ඇෆ්ගනිස්ථානයේ ස්ථාවර හමුදා කඳවුරු පිහිටුවීමේ එක්සත් ජනපද සැලසුම් ගැන කර්සායි හෙලි කරයි

Karzai reveals US plan for permanent Afghanistan bases

බිල් වෑන් ඕකන් විසිනි, 2013 මැයි 11

එක්සත් ජනපද හා නැටෝ හමුදා ඉවත් කර ගැනීමට නියමිත අන්තිම දින 2014 වසර අවසානයට යෙදී ඇතත්, ඉන් පසුව ද රට පුරා විසිරුනු ආකාරයකට ඇමරිකානු හමුදා කඳවුරු නවයක් පවත්වා ගෙන යාමට වොෂින්ටනයට අවශ්‍ය වී ඇතැයි ඇෆ්ගන් ජනාධිපති හමීඩ් කර්සායි පසුගිය මැයි 9දා හෙලි කලේය.

එක්සත් ජනපද ඉල්ලීම සම්බන්ධයෙන් තමා නම්‍යශීලීවන බව කාබුල් සරසවියේ දී පවත්වන ලද දේශනයක දී කර්සායි අවධාරනය කලේය. ඒ අනුව පෙනී යන්නේ, බටහිරින් අඛන්ඩව ආර්ථික ආධාර සැපයීමටත්, සිය රූකඩ ආන්ඩුවට ආරක්ෂාව සැලසීමටත් දෙන ප්‍රතිඥාවල හිලව්වට හමුදා කඳවුරු පිලිබඳ ප්‍රශ්නය විකිනීමට ඔහු අපේක්ෂා කරන බවයි. පැනවෙතැයි සිතිය හැකි තවත් කොන්දේසියක් වන්නේ ලබන වසරේ පැවැත්වීමට කටයුතු යොදා ඇති මැතිවරනයේ දී, තමන්ගේ අනුප්‍රාප්තිකයා වීමට ඔහු විසින් නම් කෙරෙනු ලබන අපේක්ෂකයාට එක්සත් ජනපද සහාය හිමි විය යුතුය යන්නය.

"මේ කොන්දේසි සපිරෙන්නේ නම්, එක්සත් ජනපදය හා ගිවිසුම් අත්සන් තැබීමට අපි කැමැත්තෙමු"යැයි ඔහු පැවසීය. යුද්ධයේ හා වාඩිලෑමේ වසර දොලහකට වැඩි කාල පරිච්ඡෙදයකින් ඉක්බිතිව තව දුරටත් විදේශ හමුදා ඇෆ්ගන් භූමිය තුල දිගටම රැඳී සිටීම පිලිබඳව කර්සායි පැවසුවේ, "2014න් පසු ඔවුන් ඇෆ්ගනිස්ථානයේ රැඳී සිටීම ඇෆ්ගනිස්ථානයේ මෙන්ම නැටෝවේ ද උත්සුකයන්ට අනුකූල වේයැ"යි තමන් සලකන බවයි.

මෙකී ප්‍රකාශ එක්සත් ජනපද සහාය ලබන ජනාධිපතිගේ සාටෝප කථාවන්හි හදිසි දිශා මාරුවක් සනිටුහන් කරයි. ප්‍රචන්ඩ ක්‍රියා උත්සන්න කිරීමටත්, එමඟින් එක්සත් ජනපද හමුදා දිගටම ඇෆ්ගනිස්ථානයේ රඳවා තැබීම සඳහා ව්‍යාජ හේතූන් හදා ගැනීමටත් තාලිබාන්වරුන් සමඟ ගැටුම් ඇති කර ගනිතැයි කර්සායි මෑත මාසවල දී වොෂින්ටනයට චෝදනා කලේය. සිවිල් ජීවිත වනසමින් ද, විදේශ හමුදා ආක්‍රමනය හා කාබුල්හි කර්සායිගේ දූෂිත රූකඩ ආන්ඩුව යන දෙකම කෙරේ වෛරය අවුලුවමින් ද ඇමරිකාව විසින් සිදු කෙරෙන ගුවනින් බෝම්බ හෙලීම් හා එක්සත් ජනපද විශේෂ කාර්ය බලකායයන්හි රාත්‍රි වැටලීම් නවත්වන ලෙස ඔහු යලියලිත් ඉල්ලා සිටියේය.

පෙබරවාරියේ දී ඔහු, කාබුල් නුවරට නිරිත දිගින් පිහිටි සමස්ත මයිදන් වර්දක් පලාත තුල එක්සත් ජනපද විශේෂ මෙහෙයුම් බලකායේ කටයුතු වැලැක්වීමට ක්‍රියා කලේය. මෙකී නොකී ප්‍රකාශයන් හා ක්‍රියාවන්ගේ අරමුන වූයේ මහජන කෝපය වෙනතක හැරවීම හා වොෂින්ටනයේ පන්දම්කරු ලෙස නොව ජාතික නායකයෙකු ලෙස තම ප්‍රතිරූපය ගොඩ නඟා ගැනීමට දැරූ උත්සාහයයයි.

කෙසේවෙතත්, උපයෝගිතාවාදී කපුවෙකුගේ චරිතයට පන දෙමින් කර්සායි දැන් ගෙන යන රංගනය කිසිසේත් ම ඔබාමා පරිපාලනයේ සතුටට හේතු වී නැත. ඇෆ්ගන් ජනපතිගේ ප්‍රකාශය ඔවුන් අනපේක්ෂිත තත්වයකට ඇද දමා ඇති බවක් පෙනෙන්නට තිබේ.

හමුදා මූලස්ථාන නවයක් පවත්වා ගෙන යාම සඳහා ඉල්ලීමක් කල බව තහවුරු කිරීම එක්සත් ජනපද නිලධාරීහු ප්‍රතික්ෂේප කලෝය. කර්සායිගේ ඇෆ්ගන් ජාතික පෞද්ගලික සහායකයාට අනුව, පසුගිය මාසයේ ඉදිරිපත් කල නවතම ඇමරිකානු යෝජනා කෙටුම්පතෙහි එය ඇතුලත් ව තිබින.

ධවල මන්දිර ප්‍රකාශක ජේ කාර්නේ වොෂින්ටනයේ දී වාර්තාකරුවන් අමතා පැවසුවේ මෙසේය: "ඇෆ්ගනිස්ථානයේ ස්ථාවර හමුදා මූලස්ථාන පවත්වා ගෙන යාමට එක්සත් ජනපදය අපේක්ෂා නොකරයි. 2014න් පසු ඇෆ්ගනිස්ථානය තුල එක්සත් ජනපද හමුදාවන්ගේ කවර හෝ රැඳී සිටීමක් වේ නම්, ඒ ඇෆ්ගනිස්ථානු රජයේ ආරාධනය මත පමනක් වන අතර, එවැනි රැඳී සිටීමක අරමුන එම රටේ හමුදාවන් පුහුනු කිරීම හා අල් කයිඩාවේ ඉතිරි සුන්බුන් එල්ල කොට පහර දීම පමනක් වනු ඇත."

"එක්සත් ජනපද හමුදා ඇෆ්ගනිස්ථාන මිලිටරි පහසුකම්වලට පිවිසීම හා ඒවා භාවිතා කිරීම සම්බන්ධ කරුනු සැලැකිල්ලට ගන්නා" ද්වි-පාර්ශ්වික ආරක්ෂක ගිවිසුමක් පිලිබඳව වොෂින්ටනය සාකච්ඡා පවත්වමින් සිටින බව කාර්නේ අවධාරනයෙන් සඳහන් කලේය. එක්සත් ජනපදය කිසියම් ආකාරයක "ස්ථාවර හමුදා කඳවුරු" පවත්වා ගෙන යාමේ හැකියාව සොයා බලන බවට පල කෙරුනු අදහස් ඔහුගේ කරුනු දැක්වීම තුල තුන් වතාවක් ම ප්‍රතික්ෂේප කරන ලදී.

සත්‍යය නම්, අඩුම තරමින් මීලඟ දශකය සඳහා ඇෆ්ගන් යුද කඳවුරු නිල වශයෙන් බදු ගෙන ඒවා නිර්බාධිතව පාවිච්චි කිරීමට ඉඩ සලසා ගැනීම සඳහා වොෂින්ටනය ඇෆ්ගන්හි සිය රූකඩ ආන්ඩුව සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බවයි.

කර්සායි රජයට අනුව, කාබුල්, බැග්රාම්, මසාර්, ජලලබාද්, ගාර්ඩෙස්, කන්දහාර්, හෙල්මන්ද්, ශින්දාන්ද් හා හෙරත් නගරවල පිහිටි කඳවුරු එක්සත් ජනපදයේ අපේක්ෂිත ලැයිස්තුවට අයත් ය. එමඟින් සැබැවින් ම රටෙහි සෑම අස්සක් මුල්ලක් පාසා ම සිය හමුදා රැඳවීමට එක්සත් ජනපදයට අවකාශ සැලසේ.

2014න් පසු කාල පරිච්ඡෙදය සඳහා ඇෆ්ගනිස්ථානය සම්බන්ධයෙන් වන සිය සැලසුම් පිලිබඳව ඔබාමා පරිපාලනය කිසිවක්ම හෝ පවසා නැති තරම් ය. ඇමරිකා එක්සත් ජනපදය සිය ඉතිහාසය තුල දීර්ඝතම යුද්ධය පවත්වා ගෙන ගිය රටෙහි සිය හමුදා මෙහෙයුම් දිගටම කර ගෙන යාමට ඇති තම සැලසුම් ඇමරිකානු මහජනයා ඉදිරියේ දිග හරින්නට ඔවුන් සූදානම් නැත. ඇෆ්ගනිස්ථානයට සිදු කල හමුදා මැදිහත්වීම ඇමරිකානු ජනයා අතර මහත් සේ අප්‍රසාදයට පත් වූවකි. මෑතකදී සිදු කල ජනමත විමසුම්වලින් පෙනී ගියේ එම යුද්ධය ගෙනයාමට තරම් නොවටනා එකක් බවට ඇමරිකානු ජනගහනයෙන් තුනෙන් දෙකක් එකඟ වන බවයි.

"යුද්ධයේ උදම් රල බැස යන බවටත්," එක්සත් ජනපද බල ඇනි සියල්ල ඇෆ්ගනිස්ථානයෙන් ආපසු කැඳවා ගන්නා බවටත් තමන් දිගටම වර්ධනය කරන මිත්‍යාව එසේම පවත්වා ගෙන යාමට ධවල මන්දිරයට උවමනා වී ඇත.

මෑත වාර්තාවලින් පෙන්වා දෙන්නේ, වැඩි වශයෙන් විශේෂ මෙහෙයුම් ඒකකවලින් සැදුම් ලත් 13,000ක හමුදා භට පිරිසක් හෝ අවම තරමින් ඇෆ්ගනිස්ථානය තුල යෙදවීමට පෙන්ටගනයේ ඉහල නිලධාරීන්ට අවශ්‍ය වී ඇති බවයි.

තවමත් විසඳා ගැනීමට ඇති දෙයක් වෙයි. එනම්, එක්සත් ජනපද හමුදාවන්ට ඇෆ්ගන් නීතියෙන් පරිපූර්න මුක්තිය සැලසෙන අයුරින් ඇෆ්ගන් රජය හා ගිවිසුමකින් බැඳීමයි. එමඟින් රටේ ජනයාට එරෙහිව කෙරෙන යුද අපරාධ සම්බන්ධයෙන් ඔවුන් කිසිවෙකුටත් දඬුවම් නොකෙරෙන බැව් සහතික කෙරෙනු ඇත. මෙකී පියවරයන් ඇෆ්ගන් ජනයා අතර අතිශය අප්‍රසාදයට පත් වී ඇත. ඉරාකයේ දී මෙබඳු ගිවිසුමක් ඇති කර ගැනීමට අසමත්වීම, එම රට තුල එක්සත් ජනපද අතිරේක හමුදා බල ඇනි යම් ප්‍රමානයක් පවත්වා ගෙන යාමේ ඔබාමා පරිපාලනයේ සැලසුම් පීලි පැන්නවීමට හේතු විය.

ඇෆ්ගනිස්ථානයේ එක්සත් ජනපද හමුදා රැඳවීමෙන් ලබා ගැනීමට අපේක්ෂිත මෙහෙවර ලෙස පවසනු ලබන දෙය, දෙ ආකාරයකින් යුතු ය. ඉන් එකක් වන්නේ ඇෆ්ගන් භට පිරිස් පුහුනු කිරීමයි. අනෙක, අල් කයිඩාවට එරෙහිව දිගටම මෙහෙයුම් පැවැත්වීම යන චාටු බසින් හඳුන්වනු ලැබෙන, විදේශ ආක්‍රමනයට එරෙහිව ප්‍රතිරෝධ දක්වන්නන් මැඬ පැවැත්වීම අරමුනු කොට ගත් හමුදා මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමයි. එහෙත් මෙම රට තුල සිය හමුදා රඳවා තැබීම සඳහා මේ දෙකටම වඩා ඉහල ප්‍රමුඛත්වයක් උසුලන අභිප්‍රේරනයක් එක්සත් ජනපදයට ඇත.

ඇමරිකානු හමුදා ඉරාන හා චීන දේශ සීමාවන් මත හා කැස්පියන් ද්‍රෝනියේ සුවිසල් බලශක්ති සංචිතයන්ට ආසන්නව රඳවමින්, මධ්‍යම හා දකුනු ආසියාව තුල මූලෝපායයිකව පය ගසා ගැනීමේ ඉඩක් එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට ලබා දෙන්නේ ඇෆ්ගනිස්ථානයයි.

එම කලාපය තුල ඇමරිකානු අධිරාජ්‍යවාදයේ මේ අභිප්‍රේරනය පුලුල් ව හඳුනා ගනු ලැබ තිබේ. ඉරානය, රුසියාව, චීනය හා පකිස්ථානය යන සියලු රාජ්‍ය එක්සත් ජනපද හමුදා දිගටම රැඳී සිටීමකට විරුද්ධ වන්නේ, එමඟින් ඇෆ්ගනිස්ථානයේ යුද්ධය දිගටම පැවතීම සහතික කෙරන නිසාත් තම උත්සුකයන්ට ඉන් සෘජු තර්ජනයක් එල්ල කෙරෙන නිසාත් ය.

වොෂින්ටනයේ හමුදා කඳවුරු යෝජනාව පිලිබඳව කර්සායි ප්‍රසිද්ධියේ හෙලිදරව් කිරීම ඇෆ්ගන් විශ්ලේෂකයන් විසින් දකිනු ලැබ ඇත්තේ යම් ආකාරයක මුට්ටිය දමා බැලීමක් ලෙසය. මේ පිලිබඳව රට තුලින් හා සිය අසල්වැසි රටවලින් ද මතුවන ප්‍රතික්‍රියාව පරීක්ෂා කිරීම එහි ද්විත්ව අරමුන වී යැයි ඔවුහු විශ්වාස කරති. උදාහරනයක් ලෙස, ඇෆ්ගනිස්ථානය සමඟ සැතපුම් 600ක් දිග දේශසීමාවක් ඇති ඉරානය කර්සායි රජයට ආධාර සම්පාදනය කොට ඇති අතර ඇෆ්ගනිස්ථානය තුල, විශේෂයෙන් ම එහි උතුරු හා බටහිර දිග පෙදෙස්වල පුලුල් බලපෑමක් පවත්වා ගැනීමට ද එය සමත් ව සිටී.

හමුදා කඳවුරු සම්බන්ධ ගනුදෙනුවක හිලව්වට කර්සායිගේ ඉල්ලීම් ඉටු කිරීමට වොෂින්ටනය සූදානම් බව නම් සඳහන් නොකල එක්සත් ජනපද නිලධාරීන් විසින් පවසන ලදැයි නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත පවසා ඇත. "දෙනු ලබන ප්‍රමානයන් කාලයත් සමඟ අඩු වීමට ඉඩ ඇතත්, ආධාර දිගටම ලබා දෙනු ඇතැයි නිලධාරීහු පැවසූහ,"යි පුවත්පත වාර්තා කලේය. "තව ද, ආධාර දිගටම ගලා යාමට නම්, දූෂනයට එරෙහිව සටන් කරන බවටත් වඩාත් විවෘත පාලනයක් පවත්වා ගෙන යන බවටත් තමන් දී ඇති පොරොන්දුවලට අනුව කටයුතු කිරීමට ඇෆ්ගන් රජයට සිදුවනු ඇත."

මධ්‍යම තොරතුරු කාර්යාංශය (සීඅයිඒය) මුදල් නෝට්ටු පිරි ගමන් මලු, ෂොපින් බෑග් හා සූට්කේස් නිතිපතා ජනාධිපති මන්දිරයට ගෙන ගොස් දෙන බවට මෑතක දී පලවූ වාර්තා සැලකිල්ලට ගත් කල, වොෂින්ටනය දූෂනය සම්බන්ධයෙන් කර්සායි දඬු කඳේ ගසන්නට සැරසෙන බවක් පෙන්වන්නට යාම හාස්‍යජනකය.

යුද දෙටුවන්ට ගෙවීමටත් ජනාධිපතිගේ හා ඔහුගේ ආධාරකරුවන්ගේ විදේශ බැංකු ගිනුම් පිරවීමටත් යොදවනු ලැබූ මේ සීඅයිඒ මුදල් වූ කලී, එක්සත් ජනපදය විසින් ඇෆ්ගනිස්ථානය අල්ලා ගෙන ගත වූ දශකයකට වැඩි කාලයක් තුල හදා වඩා ගැනුනු දූෂිත ජාවාරම් නමැති පාවෙන හිම පර්වතයේ මතුපිටට පෙනෙන්නට ඇති කුඩා ශීර්ෂය පමනෙකි. මේ ආක්‍රමනික යුද්ධය වෙනුවෙන් ඩොලර් බිලියන සිය ගනනින් පොම්ප කොට ඇත්තේ, ඇෆ්ගනිස්ථානය දිගටම මෙම ග්‍රහ ලෝකය තුල දිලිඳුම රටක්ව පවතින අතරතුර දී ය.

පසුගිය ගිම්හානයේදී පත් කෙරුනු ඇෆ්ගන් ප්‍රතිසංස්කරන කටයුතු පිලිබඳ විශේෂ පොලිස්පති ජෝන් සොප්කෝ, මැයි 8දා පැවැත්වූ කථාවක දී, මේ කිලිටි රහස ඇමරිකානු ජනයාගෙන් වසං කිරීමට ඔබාමා පරිපාලනය දරන ප්‍රයත්නය පිලිබඳව අවධාරනය කලේය.

"පසුගිය දස මාසය තුල මාධ්‍යයන් වෙත මා නිකුත් කල ප්‍රකාශවලට ඔවුන්ගේ පූර්ව අනුමැතිය ලබා නොගැනීම, මගේ විගනන වාර්තා සංස්කරනය කිරීමට ඔවුන්ට ඉඩ නොදීම, පමනට වඩා කොන්ග්‍රසය සමඟ කථා කිරීම, පමනට වඩා මාධ්‍ය ඇමතීම..... සහ, මූලිකව, 'කන්ඩායම වෙනුවෙන් ක්‍රීඩා නොකිරීම' හා ඇෆ්ගනිස්ථානය තුල 'අපේ රටේ' මෙහෙවරට යටින් වල කැපීම සම්බන්ධයෙන් ඇතැම් නිලධාරීහු මා විවේචනය කලෝයැ" යි සොප්කෝ පැවසීය.

නම් නොකල "ජ්‍යෙෂ්ඨ නිලධාරීන්" විසින් කෙරෙන බලපෑම් පිලිබඳව සඳහන් කල සොප්කෝ, තමාගේ "වාර්තා නිසා පරිපාලනය ද ජනාධිපති කර්සායි ද ඇෆ්ගනිස්ථානය ද අපහසුතාවයකට පත් විය හැකි හෙයින්, ඒවා කවරයක බහා මුද්‍රා තබා , කිසි දා දවල් එලිය නොගැටෙන පරිද්දෙන් මහ රෑ දොරට යටින් රිංගවිය යුතු යැ"යි ඔවුන් විශ්වාස කරන බව පැවසීය.

Share this article: