එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ යුද අපරාධ පිලිබඳ පරීක්ෂනයේ වෙනස්කිරීමක් නිවේදනය කරයි

US announces shift on Sri Lankan war crimes investigation

කේ. රත්නායක විසින්, 2015 අගෝස්තු 27

දකුනු හා මධ්‍යම ආසියාවේ එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් 26දා කොලඹදී නිවේදනය කලේ, ලබන මාසයේ පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මන්ඬල (යූඑන්එච්ආර්සී) සැසිවාරයේදී, යුද අපරාධ චෝදනා පිලිබඳ ශ්‍රී ලංකා ආන්ඩුවේ පරීක්ෂනයට සහාය දක්වන යෝජනාවකට වොෂින්ටනය අනුග්‍රහය දක්වනු ඇති බවයි.

2009 බෙදුම්වාදී එල්ටීටීඊයට එරෙහි මිලිටරි ප්‍රහාරයේ අවසන් මාසවල එවකට පැවති රාජපක්ෂ ආන්ඩුව විසින් කල බවට චෝදනා එල්ලවී ඇති යුද අපරාධ පිලිබඳ ජාත්‍යන්තර පරීක්ෂනයක් ඉල්ලා සිටි යෝජනාවට පසුගිය වසරේදී අනුග්‍රහය පල කල ඇමරිකානු පිලිවෙතේ ප්‍රධාන මාරුවක්, මෙම නිවේදනයෙන් සලකුනු කරයි. එජා ගනන් බැලීම් වලට අනුව, ශ්‍රී ලංකා මිලිටරියේ ඉව බව නැති බෝම්බ හා ෂෙල් වෙඩි මඟින් අඩුම තරමින් සිවිල් වැසියන් 40000ක් මිය ගියේය.

24දා ආරම්භවූ බිස්වාල්ගේ දෙදින සංචාරයේ අරමුන, පසුගිය සතියේ පැවති පාර්ලිමේන්තු මැතිවරනයෙන් ජයගත් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයට වොෂින්ටනයේ සහාය පල කිරීමය. ඇය සමඟ එරට මානව හා කම්කරු අයිතීන් පිලිබඳ සහකාර ලේකම් ටොම් මැලිනොව්ස්කි ද පැමිනියේය. ඉන්දියාව බලා යාමට පෙර ඇමරිකානු නිලධාරීහු, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ හා විදේශ කටයුතු ඇමති මංගල සමරවීර හමුවූහ.

කොලඹදී මාධ්‍යවේදීන් හමුවේ බිස්වාල් පැවසුවේ, සැප්තැම්බරයේ පැවැත්වෙන මානව හිමිකම් මන්ඬල සැසිය තුලදී ශ්‍රී ලංකා ආන්ඩුව හා අනෙක් සහකරුවන් ද සමඟ ඇමරිකාව, ඒකාබද්ධ යෝජනාවක් ගෙන එනු ඇති බවයි. යුද අපරාධ චෝදනා පිලිබඳ ජාත්‍යන්තර පරීක්ෂනයකට දෙන සහාය නතර කරන ඇමරිකානු තීරනය යුක්තිසහගත කරමින් ඇය පැවසුවේ, “(දෙමල පක්ෂ සමඟ) සංහිඳියාව ඇතිකිරීමට දැන් දරන උත්සාහය හමුවේ වෙනස්වූ අවස්ථා පවතින බව අපි හඳුනාගෙන සිටින්නෙමු” යනුවෙනි.

ශ්‍රී ලංකාවේ විදේශ ඇමති ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරියට මෙසේ පැවසීය. “මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිලිබඳ චෝදනා පරීක්ෂා කිරීමට පියවර (ගනු ලැබ) ඇති අතර ඒ සඳහා දේශීය යාන්ත්‍රනයක්” තිබිය යුතුය. එම යාන්ත්‍රනය පිලිබඳ වැඩිදුර විස්තර කිසිවක් ඔහු හෙලි නොකලේය.

ජාත්‍යන්තර වෙනුවට දේශීය පරීක්ෂනයක් මඟින් ආන්ඩුවට, එම අපරාධ සම්බන්ධයෙන් දැන් බලයේ සිටින අයගේ වගකීම යට ගැසිය හැකිවනු ඇත. චෝදනා එල්ලවී තිබෙන යුද අපරාධ සිදුවන අවධියේ ජනාධිපති සිරිසේන රාජපක්ෂ ආන්ඩුවේ ප්‍රමුඛ සාමාජිකයෙකුව සිටියේය.

මානව හිමිකම් මන්ඬලයට ඉදිරිපත් කරන යෝජනාව ගැන විස්තර සපයා නැත. බිස්වාල් පැවසුවේ, එජා මන්ඬලය විසින් පත්කර ඇති මානව හිමිකම් කමිටුවට ලබන මාසයේ ඉදිරිපත් කෙරෙන වාර්තාවෙන් පසුව එය සකස් වනු ඇති බවයි.

මානව හිමිකම් පරීක්ෂනය පිලිබඳ ඔබාමා පාලනයේ ආපසු හැරීම පුදුමයක් නොවේ.

සමාජවාදී සමානතා පක්ෂය නිරතුවම පැහැදිලි කර ඇති පරිදි, යුද අපරාධ පිලිබඳ ඇමරිකාවේ අනුග්‍රහය සහිත යෝජනාව, ජනතාවගේ ප්‍රජාතන්ත්‍ර අයිතීන් සමඟ මෙලොව සම්බන්ධයක් නැති, තමන්ගේම පුලුල් භූදේශපාලනික අරමුනු හා අවශ්‍යතා සමඟ බැඳී ඇති එකකි. ඇමරිකාව හා අනෙකුත් අධිරාජ්‍යවාදී බලවත්තු අතීතයේදී, බලයට පත්වූ ආන්ඩුවල වර්ගවාදී යුද්ධයට පූර්න සහාය දක්වමින්, 2006දී යුද්ධය යලි ඇරඹීම සඳහා රාජපක්ෂ රෙජිමය දිරිමත් කලහ.

වොෂින්ටනය මානව හිමිකම් ප්‍රශ්නය මතු කිරීමට පටන් ගත්තේ යුද්ධයේ අවසන් මාසවලදීය. මිලිටරි ආම්පන්න හා ආධාර සපයමින් චීනය, රාජපක්ෂ ආන්ඩුවේ ප්‍රමුඛ ආධාරකරුවා බවට පත්ව තිබුනි. යුද්ධයෙන් ඉක්බිත්තේ චීනය, ශ්‍රී ලංකාව තුල විශාල වශයෙන් ආයෝජනය කලේය.

රාජ්‍යතාන්ත්‍රිකව චීනය හුදෙකලා කිරීමත්, මිලිටරි වශයෙන් වැටලීමත් යන ඔබාමා පාලනයේ පිලිවෙත අනුව, බීජිනය සමඟ ශ්‍රී ලංකාවේ බැඳීම් කඩාකප්පල් කිරීමට හා කොලඹ, ආසියා ශාන්තිකර කලාපයේ මූලෝපායික සන්ධාන ජාලය තුලට ඇද ගැනීමටත්, වොෂින්ටනය පියවර ගත්තේය. ඇමරිකාව යුද අපරාධ චෝදනා පිලිබඳ තර්ජනය යොදාගත්තේ, රාජපක්ෂ බීජිනයෙන් ඈත්කිරීම පිනිස පීඩනය යෙදීමටය.

එය අසාර්ථක වූ පසුව වොෂින්ටනය, ජනවාරි 8 ජනාධිපතිවරනයේදී රාජපක්ෂ ඉවත්කර සිරිසේන බලයට ගෙන ඒම සඳහා හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගට හා වික්‍රමසිංහට ආධාර කරමින්, ශ්‍රී ලංකාවේ තන්ත්‍ර මාරු මෙහෙයුමකට මඟ පෑදීය. වොෂින්ටනය දැන් ගනන් බලන්නේ එජාප ජයග්‍රහනය හා මහ මැතිවරනයෙන් රාජපක්ෂ අගමැති තනතුරට පත්වීමට අසමත්වීම, දිවයින තුල සිය තත්වය තහවුරුවීමක් ලෙසය. බිස්වාල් සඳහන් කරන “වෙනස්වූ වටපිටාව“ මෙයයි.

නව සමසමාජ පක්ෂය හා එක්සත් සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ වාම සංවිධාන ද විවිධ රාජ්‍ය නොවන සංවිධාන හා මධ්‍යම පන්තික කන්ඬායම්, ඇමරිකාවේ ප්‍රෝඩාකාරී “මානව අයිතීන්“ පිලිබඳ ව්‍යාපාරය පිටුපස පෙල ගැසෙමින්, එක් හෝ තවත් ආකාරයකින් අධිරාජ්‍යවාදී තන්ත්‍ර මාරුවට සහාය දුන්හ.

වොෂින්ටනයේ උපාමාරු දැමීමට “මානව අයිතීන්“ සමඟ කිසිදු සම්බන්ධයක් නැති අතර ප්‍රශ්න දල්වන ලද්දේ හා නිවා දමන ලද්දේ, ඇමරිකානු ආර්ථික හා මූලෝපායික අවශ්‍යතාවන්ට අනුකූලද නැද්ද යන්න මතය. මුලින් වොෂින්ටනය, මියන්මාරය හා එරට මිලිටරිය, පාදඩ රාජ්‍යයක් ලෙස හංවඩු ගැසූ අතර ජුන්ටා පාලනය බීජිනයෙන් ඈත් ව වොෂින්ටනය වෙත හැරීමෙන් පසුව, එය ප්‍රජාතන්ත්‍රය කරා සංක්‍රමනය වන රාජ්‍යයක් ලෙස යලි නිර්වචනය කලේය.

“මෙම වැදගත් අවස්ථාවේ අප මෙහි පැමිනියේ, ප්‍රජාතන්ත්‍රවාදයේ, යහ පාලනයේ, සාමයේ හා සෞභාග්‍යයේ මෙම මාවත කරා ශ්‍රී ලංකාව යන ගමනේදී එක්සත් ජනපදයේ ප්‍රබල සහයෝගය සැබවින්ම යලි සහතික කිරීම සඳහා” යයි 24දා විදෙස් කටයුතු අමාත්‍යාංශයේදී පවසමින් බිස්වාල්, සිය දෙදින සංචාරය පුරා එජාපයේ මැතිවරන ජයග්‍රහනය වෙනුවෙන් උද්යෝගිමත් ලෙස ශුභ පැතුවාය. සිරිසේන ද වික්‍රමසිංහ හා එම ආන්ඩුව ද සමඟ වැඩකිරීමට වොෂින්ටනය සූදානම් යයි ද ඇය පැවසුවාය.

නව ශ්‍රී ලංකා ආන්ඩුව කෙරෙහි වොෂින්ටනයේ කැපී පෙනෙන සහයෝගය, දිවයින තුල සිය න්‍යාය පත්‍රය කඩාකප්පල් කෙරෙන කුමන හෝ උත්සාහයක් ඇමරිකාව විසින් නොඉවසනු ඇති බවට, රාජපක්ෂ හා ඔහුගේ ආධාරකරුවන් වෙත නිකුත් කල නොවරදින පනිවිඩයකි. එසේම එය, ඇමරිකාව විසින් මිලිටරිමය වශයෙන් චීනය වැටලීම තීව්‍ර කෙරෙන බවට බීජිනයට දුන් තවත් සංඥාවක් ද වේ.

දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ) හා අනෙකුත් දෙමල ධනපති පක්ෂ හා සුලු ධනපති කන්ඬායම්, කොලඹ පාලනය සිදුකල යුද අපරාධ පිලිබඳ පරීක්ෂනය ඉල්ලා සිටිමින් ද ජාත්‍යන්තර පරීක්ෂනයක් සඳහා සහාය පලකරමින් ද දෙමල ධනපතියන් සඳහා දිවයින තුල බලය බෙදීමකට ඇමරිකාවේ සහාය ඉල්ලමින් ද වොෂින්ටනය පිටුපස නිවට ලෙස බඩගාති.

කෙසේ වෙතත් බිස්වාල් 26දා මාධ්‍ය හමුවේ පැවසුවේ, තමා යුද අපරාධ පිලිබඳ ප්‍රශ්නය ටීඑන්ඒ සමඟ සාකච්ඡා කල බවත්, නව ආන්ඩුව සමඟ ඒ සඳහා වැඩකරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටි බවත් ය. “මෙම ක්‍රියාවලියට කල්ගතවනු ඇති බව අපි දැනගත්තෙමු. කිසිවෙකුත් ආශ්චර්යයන් බලාපොරොත්තු නොවේ.” යනුවෙන් පවසමින් මානව හිමිකම් පිලිබඳ ඇමරිකානු සහකාර ලේකම් මැලිනොව්ස්කි එය අවධාරනය කලේය.

ඔබාමා පාලනයට අවශ්‍ය වන්නේ දිවයින, චීනයට එරෙහි සිය යුද සැලසුම් වලට ඒකාග්‍ර කරගැනීමටත්, සිංහල, දෙමල හා මුස්ලිම් යන වැඩකරන සියලු ජනතාව මත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉල්ලා සිටිනු ලබන කප්පාදු න්‍යාය පත්‍රය පැටවීමටත් හැකිවන පරිදි, ශ්‍රී ලංකාව තුල ඇමරිකානු ගැති ආන්ඩුවක් ස්ථාපිත කර ගැනීම පිනිස, ටීඑන්ඒ නායකයින් ආන්ඩුව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමය.

Share this article: