ජර්මනියේ හම්බෝල්ට් විශ්වවිද්‍යාලය තුල ශිෂ්‍ය භාෂනයේ නිදහස තහවුරු කරනු!
රාජ්‍ය අනුග‍්‍රහය ලත් වාරනය නතර කරනු!

Defend student free speech at Humboldt University! Stop state-sponsored censorship!

ජර්මානු සමාජවාදී සමානතා පක්ෂය හා සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ , 2015 මාර්තු 19

“මුන්ක්ලර්-වොච්” බ්ලොග් අඩවිය පවත්වාගෙන යන සහ දැවැන්ත බියගැන්වීමේ ව්‍යාපාරයක ඉලක්කය බවට පත්ව සිටින හම්බෝල්ට් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට සසප සහ සසජාතශි පැහැදිලිවම සිය සහාය පලකරයි. දේශපාලන විද්‍යා ආචාර්යවරයෙකු වන හර්ෆරිඩ් මුන්ක්ලර් ගේ දේශන විවේචනය කිරීමට ඔවුන්ට ඇති අයිතිය අපි ආරක්ෂා කරමු.

පරදුවට තැබී ඇත්තේ හුදෙක් බර්ලීනයේ හම්බෝල්ට් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු සමග ඇති ගැටුමක් නොවේ. පරදුවට තැබී ඇත්තේ ප‍්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමයි. නාසි පාලන අවධියේ දී Gleichschaltung (මාවතට ගැනීම) යන නාමය යටතේ ක‍්‍රියාත්මක වූ, රාජ්‍යයේ අධීක්ෂනය සහිත අනුකුලතාවාදය හම්බෝල්ට් සහ අනෙකුත් විශ්ව විද්‍යාලයන් තුලින් තුරන් කල යුතු ය. ඒවා ශාස්ත‍්‍රීය සහ පර්යේෂන ආයතනයන්ගේ සිට රාජ්‍යයේ යුද ප‍්‍රචාරනයේ උපකරන බවට පරිවර්තනය නොවිය යුතු ය.

“මුන්ක්ලර් වොච්” මත එල්ල කෙරෙන ප‍්‍රහාර වනාහි, නැගෙනහිර යුරෝපීය ඉතිහාසඥයකු වන ජෝර්ග් බාබරොව්ස්කි විවේචනය කිරීම නිසා විශ්ව විද්‍යාලීය පරිපාලනය සහ මාධ්‍ය මගින් හෙලා දකින ලද සසජාතශි වෙත එල්ල කෙරෙන ප‍්‍රහාරයන්ගේ දිගුවක් සහ වර්ධනයකි. පසුගිය වර්ෂයේ බාබරොව්ස්කිට පහර දුන් තරුන ට්‍රොට්ස්කිවාදී කන්ඩායමක් මෙම බ්ලොග් අඩවිය පිටුපස සිටින බව තමන් සැක කලේ යැ යි මාධ්‍ය නියෝජිතයන්ට පවසමින් මුන්ක්ලර් මෙම සබඳතාව තෙමේම ගොඩනගා ගත්තේ ය.

“මුන්ක්ලර් වොච්” හි නිර්නාමික ලේඛකයන්ට “කාලකන්නි බියගුල්ලන්” ලෙස අපහාස කල සහ “බ්ලොක්වාට්ස්” නමින් නාසි අධිකාරීන් හා මහජනතාව අතර සම්බන්ධය ඇති කිරීම භාරව සිටියවුන්ට ඔවුන් සමාන කල දේශනයක් සඳහා පසුගිය 12දා මුන්ක්ලර් මාධ්‍යට ආරාධනා කලේය. “හෙලා දැකීමේ නිරන්තර තර්ජනය යටතේ” දේශනයක් පැවැත්වීමට සිදුවීම “දැරිය නොහැකි තත්වයක්” බව ඔහු ප‍්‍රකාශ කලේය. එතැන් සිට “මුන්ක්ලර් වොච්” පිලිබඳ ලිපි තොගයක් ජර්මානු මාධ්‍ය තුල පලවී තිබේ.

ස්පීගල් ඔන්ලයින්, ඩර් ස්පීග්ල්, ද සූඩේඋට්ෂේ ෂේයිටුංග් ඇතුලු ජර්මානු පුවත්පත් හා සඟරා දුසිමකට වැඩි සංඛ්‍යාවක “මුන්ක්ලර් වොච්” පිලිබඳව ලියා තිබේ. ෆ‍්‍රැන්ක්ෆර්ටර් අල්ජෙමේන් ෂේයිටුංග් (ෆ‍්‍රැඅෂේ) හි ප‍්‍රකෝපකාරී ලිපි දෙකක් පල කෙරුනි. කිහිපයක් හැරෙන්නට අර්ධ සත්‍ය, විකෘති කිරීම්, සහ විවෘත්තව ම මුසාවාද මත පදනම් වූ එම ලිපි, බ්ලොග්කරුවන්ට එරහි කටුක බැන වැදීම් විය.

ජර්මානු ජාතික ගුවන්විදුලි සේවාවේ වින්ෆ‍්‍රයිඩ් ස්ටාටර්, බ්ලොග්කරුවන් හැඳින්වූයේ, “අදහස් පිලිබඳ සුපරික්ෂාකාරී ස්වරූපයක්, පෙන්නුම් කරන ‘සදාචාරාත්මක ආරක්ෂකයන්’ ලෙස ය. බ්ලොග්කරුවන්ගේ කටයුතු, ‘බටහිර ඉස්ලාමීය කරනයට එරෙහි දේශපේ‍්‍රමී යුරෝපීයන්ගේ සංවිධානයට (පෙජිඩා) සමාන කලහාකාරීත්වයේ සහ බියසුලුකමෙහි, සංකලනයක් යැයි” ජෙන්ස් බිස්කි ද සූඩේඋට්ෂේ ෂේයිටුංග් පත‍්‍රයෙහි ලිවී ය.

විවේචනාත්මක සිසුන් මත වඩාත් ම ප‍්‍රකෝපකාරී ප‍්‍රහාරය එල්ල කලේ, දක්ෂිනාංශික ෆ‍්‍රැන්ක්ෆර්ටර් අල්ජෙමේන් ෂේයිටුංග් පුවත්පතෙනි. නැගෙනහිර ජර්මනියේ නීරස දේ ලියූ ස්ටැලින්වාදිනියක ලෙස සිය මාධ්‍ය දිවිය ආරම්භ කල රෙජිනා මෝන්ක් මෙසේ සිය කෝපය පල කලා ය: “ශිෂ්‍යයන් මහාචාර්යවරයෙකුට දාමරිකකම් කිරීම.... පැහදිලිව ම බුද්ධිමත් ලෙස ඔවුන් ගරු නොකරන ඔහුගේ දේශන හෙලාදකින අතර වාරනයද කරති.” මෙවැනි ක‍්‍රියාකාරකම් සම්බන්ධයෙන් “මුලූමනින්ම අබ්බගාත” ආකාරයකට ප‍්‍රතිචාර දැක්වීම ගැන ඇය විශ්ව විද්‍යාලයට චෝදනා කලා ය.

පරිපාලනයේ නිවේදනය පෙනී ගියේ, “ස්ථිර දබරයකට කෙරෙන ආරාධනයක් හෝ ඇතැම් මහාචාර්යවරුන් එය අපහාස කිරීමේ නිදහස ආරක්ෂා කිරීමට සූත‍්‍රගත කරන ලද්දක් මෙන් ය”.

ඉරිදා, ෆීඩ්රික් හොප්ට් නම් මාධ්‍යවේදිනිය, ෆ‍්‍රැන්ක්ෆර්ටර් අල්ජෙමේන් ෂේයිටුංග් පත‍්‍රය තුල ඊටත් වඩා දුර ගියාය. දිලිඳු මාධ්‍යකරනයේ ආකෘතියක් ලෙස ඇගේ ලිපිය සේවයට කැප විය. එය කිසිදු සමාන කමක් නැති සිදුවීම් එක් මිශ‍්‍රනයකට ගොනු කරන අතර, එම ක‍්‍රියාදාමය තුල දී මූලික කරුනු අතහැර දමන අතර විකෘති ද කර යි. ඇගේ ලිපිය මූර්තිමත් කරන්නේ, බියගුලු විශ්වවිද්‍යාලීය පරිපාලනයක් විසින් අතහැර දමන ලද්දා වූ ද ප‍්‍රහාරයන් පිලිබඳ නියත බියකින් දිවි ගෙවන්නා වූ ද මධ්‍යස්ථ මහාචාර්යවරුන්ගේ අභූත ප‍්‍රතිමූර්තියකි. දක්ෂිනාංශික මහාචාර්යයවරුන් ගැන කරන යුක්ති සහගත, ස්වාධීන විවේචන, “බෝම්බ තර්ජන හා මරන තර්ජන” ලෙස ගෙනහැර දැක්වීමේදී එය ඊටත් වඩා දුර දිග යයි.

වඩාත්ම පසුගාමී අගතීන් බලමුලු ගැන්වීමේ උත්සාහයේ දී හවුප්ට්, හම්බෝල්ට් විශ්වවිද්‍යාලය පිහිටා ඇති බර්ලීනය දුෂ්ඨ ගුහාවක් ලෙස විස්තර කර යි. ඇතැම් බර්ලීන වැසියෝ “පැය තිහක් සමාජ ශාලා වල ගත කර පසුව උමන් මාර්ග වල වමනය කරති” යි ඇය ලිය යි.

ඉහත සඳහන් කල බොහෝ ඒවා මෙන් ම ෆ‍්‍රැන්ක්ෆර්ට් අල්ජමේන් ෂේයිටුංග් ලිපිය ද ඉලක්ක කරන්නේ, නිල චින්තන ගුරුකුලයේ විවේචකයන් අපරාධකරුවන් කෙරෙන තැතිගන්වීමේ වාතාවරනයක් නිර්මානය කිරීමට ය. 1968 ශිෂ්‍ය අරගලයේ සිට දිනා ගන්නා ලද ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජයග‍්‍රහන ආපසු හැරවීමටත්, “කලු ඇඳුමින් සැරසුනු දෙවිවරු” ශිෂ්‍යයන් අවිචාරවත් සහ පාලක ප‍්‍රභූවේ හෙන්චයියන් කරවීමට පුහුනු කරන තත්වයක් තුල විශ්ව විද්‍යාල නැවත වරක් අධිකාරිවාදී ආයතන බවට හැර වේ. ඒ සඳහා වචනයක් ඇත: මාවතට ගැනීම.

සසජාතශියට එල්ල කරන ප‍්‍රහාරයන්ගේ දිගුවක්

“මුන්ක්ලෙර් වොච්” වෙබ් පිටුවට එල්ල කරන ප‍්‍රහාර, සසජාතශියට එල්ල කරන ප‍්‍රහාරයන්ගේ ම ඉදිරියට යාමක් මෙන් ම තීව‍්‍ර කිරීමකි. මෑත මාසවල දී විශ්වවිද්‍යාලය, ජර්මානු සමාජවාදී සමානතා පක්ෂයේ (පීඑස්ජී) ශිෂ්‍ය සහ තරුන ව්‍යාපාරය සිය නිල වෙබ් අඩවිය හරහා දෙවරක් ම හෙලා දැක ඇත.

2014 නොවැම්බර් මස ඉතිහාස දෙපාර්තමේන්තුව, ඉතිහාසඥ ජෝග් බාබරෝව්ස්කි විසින් සිදු කරන ලද ප‍්‍රසිද්ධ ප‍්‍රකාශ සම්බන්ධ සසජාතශි විවේචනයට විරුද්ධ වෙන ලෙස “හම්බෝල්ට් විශ්වවිද්‍යාලයේ ගුරුවරුන් සහ ශිෂ්‍යයන්ගෙන්” ඉල්ලා සිටි අතර තව දුරටත් මේ ආකාරයේ විවේචන “හම්බෝල්ට් විශ්ව විද්‍යාලයේ දේශන ශාලා තුල” සිදු කිරීම නො ඉවසන ලෙස ද ඉල්ලා සිටියේය.

2015 අපේ‍්‍රල් මස මීට සමාන ප‍්‍රකාශයක් විශ්වවිද්‍යාලය විසින් එහි සභාපති යාන් හෙන්රික් ඕල්බර්ට්ස්ගේ අත්සන සහිතව ප‍්‍රකාශයට පත්කරන ලදී. එය ජෝග් බාබරෝව්ස්කිට විරුද්ධව එල්ල කෙරුනු “කුරිරු අපහාස කිරීම්”, “නින්දා කිරීම්” සහ “චරිත ඝාතනය” කිරීම් සම්බන්ධයෙන් සසපට සහ සසජාතශියට චෝදනා කලේ කිසිම අයුරකින් මෙම ප‍්‍රකාශයන් සම්බන්ධයෙන් තහවුරු කිරීමකින් තොරව ය.

විශ්වවිද්‍යාලයේ ස්ථාපිත කොට ඇති සහ ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන ශිෂ්‍ය සංවිධානයක් මත පරිපාලනය සිදුකරන එවැනි ප‍්‍රහාරයක් මූලික ප‍්‍රජාතන්ත‍්‍රවාදී මූලධර්ම එලි පිටම නොසලකා හැරීමකි.

ජර්මානු ඉතිහාසඥයන් අතර ජාතික සමාජවාදය සඳහා වඩා කුප‍්‍රකට ම ක්ෂමාලාපකයා වන අර්නස්ට් නොල්ට් පුනරුත්ථාපනය කිරීම සඳහා වූ බාබරෝව්ස්කිගේ වෑයම සිය අත් පත‍්‍රිකා තුල සහ ප‍්‍රසිද්ධ රැස්වීම් වලදී සසජාතශි විසින් විවේචනය කොට තිබුනි. දෙවන ලෝක යුද්ධය තුල සිදු කෙරුනු අපරාධ නොසලකා හැරීමට සහ නව යුද අපරාධ සාධාරනීකරනය කිරීම සඳහා වූ බාබරෝව්ස්කිගේ උත්සාහය සසජාතශි හෙලා දැක්කේය. ඔවුන් මෙම චෝදනාවන්ට අතිශය නිවැරදි සාධකයක් සැපයීය.

2014 පෙබරවාරි මස ඩර් ස්පීගල් හි පල වූ ලිපියක බාබරෝව්ස්කි අර්නස්ට් නොල්ට් හට ඔහුගේ සහය පැහැදිලිව ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කලේ ය. ඔහු ප‍්‍රවෘත්ති සඟරාවට මෙසේ පැවසීය: “නොල්ට් අසාධාරනයට ලක් වූවෙක්. ඓතිහාසිකව කතා කිරීමේදී ඔහු නිවැරදි දේ කල අයෙක්,” සහ “හිට්ලර් මනෝ ව්‍යාධිකයෙකු නොවේ, එමෙන් ම ඔහු දුෂ්ටද නො වීය. මිනිසුන් ඔහුගේ මේසයේ දී යුදෙව් මූලෝත්පාටනය ගැන කතා කරනවා ඇසීමට ඔහුට අවශ්‍ය වුනේ නෑ.”

නොල්ට් මෙන්, නැගෙනහිර පෙරමුනේ යුද අපරාධ ස්ටැලින්වාදී අපරාධයන්ට ප‍්‍රතිචාරයක් මිස සැලැසුම්ගත මූලෝත්පාටන යුද්ධයක ප‍්‍රතිඵලයක් නොවන බව පින්තාරු කෙරෙන අතිවිශාල ඡේද බාබරොව්ස්කිගේ කෘති තුල සොයා ගත හැක. ඔහු 2007දී මෙසේ ලිවී ය: “ස්ටැලින් හා ඔහුගේ ජෙනරාල්ලා වමාක් (නාසි ඒකාබද්ධ හමුදාව) මත නව ආකාරයක යුද්ධයක් පැටවූහ ― මෙය තව දුරටත් මහජනතාව ආරක්ෂා නො කලේ ය.”

2014දී ජර්මානු ඓතිහාසික කෞතුකාගාරයේ පැවති කන්ඩායම් සාකච්ඡාවක දී බාබරොව්ස්කි ජිහාද් කන්ඩායම්වලට එරෙහි සටනේ දී ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කෙරුනු ක‍්‍රමවේද යොදා ගැනීම යුක්ති සහගත කලේ ය. ඔහු පදානුපදිකව මෙසේ කීවේ ය: “‘ත‍්‍රස්තවාදීන් කරන්නාක් මෙන් ප‍්‍රාන ඇපකරුවන් ගැනීමට, ගම්දනව් ගිනි තැබීමට, මිනිසුන් එල්ලා දැමීමට හා භීතිය හා ත‍්‍රාසය පැතිරවීමට යමෙකු කැමති නැත්නම්, යමෙකු එවැනි දේ කිරීමට සූදානම් නැතිනම් කිසි දිනක එවැනි ගැටුමක් ජය ගත නො හැක, ඒ නිසා සම්පූර්නයෙන් ම ඉවත් වී සිටීම වඩා හොඳ ය.”

සසජාතශි බාබරොව්ස්කිගේ යුද අපරාධ සාපේක්ෂකරනය තැබුවේ ජර්මනිය තුල දශක ගනනාවක මිලිටරි බාධා අවසන් කිරීමේ කාලය බව ජර්මානු ආන්ඩුවේ ප‍්‍රමුඛ නියෝජිතයින් විසින් කරන ලද නිවේදනයේ සන්දර්භය තුල ය. එය මෙසේ ලිව්වේ ය: “නාසී අවධියේ අපරාධ පහත හෙලන ඉතිහාසය පිලිබඳ නව අර්ථකතනයක් ජර්මානු මිලිටරිවාදයේ පුනරාගමනයට අවශ්‍ය ය.”

“හම්බෝල්ට් විශ්වවිද්‍යාලය දක්ෂිනාංශික හා මිලිටරිවාදී කේන්ද්‍රයක් බවට” හා “ජර්මානු ස්ප‍්‍රී ගංගාව අසල හූවර් ආයතනයේ ජර්මානු අනුවර්තනයක් බවට” පරිවර්තනය කිරීමේ උත්සාහය පිලිබඳ ප‍්‍රකාශනය අනතුරු ඇඟවී ය. ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ හූවර් ආයතනය එක්සත් ජනපදයේ දේශපාලන දක්ෂිනාංශයේ ශාස්ත‍්‍රාලික මධ්‍යස්ථානය යි.

මෙම වසරේ අපේ‍්‍රල් 28වැනිදා, සසජාතශි විවෘත ලිපියකින් හම්බෝල්ට් විශ්වවිද්‍යාලයට අනතුරු ඇඟවී ය: “මහාචාර්යවරයෙකුගේ පිලිගැනීම ආරක්ෂා කිරීමේ කඩතුරාව යටතේ භාෂනය හා අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස මත අතිමූලික ප‍්‍රහාරයක් සිදුවෙමින් පවතී.” හම්බෝල්ට් විශ්වවිද්‍යාලයට සමීප මතභේද බොහෝ දුර ඉක්මවා යන භයානක පූර්වාදර්ශ ස්ථාපිත කරමින් සිටී. එයට අභියෝග නො කර යාමට ඉඩ තැබුවහොත් විශ්වවිද්‍යාලය තුල දේශපාලන 'මාවතට ගැනීමකට' (Gleichschaltung) මග පාදනු ඇත: දේශපාලන විවේචන සමග අත්වැල් බැඳ ගත් සියලු ම බැරෑරුම් ශාස්ත‍්‍රාලික ක‍්‍රියාකාරකම් මර්දනය කරනු ඇත.

“මුන්ක්ලර් වොච්” මත ප‍්‍රහාරය

“මූන්ක්ලර් වොච්” මත ප‍්‍රහාරය මෙම අනතුරු ඇඟවීම සංඥා කර ඇත. අප දන්නා තරමට බ්ලොග් අඩවිය සංවිධානය කරනු ලැබ ඇත්තේ ශිෂ්‍යයින් විසින් ම ය. බාබරොව්ස්කි හා හර්ෆ‍්‍රීඩ් මුන්ක්ලර් පිලිබඳ අපගේ විවේචන එසේ කිරීමට ඔවුන් ධෛර්යමත් කලේ නම් අපි මෙම වර්ධනය සාධරයෙන් පිලිගනිමු. කෙසේ නමුත්, බ්ලොග් අඩවිය පෙන්වන්නේ මිලිටරිවාදයට හා ඓතිහාසික මුසාකරනයට වන විරුද්ධත්වය වැඩෙන බව හා අපගේ ස්ථිරසාර දේශපාලන වැඩකටයුතු ප‍්‍රතිචාරයක් දිනාගනිමින් සිටින බව යි.

ඒ නිස යි මුන්ක්ලර් හා කැලඹුනු මාධ්‍යවේදීන් සමූහයක් එතරම් තදින් බ්ලොග්කරුවන්ට පහර දෙන්නේ. දේශපාලන ප‍්‍රභූව හා මහජනතාව අතර ගැඹුරු හිදස ශිෂ්‍යයින් හා කම්කරුවන් රැඩිකලීකරනයට මග පාදනු ඇති අතර යුද්ධයට හා මිලිටරිවාදයට වන විරුද්ධත්වය තව දුරටත් හුදකලා කල නොහැකි යයි ඔවුහු බිය වෙති.

අපගේ ප‍්‍රසිද්ධ රැස්වීම් හා ලිපි තුල, සසජාතශි හා ලෝක සමාජවාදී වෙබ් අඩවිය දීර්ග කාලයක් තිස්සේ මුන්ක්ලර් විසින් නියෝජනය කරනු ලබන අධිරාජ්‍යවාදී හා මිලිටරිවාදී ආස්ථානයන් හෙලිදරව් කර ඇත - ආරක්ෂක ශාස්ත‍්‍රාලයේ උපදේශක මන්ඩලයේ ඔහුගේ සාමාජිකත්වය, බලාධිකාරී පාලනයක් සඳහා ඔහුගේ සහයෝගය, පලමු ලෝක යුද්ධය තුල ජර්මනියේ වගකීම ඔහු විසින් පහත හෙලීම, ජර්මනිය යුරෝපයේ ප‍්‍රමුඛ බලවතා හා වැඩ නියම කරන්නා විය යුතු යයි ඔහු කරන ඉල්ලීම හා උපකල්පිත පූර්ව ලෙස මානව අවි ලෙස සටන් ඩ්‍රෝන් යානා සඳහා ඔහුගේ සහයෝගය හා තවත් දේවල්.

විවේචනය පිලිබඳ ඒ සමාන කාරනා “මුන්ක්ලර් වොච්” තුලින් සොයා ගත හැක. කාරෝ මේයර් නම් ආරූඪ නාමයකින් පෙනී සිටින කන්ඩායමේ අදහස් ප‍්‍රකාශ කරන්නෙකු ජුන්ග් වෙල්ට් පුවත්පතට මෙසේ පැවසී ය: “යුරෝපා සංගමය තුල ජර්මනියේ ආධිපත්‍යය සුජාත කරමින් හෝ එහි සවිබල ගැන්වීම සඳහා තර්ක කරමින් රූපවාහිනිය මත මුන්ක්ලර් පෙනී නො සිටින දවසක් නැති තරම් ය. සැබවින් ම ‘මිලිටරිය විසින් ශක්තිමත්’ කල යුතුව ඇති ජර්මන් ප‍්‍රභූවගේ ආර්ථික උත්සුකතාවන්ට නැඹුරු වූ විදේශ ප‍්‍රතිපත්තියකට ඔහු ආශිංසනය කරන බව යමෙකු පුවත්පතක කියවනු ඇත. ස්වෝත්තමවාදී හෝ වර්ගවාදී ගතානුගතිකතාවන් සමග විභූෂනය කෙරුනු ඔහුගේ අදහස්වලට යමෙකු ගුවන්විදුලිය තුල සවන් දෙනු ඇත.”

ඔවුන් ව අපකීර්ත්මත් කිරීම සඳහා මුන්ක්ලර් හා මාධ්‍යය බ්ලොග්කරුවන්ගේ නිර්නාමිකත්වය විශේෂයෙන් යොදා ගනිති. නිර්නාමික විවේචන “බියගුලු” හා නීතිවිරෝධී යැයි ඔවුහු පවසති. මෙම ප‍්‍රකාශය සැබවින් ම ව්‍යාජ හා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී නිසා එය මාධ්‍යවේදීන්ගේ හා නීතිවේදී කවයන්ගේ විරුද්ධත්වයට මුහුන දී ඇත.

බ්ලොග්කරුවන් ඔවුන් විසින් ම පැහදිලි කරන්නේ ඔවුන්ගේ උපාධි, අනාගත රැකියා හා ආදායම් තර්ජනයට ලක් විය හැකි බැවින් ඔවුන්ගේ නිර්නාමිකත්වය අත්‍යාවශ්‍ය බව යි. විභව හාම්පුතුන් අන්තර්ජාලය තුල ඔවුන්ගේ නම් පරීක්ෂා කල හැකි බව ද, “නොනිල වසයෙන් විසම්මතිකයන්ට පීඩනය යෙදීමට අවස්ථා 1001” මහාචාර්ය වරුන්ට ලැබෙනු ඇති බව ද ඔවුහු ලියති. “බලය පිලිබඳ සැබෑ අසමමිතිය නිසා මෙම වේදිකාවේ දී අපි නිර්නාමිකත්වය ප‍්‍රයෝජනයට ගනිමු” යි ඔවුහු තවදුරටත් පැවසී ය.

මෙම ආස්ථානය සමූහාන්ඩුවේ ශ්‍රේෂ්ඨාධිකරනයේ තීරනයන් මගින් ආරක්ෂා කෙරේ. “විශේෂිත අදහසක් පිටුපසින් පවතින නාම පිලිගැනීමට බැඳීම” ව්‍යවස්ථාව සමග නො ගැලපේ යැයි 2009 ජූනි 23 දා උසාවිය තීන්දු කලේ ය. එය “පලිගැනීම හෝ වෙනත් නිෂේධනීය බලපෑම්වලට බියෙන් පුද්ගලයෙකු ඔහුගේ අදහස් ප‍්‍රකාශ නො කිරීමට ඉඩ තිබීමේ අවදානම ස්ථාපිත කරනු ඇත” යි මෙම තීරනය ප‍්‍රකාශ කර යි. ස්වයං වාරනය පිලිබඳ මෙම තර්ජනය ගමන් කරනු ඇත්තේ ප‍්‍රකාශනය පිලිබඳ මූලික අයිතීන්ට විපරීත ලෙස ය.

ෆ‍්‍රැඇෂේ කතුවරයෙකු පවා ඔහුගේ 'මුහුනුපොත' තුල කතෘමන්ඩල සගයෙකු වන මෝන්ක්ට විරුද්ධ විය. 2001 සිට 2011 දක්වා පුවත්පතේ සංස්කෘතික අංශයේ ප‍්‍රධානියා වූ පැටි‍්‍රක් බාහ්නර්ස් බ්ලොග්කරුවන්ගේ නිර්නාමිකත්වය ආරක්ෂා කලේ මෙසේ පවසමිනි: “නිර්නාමිකත්වය පිලිබඳ ඉතාමත් වැදගත් කාරනය පැහදිලි ය. එය විවේචනයේ ගරුත්වය හා අවංක භාවය දිරිමත් කර යි. මුන්ක්ලර් වොච් යනු අසමානයන්ගේ විනිශ්චය පිලිබඳ කාරනයකි. අඩු ම බලවත් අයගේ අවශ්‍යතාවන්ට සේවය කරන සම්භාව්‍ය ලිබරල් දෘෂ්ටීන්ට අනුව මෙහි නිර්නාමිකත්වයේ ආරක්ෂාව පැතීමට විශේෂ හේතු පවතී. නිරීක්ෂනය කෙරෙන මහාචාර්යවරයා පසුව විය හැකි ලෙස නිරීක්ෂකයාගේ ම කටුයුතු විභාග කරනු ඇත.”

ෆ‍්‍රැඇෂේ විසින් කරන ලද “හෙලාදැකීමේ” චෝදනාවට ද බාහ්නර්ස් විරුද්ධ විය. “ප‍්‍රසිද්ධ ප‍්‍රකාශනවල විවෘත බෙදාහැරීම හෙලාදැකීමේ නිර්වචනයට හා කල නො හැක, සම්මුතියෙන් තරමක් බැහර ගියොත් හෙලාදැකීම බලාධිකාරීන්ට වාර්තා කිරීමකි.”

“මුන්ක්ලර් වොච්” “අන්තර්ජාල නීතියේ” වේදිකාව මත එක්තරා ආකාරයක “වාරනයක්” ස්ථාපනය කර යි යන ෆ‍්‍රැඇෂේ චෝදනාවලට නීතිඥ තෝමස් ස්ටැඩ්ලර් උත්තර දෙයි. “වාරනය යනු තොරතුරු පිලිබඳ රාජ්‍ය මර්දනය යි. එය පුරවැසියන් හෝ ශිෂ්‍යයින් විසින් කරනු ලබන ප‍්‍රසිද්ධ විවේචනයක නිශ්චිත විරුද්ධ පැත්ත යි... අදහස් පිලිබඳ විවේචනාත්මක ප‍්‍රකාශන වාරනයක් ලෙස සලකන ඕනෑ ම අයෙකු දැනටමත් මුලුමනින් ම වෛෂයික කතිකාවේ බලප‍්‍රදේශය අතහැර දමා ඇත.”

මෙම අදහස් දැක්වීම් කීපය පමනක් ම ද “මුන්ක්ලර් වොච්” මත ප‍්‍රහාරයේ සහමුලින් ම ප‍්‍රතිගාමී හා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ස්වභාවය පෙන්ව යි. ඒවා ප‍්‍රකාශනයේ නිදහස මර්දනය කිරීමේ හා හම්බෝල්ට් විශ්වවිද්‍යාලය රාජ්‍ය යුද ප‍්‍රචාරයේ උපකරනයක් කිරීමේ පැහදිලි උත්සාහයකි.

හම්බෝල්ට් විශ්වවිද්‍යාලයේ පුරෝගාමී ෆෙඩි‍්‍රක්-විල්හෙම්ස්-විශ්වවිද්‍යාලයට මේ කාරනය සම්බන්ධයෙන් ඇත්තේ අතිදුෂ්ට ඉතිහාසයකි. වයිමාර් සමූහාන්ඩු කාලයේ දී එය නාසි සිසුන් සඳහා තෝතැන්නක් වූවා පමනක් නො ව, එය 1933 පලමු පොත් ගිනි තැබීමේ භූමි භාගය වූවා මෙන් ම “නැගෙනහිර මහා සැලැස්ම” - නැගෙනහිර මූලෝත්පාටන නාසි යුද්ධයේ සැලැස්ම -සූත‍්‍රගත කල ආයතනය ද විය.

විවේචනයේ හා භාෂනයේ නිදහස මර්දනය කිරීමේ උද්ඝෝෂනය හුදෙක් මුන්ක්ලර්, බාබරොව්ස්කි හා අනෙකුත් මහාචාර්ය වරුන්ගේ පුද්ගලත්වයන්ගෙන් පැහදිලි කල නො හැක. වඩා ගැඹුරු හේතුව වන්නේ ගෝලීය ධනවාදයේ අර්බුදයට පාලක පන්තිය ප‍්‍රතිචාර දක්වමින් සිටින මිලිටරිවාදයට හැරීම යි. මෙය සමාජයේ සෑම සිදුරකට ම ව්‍යාප්ත වන අතර ප‍්‍රජාතන්ත‍්‍රවාදය සමග නොපෑහේ.

මේ හේතුව නිසා ශිෂ්‍යයින්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් මත ප‍්‍රහාරය සියල්ලට ම අදාල වේ. මෙම ප‍්‍රහාරයන් පිටුදැකීමට හම්බෝල්ට් විශ්වවිද්‍යාලයේ හා ජර්මනිය සිසාරා සහ ලෝකය වටා විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයින්ට, ශාස්ත‍්‍රාලික මන්ඩලයට හා පීඨයන්ට අපි ආරාධනය කරමු.

විශේෂයෙන් ම කම්කරු පන්තිය ශිෂ්‍යයින්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම භාර ගත යුතු ය. විශ්වවිද්‍යාල යුද ප‍්‍රචාරයේ කේන්ද්‍ර බවට හැරවීම කම්කරු පන්තියට අතිශයින් ම වැදගත් ය. කම්කරු පන්තියේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා සමාජ අයිතීන් මත ප‍්‍රහාරය සමස්තයක් වසයෙන් සමාජය මිලිටරීකරනය කිරීම සමග බැඳෙනු ඇත.

Share this article: