පලමුවැනි ලෝක යුද්ධය “සාර්ථක යි, ලාභදායකයි” නවසීලන්ත ආන්ඩුව සැකසූ පොත විස්තර කර යි

නවසීලන්තය හා 1914-1919 පලමු ලෝක යුද්ධය

Government-produced book describes WWI as “successful and profitable
New Zealand and the First World War 1914-1919

ටොම් පීටර්ස් විසිනි, 2014 අපේ‍්‍රල් 24

නවසීලන්ත සංස්කෘතික අමාත්‍යංශයේ සේවකයෙකු වන ඬේමියන් ෆෙන්ටන්ගේ New Zealand and the First World War 1914-1919 (නවසීලන්තය හා පලමු ලෝක යුද්ධය 1914-1919) නම් ග‍්‍රන්ථය, පසු ගිය නොවැම්බරයේ දී ප‍්‍රකාශයට පත්වුනි. පොත සකස් කරන ලද්දේ ආරක්ෂක හමුදා හා මැසේ විශ්ව විද්‍යාලය සමග සහයෝගයෙනි. ආන්ඩුකාර ජෙරී මටෙපාරේ හා අගමැති ජෝන් කී විසින් එය දියත් කල අතර කී එය විස්තර කරන ලද්දේ “පවුලේ උරුමයට සුදුසු විශිෂ්ට ජයග‍්‍රහනයක්” ලෙස ය.

නවසීලන්තය හා පලමු ලෝක යුද්ධය

එම කෘතිය යුදවාදයට ගැති ප‍්‍රචාරයට හා ඓතිහාසික මුසාකරනයට පක්ෂපාතී රචනාවකි. එය වොෂින්ටනය හා එහි සහචරයන් විසින් යුද්ධය සඳහා දැන් කර ගෙන යනු ලබන සූදානමට සහාය දැක්වීමට කම්කරුවන්ගේ හා තරුනයන්ගේ විඥානය හිරි වැට්ටීම හා මහජන මතය හැඩ ගැස්වීම සඳහා පලමු ලෝක යුද්ධය උත්කර්ෂයට නැංවීමේ පස් අවුරුදු ප‍්‍රචාරයක ආරම්භක වෙඩි මුරය යි. මීට පෙර පැවති ලේබර් ආන්ඩුව ඉරාකයට හා ඇෆ්ගනිස්තානයට හමුදා යැවූ අතර පසු ගිය වසර මුලුල්ලේ සමස්ත දේශපාලන සංස්ථාපිතය ම ඉඟි කර ඇත්තේ සිරියාවේ, යුකේ‍්‍රනයේ හා උතුරු කොරියාවේ එක්සත් ජනපද මැදිහත්වීම්වලට මෙන් ම චීනයට එරෙහිව ඉන්දු-පැසිෆික් මිලිටරි තර කිරීමට ද සහාය දෙන බව යි.

ජාතික පක්ෂ (නැෂනල් පාටි) ආන්ඩුව හා ලොතරැයි ප‍්‍රදාන මන්ඩලය පලමු ලෝක යුද්ධයට සම්බන්ධ නොයෙකුත් ඉසව් හා ව්‍යාපෘතිවලට අඩු වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 36ක් වැය කිරීමට අපේක්ෂා කෙරේ. යුද්ධය සම්බන්ධ තවත් පොත් 10ක් ප‍්‍රසිද්ධ කිරීම මෙයට ඇතුලත් ය.

පලමුවැනි ලෝක යුද්ධය අධිරාජ්‍යවාදී යුද්ධයක් විය. මූලික වශයෙන් එයට හේතු වූයේ යටත් විජිත, වෙලඳපොල හා ලාභ සඳහා යුරෝපයේ, ආසියාවේ හා ඇමරිකාවේ ප‍්‍රධාන බලවතුන් අතර අරගලය තුල ප‍්‍රකාශිතවූ ධනේශ්වර පද්ධතියේ බිඳ වැටීම යි. යුද්ධය පුපුරා යාමෙන් පසුව ලියොන් ට්‍රොට්ස්කි සඳහන් කල පරිදි, ලෝක ආර්ථිකයේ වර්ධනය හා ලෝකය තරඟකාරී ජාතික රාජ්‍ය ලෙස බෙදී තිබීම අතර ගැටුම එමගින් සලකුනු කෙරුනු බව යි. එහෙත් “අධිරාජ්‍යවාදයේ මෙම ගැටලුව විසඳීමට ආන්ඩු යෝජනා කරන විසඳුම, මානව සංහතියේ සියලු ම නිෂ්පාදකයන්ගේ බුද්ධිමත්, සංවිධානගත සහයෝගය මගින් නො ව ජයග‍්‍රාහී රටවල ධනේශ්වර පන්තිය විසින් ලෝක ආර්ථික පද්ධතිය සූරාකෑම මගින් විසඳීම ය” යි ඔහු පැහදිලි කලේ ය.

ඉතිහාසයේ එම අවස්ථාව දක්වාවූ දැවන්ත ම ම්ලේච්ඡත්වය ලෝක යුද්ධය විසින් ඇති කලේ ය. පුද්ගලයන් මිලියන 10ට වඩා මියගිය අතර මිලියන 21ක් කායිකව හා මානසිකව තුවාල ලැබූහ.

බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදයේ කනිෂ්ට හවල්කරුවෙකු ලෙස නවසීලන්ත පාලක පන්තිය යුද්ධය දැකගත්තේ, නව යටත් විජිත හා සිය ධන සම්පත් වැඩිකර ගැනීමේ අවස්ථාවක් ලෙස ය. ජර්මනිය අල්ලා ගෙන තිබූ සැමෝවා හ නායුරු ඇතුලු පැසිෆික් භූමිභාගයන් පිලිබඳව වෙලින්ටනයේ ආන්ඩු 19වැනි සියවසේ සිටම සැලැසුම් සකස් කර තිබුනි.

මෙම අරමුනින් නවසීලන්ත සොල්දාදුවන් 100,000ක් සටනට යවන ලදී. එය රටේ ජනගහනයෙන් සියයට 10ක් ද අවුරුදු 19ත් 45ත් අතර පිරිමින්ගෙන් සියයට 60ක් ද විය. මොවුන්ගෙන් 18,500ක් යුද්ධයෙන් හෝ ලෙඩ රෝගවලින් මියගිය අතර 42,000ක් තුවාල ලැබූහ.

එරට යුද්ධයට සහභාගී වීම වෙනුවෙන් නවසීලන්ත ජාතිකයන් “ආඩම්බර” විය යුතු අතර එය පරහිතකාමී ප‍්‍රයත්නයක් ලෙස ඉදිරිපත් කරමින් යුද්ධයේ ස්වභාවය අශිෂ්ට ලෙස මුසාකරනය කිරීම මගින් ඉහත කී නවසීලන්තය හා පලමුවැනි ලෝක යුද්ධය නම් පොත මෙම බිහිසුනු ජීවිත හානි යුක්ති සහගත කිරීමට උත්සාහ ගනියි.

ෆෙන්ටන් යනු මුලුමනින් ම පාලක පක්ෂයේ දෘෂ්ටිය මත පිහිටා ලියන මිලිටරිවාදියෙකි.A False Sense of Security: The Force Structure of the New Zealand Army 1946-1978 (ආරක්ෂාව පිලිබඳ ව්‍යාජ මනෝභාවය: නවසීලන්ත හමුදාවේ බල ව්‍යුහය 1946-78 ) නම් ඔහුගේ පලමු පොතෙන්, මිලිටරියට වඩ වඩා මුදල් හා උපකරන සපයා නො දීම සම්බන්ධයෙන් අනුක‍්‍රමික ආන්ඩුවලට පහර ගසයි. එය කොරියානු හා වියට්නාම් යුද්ධවල දී නවසීලන්ත කාර්යභාරය අනුමත කල අතර 1972දී අනිවාර්ය මිලිටරි සේවය අහෝසි කිරීම පිලිබඳව වැලපෙයි. ජනවාරියේ දී ඩොමිනියන් පෝස්ට් පත‍්‍රයට ෆෙන්ටන් පැවසුවේ, ඔහුගේ ප‍්‍රියතම කතුවරයන්ගෙන් කෙනෙකු වන්නේ ක‍්‍රිස්ටෝපර් හිකන්ස් බව යි. සමාජවාදී කම්කරු පක්ෂයේ හිටපු ප‍්‍රමුඛ සාමාජිකයෙකු වන හිකන්ස්, 2003දී එක්සත් ජනපදය මෙහෙය වූ ඉරාක ආක‍්‍රමනයට ඔහු දුන් සහාය සම්බන්ධයෙන් කුප‍්‍රකටය. සියලු ම ව්‍යාජ වාම සංවිධාන අධිරාජ්‍යවාදී යුද්ධයේ හවුල් කරුවන් කිරීමේ ආරම්භය ගත්තේ ඔහුය.

පලමුවැනි ලෝක යුද්ධයේ මූලයන් පිලිබඳව ෆෙන්ටන් චෝදනා කරන්නේ ජර්මනියට හා ඔස්ටි‍්‍රයා-හංගේරියාවට ය. මිත‍්‍රපාක්ෂිකයින්ගේ ප‍්‍රචාරය පුනරුච්චාරනය කරමින් ඔහු, බි‍්‍රතාන්‍ය යුද්ධ ප‍්‍රකාශ කිරීම යුක්ති සහගත කලේ, බෙල්ජියම ආක‍්‍රමනය කිරීමට ප‍්‍රතිචාර වශයෙන් ද “ජර්මානු අධිරාජ්‍ය සීමා කිරීම හා යුරෝපීය බල තුලනය තව දුරටත් ව්‍යාකූල කිරීමෙන් එය වැලක්වීම” අවශ්‍යවූ බව ද කියා සිටිමින්ය. යුද්ධයේ “ඛේදවාචකයන්ට” එරෙහිව “තුලනය” කල යුතු “ජයග‍්‍රහනයක්” ලෙස ඔහු, “1918 නොවැම්බරයේ දී ජර්මන් අධිරාජ්‍යයේ මිලිටරි පරාජයට” ආවඩයි.

යුද්ධයේදී බි‍්‍රතාන්‍යයේ සැබෑ ඉලක්කය වූයේ, පරිපීඩිත ඉන්දියාව, අප‍්‍රිකාවේ වැඩි කොටස හා මැද පෙරදිග ඇතුලුව එහි අතිවිශාල අධිරාජ්‍ය ආරක්ෂා කර ගැනීම මෙන් ම තව තවත් යටත් විජිත ඩැහැගැනීම ය.

සැබවින් ම, ජර්මානු ව්‍යාප්තවාදය හෙලාදකින අතර ෆෙන්ටන්, මිත‍්‍ර පාක්ෂිකයන් යටත් විජිත අල්ලා ගැනීමට විවෘතව සහාය පල කරයි. නවසීලන්තයේ මැදිහත්වීම “විශාල වශයෙන් සාර්ථක හා ලාභදායි” වූ බව ඔහු පවසන්නේ, ජර්මනිය වෙතින් සැමෝවා ප‍්‍රදේශය අත්පත්කර ගැනීම හා බි‍්‍රතාන්‍ය හා ඕස්ටේ‍්‍රලියාව සමග නායුරු දූපතින් පොස්පේට් කොල්ලකෑමේ දී තමන්ට ද කොටසක් ඩැහැ ගැනීම නිසා ය. ඔහු මෙසේ ලිය යි, ”යුද්ධයෙන් පසු දශකවල දී නවසීලන්තයේ සුපර්පොස්පේට් කර්මාන්තය දියුනු වූ අතර 20වැනි සියවසේ මැද භාගයේ දී එම කාරනය රටේ තනබිම් විප්ලවයට වැදගත් දායකත්වයක් සැපයී ය.”

කර්නල් රොබට් ලෝගන් සැමොවා මත බි‍්‍රතාන්‍ය පාලනය ප‍්‍රකාශයට පත්කිරීම / ඇලෙක්සැන්ඩර් ටර්න්බුල් ලයිබ‍්‍රරි

පැසිපික් ජනතාවට එරෙහි නවසීලන්තයේ යටත් විජිත පාලනය ගැන ෆෙන්ටන් නිශ්ශබ්ද ය. නායුරු හි පොස්පේට් පතල්වලට මග සලස්වනුවස් ගම් දනව් සුද්ධ කෙරුනි. මෙම පතල්වල වැඩ කලේ ආසියාවෙන් පැමිනි කොන්ත‍්‍රාත් කම්කරුවන්ය. සැමෝවා හි දහස් ගනන් චීන සංක‍්‍රමනික කම්කරුවෝ පොල් වතුවල ම්ලේච්ඡ කොන්දේසි යටතේ දිගට ම වැඩ කලහ.

නවසීලන්ත අධිකාරීන්ගේ නොසැලකිල්ල නිසා 1918දී සැමෝවාහි මාරාන්තික ස්වසන ප‍්‍රදාහ වෛරසය පැතිරී ගිය අතර එය ජනගහනයෙන් සියයට 22ක් මරා දැමී ය. කර්නල් රොබට් ලොගාන් ගේ පරිපාලනය සම්පූර්නයෙන් ම අප‍්‍රමානවත් වෛද්‍ය සේවාවක් පවත්වාගෙන ගියේය. උදව් සඳහා පාසලකින් කෙරුනු ආයාචනයකට ලොගාන්, අපකීර්තිමත් ලෙස පිලිතුරු සැපයූවේ, “ඔවුන් මැරෙන්න යනවා නම් මම ගනන් ගන්නේ නෑ. ඔවුන්ට මැරනේන ඉඩ දෙන්න, අපායට ගියදෙන්” (1) යනුවෙන් ඔහු පැවසීය. ෆෙන්ටන් මේ ගැන කිසිවක් නො කියයි.

යුද්ධයේ විනාසය පිලිබඳව ෆෙන්ටන් ඉදිරිපත් කරන්නේ පිලිගත හැකි තත්වයකට පෙරලූ පින්තූරයකි. 500ට වඩා ඡායාරූප, සිතියම් හා පෝස්ටර් ආදිය පොතට ඇතුලත් වුන ද තුවාල ලද හා මරා දමන ලද සොල්දාදුවන්ගේ සිතුවම් දුසිමකටත් අඩු ය. සැබවින් ම නටබුන් නගර හා ගම්වල පින්තූර ඇත්තේ ම නැත.

1915 මැයි ගැලිපොලිහිදී මරනයට පත් තුර්කි සහ ඕස්ටේ‍්‍රලියානු සොල්දාදුවන් වලදමා ඇති අයුරු / ඕස්ටේ‍්‍රලියානු යුද ස්මාරක වෙතිනි

යුද්ධයේ උච්ච අවස්ථාවේ දී පෙලකට පසු තව පෙලක් වශයෙන් තරුනයන් යුද පෙරමුනට යැවීම හා එලෙස ඔවුන් මරා දැමීම නිසා “සොමේ හි ගහලයා” ලෙස හමුදා අතර අපකීර්තියට පත් සර් ඩග්ලස් හේග් ඇතුලු මිත‍්‍රපාක්ෂික ජෙනරාල්වරුන්ට ඔහු ප‍්‍රශංසා කරයි. සොමේ හි සටනේ දී ආසන්න වශයෙන් මිත‍්‍ර පාක්ෂිකයින් 500,000ක් විපතට ලක් වූ අතර 600,000ට වැඩි ජර්මානුවන් ද විනාශ විය.

ජෙනරාල් වරයෙකුගේ නිර්දය භාවය සහිතව ෆෙන්ටන්, “තුලනය කිරීම” ලෙස දක්වන්නේ හේග් හා අනෙකුත් අය තම මිලිටරි ජයග‍්‍රහනය වෙනුවෙන් ජීවිත විනාස කිරීම, එනම් “සතුරු” හමුදා සංහාරය යි. යුද්ධයෙන් පසු හේග් සම්බන්ධයෙන් වූ ”බොහෝ විවේචන පදනම් විරහිත නැත්නම් අතිශයෝක්තියට නගා ඇති බව ඔහු අවධාරනයෙන් කියා සිටියි. “සත්‍ය වශයෙන් ම 1918දී අප ජයග‍්‍රහනය කරා මෙහෙය වූයේ, 1916දී ඝාතකයින් හා අදක්ෂයින් ලෙස දෝෂාරෝපනයට මුහුනපෑ ජෙනරාල්වරුන් ම” යයි ඔහු නවසීලන්ත රූපවාහිනයට පැවසී ය.

යතාර්ථය නම්, රුසියානු විප්ලවය හා ඉන් පසුව යුරෝපය පුරා ඇතිවූ කම්කරු පන්ති නැගිටීම් යුද විරාමයකට එකඟ වීමට යුරෝපීය බලවතුන්ට බල කල බවයි. විප්ලවය හා රුසියාව යුද්ධයෙන් ඉවත්වීම ෆෙන්ටන් විස්තර කලේ මිත‍්‍රපාක්ෂිකයින්ට මිලිටරි “පසුබැසීමක්” ලෙස නමුත් සැබවින් ම එය සෑම රටක ම ධනේශ්වර පාලනයන් බියගැන්වීය. 1919 වර්සායි සමුලුව අතරතුර දී, බි‍්‍රතාන්‍ය අගමැති ලොයිඞ් ජෝජ් මෙසේ සඳහන් කලේ ය, “යුරෝපයේ එක් අන්තයක සිට අනෙක් අන්තය දක්වා, පවත්නා සමස්ත පර්යායේම දේශපාලන, සමාජ හා ආර්ථික පැතිකඩ, ජනතාවගේ අති බහුතරය විසින් ප‍්‍රශ්නයට බඳුන් කරයි.”

ෆෙන්ටන්ගේ පොතේ විශේෂයෙන් ම ඇඟ කිලිපොලා යන පැත්ත වන්නේ, යුද්ධයේ දී ස්ථාපිත කෙරුනු පොලිස් රාජ්‍ය පියවර පිලිබඳව ඔහු දක්වන එකඟත්වයයි. “ආන්තික අවස්ථා, සීමාන්තික පියවර ඉල්ලා සිටි බව නවසීලන්ත දේශපාලන නායකයින් පිලිගත්” බව ඔහු සඳහන් කර යි.

යුද්ධය ආරම්භයේ දී, විපක්ෂ ලිබරල් පක්ෂය පාලක රිෆෝම් (ප‍්‍රතිසංස්කරන) පක්ෂය සමග සභාගයකට ඇතුල් වූ අතර 1917 පැවැත්වීමට නියමිත වූ මැතිවරන යුද්ධය අවසන් වන තුරු තහනම් කිරීමට පාර්ලිමේන්තුව ඡන්දය දුන්නේය. පුවත්පත් වාරනය කරන ලදී. යුද විරෝධී පොත් තහනම් කෙරුනි. “ආන්ඩුව විවේචනය කිරීම, හාම්පුතුන් හා සේවකයන් අතර විරුද්ධවාදීකම් ඇති කිරීම, බඳවාගැනීම්වලට බාධාකිරීම හා අනිවාර්ය යුද සේවයට එරෙහිව විරෝධය දිරිමත් කිරීම” ද තහනම් වුනි. 500ක් පමන ”හතුරු විදේශිකයන්” සිරගත කරන ලද අතර කැරලි ගැසීම හෝ ද්‍රෝහි ක‍්‍රියා සම්බන්ධයෙන් පුද්ගලයන් 208දෙනෙකු වරදකරුවන් කරන ලදී, ඔවුන්ගෙන් බොහෝ දෙනා යුද්ධයට එරෙහිව කතා කිරීමට වඩා කිසිවක් කල අය නො වූහ.

ෆෙන්ටන් තෘප්තිමත් ලෙස ප‍්‍රකාශ කරන්නේ “ද්‍රෝහීන් සාර්ථක ලෙස මැඩපවත්වන ලද අතර දේශීය ආරක්ෂාව අත්පත් කර ගැනුනේ ආන්ඩුවේ යුද කාලීන පියවර මගිනි” යනුවෙනි.

පාලනයේ අධිකාරිවාදී රූපාකාරයන් සඳහා ඔහුගේ නොසැඟවුනු පක්ෂපාතිත්වය පිලිබිඹු කරන්නේ, නව යුද්ධයකට සූදානම් වීමත් සමග වර්තමාන පාලක ප‍්‍රභූව අතර ප‍්‍රචලිතව ඇති මනෝගතිය යි. පසු ගිය වසරේ දී, අතිමහත් මහජන විරෝධය හමුවේ ආන්ඩුව රාජ්‍ය ඔත්තු සේවා ඒජන්සියේ, ආන්ඩුවේ සන්නිවේදන ආරක්ෂක බියුරෝවේ බලතල සැලකිය යුතු ලෙස වැඩිකල අතර මහජනතාව දැඩි ලෙස සෝදිසි කිරීම අරඹා ඇත.

ෆෙන්ටන්ට අනුව යුද කාලයේ ආන්ඩුවේ ක‍්‍රියා “මහජන චින්තනය සමග අනුරූප” විය. ඔහු ප‍්‍රකාශ කරන්නේ ”කුඩා සුලුතරයක් පමනක් ක‍්‍රියාත්මකව යුද්ධයට විරුද්ධ වූ අතර යුද්ධය ඇරඹීමත් සමග එවැනි අදහස් ප‍්‍රසිද්ධියේ කියාපෑවේ ටික දෙනෙකු පමනක්” බවය. “පොහොසත් හෝ දුප්පත් වේවා, ම ඕරි හෝ පකෙහා (යුරෝපීයන්) වේවා, අධිරාජ්‍ය යුද්ධයේ දී අප ද එහි සිටින්නෙමු, එය එතරම් ම සරල ය. නවසීලන්ත ජාතිකයන් ඉතා ප‍්‍රබල ලෙස එසේ විශ්වාස කලේ” යයි ඔහු ගනන් බැලී ය.

අධිරාජයාගේ මිනිස්සු පලමුවන ලෝක යුද්ධයට බඳවාගැනීමට සැකසූ පෝස්ටරයක්

මෙය මුලුමනින් ම මුසාවකි. ෆෙන්ටන් ප‍්‍රශංසා කල පොලිස් රාජ්‍ය පියවර ගන්නා ලද්දේ නිශ්චිතව ම යුද්ධයට හා අනිවාර්ය යුද සේවයට එරෙහිව පුලුල් ව පැතිරුනු විරුද්ධත්වය මැඞීමට ය.

1909දී අනිවාර්ය මිලිටරි යුද පුහුනුව හඳුන්වා දෙන ලදී, ෆෙන්ටන්ට අනුව “අපූර්ව ලෙස හොඳින් ක‍්‍රියාත්මක වූ” මෙයට දහස් ගනන් විරෝධය දක්වන ලදී. ඉතිහාසඥ ස්ටීවන් එල්ඩෙ‍්‍රඞ් ග‍්‍රිග් මෙසේ සඳහන් කලේ ය. “යුද නීතිය පැනවීමේ පලමු වසර තුන අතරතුර දී ආන්ඩුව ලියා පදිංචි නො වීම, හෝ දිව්රුම්දීම ප‍්‍රතික්ෂේප කිරීම හෝ පෙරෙට්ටුවලට සහභාගී නො වීම වෙනුවෙන් ආසන්න වශයෙන් වැඩිහිටියන් හා තරුනයන් හත්දාහක් වරදකරුවන් කරන ලදහ. යුද්ධය පිපිරීමට ඔන්න මෙන්න කියා තිබියදී ”මිලිටරි කඳවුරුවලට යාමට නියමිතව සිටි තරුනයන්ගෙන් සියයට දාහතක් එය මගහැර සිට ඇත.”(2)

ලිබරල්-රිෆෝම් ආන්ඩුව යුද්ධයට කෙරෙහි පලවූ විරුද්ධත්වය ජය ගත්තේ විශාල වශයෙන් ප‍්‍රතිසංස්කරනවාදී සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයට (සප‍්‍රප) -1916දී මෙය ලේබර් පක්ෂයේ කොටසක් විය - හා වෘත්තීය සමිතිවලට පින්සිදු වන්නට ය. ප‍්‍රතිගාමී ජාතිකවාදයේ ගිලුනු ලේබර් ප‍්‍රභූව, සිය යුරෝපීය සහචරයන් මෙන් ම යුද්ධයේ දී තමන්ගේම පලාක පන්තියට ක‍්‍රියාත්මක ව සහාය දුන්හ.

සප‍්‍රප සභාපති හා එක්සත් කම්කරු ෆෙඩරේෂනයේ (එකෆෙ) ලේකම්-භාන්ඩාගාරික හිරාම් හන්ටර් ක‍්‍රයිට්ස්චර්ච් හි රැස්වීමකදී මෙසේ පැවසීය. “සමාජයේ සෑම අයෙකුටම නියමිත යුතුකම වන්නේ එක්ව ක‍්‍රියා කිරීම හා නවසීලන්තයේ පමනක් නො ව අධිරජ්‍ය පුරා අපගේ උත්සුකයන් සුරක්ෂිත බවට වගබලාගැනීම ය.”(3)

සප‍්‍රප සාමාජිකයෙකු ද, එකෆෙ සභාපති ද වූ ඩැනියල් සලිවන් 1914, “බඳවා ගැනීමේ ව්‍යායාමයේ දී ප‍්‍රමුඛ කාර්යභාරයක්” උසුලමින් ක‍්‍රයිස්ට්චර්ච් දේශපේ‍්‍රමී කමිටුවේ හා පුරවැසි ආරක්ෂක සේනාංකයේ විධායකයට පත් විය. පලමු කම්කරු පක්ෂ සභාපති හා යුද්ධය අතරතුර දී පාර්ලිමේන්තු විරුද්ධ පක්ෂයේ සාමාජිකයෙකු වූ ජේම්ස් මැකොම්බ්ස් “සතිපතා පැවැත්වූ සෑම බඳවා ගැනීමේ රැස්වීමක දී ම කතා කලේ ය.” (4)

අනෙකුත් රටවලදී මෙන් ම නවසීලන්තයේදී ද පුද්ගලයන් දහස් ගනනක් පලමු විදේශ යුද ගමන සඳහා කැමත්තෙන් ඉදිරිපත් වූහ. නමුත් ගැලිපොලි හා තවත් තැන්වල සංහාර පිලිබඳ වාර්තා ගලා ඒමට පටන්ගැනීමත් සමග බඳවා ගත් සංඛ්‍යාව අඩු වී ගෙන ගිය අතර ආන්ඩුව 1916දී අනිවාර්ය යුද සේවය හඳුන්වා දුන්නේ ය. අනිවාර්ය යුද සේවය “දැවන්ත කාර්මික කරදර” පොලඹවනු ඇතැ යි තමන් බියගන්වන බව පවසමින් ආරක්ෂක ඇමති ජේම්ස් ඇලන් අගමැති විලියම් මැසේට ලියා දැන්වී ය.(5*

ආන්ඩුව අත්‍යාවශය කර්මාන්තවල වැඩවර්ජන “රාජද්‍රෝහී” යැයි නීතිවිරෝධී කලේ ය. එසේ වුවත් අත්‍යාවශය යුද සේවයට විරෝධය දැක්වීමට හා යුදකාලීන උද්ධමනය සමග වැටුප් සම නොවීමේ කාරනය මත 1916 හා 1917දී පතල් කම්කරුවන් “නැවත නැවතත් වැඩවර්ජනය කල අතර සමහර වැඩවර්ජන මාස දෙකක් පමන පැවතුනි.” වැඩවර්ජන අවසන් කිරීම සඳහා පතල් කම්කරුවන් අනිවාර්ය යුද සේවයට බඳවා නො ගත යුතු බව පිලිගැනීමට ආන්ඩුවට බල කෙරුනි. (6*

වඩා පුලුල් වැඩවර්ජන වැලැක්වීමේ දී කම්කරු පක්ෂය හා වෘත්තීය සමිති ප‍්‍රයෝජනවත් විය. කම්කරු පක්ෂ මන්ත‍්‍රීවරයෙකු වූ පැඞී වෙබ් හා පතල් කම්කරුවන්ගේ වෘත්තීය සමිති නායක බොබ් සෙම්පල් අනිවාර්ය යුද සේවයට විරුද්ධවීම වෙනුවෙන් හිරගත කල අවස්ථාවේ දී ඔවුන් දෙදෙනාම කම්කරුවන්ගෙන් අයැද සිටියේ වැඩවර්ජන නො කරන ලෙස යි. (7) ඒ වෙනුවට කම්කරු පක්ෂය යුද විරෝධී මනෝගතීන්, රට පුරා අනිවාර්ය යුද සේවයට විරෝධය දක්වන රැුස්වීම් තුල දියකර හැරියේය. ඇතැම් රැුස්වීම් දහස් ගනන් පුදගලයන් ආකර්ෂනය කර ගත්තේ ය.

යුද්ධයට බලහත්කාරයෙන් බඳවාගැනීමට සහ ජීවන බර වැඩිවීමට එරෙහිව 1917 ක‍්‍රයිස්ට්චර්ච්හි 2,600ක මහජන රැලිය/ නවසීලන්තයේ ඔටාගෝ විශ්වවිද්‍යාලයේ, හොකෙන් එකතුව වෙතිනි.

එල්ඩෙ‍්‍රඞ් - ග‍්‍රිග්ට අනුව, 1917 සීත ඍතුවේ දී අනිවාර්ය යුද සේවයට කැඳවනු ලැබූ, ආසන්න වශයෙන් 5,000ක් දෙනා පලා ගොස් තිබූනි. ඇතමෙක් නවසීලන්තය තුල ම සැඟවුන අතර සමහරු විදේශයන්ට පලා ගියහ. “තෝරාගත් අයගෙන් සුලු කොටසක්” පමනක් ඊට විරුද්ධ වූ බව අවධාරනය කරමින් ෆෙන්ටන් කිසිදා මෙම සංඛ්‍යාවන් ගැන සඳහන් නො කලේය.

“නූතන නවසීලන්ත අනන්‍යතාවක් නිර්මානය කිරීමේදී” යුද්ධය කේන්න්ද්‍රීය වන බව දක්වන උත්සාහයේ කොටසක් ලෙස ෆෙන්ටන්, “ම ඕරී හා පකෙහා සොල්දාදුවන් පලමු වරට විදේශයන්දී එකාවන්ව සටන් කරමින්, නවසීලන්ත වාර්ගික සම්බන්ධතාවේ වැදගත් සන්ධිස්ථානයක් සලකුනු කල බව” කියා සිටියි.

මෙය තවත් නින්දිත ප‍්‍රබන්ධයකි. ම ඕරි හා පැසිපික් දූපත් සොල්දාදුවන් 2,200ක් පමන සටනට යවන ලද අතර ඔවුන්ගෙන් 325දෙනෙක් මියගිය අතර 700ක් තුවාල ලැබූහ. නැත්නම් රෝගී වූහ. ඔවුන් බඳවා ගැනීම සංවිධානය කරන ලද්දේ පාර්ලිමේන්තුවේ ම ඕරි සාමාජිකයින් පස්දෙනෙකු හා බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයට තම පක්ෂපාතිත්වය ඔප්පු කිරීමට උනන්දුවූ ගෝත‍්‍රික නායකයින් කීපදෙනෙකු විසිනි.

තත් කාලයේ ප‍්‍රචාරය දෝංකාර නංවමින් ෆෙන්ටන් “බොහෝ ම ඕරි ජාතිකයින් සේවය කිරීමට කැමත්තෙන් සිටි” බව අවධාරනය කරන්නේ ම ඕරී මන්ත‍්‍රීවරුන් “ඔවුන්ගේ බඳවා ගැනීමේ ඉලක්ක සම්පූර්න කිරීමට වලි කමින් සිටි” බව පිලිගන්නා අතර ය. සැබවින් ම, ඔවුන්, කුක් අයිලන්ඞ් හා නියූ හි නවසීලන්ත යටත් විජිතවලින් පිරිමින් 500ක් පමන බලාත්කාරයෙන් ගෙන එමින් ඉලක්කම් සම්පූර්න කලේය. 19වැනි සියවසේ දී ඔවුන්ගේ ඉඩම් බලාත්කාරයෙන් අත්පත්කර ගැනීමට විරුද්ධව ම ඕරි ගෝත‍්‍ර කීපයක් ස්වේච්ඡුා භටයන් යැවීම ප‍්‍රතික්ෂේප කලහ. අනිවාර්ය යුද සේවයට කුසුපත් ඇද තෝරා ගැනුනු 552දෙනෙකුගෙන් පුහුනුවට සහභාගි වූයේ 74දෙනෙකු පමනි. 100ක් පමන සිර ගත කරන ලදී.

ආන්ඩුව විසින් ගොතනු ලැබ ඇති, බොරු හා විකෘතිකිරීම් මත පදනම්වූ එවන් නිර්ලජ්ජිත පොතක් කම්කරු පන්තිය විසින් ගත යුත්තේ තියුනු අනතුරු ඇඟවීමක් ලෙස ය. දේශපාලන සංස්ථාපිතයෙන් කිසිදු විරුද්ධත්වයක් පා නැති මෙයට සංගත මාධ්‍යයේ හැම දෙනාගේම ප‍්‍රශංසාව හිමිව තිබේ.

මහා ආර්ථික අවපාතයෙන් පසුව, 2008 කඩාවැටීමත් සමග ආරම්භ වුනු බරපතල ආර්ථික අර්බුදය මධ්‍යයේ (අද) ලෝක තත්වය, පලමු ලෝක යුද්ධයට පෙර කාලපරිච්ඡේදයට සිත් කාවදින සමානත්වයක් දර යි. එක්සත් ජනපදය එහි ආර්ථික පරිහානිය පිටුදැකීමට උත්සාහ දරා ඇත්තේ අධිරාජ්‍යවාදී මෙහෙයුම් පෙලක් හරහා ය. යුකේ‍්‍රනයේ ෆැසිස්ට්වාදීන් මෙහෙය වූ කුමන්ත‍්‍රනය හා සිරියාවේ පාලන තන්ත‍්‍රය වෙනස් කිරීම සඳහා සිවිල් යුද්ධයක් උසිගැන්වීම එයට ඇතුලත් ය. මේවා හා ලෝකය පුරා අනෙකුත් ”ජ්වලන කේන්ද්‍ර එක්සත් ජනපදය රුසියාව සමග හෝ චීනය සමග ප‍්‍රමුඛ මිලිටරි ගැටුමකට පැටලීමේ තර්ජනය තීව්ර කරයි.

ආසියා-පැසිපික් කලාපයේ අනෙකුත් ආන්ඩු මෙන් ම, නවසීලන්තය ද ඔබාමා පාලනාධිකාරය සමග මිලිටරි හා ඔත්තු සේවා බැඳීම් ශක්තිමත් කරගෙන ඇත්තේ, වොෂින්ටනයේ “ආසියාවට හැරීමේ”, එනම් චීනයට එරෙහිව යුද්ධය සඳහා මිලිටරි වැටලීම හා සූදානම්වීමේ කොටසක් ලෙස ය. ෆෙන්ටන්ගේ පොත ප‍්‍රදර්ශනය කරන්නේ, නවසීලන්ත පාලක පන්තිය ඊ ලඟ ලෝක යුද්ධයට එකතු වීම සඳහා පදනම දමන දැනුවත් උත්සාහයේ කොටසක් ලෙස ඉතිහාසය නැවත ලියමින් සිටින බව යි.

මූලාශ‍්‍ර

(1) මයිකල් ෆීල්ඞ්: Mau: Samoa’ s Struggle Against New Zealand Oppression ,නවසීලන්ත මර්දනයට එරෙහිව මා ඕ: සැමොවා හි අරගලය 1984, පිටු. 42-43.

(2) ස්ටීවන් එල්ඩෙ‍්‍රඞ් ග‍්‍රිග්: The Great Wrong War , මහා සාවද්‍ය යුද්ධය (2010), පි. 17.

(3) Evening Post, 1914 අගෝස්තු 8.

(4) “අත්‍යවශ්‍ය වූ නමුත් ප‍්‍රමානවත් නොවූ කොන්දේසිය: ක‍්‍රයිස්ට්චර්ච් කම්කරුවා සහ කම්කරු පන්තික සංස්කෘතිය,” ලිබි ප්ලම්රිජ්, 1985. New Zealand Journal of History, නිව්සීලන්ඞ් ජර්නල් ඔෆ් හිස්ටි‍්‍ර.

(5) පෝල් බේකර්: King and Country Call: New Zealanders, Conscription and the Great War, රජු සහ රට වෙනුවෙන් කැඳවුම: නවසීලන්තිකයින් බලහත්කාරයෙන් යුද්ධයට බඳවාගැනීම සහ මහා යුද්ධය, (1988*, පිටු 157.

(6) එල්ඩෙ‍්‍රඞ් ග‍්‍රිග්, පිටු 321-2.

(7) බේකර්, පිටු 157, 163.

Share this article: