුඛ සාකච්ඡාවක දී මෙම පරිවර්තනය ඉතා අවංක ව විස්තර කලේ ය. "මගේ ජීවිතයේ එක් අවධියක් අවසාන වෙමින් පැවතිනි. මම විප්ලවයට සේවය කිරීම අතහරිමින් සිටියෙමි. මම වෙන දෙයක් කල යුතු ය. මම මගේ බෙල්ල බේරා ගත්තෙමි.”

පශ්චාත් -නූතන න්‍යායාචාරීන් ගෙන් බොහෝ දෙනෙක් මීට සමාන දේශපාලන ගමන් මාර්ගයක් තුලින් ගමන් කල අය වෙති. ජූලියා කි‍්‍රස්තේවා තම පලමු ලියවිලි ප‍්‍රසිද්ධ කලේ Les Temps Modernes(ලේ ටෙම්ප් මොඩර්නේ) නමැති සඟරාවේ ය. කතෘ වූ ෂෝන් පෝල් සාත‍්‍ර ප‍්‍රංශ ස්ටැලින්වාදයේ හිතවතෙකු වූ අතර ජීවිතයේ අවසාන කාලය වන විට මාඕවාදය වෙතට නැඹුරු විය. අනෙකුත් පශ්චාත්-නූතනවාදීන් ගෙන් බොහෝ දෙනෙක් එක්කෝ සාත‍්‍ර ගෙන් ආභාසය ලැබූහ. නැත හොත් ඉකෝල් නෝමල් සුපිරියර් ආයතනයේ සාත‍්‍ර ගේ ප‍්‍රමුඛතම අනුප‍්‍රාප්තිකයා වූ ලූයී ඇල්තුසර් ගෙන් ආභාසය ලැබී ය. (ඇල්තූසර් අවුරුදු ගනනාවක් තිස්සේ ම ප‍්‍රංශ කොමියුනිස්ට් පක්ෂයේ මතවාදී ප‍්‍රශ්න ගැන වගකීම භාර වූ මධ්‍යම කාරක සභිකයෙක් ව සිටියේ ය.)

පශ්චාත් -නූතනවාදී ව්‍යාපාරයේ ප‍්‍රධාන පුද්ගලයින් බොහෝ දෙනෙකු ගේ මූලයන් ගැන සංක්ෂිප්ත ව විභාග කිරීමෙන් වුව ද පෙනී යන්නේ ඔවුන් තම ජීවිතයේ එක් අවස්ථාවාදී ස්ටැලින්වාදී හෝ වාමාංශික රැඩිකල් සංවිධානවල සාමාජිකයන් ව සිටි අය හෝ අඩු වශයෙන් ඒවා සමග සම්බන්ධකම් ඇති ව සිටි අය වූ බවයි. මෙවැනි කෙටි විචාරයක් තුල, යුද්ධයෙන් පසු ප‍්‍රංශයේ පලල් බුද්ධිමතුන් ගේ පලල් කොටස් තුල සිදු වූ සමාජ විද්‍යාත්මක වර්ධනය දීර්ඝ ව විස්තර කිරීමට ඉඩක් නැත. එහෙත් ඉතා කෙටි විභාගයකින් පවා පෙනී යන්නේ යුද්ධයෙන් පසු ප‍්‍රංශයේ ප‍්‍රධාන වාමාංශික සංවිධානය වූ ප‍්‍රංශ කොමියුනිස්ට් පක්ෂය මේ සම්බන්ධයෙන් බලවත් කි‍්‍රයාකලාපයක් ඉටු කල බවයි.

ස්ටැලින්වාදී දේවධර්මය ප‍්‍රංශ බුද්ධිමය ජීවිතයෙහි වැදගත් කි‍්‍රයාකලාපයක් ඉටු කලේ ය. පශ්චාත් - යුද්ධ කාලයේ දී ස්ටැලින්වාදය තවදුරටත් කුනු වීම සහ දකුනට ගමන් කිරීම, ඇල්ජීරියාව සහ වියට්නාමය සම්බන්ධයෙන් පක්ෂය කල අපරාධ 1968 සටන්කාමී ව පිපිරුනු ශිෂ්‍ය හා කම්කරු ව්‍යාපාරය පාවා දීම සහ අවසාන වශයෙන් සෝවියට් කඳවුර කඩා වැටීම බුද්ධිමතුන් ගෙන් කොටසක් තුල කලකිරීම සහ අවමංගත වීම පැතිරීමටත් ඔවුන් වේගයෙන් දකුනට තල්ලු කිරීමටත් තීරනාත්මක ව මුල් වූ සාධක වෙති.

රිචඩ් ජේ බර්න්ස්ටීන් නම් ඇමරිකන් ලේඛකයා ලියූ The New Constellation නමැති කෘතිය පශ්චාත් -නූතනවාදීන් ගේ බරපතල වැරදි මගහරවා ගැනීමටත් විශේෂයෙන් ම හේගල් සහ අපෝහකය ආරක්ෂා කිරීමටත් උත්සාහයක් දරයි. එහෙත් එසේ කිරීමේ දී බර්න්ස්ටීන් ම, ෆැසිස්ට්වාදයේ සහ ස්ටැලින්වාදයේ අත් දැකීම්වල හේතුවෙන් විසිවැනි සියවසේ බුද්ධිමතුන් කන්ඩායම් (ප‍්‍රංශයේ පමනක් නොවේ) පොදුවේ මුහුන දුන් පීඩනයන් විචිත‍්‍ර අන්දමින් සාරාංශ ගත කරයි.

අතිමහත් ප‍්‍රචන්ඩත්වයන්, ම්ලේච්ඡත්වයන් සහ ජනඝාතනයන් පැවතුනා වූ විසිවැනි සියවසේ අත්දැකීමට භාජනය වන ඕනෑ ම අයෙකුට ඉතිහාසය යනු නිදහස ප‍්‍රගතිගාමීලෙස සාක්ෂාත් වීම යැයි පැවසෙන ආඛ්‍යානයන් ගැන අවිශ්වාස සහගත වීමෙන් ගැල විය නො හැකි ය. අවුෂ්විට්ස් සහ ගුලැග්වලින් පසු ව සමපේක්ෂනාත්මක අවබෝධයක් මගින් යථාර්ථය සමග එක`ගත්වයක් ඇති කර ගැනීම ගැන අවිශ්වාස සහගත වීමෙන් සහ සංශයවාදී වීමෙන් බේරීමට නො හැකි ය. ලෝකය තුල "සුවපහසුවෙන්” ජීවත්වීම පිලිබඳ ව කෙරෙන සමස්ථ අධිභෞතික ස්ථාවරය ම දැන් පෙනී යන්නේ හිස් එකක් හැටියට ය. (The New Constellation පි.306)

චෙක් ජනාධිපති වක්ලාව් හැවෙල් ද තමාටම පුරුදු අයුරින් නවීන මතවාදයේ අර්බුදය සහ ස්ටැලින්වාදයේ කඩා වැටීම අතර ඇති සම්බන්දය ඹහුගේ පහත ප‍්‍රකාශයෙන් පිලිබිඹුකරයි: ”කොමියුනිස්ට්වාදයේ ඇදවැටීම ලෝකය වෛෂයිකව ඥානනය කල හැකි බවත් එසේ ලබා ගත් දැනුම නිරපේක්ෂ වශයෙන් සාමාන්‍යකරනය කල හැකි බවත් යන ප‍්‍රවාදය අවසාන අර්බුදයකට වැටී ඇති බව ට ලකුනක් ලෙස සැලකිය හැකිය.” (උපුටා දක්වා ඇත්තේ Intellectual Imppostures p.181)

පශ්චාත් නූතනවාදීන් ගේ දේශපාලන කි‍්‍රයාමාර්ගය

නිෂ්ක‍්‍රියත්වයට උදාන ගී ගායනා කරන පශ්චාත් නුතනවාදීන් ගෙන් කන්ඩායමක් නාස්තිකවාදයට හා අසාරදර්ශනයට ඇද වැටී ඇති බව සත්‍යයකි. තමන් 19 වැනි සියවසේ ප‍්‍රතිගාමී ජර්මන් දර්ශනවාදයට එකඟ නො වන බව අද ප‍්‍රංශ බුද්ධිමතුන්ට සමාව ඉල්ලීමේ ස්වරූපයෙන් ප‍්‍රකාශ කිරීමට සිදු වී ඇත. ලූක් ෆෙරී සහ ඇලෙන් රෙනෝ යන බුද්ධිමතුන් දෙදෙනා ‘අපි නිට්ෂවාදීන් නො වන්නේ මන්ද’ : Why We're Not Nietzscheans යන මැයෙන් කෘතියක් ලිවීමට තරම් දුර ගියහ. එහෙත් පශ්චාත් නූතනවාදීන් අතිමූලික සමාජ වෙනස්කම් කි‍්‍රයාත්මක කිරීමේ හැකියාව ගැන විශ්වාස නො කරන නමුත් ඔවුන්ට තමන් ගේ ම දේශපාලන ක‍්‍රියාමාර්ගයන් පවතින බව අමතක කිරීම මෝඩකමක් වනු ඇත.

පශ්චාත්-නූතනවාදීන්ට අනුව සියලූම "මහා-ආඛ්‍යාන” එනම්, ප‍්‍රගතිශීලී ආකාරයට ලෝකය වෙනස් කිරීම සඳහා ගැනෙන සෑම ප‍්‍රයත්නයක් ම, මුලුමනින් ම අසාර්ථක වී ඇත. සමාජ වෙනස්කම් ඇති කිරීමේ ආයුධයක් ලෙස කම්කරු පන්තිය තමන් ව අවමානයට පත්කර ගෙන ඇත. ස්ටැලින්වාදයේ කඩා වැටීම පෙන්නුම් කර ඇත්තේ සමාජය හොඳ අතට අතිමූලික වශයෙන් වෙනස් කිරීම කිසිසේත් ම කල නො හැක්කක් බව යි.

මෙහි දී ඉතිරි වී ඇති විකල්පය හො`දින් ම ඉදිරිපත් කර ඇත්තේ පශ්චාත්-නූතන ව්‍යාපාරයේ දැනුමුතුහාමි ලෙස සැලකිය හැකි මිෂෙල් ෆූකෝ බව පැවසිය හැකි ය. ඔහු මෙසේ ලිවීය: "මහා ප‍්‍රතික්ෂේපයේ ඉඩකඩක් ද. කැරලිකාරිත්වයට ආත්මය ද . සියලූ කැරලි වල උල්පත ද විප්ලවවාදියා ගේ පවිත‍්‍ර නියාමය ද අහෝසි වී ගොස් ය. ඒ වෙනුවට ප‍්‍රතිරෝධතා බහුත්වයක් පවතී. එයින් හැම එකක් ම විශේෂ වූ එකකි.”

ඩිලූස්, ගුවත්තාරී සහ ලියෝතාද් සමග ෆූකෝ ද ක්ෂුද්‍ර- දේශපාලනය සහ ක්ෂුද්‍ර- අරගල වර්ධනය කිරීමේ අවශ්‍යතාවය අවධාරනය කරති. එවැනි මූලෝපායයක් තනි ප‍්‍රශ්න ගැන අරගල කරන දේශපාලනයට ද බෙදුම්වාදීන්ට ද ස්තී‍්‍රවාදීන්ට ද එවැනි තවත් අයට ද පැහැදිලිව ම ආකර්ෂනීය වෙයි.

සොකාල් සහ බි‍්‍රක්මෝං ගේ ප‍්‍රවිෂ්ටයේ පවතින දුර්වලකම්

පශ්චාත්-නූතනවාදය ගැන සොකාල් සහ බි‍්‍රක්මෝං ගේ විවේචන කොතරම් තියුනු වූවත් ඔවුහු තම විරුද්ධවාදීන් සමග එක් අතිමූලික පොදු කරුනක් බෙදා හදා ගනිති. එය නම් අපෝහකයට ඇති විරුද්ධත්වයයි. පශ්චාත්-නූතන චින්තකයින් ගෙන් ඉතාමත් කැපී පෙනෙන අය අපෝහකයට තමන් ගේ පවතින ද්වේෂය සඟවන්නේ නැත. වෙන කිසිවකටත් වඩා මා පිලිකුල් කලේ හෙගලියානුවාදය සහ අපෝහකයයි. (”මට පිලිගැනීමට තවත් දේවල් නැහැ” Semiotext Giles Deleuze, 1977)

අපෝහකයට (සහ ජීවිතය!) ඇති පිලිකුල පීලික්ස් ගුවත්තාරි ගේ පහත සඳහන් කෙටි නමුත් ඔහුට පමනක් සීමා නො වුනු ප‍්‍රකාශනයෙන් ප‍්‍රදර්ශනය වේ : "අවප‍්‍රදේශකරනයේ කි‍්‍රයාදාමයක් ලෙස පැවැත්ම ගත්කල, ඒකකරනය කරන ලද්දා වූ භවසත්තාමය දෘඩත්වයන් ඉදිරියට දැමීම මත තමන් ව උඩින් පිහිටුවන්නා වූ විශේෂිත අන්තර් යන්ත‍්‍රමය කි‍්‍රයාන්විතයකි. එමෙන් ම මා නැවතත් ප‍්‍රකාශ කරන්නේ මෙම අවප‍්‍රදේශකරනය සඳහා වන සාමාන්‍යකරනය කරන ලද වාක්‍ය වින්‍යාසයක් ඇත්තේ නැත. පැවැත්ම අපෝහක නොවේ. එය නියෝජනකාරී නොවේ. එය ජීවත්වීම ද නොහැකි තරම් ය. ^ Intellectual Impostures ms'158'&

සොකාල් සහ බි‍්‍රක්මෝං ද අපෝහකයට විරුද්ධ වෙති. මෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් විද්‍යාත්මක ක‍්‍රමය ගැන ඔවුන් ඉදිරිපත් කරන විස්තරය ද දුර්වල ය. එදිනෙදා විඥානයේ සංකල්ප සහ විද්‍යාත්මක න්‍යායයේ සංකල්ප අතර අඛන්ඩව භාවයක් අවධාරනය කිරීමට උත්සාහ කරන ඔවුන් තර්ක කරන්නේ විද්‍යාත්මක ක‍්‍රමයන්"එදිනෙදා ජීවිතයේ දී පාවිච්චි කෙරෙන්නා වූ තර්කානුකූල ආකල්පයන්වලින් මූලික වශයෙන් වෙනස් නො වන” බවයි. (පි.54) එහෙත් ඔවුහු මෙම ප‍්‍රකාශයට සීමා පනවමින් "මෙම සම්බන්ධය ඕනෑවට වඩා දුර තල්ලු කිරීම බොලඳ කි‍්‍රයාවක් වනු ඇත” යනුවෙන් පවසති.(පි.55)

ඇත්ත වශයෙන් ගත්කල විද්‍යාත්මක සංවර්ධනයේ ඉතිහාසය මගින් ඔප්පු කෙරෙන්නේ විද්‍යාත්මක විධික‍්‍රමය සහ සොයා ගැනීම් සාමාන්‍ය දැනුමේ තර්කානුකූල වර්ධනය නො වන බවයි. මෙම ශතවර්ෂයේ මුල් දශක තුල දී පරමානු ව විද්‍යාත්මක ව වටහා ගැනීම තුල ලැබූ දියුනුව මගින් අවුස්සනු ලැබූ දැවෙන මතවාදී මතභේදයක් පුපුරා ගියේ ය. සම්ප‍්‍රදායික වැටහීමේ කොටසක් වූ ඝනික මූලික අංශුව "අහෝසි වී ගොස්” විදුලිමය බලවේගයන් හි ක්ෂේත‍්‍රයකින් සමන්විත වූ පරමානුව එහි තැන ගැනීමේ ප‍්‍රතිඵලයක් වූයේ සමහර විද්‍යාඥයින් හා දර්ශනවාදීන් විසින් (මාක්, බොග්ඩැනොව්) ද්‍රව්‍යයේ පැවැත්ම සහ ලෝකය ගැන වෛෂයික දැනුමක් ලබා ගැනීමට මිනිසාට ඇති හැකියාව ගැන ම සංශයක් ඉදිරිපත් කිරීමය.

ලෙනින් තම Materialism and Empirio-Crriticism(ද්‍රව්‍යවාදය සහ අනුභූති-විචාරය )යන කෘතිය මගින් මෙම විවාදයට 1908 දී ඇතුල් විය: එහි දී ඔහු දර්ශනවාදී සාපේක්ෂවාදය සමග සටන්වදිමින් ද්‍රව්‍යමය ලෝකයේ වෛෂයික ස්වභාවය සහ විද්‍යාවේ පදනම ලෙස ලෝකය නිවැරදිව ඥානනය කිරීමට මිනිසාට ඇති හැකියාව ආරක්ෂා කලේය. ඒ අතර ම ඔහු, පරමානුව පිලිබ`ද සාමාන්‍ය දැනුමට අනුකූල මතය සහ නව විද්‍යාත්මක සොයා ගැනීම්වලින් හෙලිදරව් වන දෙය අතර ගැටුම විසඳිය හැක්කේ ද්‍රව්‍යය සහ මානව චින්තනය අපෝහකව වටහා ගැනීමෙන් පමනක් බව පැවසී ය.

දාර්ශනික සාපේක්ෂවාදය පිලිබඳ ප‍්‍රශ්නය නව සෝවියට් රාජ්‍යයේ මතවාදී සහ සංස්කෘතික ප‍්‍රවනතාවන් අතර ද මතභේදයට විෂයයක් විය. අනාගතවාදී ව්‍යාපාරයේ නියෝජිතයින් ගේ දාර්ශනික ලියවිලිවලට ප‍්‍රතිචාරයක් ලෙස, Red Virgin Soil (රතු නැවුම් පස) නමැති බලපෑම් සහගත සාහිත්‍ය සඟරාවේ” කතුවරයා වූ ඇලෙක්සැන්දර් වොරොන්ස්කි, චුසැක් සහ තවත් අය ගේ ලියවිලි ගැන මෙසේ සඳහන් කලේ ය:

මේ සියල්ලට මාක්ස්, ප්ලෙකානොව් සහ ලෙනින් ගේ අපෝහකය සමග කිසිම සම්බන්ධයක් නැත. මේවා සහ ඊට සමාන ලියවිලි තුලින් නිරපේක්ෂ සාපේක්ෂවාදයේ හමා යන්නේ ස්ථාවරත්වයේත් මුලූමනින් ම ප‍්‍රතික්ෂේප කරමිනි. කොමියුනිස්ට්වාදීන් වන අප ද සාපේක්ෂවාදීහු වෙති. එහෙත් අපගේ සාපේක්ෂවාදය නිරපේක්ෂ නොවේ. සාපේක්ෂය... චුසැක් සහෝදරයා කර්ක කරන්නේ සෑම දෙයක් ම චලනය වෙයි සහ සෑම දෙයක් ම වෙනස් වෙයි. යනුවෙන් පැවසූ හෙරාක්ලීටස්ව අනුව නො ව, ” හැම දෙයක් ම ගලා යන නිසාත් හැම දෙයක් ම වෙනස් වෙන නිසාත් එකම ගඟකට දෙවරක් බැසීමට නොහැකි ය යනුවෙන් පැවසූ සීනෝ ට අනුව ය. හෙරාක්ලීට්ස් අපෝහකවාදියෙක් වු අතර සීනෝ සාපේක්ෂවාදී අධිභෞතිකවාදයෙක් විය. ධනේශ්වර ශාස්ත‍්‍රඥයින් ගේ කඳවුරේ දැන් එවැනි සාපේක්ෂවාදීහු බොහෝ දෙනෙක් සිටිති. (ඇලෙක්සැන්ඩර් වො‍රොන්ස්කි, Art as the Cognition of Life (ජීවිතය ඥානනය කිරීම ලෙස කලාව) පි.107

දෙවැනි ලෝක යුද්ධය අබියස දී හතරවන ජාත්‍යන්තරය තුල පැන නැගුනු සුලූ ධනේශ්වර විරුද්ධවාදී ප‍්‍රවනතාවයකට එරෙහිව සටනක දී ලියොන් ට්‍රොට්ස්කි, ද්‍රව්‍යවාදී අපෝහකය විස්තාරනය කිරීම සඳහා තමාගේ ම බලවත් එකතුකිරීම කලේ ය. එවකට විපක්ෂයේ ප‍්‍රධාන න්‍යායධරයා වූ ජේම්ස් බර්න්හැම් තරුන ලියෝතාද් ගේ මතවලට සමාන මත ගනනාවක් ඉදිරිපත් කරමින් සෝවියට් සංගමයේ එක්තරා ආකාරයක ධනපති ක‍්‍රමයක් පුනස්ථාපනය කර ඇති බව පැවසීය.

විපක්ෂයේ දේශපාලන විධික‍්‍රමය දිග හැර පාමින් ට්‍රොට්ස්කි අපෝහකය ගැන තමා ඉදිරිපත් කල සංක්ෂිප්ත විස්තරය මෙම අනතුරු හැ`ගවීම කරමින් අවසන් කලේ ය.

අපෝහක තර්ක විද්‍යාව තත්්කාලීන විද්‍යාත්මක චින්තනයේ චලනය පිලබඳ නියාමයන් ප‍්‍රකාශයට පත් කරයි. ඊට ප‍්‍රතිවිරුද්ධ ව, ද්‍රව්‍යවාදී අපෝහකයට එරෙහි සටන ප‍්‍රකාශ කරන්නේ ඈත අතීතයට අයත් තත්ත්වයන් ය, සුලු ධනේශ්වරයේ ආචීර්නකල්පික වාදයකි. වැඩ කිරීමේ ආකාරගත විධිවලින් නො කැඩෙන විශ්ව විද්‍යාල පුඟුලන් ගේ මාන්නක්කාරකමකි.” (ලියොන් ට්‍රොට්ස්කි In Defense of Marxism (මාක්ස්වාදයේ ආරක්ෂාව සඳහා)

ස්ටැලින්වාදී නිලධර තන්ත‍්‍රයේ අපරාධ -සෝවියට් රුසියාව තුල සමාජවාදී දේශපාලන සහ බුද්ධිමය විරුද්ධ පාර්ශවය 1930 ගනන්වල දී ශාරීරිකව ඝාතනය කර දැමීම සහ ඒ සමග ම ජාතිකවාදය වැලඳ ගැනීම සහ මාක්ස්වාදී අපෝහකය මුලූමනින් ම විකෘති කර දැමීම- මේවා සමාජවාදී කම්කරු ව්‍යාපාරය විනාශ කර දමා නව අතාර්කිකවාදී සහ සාපේක්ෂවාදී ගුරුකුලයන් හදා වඩා ගැනීම සඳහා අත්‍යාවශ්‍ය වූ වකි.

වර්තමාන පශ්චාත් -නූතනවාදීන්ගේ පැතිරීමට අනුරූපව සාපේක්ෂවාදීන්ගේ හමුදාව වැඩි වැඩියෙන් බිහි වී ඇත. එහෙත් තමන් තමන් ් නියෝජනය කරන්නේ ඒ චින්තනයේ අලුත් ම වර්ධනයන් බව මෙම ව්‍යාපාරයේ සාමාජිකයින් කියාපාන විට එහි ව්‍යාජ බවක් හා නරක ඌෂ්නයක් පවතී.

ප‍්‍රධාන කොටම මොවුන්ගේ මතවාදී වීරයන් වන්නේ නියට්ෂේ, ශෝපන්හෝවර් සහ කියෙකගාඞ් වැනි බුද්ධිමය පුනර්ජීවනයෙහි විරුද්ධකරුවෝ ය. අදහස් සහ සංකල්ප සම්බන්ධයෙන් අලුත් යමක් ඉදිරිපත්කරනවා වෙනුවට පශ්චාත්-නූතනවාදීන්ගේ මෙම නේකාකාර ප‍්‍රවාද සහ ලියවිලි සත්තකින් ම, සැබෑ විද්‍යාත්මක විධික‍්‍රමය තුච්ඡ කොට සලකන අතර, සංස්කෘතික අසාරදර්ශනය, පුද්ගලවාදය, බුද්ධිවිරෝධවාදය සහ ඓතිහාසික සත්‍යය ප‍්‍රතික්ෂේප කිරීම ප‍්‍රදර්ශනය කරන්නා වූ එය පෙන්වන්නේ සංකල්පවාදීමය වශයෙන් ගත් කල ඉදිරියට යා නොහැකි අන්තයක් හෙවත් කලකට පෙර ම බල සිඳී ගිය සමාජ තන්ත‍්‍රයක විකෘත වී ගිය පිලිබිඹු වකි.

සොකාල් සහ බි‍්‍රක්මෝං ගේ ප‍්‍රවිෂ්ටය තුල දුර්වලකම් පවතින නමුත් ඔවුහු තම ශාස්තී‍්‍රය සීමාවන් ඉක්මවා යමින් පශ්චාත් නූතන චින්තනයේ වැඩි කොටසක විකාර ස්වභාවය හෙලිදරව් කිරීමට ඉදිරියට පැමින ඇත. මෙම කෘතිය වඩා පලල් පාඨක සමූහයක් තුලට යා යුතු ය.

Share this article: