ආන්ඩුවේ පොරොන්දු වලින් පසු විවෘත විශ්වවිද්‍යාල සිසු උද්ඝෝෂනය නතර කරති

කපිල ප‍්‍රනාන්දු විසිනි, 2015 අගෝස්තු 07

තම ඉල්ලීම් ලබා දීමට විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සභාපති මොහාන් ද සිල්වා ලිඛිතව පොරොන්දු වූ බවට ප‍්‍රකාශ කල ශ‍්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය දින 200 ක් පමන ගෙන ගිය විරෝධතා සත්‍යග‍්‍රහය නතර කල බව ජුලි 29 දා නිවේදනය කලේ ය. නාවල විවෘත විශ්වවිද්‍යාලයේ සිට ප‍්‍රතිපාදන කොමින් සභාව දක්වා සිසුන් දහසකට අධික පිරිසක් යෙදී ගත් විරෝධතාවයේදී සිසු නියෝජිතයන් හමුවේ ඉහත පොරොන්දු ලබා දුන් බව පැවසේ.

ශිෂ්‍යයන්ගේ ඉල්ලීම් වූයේ දැවැන්තව ඉහල දමා තිබු පාඨමාලා ගාස්තු අඩු කොට පෙර තත්වයට ගෙන ඒම, ශිෂ්‍ය සංගම් හා සිසුන්ගේ පන්ති තහනම් ඉවත් කිරීමයි. මෙම ඉල්ලීම් දීමට පොරොන්දු වූ බවට පවසන ශිෂ්‍ය සංගමය පෙර පරිදි වාර්ෂිකව පාඨමාලා ගාස්තු සියයට 10 න් වැඩි කිරීම දිගටම ගෙන යාමට ප‍්‍රතිපාදන කොමිසම සමග එකඟ වී ඇත.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලයේ (අවිශිබමය) කැඳවුම්කරුවන නජිත් ඉන්දික හා විවෘත විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ නායක අමිල සඳරුවන් ප‍්‍රතිපාදන කොමිසමේ පොරොන්දුව විශාල ජයග‍්‍රහනයක් බව හුවා දක්වමින් ප‍්‍රකාශ දී ඇත. මෙම සිසු සංගම් නායකයන් දේශපාලනිකව මෙහෙය වෙන්නේ ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) විසිනි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලනයේ අවසන් දිනවල පටන් ගෙන වත්මන් ජනාධිපති මෙත‍්‍රීපාල සිරිසේනගේ හා එක්සත් ජාතික පක්ෂය (එජාප) ආන්ඩුව යටතේ සිසු විරෝධතාව දින සිය ගනනක් ඇද්දී ගිය පසුව ඉල්ලීම් ලබා දී “ඇති බව” පැවසෙන්නේ හදිසියේ සිසුන් කෙරේ උපන් කරුනාවකින් නම් නොවන බවට අටුවා අවශ්‍ය නැත.

මෙම ඉල්ලීම් “ලබා දීම” තාවකාලික දේශපාලන උප්පරවැට්ටියක් බව සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) පෙන්වා දෙයි. එය, ලඟ එන මැතිවරනය ආසන්නයේ සිසු විරෝධතා තලා දැමීම මගින් පැනනැංවිය හැකි මහජන අප‍්‍රසාදය සලකා බලා ගත් තීන්දුවකි. රාජපක්ෂ ආන්ඩුවේ මෙන්ම වත්මන් සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුවේ පසුගිය මාස 07 ක කාලපරිච්ඡේදයේ වාර්තාවන් හා මෙම පක්ෂවල බොරු මැතිවරන පොරොන්දුවලට යටින් පවත්නා සැබෑ මහජන විරෝධී වැඩපිලිවෙල පෙන්නුම් කරන්නේ නිදහස් අධ්‍යාපනයට හා සිසුන්ට එල්ල කිරීමට නියමිත නව ප‍්‍රහාරයන් ය.

පැවති රාජපක්ෂ ආන්ඩුව විවෘත විශ්වවිද්‍යාලයේ 2012 දී රුපියල් 20,000 ට ආසන්නව පැවති වාර්ෂික පාඨමාලා ගාස්තු 2013 වසරේ දී රුපියල් 60,000 දක්වා ඉහල දැමුවේ ය. ඉහිලිය නොහැකි ගාස්තුවලට හා අනෙකුත් අවම පහසුකම්වලින් පීඩනයට පත්ව සිටින සිසුන්ගෙන් පැන නැගිය හැකි අනිවාර්ය විරෝධතා කල්තියා වැලැක්වීම සඳහා සරසවියේ ශිෂ්‍ය සංගම් තහනම් කොට සිසුන් ගනනාවකගේ පන්ති තහනම් කර තිබුනි. ශිෂ්‍ය සංගම් තහනම් කිරීම හා සිසුන්ගේ පන්ති තහනම් කිරීම රාජපක්ෂ ආන්ඩුව රට පුරා සරසවිවල දියත් කල රුදුරු ශිෂ්‍ය මර්දන පිලිවෙතක් විය. ගාස්තු දැවැන්තව ඉහල දැමීම ද සිසු සංගම් තහනම හා සිසු ක‍්‍රියාකාරීන් දඩයම් කිරීම ද පෙන්නුම් කලේ කුමන ආන්ඩුවක් යටතේ වුව ද අධ්‍යාපන අයිතීන් මුලූමනින්ම කපා දැමීම සඳහා පාලක පන්තියේ න්‍යාය පත‍්‍රයයි.

එජාප වත්මන් ආන්ඩුව බලයට පත් වීමෙන් පසු පාසල් තුල මුදල් අය කිරීමට, අධ්‍යාපන පුද්ගලීකරනයට එරෙහිව විවෘත විශ්වවිද්‍යාල සිසුන් ද සහභාගී වූ සමස්ථ සරසවි සිසු උද්ඝෝෂනවලට මාර්තු මාසයේ දී රුදුරු පොලිස් ප‍්‍රහාර එල්ල කලේ ය. මැතිවරන කාලපරිච්ඡේදයේ විරෝධතා පාගමන් පැවැත්වීම සැලකිල්ලට ගන්නැයි නුගේගොඩ පොලිසිය, මහේස්ත‍්‍රාත් අධිකරනයෙන් 29 දා සිසු විරෝධතාවය තහනම් නියෝගයක් ගෙන තිබුනි.

1980 දී විවෘත විශ්වවිද්‍යාලය ආරම්භ කල අතර දිවයින පුරා මධ්‍යස්ථාන 08 සිසුහු 35,000 ට අධික පිරිසක් මේවන විට අධ්‍යාපනය ලබති. අනෙකුත් සරසවිවල ඉඩකඩ සීමා කෙරී ඇති තතු යටතේ උසස් පෙල සමත්ව සරසවි වරම් නොලබන දහස් සංඛ්‍යාත සිසුන්ගේ උසස් අධ්‍යාපන අවශ්‍යතා ගසාකමින් මුදල් අය කරන උපාධි පාඨමාලා මෙහි ලබාදීම අධ්‍යාපන පුද්ගලීකරනයට පාර කපා ගැනීමක් විය. මැතිවරනය ආසන්නයේ සිසු ඉල්ලීම්වලට කන් දීම යටින් දරුනු ගාස්තු ඉහල දැමීම පෙන්නුම් කරන්නේ සමස්ථ අධ්‍යාපන වියදම් කප්පාදු කොට අධ්‍යාපන වියදම් සිසුන් හා දෙමාපියන් මත පැටවීමේ ධනපති ආන්ඩුවල සැබෑ න්‍යාය පත‍්‍රයයි.

ලෝක සමාජවාදී වෙබ් අඩවි වාර්තාකරුවන්ට අදහස් දැක්වූ විවෘත විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේ ශිෂ්‍යයෙක්: “රාජපක්ෂ ආන්ඩුව යටතේ 2011 වගේ ඉඳලා ක‍්‍රමානුකූලව ගාස්තු ඉහල දැමීම සිදු කර ගෙන ඇවිල්ලා 2013 දී සියයට 140 විතර ඉහල දැම්මා. 2009 විතර අපේ පීඨයේ ලමයි ගෙව්වේ රුපියල් 4000 ක් විතර. වැඩි කරපු රුපියල් 60,000 ක මුදලක් අපිට දරා ගන්න බෑ. මම තවත් ලමයි එක්ක රෑට හොටල්වල කේටරින් වැඩ කෙරුවා. තවත් ඔයවගේ වැඩවලින් සල්ලි හොයා ගත්තා. තව ලමයි රත්තරං බඩු උගස් කරලා ගෙව්වා. ඊලඟ අවුරුද්දට එහෙම ගෙවා ගන්න බැරි වුන ලමයි ඉගෙනීම අතහැරියා. ගාස්තු වැඩි කෙරුවාට පහසුකම් කිසිවක් වැඩි වුනේ නෑ. ශිෂ්‍ය ක‍්‍රියාකාරකම් ඇහිරීමේ කොටසක් විදිහට අපිට එලියේ පාඩං කරන්න, සාකච්ඡා කරන්න තිබුනු බංකුත් ඉවත් කෙරුවා. දැන් පොරොන්දු දීලා තිබුනට එජාප ආන්ඩු තමයි 1981 දී ධවල පත‍්‍රිකාව ගෙනල්ලා අධ්‍යාපනය විකිනීම ආරම්භ කෙරුවේ. ඒ වැඩපිලිවෙල තමයි මේ විවිධ ආන්ඩු යටතේ ඉදිරියට යන්නේ. ඒ නිසා ඉදිරියේ දී එන මොන ආන්ඩුවත් තව ප‍්‍රහාර එල්ල කරනවා.”

සරසවි ශිෂ්‍යයන් අතර පාලක පන්තියට විරුද්ධව වැඩෙන විරුද්ධත්වය ධනපති ආන්ඩුවලට පීඩනය යෙදීමේ හුදකලා විරෝධතා හා සත්‍යග‍්‍රහවලට කොටු කරන අවිශිබමය විවෘත විශ්වවිද්‍යාල සිසුන් ද තවත් සත්‍යග‍්‍රහයක හිර කර තැබුවේ ය.

විවෘත විශ්වවිද්‍යාල සිසුන්ගේ ඉල්ලීම් පිලිබඳව ආන්ඩුවේ පොරොන්දුව “විශාල ජයග‍්‍රහනයක්” බවත් නිදහස් අධ්‍යාපනය අයිතිය සඳහා වන අවිශිබම අරගලය අත්නොහරින බවත්, විවෘත විශ්වවිද්‍යාලය මුදල් අය නොකරන ආයතනයක් බවට පත්වන තුරු අරගලය ඉදිරියට ගෙන යන බව අවිශිබම කැඳවුම්කරු නජිත් ඉන්දික පවසයි. පෙසප පුවත්පතක් වන ජනරළ පත‍්‍රයේ අගෝස්තු 02 කලාපයේ ඉදිරිපිටෙහි සිසු උද්ඝෝෂනයක ඡායාරූපයක් ද සහිතව: “දින 225 ක් තිස්සේ පැවැති අඛන්ඩ සත්‍යග‍්‍රහය ජයග‍්‍රහනයකින් කෙලවර වූයේ අරගලයකින් තොර ජයක් නොමැති බවට තවත් අත්දැකීමක් එකතු කරමිනි” යයි ලීවේ ය.

“අරගලය” යන හිස් පූච්චානම යොදා ගත්තේ, අධ්‍යාපාන අයිතිය විනාශ කිරීම සඳහා අනුප‍්‍රාප්තික ආන්ඩු ගෙන ගිය වැඩ පිලිවෙලට එරෙහිව සක්‍ය කි‍්‍රයාමාර්ගයක් මත සටන් කිරීමට කම්කරු පන්තිය සමග පෙල ගැසීම වැලැක්වීමට ය.

වත්මන් ආන්ඩුවෙත් පෙර රාජපක්ෂ ආන්ඩුවෙත් අධ්‍යාපන කප්පාදුව හා මර්දනය, ලංකාවේත් ලෝක පරිමානවත් ලාභ ගරන ධනේශ්වර ක‍්‍රමයේ අර්බූදයේ ප‍්‍රතිඵලයකි. එමගින් ලොව පුරා ධනපති පාලක පන්තීන් ධාවනය කර ඇත්තේ පොදු නිදහස් අධ්‍යාපනය අතුගා දමමින් අධ්‍යාපනය ලාභ ගරන කර්මාන්තයක් බවට පත් කිරීමටයි.

ගෝලීය අර්ථික අර්බූදයේ බර මහජනයා මත පටවමින් ලොව පුරා ධනපති ආන්ඩු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමුඅ) ප‍්‍රමුඛ මූල්‍ය ප‍්‍රාග්ධනයේ නියමු ආයතනයවල නය කොන්දේසි ක‍්‍රියාවට නගමින් සිටී. ජාමුඅ, යුරෝපා සංගමය, යුරෝපා මහා බැංකුවේ කප්පාදු පිලිවෙත්වල මොඩලය වූ ග‍්‍රීසියේ කප්පාදු පිලිවෙත දැන් ලොව පුරා දිගේලි කෙරෙමින් පවතී.

පෙසප සහ අවිශිබම නායකයන් බදා වැලඳගෙන ඇති ගී‍්‍රසියේ සිරිසා ආන්ඩුව පිහිටුවීමට පෙර කප්පාදු පිලිවෙත්වලට එරෙහි “අරගලයන්” ගැන ගෝරනාඩු දමමින් ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන් තරුනයන් හා අවශේෂ පීඩිතයන් සම්බන්ධ වූ රැස්වීම්, පෙලපාලි සංවිධානය කලේ ය. ආන්ඩු බලය ගැනීමෙන් පසු මේ පූච්චානම් ඉවත හෙලා පෙර කී වැඩපිලිවෙල කි‍්‍රයාවට දමමින් සිටියි.

අගෝස්තු 17 ධනපති පක්ෂ දෙකින් කව්රු බලයට පැමිනියත් භාර ගැනීමට ඇත්තේ, රටේ ආදායමින් සියයට 95.4 ක් නය සඳහා පොලී ගෙවීමට වැය වන රටකි. රාජපක්ෂ ආන්ඩුව ක‍්‍රියාවට නැගූ පිලිවෙත් ඉදිරියට ගෙන යමින් ඉදිරි ආන්ඩුව, ඇය-වැය හිඟය 2016 වන විට දල ජාතික නිෂ්පාදිතයෙන් සියයට 3.8 දක්වා කප්පාදු කිරීම කල යුතු යයි ජාමුඅ කරන නියමයන්ට අනුව අධ්‍යාපනය ඇතුලු අත්‍යාවශ්‍ය මහජන වියදම් කප්පාදු කිරීම හා අත්‍යාවශ්‍ය පාරිභෝගික භාන්ඩ මත තවදුර බදු පැනවීම සිදු වනු ඇත්තේ පෙර ප‍්‍රහාරවලට ද එහා යමිනි.

ජනතා විමුක්ති පෙරමුන තම දේශපාලනයේ අන්ඩක් ලෙස යොදා ගත් කාලයේ පටන්, ආන්ඩු මුහුන දෙන ප‍්‍රශ්න නිසා යම් “සහනයක්” දුන් විගස අවිශිබම නායකයන් උඩපැන්නේ එය දැවැන්ත ජයග‍්‍රහනයක් ලෙස හුවා දක්වමිනි. එහෙත් පසුගිය දශක ගනනාවේ අත්දැකීම නම් නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීම දිගින් දිගටම ගැඹුරු වී ඇති බවයි.

Share this article: