දෙවැනි ලෝක යුද්ධය පුපුරා යාමේ සිට හැත්තෑපස් වසරක්

Seventy-five years since the outbreak of World War II

2014 සැප්තැම්බර් 1

අද, සැප්තැම්බර් 01දා, දෙවැනි ලෝක යුද්ධයේ හැත්තෑපස්වෙනි සංවත්සරය සලකුනු කර යි. ජර්මනිය පෝලන්තය ආක්‍රමනය කිරීමෙන් දින දෙකකට පසුව තුන්වැනි රීකයට (ජර්මනියට) එරෙහිව බ්‍රිතාන්‍ය හා ප්‍රන්සය යුද්ධ ප්‍රකාශ කලහ..

නාසීන් වෝර්සෝවට බෝම්බ දැමීම සමග ආරම්භවූ මානව හා සමාජ ව්‍යසනය අවුරුදු හයකට පසුව අවසන් වන්නේ, එක්සත් ජනපදය හිරොෂිමා හා නාගසාකි නගර වලට පරමානු බෝම්බ හෙලීමෙනි. අතරතුරු අවුරුදු හයේ දී මිලියන 80ක් 90ක් අතර මිනිසුන් සංඛ්‍යාවක් ඝාතනය වූ අතර තවත් මිලියන සියගනනක් කායිකව හා මානසිකව ආබාධිත වූහ.

යුද සිරකරුවන් මිලියන 5කගේ ජීවිත හානි ද ඇතුළුව යුද්ධයට සම්බන්ධ මරන සංඛ්‍යාව මිලියන 22ත් 25ත් අතර විය.

මිලියන 9ත් 16ත් අතර ජීවිත බිලිගෙන තිබූ පලමු ලෝක යුද්ධයට වඩා දෙවැනි ලෝක යුද්ධයේ මිනිස් ජීවිත විනාසය, බොහෝ විශාල ය. පලමු ගෝලීය රුධිරස්නානය හා දෙවැන්නේ ආරම්භය අතර ගතවී තිබුනේ යන්තම් වසර විස්සකි.

1917 රුසියානු විප්ලවය පැනනැගුනේ පලමු වැනි ලෝකයුද්ධයේ දී පුපුරා ගිය ලෝක ධනවාදයේ ප්‍රතිඝතිතාවන් තුලිනි, යුද්ධය ම ද සාරභූතව ම අවසානයකට ගෙන එන ලද්දේ රුසියාවේ සමාජවාදී විප්ලවයේ ප්‍රතිඵලයක් ලෙස ය.

සෝවියට් සංගමය තුල මතු වූ ස්ටැලින්වාදී නිලධරයේ පාවාදීම් හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂවල ද්‍රෝහීකමට පින්සිදු වන්නට ඊට පසු දශක දෙක තිස්සේ, ජාත්‍යන්තර කම්කරු පන්තිය පරාජයන් මාලාවක් අත් වින්දෝය. ඉතාලියේ, ජර්මනියේ හා ස්පාඤ්ඤයේ ෆැසිස්ට්වාදය ජයගත්තේ ය.

ලියොන් ට්‍රොට්ස්කි විසින් නායකත්වය දෙන ලද හතරවැනි ජාත්‍යන්තරය, මානව වර්ගයා මුහුන දී සිටින්නේ සමාජවාදය ද නැත්නම් ම්ලේච්ඡත්වය ද යන විකල්පයන්ට බවට අනතුරු ඇඟවීය. නව ලෝක යුද්ධයක් වැලක්විය හැකිවන එක ම බලවේගය කම්කරු පන්ති විප්ලවය යි. යුරෝපය තුල කම්කරු පන්තියේ පරාජය එවැනි යුද්ධයක් අනිවාර්ය කල බව ට්‍රොට්ස්කි සඳහන් කලේ ය.

දෙවැනි ලෝක යුද්ධයේ පිපිරීමට වසරකට පෙර, හතරවැනි ජාත්‍යන්තරයේ ආරම්භක ක්‍රියාමාර්ගය තුල ට්‍රොට්ස්කි, එලඹෙන මහා ව්‍යසනය පිලිබඳව අනතුරු ඇඟවී ය. ධනේශ්වරය “ඇස් පියාගෙන ලුහුටා යන්නේ ආර්ථික හා මිලිටරි ව්‍යසනයක් දිසාවට ය” යි ට්‍රොට්ස්කි සඳහන් කලේ ය.

ඇමරිකානු හා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී අටුවාකාරයින් ප්‍රකාශ කල පරිදි දෙවැනි ලෝක යුද්ධය, ෆැසිස්ට්වාදයට එරෙහි “ප්‍රජාතන්ත්‍රවාදය සඳහා යුද්ධයක්” නො වී ය. එය පලමු ලෝක යුද්ධය තුල පුපුරා ගිය ධනවාදයේ නොවිසඳුන මූලික ප්‍රතිඝතිතාවන්ගෙන් මතුව ආ අධිරාජ්‍යවාදී යුද්ධයක් විය: ලෝක ආර්ථිකය හා එය පසමිතුරු ජාතික රාජ්‍යවලට බෙදී තිබීම අතර සහ සමාජගත නිෂ්පාදනය හා නිෂ්පාදන මාධ්‍යන්ගේ පෞද්ගලික අයිතිය අතර ගැටුමකි.

හිට්ලර් තන්ත්‍රය යුරෝපයේ යුද්ධය අවුලුවාලී ය. එහෙත් නාසි රීකය, අධිරාජ්‍යවාදයේ විනාසකාරී හා අපරාධකාරී ස්වභාවයේ අතිශය අන්තගාමී ප්‍රකාශනය පමනක් විය. එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය, ජපානය, ඉතාලිය, කැනඩාව හා ඕස්ට්‍රෙලියාව ඇතුළුව ලොකු කුඩා සියළු අධිරාජ්‍යවාදී බලයන්ගේ පාලක පන්ති, ලෝකය නැවත බෙදීමට සහ තම තරඟකරුවන්ගේ වියදමින් අමුද්‍රව්‍ය, වෙලඳපොල හා ලාභ ශ්‍රම උල්පත් මත සිය පාලනය දැඩි කිරීමේ එල්ලය ඇතිව යුද්ධාවතීර්න විය.

වසර හයක යුද ක්‍රියාදාමයේ දී, යුරෝපීය යුදෙව්වන් මුලුමනින්ම පාහේ සමූලඝාතනය කිරීම ද භීෂනයට ඇතුලත් විය. එකී කරුන ද සෝවියට් සංගමයට එරෙහි හිට්ලර්ගේ සමූලඝාතන යුද්ධයේ කොටසක් විය. සෝවියට් සංගමයට මිලියන 27ක මිනිසුන්ගේ ජීවිත, එනම් ජනගහනයෙන් සියයට 14ක් අහිමිවුනි. පෝලන්තයට මිලියන 5.8ක් අහමි විය. එම සංඛ්‍යාව එහි ජනගහනයෙන් සියයට 16ට වැඩි ය. තම ජනගහනයෙන් අඩු වශයෙන් සියයට 10ක් අහිමි වුන රටවලට ග්‍රීසිය, ලිතුවේනියාව හා ලැට්වියාව අයත් විය.

පෝලන්තයේ, බෝල්ටික් රටවල හා ජර්මනියේ යුදෙව්වන්ගෙන් සියයට 90ක් ද ඇතුළු ව යුදෙව්වන් මිලියන 6ක සංඛ්‍යාවක් 1939 හා 1945 අතරතුර දී ඝාතනය කරන ලදී.

ජපන් අධිරාජ්‍යවාදය ආසියාව තුල, ශාන්තිකර සාගරයේ හා යටත්විජිත චීනයේ පාලනය ඩැහගැනීමට මිනීමරු උද්ඝෝෂනයක් ගෙන ගියේ ය. එහෙත් 1945 අගෝස්තුවේ දී ජපානය දන ගැස්සීම සඳහා ඇමරිකානු අධිරාජ්‍යවාදීන් යොදා ගත් ක්‍රමවේද මුළුමනින් ම ම්ලෙච්ඡ ස්වභාවයේ ඒවා ය. දින තුනක කාලය තුල එක්සත් ජනපදය, අනාරක්ෂිත හා මිලිටරිමය වශයෙන් නොවැදගත් හිරොෂිමා හා නාගසාකි නගරවලට පරමානු බෝම්බ හෙලී ය. බෝම්බ දෙකෙන් මිය ගිය පුද්ගලයන් ගනන 150,000කි.

ඇමරිකානු ඉතිහාසඥ ගේබ්‍රියල් ජැක්සන් 1999 ඔහුගේ Civilization and Barbarity in Twentieth Century Europe (විසිවැනි සියවසේ යුරෝපීය ශිෂ්ඨාචාරය හා ම්ලේච්ඡත්වය) නම් පොතේ සඳහන් කල පරිදි, “1945 විශේෂ වාතාවරනයන් තුල පරමානු බෝම්බය පාවිච්චි කිරීම, මනෝවිද්‍යාත්මකව බොහෝ සාමාන්‍ය හා ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා ගැනුනු ප්‍රධාන විධායකයෙකුට, හරියට ම නාසි ඒකාධිපතියෙකු එය පාවිච්චි කිරීමට ඉඩ තිබූ ආකාරයටම ආයුධය පාවිච්චි කල හැකි බව සලකුනු කලේය. මේ ආකාරයට එක්සත් ජනපදය - විවිධ ආකාරයේ ආන්ඩුවල හැසිරීම තුල සාදාචාරාත්මක වෙනසක් දකින ඕනෑ ම අයෙකු සම්බන්ධයෙන් ගත්විට - ෆැසිස්ට්වාදය හා ප්‍රජාතන්ත්‍රවාදය අතර වෙනස බොඳ කලේ ය.”

ඇමරිකා‍නු පාලක පන්තිය යුද්ධයෙන් ලත් සිය ජයග්‍රහනය දුටුවේ, ලෝකය තුල එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ආධිපත්‍යය සඳහා මංපෙත් හෙලිකිරීමක් ලෙස ය. සෝවියට් සංගමය මෙන් ම ආසියාව, අප්‍රිකාව හා ලතින් ඇමරිකාවේ පැතිරුනු යටත්විජිත විරෝධි අරගල, විශේෂයෙන් චීනයේ සමාජවාදි විප්ලවය, මගින් එහි විජිගීෂාවන් ව්‍යර්ථ කරන ලදී. එක්සත් ජනපද අධිරාජ්‍යවාදය ප්‍රතිචාර දැක්වූයේ ම්ලේච්ඡ ලෙස ය.

ඉන් පසුව එලඹුනු යුද්ධ වල දී - කොරියාව, වියට්නාමය හා සීතල යුද්ධයට සම්බන්ධ බොහොමයක් වඩා කුඩා යුද්ධ - පුද්ගලයන් මිලියන 20ක් මියගියේය.

ක්‍රෙම්ලිනයේ නිලධාරී තන්ත්‍රය විසින් 1991දී සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසුව එක්සත් ජනපදය, සීතල යුද්ධයේ අවසානය හා ධනවාදයේ ජයග්‍රහනය ප්‍රකාශ කලා පමනක් නො ව එය “සාමයේ ප්‍රතිලාභ ද” පොරොන්දු විය. එවැනි දෙයක් සිදු වූයේ නැත.v

ඇමරිකානු පාලක පන්තිය නිල වශයෙන් ගෝලීය ආධිපත්‍යයේ ප්‍රතිපත්තියක් අනුගමනය කලේ ය. සිය ආර්ථික පරිහානිය මගහැරීම පිනිස තම මිලිටරි බලය යොදාගැනීම තීව්‍රකිරීම සඳහා එරට, “ඒක ධ්‍රැවීය නිමේෂය” ලෙස හැඳින් වූ ධර්මතාව වැලඳගත්තේය. බර්ලින් තාප්පය බිඳදැමීමේ සිට 1999 ගනන්වල අවසානය දක්වා, එක්සත් ජනපදය විසින් පැනමාව, සෝමාලියාව, ඉරාකය, හයිටි, සුඩාන්, ඇෆ්ගනිස්තානය හා යුගෝස්ලාවියාව ඇතුළු රටවල් ගනනාවක් ආක්‍රමනය කලේ ය, ඒවාට බෝම්බ දැමුවේ ය, නැතිනම් ඒ රටවල වාඩිලා ගත්තේ ය.

2001 සැප්තැම්බර් 11දා ප්‍රහාරයන් “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය” ප්‍රකාශ කිරීම සඳහා වොෂින්ටනය විසින් ඩැහැගත්තේවී නමුත් එය ලෝකය පුරා මිලිටරි බලය යොදාගැනීමේ කඩතුරාවකට වඩා වැඩි දෙයක් නො වී ය. සිය ගෝලීය උත්සුකයන්ට බාධාවක් ලෙස ඒත්තු ගන්නා ඕනෑ ම රටකට පහර දීමේ අයිතිය තමන් වෙතම පවරා ගනිමින් එජ, යුද්ධය වැලැක්වීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කලේය.

2008 පිපිරී ගිය මූල්‍ය අර්බුදය, ලෝකය අලුතින් බෙදීම සඳහා වන අධිරාජ්‍යවාදී බලයන්ගේ ගමන වේගවත් කලේ ය. ඇෆ්ගනිස්තානයේ හා ඉරාකයේ ම්ලේච්ඡ යුද්ධ පසු පස ලිබියාවේ හා සිරියාවේ පාලන තන්ත්‍ර පෙරලා දැමීමේ යුද්ධ පැමිනුනි. දැන්, එක්සත් ජනපදය ඉරාකය තුල නව යුද්ධයක් දියත් කර ඇති අතර සිරියාවට බෝම්බ දැමීමට සූදානම් වෙමින් සිටී.

වැඩිවෙන සමාජ ආතතිය හා ගැඹුරුවන ආර්ථික අර්බුදය යටතේ අධිරාජ්‍යවාදීන්, ඇමරිකාව හා ජර්මනිය විසින් පෙලගස්වන ලද කියෙව් හි ෆැසිස්ට්වාදීන් මෙහෙය වූ කුමන්ත්‍රනය මගින් අවුළුවන ලද යුක්‍රේනයේ ගැටුම්, නේටෝව හා ලෝකයේ දෙවැනි විශාලතම න්‍යෂ්ටික අවි ගබඩාව සතු රුසියාව අතර විවෘත යුද්ධයක් හටගැනීමේ අවස්ථාවක් කරා යොමු කරයි.

යුරෝපය තුල ඇමරිකාව මෙහෙයවන ප්‍රහාරය ඉලක්ක කෙරෙන්නේ, කැබලිවලට වෙන් කිරීමට සහ ඇමරිකානු හා ජර්මානු අධිරාජ්‍යවාදීන්ගේ අර්ධ යටත් විජිතයක මට්ටමට පහත හෙලීමට නියමිත රුසියාවට එරෙහිව, මිලිටරි මෙහෙයුම් සඳහා යුක්‍රේනය පිනුම් පිත්ත බවට පත් කිරීමට ය.

දෙවැනි ලෝක යුද්ධය ආරම්භකිරීමේ 75වැනි සංවත්සරය ආසන්නයේ දී ම රුසියාවට එරෙහිව ප්‍රකෝපකිරීම් හා තර්ජන උත්සන්න කිරීමට යුරෝපයේ ආන්ඩු හා මිලිටරි නායකයෝ මුනගැසුනහ. සති අන්තයේ පැවති යුරෝපා සංගම් සමුළුව, මොස්කෝවට එරෙහි සම්බාධක දැඩි කිරීමට පොරොන්දු වූ අතර නේටෝ නායකයෝ එක්සත් ජනපදය මෙහෙයවන අධිරාජ්‍යවාදී මිලිටරි සන්ධානයට යුක්‍රේනය ඒකාබද්ධ කිරීම සඳහා කැඳවුම් කරති.

නේටෝ සාමාජිකයෙක් හා එක්සත් ජනපද පිටුබලය ලබන්නා වු ලිතුවේනියාවේ දක්ෂිනාංශික ජනාධිපති ඩලියා ග්‍රයි‍බවුස්කේට් පැවසුවේ, රුසියාව මේ වන විටත් යුක්‍රේනය හා මුළු යුරෝපයටම එරෙහි යුද්ධයක නිරතව සිටින බව යි.

නව - තත්වාරක්ෂක වොෂින්ටන් පෝස්ට් පත්‍රයේ තීරු ලිපි රචක හා පෝලන්ත විදේශ ඇමතිගේ බිරිඳ වන ඈන් ඇපල්බෝම් “යුරෝපයේ යුද්ධය උන්මාදී අදහසක් නො වේ” යන ශිර්ෂයෙන් තීරුලිපියක් පල කලා ය. එය අවසන් කලේ “එසේ නම් සම්පූර්න යුද්ධයක් සඳහා සූදානම් වීම උද්වේගකර ද? නැත්නම් එය එසේ නො කිරීමට තරම් බොලඳ ද? ” යනුවෙනි.

මේ අතර, නැගෙනහිර දී ඔබාමා පාලනාධිකාරයේ ඊනියා “ආසියාවට හැරීමේ” ධජය යටතේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදය, චීනය යටත්විජිත තත්වයට පිරිහෙලීමේ ඉලක්කය සහිත ප්‍රහාරයක් ගෙනයමින් සිටී. චීනය තනිකිරීමේ හා එය මිලිටරිමය වශයෙන් වැටලීමේ තර්කානුකූල අන්තය පූර්න යුද්ධය යි.

1938 හතරවැනි ජාත්‍යන්තරයේ ආරම්භක ක්‍රියාමාර්ගය තුල ට්‍රොට්ස්කි මෙසේ සඳහන් ක‍ලේ ය: “ධනේශ්වර කැඩී බිඳී යෑමේ වැඩිවන ආතතිය යටතේ අධිරාජ්‍යවාදී එදිරිවාදීකම්, වෙන් වෙන් ගැටුම් හා ලේ වැකි ප්‍රාදේශීය කැලඹීම්වල (ඉතියෝපියාව, ස්පාඤ්ඤය, ඈත පෙරදිග හා මධ්‍යම යුරෝපයේ) උච්ඡ අවස්ථාවේදී, නොවැලැක්විය හැකි ලෝක පරිමාන අග්නි ජාලයක් තුලට ඇද වැටීමේ අවෘත අන්තරයකට මුහුනපා ඇත.”

ඉතියෝපියාව හා ස්පාඤ්ඤය වෙනුවට ඉරාකය හා සිරියාව ආදේශ කල හොත් වසර 76කට පෙර ලියන ලද මෙම වචන අද ලෝක දේශපාලන තත්වය පිලිබඳ සංක්ෂිප්ත සම්පින්ඩනයක් සපය යි. කෙසේ නමුත්, මේ වතාවේ දී අනාගත දැක්ම වන්නේ, මානව ශිෂ්ඨාචාරය අවසාන කල හැකි න්‍යෂ්ටික යුද්ධයකි.

හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, ජූනි 9දා නිකුත් කල “සමාජවාදය හා අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහිව සටන,” නම් ප්‍රකාශයෙහි මෙසේ සඳහන් කලේ ය: “තවත් අධිරාජ්‍යවාදී රුධිරස්නානයක් ශඛ්‍ය වනවා පමනක් නො ව: ජාත්‍යන්තර කම්කරු පන්තිය විප්ලවවාදී මාක්ස්වාදී ක්‍රියාමාර්ගයක පදනම මත මැදිහත් නො වුන හොත්, අනිවාර්ය ද වන්නේය.”

ඉතිහාසයේ පාඩම් උකහා ගත යුතු ය. සමාජවාදී විප්ලවය හැර වෙන කිසි දෙයකට ලෝක යුද්ධය වෙතට වන අධිරාජ්‍යවාදී තල්ලුව නැවත් විය නො හැක. අධිරාජ්‍යවාදී පද්ධතියට හා ධනවාදයට එරෙහිව යොමු කල විප්ලවවාදී ක්‍රියාමාර්ගයකින් මග පෙන්වනු ලබන, කම්කරු පන්තිය මත පදනම් මහජන ව්‍යාපාරයක් ගොඩනැගීම අත්‍යාවශ්‍ය ය.

තවත් ලෝක යුද්ධයක් වැලක්වීමට අත්‍යාවශ්‍ය නායකත්වය සැපයීමට හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව හා එහි ජාතික ශඛාවන් - සමාජවාදී සමානතා පක්ෂ -ගොඩ නැගීමට අපි ලෝකය වටා කම්කරුවන්ට හා තරුනයන්ට ආරාධනා කරමු. සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ලෙස හාජාජාක ගොඩනගනු.

බැරී ග්‍රේ

Share this article: