සෝවියට් සංගමයට එරෙහි නාසි මූලෝත්පාටන යුද්ධය: පලමු කොටස

The Nazi war of annihilation against the Soviet Union: Part one

ක්ලාරා වීස් විසිනි, 2015 ජනවාරි 12

Nazi Policy on the Eastern Front, 1941: Total War, Genocide, and Radicalization නැඟෙනහිර පෙරමුනේ නාසි ප්‍රතිපත්ති, 1941: පූර්න යුද්ධය, සමූලොත්පාටනය හා රැඩිකලීකරනය

පහත පලවන්නේ ඇලෙක්ස් ජේ.කේ, ජෙෆ් රදර්ෆඩ්, හා ඩේවිඩ් ස්ටහෙල් විසින් සංස්කරනය කරන ලදුව රොචෙස්ටර් විශ්වවිද්‍යාල මුද්‍රනාලය මගින් 2012දී ප්‍රකාශයට පත්කරන ලද පිටු 359කින් යුත් නැගෙනහිර පෙරමුනේ නාසි ප්‍රතිපත්තිය: පූර්න යුද්ධය, ජනසංහාරය, හා රැඩිකලීකරනය නම් ග්‍රන්ථය පිලිබඳ කොටස් දෙකකින් යුක්ත විවේචනයක පලමු කොටස යි.

වෙනත් අයුරකින් සඳහන් නො වේ නම් සියළුම උපුටා ගැනීම් මෙම පොතෙනි.

පැරනි සෝවියට් සංගමයේ වාඩිලාගත් ප්‍රදේශවල නාසි ප්‍රතිපත්ති ගැන 2012දී රොචෙස්ටර් විශ්වවිද්‍යාලයීය මුද්‍රනාලය, වැදගත් ග්‍රන්ථයක් ප්‍රකාශයට පත්කලේ ය. ඉතිහාසය මෙතෙක් දුටු ඉතාමත් ම්ලෙච්ඡ යුද්ධය වන සෝවියට් සංගමයට එරෙහිව ජර්මනියේ මූලෝත්පාටන යුද්ධයේ එකිනෙකට වෙනස් පැති පිලිබඳ රචනා දොලසකින් එකී ග්‍රන්ථය සමන්විත වේ. ඉදිරිපත් කෙරෙන තොරතුරු යුක්‍රේනය හා නැගෙනහිර යුරෝපය තුල එත්සත් ජනපද හා ජර්මන් අධිරාජ්‍යවාදය විසින් වර්තමානයේ හඹා යනු ලබන අපරාධකාරී ප්‍රතිපත්තිවල ඓතිහාසික පසුබිම මත එලියක් විහිදුව යි.

පලමු කොටස: “එයින් ආපසු හැරීමක් නැත, රුසියාව ගොවීන්ගේ ජාතියක මට්ටමට පහල දැමීමට නියමිතය, ”

සෝවියට් සංගමයට එරෙහිව නාසි යුද තල්ලුවට මූලික, අන්තර්සම්බන්ධ පැති දෙකක් තිබුනි. පලමුව එය, “බාබරෝසා මෙහෙයුම” ( සෝ.ස. එරෙහිව නාසි ආක්‍රමනයේ කේත නාමය - පරි) සෝවියට් සංගමය විසුරුවා හැරීම, එහි සමූහාන්ඩු තුන්වැනි රයිකයේ යටත් විජිත බවට පහල දැමීම, හා ඔක්තෝබර් විප්ලවයේ සියළු සමාජ හා ආර්ථික ජයග්‍රහන අකුලා දැමීමට යොමුවුනු ප්‍රතිවිප්ලවවාදී යුද්ධයක් විය. ස්ටැලින්වාදී නිලධරයේ පාලනය යටතේ වූ පරිහානිය නො තකා සෝවියට් සංගමය, අඩු වශයෙන් යම් තාක් දුරකට බොහෝ ජයග්‍රහන පවත්වාගෙන ගොස් තිබුන අතර ලෝකය පුරා කම්කරුවන්ට ආශ්වාදයක් ලෙස දිගට ම පැවතුනි.

(ජර්මානු) එස්එස් හමුදාවේ එක් ජ්‍යේෂ්ට නිලධාරියෙකු 1941 සරත් සමයේ පැවසූ ආකාරයට “රුසියාව තුල, සියළු නගර හා ක්‍රෙම්ලිනය ඇතුළු සංස්කෘතිකමය වශයෙන් වැදගත් ස්ථාන බිමට සමතලා කිරීමට නියමිත ය; රුසියාව ගොවීන්ගේ ජාතියක් බවට පිරිහෙලීමට නියමිත අතර එයින් ආපසු හැරීමක් නැත.”(පිටු 108)

දෙවනුව, කෘෂිකාර්මික නිෂ්පාදන පමනක් නොව තෙල් ද (විශේෂයෙන් ම වර්තමානයේ අසර්බයිජානයේ) ඇතුලත් සෝවියට් සංගමයේ අතිවිශාල සම්පත් පාලනය, ලෝක අධිකාරය සඳහා ජර්මනියේ ඉතාමත් වැදගත් තරඟකරුවා වන එක්සත් ජනපදයට එරෙහිව යුද්ධයක් ගෙනයාම සඳහා අත්‍යාවශ්‍ය යැයි සැලකුනි. මාක්ස්වාදී වචනවලින් පැහදිලි නො කෙරුන ද මෙම ගාමක අභිප්‍රායන් ග්‍රන්ථයෙහි සඳහන් වේ. විශේෂයෙන් ම ආහාර ප්‍රතිපත්ති මත අවධානය යොමු කරමින් මෙම රචනා එකී අරමුනු දෙක එකිනෙකට සමබන්ධ කෙරුනේ කෙසේ දැ යි පැහදිලි කර යි.

ජර්මානු ඉතිහාසඥයෙකු වන ඒඩ්‍රියන් වෙට්ස්ටේන් මෙසේ ලිය යි: “සාගිනි මූලෝපාය මූලෝත්පාටන යුද්ධයේ කොටසක් වූ අතර බෙලාරුස් හා උතුරු රුසියාවේ වනාන්තර බද ප්‍රදේශවල සෝවියට් සභාවල මෙන් ම නගරවල මිලියන තිහක් දක්වා සාගින්නේ තැබීම ඉලක්ක කලේය. එහි සාර්ථකත්වය මඟින් මහාද්වීපික යුරෝපයේ වැසියන්ට ආහාර පාන සපයනු ඇත. එසේ නොවුනහොත් ඔවුන්ට එතෙරින් ආනයනය කිරීමට සිදුවනු ඇත. එමඟින් මහාද්වීපික යුරෝපය, එනම් ජර්මනිය වාඩිලා ගත් ප්‍රදේශය,

නාවික බාධකවලින් නිදහස් කර ගෙන, ඒ අනුසාරයෙන් ජර්මානු පාලන වැයික්කි, ඇංග්ලෝ සැක්සන් බලවතුන් සමග එලඹෙමින් තිබෙන ගැටුම සඳහා සූදානම් කරනු ඇත. (පි.62)

නැගෙනහිර මහා සැලැස්ම (“බාබරෝසා මෙහෙයුම” සඳහා පදනම සපයා දුන් මිලිටරි මූලෝපාය) බලාපොරොත්තු වූයේ බටහිර හා වයඹ දිග රුසියාවේ මිලියන 30ක පුද්ගලයන් කුසගින්නේ තැබීමට අරමුනු කලේය. මෙම ප්‍රතිපත්තිය ජර්මනියේ යුද ව්‍යායාමය සඳහා ආහාර සැපයුම සහතික කලා පමනක් නොව, නාසි අධිරාජ්‍යයේ ව්‍යාප්තිය සඳහා “ජීවත්වීමේ ඉඩකඩ ” නිර්මානය කරනු ඇතැයි ද බලාපෙරොත්තු විය.

1941 නැගෙනහිර පෙරමුනට ජර්මානු හමුදා ඇතුලුවීම

නැගෙනහිර මහා සැලැස්ම පිලිබඳ විස්තීරන අධ්‍යයනයක් කල අයෙකු වන ඇලෙක්ස් ජේ.කේ ගේ රචනාව, නාසි ප්‍රතිපත්තිය මූලිකව ම සෝවියට් කම්කරු පන්තියට එරෙහිව යොමු කල බව පෙන්නුම් කරන වැදගත් තොරතුරු සපය යි. ඔහු මෙසේ සඳහන් කර යි: “අහඹුවක් හෝ නො වේවා, මිලියන තිහක ජනසංඛ්‍යාව යනු, විෂේෂිතවම නාගරික ජනගහනය, 1914 පලමුවැනි ලෝක යුද්ධයේ ආරම්භය හා 1939 දෙවැනි ලෝක යුද්ධයේ ආරම්භය අතර වර්ධනය වී තිබූ සෝවියට් ජන සංඛ්‍යාව යි. මැයි 23වැනිදා ආර්ථික ප්‍රතිපත්ති උපදෙස්වලට අනුව ‘විශේෂයෙන් ම නාගරික ජනගහනය, භයංකර සාගින්නට මුහුන දෙන්නට ඇත’.” (පි.112)

මෙම මූලෝපාය තුල යුක්‍රේනය ප්‍රමුඛ ස්ථානයක් ගත්තේ ය. බාබරෝසා මෙහෙයුමේ එක් ප්‍රධාන සැලැසුම්කරුවෙකු වන ආහාර හා කෘෂිකර්මාන්තය පිලිබඳ ජර්මානු ඇමති හර්බට් බැකේ, යුක්‍රේනය සෝවියට් සංගමයේ අනෙකුත් සමූහාන්ඩුවලට, සියල්ලට ම වඩා රුසියානු සෝවියට් සමූහාන්ඩුවට, (බොහෝ කොටම අද රුසියානු ෆෙඩරේෂනයට අයත් ප්‍රදේශවලින් සමන්විතභූමි භාගයට) ධාන්‍ය අපනයනය කල හෙයින් එය “අතිරික්ත කලාපයක්” ලෙස නම් කරන ලදී.

හර්බට් බැකේ [© Bundesarchiv]

1941 ගිම්හානයේ දී ජර්මානු ඒකාබද්ධ හමුදාව විසින් වාඩිලාගත් යුක්‍රේනය, එතැන් පටන් තනිකර ම තුන්වැනි රයිකයේ අවශ්‍යතා වෙනුවෙන් නිපදවිය යුතු වූ අතර සෝවියට් සංගමයේ සෙසු ප්‍රදේශවලින් වෙන් කර මිලියන ගනනක් ජනතාවට අවශ්‍ය ධාන්‍ය සැපයුම අත්හිටුවන ලදී. ප්‍රධාන ගල්අඟුරු මූලාශ්‍රයක් ( ඩොනෙට්ස් ද්‍රෝනියේ) හා මූලෝපායික සම්පතක් ද අතිශයින් කාර්මිකකරනය වූ කලාපයක් ලෙස හා කලු මුහුදු කලාපයට පාලමක් ලෙස ද යුක්‍රේනය සලකනු ලදී.

ග්‍රන්ථය තුල ජෙෆ් රදර්ෆඩ්ගේ ප්‍රතිපදානය යොමුවන්නේ, 1941 සරත් කාලයේ සිට 1944 මුල දක් වා දින 900ක් ජර්මානුවන් විසින් වට කරන ලද ලෙනින්ග්‍රෑඩයට සමීප නඟරයක් වූ පව්ලොව්සක් හි සාගතය වෙතට ය. යුක්‍රේන ධාන්‍ය සැපයුමෙන් වෙන් කරන ලද හා අවට රටවලින් ආහාර සපයා ගැනීමට නො හැකි වූ නගරයේ ජනතාව ඉක්මනින් ම විනාසකාරී සාගතයකට මුහුන දුන්හ.

වාඩිලාගත් නගරයේ සොල්දාදුවෝ තනි තනිව සාගින්නේ සිටි ජනයාට උදව් කිරීමට උත්සාහ ගත්හ. කේසේ වුවත්, ප්‍රතිපත්තියේ මොනයම් හෝ මෘදුවීමකට හමුදා නායකත්වය තදින් ම විරුද්ධ වූහ.

ජෙනරාල් ෆීල්ඩ් මාර්ෂල් වෝල්තර් වොන් රීකනෝ 1941 ඔක්තෝබර් 10 දාතමින් යුතු ආඥාවකින් එය අවධාරනය කලේ ය, “මාතෘභූමිය (හෙයිමාට්) සුරක්ෂිත කර ඇත්තේ කුමන ආකාරයට ද යත්, දැඩි දුෂ්කරතා නො තකා හමුදාව ජයගෙන ඇති දේ හමුදාව විසින්ම හතුරන්ට ආපසු නො දිය යුතු ය, යුද්ධයේ දී කොල්ල කෑමෙන් ඒවා ලබාගත්තේ වුව ද මෙය අපගේ සැපයුමේ අත්‍යාවශ්‍ය කොටසකි.” (පි.33)

1941 අවසානය වන විට රතු හමුදාවේ ප්‍රතිරෝධය වර්ධනය හමුවේ, ජර්මානු ඒකාබද්ධ හමුදා තවදුරටත් නව භූමි භාගයන් කරා ඉදිරියට යාමට අසමත් වීම සමග, පව්ලෝව්ස් වැනි වාඩිලා ගත් නගරවල මහජනයාගෙන් ආහාර ද්‍රව්‍ය කොල්ලකෑම වඩ වඩාත් ම්ලේච්ච විය.

ජර්මානු වාඩිලා ගැනීම අතරතුර දී, නගරයේ 11,000ක් වූ වැසියන්ගෙන් (1939 සංගනනය) 6,000ක් හාමතේ මියයාමට අතහැර දමන ලදී. පව්ලෝව්ස් හි ඉරනම “ජර්මානු වාඩිලා ගැනීම කැටුව පැමිනි පොදු කාලකන්නි කමේ ලක්ෂනයක්” වී යැයි රදෆඩ් සටහන් කර යි. (116 පිටුව)

සිවිල් වැසියන් මිලියන ගනනාවකට අමතර ව අල්ලා ගන්නා ලද මිලියන 5.7න් සෝවියට් යුද සිරකරුවන් මිලියන 3.3ක් අත්අඩංගුවේ දී මියගියේ බොහෝ කොට ම සාගතය නිසාවෙනි. එම මිලියන 3.3න් මිලියන 2ක් මිය ගියේ යුද්ධයේ පලමු මාස හතේ දී ය, එනම් 1942 පෙබරවාරි මාසය පටන් ගැනීමට පෙර ය.

සෝවියට් නගර ක්‍රමානුකූලව විනාස කිරීම, සාගිනි ප්‍රතිපත්තියට ගැට ගසන ලදී. සෝවියට් සංගමයට පහර දීමත් සමග දෙවැනි ලෝක යුද්ධයේ නාගරික යුද්ධය නව පරිමාවන් අත් කර ගත්තේ ය. බටහිර යුරෝපය තුල නාසි හමුදා වටලෑමකට හසුවූ එකම නගරය (ඕලන්දයේ) රොටඩෑම් (1940 මැයි) ය. නැගෙනහිර යුරෝපයේ දී නාගරික යුද්ධය හා නගර වටලෑම ― සාමාන්‍යයෙන් ඉලක්ක කෙරුනේ, අඩු වසයෙන් යම් තාක් දුරකට ජනයා සාගින්නේ තැබීමට ය― යුද්ධයේ නොවෙන්කල හැකි කොටස් විය.

නාසි යුද්ධයට මුහුන දුන් පලමු නැගෙනහිර නගරය වොර්සෝව (පෝලන්තයේ) වූ අතර, 1939 සැප්තැම්බර් පලමුවැනිදා එය ආක්‍රමනයෙන් පසුව, වමාක් හමුදා (නාසි ඒකාබද්ධ හමුදාව) නො සිතූ විරූ ප්‍රතිරෝධයකට මුහුන දුන්හ. වෝර්සෝ හා රොටඩෑම් වටලෑම් සමඟ සංසන්දනය කිරීමේ දී පවා, සෝවියට් සංගමය තුල නාගරික යුද්ධය විශේෂයෙන් ම ප්‍රචන්ඩ විය. මෙහි දී නොතකා හැරිය හැකි ආඥා නො වුනි, අඩු තරමින් යම් දුරකට සිවිල් වැසියන්ට එරෙහිව කෘර ම්ලේච්ඡත්වය පවා අතහැර දැමිය නො හැකි විය.

ඩ්නීප්‍රොපෙට්‍රෝව්ස්ක් සටන ගැන අවධානය යොමු කරන ඉතිහාසඥ ඒඩ්‍රියන් වෙට්ස්ටේන්ගේ රචනය මේ සම්බන්ධයෙන් වැදගත් ය. මේ දක්වා හරි හැටි අධ්‍යයනයක් කෙරී නැති නමුත්, ඩ්නීප්‍රොපෙට්‍රෝව්ස්ක් සටන නැගෙනහිර යුද්ධයේ වැදගත් සන්ධිස්ථානයක් විය.

1939දී 500,000ක ජනසංඛ්‍යාවක් (1920 ගන්වල 100,000ට වඩා වැඩි ) සමග නගරය වැදගත් පොදුකාර්යමය හා මූලෝපායත්මක කේන්ද්‍රයක් විය. රතු හමුදාවේ ප්‍රතිරෝධය මැඩීමට හා නගරය ජය ගැනීමට වමාක් හමුදාවන්ට බලාපොරොත්තු වූවාට වැඩි කලක් ගත විය.

ජර්මානු ඉදිරි ගමන ප්‍රමාද වුනු මාසය අතරතුර දී, රතු හමුදාව බලමුළු ගැන්වීමට හා සෝවියට් සංගමයේ ආරක්ෂාව සඳහා ආර්ථික සම්පත් පෙල ගස්වා ගැනීමට වැදගත් පියවර ගන්නා ලදී. එසේ නමුත්, ඩ්නීප්‍රොපෙට්‍රෝව්ස්ක් නගරය මුළුමනින් ම විනාස කරන ලදී. වෙට්ස්ටේන් සඳහන් කරන ආකාරයට එය මුහුන දුන්නේ, “සමස්ත බාබරෝසා මෙහෙයුම තුල සිදුවූ ප්‍රබල ම කාලතුවක්කු පෙරමුනකට ය.”

(යුක්‍රේනයේ) කියෙව් හි බටහිර පිටුබලය ඇතිව අටවන ලද තන්ත්‍රය විසින් නගරයේ සිදුකරන ලද වර්තමාන වැටලීමට සම්බන්ධ සාපරාධී ඓතිහාසික පසුබිමවෙත මෙ මඟින් එබී බැලීමේ හැකියාව ලබාදෙයි. දෙවැනි ලෝක යුද්ධයේ අවසානයට පසු පලමු වතාවට, 2014 සරත් ඍතුවේ දී, යුක්‍රේනියානු ෆැසිස්ට් හමුදා විසින් නායකත්වය දෙන ලද හා බටහිර අධිරාජ්‍යවාදීන් විසින් සහාය දෙන ලද යුක්‍රේනියානු හමුදාවේ දැවන්ත කාලතුවක්කු ප්‍රහාර වලට නගරයේ කම්කරුවෝ මුහුන දුන්හ.

ආරම්භයේ සිට අවසානය දක්වාම සාපරාධී යුද්ධයක්

බාබරෝසා මෙහෙයුම සඳහා සූදානම්වීම කෙරෙහි ග්‍රන්ථයේ රචනා කීපයක් ම අවධානය යොමු කර ඇත. ඉතාමත් වැදගත් කරනු වලින් සමහරක් පමනක් ඉදිරිපත් කරන නමුත් එම රචකයින්, සෝවියට් සංගමය තුල නාසි ප්‍රචන්ඩත්වය, රුසියානු විප්ලවයේ ප්‍රචන්ඩත්වයට හුදු “ප්‍රතිචාරයක්” ලෙස පින්තාරු කිරීමට උත්සාහ දරන සංශෝධනවාදී න්‍යායන් පැහැදිලිවම ප්‍රතික්ෂේප කර ඇත.

ජර්මානු ඉතිහාසඥ අරන්ස්ට් නෝල්ටේ 1980 ගනන්වල වඩාත් මූලිකව තර්ක කලේ, නාසීන්ගේ අපරාධ, විශේෂයෙන් ම අවුෂ්විට්ස්හි අපරාධ සිදුවුනේ, රුසියානු විප්ලවය මගින් අවුළුවන ලද “මූලෝත්පාටන ක්‍රියාවලිය කෙරේ දැක්වූ බියකරු ප්‍රතිචාරයක්” ලෙස බව යි. “තුන්වැනි රයිකය යක්ෂාවේශ කිරීම පිලිගත නො හැකි” යයි නෝල්ටේ අවධාරනය කලේ ය.(1) ( කියවන්න: හිට්ලර් පුනස්ථාපනය කිරීමේ උත්සාහයක්)

වඩාත් මෑත දී, මහාචාර්ය ජෝග් බාබරොව්ස්කි ඩර් ස්පීගල් නම් ජර්මානු සඟරාව තුල තර්ක කලේ, ස්ටැලින් මෙන් නොව “හිට්ලර් දුෂ්ටයෙක් නො වීය” එමෙන් ම “ඓතිහාසිකව සලකා බලන්නේ නම් ඔහු (නෝල්ටේ) නිවැරදි” බවට ය.

සැබවින් ම, බාබරෝසා මෙහෙයුම ආරම්භයේ පටන් ම නැඹුරුවී තිබුනේ, සෝවියට් සංගමයේ ජනතාව සීමාවකින් තොරව කොල්ලකෑමේ හා යටත් කිරීමේ යුද්ධයක් වෙත ය. ජාත්‍යන්තර හා මිලිටරි නීතියේ සියළුම මූලික මූලධර්ම නො සලකා හරින ලදී.

ඝාතනය කරන ලද සෝවියට් සිවිල් වැසියන්ගේ මෘතශරීර [© Yad Vashem Photo Archive]

සිය ප්‍රතිපදානයන් තුල ජර්මානු ඉතිහාසඥ ෆීලික්ස් රෝමර්, සෝවියට් සංගමයට එරෙහි ප්‍රහාරය ආසන්නයේ නැගෙනහිර හමුදාවට හිට්ලර් නිකුත් කල සාපරාධී ආඥා කෙරෙහි අවධානය යොමු කර යි. ඉන් වඩාත් කුප්‍රකට වූයේ, “කොමිසාර් නියෝගය”යි. “(බෝල්ෂෙවික්වාදය‍ට එරෙහිව) මෙම සටනේ දී එවැනි කන්ඩායම් කෙරෙහි අනුකම්පාව පෙන්වීම හෝ ජාත්‍යන්තර නීතියට ගරු කිරීම වැරැද්දක් වනු ඇත...ම්ලේච්ඡ, ආසියාතික සටන් ක්‍රමවේද වලට මුලපුරනු ලබන්නේ දේශපාලන කොමිසාර්ලා විසිනි... ඒ නිසා, සටනේ දී හෝ විරෝධය පෑමේ දී ඔවුන් අල්ලා ගත් විට, ආයුධයකින් ඔවුන් එලොව යැවිය යුතු ය”(2)

පශ්චාත් යුද ජර්මනිය තුල, වේමාක්ට් හමුදාවට මෙම නියෝග කවර දා හෝ නිකුත් කර තිබුනි යන්න පවා තදින් ම ප්‍රතික්ෂේප කෙරුනි. ක්‍රියාත්මක කල බවක් කෙසේ පිලිගනී ද?මෙම තත්වය වෙනස් වූයේ 1970 හා 1980 ගනන්වල දී පමනී.

තවමත්, එවැනි අපරාධ තුල වේමාක්ට් සම්බන්ධයේ පරිමාව අධ්‍යයනය කෙරී නැත. නැතහොත් ලඝු කොට දැක්වුනි. (බලන්න: “හිට්ලර්ගේ වේමාක්ට් අපරාධ පිලිබඳ ජර්මනිය තුල විවාද“) ෆීලීක්ස් රෝමර් වේමාක්ට් හමුදා හිට්ලර්ගේ අපරාධකාරී නියෝග පිලිපැදීම පිලිබඳව පලමු විස්තරාත්මක අධ්‍යයනය කලේ ය. ඔහු පහත සඳහන් ප්‍රබල නිගමන වලට එලඹ ඇත:

“නැගෙනහිර පෙරමුනේ සටන් කල ආසන්න වසයෙන් සියළු ම ක්‍රියාන්විතයන්හි, කොමිසාර් ආඥාවට භක්තිමත් වීම පිලිබඳව සාක්ෂි තිබේ...නීතියක් වසයෙන්, බාහිර පූර්වවශ්‍යතා ඉටු කෙරුනේ නම් හා ඒකක සැබවින් ම කොමිසාර් ආඥාව (ක්‍රියාවේ) යෙදවීමට හැකි තත්වයක සිටියේ නම්, ඔවුහු එය කිරීමට තීරනය කලහ. (පිටු 88,91)

1941 නොවැම්බරයේ ජර්මානු මූලස්ථානයට පහර දීමට පලිගැනීමට යුක්රේන් සහ කරාකව්හි සිවිල් වැසියන් එල්ලා මරනු ලැබීය [© Yad Vashem Photo Archive]

වේමාක්ට් ඝාතනයන්ට ගොදුරු වුනු කොමිසාර්වරුන්ගේ මුළු සංඛ්‍යාව නිශ්චය කිරීම අසීරු ය. රෝමර් 4,000ක පමන අවම සංඛ්‍යාවක් දක්වන අතර “ගොදුරුවූවන්ගේ නියම සංඛ්‍යාව කෙසේ නමුත් වඩා ඉහල වනු ඇත(...).” යනුවෙන් සඳහන් කරයි. (පිටු.88)

අවසානයේ දී, 1942 ජූනි මාසයේ දී කොමිසාර් ආඥාව අවලංගු කරන ලදී. ආඥාව ඒවන විටත් ගොඩනැඟී තිබුනු රතු හමුදාවේ දැවන්ත ප්‍රතිරෝධය හා එමඟින් ජර්මානු මරන සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහල ගියේය යන කරුන කෙරෙහි නාසි ජනරාල්වරු උත්සුක වූහ.

රෝමර් විසින් විශ්ලේෂනය කරන ලද අනෙක් අපරාධකාරී ආඥාව වන්නේ, 1941 මැයි 31වැනි දින නිකුත් කෙරුනු මාෂල් අධිකරන ආඥාව යි. මේ අනුව සිවිල් මහජනතාවට එරෙහිව වේමාක්ට් විසින් කරන ලද අපරාධ මිලිටරි අධිකරනයේ බලයට යටත් නොවන්නේය යන්න ස්ථාපිත කරන ලදී. වෙනත් වචන වලින් පවසතොත් , සෝවියට් සිවිල් වැසියන් ප්‍රහාරයේ ගොදුරු වන බව ප්‍රකාශ කරන ලදී. “සෝවියට් වැසියන් සහ සැබෑ හා විරුද්ධවාදීන් යයි චෝදනා ලද අය මරාදැමීම පිලිබඳ වාර්තාගත සාක්ෂි වලින් තොර සේනාංකයක්, බලකායක් හෝ හමුදාවක් නැති තරම්” යැයි රෝමර් ප්‍රකාශ කර යි. (84)

සෝවියට් සිවිල් වැසියන් අතර සමස්ත මරන සංඛ්‍යාව මේ දක්වා නිශ්චිතව තහවරු කර නැති නමුත් සාමාන්‍යයෙන් පවසන්නේ යුද්ධයේදී සෝවියට් සංගමය තුල මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව වන මිලියන 27න් මිලියන 18ක් පමන වූ බව යි.

මතු සම්බන්ධ යි

**

(1) අර්නස්ට් නෝල්ටේ, Original Documents of the Historikerstreit, the controversy concerning the singularity of the Holocaust,“ඓතිහාසික පුරාවෘත්ත හා ප්‍රතිසංස්කරනවාදය අතර? 1980 පෙරදැක්ම තුල තුන්වැනි රයිකය,” හිට්ලර්ගේ සෙවනැල්ල තුල සදාකාලිකව, හියුමැනිටීස් ප්‍රෙස් 1993, 14,15 පිටු.

(2) යිට්ෂික් අරාද්, යිස්රායෙල් ගුට්මාන්, ඒබ්‍රහම් මාගලියොට් (සංස්කාරකයෝ): Documents on the Holocaust: Selected Sources on the Destruction of the Jews of Germany and Austria, Poland, and the Soviet Unionහොලෝකෝස්ටය ගැන වාර්තා: ජර්මනියේ හා ඔස්ට්‍රියාවේ, පෝලන්තයේ හා සෝවියට් සංගමයේ යුදෙව්වන් විනාස කිරීම පිලිබඳ තෝරා ගැනුනු මූලාශ්‍ර, ජෙරුසෙලම්/ඔක්ස්ෆර්ඩ් 1981, පි.376.

Share this article: