බාලා තම්පෝ (1922-2014): පන්ති ද්‍රෝහියෙකු බවට පත් වූ සමාජවාදී විප්ලවවාදියා

Bala Tampoe (1922-2014): Socialist revolutionary turned class traitor

නන්ද වික‍්‍රමසිංහ සහ විජේ ඩයස් විසිනි ,2014 සැප්තැම්බර් 13

අනූ දෙහැවිරිදි වියේදී, පසුගිය සැප්තැම්බර් 1 දා මිය ගිය බාලා තම්පොගේ ගුන වර්නනා කිරීමට ජනාධිපති රාජපක්ෂ ද, වෘත්තීය සමිති නිලධාරීන් ද, කාර්මික සහ ව්‍යාපාරික ලොකු ලොක්කන් හා ව්‍යාජ වම්මු ඇතුලු සමස්ත ලාංකික දේශපාලන සංස්ථාපිතය ම එකට එක්වූහ. සමාජවාදී විප්ලවවාදියෙකු ලෙස සිය දේශපාලන දිවිය ඇරඹු තම්පෝ එය සමාප්ත කලේ කම්කරු පන්තිය පාගා දමා ධනේශ්වර පාලනයට වාරුව දීම සඳහා කැසකැවූ වෘත්තීය සමිති නිලධරයෙකු හා දේශපාලන වංචනිකයෙකු ලෙසය.

ඔහුගේ මරනයෙන් පසුව ගලා ආ ගුනවර්නනා, ඔහුගේ විප්ලවවාදී වාර්තාව අගය කිරීමක් නොව, ගත වූ දශක පහ තිස්සේ ඔහු පාලක පන්තියට කල සේවය උදෙසා කැප වූ ඒවාය. ඔහු මිය යන තෙක් අවුරුදු 66ක් ම ලංකා වෙලඳ සේවක සංගමයේ (සීඑම්යූ) ලේකම්ව සිටියේ ය. මෑත කාල වකවානුවේ දී රටේ නිලවශයෙන් බෙහෙවින් ම සැලකිල්ලට ලක්වූ වෘත්තීය සමිති නිලධාරියා ඔහු විය. වැඩවර්ජන හා අරගල පාවා දීමේ දී ස්වාමි පක්ෂයට සහ ආන්ඩුවට ද ඔහුගේ විශේෂඥ දැනුම අත්‍යවශ්‍ය විය.

සිය “ගැඹුරුතම ශෝකය” පල කර සිටි රටේ විශාලතම පුද්ගලික වානිජ සංගමය වන හාම්පුතුන්ගේ සංගමය මෙසේ ප‍්‍රකාශ කලේ ය: “අවුරුදු ගනනාවක් තිස්සේ සීඑම්යූව සමග සහයෝගිව කටයුතු කිරීමට ලැබීම ලංකා හාම්පුතුන්ගේ සම්මේලනය (ඊඑෆ්සී) ලත් භාග්‍යයකි. ඇත්තවශයෙන් ම, මෙතෙක් අඛන්ඩව පවත්වාගෙන ආ දිවයිනේ පැරනි තම සාමූහික ගිවිසුම නම් 1961 දී ඊඑෆ්සීය සීඑම්යූ ව සමග අත්සන් කල සාමූහික ගිවිසුමයි. මෙම මුලූ කාලය තුලම සීඑම්යූව නියෝජනය කලේ බාලා තම්පෝ ය.”

තම ශෝක ප‍්‍රකාශයේ දී ජනාධිපති රාජපක්ෂ, බාලා තම්පෝගේ මෙම ජරා ගනුදෙනුව කාර්මික සාමය පවත්වාගෙන යාමට කරන ලද වැදගත් ප‍්‍රතිපදානයක් ලෙස වර්නනා කලේ ය, “සීඑම්යූ ව සහ ලංකා හාම්පුතුන්ගේ සම්මේලනය අත්සන් කල සාමූහික ගිවිසුම මගින් වෙලඳ සේවකයන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමට කරන ලද මාහැඟි ප‍්‍රතිපදානය වෘත්තිය සමිති ක්ෂේත‍්‍රයේ තවත් බොහෝ දෙනකුට වැදගත් මං සලකුනක් ද අගනා මග පෙන්වීමක් ද වීය” යි ඔහු තවදුරටත් කියාසිටියේ ය.

සීඑම්යු සාමාජිකයන් සම්බන්ධව “කාර්මික සාමය” පවත්වාගෙන යාමට පමනක් නොව, වෙනත් වෘත්තීය සමිති නිලධාරින්ට ඔවුන්ගේ දුෂ්ඨ පාවාදීම් සිදු කිරීමට ද ඒවා යුක්තිසහගත කිරීමට ද තම්පෝ දායක විය. 1990 ගනන් වල මුල් කාලයේ දී ම ආන්ඩුව ඔහු කෝපරේට්වාදී නැෂනල් ලේබර් ඇඩ්වයිසරි කවුන්සිලයට (ජාතික කම්කරු උපදේශන සභාව) පත් කල අතර ඔහු එහි දිගින් දිගටම සේවය කලේ ය.

සිය මරනයට සති කිහිපයකට පෙර, තම්පෝ කම්කරුවන් රැවටීම සඳහා අන්තිම මගඩිය ද සූදානම් කලේය. එනම් - මුලින් 1990 ගනන්වල දී අනුමත කෙරුනු කම්කරු ප‍්‍රඥප්තිය (වර්කර්ස් චාටර්) ක‍්‍රියාත්මක කිරීමට (ආන්ඩුව) අසමත් වීම ගැන “විරුද්ධත්වය” ප‍්‍රකාශ කිරීමට ඔහු ජාතික කම්කරු උපදේශන සභාවෙන් එලියට බැස්සේ ය. අවුරුදු 20 ක් තිස්සේ තම්පෝ ද වෙනත් වෘත්තීය සමිති නිලධාරීහු ද එක අරගලයකින් පසු තවෙකක් පාවාදෙන ගමන් මෙම කඩදාසි කෑල්ල “ජයග‍්‍රහනයක්” යයි වංචනික ලෙස කම්කරුවන් ඉදිරියේ වැනුවෝය.

එහෙත් තම්පෝ හුදෙක් තවත් එක ද්‍රෝහී වෘත්තීය සමිති නායකයෙකු ලෙස දැක ගැනීම වැරදි ය. ඔහු තරුන වියේ දී කම්කරු පන්තියේ අවශ්‍යතා වෙනුවෙන් දිරිමත් හා ප‍්‍රතිභා සම්පන්න ලෙස සටන් වැදුනු විප්ලවවාදී සටන්කරුවෙක් විය. තම්පෝ ගේ ද ඔහුගේ පරම්පරාවේ තවත් අයගේ ද දේශපාලන පරිහානිය මුලුමනින්ම බැඳී තිබුනේ, 1964 දී ට්‍රොට්ස්කිවාදී මූලධර්ම වලට එරෙහිව සිරිමා බන්ඩාරනායක ගේ ධනේශ්වර ආන්ඩුවට එකතුවූ ලංකා සමසමාජ පක්ෂයේ පරිහානිය සමග ය.

1939 දී, දෙවන ලෝක යුද්ධය අබිමුව දී 17 හැවිරිදි සරසවි සිසුවෙකු වූ තම්පෝ ලංකා සමසමාජ පක්ෂයට එක් වූයේ ය. යුද්ධයේ බලපෑම යටතේ ස්ටැලින්, බි‍්‍රතාන්‍යය ද ඇතුලු ඊනියා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අධිරාජ්‍ය බලවතුන්ට සහය දෙන තතු තුල ලසසප නායකත්වය තීරනාත්මක ව ට්‍රොට්ස්කිවාදය දෙසට හැරෙමින් ස්ටැලින්වාදීන් පන්නා දමා, 1942දී හතරවන ජාත්‍යන්තරයේ සමස්ත ඉන්දියානු ශාඛාව වූ ඉන්දීය බෝල්ෂෙවික් ලෙනින්වාදී පක්ෂය (බීඑල්පීඅයි* ගොඩනැගීමේ කේන්ද‍්‍රීය ක‍්‍රියාකලාපය ඉටු කලේ ය.

බෝල්ෂෙවික් ලෙනින්වාදී පක්ෂයේ ආරම්භක සාමාජිකයෙකු වූ තම්පෝ, යුද්ධය සමයේ නීති විරෝධී තතු තුල, ලංකාවේ පක්ෂයේ රහසිගත සංවිධානය තුල නිර්භීත සහ ක‍්‍රියාත්මක භූමිකාවක් ඉටු කලේ ය. ට්‍රොට්ස්කිවාදය පිලිබඳ අධ්‍යාපන පන්ති පැවැත්වූ ඔහු කොලඹ තුරඟ තරග පිටිය අසල රහසිගත ස්ථානයකදී කම්කරුවන්ට දේශන පැවැත්විය. යුද්ධයේ දී විප්ලවකාරී පරාජකවාදී ආස්ථානයක් ගත් බීඑල්පීඅයි ලංකාවේ සහ ඉන්දියාවේ කම්කරුවන් බි‍්‍රතාන්‍ය යටත් විජිත පාලනයට එරෙහිව බලමුලුගැන්වීමට සටන් වැදුනි. තම්පෝ දිවයිනේ නවතා සිටි බි‍්‍රතාන්‍ය සොල්දාදුවන්ට පක්ෂ සාහිත්‍යය බෙදාහැරීමේ නිරතව සිටියේය. ඔවුන් ට්‍රොට්ස්කිවාදයට දිනාගැනීමට ඔහු සටන් කලේය.

තම්පෝ ඉංගිරිසි, දෙමල සහ සිංහල යන භාෂා තුනම චතුර ලෙස භාවිතා කිරීමේ හැකියාවක් තිබූ ප‍්‍රබල කථිකයෙක් විය. 1960 ගනන්වල දී තරුන ට්‍රොට්ස්කිවාදීන් ව සිටි මෙම ලිපියේ කතුවරුන්ට තම්පෝගේ පූර්න හැකියාව දැක ගැනීමට ලැබිනි. සිය සතුරන්ට එරෙහිව කතන්දර විශාල තොගයක ද පොදු භාෂා ව්‍යවහාර ද එ මගින් උපහාසය ද බහසි බස් ද යොදාගත් ඔහු අසන්නන් ඒත්තු ගන්වා ගැනීම සඳහා, සිය මුලූ සිරුරම නැටවීය. දහස් ගනන් කම්කරුවෝ පැය ගනනක් තිස්සේ තමන් වශී කරගැනීමට සමත් වූ මේ මිනිසාගේ රැස්වීම් වලට ඇදී ආවෝ ය.

යුද්ධයෙන් ඉක්බිත්තේ එන්.එම්. පෙරේරා සහ පිලිප් ගුනවර්ධන නායකත්වය දුන් ජාතික අවස්ථාවාදී කන්ඩායමක් බීඑල්පීඅයි සංවිධානයෙන් බිඳී පැරනි ලසසපය යලි නැගිටුවා ගැනීමට 1945 දී ක‍්‍රියා කල අවස්ථාවේදී තම්පෝ ඊට විරුද්ධව බීඑල්පීඅයි සමග නැගී සිටියේ ය. 1947 දී මහා වැඩ වර්ජනයට සහභාගී වූ තම්පෝ ට බි‍්‍රතාන්‍ය යටත් විජිත පාලකයින් විසින් එය මර්දනය කරනු ලැබූ කල්හි, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අභ්‍යාස ආයතනයේ දේශකයෙකු ලෙස ඔහුට සිය රැකියාව අහිමි විය. බීඑල්පීඅයි පක්ෂයේ පූර්නකාලිකයෙකු බවට පත් තම්පෝ 1948 දී සීඑම්යූ ලේකම් ලෙස පක්ෂය විසින් යෝජනා කරනු ලදී.

ලසසපය ට ප‍්‍රතිවිරුද්ධව 1948 දී බි‍්‍රතාන්‍යය ලංකාවේ ධනපති පන්තියට දුන් ව්‍යාජ නිදහස ට විරුද්ධ වූ බීඑල්පීඅයි, එයට එරෙහිව කම්කරු පන්තිය මෙහෙය විය. කෙසේ වෙතත් එම රූපික නිදහස, රාජ්‍ය අංශය, ව්‍යාපාරික ක්ෂේත‍්‍රය හා පාර්ලිමේන්තුව තුල මධ්‍යම පන්තියට ඉඩකඩ සලසාදුන් අතර පක්ෂය මත පීඩනය යෙදී ය. ඉහත මූලික වෙනස්කම් පිලිබඳව කවර හෝ පැහැදිලි කිරීමකින් තොරව 1950 දී ප‍්‍රතිපත්ති විරහිත ආකාරයට ලසසප සමග බීඑල්පීඅයි, යලි එකතු වීම තුල මෙම පීඩනයන් මුලින්ම ප‍්‍රකාශිත විය.

මෙම යලි-එක්වීම, මයිකල් පැබ්ලෝ සහ අර්නස්ට් මැන්ඩල්ගේ නායකත්වය යටතේ හතරවෙනි ජාත්‍යන්තරය තුල පැනනැගුනු වඩාත් පුලුල් අවස්ථාවාදී ප‍්‍රවනතාවයක පෙර සලකුනක් විය. පශ්චාත් යුද සමයේ ධනවාදය යලි තහවුරු වීමට අනුගත වූ පැබ්ලෝ සහ මැන්ඩල්, කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය සඳහා අරගලය ඇත හැර දමා හතරවන ජාත්‍යන්තරය ස්ටැලින්වාදය, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ ලංකාව වැනි රටවලදී විවිධාකාර ධනේශ්වර ජාතිකවාදයන් යටතේ “පවත්නා මහජන ව්‍යාපාරයන්” තුලට දියකර හැරීමට වැඩ ආරම්භ කලහ.

හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව 1953 දී පිහිටුවන ලද්දේ සම්මතධාරී ට්‍රොට්ස්කිවාදයේ මූලධර්ම ආරක්ෂා කරමින් පැබ්ලෝවාදයට එරෙහි දේශපාලන අරගලයක් ගෙනයාම සඳහා ය. ලසසප නායකයින්, පැබ්ලෝගේ න්‍යායන්හි සමහර අංග විවේචනය කල නමුත් ජාත්‍යන්තර කමිටුව පිහිටුවීමට විරුද්ධ වීම අර්තභාරීය. ලසසප පැබ්ලෝවාදී එක්සත් ලේකම් මන්ඩලය තුලම රැඳී සිටියේය. 1953 මැද ලසසප මධ්‍යම කාරක සභාවට බඳවා ගනු ලැබූ තම්පෝ, ඊලඟ කාල පරිච්ඡේදයේ දී ලසසපයේ පස්සට ලුහුටා යාමට දොරහරින ලද මෙම තීන්දුවලට විරුද්ධ වුයේ නැත.

ලසසපය ලෝකයේ විශාලතම ට්‍රොට්ස්කිවාදී පක්ෂය යයි පුරසාරම් ගැසූ පැබ්ලෝවාදී ජාත්‍යන්තර ලේකම් මන්ඩලයේ අනුග‍්‍රහය ඇතිව ලසසපය, වඩ වඩාත් සිය සාර්ථකත්වය පාර්ලිමේන්තු ආසන ගනනින් ද වෘත්තීය සමිති සාමාජිකත්වයේ තරමින් ද මනින්නට පටන් ගති. එහි දේශපාලන ගමන් මග වඩ වඩාත් මහජන පෙරමුනුවාදයට නැඹුරු වී, ධනේශ්වර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය (ශී‍්‍රලනිප) සමග ගනු දෙනු වලට නැඹුරු විය. ලසසපය ශ‍්‍රීලනිපයේ වර්ගවාදී දේශපාලනයට ද දෙමල-විරෝධී වෙනස්කම් කිරීමට ද තම ක‍්‍රියාමාර්ගය වඩ වඩාත් අනුගත කලේය.

ප‍්‍රමුඛ වෘත්තීය සමිති නායකයෙකු හැටියට තම්පෝ, 1956 සහ 1960 දී බලයට පත් ශ‍්‍රීලනිප ද ඇතුලු ආන්ඩුවලට එරෙහිව පැන නැගි සටන් වල මධ්‍යයේ සිටියේ ය. 1963 වරාය කම්කරුවන්ගේ දිග්ගැසුනු අරගලයට නායකත්වය දුන් ඔහු, හදිසි නීති ප‍්‍රකාශය බිඳිමින් ආන්ඩුව ට අභියෝග කලේ ය. එම වැඩ වර්ජනය ලසසපය නායකත්වය දුන් ඉල්ලීම් 21 වටා රැලිවූ පුලුල් වෘත්තීය සමිති සන්ධානය මාධ්‍ය කරගත් වැඩෙන ව්‍යාපාරයට මුහුනදී සිටි සිරිමාවෝ බන්ඩාරනායකගේ නායකත්වයෙන් යුත් ශ‍්‍රීලනිප ආන්ඩුවේ දේශපාලන අර්බුදය ඉමහත් ලෙස උග‍්‍ර කලේය.

රට පාලනය කරගත නොහැකි තත්වයක් උද්ගත වී ඇති බව පිලිගැනීමට සිදුවූ බන්ඩාරනායකට ලසසප ආධාර අවශ්‍යව ඇති බව පැවසීමට සිදු විය. 1964 දී ඇය ලසසප නායකයන්ට ආන්ඩුවට එක්වන ලෙස කියා සිටියාය. ඔවුහු දේශපාලන මූලධර්ම තුට්ටුවකට වත් මායිම් නොකරමින්, ඉල්ලීම් 21 ව්‍යාපාරය පාවාදීමට හිලව් වශයෙන් ඇමතිකම් 3ක් ලබා ගත්තෝය.

පාවාදීම යුක්ති සහගත කල ලසසප සම්මේලනයේ දී ආන්ඩුවට එකතුවීමට එරෙහිව ඡන්දය දී සම්මේලනයෙන් ඉවත්ව ගොස් ලසසප (විප්ලවවාදී) නමින් සංවිධානයක් තැනූ 159 දෙනාට තම්පෝ ද අයිති විය. ඒ සමග ම ලසසප (වි) ප‍්‍රධාන නායකයෙකු වූ තම්පෝ, පක්ෂයේ පරිහානිය පිලිබඳ කුමන හෝ සාකච්ඡාවකට, විශේෂයෙන් ම ජාත්‍යන්තර කමිටුව සමග සාකච්ඡාවකට, විරුද්ධ විය.

පාවාදීම පිලිබඳ අත්‍යන්ත වගකීම රැඳෙන්නේ ලසසප නායකත්වය මත නොව ගතවූ දශකය පුරා ලසසප නායකත්වය, ධනේශ්වර ජාතික පාලනයට අවස්ථාවාදී ලෙස අනුගතවීමට ආධාර උපකාර කල පැබ්ලෝවාදී ජාත්‍යන්තර නායකත්වය මත යයි හතරවෙනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) පෙන්වාදුනි. මෙම පාවාදීම, 1953 භේදයේ අතිමූලික මත ගැටුම සමනය ව ඇති බව පවසමින් 1963 දී ජාත්‍යන්තර කමිටුවෙන් බිඳී පැබ්ලෝවාදීන් සමග යලි එකමුතු වූ එක්සත් ජනපදයේ සමාජවාදී කම්කරු පක්ෂය (SWP) ට විරුද්ධව බි‍්‍රතාන්‍ය සෝෂලිස්ට් ලේබර් ලීගය (SLL) කල අරගලයේ කැපී පෙනෙන සනාතනයක් විය.

ජාත්‍යන්තර කමිටුව අවධාරනය කලේ, ලසසපය බන්ඩාරනායක ආන්ඩුවට ඇතුලුවීම, පැබ්ලෝවාදී සංශෝධනවාදය අධිරාජ්‍යවාදයේ ඍජු සේවයට කැප වීම සලකුනු කල බව අවධාරනයෙන් කියා සිටියේය. මෙහි විපාකයක් ලෙස, ට්‍රොට්ස්කිවාදය ලංකාව තුල යලි පනගැන්විය හැක්කේ ජාත්‍යන්තර කමිටුවේ අරගලයෙහි ඓතිහාසික පාඩම් මත පදනම් වෙමින් පමනක් බව එය තරයේ කියා සිටියේය.

ලසසප නායකයෝ තමන්ගේ අඛන්ඩ අවස්ථාවාදය අනුමත කල පැබ්ලෝවාදී එක්සත් ලේකම් මන්ඩලය සමගම රැඳී සිටියෝ ය. තම්පෝ සම්බන්ධයෙන් ගත් කල්හි මෙයින් පෙන්නුම් කලේ, වෘත්තීය සමිතිවාදයට නග්නව අනුගතවීමක් ද ධනවාදය පෙරලාදැමීමේ ලා මොනම දේශපාලන අරගලයක් හෝ අතහැර දැමීමකි. වෘත්තීය සමිති නිලධරයෙකු හැටියට, ඔහු සිය හැකියාවන් සහ විප්ලවවාදී අතීතය, කම්කරුවන් රවටා අරගලයන් පාවාදීම පිනිස යොදාගත්තේ ය. ඔහුගේ නායකත්වය යටතේ ලසසප (වි) සීඑම්යූවේ වලිගයක් බවට ද සින්ඩිකල්වාදයේ හොරනෑව බවට ද පත් විය. එසේ වුව ද පැබ්ලෝවාදීහු, එම පක්ෂය ශ‍්‍රී ලංකාව තුල සිය නිල ශාඛාව ලෙස, අන්තිමේ දී 1981 එය වසාදමන තෙක්ම පිලිගෙන සිටියෝ ය.

තම්පෝ වඩ වඩාත් දකුනට හැරී ගියේය. 1967 දී, හෙතෙම ප‍්‍රසිද්ධ සෝලියක් වන ක‍්‍රියාවක යෙදෙමින් හිටපු නාසිවාදියෙකු වූ ජර්මන් චාන්සලර් කුර්ට් කිසින්ගර් ට ගෞරව කිරීම සඳහා පවත්වන ලද සාදයකට සමබන්ධ වූයේ, තමා සමග වෘත්තීය සමිති සන්ධානයකට එලඹ සිටි, ඩීඩබ්ලිව්සී සංවිධානයේ තුන් ලක්ෂයකට අධික කම්කරුවන්ගේ වැඩ වර්ජනයට සම්බන්ධ වීම ප‍්‍රතික්ෂේප කරමිනි.

තම්පෝ එම වසරේ ම සීඅයිඒ සංවිධානයේ අරමුදල් ලාභී, ආසියා පදනමේ ආරාධනයක් මත, එම ආයතනයේ වියදමින් ඇමරිකා එක්සත් ජනපදයට ගමන් කලේ ය. එම ගමනේ දී මෘග ලෙස වියට්නාම් යුද්ධය ගෙන යාම නිසා නමගිය එක්සත් ජනපද ආරක්ෂක ලේකම් රොබට් මැක්නමාරා සමග පෞද්ගලික හමුවකට සම්බන්ධ විය. මෙම තතු තුල පැබ්ලෝවාදී එක්සත් ලේකම් මන්ඩලයට, තම්පෝ සීඅයිඒ සංවිධානය සමග පවත්වා ගෙන ගිය බවට එල්ලවූ චෝදනාව පිලිබඳ ව පරික්ෂා කිරීම සඳහා විශේෂ කොමිසමක් පත් කිරීමට සිදු විය. එහෙත් ලේකම් මන්ඩලය එම කොමිසමේ වාර්තාව පසුව යට ගැසී ය.

1976 මහා වැඩවර්ජනය පීලි පැන්නවීම සඳහා තම්පෝ සුවිශේෂවූ ද්‍රෝහී භූමිකාවක් ඉටු කලේ ය. “අ-දේශපාලනික වෘත්තීය සමිතිවාදයේ” නාමයෙන් හෙතෙම, ශ‍්‍රීලනිප නායකත්වයෙන් යුතු සභාග ආන්ඩුවට එරෙහි කුමන හෝ දේශපාලන අරගලයක් ප‍්‍රතික්ෂේප කලේ ය. එමගින් දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය (යූඑන්පීය) ට බලයට පත් වී වහාම වෙලඳපොල ආර්ථික පිලිවෙත් ක‍්‍රියාත්මක කිරීමට ඉඩ කඩ ලබා දුන්නේය. මේ පිලිවෙත් මගින් ජීවන තතු විනාශ කිරීමට එරෙහිව කම්කරු පන්තියේ විරෝධය 1980 මහා වැඩවර්ජනය ලෙස පුපුරාගිය තතු තුල, තම්පෝ එයට සහාය දීම ද ප‍්‍රතික්ෂේප කලේය. ඔහුගේ භූමිකාව කම්කරුවන් ලක්ෂයක් දොට්ට දැමීමට ආධාරක විය.

ට්‍රොට්ස්කිවාදය සඳහා සටන් වදින හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සහ එහි පෙරගමන්කරු වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස) මූලධර්මාත්මක අරගලයට තම්පෝ සුවිශේෂයෙන්ම සතුරු විය. විකොස/ සසප කි‍්‍රයාමාර්ගය, මූලධර්ම හා ඉතිහාසය පිලිබඳ ප‍්‍රශ්න සමිති සාමාජිකයන් අතර සාකච්ඡා කිරීමට ඔවුන් මූලිකත්වය ගත් අවස්ථාවල දී කිහිපවිටක්ම ඔහු විකොස සාමාජිකයින් සීඑම්යූවෙන් නෙරපුවේ ය.

කොලඹ දේශපාලන සංස්ථාපිතය ජරපත් ධනේශ්වරයට වාරුව දීමට උදව් දුන් තම්පෝ නමැති කාලකන්නි වෘත්තීය සමිතිකාරයා ට තුති ගී ගයන අතර, අධිරාජ්‍යවාදී යුද්ධයට, යටත් විජිතවාදයට, සහ ජාතික ධනේශ්වර පාලනයට එරෙහිව සටන් වැදුනු තරුන විප්ලවවාදී සටන් කරුවා හා ඔහු මූලධර්ම සහ ප‍්‍රතිපත්ති සඳහා සටන් කිරීම අතහැරීම තුලින් ගලා ආ ඛේදජනක ප‍්‍රතිවිපාක සිහිපත් කිරීමට අපි කැමති වන්නෙමු. ඔහුගේ විකාශනය අවධාරනය කරන්නේ, විප්ලවවාදීන්ගේ නව පරපුර තිරසරව ජාත්‍යන්තර කම්කරු පන්ති අරගලයේ මූලෝපායික පාඩම් මත පදනම් වී ගැනීමේ අවශ්‍යතාව ය ය: එම පාඩම් කැටිවී ඇත්තේ ජාත්‍යන්තර ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය තුල ය, එනම් හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව තුල ය.

කතුවරු පහත සඳහන් ලිපි ද කියවීමට නිර්දේශ කරති:

ශ‍්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම් ( 2012 මාර්තු 26 )

Share this article: