ශී‍්‍ර ලංකාවේ උසස් පෙල සිසුන් මුහුන දෙන කටුක අධ්‍යාපන සහ සමාජ-ආර්ථික කොන්දේසි

ඩී.ඒ. අංජන විසිනි, 2015 ජුලි 17

මෙතෙක් බලයට පැමිනි සියලු ආන්ඩු විසින් අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුල අඛන්ඩව ගෙනයනු ලැබූ කප්පාදුවල හා පුද්ගලීකරනයේ ප‍්‍රතිඵලයක් ලෙස, විශ්ව විද්‍යාල ප‍්‍රවේශය ඉලක්ක කර ගත් උසස් පෙල විභාගය දිවයිනේ වඩාත්ම තරඟකාරී විභාගය බවට පත්ව තිබේ. මහින්ද රාජපක්ෂ පාලනයට විරුද්ධව කම්කරු පන්තිය ඇතුලුව පීඩිත ජනතාව තුල වැඩී ආ විරෝධය ගසාකමින් බලයට පැමිනි සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව ද ගත වූ මාස කිහිපය තුල කි‍්‍රයාත්මක කල, පාසල් තුල මුදල් අය කිරීම නීතිගත කිරීම හා උද්ඝෝෂනයේ නියැලි සරසවි සිසුන්ට එල්ල කල ම්ලේච්ඡ පොලිස් ප‍්‍රහාර මගින් දැනටමත් පෙන්නුම් කර ඇත්තේ අධ්‍යාපන කප්පාදුවත් ශිෂ්‍ය මර්දනයත් තවත් වටයකින් ඉදිරියට ගෙන යෑමේ සූදානමයි.

උසස් පෙල සමත් වන දහස් සංඛ්‍යාත සිසුන්ට සරසවි දොරටු අහුරා දැමීම මෙම කප්පාදුවල කැපී පෙනෙන අංගයකි. විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ (විප‍්‍රකොස) නවතම වාර්තාවන්ට අනුව මෑත වර්ෂවල උසස්පෙල සඳහා පෙනී සිටි ශිෂ්‍ය සංඛ්‍යාවෙන් විභාගය සමත් ශිෂ්‍ය සංඛ්‍යාව 118,000-124,000 අතර වුවත් සරසවි ප‍්‍රවේශයට සුදුසුකම් ලබන්නේ 17,000-24,000 අතර සීමිත සංඛ්‍යාවකි. එය, විභාගයට පෙනී සිටින මුලු ශිෂ්‍ය සංඛ්‍යාවෙන් සියයට 11 ක් පමනි.

2013 උසස් පෙල විභාගයට පෙනීසිටි 247,000 ට වැඩි සිසු සංඛ්‍යාවෙන් 143,740 ක් සිසුන් සරසවි ප‍්‍රවේශය සඳහා සුදුසුකම් ලබා තිබුන ද 2013/14 සරසවි අධ්‍යන වර්ෂය සඳහා රටපුරා පිහිටි සරසවි 15 ක උපාධි පාඨමාලා 90 ක් සඳහා තෝරා ගනු ලැබුවේ සිසුන් 24, 178 පමනි. පවත්නා උග‍්‍ර තරඟය හේතුවෙන් පලමුවර සරසවි ප‍්‍රවේශය ලබා ගැනීමට අසමත් වූ සිසුන් දෙවන හා තුන්වන වරටත් විභාගයට පෙනී සිටින අතර එම ප‍්‍රයත්නයන්ගෙන් සමත් වූ සිසුන් ද මෙම සංඛ්‍යාවට ඇතුලත්ය.

රටේ සෑම ප‍්‍රධාන නගරයක්ම මේ වන විට උපකාරක පන්ති (ටියුෂන්) ව්‍යාපාරිකයන්ගේ කේන්ද්‍රයන් බවට පත් වී තිබෙන අතර ගම්පහ නගරය ඉන් ප‍්‍රධාන තැනක් ගනී. සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) තරුන ව්‍යාපාරය වන සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සාමාජිකයින් කන්ඩායමක්, උසස් පෙල පාසල් සිසුන් මුහුන දෙන අධ්‍යාපන සහ සමාජ‐ආර්ථික කොන්දේසි පිලිබඳව, ගම්පහ නගරයේ උපකාරක පන්තිවලට සහභාගීවන සිසුන් සමග සාකච්ඡාවක යෙදී ගත්හ.

සිසුන්ගේ සාකච්ඡා බොහොමයකින් අනාවරනය වූ ප‍්‍රධාන කරුනක් වූයේ සමස්ත ධනේශ්වර පාලක පන්තියටම එරෙහිව සිසුන් අතරත් වැඩෙන විරුද්ධත්වයයි. අගෝස්තු 17 මහ මැතිවරනයෙන් ප‍්‍රධාන ධනපති පක්ෂ කඳවුරු දෙකෙන් කව්රුන් බලයට පැමිනිය ද පාසල් සිසුන් ලෙස තමන් මුහුන දෙන තත්වය වඩාත් දරුනු අතට හැරෙනු ඇතැයි බහුතරයක් සිසුහු පෙන්වා දුන්හ.

ඉහල යන උපකාරක පන්ති ගාස්තු පිලිබඳව අදහස් දැක්වූ වරකාපොල ප‍්‍රදේශයේ සිට පැමිනි කලා විෂය ධාරාව හදාරන ශිෂ්‍යයෙකු මෙසේ පැවසීය: “අපි යන එක විෂයකට මාසෙකට රුපියල් 800 ක් ගන්නවා. ඒ අනුව විෂයන් තුනටම රුපියල් 2400 ක් යනවා. මාසෙකට එච්චර මුදලක් අපේ දෙමව්පියන් ගෙවන්නේ හරි අමාරුවෙන්. අනික ගමේ ඉඳන් ගම්පහට එන්න ගමන් වියදම් එක්ක ඒ ගාන තවත් වැඩිවෙනවා. මාසේ අන්තිමේ පන්ති ගාස්තු දෙන්න දවසක් හරි පරක්කු වුනොත් ඒ පාඩමට අදාල ටියුට් (නිබන්ධනය) දෙන්නෑ. දැනට වසර කිහිපයකට පෙර අපේ අයියලා උසස් පෙල කරන කාලේ පන්ති ගාස්තු මාසයකට රුපියල් 550 යි. දැන් පන්ති ගාස්තු ඉහල දමලා නමුත් මේ ආන්ඩු මේවා ගැන ඇහැක් ඇරලා බලන්නේ නෑ.”

පාසල් පද්ධතිය තුල නිර්මානය කෙරී ඇති දරුනු අසමානතාවය හා සරසවි ප‍්‍රවේශය සඳහා ඇති උග‍්‍ර තරඟකාරිත්වය සිසුන් උපකාරක පන්ති සොයා පැමිනීම පිටුපස ඇති ප‍්‍රධාන කරුනු අතර වේ. මේ අතර සුරක්ෂිත රැකියාවක් සඳහා වන අවම සුදුසුකමක් වන උසස් පෙල සාමාර්ථය අපේක්ෂාවෙන් මෙම පන්ති වලට පැමිනෙන සිසුන් ද වෙයි.

පාසල් පද්ධතිය තුල නිර්මානය කොට ඇති අසමානතාවය සරසවි වලට සිසුන් තෝරා ගැනීමේ ක‍්‍රමවේදය තුලින්ම පැහැදිලි වේ. විප‍්‍රකොස රටේ දිස්ති‍්‍රක්ක 26 න් 16 ක් ම අඩු පහසුකම් ඇති දිස්ති‍්‍රක්ක ලෙස නම්කොට තිබේ. නමුත් එම අඩු පහසුකම් මත තෝරා ගැනෙන්නේ තෝරා ගැනෙන මුලූ ශිෂ්‍ය සංඛ්‍යාවෙන් සියයට 5 ක් පමනි. පාසල් පද්ධතියේ අසමානතාවය පෙන්නුම් කරන තවත් කරුනක් වන්නේ 2012 වර්ෂයේදී අධ්‍යාපන අමාත්‍යංශය මගින් පලමු වරට ප‍්‍රසිද්ධ කල අංක එකේ පාසල් සාධන දර්ශකයයි. ඊට සුදුසුකම් ලබා ඇත්තේ දිවයිනෙන්ම පාසල් 56 ක් පමනි. මින් පාසල් 25 ක් බස්නාහිර පලාතටත් පාසල් 9 ක් මධ්‍යම පලාතටත් අයත්ව තිබේ. නැගෙනහිර, සබරගමුව හා ඌව යන දුෂ්කර පලාත්වලින් මෙම දර්ශකයට අයත්ව ඇත්තේ එක් පාසලක් පමනි.

යක්කල ප‍්‍රදේශයේ සිට ගම්පහ උපකාරක පන්ති වලට පැමිනි උසස් පෙල ගනිතය විෂය ධාරාව හදාරන ශිෂ්‍යයෙකු වන වී.ඩී. සිල්වා පැවසුවේ තම පාසලේ ගුරුවරුන් කිහිප දෙනෙකුම මුදල් අය කෙරෙන උපකාරක පංති පවත්වන බව හා ඔවුන් පාසල තුල නිසි පරිදි පාඩම් සම්පූර්න නොකරන බවයි.

පහල වැටුප් හා අඩු පහසුකම් යටතේ වේගයෙන් ඉහල යන ජීවන වියදමට මුහුනදීමේදී ගුරුවරුන්ටද මුදල් අය කොට අමතර පන්ති පැවැත්වීට බල කෙරී තිබේ. කෙසේ නමුත්, ගම්පහ වැනි නගර තුල දැකිය හැක්කේ අඩු පහසුකම් සහිත ශාලා තුල සිසුන් දහස් ගනන් තෙරපමින් තම මඩි තර කර ගන්නා ටියුෂන් මුදලාලිලා සුලු පිරිසකගේ ව්‍යාපාරයකි.

විභාග තුල නිර්මානය කෙරී ඇති තරඟය මගින් අධ්‍යාපනයේ ගුනාත්මකභාවය පිරිහෙලා ඇත. ලෝකය පිලිබඳ ගවේෂනාත්මකව, විද්‍යාත්මක හා ඓතිහාසික දැනුම ලබා ගැනීම වෙනුවට සිසුන් තල්ලු කොට ඇත්තේ බොහෝ විට ප‍්‍රශ්න පත‍්‍රයට සූදානම් වීමට පමනි.

සැලකිය යුතු තවත් කරුනක් වන්නේ, නිසි පෝෂනය හා විවේකය මෙන්ම සෞන්දර්යාත්මක සහ කී‍්‍රඩා කටයුතුවල නියැලීමේ අවකාශ නොමැතිවීම හේතුවෙන් ශිෂ්‍යයන්ගේ කායික හා මානසික නිරවුල්භාවයේ ඇතිවී තිබෙන පරිහානිගත තත්වයයි.

මේ අතර අධ්‍යාපන වියදම් මගින් දෙමාපියන්ට බරක් නොවනු පිනිස තම සරසවි සිහිනය දැනටම අතහැර දමා රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින සිසුන් ද සසජාතශි කන්ඩායමට හමු විය.

කලා විෂයයන් හදරන චතුර මදාර: “ගොඩක් ලමයි කැම්පස් යන්න මැෂින් වගේ පාඩම් කරනවා, පන්ති යනවා. පොඩි කාලේ ඉඳන් ලමයින්ව ක්ලාස් වලට දාලා ඒ ලමයින්ගේ ලමා කාලය නැති කරලා. එත් මම එහෙම තරෙඟට ගියේ නෑ. කැම්පස් යන එක ලේසි වැඩක් නෙමේ. ඉතින් මම ඒ තරම් ලොකුවට ඔය ගැන හිතන්න යන්නේ නෑ. මේ විභාගේ යන්තම් හරි පාස් වෙලා මොකක් හරි කෝස් එකක් කරලා ජොබ් එකක් කරනවා.”

සිසුන් විරෝධතා දේශපාලනය තුල කොටුකරමින්, පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) ට අනුබද්ධ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබම) ගෙන යන ප්‍රෝඩාකාරී විරෝධතා උද්ඝෝෂන පිලිිබඳව සසජාතශි ශිෂ්‍යයන්ගේ ගෙන් විමසීය.

ඇල්දෙනිය ප‍්‍රදේශයේ සිට පැමිනි එල්.එස්. ලක්මාල්ගෙන් ලැබුනේ මෙවන් ප‍්‍රතිචාරයකි. “පෙසප නම් පැහැදිලිවම කරන්නේ ඒ අයට ජනතා පදනමක් හරි කම්කරු පදනමක් නැති නිසා ශිෂ්‍යයන් අල්ලන් ඒ අයව විකුනගෙන කන එක. භික්ෂු බඳවා ගැනීම් ඉහල දමන්න කියලා එයාලා අරගෙන ගිය උද්ඝෝෂනේදී ඒක හොඳටෝම පෙනුනා. මාක්ස්වාදී පක්ෂයක් නම් ඇයි භික්ෂුන්ගේ දේවල් වලට මැදිහත් වෙන්නේ?”

වැඩි දුරටත් අදහස් දැක් වූ ලක්මාල් මෙසේ ප‍්‍රකාශ කලේ ය: “ජවිපෙ අයටනම් නිදහස් අධ්‍යාපනෙන් වැඩක් නෑ. එයාලට ඕනේ සටන් පාඨ විතරයි. ජවිපෙ අය හැමදාම ධනපති ආන්ඩු බලයට ගෙනල්ලා මිනිස්සුන්ව රැවැට්ටුවා. එයාලා කවදාවත් කම්කරු පන්තිය ගැන හිතුවේ නැහැ. මාක්ස්වාදයේ කිසි දෙයක් එයාලගේ පක්ෂය ඇතුලේ නෑ. කම්කරුවන්ට තරුනයන්ට මාක්ස් කිව්වේ මොනවාද කියලා උගන්නන්න ඕනා. ඒකට ජවිපෙ කැමති නෑ. මොකද එතකොට එයාලා කරන බොරුව අහුවෙනවා.”

නිදහස් අධ්‍යාපනය ධනපති පන්තියෙන් ලැබුනු තිලිනයක් නොව එය දිනාගනු ලැබුවේ ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනය මත ලංකාවේ සිංහල දෙමල කම්කරු පන්තිය මෙහෙය වූ හතරවන ජාත්‍යන්තරයේ ඉන්දු උප මහාද්වීපීය පක්ෂය වූ බෝල්ෂෙවික් ලෙනින්වාදී පක්ෂ ගෙන ගිය අරගලය මගින් බව සසජාතශි කන්ඩායම් සිසුන් හට පැහැදිලි කර දුන්නේ ය.

ලෝක ධනේශ්වර ක‍්‍රමයේ වත්මන් මහා බිඳ වැටීම විශ්ලේෂනය කෙරෙන ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ලිපි බෙදා හැරි සසජාතශි ධනපති ආන්ඩුවලට බලපෑම් දමා අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කල හැකිය යන අවිශිබමයේ වැඩපිලිවෙල මිත්‍යාවක් බවත් වර්ධනය වන ලෝක යුද්ධය හා ආර්ථික කප්පාදු පිලිවෙත්වලට එරෙහිව ලෝක සමාජවාදී ඉදිරිදර්ශනය මත සටන් කිරීමට කම්කරු පන්තියේ ලෝක පක්ෂයක අවශ්‍යතාවයත් පෙන්වා දුන් විට සසජාතශි කන්ඩායම් වෙත සිසුන්ගෙන් ලැබුනේ උනන්දු සහගත ප‍්‍රතිචාරයකි.

වැඩිදුර අධ්‍යයනය සඳහා කතුවරයා පහත ලිපිය නිර්දේශ කරයි.

අධ්‍යාපන කප්පාදුවට එරෙහිව සමාජවාදී වැඩපිලිවෙලට සටන් කරනු!
අවිශිබම විරෝධතා දේශපාලනය ප‍්‍රතික්ෂේප කරනු!

Share this article: