ශ‍්‍රී ලාංකික ගොවීහු අය වැය කප්පාදු වලට එරෙහිව විරෝධය පාති- ලෝක සමාජවාදී වෙබ් අඩවිය

 

ශ‍්‍රී ලාංකික ගොවීහු අය වැය කප්පාදු වලට එරෙහිව විරෝධය පාති

Sri Lankan farmers protest against budget cuts

ඩබ්ලිව්. ඒ. සුනිල් විසිනි, 2015 දෙසැම්බර් 24

දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය (එජාප) විසින් නායකත්වය දෙනු ලබන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ ආන්ඩුව විසින් පොහොර සහනාධාරය හා වී සහතික මිල කප්පාදු කිරීමට විරුද්ධව ගොවීන්දහස් ගනනක් බ‍්‍රහස්පතින්දා (17) කොලඹ දී පා ගමනක යෙදුනි.

අනුරාධපුරය, පොලොන්න්නරුව, නුවර, මාතලේ, කුරුනෑගල, මොනරාගල, අම්පාර සහ හම්බන්තොට දිස්ත‍්‍රික්ක වලින් ඔවුන්ගේ පවුල් සමග පැමිනි 3000 වැඩි ගොවීහු විරෝධතා පා ගමනට සහභාගී වුහ. සමහරු ගොවි උපකරන අතැතිව සිටි අතර තවත් අය අමුඩයෙන් සැරසී සිටියහ.

අගමැති කාර්යාලය අසල රැස්ව සිටි ගොවීන්

මෙවර අය-වැයේ දී ආන්ඩුව සම්බා වී කිලෝවක සහතික මිල රුපියල් 50 සිට 41 දක්වා සියයට 20 ට ආසන්න ප‍්‍රතිශතයකින් අඩු කලේ ය. එය පොහොර සහනාධාරය ද කප්පාදු කලේ ය.

සහනාධාර ක‍්‍රමය යටතේ කිලෝ 50 පොහොර බෑගයක් ගොවීන්ට විකුනනු ලැබුවේ රුපියල් 1000 වැඩි වූ වෙලෙඳපොල මිලට වඩා බෙහෙවින් අඩු මිලක් වූ 350 ට ය. පොහොර සහනාධාරය ඉවත් කරමින් ඒ වෙනුවට හෙක්ටයාර් එකකට රුපියල් 25,000 මුල්‍ය සහනාධාරයක් අය වැයෙන් යෝජනා කලේ ය. කන්න දෙක වගා කිරීමට පොහොර බෑග් 18 අවශ්‍ය වන බවත්, එම නිසා දෙන මුදල ප‍්‍රමානවත් නැති බවත් ගොවීහු කියති.

ගොවීන් අතර පුලුල්ව පැතිරුන විරුද්ධත්වය නිසා ආන්ඩුව මුදල් ගෙවීම හෙක්ටයාර් 2 දක්වා වැඩි කලේ ය. නමුත් එය පොහොර සහනාධාරය මුලුමනින් ම අහෝසි කිරීමේ යෝජනාව වෙනස් කර නැත. ගොවි සහනාධාර කප්පාදු කරන ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (ජාමුඅ) දිගු කලකට ඉහත සිට ම ආන්ඩුව ට උපදෙස් දී ඇත.

ගම්බද දුගීන් මතට මෙම ප‍්‍රහාරය එල්ල කර ඇත්තේ දැරිය නොහැකි නය බර, කෘෂිරසායන හා බීජ මිල සහ බිම් සැකසීමේ සහ අස්වනු නෙලීමේ වියදම් ඉහල යන තත්වයක් තුල ය. එය රාජ්‍ය සේවයට අලුතින් බඳවා ගන්නන් සඳහා විශ‍්‍රාම වැටුප් ක‍්‍රමය අහෝසි කිරීමේ සහ රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලීකරනය හෝ වානිජකරනය කිරීම ඇතුලු ව කම්කරුවන් මතට එල්ල කරන අය වැය කප්පාදු මාලාවක ද කොටසකි.

විරෝධතාකරුවෝ ටවුන් හෝල් සිට කිලෝ මීටර් 2 ක් පමන දුරක් අගමැති රනිල් වික‍්‍රමසිංහගේ කාර්යාලයට පා ගමනින් ගියහ. අගමිති කාර්යාලය ලඟදී පොලීසිය විසින් මාර්ග බාධක යොදා පා ගමන නතර කරන ලදී. ගොවීහු “අපට සල්ලි එපා! පොහොර සහනාධාරය ආපසු දෙනු!” මහින්ද කිඹුල් කඳුලු හෙලන්න එපා! වැනි සටන් පාඨ හඬ නැගූහ. මෙම සටන් පාඨය ගොවීන් අතර පවතින විරුද්ධත්වය තම දේශපාලන වාසියට කුහක ලෙස ගසා කෑමට උත්සාහ කරන මහින්ද රාජපක්ෂට එරෙහිව ය.

කොලඹ පැවති පා ගමනට පෙරාතුව, මහියංගනය, අනුරාධපුර පොලොන්නරුව, කන්තලේ සහ හම්බන්තොට ඇතුලු ප‍්‍රදේශ ගනනාවක ගොවීන්ගේ විරෝධතා උද්ඝෝෂන පැවතුනි.

බ‍්‍රහස්පතින්දා (17) විරෝධතා ව්‍යාපාරය සංවිධානය කර තිබුනේ ජනතා විමුක්ති පෙරමුනට සම්බන්ධ සමස්ත ලංකා ගොවිජන සම්මේලනය (සලංගොස) විසිනි. සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව කෙරෙහි ගොවීන් තුල වැඩෙන කෝපය සහ අසතුට ඉවත හරවා යවන ගමන් එය සිය වාසියට දේශපාලනිකව ගසා කෑම ජවිපෙ අරමුන වුයේ ය.

පසුගිය සති දෙක තුල කම්කරු විරෝධී අය වැය යෝජනා වලට එරෙහි බව මවා පාන පත‍්‍රිකා බෙදීම ට සීමා කල ඒ හා සමාන සංකේත විරෝධතා උද්ඝෝෂන සංවිධානය කලේ ය. මෙම පත‍්‍රිකාවල දී ජවිපෙ ගොවීන්ගේ ඉල්ලීම් ගැන නිකමට වත් සඳහන් කලේ නැත. සෙසු වෘත්තීය සමිති ඔවුන් විසින් කැඳවුම් කල දිනක සංකේත වර්ජනය නතර කලේ ය.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තා කරුවන් සමග කතා කල ගොවීහු ආන්ඩුවේ ප‍්‍රතිපත්ති ගැන තම කෝපය ප‍්‍රකාශ කල අතර ගොවිතැනේ දී ඔවුන් අත්විඳින දුෂ්කරතා විස්තර කලහ.

තරුන ගොවියෙකු වන අනුරාධපුරේ දම්මික කුමාර විජේරත්න මෙසේ පැවසුවේ ය. “ගොවියෝ කබලෙන් ලිපට වැටේවි. සහනාධාරය කැපීම නිසා හෙක්ටයාර් එකකට අවුරුද්දකට රුපියල් 30,000 පමන අතිරේක වියදමක් අපට දරන්න වෙනවා. ඒ වගේ ම සහතික වී මිල අඩු කිරීමෙන් රුපියල් 9 ක් ගොවියට පාඩු වෙනව.”

හෙක්ටයාර් එකකට සාමාන්‍ය අස්වැන්න වී කිලෝ 5,000 පමන වේ. වී කිලෝවක නිෂ්පාදන වියදම රුපියල් 33 කි. ආන්ඩුව ගොවීන්ගෙන් සහතික මිලට මිල දී ගන්නේ වී කිලෝ 2,000 පමනි. ඉතිරිය අඩු මිලට පුද්ගලික වෙලෙන්දන්ට විකිනිය යුතු ය.

ඒ.එම්. කරුනාරත්න

පසුගිය ආන්ඩුව පොහොර සහනාධාරය ක‍්‍රමානුකුලව කප්පාදු කල බව අනුරාධපුර නොච්චියාගම ගොවියෙකු වන ඒ.එම්. කරුනාරත්න කීවේ ය. “රාජපක්ෂ ආන්ඩුව පොහොර සහනාධාරය සියයට 50 න් කැපුවා. දැන් එයා ගොවියෝ ගැන කිඹුල් කඳුලු හෙලනවා.”

“රාජපක්ෂ ආන්ඩුවට වඩා යහපාලනය යටතේ යම් සහනයක් ලැබෙයි කියල හිතලා මා ත් ඇතුලුව බොහොමයක් ගොවියන් චන්දෙ දුන්නේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන ට. ඒ වෙනුවට මේ ආන්ඩුවත් ඒ ප‍්‍රහාර ඉදිරියට ගෙනියනවා.”

රුපියල් 1300 පමන මිලකට පැවති යුරියා, ටිඑස්පී සහ එම්ඕපි කිලෝ 50 පොහොර බෑගයක මිල මේ වන විට පිලිවෙලින් රුපියල් 2641, 2829 සහ 3014 දක්වා ඉහල ගොස් ඇත. හොඳ ප‍්‍රමිතියෙන් යුතු පොහොර සහ කෘෂි රසායන මිල දී ගත නොහැකි යැයි ගොවීහු චෝදනා කලහ. ගුනාත්මකභාවයෙන් අඩු නිසා ඔවුන්ට විවිධ වල්නාශක භාවිතා කිරීමට සිදුව තිබේ. කෘෂි රසායන අසීමිත ව පාවිච්චි කිරීම නිසා වකුගඩු සහ හමේ රෝග ඇතුලු ව්‍යසනකාරී ලෙඩ රෝග වලට ගොවීන් ගොදුරු වෙයි.

කලින් පැවති ආන්ඩුව වසර දෙකක් ගොවි විශ‍්‍රාම වැටුප අත් හිටුවා තිබු බව ඇඹිලිපිටියෙන් පැමිනි ගොවියෙකු ප‍්‍රකාශ කලේ ය. අවුරුදු 60 සම්පූර්න වුනා ට පසුව ආන්ඩුව ගෙවන රුපියල් 1000 සොච්චම් මාසික විශ‍්‍රාම වැටුප ට ගොවීන් විසින් දායක මුදල් ගෙවිය යුතු ය. 2015 ජනාධිපතිවරනය ආසන්නයේ රාජපක්ෂ ආන්ඩුව ගොවි විශ‍්‍රාම වැටුප ගෙවීම යලි ආරම්භ කලේ ය. චන්දයෙන් පසුව සිරිසේන ආන්ඩුව මාසික විශ‍්‍රාම වැටුප රුපියල් 950 ට අඩු කලේ ය.

“රජයේ බැංකුවකින් නය ගත්තොත් විතරයි වගා රක්ෂනය කරන්නේ. පුද්ගලික රක්ෂන සමාගමුත් රක්ෂනය කරනවා. නමුත් වගාව පාලු වුනාම බැංකුවත්, සමාගමවත් නිසි රක්ෂන මුදලක් ගෙවන්නේ” නැති බව ඔහු පැවසුවේ ය.

ඩබ්ලිව්.එම් සමන්ත

තමන් ද වී ගොවීන් හා සමාන ප‍්‍රශ්නවලට මුහුන දෙන බව කුරුනෑගල දිස්ත‍්‍රික්කයේ කුඹුක් ගැටේ කෙසෙල් සහ එලවලු වගා කරන ගොවියෙකු වන ඩබ්ලිව්.එම් සමන්ත කීවේ ය. “අපට පොහොර සහනාධාරය තිබුනේ නැහැ. නමුත් පොහොර මිටියක් රුපියල් 1200 සහන මිලකට ලැබුන. දැන් අපට රුපියල් 3000 වැඩිය මිලක් පොහොර මිටියකට ගෙවන්න වෙලා. බීජ මිල හුඟක් ඉහලයි. බලයට ආපු ආන්ඩු හැම එකක් ම පුද්ගලික සමාගම් වලට සහ වෙලෙන්දන්ට හැම පැත්තෙන් ම ගොවීන් සුරා කන්න කොන්දේසි හදල දුන්නා” සමන්ත පැවසුවේ ය.

ආන්ඩුවට වැඩි බල පෑමක් කිරීමෙන් සිය අයිතීන් දිනා ගත හැකියි ජවිපෙ සහ සලංගොස ගොවීන් අතර මිත්‍යාවන් වපුරයි. ආන්ඩුව සහනාධාර කප්පාදුව “හකුලා ගන්නා” තුරු “අරගලය” දිගට ම ගෙන යන බව සලංගොස ජාතික සංවිධායක නාමල් කරුනාරත්න විරෝධතා කරුවන් අමතමින් ප‍්‍රකාශ කලේ ය.

ජවිපෙ කම්කරුවන්ගේ හෝ ගොවීන්ගේ අයිතීන් ආරක්ෂා කර නැත. ජාමුඅ කප්පාදු පිලිවෙත් ක‍්‍රියාවට දැමීමට සහය දෙමින් ජවිපෙ වර්තමාන නායක අනුර කුමාර දිසානායක 2004 බලයට පත් වූ ජනාධිපති චන්ද්‍රිකා එක්සත් ජනතා නිදහස් සන්ධාන ආන්ඩුවේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමති ලෙස කටයුතු කලේ ය.

2005 රාජපක්ෂ ජනාධිපති පුටුවට ඔසවා තැබීම සදහා ජවිපෙ ඍජුව සහයෝගය දුන් අතර දෙමල බෙදුම්වාදී විමුක්ති කොටි සංවිධානයට එරෙහිව ඔහු යලි ආරම්භ කල යුද්ධයට පිටුබලය සැපයී ය. අනතුරුව සිරිසේන බලයට ගෙන ඒම සඳහා පක්ෂය වක‍්‍රව සහයෝගය දුන් ජවිපෙ ආන්ඩුවේ පිලිවෙත් ක‍්‍රියාවට දැමීම අධීක්ෂනය කිරීම සඳහා ස්ථාපිත කල ඔහුගේ ජාතික විධායක කවුන්සිලයේ නියෝජනය කලේ ය.

ආන්ඩුව ගැන ජවිපෙ කරන කුහක විවේචන විශාල වසයෙන් දිය වී ගොස් ඇති ගම්බද දුගීන් අතර පැවති එහි සමාජ පදනම් යලි තහවුරු කර ගැනීම සඳහා දැරෙන ප‍්‍රයත්නයකට වැඩි යමක් නොවේ. එමෙන් ම ගොවීන් ට එරෙහි ප‍්‍රහාරය හුදකලා එකක් නොවේ. එය ජාමුඅ නිර්දේශ අනුව ක‍්‍රියාවට දමන ආර්ථික “ප‍්‍රතිසංස්කරන” හරහා කම්කරුවන්ගේ හා ගම්බද දුගීන්ගේ සමාජ හා ජීවන කොන්දේසි වලට එල්ල කරන වඩා පුලූල් ප‍්‍රහාරයක කොටසකි.

ගොවීන්ගේ අයිතීන් ආරක්ෂා කර ගත හැක්කේ ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස සමාජවාදී ක‍්‍රියාමාර්ගයට සහ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒම සඳහා වූ කම්කරු පන්තියේ අරගලය සමග බද්ධවීම මගින් පමනි. වැඩ කරන ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය යටතේ බැංකු, මහ සමාගම් සහ විශාල වතු ජනසතු කල හැක්කේ එවන් ආන්ඩුවක ට පමනි. මෙය, ගොවීන්ගේ නය බර අහෝසි කර පහසු නය සහ වගාව සඳහා අත්‍යාවශ්‍ය මෙවලම් සහ සෙසු දේවල් ලාබයට සම්පාදනය කලකැකි වන්නේ එවැනි ආන්ඩුවකට ය.

ගොවීන් හා සෙසු හා ජන කන්ඩායම් වලට නායකත්වය සම්පාදනය කරන සමාජවාදී ප‍්‍රතිපත්ති මත පදනම් වූ කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් සංවිධානය කිරීමට සමාජවාදී සමානතා පක්ෂය (සසප) පමනක් ම වේ.

Share this article: