ස්වාධීන කම්කරු පරීක්ෂන කමිටුව වැලිවේරිය ජල දුෂනය පිලිබඳ වාර්තා හා නිගමන ඉදිරිපත් කරයි

Sri Lanka: Independent Workers Inquiry presents findings on Weliweriya water pollution

අපේ වාර්තාකරුවන් විසිනි , 2014 ජූලි 24

වැලිවේරිය ජලදූෂනය පිලිබඳ ස්වාධීන කම්කරු පරීක්ෂන කමිටුව එහි වාර්තා සහ නිගමන ඉදිරිපත් කිරීමේ ප‍්‍රසිද්ධ රැස්වීමක් ගම්පහ නගරයේ දී ඉරිදා (20) පැවැත් වීය.

රැස්වීමට සහභාගී වූ පිරිසෙන් කොටසක්

වැලිවේරිය ඩිප් ප්‍රොඩක්ට්ස් වෙනිග්‍රොස් කම්හල විසින් මුදා හරින අපජලය නිසා ප‍්‍රදේශයේ භූගත ජලය දුෂනය වීම හා සෞඛ්‍ය ගැටලුවලට තුඩු දී ඇති බවට පුලූල්ව පැතිරුන චෝදනාවන් මධ්‍යයේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) විසින් පසුගිය නොවැම්බර් මාසයේ ස්වාධීන කම්කරු පරීක්ෂන කමිටුව පිහිටුවනු ලැබීය. ජල දුෂනයට විරුද්ධ මහජන උද්ඝෝසනයක් මර්දනය කිරීම සදහා පසුගිය අගෝස්තු 1 රාජපක්ෂ ආන්ඩුව හමුදාව යෙද වී ය. මෙම ප‍්‍රචන්ඩ හමුදා ප‍්‍රහාරයෙන් පාසල් සිසුන් දෙදෙනෙක් හා තරුන කම්කරුවෙකු මිය ගිය අතර තවත් 40 ට පමන තුවාල සිදු වීය.

ජල දුෂනය සම්බන්ධව වෙනිග්‍රොස් කම්හලට විරුද්ධ චෝදනා හා ඒ හා සම්බන්ධිත සෞඛ්‍ය ගැටලු, කම්හලේ කම්කරුවන්ගේ සේවා කොන්දේසි, හමුදා ප‍්‍රහාරයට වගකිව යුත්තේ කවු ද? සහ කම්කරුවන්ගේ හා ප‍්‍රදේශවාසීන්ගේ සෞඛ්‍ය අනතුරේ හෙලන කාර්මික පරිසර දූෂනයේ ව්‍යසනයට විසඳුමක් පිලිබඳව පරීක්ෂා කිරීම ස්වාධීන පරීක්ෂන කමිටුවට පවරනු ලැබී ය.

අවිස්සාවේල්ලේ හංවැල්ල ප‍්‍රදේශයේ පිහිටි වෙනිග්‍රොස් සමාගමට ම අයත් තුන්නානේ රබර් ප්‍රොඩක්ට් කම්හල නිසා සිදුවන ජලය හා වායු දූෂනය පිලිබඳව ද සොයා බැලීම සඳහා කමිටුවේ පරීක්ෂන කටයුතු අපේ‍්‍රල් මාසයේ දී පුලුල් කරනු ලැබී ය.

ආන්ඩුවේ සහ සමාගමේ මෙහෙය වීම යටතේ පොලිසිය විසින් ප‍්‍රදේශයේ ශාලා හිමිකරුවන් බිය වැද්දීම නිසා ස්වාධීන පරීක්ෂන කමිටුවේ වාර්තා හා නිගමන ප‍්‍රසිද්ධ කිරීමේ රැස්වීම පවත්වන ස්ථානය කිහිප වතාවක් ම වෙනස් කිරීමට සිදු විය. මුලින්ම වැලිවේරිය විලා ගයා ශාලාවේ දී ජුනි 29 රැස්වීම පැවැත්වීමට සැලසුම් කර තිබු නමුත් රැස්වීමට ශාලාව වෙන් කිරීම අවලංගු කරන ලෙස පොලිසිය අනියම් ලෙස ශාලා හිමිකරුවන් ට නියෝග කලේ ය. පොලිසියේ මෙම නීති විරෝධී මැදිහත්වීම හේතු කොට ගෙන ප‍්‍රදේශයේ සෙසු ශාලා හිමිකරුවෝ ද රැස්වීමට ඔවුන්ගේ ශාලාවන් ලබා දීමට මැලි වුහ.

එම තතු තුල ජුලි 20 දා ගම්පහ දී රැස්වීම පැවැත් වීමට සැලසුම් කල අතර අවශ්‍ය ගෙවීම් කර ඒ සඳහා ගම්පහ නගර සභාවට අයිති නගර සභා ශාලාව වෙන් කර ගැනුනි. ගම්පහ නගර සභාව වර්තමානයේ පාලනය කරනු ලබන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලක පක්ෂය විසිනි. රැස්වීම පැවැත් වීමට දින දෙකකට පෙර ඒ සඳහා ශාලාව ලබාදිය නොහැකි බව නගර සභා බලධාරීන් රැස්වීමේ සංවිධායකයන් ට දැනුම් දුන්නේ ය. එදින ශාලාවේ ප‍්‍රතිසංස්කරන කටයුත්තක් කෙරෙන බවට බොරු හේතුවක් ඉදිරිපත් කලේ ය. පරීක්ෂන කමිටුව ඉක්බිතිව ගම්පහ සනස ශාලාවේ රැස්වීම පැවැත් වීමට කටයුතු කලේ ය.

වෙනිග්‍රොස් සමාගම, ආන්ඩුව සහ පොලීසිය මුල සිට ම පරීක්ෂන කමිටුවේ වැඩ කටයුතුවලට සතුරු වුහ. අනෙකුත් සියලුම පක්ෂ විසින් ප‍්‍රශ්නය අතහැර දමා තිබිය දී ජල දුෂනය ගැන සසප පමනක් කතා කරන්නේ ඇයි දැයි වැලිවේරිය පොලිස් ස්ථානාධිපතිවරයා ස්වාධීන පරීක්ෂන කමිටු සංවිධායෙකුගෙන් ඇසුවේ ය.

පසුගිය මාස හත තුල දී, වැලිවේරිය හා තුන්නාන ප‍්‍රදේශ වාසීන්ගෙන් සහ වෙනිග්‍රොස් සමාගමට අයත් ඩිප්ඞ් ප්‍රොඩක්ට්ස් කම්හල් දෙකේ ම කම්කරුවන් කිහිප දෙනෙකුගෙන් ද කමිටුව සවිස්තරාත්මක තොරතුරු එකතු කලේ ය. සමාගම ආරක්ෂා කිරීම සඳහා දැනට යටපත් කර ඇති විවිධ රාජ්‍ය ආයතන විසින් කරන ලද පරීක්ෂන පිලිබඳ තොරතුරු කමිටුව විසින් ගොනු කර ගැනුනි. විරෝධතාවයේ යෙදී සිටි ප‍්‍රදේශවාසීන් ට එරෙහිව හමුදාව යෙදවීම සම්බන්ධ සවිස්තරාත්මක තොරතුරු ද කමිටුව එක්රැස් කර ගත්තේ ය.

සසප දේශපාලන කමිටු සභික ඩබ්ලිව්.ඒ. සුනිල් ඉරිදා රැස්වීමේ මුලසුන දැරූ අතර දේශපාලන කමිටු සාමාජිකාවක් හා පරීක්ෂන කමිටුවේ කැඳවුම්කාරිනි විලානි පීරිස් කමිටු නිගමන ඉදිරිපත් කරනු ලැබීය. කමිටුව විසින් පරීක්ෂා කරන ලද අංශ සම්බන්ධව වාර්තා හයක් රැස්වීමට ඉදිරිපත් කලේය. වැලිවේරිය සහ තුන්නාන ප‍්‍රදේශයේ නියෝජිතයන් කිහිප දෙනෙකුගේ ද සහභාගිත්වය සහිතව කම්කරුවන්ගේ සහ තරුනයන්ගේ පුලුල් සහයෝගයක් කමිටු රැස්වීමට ලැබුනි.

ජල දුෂනය පිලිබඳ වාර්තාව ඉදිරිපත් කරමින් සසප දේශපාලන කමිටු සභික පානිනී විජේසිවර්ධන මේසේ පැවසුවේ ය. “ප‍්‍රදේශයේ ජලය දුෂනය වීමට හේතුව කම්හලෙන් නිකුත් කරනු ලබන විෂ රසායනික මිශ‍්‍රිත ජලය බවට පැහැදිලි සාක්ෂි තිබෙන නමුත් සමාගම සහ පරිසර අධිකාරිය ඇතුලු විවිධාකාර රාජ්‍ය ආයතන විසින් දැනුවත්ව ම මෙම සත්‍යය වසන් කරනව.”

පානිනී විජේසිරිවර්ධන

“ප‍්‍රදේශයේ ජනතාවගේ විරෝධය ඉහල නැගෙන තතු තුල ජනාධිපති රාජපක්ෂ ජලය දුෂනය වීම සම්බන්ධව පරීක්ෂනයක් පවත්වන ලෙස ඒ පිලිබඳ විද්‍යාත්මක පර්යේෂනයක් කිරීමේ හැකියාව තිබෙන කාර්මික තාක්ෂන ආයතනයට නියෝග කලා. නමුත් සීමා සහිතව වුව ද සමාගම ඊට වගකිව යුතු බව ඇඟවෙන තොරතුරු එහි තිබුන නිසා එම වාර්තාව ප‍්‍රසිද්ධ කලේ නැහැ”. ජලය දුෂනය වීම සහ එහි ප‍්‍රතිවිපාකයක් ලෙස ඇතිවිය හැකි සෞඛ්‍ය ව්‍යසනයන් ගැන විජේසිරිවර්ධන විස්තරාත්මක හා විද්‍යාත්මක දත්තයන් ඉදිරිපත් කලේ ය.

ලමුන් සහ කාන්තාවන් ඇතුලු ප‍්‍රදේශයේ නිරායුධ ජනතාවට එල්ල කල හමුදා ප‍්‍රහාරය ගැන සසප සාමාජික සංජය විල්සන් විසින් විමර්ශනය කරනු ලැබීය. ප‍්‍රදේශවාසීන් ට එල්ල කල දුෂ්ට ප‍්‍රහාරය 2009 අවසන් කෙරුන දෙමල ජනයාට එරෙහි මෘග සිවිල් යුද්ධය තුල ශ‍්‍රී ලංකා සෙබලුන් විසින් කරන ලද මෙහෙයුම් වලට සමාන හමුදා මෙහෙයුමක් බවට ඇසින් දුටු සාක්ෂි සහ වින්දිතයන්ගේ ප‍්‍රකාශ මගින් තහවුරු වී ඇති බව සංජය සඳහන් කලේ ය.

“ප‍්‍රහාරයේ ස්වභාවය සහ කමිටුව විසින් රැස්කල සියලුම සාක්ෂි වලට අනුව පෙන්නුම් කෙරෙන්නේ උද්ඝෝෂකයන්ට විරුද්ධව හමුදාව යෙදවීම සහ ප‍්‍රහාරය ආන්ඩුවේ ඉහල ම බලධාරීන්ගේ නියෝග මත සිදු කල” බව ඔහු කීවේය.

රැස්වීමේ සභාපති ඩබ්ලිව්.ඒ සුනිල් වෙනිග්‍රොස් කම්කරුවන්ගේ සේවා කොන්දේසි ගැන කරුනු ඉදිරිපත් කලේ ය.

ඩබ්ලිව්.ඒ සුනිල්

නිෂ්පාදන අංශයේ කම්කරුවන්ගෙන් බහුතරය මිනිස් බල සමාගම් වලින් කුලියට ගන්න කොන්ත‍්‍රාත් කම්කරුවන් බව ඔහු කීවේ ය. “ඔවුන්ගේ දෛනික වැටුප රුපියල් 350ක් පමනයි. මාසික වැටුප රුපියල් 22,500 ඉක්ම වන්නේ නැහැ” ඔහු ප‍්‍රකාශ කලේ ය.

“පවතින කම්කරු නීතිවලට අනුව දින 180 ක අඛන්ඩ සේවා කාලයක් ඇති කම්කරුවන් ස්ථීර කල යුතුයි. නමුත් වසර 5 ක් හෝ ඊට වඩා වැඩි සේවා කාලයක් සහිත කම්කරුවන් සමාගමේ ඉන්නවා. නිසි ආරක්ෂක උපකරන නැති නිසා කම්කරුවන් පීඩාකාරී දුෂ්කර කොන්දේසි වලට මුහුන දෙන” බව සුනිල් සඳහන් කලේ ය.

කාර්මික පරිසර දූෂනය ජාතික හා ජාත්‍යන්තර ව්‍යසනයක් බව විවිධ උදාහරන ගෙන හැර දක්වමින් සුනිල් පෙන්වා දුන්නේ ය. “වැඩ කරන ජනතාව ගැන කිසි ම තැකීමක් නැතිව කොල්ලකාරී ධනපති නිෂ්පාදනය හා ලාබ උපරිම කර ගැනීම සදහා දැරෙන ප‍්‍රයත්නය හේතුකොට ගෙන සිදුවන දෙයක් මිස සමහර පරිසර ආරක්ෂක සංවිධාන කියන ආකාරයට මෙය හුදෙක් කාර්මික සංවර්ධනයේ අනිවාර්ය ප‍්‍රතිපලයක් නොවන” බව ඔහු කීවේ ය.

සසප දේශපාලන කමිටු සභික රෝහන්ත ද සිල්වා රැස්වීම අමතමින් “ජල දුෂනයට එරෙහි මහජනතාවගේ විරුද්ධත්වය පීලි පැන්න වීම සඳහා නව සම සමාජ පක්ෂය (නසසප), එක්සත් සමාජවාදී පක්ෂය (එසප) හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ වාම පක්ෂ නරුම භූමිකාවක් ඉටුකල” බව පැවසුවේ ය.

මහ ජනතාවගේ විරුධත්වය ගසා කෑම සඳහා දක්ශිනාංෂික එක්සත් ජාතික පක්ෂයට නසසප සහ එසප උදව් කල නමුත් “දැන් ඒ හැම කෙනෙක් ම නිහඬයි. කම්කරුවන් සහ තරුනයන් මෙම පක්ෂ ප‍්‍රතික්ෂේප කල යුතුයි. අනෙකුත් සංවිධාන විසින් කියනු ලබන ආකාරයට ධනපති ක‍්‍රමය තුල කාර්මික පරිසර දූෂනයට විසඳුමක් නැත”යි ඔහු පැවසුවේ ය.

වාර්තාවල අඩංගු කරුනු සම්පින්ඩනය කරමින් විලානි පීරිස් පරීක්ෂන කමිටුවේ නිගමන ඉදිරිපත් කලාය. “වැලිවේරිය සහ තුන්නාන කම්හල් අයිති ඩිප්ඞ් ප්‍රොඩක්ට් සමාගම ජල හා වායු දුෂනයට වගකිව යුතු බවත් ස්ථාන දෙකේ ම සිදු වූ හමුදා සහ පොලිස් ප‍්‍රහාරයට ආන්ඩුව වගකිව යුතු බවත් ස්වාධීන කම්කරු පරීක්ෂන කමිටුව මගින් තහවුරු කර තිබෙන” බව ඇය කීවා ය.

විලානි පීරිස් නිගමන ඉදිරිපත් කරමින්

“වැලිවේරිය වෙනිග්‍රොස් කම්හල වැසීමෙන් පසු ප‍්‍රශ්නය විසඳී ඇති බව ආන්ඩුව කිව්වත් ඒක බොරුවක්. ප‍්‍රදේශයේ ජලය දැනටමත් දුෂනය වෙලා. ප‍්‍රදේශවාසීන්ට වසර ගනනාවක් ගත වෙන තුරු සෞඛ්‍ය ප‍්‍රශ්නවලට මුහුන දෙන්න සිදු වෙන” බව ද ඇය පැවසීය.

වෙනිග්‍රොස් කම්හල බියගම නිදහස් වෙලඳ කලාපය තුල පිහිටු වීම නිසා එහි කම්කරුවන්ට සහ ප‍්‍රදේශවාසීන්ට ද එම ප‍්‍රශ්නයට ම මුහුන දෙන්න වෙන බව විලානි අවධාරනය කලාය. වෙනිග්‍රොස් කම්කරුවන් විසින් පරීක්ෂන කමිටුවට ලබා දුන් තොරතුරුවලට අනුව අලුත් කම්හලේ රැකියා ලබා දී ඇත්තේ කම්කරුවන් සුලු කොටසකට බවත් ඔවුන්ගේ වැටුප් හා සේවා කොන්දේසි කප්පාදු කර ඇති බවත් ඇය සඳහන් කලාය.

“විරෝධය පෑ ජනතාවට එරෙහිව හමුදාව මෙහෙයවීම මගින් පෙන්නුම් කෙරෙන්නේ ආන්ඩුව මහ ව්‍යාපාරිකයන් සහ ආයෝජකයන් ආරක්ෂා කිරීමට කැප වී සිටින බවයි..... මෙම ප‍්‍රහාරයන්ගේ මූල හේතුව ඇත්තේ ධනේශ්වර ලාබ පද්ධතියේ ගැඹුරුවන අර්බුදය තුල” බව ඇය පැවසුවාය.

“මහජනතාවගේ මූලික අවශ්‍යතාවයන් පවා මෙම පද්ධතියට ලබා දෙන්න පුලුවන් කමක් නැහැ. එය උත්සාහ කරන්නේ පසුගිය සිය වස තුල කම්කරු පන්තිය දිනා ගත් සියලුම අයිතීන් විනාස කිරීමටයි. කම්කරු පන්තියට විරුද්ධව හැම රටක් තුලම සමාජ ප‍්‍රතිවිප්ලවය මුදාහැරලා. කාර්මික පරිසර දුෂනය සහ විනාසකාරී කොන්දේසි අවසන් කල හැක්කේ සමාජවාදී සහ ධනවතුන්ගේ ලාබ රැකීම සඳහා නොව; මනුෂ්‍ය වර්ගයාගේ අවශ්‍යතාවයන් සම්පූර්න කිරීමට කැප වූ සහේතුක නිෂ්පාදන ක‍්‍රමයක් මගින් පමනක්” බව පීරිස් අවධාරනය කලාය.

Share this article: