යේමනයට එරෙහි යුද්ධයට සම්බන්ධ වන ලෙසට සවුදි අරාබිය කරන බලපෑම් හමුවේ පකිස්ථානයේ දේශපාලන අර්බුදයක්

Political crisis in Pakistan as Saudi Arabia demands it join war against Yemen

සම්පත් පෙරේරා විසිනි , 2014 අප්‍රේල් 06

යේමනයට එරෙහි යුද්ධයට සහභාගි වන ලෙසට සවුදි අරාබිය සිය දිගු කාලීන සහචරයා වන පකිස්ථානයට යොදන පීඩනය මැද එරට දේශපාලන අර්බුදයක් ඇතිව තිබේ.

පකිස්ථානය තම යුද හවුලේ කොටස්කරුවෙකු බව රියාද් පාලනය ප‍්‍රකාශ කර සති දෙකකට ආසන්න කාලය තුල, ගල්ෆ් කලාපයේ සුන්නි රාජාන්ඩු සහ සිය අසල්වැසි ඉරානය අතර සබඳකම් තුලනය කිරීමේ උත්සාහයන් මැද, ඉස්ලාමාබාදය රාජ්‍යතාන්ත‍්‍රික කුනාටුවකට මැදි වී ඇත. එසේම, රට තුල පවතින නිකායික ආතතීන් තව දුරටත් පැතිරීමට ඇති හැකියාව ගැන පකිස්ථානයේ දේශපාලන සහ මිලිටරි සංස්ථාපිතයන් බියට පත්ව සිටී.

ඉරාන සහයෝගය ඇතුව, හිටපු ඒකාධිපති පාලක අලි අබ්දුල්ලා සලේහ් ට පක්ෂපාති හවුති කැරලිකරුවන් ඉලක්ක කරමින්, සෞදි ගුවන් හමුදාව සහ සහය හමුදා එල්ල කරන ගුවන් ප‍්‍රහාර හමුවේ, දෛනිකව යේමනයේ නගර විනාශයට පත්වන අතර සිවිල් වැසියන් දුසිම් ගනනින් ඝාතනය කෙරේ.

වොෂින්ටනයේ සම්පුර්න සහය ඇතුව ගෙන යන නීති විරෝධී යුද්ධය නවත්වන ලෙසට කෙරෙන ඉල්ලීම් නොතකා හරින රියාද් පාලනය; හවුතී කැරලිකරුවන්ට පිටුබලය සපයන සහ කලාපීය බලවතෙක් වන ඉරානයට ද ප‍්‍රහාරයක් එල්ල කිරීමේ අරමුන ඇතිව, ගොඩ බිම් ආක‍්‍රමනයට සැරසෙමින්, රටවල් ගනනාවක් ඇතුලත් යුද පෙරමුනක් සුදානම් කරමින් සිටි.

මේ වන විටත් යුද්ධය, මුලු මහත් මැද පෙරදිග කලාපයේම ෂියා සහ සුන්නි රටවල් අතර ද නොයෙක් මිලිෂියා හමුදා අතර ද නිකායික ගැටුම් උග‍්‍ර කර ඇත. දශක ගනනාවක් තිස්සේ එක්සත් ජනපදයේ අධිරාජ්‍යවාදී මැදිහත්වීම් සහ යුද්ධ හමුවේ, ගැඹුරු නිකායික බෙදීම් වලින් පීඩා විඳින පකිස්ථානය හට මෙම තත්වය වඩාත් කනස්සල්ල දනවන හේතුවක් වී තිබේ.

පකිස්ථානයේ බහුතරයක් සුන්නි වුව ද ජනගහනයෙන් සීයයට 20ක් වන, මිලියන 40ක ෂියා සුලුතරයක් ද වෙයි. සෝවියට් සංගමයට එරෙහිව, සීඅයිඒ සංවිධානයේ පිටුබලයද සහිතව පැන නැගුනු මුලධර්මවාදී සුන්නි මිලිශියා හමුදා, පසු ගිය අවුරුදු කීපය තුල ෂියා සහ අනෙකුත් සුලු ජාතීන් විශාල සංඛ්‍යාවක් මරා දමා ඇත.

යේමනයට එරෙහි යුද්ධයට පකිස්ථානය එක් වී ඇතැයි කියා සිටි සවුදි පුවත් වාර්තාවලට පලමුවෙන් ඉස්ලාමාබාදය ප‍්‍රතිචාර දැක්වූයේ ව්‍යාකුල සහ එකිනෙකට විරෝධී ප‍්‍රකාශන මගිනි. සවුදි අරාබියට සහය පල කල ද යුද මෙහෙයුමට ඍජුවම සහභාගිවන බව ප‍්‍රසිද්ධියේ කියා සිටීමෙන් වැලකී සිටියේ ය.

ගුවන් ප‍්‍රහාර පටන් ගත් දිනයේ, අගමැති නවාස් ශරීෆ් කියා සිටියේ, “සවුදි අරාබියේ භෞමික අඛන්ඩතාවයට එල්ල වෙන ඕනෑම තර්ජනයකට එරෙහිව පකිස්ථානය දැඩි ප‍්‍රතිචාර” දක්වන බව ය. එසේ වූව ද “මෙම යුද්ධයට සහභාගිවීමට කිසිදු තීරනයක් ගෙන නොමැති” බව ඉන් පසු දවසේ පාර්ලිමේන්තුව වෙත ආන්ඩුව දැනුම් දුන්නේය.

ඉන් දවසකට පසුව, සවුදි අරාබියේ සල්මන් බින් අබ්දුලාසි අල් සවුද් රජු හට අගමති ශරිෆ් දුරකථන ඇමතුමකින් “පකිස්ථාන හමුදාවේ උපරිම සහයෝගය” පිරිනැමුවේ ය.

සඳුදා දිනය වන විට, ආරක්ෂක ඇමති ඛවාජා ආසිෆ් ජාතික ආරක්ෂක උපදේශක සර්තාජ් ආසිස් සහ හමුදාවේ නිල ලත් ජෙනරාල්වරුන් කීප දෙනෙකු ඇතුලත් නියෝජිත කමිටුවක් “තත්වය තක්සේරු කිරීම” සඳහා රියාද් නුවර වෙත යවා තිබින. ඔවුන්ගේ පැමිනීමෙන් පසුව තුර්කි අගමැත අහමට් දවුතොග්ලූ සහ ජනපති රෙසේප් තායිප් අඩොගන් හමුවීමට අගමැති ශරීෆ් අන්කරා නුවර වෙත ගියේය.

“යේමනයේ නීත්‍යානුකුල ආන්ඩුව රාජ්‍ය නොවන පිරිස් විසින් බලයෙන් පෙරලා දැමීම ගැන අවධානයෙන් සිටින බව, දවුතොග්ලූ ද සහභාගී වූ මාධ්‍ය සාකච්චාවකදී අගමැති ශරිෆ් කියා සිටියේ ය.” සවුදි අරාබියේ ස්වෛරීභාවය සහ භෞමිය අඛන්ඩතාවය” ආරක්ෂා කිරීමට පකිස්ථානය කැප වී සිටින බව ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කලේය.

කෙසේ වූවද සවුදි අරාබියට යේමනයෙන් තර්ජනයක් ඇති වී නැත. ශරීෆ් ගේ ප‍්‍රකාශයේ සැබෑ අරමුන වුයේ සවුදි අරාබියේ පාලක පන්තීන් පිනවීම සහ මීට පෙර වගේම ඉදිරියේදී ද ඉස්ලාමාබාදය විසින් සවුදි අරබියාවට සපයනු ලබන මිලිටරි සහයෝගය යුක්තිසහගත කිරීම ය. ශරීෆ් තව දුරටත් කියා සිටියේ පකිස්ථානය “යේමනයේ අර්බුදයට සාමකාමී විසඳුමක්” ඇති කරගැනීමට ලෑස්ති බවය.

මේ අතර කි.මි. 700ක් පමන දේශ සීමාවක් ඇති සහ ඇෆ්ගනිස්ථානයේද සැලකිය යුතු බලපෑමක් ඇති ටෙහෙරාන් නුවරින් දැක්වෙන ප‍්‍රතිචාරය පකිස්ථානය තවත් අස්ථාවර කිරීමට ඇති හැකියාව ගැන දේශපාලන සංස්ථාපිතය බියට පත්ව සිටියි. යුද්ධයට පකිස්ථානය සම්බන්ද වී ඇතැයි කියන වාර්තා සම්බන්දයෙන් සිය අවධානය යොමුවී ඇති බව දැනුම් දීම සඳහා ඉරාන නිලධාරීන් පකිස්තානු තානාපති නුර් මොහොමඞ් ජද්මානි හමුවුනි. ඔවුන් “මැදිහත් නොවීමේ ප‍්‍රතිපත්තිය පිලිබඳව” අවධාරනය කර ඇත. ඉස්ලමාබාදය සමග ඇතිව තිබෙන ගැටලු ගැන සාකච්ඡාවක් ඔවුහු ඉල්ලා සිටියහ. මෙම අඟහරුවාදා ඉරානයේ විදේශ ඇමති ජාවඩ් සාරිස් පකිස්ථානයට පැමිනීමට නියමිත ය.

අගමැති ශරීෆ් විසින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර මන්ඩල දෙකේ ඒකාබද්ධ රැස්වීමක් යෝජනා කිරීමට පාලක පන්තිය තුල ඇති අවධානය නිවේදනය කලේය. ප‍්‍රධාන විපක්ෂය වන පකිස්තානු ජනතා පක්ෂයේ සම සභාපති සහ හිටපු ජනාධිපති ආසිෆ් අල් සර්දාරි “හවුති කැරලිකරුවන්ගෙන් සවුදි අරාබිය සහ යේමනය අරක්ෂා කර ගැනීම ජාත්‍යන්තර ප‍්‍රජාවේ සාමූහික වගකීම යයි” කියමින් තම සහය රජයට පිරිනැමුවේ ය.

ප‍්‍රසිද්ධියේ සිය “මැදිහත් නොවීමේ” පිලිවෙත ප‍්‍රකාශ කල ද අනාවරනය වන පොදු එකඟත්වය පෙන්නුම් කරන්නේ, පකිස්ථානය ඉදිරියේදී යුද්ධය තුල සිය භූමිකාව වඩා පුලුල් කරන බව ය. යුද්ධය මුල්කරගෙන ඇවිල යා හැකි නිකායික ආතතීන් වැලක්වීමට ද දේශපාලන සංස්ථාපිතයට උවමනා වී තිබේ. “සිරියාව, යේමනය සහ ඉරාකය තුල බෙදුම්වාදය ඇවිලෙමින් පවතී: එය සමනය කල යුතු ය. අර්බුදයේ මුල් පකිස්ථානයේත් පවතින තතු තුල අපට එය උත්සන්න කිරීමට අවශ්‍ය නැතැයි” ආරක්ෂක අමාත්‍ය ඛවාජා ආසිෆ් අවදානම් තත්වය පිලිබඳව පාර්ලිමේන්තුවට පැවසී ය.

“සවුදි අරාබිය සමග පවතින මුලෝපායික සම්බන්දතාවයත්, ඉරානය සමග පවතින භූගෝලීය සමීපත්වයත් සැලකිල්ලට ගෙන පකිස්ථානය, සවුදිය හෝ ඉරානය යන එක් පාර්ශවයකටවත් සහය නොදිය යුතු යයි” මාර්තු 27දා ඩොව්න් ඉංගී‍්‍රසි පුවත්පතේ කතුවැකියක්, රට මුහුන දී ඇති උභතෝකෝටික ප‍්‍රශ්නය තව දුරටත් ප‍්‍රකාශ කලේය. “සවුදිය සමග පකිස්ථානයේ මූලෝපායික සම්බන්ධතා හා ඉරානය සමග සමීප භූගෝලීය බැඳීම් එහිදී සැලකිල්ලට ගත යුතුය.”

2014 පෙබරවාරි මාසයේ එවකට හිටපු ආරක්ෂක අමාත්‍ය සල්මන් කුමරුගේ දුර්ලබ දින තුනක පකිස්තාන චාරිකාවේ ප‍්‍රතිපලයක් වශයෙන් ඉස්ලාමාබාදය සිරියාවට සම්බන්ද තම ආස්ථානය වෙනස් කලේ ය. සිය “මැදිහත් නොවීමේ” පිලිවෙත ඉවත දමා, සම්පූර්න විධායක බල තල අන්තර්වාර ආන්ඩුවක්” - නැතිනම් ජනාධිපති බශාර් අල් අසාද් බලයෙන් පහ කිරීම වෙනුවෙන් පකිස්ථානය පෙනී සිටියේය. ඊට හිලව් වශයෙන් පකිස්ථානයේ අර්බුදකාරී ආර්ථිකයට, ඩොලර් බිලියන 1.5ක ආධාර දීමට සවුදි අරාබිය එකඟ වී ඇති බව මින් සති කීපයකට පසු අනවරනය වුනේය.

එක්සත් ජනපදයේ බ්රූකින්ග්ස් ආයතනයට අනුව, “1960 සිට අරාබි කලාපයෙන් පිටත අන් කිසිදු රටකට වඩා සවුදි අරාබියාවෙන් පකිස්ථානයට ආධාර ලැබී ඇත”. මීට අමතරව සවුදි අරාබියාවේ රැකියා කරන පකිස්ථානුවන්ගෙන් ලැබෙන මුදල්, එරටට විදේශ විනිමය ගෙනෙන ප‍්‍රධාන මුලාශ‍්‍රයක් ය. ගිය මාසයේ පමනක් එම මුදල ඩොලර් මිලියන් 453ක් විය. අල් ජසීරා පුවත් සේවයට අනුව එය, “මිලියන 1.5කට වැඩි අනන්ත දුක් පීඩා වලට මුහුන දෙන සංක‍්‍රමනික කම්කරුවන්ගේ” මුදල් ය.

සවුදි අරාබිය සහ පකිස්ථානය අතර වොෂින්ටනයේ අනුබලය සහිත ඉතා සමීප මිලිටරිමය සම්බන්දතාවයක් පවතී. 1960 ගනන්වල සිට සවුදියේ ප‍්‍රතිගාමී රාජාන්ඩුවට අත්‍යවශ්‍ය ආරක්ෂාව සපයමින් පකිස්තානු හමුදා ස්ථානගත කර ඇත. 1980 දී, එක්සත් ජනපදයේ පිටුබලය ලත් ඒකාධිපති සියා උල් හක් ගේ පකිස්ථානය “ඉස්ලාමිකරනය” කිරීමේ පිලිවෙත සහ එක්සත් ජනපදයේ මූලෝපායික අරමුනු සඳහා ගෙන ගිය ඇෆ්ගනිස්ථානයේ යුද්ධයටත් ආධාර කල සවුදි අරාබිය, පකිස්ථානයත් සමග දිගු කාලයක් පවතින සමීප සම්බන්දතාවයක් ගොඩනගා ගත්තේ ය.

පකිස්ථානයේ න්‍යෂ්ටික ව්‍යාපෘතියට සියයට 60ක් දක්වා ආධාර ලැබී ඇත්තේ රියාද් වෙතින් බව පැවසේ. මෑතකදී පලවූ එක්සත් ජනපද හා බි‍්‍රතාන්‍ය වාර්තා වලට අනුව, මෙය සිදු වුනේ සවුදි අරාබියට අවශ්‍ය වූ මොහොතක, විශේෂයෙන්ම ඉරානය විසින් න්‍යෂ්ටික අවි නිපදවූ විට, ඊට විරුද්ධව පකිස්ථානයේ න්‍යෂ්ටික අවි තමන්ට සිතු පරිදි පාවිච්චි කිරීමේ අරමුනෙන් ය.

උතුරු-බටහිර කලාපයේ ෆෙඩරල් පරිපාලනයක් යටතේ ඇති ගෝති‍්‍රක ප‍්‍රදේශවල, වොෂින්ටනයේ අධාර අනුබල සහිතව දැනටමත් ඉස්ලාමීය මූලධර්මවාදී හමුදාවන්ට එරෙහිව ගෙන යන යුද්ධයක් අතරතුර, යේමානු යුද්ධයට දිය හැකි මිලිටරිමය සහය ගැන පකිස්ථානය ප‍්‍රායෝගික ගැටලු වලට මුහුන දෙයි. තම ප‍්‍රධාන ප‍්‍රතිවාදියා වන ඉන්දියාවේ දේශ සීමාවල ද පකිස්ථානු හමුදා විශාල වශයෙන් ස්ථානගත කර ඇත. මේ අතර ඉරාන දේශසීමාවට නුදුරින් බලුකිස්තාන් ප‍්‍රාන්තයේ ද ඉරාන බෙදුම්වාදී මිලිශියාවන්ට එරෙහිව කුරිරු මර්දනයක් ගෙන යමින් සිටී.

මෙම තත්වයන් යටතේ පාලක පන්තීන් වල කි‍්‍රයාමාර්ගය කවරක් වූව ද යේමනයේ යුද්ධය උග‍්‍ර වීම, පකිස්ථානය තව දුරටත් අස්ථාවර කරමින්, මුලු මහත් මැද පෙරදිග ද, මධ්‍යම සහ දකුනු අසියාව ද ඇතුලු කලාපීය යුද්ධයක් ඇවිල යාමේ අවදානම තීව්ර කරයි.

Share this article: