චැනල් 4 අලුත් වීඩියෝ පටය ලංකාවේ යුද අපරාධ පිලිබඳ නව සාක්ෂි ඉස්මත්තට ගෙන එයි

වසන්ත රූපසිංහ විසිනි, 9 මාර්තු 2013

ලංකාවේ මිලිටරිය, බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊය)ට එරෙහිව ගෙන ගිය යුද්ධයේ අවසන් දිනවල සිදුකල යුද අපරාධ පිලිබඳ නවත‍ ම සාක්ෂි සහිත වීඩියෝ පටයක් බ්‍රිතාන්‍ය චැනල් 4 නිව්ස් විසින් මාර්තු 01 වෙනිදා එක්සත් ජාතීන්ගේ පරිශ්‍රයේ දී විකාශය කලේ ය. මෙම වසර අවසානයේ එය ප්‍රසිද්ධියේ විකාශය කිරීමට නියමිත ය.

''වෙඩි අත්හිට වූ කලාපය: ශ්‍රී ලංකා ඝාතක බිම්'' (නෝ ෆයර් සෝන්: ශ්‍රී ලංකා කිලිංග් ෆීල්ඩ්) ලෙස නම් කරන ලද චිත්‍රපටයේ ප්‍රචාරක පටයට සහ ඇතම් ඉන්දීය විද්‍යුත් නාලිකා විසින් උපුටා විකාශය කල කොටස්වලට අනුව, වැඩසටහනෙන් හෙලිදරව් කරන්නේ, යුද්ධයේ අවසන් මාසවල දී එල්ටීටීඊ පාලන ප්‍රදේශවල සිටි සාමාන්‍ය දෙමල සිවිල් වැසියන් ත්‍රස්ත කිරීමටත් ඔවුන් ඝාතනය කිරීමටත් ලංකාන්ඩුව විසින් ප්‍රකාශයට පත් කරන ලද ''නෝ ෆයර් සෝන්'' තුල සිදුකෙරුනු අපරාධ පිලිබඳව යි.

චැනල් 4, ලංකාවේ යුද අපරාධ පිලිබඳ වාර්තා චිත්‍රපටය ඉදිරිපත් කර ඇත්තේ, එක්සත් ජාතීන්ගේ මානුෂික අයිතිවාසිකම් පිලිබඳ කවුන්සිලයේ රැස්වීමට සමගාමීව ය. එහි මුල් ප්‍රදර්ශනය මාර්තු 01 වෙනි දා ජිනීවාහි පිහිටිඑම කවුන්සිලයේ මූලස්ථාන ගොඩනැගිල්ලේ දී පැවත්විනි. වාර්තා වැඩ සටහනේ මූලික පරමාර්ථය ලංකාවේ මානුෂික අයිතීන් උල්ලංඝනය කිරීම පිලිබඳව ජාත්‍යන්තර පරීක්ෂනයක් ඉල්ලීම යි.

මෙම ඉල්ලීම ඇමෙරිකාව ඇතුලු ප්‍රධාන බලයන් මානව අයිතීන් මැදිකරගෙන ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුවට දමන පීඩනය සමග පෑහෙන නමුත්, මින් ඉදිරිපත් කෙරී ඇති සාක්ෂි කොලඹ ආන්ඩුව දියත් කල යුද්ධයේ දී සිදු කෙරුනු අපරාධයන් යලි ඉස්මත්තට ගෙනැවිත් ඇත.

අධිරාජ්‍යවාදී බලයන්, වෙසෙසින් ම අමෙරිකාව ආසියා මහද්වීයේ චීනයට විරුද්ධව තම මූලෝපායික අවශ්‍යතා තහවුරු කර ගැනීමට තැත් කරයි. මේ අධිරාජ්‍යවාදී බලයෝ යුද්ධයේ දී ලංකාවේ ආන්ඩුවට සහාය දුන්හ. වීඩියෝවේ අධ්‍යක්ෂක කැලම් මැක්රේ ඉන්දියාවට සංචාරය කලේ තම ඉල්ලීමට දිල්ලි ආන්ඩුවේ සහාය ලබාගැනීම සඳහා යි. ඉන්දියාව ද යුද්ධයේ දී කොලඹ ආන්ඩුවට සහාය දී තම බලපෑම වැඩිදියුනු කර ගැනීමට තැත්කරන තවත් බලවතෙකි.

දිවි ගලවා ගත් දෙමල ජාතිකයන්, සහන සේවකයින් හා සොල්දාදුවන් යුද්ධය පැවැති දිනවල දී ගනු ලැබූ ඡායාරූප මෙම නව වැඩසටහනට ඇතුලත් වේ. එක්සත් ජාතින්ගේ සංවිධානයේ ලංකාවේ ප්‍රකාශක ලෙස කටයුතු කල ගෝඩ්න් වීස්, මානුෂීය සබඳතා පිලිබඳ එක්සත් ජාතීන්ගේ හිටපු ප්‍රධානී ජෝන් හෝල්ම්ස් හා එක්සත් ජාතීන්ගේ කාර්යමන්ඩලිකයෙකු වන පීටර් මැකේ යන අය, යුද පිටියෙන් ලැබුනු වාර්තා නව වීඩියෝව තුල දී විස්තර කරති. මෙයට පෙර චැනල් 4 විකාශය කල වැඩසටහනක දී ද අදහස් දැක්වූ යුද කලාපයේ තම ඥාතීන් බැලීමට පැමින යුද්ධයට මැදිව, පසුව බ්‍රිතාන්‍යයට ගිය වැනී විජී නම් බ්‍රිතාන්‍ය පුරවැසි දෙමල තරුනියක් තමන්ට මුහුන දීමට සිදු වූ බියකරු අත්දැකීම් විස්තර කරයි.

''නෝ ෆයර් සෝන්" වීඩියෝව සම්බන්ධයෙන් වඩාත් ආන්දෝලනයට ලක්ව ඇත්තේ පෙබරවාරි 19 වෙනි දින, චැනල් 4 ජනමාධ්‍යයන්ට මුදාහල පින්තූර 02කි. එල්ටීටීඊ නායක ප්‍රභාකරන්ගේ 12 හැවිරිදි බාල පුතාවූ බාලචන්ද්‍රන් ප්‍රභාකරන් වැලි කොට්ටවලින් වටකල හමුදා බන්කරයක් තුල වාඩි වී සිටුනු දැක්වෙන එම පින්තූර සුවිශේෂ වැදගත්කමක් අත්කර ගනී.

රාජපක්ෂ ආන්ඩුව හා මිලිටරිය මීට පෙර ප්‍රකාශ කර තිබුනේ බාලචන්ද්‍රන් වෙඩි හුවමාරුවකට මැදි වී මිය ගිය බව යි. චැනල් 4 වීඩියෝවේ අධ්‍යක්ෂක මැක්රේ, පෙබරවාරී 19දා ඉන්දියාවේ ද හින්දු පුවත්පතට ලියමින්, ඡායාරූප නිර්මානය කිරීමට ''විකෘතිකරන, වංචාකිරීම් හෝ ප්‍රයෝග භාවිතා කල බවට සාක්ෂි නැති" බවත් ඒවා ''පිලිබිඹු වී තිබෙන සිදුවීමට අදාල නිරවද්‍ය නියෝජනයක් ලෙස පෙනී යන" බවටත් ඒවායේ විශ්වාසනීයත්වය තහවුරු කල අධිකරන වෛද්‍ය විශ්ලේෂකයන් උපුටා දැක්වුවේ ය.

චැනල් 4 අවසන් වතාවට විකාශය කල චිත්‍රපයේ එක් පින්තූරයකින් බාලචන්ද්‍රන් වෙඩි වැදී පොලව මත උඩුබැලිව මියගොස් සිටිනු දැක්වෙයි. ඔහුගේ ලය පසාරු කරගෙන ගොස් තිබූ වෙඩි සලකුනු විශ්ලේෂනය කල ප්‍රසිද්ධ අධිකරන වෛද්‍ය විනිශ්චයකරුවෙකු වන මහාචාර්ය ඩෙරික් පොවුන්ඩර් සඳහන් කලේ, ඝාතකයා බාලචන්ද්‍රන්ගේ පපුවට අඩි දෙකක් හෝ තුනක් ඈතින් සිට ඉතා සමීපයෙන් ම වෙඩි තබා ඇති බවත් කෙටියෙන් කියතොත් ඔහු මරා දැමූ අවිය ඔහුට අතින් ඇල්ලීමේ හැකියාව පවා තිබූ බවත් ය. හමුදාව යටතට පත් බාලචන්ද්‍රන්ගෙන් ඔහුගේ පියා පිලිබඳව හෝඩුවාවල් විමසා පසුව වෙඩි තබා මරා දමන්නට ඇති බවට සැක කෙරේ.

කෙසේවෙතත්, රාජපක්ෂ ආන්ඩුව, මිලිටරිය හා ආරක්ෂ අමාත්‍යාංශය කලේ, මෙම සාක්ෂි ගොඩින් ම හෙලා දැකීම යි.

හමුදා ප්‍රකාශක ආර්. වනිගසූරිය ජනමාධ්‍යය වෙත කීවේ, චැනල් 4 නිව්ස්, ''මුසාවන්, අර්ධ-සත්‍යයන්, කටකතා හා අනේකාර හිතලු ක්‍රමෝපායන් භාවිතා කරන" බව යි. යුද්ධය මෙහෙය වීමේ මූලික ම ක්‍රියාකලාපයක් ඉටු කල, එමෙන් ම මෙම අපරාධ සම්බන්ධයෙන් ඇඟිල්ල යොමුවී තිබෙන ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, චැනල් 4 වැඩසටහන, ''එංගලන්තයේ ගෝලීය දෙමල සංසදයේ හා එල්ටීටීඊයේ ගොරතර ඊලම් ව්‍යාපෘතියට තවමත් ආධාර කරන්නන්ගේ උවමනාවල්වලට අනුව" නිපදවා ඇතයි කීවේ ය.

චැනල් 4 චිත්‍රපටය ජිනීවාවල විකාශය කිරීමෙන් අනතුරුව, ජනාධිපති රාජපක්ෂමත්, ඉන්දියාවේ හින්දු පුවත්පතට කතාකරමින් සුපුරුදු හෙලා දැකීම ඇද බෑවේ ය. ''එහෙම දෙයක් සිද්ධ වෙලා තිබ්බනම් අපි දැනගෙ සිටිය යුතුව තිබුනා. [හමුදා බලකායන්වල] කිසිවෙක් එය කලානම්, මම වගකියන්න ඕන. අපි එය මුලුමනින් ම ප්‍රතික්ෂේප කරනවා. ඒක සිද්ධ වෙන්න බෑ."

යුද අපරාධ පිලිබඳ වාර්තාවලට අයත් වන්නේ උක්ත පින්තූර පමනක් නොවේ. නිරායුධ යුද සිරකරුවන් මරා දැමූ බවට සාක්ෂි ඉමහත් ප්‍රමානයක් පවතින අතර ඒවායින් එක් සිදුවීමක් වන්නේ, ටී. තුරෙයිරාජසිංහම් හෙවත් -එල්ටීටීඊ සංවිධානයේ සිටිය දී භාවිත කල නාමය වන- කර්නල් රමේෂ්ගේ ඝාතනය යි. ගෝඩ්න් වීස් මේ සිදුවීම පිලිබඳව 2012 මාර්තු 12 දින බ්‍රිතාන්‍යයේ ඩේලි මේල් පුවත්පතට විමර්ශනාත්මක වාර්තාවක් සපයා තිබිනි.

යුද්ධයේ අවසන් දිනවල දී අවි අත්හැර සිය බිරිඳ හා දරු තිදෙනා සමඟ හමුදා-පාලිත රැඳවුම් කඳවුරකට පලා ආ රමේෂ් එහිදී හඳුනා ගනු ලැබ, වෙනත් තැනකට ගෙනගොස් ප්‍රශ්න කොට, වධ දී ඝාතනය කල බවට සාක්ෂි පෙන්වන ඡායාරූප කීපයක් ද චැනල් 4 ප්‍රදර්ශනය කලේ ය. හමුදාව ජංගම දුරකථන-කැමරාවක් උපයෝගි කරගෙන රූගත කර තිබෙන රමේෂ්ගෙන් ප්‍රශ්න කරනු දැක්වෙන කෙටි වීඩියෝවක් ද එයට අයත් වේ.

''වෙඩි අත්හිට වූ කලාපය" ද සමඟ මේ වනවිට චැනල් 4, යුද අපරාධ දැක්වෙන වැඩසටහන් තුනක් නිපදවා තිබේ. යුද කලාපයේ ක්‍රියාත්මක වූ සහන සේවකයන්, එක්සත් ජාතීන්ගේ නිලධාරීන් මෙන් ම හමුදාව යුද සැමරුම් ලෙස ලබා ගත් පින්තූර හා රූපාවලීන් මෙකී වැඩසටහන්වලින් ප්‍රදර්ශනය කල අතර ඒවායේ නිරවද්‍ය බව අධිරකරන වෛද්‍ය විශේෂඥයින් විසින් සනාථ කර තිබින.

මේ අයුරින්, 2009 අගෝස්තු මස චැනල් 4 නිව්ස් විසින් මුදාහල, ශ්‍රී ලංකා මිලිටරි සොල්දාදුවන් විසින් නිරුවත්, අත් හා දෑස් ගැට ගැසූ සිරකරුවන් පිරිසක් වෙඩි තබා ඝාතනය කරනු දැක්වෙන වීඩියෝව ඉන් එකකි.

2011 මාර්තු මස දී චැනල් 4, ''ශ්‍රී ලංකා ඝාතක බිම්" නමැති චිත්‍රපටය එලි දැක් වූ අතර 2008 වසරේ සිට යුද්ධාවසාන වූ 2009 මැයි මාසය දක්වා කාලය තුල එල්ටීටීඊ පාලන ප්‍රදේශ තුලට හමුදාව ප්‍රහාර එල්ල කරන ආකාරයත් එයින් සිවිල් ජන ජීවිතවලට හානි කරන ආකාරයක් දැක්වින. ''වෙඩි අත්හිටවූ කලාපයටත්" එහි පිහිටිරෝහල්වලටත් මිලිටරි ෂෙල් ප්‍රහාර එල්ල කරන අයුරු හා ප්‍රමානවත් ආහාර, ඉඳුම් හිටුම් හා වෛද්‍යාධාර නොමැතිව මහජනයා අසරනව සිටින අයුරු ද එහි දී දැක්වින. යටත් වීමට පැමිනි නිරායුධ එල්ටීටීඊ නායකයින් හමුදාව විසින් නීතියට පිටතින් මරා දමා තිබූ ආකාරය දැක්වෙන පින්තූර ද ඒ අතර විය.

2012 මාර්තු මාසයේ දී තවත් වාර්තාමය චිත්‍රපටයක් ඉදිරිපත් කෙරුනි.

එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන්කි මූන් විසින් පත් කල විද්වත් කමිටුව 2011 මාර්තු 25 වෙනි දින ප්‍රසිද්ධ කල වාර්තාවට අනුව අඩු ම තරමින්සිවිල් වැසියන් 40,000ක් යුද ප්‍රහාරවලින් මියගිය බවට විස්වාස කල හැකි සාක්ෂි ඇති බව සඳහන් කෙරුනි.

ලංකාවේ යුද අපරාධ පිලිබඳව කඳු ගැසෙන සාක්ෂි පිලිබඳව අව්‍යාජ පරීක්ෂනයක් සිදුකර යුද අපරාධකරුවන්ට දඬුවම් කල හැකි වන්නේ, ජාත්‍යන්තර කම්කරු පන්තියේ සහාය ලබන ලංකාවේ සිංහල හා දෙමල කම්කරු පන්තිය ගනු ලබන එක්සත් ක්‍රියාමාර්ගයකින් පමනි.

Share this article: