ඕස්ටේ‍්‍රලියාවේ දේශපාලන අර්බුදය

The political crisis in Australia

2013 ජූනි 28

නියමිත මැතිවරනයට මාස තුනකටත් අඩු කාලයක් තිබිය දී කෙවින් රඩ් හදිසියේ ම ඕස්ටේ‍්‍රලියානු අගමැති ලෙස නැවත පත් කිරීම හා ජූලියා ගිලාඩ් ඉවත් කිරීම දේශපාලන පූර්වාදර්ශයකින් තොර සිදුවීමකි. රඩ්ගේ පුනරාගමනය සිදුව ඇත්තේ 2010 ජූනියේ පක්ෂ අභ්‍යන්තර කුමන්ත‍්‍රනයකින් හදිසියේ ම ඔහු ඉවත් කර ගිලාඩ් අගමැති ලෙස පත් කර ගන්නා ලද එම ලේබර් පක්ෂ ක‍්‍රියාකාරීන්ගේම අනුග‍්‍රහයෙනි.

අසාමාන්‍ය දේශපාලන කැලඹීම හමුවේ, දේශපාලන හා මාධ්‍යය සංස්ථාපිතය විසින් දේශපාලන හා සමාජ ස්ථාවරත්වයේ අට්ටාලය ලෙස වෙහෙස නොබලා ගොඩනගන ලද ඕස්ටේ‍්‍රලියානු ධනවාදයේ ජාත්‍යන්තර ප‍්‍රතිරූපය සුනු විසුනු විය. ඕස්ටේ‍්‍රලියානු ධනේශ්වරය වෙනුවෙන් සියවසකට අධික කාලයක් පාර්ලිමේන්තු පරිශ්තිතයේ හා ද්විපක්ෂ ක‍්‍රමයේ කඩඇනය ලෙස සේවය කර ඇති කම්කරු පක්ෂය දැන් ආන්තික අර්බුදයක් හමුවේ කුඩු පට්ටම්ව ගොසිනි.

ඕස්ටේ‍්‍රලියානු මහජනතාවට හොරෙන් වසර තුනකට පෙර, 2010දී කුමන්ත‍්‍රනය සිදුවූයේ විදේශීය හා දේශීය වශයෙන් දුර දිග යන ප‍්‍රතිපත්තිමය වෙනසක් වාත්තුකර ගැනීමේ මාවතක් ලෙසිනි. මූල්‍ය අර්බුදයෙන් පසුකාලීනව, රඩ්ගේ පාලන කාලය තුල ක‍්‍රියාවට නැගුනු උත්තේජක වැඩසටහන අවසන් කර, කම්කරු පන්තියේ ජීවන තත්වයන් කපා හෙලීම අරමුනු කරගත් කප්පාදු පියවර ක‍්‍රියාත්මක කිරීමට, සංගත ප‍්‍රභූව උද්ඝෝෂනයක් ගෙන ගියේය. ඒ අතර ම, ආසියා-ශාන්තිකර කලාපය තුල එක්සත් ජනපදයේ ඇතැම් මූලෝපායික බලපෑම් චීනයට පවරා දීම සඳහා බලපෑම් යෙදීමට යොමු වූ රඩ්ගේ රාජ්‍යත‍්‍රාන්තික ආරම්භකත්වයන්ට තිත තැබීමට, වොෂින්ටනය අධිෂ්ඨාන සහගත වූයේ ය. අනෙක් අතට, ඔබාමා පාලනාධිකාරය ගිලාඩ් දැකගත්තේ, චීනය වට කිරීමට හා ඊට එරෙහිව යුද්ධය සූදානම් කිරීම සඳහා වන සිය ආක‍්‍රමනකාරී ආසියාවට "හැරීම” සමග, ඕස්ටේ‍්‍රලියාව පූර්වයෙන් තිබූ තත්වයට පත් කිරීම සඳහා නමාගතහැකි යටත් වන අනුචරයෙකු ලෙස ය.

අවුරුදු තුනකට පසුව ද සිදුව ඇත්තේ කුමන්ත‍්‍රනයට පෙලඹ වූ ගැටුම් හා අර්බුද තීව‍්‍ර වීම පමනි. දැන් යථාර්ථයක් වී ඇති, එවකදී මූලෝපායක් ලෙස සාරාංශ කෙරුනු ඔබාමාගේ හැරීම සමග, කලාපය තුල ප‍්‍රධාන එක්සත් ජනපද මිලිටරි වර්ධනයක් හා අසියානු කලාපය පුරා භයානක ගිනි පුපුරු අවුලුවාලන, චීනයට එරෙහි අඛන්ඩ ප‍්‍රකෝපකිරීම් මතුපිටට ගෙනැවිත් තිබේ.

එසේම ලෝක ආර්ථික අර්බුදය තීව‍්‍රවන තතු තුල දැන් වඩ වඩාත් එහි ඍජු ප‍්‍රකාශන ඕස්ටේ‍්‍රලියාව තුල දැකිය හැක. ගෝලීය මූල්‍ය කඩාවැටීමේ ක්ෂනික ව්‍යසනය තුල දී ඕස්ටේ‍්‍රලියානු ධනවාදය සඳහා එක්තරා ආරක්ෂාවක් සපයමින් චීනය මුල්කරගෙන ක‍්‍රියාත්මකවූ පතල් (නිෂ්පාදන) අපනයන උත්පාතය දැන් අවසන්ව ඇත.

27දා ප‍්‍රසිද්ධ කල බ්ලූම්බර්ග් ලිපියක, 2008 මූල්‍ය කඩාවැටීමේ කොකා ගැස්සූ "දූෂිත වත්කම්” වර්ගයක් වන ඇප තැබූ නය වගකීම්වලට (සීඩී ඕ) ඕස්ටේ‍්‍රලියානු ආර්ථිකය සසඳා තිබේ. ලන්ඩනය පාදක කරගත් ගෝලීය මූලෝපායඥයෙකු වන සොසයිටි ජෙනරල් එස්ඒ හි ඇල්බට් එඩ්වඩ් ප‍්‍රකාශ කලේ, " ඕස්ටේ‍්‍රලියාව පිපිරීමට පොරොත්තුව සිටින ඇපකර කාල බෝම්බයකි” යනුවෙනි. "එය නිකම් ම සීඞී ඕ නො වේ, සීඞී ඕ විසින් කොටු කරන ලද්දකි. සරලවම ගත හොත් ඕස්ටේ‍්‍රලියාව තුල අප සතු සියල්ල, චීනය තුල ඊටත් වඩා විශාල නය බුබුලක් මත යැපෙන, භාන්ඩ උත්පාතයක් මත ගොඩනැගුන නය බුබුලකි.”

මේ වන විටත් ඕස්ටේ‍්‍රලියාවේ ප‍්‍රාන්ත කීපයක පවතින්නේ ආර්ථික අවපාතයකි. ආර්ථිකය පුරා දැවන්ත දොට්ට දැමීම් වේගවත්ව සිදුවෙයි. පසු ගිය මාස දොලහ තුල, ඩොලර් බිලියන 150ක වටිනාකමින් යුත් පතල් කැනීම් හා බලශක්ති ව්‍යාපෘති අතහැර දමා හෝ කල් දමනු ලැබ ඇත. පතල් කැනීම් හා ඉදිකිරීම් පහත වැටීමෙන්, මැයි මාසයේ මැද සිට ප‍්‍රමුඛ කොටස් දර්ශකය සියයට 9කින් හෝ ඩොලර් බිලියන 135කින් පහල යාමත් සමග, දේපල හා කොටස් වෙලඳපොල බුබුලු පුපුරා යාමේ තර්ජනය මතු කරයි. අනෙකුත් මුදල් වලට සාපේක්ෂව ඕස්ටේ‍්‍රලියානු ඩොලරය කිඳා බසින්නේ, වැඩකරන ජනතාව යැපෙන්නාවූ ඉන්ධන හා අනෙකුත් ආනයන භාන්ඩවල මිල ඉහලට තල්ලු කිරීම සමගිනි.

රඩ් නැවතත් නිලයට පැමින සිටින්නේ පුපුරුන සුලු සමාජ නැගිටීම් හා පන්ති අරගලයේ නව කාල පරිච්ඡේ දයක සෙවනැල්ල තුල ය.

ක්ෂනික එල්ලය වී ඇත්තේ කම්කරු පක්ෂයේ සම්පූර්න වැටීම වැලක්වීම යි. මෙම වසර අග මහ මැතිවරනයේ දී ජූලියා ගිලාඩ්ගේ නායකත්වය යටතේ පක්ෂය පෙර නොවූ විරූ පරාජයක් අත්විඳිනු ඇතැ යි පුරෝකතනය කර තිබුනි. ගිලාඩ්ට එරෙහිව මහජන විරෝධය එතරම් උග‍්‍ර හා පුලුල් ලෙස පැතිරී ඇත්තේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධීව රඩ් පලවා හැරීමේදී ඇය ඉටුකල කාර්යභාරය හේතුවෙනි. එය කුමන්ත‍්‍රන සැලැසුම්කරුවන් මුලුමනින් ම පෙරදැකීමට අසමත් වූ ප‍්‍රතිගාමිත්වයකි. කම්කරු පක්ෂය සුලු හා තදින් ම බෙදුනු පාර්ලිමේන්තු පසු පෙලට හෑල්ලු කෙරෙමින් පවතින තත්වයක අද්දර දී ය.

ඕස්ටේ‍්‍රලියානු සංගත ප‍්‍රභූව පැත්තෙන් ගත් කල ඔවුන් තුල, පන්ති අරගලය හික්මවීමේ සහ සිය කප්පාදු පියවරයන්ට එරෙහි කම්කරු පන්තියේ ක්‍රෝධය හා විරුද්ධත්වය වැලැක්වීමේ ඉතාමත් තීරනාත්මක යාන්ත‍්‍රනයෙන් ඉවත්ව එය අන්තරායකාරී ලෙස පාර්ලිමේන්තුවෙන් පරිබාහිර රූපාකාරයක් ගැනීමේ අන්තරාය කම්කරු පක්ෂයේ පිපිරීම මගින් මතුකරනු ඇත යන උත්සුකය පවතියි. තනි දෙමව්පියන්, රැකියා විරහිතයන් හා ශුභසාධන ප‍්‍රතිලාභීන් ඉලක්ක කරමින් දැඩි වියදම් කප්පාදු පිලිබඳ දීර්ග කාලීන අයවැය වැඩසටහන් තහවුරු කරමින් ගිලාඩ් කප්පාදු වැඩසටහනේ වෙනස්කම් ඇරඹුවාය. එහෙත් පාලක ප‍්‍රභූව ඉල්ලන්නේ පොදු අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා, ශුභසාධන, අනෙකුත් මූලික සේවාවන් හා සමාජ පොදුකාර්යවල ස්ථීර, දැවන්ත කප්පාදු සමග යුරෝපීය ක‍්‍රමයට අඩු නො වන සමාජ ප‍්‍රති-විප්ලවයකි.

මොන යම් හෝ මහජන සහයෝගයක් පවත්වාගෙන යන එක ම කම්කරු පක්ෂ දේශපාලනඥයා රඩ් ය, ඒ තනිකර ම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කුමන්ත‍්‍රනයේ ගොදුරක් ලෙස පවතින ඔහුගේ තත්වය නිසා ය. එහි ප‍්‍රතිඵලයක් ලෙස සංගත හා මූල්‍ය ප‍්‍රභූව ඔහුට සලකන්නේ, කම්කරු පක්ෂයේ ඇද වැටීම මගහරිමින් හා කම්කරු පන්තියේ සමාජ තත්වයට එරෙහිව තමන් දැඩි කල ප‍්‍රහාරය ක‍්‍රියාත්මක කරමින්, කම්කරු පක්ෂ දේශපාලනඥයින් දුසිම් ගනනාවකගේ ජීවන වෘත්තීන් ගලවා ගත හැකි එක ම මාධ්‍යය ඔහු ලෙස ය.

යලි බලයේ තැබීමෙන් පසු ඔහුගේ පලමු කතාවේ දී රඩ් විවේචනශීලීව විශේෂ අවධානය තැබුවේ සමස්ත පාර්ලිමේන්තු ක‍්‍රමයම ගැන කලකිරුනු තරුනයන් ආපසු කම්කරු පක්ෂය වෙත දිනා ගැනීමේ අවශ්‍යතාව කෙරෙහි ය. ඕස්ටේ‍්‍රලියාව තුල සමාජ ස්ථාවරත්වයේ මතුපිට පෙනුමට යටින් පන්ති ආතතීන් වේගයෙන් තීරනාත්මක අවස්ථාවකට ලඟාවෙමින් ඇති බව ඔහු හොඳට ම දනී. 2011දී ඊජිප්තුවේ හා ටියුනීසියාවේ සහ මෙම වසරේ තුර්කිය හා බ‍්‍රසීලිය තුල මෙන්, අනපේක්ෂිතව හදිසියේ ම ජනතා අසහනය පුපුරනු ඇත. රඩ් යලි හිටවා ඇත්තේ එලඹෙන සමාජ පිපිරීම් පාර්ලිමේන්තු රාමුව තුලට හැරවීමේ මංමුලා සහගත උත්සාහයක් තුල ය.

වොෂින්ටනයට ද, ඕස්ටේ‍්‍රලියාවේ ද්විපක්ෂ ක‍්‍රමය පවත්වා ගෙන යාම ඒ ආකාරයෙන් ම මූලෝපායික ව වැදගත් ය. 1941දී, කම්කරු පක්ෂ අගමැති ජෝන් කර්ටින් බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයෙන් වොෂින්ටනය වෙතට මූලෝපායික හැරීමක් ක‍්‍රියාත්මක කල අවස්ථාවේ සිට, පසු ගිය වසර 70 තුල එක්සත් ජනපදය කම්කරු පක්ෂය තුල සැලකිය යුතු සම්පත් ආයෝජනය කර ඇත. එක්සත් ජනපද තානාපති කාර්යාලය හා සීඅයිඒ ඒජන්තයින් දශක ගනනාවක් තිස්සේ කම්කරු පක්ෂය හා වෘත්තීය සමිති නිලධරය තුල පුලුල් සම්පත් ජාලයක් වගා දිගා කර ඇත. රඩ් පිලිබඳ උත්සුකයන් නො සලකා ඔබාමා පාලනාධිකාරය සැකයකින් තොර ව වටහා ගන්නේ, කම්කරු පක්ෂයේ ඇදවැටීම, එක්සත් ජනපද- ඕස්ටේ‍්‍රලියා සම්බන්ධය නුහුරු ලොවක අතරමං කරනු ඇති බව යි.

සැබවින්ම, 2010 කුමන්ත‍්‍රනය මෙහෙයෙ වූ කම්කරු පක්ෂය තුල සිටින එක්සත් ජනපද "අනුචර කන්ඩායමේ” ම සමහරෙක් මෙම සතියේ රඩ් නැවත තෝරාගැනීම පිටුපස වූහ.

කෙසේ නමුත්, කම්කරු පක්ෂය හා විරුද්ධ පක්ෂයේ ලිබරල් නැෂනල් කෝලීෂන් යන පක්ෂ දෙක තුල ම ගැඹුරු බෙදීම් පවතී. ඔබාමාගේ "හැරීමට” විරුද්ධ වන සහ බීජීනය වෙත වඩා සහනදායි ප‍්‍රවේශයක් ඉල්ලා සිටින ඇමරිකානු විදේශ ප‍්‍රතිපත්ති සංස්ථාපිතයේ සැලකියයුතු කොටසකගේ සහාය රඩ්ට ලැබේ. හිටපු ජාතික ආරක්ෂක උපදේශක හෙන්රි කීසින්ගර් මෙම කන්ඩායම තුල ප‍්‍රමුඛ පුද්ගලයෙකු වන අතර ඔහු රඩ් සමග කිට්ටු සම්බන්ධකම් ගොඩනගාගෙන ඇත. මේ දෙදෙනා අද බීජීනයේ දී ආන්ඩුවේ අනුග‍්‍රහය ලත් විදේශ ප‍්‍රතිපත්ති සමුලුවක කතා කිරීමට නියමිතව තිබේ. චීනය සම්බන්ධ ඔබාමාගේ අපරීක්ෂාකාරී හා ප‍්‍රකෝකාරී ආස්ථානයන් මගින් තැති ගන්වනු ලැබ ඇති ඕස්ටේ‍්‍රලියානු පාලක ප‍්‍රභූව තුල සමහර ස්ථරයන්ගේ සහාය ද රඩ් භුක්ති විඳි යි. ඔබාමාගේ ආස්ථානය, බීජීනය සමග ඕස්ටේ‍්‍රලියානු ධනවාදයේ තීරනාත්මක ආර්ථික බැඳීම්වලට බාධා කරනු ඇතැ යි ඔවුහු බිය වෙති.

කම්කරුවන් හා තරුනයන් මුහුන දෙන හදිසි කර්තව්‍යය වන්නේ යුද්ධයට හා මිලිටරිවාදයට, කප්පාදු හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් මත තීව‍්‍රවන ප‍්‍රහාරයන්ට එරෙහිව තමන්ගේ ම ස්වාධීන පන්ති අවශ්‍යතාවන් ආරක්ෂා කිරීම සඳහා මැදිහත්වීම යි. මෙය ඉල්ලා සිටින්නේ ලේබර් පක්ෂය හා මුලු පාර්ලිමේන්තු පද්ධතිය සමග දැන් කැකෑරෙමින් පවතින දුරස්ථභාවය හා පිලිකුල, ධනේශ්වර ලාභ පද්ධතියට එරෙහිව දේශපාලනිකව දැනුවත් ව්‍යාපාරයක් තුලට වර්ධනය කල හැකි විප්ලවවාදී පක්ෂයක් ගොඩනැගීම යි.

එම පක්ෂය නම් හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ඕස්ටේ‍්‍රලියානු ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය යි. කම්කරුවන්, ශිෂ්‍යයන් හා තරුනයන්ගෙන් අප ඉල්ලා සිටින්නේ සසප සමග සම්බන්ධවන ලෙස හා අපගේ 2013 මහ මැතිවරන ව්‍යාපාරයට මැදිහත් වන ලෙස යි.

පැටි‍්‍රක් ඕකොනර්

Share this article: