ලසසපයේ මහා පාවාදීම: හතර වන කොටස
ලසසප පාවාදීමේ දේශපාලන ප‍්‍රතිවිපාක

The political consequences of the LSSP’s betrayal

සුජීව අමරනාත් සහ කේ. රත්නායක විසිනි , 2014 ඔක්තෝබර් 21

මෙය, 1964 ජුනියේ දී සිරිමා බන්ඩාරනායක මැතිනියගේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ (ශී‍්‍රලනිප) රජයට එක්වෙමින් ලංකා සමසමාජ පක්ෂය (ලසසප) සිදු කල මහා පාවාදීමේ දේශපාලන පාඩම් පිලිබඳව පල කෙරෙන කොටස් හතරකින් යුත් ලිපි මාලාවක අවසාන ලිපියයි. තමන් ට්‍රොට්ස්කිවාදීන්යැයි කියා ගත් පක්ෂයක් ධනපති රජයකට එක් වූ මුල් අවස්ථාව වූ මෙය, ජාත්‍යන්තර සමාජවාදයේ අතිමූලික මූලධර්ම විවෘතවම ප‍්‍රතික්ෂේප කිරීමක් විය.

ලසසපයේ පාවාදීම ජාත්‍යන්තර ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය කෙරෙහි බරපතල අර්ථභාරයක් දැරූ සිද්ධියක් විය. මයිකල් පැබ්ලෝ හා අර්නස්ට් මැන්ඩෙල් නායකත්වය දුන් දේශපාලන ප‍්‍රවනතාවේ අවස්ථාවාදී ස්වභාවය එමගින් තහවුරු කල අතර 1953දී සැබෑ ට්‍රොට්ස්කිවාදීහු මෙම ප‍්‍රවනතාවෙන් බිඳී, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව පිහිටුවා ගත්හ. ලසසපයේ දේශපාලන පල්ලම් බැසීමේ සෑම අදියරක දී ම පැබ්ලෝවාදීහු එය ඉවසා වදාරමින් ද, එම පරිහානියට ඉඩ පහසුකම් සපයාලමින් ද බන්ඩාරනායක ආන්ඩුවට ඇතුලුවීම සඳහා එයට පාර කපා පාවාඩ එලූහ.

මෙම ලිපිය, ලසසපයේ පාවාදීමෙන් පසු කාල පරිච්ඡේදය සාකච්ඡාවට භාජනය කරමින්, එමගින් ශී‍්‍ර ලංකාවේ හා ජාත්‍යන්තර කම්කරු පන්තිය සඳහා අත්‍යවශ්‍ය දේශපාලන නිගමන උකහා ගනියි. මෙම ලිපි මාලාවේ ලිපි මාලාවේ මුල් ලිපියමෙතැනින් දෙවැනි ලිපිය හා තුන්වැනි ලිපිය මෙතැනින් කිය විය හැක.

ලසසපයේ පාවාදීම බොහෝ දුරදිග යන දේශපාලන ප‍්‍රතිවිපාක දැනවීය. සමාජවාදී ජාත්‍යන්තරවාදයේ වැඩ පිලිවෙල ලසසපය විසින් මුලූමනින්ම අතහැර දමනු ලැබීම ශී‍්‍ර ලංකාව තුල කම්කරුවන් හා තරුනයන් අතරේ දේශපාලන ව්‍යාකුලතාවය හා මංමුලාව නිර්මානය කලේය. එය, අවසාන වශයෙන් 1983 දී පුපුරා යමින් ඊලඟට එලැඹුනු ශත වර්ෂ කාල තුල ජීවිත ලක්ෂ ගනනක් බිලිගත් දිග් ඇද්දුනු සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වූ, විෂකුරු වර්ගවාදී දේශපාලනයට දොර විවර කලේය.

නැගෙනහිර ජර්මනියේ කම්කරුවන්ගේ 1953 නැගිටීමෙන් ද ස්ටැලින්ගේ අපරාධ වලින් සමහරෙක් හෙලිදරව් කරමින් සෝවියට් නායක නිකිතා කෘෂෙව් 1956 දී පැවැත්වූ “රහස් දේශනයෙන්” සහ එම වසරේම හංගේරියානු කම්කරු කැරැල්ල කුරිරු ලෙස මැඩ පැවැත්වීමෙන් ද ඉක්බිතිව, මෙම කලාපයේ ස්ටැලින්වාදී පක්ෂ කිඳී සිටියේ බරපතල අර්බුදයකය. 1960 දශකයේ මූලාරම්භයේ පටන් සෝවියට් නිලධරයත් මා ඕ සේතුං යටතේ පැවති චීන නායකත්වයත් අතර පැනනැගුනු මතභේද, චීන-සෝවියට් භේදයක් කරා වර්ධනය වී ජාත්‍යන්තරව ම, ස්ටැලින්වාදී පක්ෂ පුපුරුවා හලේය.

මහජන පීඩනය යටතේ විප්ලවවාදී දිශානතියකට එලැඹීමට ස්ටැලින්වාදයට හැකිය යන මයිකල් පැබ්ලෝගේ හා අර්නස්ට් මැන්ඩෙල්ගේ සාවද්‍ය කියාපෑම් විවේචනය කල හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවට (හජාජාක) එරෙහි වූ ලසසපය, 1953 දී, පැබ්ලෝ හා මැන්ඩෙල්ගේ පැත්ත ගත්තේය. සමස්තයක් ලෙස පැබ්ලෝවාදී ජාත්‍යන්තරයම සිදු කල පරිදි ලසසපය ද ඉක්මනින් ම ස්ටැලින්වාදයේ අපරාධ වසන් කිරීමට වන්හ. 1957 දී ලසසප නියෝජිත කන්ඩායමක්, මොස්කව්හි සහ බෙයිජිනයේ සංචාරය කලේ හංගේරියානු කම්කරු පන්තිය මර්දනය කිරීම පිලිබඳව හෝ චීනය තුල ට්‍රොට්ස්කිවාදීන් දිගින් දිගටම සිරගත කොට සිටීම පිලිබඳව වචනයක් වත් කථා නොකරමිනි.

ලසසපයේ පරිහානිය හා ඔවුන් 1964 ජූනියේ බන්ඩාරනායක ආන්ඩුවට එක් වීම ස්ටැලින්වාදී පක්ෂවලට - විශේෂයෙන් ම, ඉන්දීය කොමියුනිස්ට් පක්ෂයේ (සීපීඅයි) ඇති වූ හානිදායී භේදයක් 1964 දී බීජිං පක්ෂපාති ඉන්දීය මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය (සීපීඑම්) පිහිටුවා ගැනීම දක්වා දුරදිග ගිය ඉන්දියාව තුල ස්ටැලින්වාදීන්ට - සිය පැවැත්ම සඳහා නව පනක් ලබා දුන්නේය. ට්‍රොට්ස්කිවාදී විපක්ෂයක් නොතිබීමේ තතු විසින් අර්බුදයෙන් නොනැසී කම්කරු පන්තිය තුල සිය ආධිපත්‍යය දිගටම පවත්වා ගැනීම සඳහා ඉන්දීය ස්ටැලින්වාදීන්ට ඉන් පිටුබලය ලැබුනි.

විප්ලවවාදී මාක්ස්-ලෙනින්වාදයේ ලෝගුව ව්‍යාජ ලෙස පොරවාගත් ස්ටැලින්වාදයේ ම ප‍්‍රභේදයක් නියෝජනය කල මා ඕවාදීන්, “සෝවියට් සංශෝධනවාදය” හෙලා දකින අතරම, කම්කරු පන්තිය ප‍්‍රතික්ෂේප කරමින් ගොවිජනයා මත පදනම් වූ ගරිල්ලාවාදයක් කරා පීලිපැන්නේය. ලක්ෂ 5 ක් පමන ඉන්දුනීසියානු කොමියුනිස්ට් පක්ෂ (පීකේඅයි) සමාජිකයන්, කම්කරුවන් හා ගොවීන් ඝාතනයට ලක් කෙරුනු සීඅයිඒ සහාය ලත් 1965-66 කුමන්ත‍්‍රනයට මග සලසමින් ඉන්දුනීසිියානු ජනාධිපති සුකර්නෝට පීකේඅයි විසින් දෙන ලද තුච්ඡ සහයෝගය සම්බන්ධයෙන් චීන ස්ටැලින්වාදය සුවිශේෂව වග කිව යුතුය.

ඉන්දියාව පිලිපීනය හා නේපාලය තුල, මා ඕවාදී පක්ෂ විසින් නායකත්වය දෙන ලද ගොවිජන ගරිල්ලා ව්‍යාපාර පැන නැගීමට ඉඩ සලසා දෙමින්, මා ඕවාදයට ආසියාව තුල අනභියෝගිව පැතිරී යෑමට ඉඩ හැරීම සම්බන්ධයෙන් ද ලසසපයේ පාවාදීම බරපතල ලෙස වග කිව යුතුය.

එතෙකුදු වුවත්, 1964 දී ලසසපය බන්ඩාරනායක ආන්ඩුවට ඇතුලත්වීම ඊට අත්‍යන්තයෙන්ම ප‍්‍රතිපක්ෂ වූ ප‍්‍රතිචාරයක් ජනනය කලේය. ලසසපයේ පරිහානිය ට්‍රොට්ස්කිවාදයේ නිෂ්පාදිතයක් නොව, එහි ප‍්‍රතිපක්ෂය වූ පැබ්ලෝවාදයේ නිෂ්පාදිතයක් බව තිර කොට පැවසුවේ හජාජාක පමනි. බි‍්‍රතාන්‍යයේ සෝෂලිස්ට් ලේබර් ලීගය හෙවත් සමාජවාදී කම්කරු සංගමයේ (එස්එල්එල්) නායක ජෙරී හීලි පැහැදිලි කල පරිදි, ලසසප පාවාදීමේ ප‍්‍රධාන සැලසුම්කරුවන් වාසය කලේ කොලඹ නොව, පැරීසියේ පැබ්ලෝවාදී එක්සත් ලේකම් මන්ඩලය තුලය.

1953 හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව පිහිටුවීමෙහි ලා මූලික කාර්යභාරයක් ඉටුකල එක්සත් ජනපදයේ සමාජවාදී කම්කරු පක්ෂය (එස්ඩබ්ලිව්පී) පැබ්ලෝවාදීන් සමග යලි එක්සත්වීමට එරෙහිව 1963 වසරේ දී සිදුකෙරුනු එස්එල්එල් විසින් දියත් කෙරුනු දේශපාලන අරගලය ලසසපයේ ක‍්‍රියාවන් මගින් බලගතු ලෙස සනාථ විය. සිය පක්ෂ ශ්‍රේනි තුල ලසසපයේ පාවාදීම පිලිබඳ කවර හෝ විවේචනයක් මතුවීම යටපත් කිරීමට එක්සත් ලේකම් මන්ඩලය යත්න දැරීය. එස්ඩබ්ලිව්පීය තුල හජාජාක ආධාරකරුවන් පක්ෂ අභ්‍යන්තර සාකච්ඡාවක් ඉල්ලා සිටීම නිසා ඔවුන්ගේ සාමාජිකත්වය අත්හිටුවන ලදී. ඔවුහු හතරවැනි ජාත්‍යන්තරය සඳහා ඇමරිකානු කමිටුව පිහිටුවා ගත්හ. එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ පූර්වගාමියා වූ වර්කර්ස් ලීගය (කම්කරු සංගමය) බවට 1966 දී පරිවර්තනය කෙරුනේ එම සංවිධානය යි.

හජාජාක වෙනුවෙන් සිදුකල එස්එල්එල්හි මැදිහත්වීම, 1968 දී විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය බිහිවීමට තුඩු දෙමින් ශ‍්‍රී ලංකාව තුල ට්‍රොට්ස්කිවාදයේ ප‍්‍රතිස්ථාපනයට ද මග හෙලි කලේය. පාවාදීම අනුමත කල ලසසපයේ 1964 සම්මේලනයෙන් පසු ඉන් බිඳී ගිය කොටස ලසසප(වි) පිහිටුවූ නමුත් එය, පැබ්ලෝවාදී එක්සත් ලේකම් මන්ඩලයට ද ලසසපය බන්ඩාරනායකගේ ආන්ඩුවට ඇතුලු වීමට තුඩුදුන් අවස්ථාවාදී දේශපාලනයට ද දිගටම සහයෝගය දුන්නේය.

හජාජාකයේ විශ්ලේෂනය, තමන් ට්‍රොට්ස්කිවාදීන් ලෙස සලකා ගත්තා වූත්, ලසසපය කෙරේ පමනක් නොව ලසසප(වි)ය කෙරේ ද දිනෙන්දින වැඩෙන විරුද්ධත්වයකින් පසු වූත් ශිෂ්‍යයන් හා තරුන කම්කරුවන් කන්ඩායමක් අතට පත්විය. 1966 දී එස්එල්එල් සමග සම්බන්ධතා ගොඩ නගා ගෙන තුබූ මෙම කන්ඩායම පැබ්ලෝවාදයට එරෙහි හජාජාක අරගලයේ ලේඛන ක‍්‍රමානුකුලව හදාරා <විරෝධය නමින් පුවත්පතක් පල කිරීම ආරම්භ කලෝය.

ඉන්දීය බෝල්ෂෙවික් ලෙනින්වාදී පක්ෂයේ සාමාජිකයෙකුව සිටි විල්ප‍්‍රඞ් (ස්පයික්) පෙරේරා ලසසප(වි)ය ඇතුලත සිට, පක්ෂ නායකත්වයේ දේශපාලන පෙලගැස්මට විරුද්ධ වෙමින් විරෝධය කන්ඩායම සමග සහයෝගීව කටයුතු කලේය. 1967 දී අර්නස්ට් මැන්ඩල් ශ‍්‍රී ලංකාවේ සංචාරය කල අවස්ථාවක දී ස්පයික්, එක්සත් ලේකම් මන්ඩලය “ලසසපයේ පරිහානියට හා අවසාන වසයෙන් එහි විනාශයට ද ඍජුවම වගකිව යුතුය”යි චෝදනා කලේය. ඉනික්බිතිව දඩයමට පාත‍්‍ර වූ ඔහු, ලසසප(වි)ය හජාජාකයට සම්බන්ධ විය යුතු බවට යෝජනාවක් ඉදිරිපත් කර ඉන් ඉවත්ව ගියේය.

මූලාරම්භයේ සිටම විකොසට සිදුවූයේ උඩු ගං බලා පිහිනීමටය. වියට්නාම් යුද්ධය මධ්‍යයේ හා නැගී ආ කම්කරු පන්ති ව්‍යාපාරයක් මධ්‍යයේ, 1960 හා 1970 දශකයන්හි විවිධාකාර මධ්‍යම පන්තික රැඩිකල්වාදී කන්ඩායම් පැතිරී යාමක් ශ‍්‍රී ලංකාව ද ඇතුලු ජාත්‍යන්තර තලයේ සනිටුහන් වූයේය. පැබ්ලෝවාදීන්ගේ පිටසන් සහිතව චේ ගුවේරා, මා ඕ සේතුං හා හෝ චි මිං වැන්නෝ ජනප‍්‍රිය සුරුවම් බවට පත්වූහ.

මෙම දේශපාලන ප‍්‍රවනතාවයන්හි ප‍්‍රමුඛ ලක්ෂනය වූයේ ඔවුන් කම්කරු පන්තියේ ස්වාධීන බලමුලු ගැන්වීම ප‍්‍රතික්ෂේප කරමින් අනෙකුත් පන්ති බලවේග වෙතට - පසුගාමී ධනපති රටවල ගොවි ජනයා වෙතට ද නැතහොත් ප‍්‍රධාන අධිරාජ්‍යවාදී මධ්‍යස්ථානයන්හි ශිෂ්‍යයන් හා අනන්‍යතා දේශපාලනය මත පදනම් වූ වෛවාරන්න ව්‍යාපාර වෙතට ද හැරීමයි.

ලසසපය හා ලසසප(වි)ය තවමත් කම්කරු පන්තිය තුල සැලකිය යුතු බලපෑමක් අත්පත් කර ගෙන සිටියාවූත් හා රැඩිකල් වර්ගවාදී දේශපාලනය මත පදනම් වූ නව පක්ෂ වඩාත් සාර්ථක බවක් පෙන්නුම් කලාවූත් දුෂ්කර තතු තුල විකොස ට්‍රොට්ස්කිවාදය වෙනුවෙන් තිරසාර හා අධිෂ්ඨාන සහගත අරගලයක් දියත් කලේය. 1968 දී යන්තම් 19 වන විය පසු වෙද්දී තෝරා පත් කර ගැනුනු තුරුනු ප‍්‍රධාන ලේකම් කීර්ති බාලසුරියගේ නායකත්වය ලැබූ විකොස, මාක්ස්වාදය නියෝජනය කරන බවට මවා පෑ සියල්ලන් කෙරෙන් තමන් විලක්ෂනය කොට ගත්තේය.

ලසසපයේ ද්‍රෝහිත්වය 1966 දී ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) බිහිවීම සඳහා තිඹිරි ගෙහි දොර විවර කලේය. ඉන් පතුරුවන ලද මා ඕවාදයේ, කස්ත්‍රෝවාදයේ හා සිංහල ජනතාවාදයේ සාරසංග‍්‍රාහක මිශ‍්‍රනය රටේ දකුනුදිග ප‍්‍රදේශයන්හි ඉච්ඡාභංගත්වයට පත් පිටිසර සිංහල තරුනයන්ගේ සහාය දිනා ගති. බාලසූරිය, ජනතා විමුක්ති පෙරමුනේ මාක්ස්වාද - විරෝධී න්‍යායයන් බිඳ හෙලමින් ද කම්කරු පන්තිය කෙරේ ජවිපෙ පරසතුරුභාවය හෙලිදරව් කරමින් ද, ෆැසිස්ට් සංවිධානයක් බවට පිරිහී යාමේ විභවයක පෙරලකුනු පෙන්වූ එහි දෙමල-විරෝධී ඝෝෂාවන් පිලිබඳව අනතුරු හඟවමින් ද ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනය හා පන්ති ස්වභාවය යන මාතෘකාව යටතේ විස්තීර්න ලිපි මාලාවක් ලිවීය.

සිය “සන්නද්ධ අරගලය” පිලිබඳ න්‍යාය මත පදනම්ව ජනතා විමුක්ති පෙරමුන, 1970 බලයට පත් ලසසපයේ හා ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂයේ සහභාගිත්වයෙන් පිහිටු වූ දෙවන ශ‍්‍රීලනිප හවුල් ආන්ඩුවට එරෙහිව අතිධාවනකාරී “නැගිටීමක්” දියත් කලේය. 1971 අපේ‍්‍රල් මාසයේ දී, තක්සේරු වලට අනුව, 15,000ක් පමන ගම්බද තරුනයන් මරා දමමින් හා තවත් 30,000 ක් සිරගත කරමින් රජය නිර්දය ලෙස කැරැල්ල මර්දනය කලේය. ජවිපෙ සමග සිය අතිමූලික දේශපාලන වෙනස්කම් නොතකා විකොස, රාජ්‍ය මර්දනයට එරෙහි වෙමින් මූලධර්මාත්මක ආස්ථානයක් ගත්තේය. ආන්ඩුව විකොස ප‍්‍රකාශන තහනම් කලේය. රහස් සංවිධානයක් ලෙස ක‍්‍රියාත්මක වීමට පක්ෂයට බල කෙරිනි. විකොස සාමාජිකයෝ දෙදෙනෙක් අත් අඩංගුවට ගනු ලැබ පොලිස් අත් අඩංගුවේ සිටියදී මරා දමන ලදහ.

ජවිපෙ නැගිටීම කුඩුපට්ටම් කිරීමෙන් ඉක්බිතිව ලසසප ඇමතියන් තිදෙනෙකු ප‍්‍රධාන පදවි දැරූ ශ‍්‍රීලනිප ප‍්‍රමුඛ ආන්ඩුව දෙමල සුලු ජාතියට එරෙහිව වෙනස්කම් කිරීමේ පියවරයන් නීතිගත කිරීමට කටයුතු කලේය. මෙය, සිංහල භාෂාවට රාජ්‍ය භාෂාව ලෙස ද, බුද්ධාගමට රාජ්‍ය ආගම ලෙස ද ඔටුනු පැලඳවූ නව වර්ගවාදී ආන්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් තුල මූර්තිමත් විය. “වමේ” ආන්ඩුව හා එහි “ට්‍රොට්ස්කිවාදී” ඇමතියන් ගැන පුලුල්ව පැතිර ගිය පිලිකුල මධ්‍යයේ ඉච්ඡාභංගත්වයට පත් දෙමල තරුනයෝ, ලසසපයේ පාවාදීම ට්‍රොට්ස්කිවාදය හා මාක්ස්වාදය හෙලා දැකීම සඳහා හුවා දක්වමින් දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) වැනි සන්නද්ධ බෙදුම්වාදී සංවිධාන පිහිටුවීමට හැරී ගත්හ.

ශ‍්‍රීලනිප නායකත්වයෙන් පැවැති හවුල් ආන්ඩුව, එය ක‍්‍රියාවට දැමූ සමාජ හා ආර්ථික විනාශය කෙරේ කම්කරු ජනයා අතර පුලුල්ව පැතිර ගිය විරුද්ධත්වය මධ්‍යයේ, 1977 දී අන්ත පරාජයකින් බලයෙන් පහ කර දැමුනි. වෙලඳපොල ගැති ප‍්‍රතිව්‍යුහගත කිරීම් සිදු කල ලෝකයේ ප‍්‍රථම ආන්ඩුවලින් එකක් වූ ඊලඟට බලයට පත් එක්සත් ජාතික පක්ෂ (එජාප) පාලනය එම ප‍්‍රහාරවලට එරෙහිව වැටුප් හා රැකියා රැකගැනීම සඳහා 1980 මහා වැඩ වර්ජනය ඇවිල වූයේ ය. එජාප ආන්ඩුව රාජ්‍ය අංශයේ සේවකයන් ලක්ෂයක් නෙරපා ලමින් වර්ජනය කුඩුපට්ටම් කර දැමීමට ආන්ඩුව සමත් වූයේ ලසසප, කොප හා ලසසප(වි) දුන් සහයෙනි. වර්ජනයට එරෙහි වූ ජවිපෙ තම වෘත්තීය සමිති ඊට සහභාගී වීමෙන් වැලැක්විය.

සිය ගනනක් මරා දැමූ 1983 භීෂනය තුලින් කුලූ ගැන්වුනු දෙමල විරෝධී ප‍්‍රකෝපකරනයන් කරා එජාපයේ එලැඹීම, අතිශය විනාශකාරී දිග ඇදුනු සිවිල් යුද්ධයක් කරා රට තල්ලූ කර දැමීය. එල්ටීටීඊයේ හා අනෙකුත් දෙමල පක්ෂවල බෙදුම්වාදී වැඩපිලිවෙලට එරෙහි වන අතරම යුද්ධයට විරුද්ධව, උතුරින් හා නැගෙනහිරින් හමුදා කොන්දේසි විරහිතව ඉවත් කිරීමට ද දෙමල ජනයාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ද ඉල්ලා සිටි එකම දේශපාලන පක්ෂය වූයේ විකොසයි.

ලසසපයේ පාවාදීමෙන් දශක පහක් ගත වූ තැන දේශපාලන ශේෂපත‍්‍රය පිරික්සා බැලීම අතිශයින්ම උදාහරනීය ය. 1960 හා 1970 දශකයන්හි දී ශ්‍රේෂ්ඨ “විප්ලවවාදීන්” ලෙස වර්නිත සියලු පුද්ගලයන් හා පක්ෂ කම්කරු පන්තිය වෙත පමුනුවා ඇත්තේ ඒකාන්ත ව්‍යසනයකි.

සෝවියට් ස්ටැලින්වාදී නිලධරය 1991 දී විවෘතව ම ධනේශ්වර ක‍්‍රමයේ පුනස්ථාපනය වැලඳ ගනිමින් හා සෝවියට් සංගමය විසුරුවා හරිමින් සිය අවසාන ද්‍රෝහී කටයුත්තේ යෙදී ගත්තේය. එමගින් ඉහත දී සෝවියට් සමුහාන්ඩු ලෙස පැවැති ප‍්‍රදේශයන්හි බියකරු සමාජ ප‍්‍රතිගමනයකට පාර කැපිනි. චීනයේ මාවෝවාදී නායකත්වය 1972 දී නික්සන්-මාවෝ ප‍්‍රතිසන්ධානයත් සමග අධිරාජ්‍යවාදය සමග සමාදානයට යමින් ධනපති සම්බන්ධතා පුනස්ථාපනය කිරීමේ හා මුලූමහත් රටම ගෝලීය සංගත සඳහා අතිදැවැන්ත ලාභ ශ‍්‍රම වේදිකාවක් බවට පරිවර්තනය කිරීමේ මග හෙලි කලහ.

සුලු ධනපති රැඩිකල් කව තුල පැතිර ගිය අසාරදර්ශනයේ ලෝක ව්‍යාප්ත රැල්ලට ප‍්‍රතිවිරුද්ධව හජාජාක පමනක්, සෝවියට් සංගමයේ බිඳ වැටීමෙන් නියෝජනය වූයේ සමාජවාදයේ අසාර්ථකත්වය නොවන බවත්, හුදු ස්ටැලින්වාදයේ අසාර්ථකභාවයම ඉන් නියෝජනය වූ බවත් තිරසරව කියා සිටියේය. ජාතික ආර්ථික නියාමනයේ හා ප‍්‍රතිසංස්කරනයේ වැඩපිලිවෙල මත පාදක වූ සියලු පක්ෂ, රාජ්‍යයන් හා සංවිධානවලට නිෂ්පාදනයේ ගෝලීයකරනය විසින් වල කැපුනි. තව ද, හජාජාක අනතුරු හැඟවුයේ, සාමයේ හා සෞභාග්‍යයේ නව කාල පරිච්ඡෙදයක් වෙනුවට ඊට හාත්පසින්ම පටහැනි ලෙස, සෝවියට් සංගමයේ බිඳවැටීම මගින් ලෝක ධනපති ක‍්‍රමයේ අර්බුදයෙහි වඩාත් ගැඹුරු වීමක් ද, භූ දේශපාලන ආතතීන් හා යුද්ධයේ වර්ධනයවීමක් සහ කම්කරු පන්තියේ සමාජ තත්වයන් මත වඩාත් තීව‍්‍රවන ප‍්‍රහාරයක් ද සලකුනු කර ඇති බවයි. කියුබාවේ දී කස්ත්‍රෝගේ හා වියට්නාමයේදී හෝ චි මිංගේ උරුමකරුවෝ ද චීනයේ මාඕවාදීන් ගත් මාවත ම අනුයමින් සිය ආර්ථිකයන් විදේශ ආයෝජකයන්ට විවර කරමින් සිටිති. ඉන්දියාවේ බටහිර බෙංගාල හා කේරල ප‍්‍රාන්ත තුල සීපීඑම් විසින් ක‍්‍රියාවට නංවනු ලැබ ඇත්තේ ද එම කම්කරු පන්ති විරෝධී වැඩපිලිවෙලමය. “සන්නද්ධ අරගලයේ” අධිවාචකයෝ එකෙකු පසු පස අනෙකා වශයෙන්, සිය යුද ඇඳුම් ව්‍යාපාරික ඇඳුම්වලට හා පාර්ලිමේන්තු ආසන වලට හුවමාරු කරගනිමින්, අධිරාජ්‍යවාදීන් ද තමන්ගේම ධනේශ්වරය ද සමග එක්තැන්ව සිටිති. පිලිපීනයේ මා ඕවාදීන් එරට දේශපාලන සංස්ථාපිතය තුල තරයේ ඒකාග‍්‍ර වී සිටින අතර නේපාලයේ මා ඕවාදීහු 2008 දී ආන්ඩුවේ සුක්කානම භාරගත්හ.

ශ‍්‍රී ලංකාව තුල දේශපාලන භූ දර්ශනය පරිවර්තනය වී ඇත. ලසසපය වූ කලී ධනපති පන්තියට තවදුරටත් කිසිදු ප‍්‍රයෝජනවත් සේවයක් නොසලසන, යුෂ මිරිකා හල දෙහි ලෙල්ල කි. රාජපක්ෂ ආන්ඩුවේ සියලු අපරාධකාරී ප‍්‍රතිපත්තිවලට අනුමැතිය දෙන එය වර්තමානයේ පවතින්නේ ශ‍්‍රීලනිපයේ දේශපාලන අන්ඩක් ලෙස පමනෙකි. 1970 දශකයේ දී භේදයන් මාලාවකට මුහුන දුන් ලසසප(වි)ය, 1980 මහා වැඩ වර්ජනයට සහාය දීම ප‍්‍රතික්ෂේප කිරීමෙන් පසු කම්කරු පන්තිය තුල පැවැති කවර හෝ පිලිගැනීමකට අහිමිව සලකුනක් හෝ නොතබා අතුරුදහන් වී ඇත.

ලසසපයේ සන්ධානවාදී හා පන්ති සහයෝගිතාවාදී දේශපාලනය අද ඉදිරියට ගෙන යන්නේ නව සම සමාජ පක්ෂය (නසසප) සහ එයින් බිඳී ගිය එක්සත් සමාජවාදී පක්ෂය (එසප) විසිනි. මෙම පක්ෂ දෙකෙහිම නායකයෝ 1964 පාවාදීමෙන් පසු පුරා දශකයක් ලසසපය තුල රැඳී සිටියෝ වෙති. වසර ගනනාවක් පුරා, දක්ෂිනාංශික එජාපයට වඩා “අඩු නපුර” ලෙස ශ‍්‍රීලනිපයට අනුග‍්‍රහ දැක්වූ නසසපය හා එසපය වර්තමානයේ, එජාපය “ඒකාධිපති” ශ‍්‍රීලනිපට “ප‍්‍රජාතන්ත‍්‍රවාදී විකල්පයක්යැ”යි නිවේදනය කරමින් එය සමග සන්ධානයකට එලඹ සිටිති.

කීර්ති බාලසූරිය සිදු කල විශ්ලේශනය තහවුරු කරමින් ජවිපෙ 1980 දශකයේ අවසාන කාලයේ දී සුවිශේෂී ප‍්‍රතිගාමී ක‍්‍රියාකලාපයක් ඉටු කලේය. එල්ටීටීඊය නිරායුධ කිරීම සඳහා ඉන්දියානු “සාම සාධක” හමුදා ගෙන්වීමට මග විවර කල ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහිව එය ෆැසිස්ට් පන්නයේ ව්‍යාපාරයක් උසිගැන්වූයේ ය. ජවිපෙ තුවක්කුකරුවෝ සිය “දේශපේ‍්‍රමී” වර්ජන හා විරෝධතාවලට සහය දීම ප‍්‍රතික්ෂේප කල දේශපාලන විරුද්ධවාදීන් හා කම්කරුවන් සිය ගනනින් මරා දැමුවෝය. එහෙත්, 1994 ශ‍්‍රීලනිපය බලයට පැමිනි කල දේශපාලන සංස්ථාපිතයට ඒකාග‍්‍රවීමට හෝ 2004 දී ආන්ඩුවට එක්වීමට ජවිපෙට එකී ක‍්‍රියාවන් බාධාවක් වූයේ නැත.

එල්ටීටීඊය, දෙමල ධනේශ්වරය වෙනුවෙන් ක‍්‍රියාත්මක වෙමින්, දිවයිනේ උතුරු හා නැගෙනහිර ප‍්‍රදේශ වෙනම දෙමල ධනපති රාජ්‍යයක් බවට හා ලාභ ශ‍්‍රමයේ නව උල්පතක් බවට හැරවීම සඳහා අධිරාජ්‍යවාදයේ ආධාරය ලබා ගන්නා මං යලියලිත් සොයා බැලූහ. එහෙත් එවැන්නක් ඉන්දියාව අභ්‍යන්තරයේ බෙදුම්වාදී කැලැඹීමකට හේතුභූත වනු ඇතැයි ඉන්දියාව මෙන්ම ඉන්දියාවට සහාය දුන් එක්සත් ජනපදය ද බිය වූ හෙයින් ඔවුන්ගේ ආයාචනාවලට කන් දීමක් සිදු නොවීය. 2009 දී එල්ටීටීඊය ශ‍්‍රී ලංකා හමුදාව අතින් ලද පරාජය මූලිකවම යුදමය පරාජයක් නොව, ඔවුන්ගේ ධනේශ්වර දේශපාලන වැඩපිලිවෙලෙහි බංකොලොත්භාවයෙන් පැන නැගුනු එකකි. රටේ අන් පෙදෙස්වල ද ඉන්දියාවේ හා ජාත්‍යන්තරව ද කම්කරුවන් වෙත තබා දෙමල කම්කරුවන් වෙත පවා, කවර හෝ වේවා ආයාචනයක් කිරීමට නොසමත් වූ එල්ටීටීඊය කොලඹ යුද්ධයට ආධාර දෙමින් හුන් එක්සත් ජනපදය හා සෙසු බලවතුන් වෙත බෙලහීන ආයාචනා ඉදිරිපත් කිරීමට පමනක් සිමා විය.

සියලූ ආකාරයේ ජාතිකවාදයන් හා වර්ගවාදයන් ප‍්‍රතික්ෂේප කරමින් සමාජවාදී ජාත්‍යන්තරවාදයේ පදනම මත කම්කරු පන්තිය එක්සත් කිරීමට සටන් වැදුනේ හජාජාක සහ දැන් ශ‍්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය බවට පත් ව ඇති විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය පමනෙකි. සසපයට එහි ලා මග පෙන්වනු ලැබුවේ, අධිරාජ්‍යවාදයට එරෙහිව තිරසාර අරගලයක් කිරීමට හෝ මූලික ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා සමාජ කර්තව්‍යයන් ඉටු කිරීමට පසුගාමී ධනපති රටවල ධනපති පන්තීන් අසමත් බව පෙන්වා දුන් ලියොන් ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යායෙනි. දකුනු ආසියාව තුල හා ජාත්‍යන්තරව සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස ශ‍්‍රී ලංකා සහ ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා සටන තුල සසප ඉදිරි දර්ශනය මූර්තිමත් වෙයි.

එම දේශපාලන අරගලය අද දින සුවිශේෂී දේශපාලන වැදගත්කමක් අත්පත් කර ගනී. 2008 මූල්‍ය අර්බුදයෙන් ඇරඹී ලෝක ධනවාදයේ බිඳවැටීම භූ-දේශපාලන ආතතීන් ද මිලිටරිවාදයේ පිපිරී ඒම දැවැන්තව තීව‍්‍ර කර ඇති අතරම සෑම රටකම ආන්ඩු වැඩ කරන ජනයා මත කප්පාදු වැඩ පිලිවෙල පටවමින් සිටිති. ඇෆ්ගනිස්ථානය හා ඉරාකය ආක‍්‍රමනය කිරීම මගින් මැද පෙරදිග කලාපය දැනටමත් අස්ථාවරභාවයට හෙලා ඇති එක්සත් ජනපද අධිරාජ්‍යවාදය මැද පෙරදිග දී අලුත්, වඩාත් අනතුරුදායක යුද්ධයක ද, යුකේ‍්‍රනය සම්බන්ධයෙන් රුසියාව සමග ගැටුමක ද, චීනය දේශපාලනිකව දුර්වල කිරීමේ හා හමුදාමය වශයෙන් වැටලීමේ ආක‍්‍රමනශීලි “ආසියාවට හැරීමේ” වැඩපිලිවෙලේ ද නියුක්තව සිටී. පලමු ලෝක යුද්ධයෙන් ශත වර්ෂයක හා දෙවැන්නෙන් හැත්තෑ පස් වසරක ඇවෑමෙන් තුන්වැනි ගෝලීය යුද්ධයක ගිනිදැල්වල පෙර නිමිති ක්ෂිතිජයෙන් මතු වෙමින් පවතී.

ශ‍්‍රී ලංකාව අසුවී ඇත්තේ භූ-දේශපාලන පරසතුරුකම්වල මෙම මහා වා සුලියටය. ඉහත දී ”අධිරාජ්‍ය විරෝධීන්” ලෙස පෙනී සිටි විවිධ ව්‍යාජ වාම පක්ෂ, ඔවුන්ගේ ජාත්‍යන්තර සගයන් සේම, අධිරාජ්‍යවාදී බලවතුන්ගේ සහාය ලබා ගැනීමට උපක‍්‍රම සකසමින් සිටින ධනපති පන්තියේ ඒ හෝ මේ කන්ඩායම සමග පෙල ගැසෙමින් සිටිති. ඉන් වඩාත් බලවත්ම උදාහරනය නම් එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමග ඇති බැඳුම් පිලිබඳව චිරාත් කාලයක් පුරා කුප‍්‍රකට එජාපය සමග නසසප හා එසපයෙහි පෙල ගැසීමයි.

යුද්ධයේ මූල හේතුව වන ධනවාදය අහෝසි කරමින් ලෝක යුද්ධයක් කරා ලුහුටා යාම අවසන් කිරීමට ජාත්‍යන්තර කම්කරු පන්තියේ ඒකාබද්ධ යුද - විරෝධී ව්‍යාපාරයක් ගොඩ නැගීම සඳහා සටන් වදින මිහි මත ඇති එකම සංවිධානය වන්නේ හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවයි. ලසසපයේ පාවාදීමේ ප‍්‍රතිවිපාකවලට එරෙහිව විකොස / සසප ගෙන ගිය දිර්ඝකාලීන හා දුෂ්කර දේශපාලන අරගලය තුල ශ‍්‍රී ලංකාවේ, දකුනු ආසියාවේ හා ලෝ පුරා කම්කරු පන්තියට අත්‍යවශ්‍ය පාඩම් ගැබ්ව පවතී. මෙම වාර්තාව සමාජවාදී සමානතා පක්ෂයේ ඓතිහාසික සහ ජාත්‍යන්තර පදනම් යන ලේඛනය තුල සවිස්තරාත්මකව දක්වා ඇත. ධනපති පන්තිය විසින් සූදානම් කරනු ලබන අතිමහත් ව්‍යසනයෙන් ගැලවීමේ විප්ලවවාදී මාවතක් සොයන කම්කරුවන්ට හා තරුනයන්ට මෙම දේශපාලන පාඩම් හදාරමින්, හජාජාකට බැඳී එය ආසියාව තුල හා ජාත්‍යන්තරව ගොඩ නැගීමට එක්වන මෙන් අපි උදක්ම ඉල්ලා සිටිමු.

සමාප්තයි.

Share this article: