ඉවත් කරන ලද කොලඹ පැල්පත් වාසීහු දුෂ්කර කොන්දේසි වලට මුහුන දෙති

Sri Lanka: Evicted Colombo shanty dwellers face desperate situation

විලානි පීරිස් විසිනි, 2015 මැයි 9

ඩොලර් මිලියන ගනනක සංවර්ධන වැඩකටයුතු වලට ඉඩ පාදා ගැනීමට 2013 දී නිවාසවලින් ඉවත් කරනු ලැබූ කොම්පඤ්ඤවීදියේ දිලිඳු පවුල් 580කට අධික පිරිසක් දැන් දුෂ්කර කොන්දේසි වලට මුහුන දෙති. නව නිවහන් ලබා දෙනතෙක් කුලී නිවාස සඳහා මුදල් දෙන බවට මෙම නිවැසියන්ට පොරොන්දු ලබා දුන්නත් ඔවුන්ට ප‍්‍රමානවත් මුදලක් නො ලැබේ. එලෙස ම ඔවුන්ට නව නිවාස ලබා දී ඇත්තේ ද නැත.

ජාත්‍යන්තර ආයෝජකයන්ට හා සංචාරකයන්ට ගැලපෙන, දකුනු ආසියානු වානිජ කේන්ද්‍රස්ථානයක් බවට කොලඹ නගරය පරිවර්තනය කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව 2013 දී මෙම පවුල් ඉවත් කොට ඉඩම් හෙක්ටයාර් 2.4ක් අත්පත්කර ගන්නා ලදී. එක්සත් ජනපද ඩොලර් මිලියන 429.5ක් වටිනා සුඛෝපභෝගී තට්ටු නිවාස ඉදිකිරීමට සැලසුම් කල ටාටා නමැති යෝධ ඉන්දියානු සමාගම මෙම ව්‍යාපෘතියට සම්බන්ධ විය.

රාජපක්ෂ ආන්ඩුව හා නාගරික සංවර්ධන අධිකාරිය (යූඞීඒ) සමග එලැඹුනු එකඟතාවට අනුව තට්ටු නිවාස සංකීර්න 4ක තැනෙන ස්ථීර නිවාස 650ක් අවතැන් කෙරුනු එම නිවැසියන්ට ලබා දීමට ටාටා සමාගම පොරොන්දු විය. ඉවත් කරනු ලබන වර්ග අඩි 400 නිවසක් සඳහා රුපියල් 15,000ක් බැගින් ද ඊට වැඩිවන ප‍්‍රමානයට වර්ග අඩි 100ක් සඳහා රුපියල් 1000ක් වනසේ ද නිවාස ඉදිකරන තුරු මාසික කුලිය වසයෙන් මුදලක් ලබාදීමට ටාටා සමාගම නිවැසියන් සමග ඇති කර ගත් එකඟතාවය විය.

බොහෝ පවුල්වලට මාස 15ක් පමන මාසික ව රුපියල් 15,000ක් ලැබුනත් දැන් එම ගෙවීම් පිලිබඳ විශ්වාසයක් නැත. බිස්නස් ටයිම්ස් වෙත මෑත දී අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ යූඩීඒ නිලධාරියෙක්, ටාටා සමාගමේ මුදල් ප‍්‍රමානවත් වන්නේ මාස 15කටත් අඩු කාලයකට බවත් ඉවත් කරන ලද පවුල්වලට ගෙවීම් කිරීමට තමන් සතුව මුදල් නොමැති බවත් කීවේ ය. තව ද පොරොන්දු වූ තට්ටු නිවාස ඉදිකිරීමට අවශ්‍ය කිසිදු කටයුත්තක් මෙතෙක් ඇරඹී නැත.

නිවාස උදුරා ගැනීමට එරෙහි ව 2010 දී උද්ඝෝෂනය කල කොම්පඤ්ඤවීදියේ නිවැසියෝ

දූෂිත නිලධාරීන් මුදල් අනිසි ලෙස පරිහරනය කොට ඇතැයි කියමින් රාජපක්ෂ පරිපාලනය හා ටාටා සමාගම අතර මූලික ගිවිසුම විමර්ශනය කරන තෙක් වර්තමාන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ සුලුතර ආන්ඩුව මෙම ව්‍යාපෘතිය තාවකාලික ව අත් හිටුවා තිබේ.

ආන්ඩුව “ඉන්දියාවේ ටාටා සමාගමේ නිවාස ව්‍යාපෘතියක් විමර්ශනය කරමින් සිටිනවා. මුල දී ඩොලර් මිලියන 250ක් වැය කරන බව සමාගම කිවුවත් මිලියන 20ක් පමනක් යොදපු සමාගම අපේ භූමිය යොදාගෙන, පෙරලා අපිට ම එම නිවාස ඉහල මුදලකට අලෙවි කරනවා” යයි මාර්තු 9දා සවුත් චයිනා මෝනිං පෝස්ට් වෙත අදහස් දැක්වූ මුදල් ඇමති රවී කරුනානායක කීවේ ය.

මෙම චෝදනා ප‍්‍රතික්ෂේප කොට ඇති ටාටා සමාගම “අත්තනෝමතික කටයුතු” මෙරට අනාගත ජාත්‍යන්තර ආයෝජන කෙරෙහි අවාසිදායක බලපෑමක් ඇති කරනු ඇතැයි අනතුරු අඟවා තිබේ.

රාජපක්ෂ ආන්ඩුවේ සැලසුම් යටතේ යූඩීඒ සහ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධන මන්ඩලය, රාජපක්ෂගේ සොහොයුරෙකු වන ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් පාලනය කල ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගන්නා ලදී. ආරක්ෂක අමාත්‍යාංශය ව්‍යාජ ලෙස කියා සිටියේ “ව්‍යාපෘතියේ මූලික අරමුන ප‍්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහල නංවා ඔවුන්ට ජීවත් වීමට වඩා හොඳ පරිසරයක් සම්පාදනය කිරීම” බව යි.v

රාජපක්ෂ ආන්ඩුවේ ඉලක්කය වූයේ කොලඹ නගරයෙන් දිලිඳු පවුල් 135,000කට වැඩි ගනනක් ඉවත් කිරීම යි. පසුගිය වසර හය තුල කොම්පඤ්ඤවීදිය, දෙමටගොඩ, ඇපල්වත්ත හා ඉබ්බාවත්ත යන ප‍්‍රදේශවලින් පවුල් දහස් ගනනක් ඉවත් කරනු ලැබ තිබේ. ඉවත් කිරීම්වලට විරුද්ධ වන ඕනෑම අයෙක් බියවැද්දීම සඳහා ආරක්ෂක ලේකම් වරයා ආරක්ෂක හමුදා යෙදවී ය.

මෙලෙස ඉවත් කල අයගෙන් බොහෝ දෙනාට ස්ථීර නිවාස සපයා නැත. තොටලඟ නාගලගම් වීදිය හා වැලිගොඩවත්ත යන ස්ථානවල ජලය හා සනීපාරක්ෂක පහසුකම්වලින් තොර, ලීවලින් තැනූ පැල්පත්වල ජීවත් වීමට සමහරුන්ට බල කෙරී පවතී. මුල දී රුපියල් 100,000ක් ද ඉන්පසු මාසික ව රුපියල් 3,900 බැගින් ද ගෙවිය යුතු වර්ග අඩි 400ක කුඩා තට්ටු නිවාස පවුල් කිහිප සියයකට සපයනු ලැබී ය.

කොම්පඤ්ඤවීදියෙන් පලවා හරිනු ලැබූ සමහරු මෑතක දී ලෝසවෙඅ වෙත තමන් මුහුන දෙන කොන්දේසි ගැන අදහස් දැක්වූහ.

ත‍්‍රීරෝද රථ රියදුරෙක් වන ඉර්ෆාන් මෙසේ කීවේ ය: “දැනට අපි මූන දෙන අමාරුකම්වලට සම්පූර්නයෙන්ම වගකියන්ට ඕනෙ පහුගිය ආන්ඩුවයි. අපි අයින් කරන්න කලින් තිබුනු විශේෂ රැස්වීමෙදි ගෝඨාභය රාජපක්ෂ තර්ජනය කරපු හින්ද ආන්ඩුවෙ සැලැස්මත් එක්ක එකඟ වෙන්න අපිට බල කෙරුන.”

“දැන් මම ජීවත් වෙන්නෙ කොම්පඤ්ඤවීදියෙ ඉඳල කිලෝමීටර 23ක් ඈත මාකොල. මගේ රස්සාව කරන්න උදේ 8-9 වෙනකොට වත් මම මෙතන ඉන්න ඕනි. මට මෙහේ ලිපිනයක් නැති හින්ද ලමයෙක් කොලඹ ඉස්කෝලෙකට දාගන්ටවත් විදිහක් නැහැ. දරුව මාකොල පාසලකට දාන්නත් බැරි, අපි ආපහු කොලඹ පදිංචියට එන්න හිතාගන ඉන්න හින්ද.”

තවත් ත‍්‍රීරෝද රථ රියදුරෙක් මෙසේ කීවේ ය: “දැන් අපිට මෛත‍්‍රීපාල සිරිසේනගෙ ආන්ඩුව පස්සෙන් යනව ඇරෙන්න කරන්න දෙයක් නැහැ. දින 100 වැඩපිලිවෙල ඉවර වෙනකන් අපි බලමු. මොනව වත් ඒකෙනුත් වුනේ නැත්තං අපි බලහත්කාරෙන් අපේ ඉඩම්වල පදිංචි වෙනව.”

තවත් නිවැසියෙක් මෙසේ පැවසී ය: ”වනාතමුල්ලෙයි දෙමටගොඩයි හදල දීපු තට්ටු නිවාසවල සේරම ප‍්‍රශ්න ගැන අපි දන්නව. සාමාන්‍යයෙන් අපේ ගෙදරක හය හත් දෙනෙක් ජීවත් වෙනව. දීලා තියෙන හුන්ඩු ගෙවල්වල මල මිනියක් වත් තියන්නෙ කොහොම ද? අපි අහක දාන ආහාර දෙන කුකුල්ලූ, එලූවො වගේ සත්තු හදා ගන්න ඉඩ පහසුකම් ඒ ගෙවල්වල නැහැ. බිත්තරයි, කිරියි සල්ලිවලට ගන්න එක අපිට දරාගන්ට අමාරුයි.”

රාජපක්ෂ ආන්ඩුවේ කැබිනට් ඇමතිවරයෙකු ලෙස සිටි ජනාධිපති සිරිසේන මෙම ඉවත් කිරීම්වලට මුලුමනින් ම පක්ෂපාත විය. නාගරික නිවැසියන් ඉවත් කිරීමේ සැලසුම් 1980 ගනන්වලදි මුලින් ම සකස් කලේ එක්සත් ජාතික පක්ෂ (එජාප) ආන්ඩුව යි. රාජපක්ෂ ආන්ඩුවට ද එහි රුදුරු නාගරික සංවර්ධන පියවරයන්ට විරුද්ධ යයි කියා සිටි එජාපය, ඉවත් කිරීමට එරෙහි නිවැසියන්ගේ ප‍්‍රතිරෝධය විවිධ නීතිමය අභියාචනාවලට හරවා යැවීය.

කොම්පඤ්ඥවීදියේ පවුල් තම නිවාසවලින් ඉවත් වීම ප‍්‍රතික්ෂේප කල විට එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී හා නීතිඥ සුජීව සේනසිංහ ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරනයේ පෙත්සමක් ගොනු කිරීම වෙත හරවා යැවී ය. 2013 සැප්තැම්බර් මාසයේ අගවිනිසුරු මොහාන් පීරිස් මෙලෙස කීවේ ය: “කොලඹ දැන් කරගෙන යන සංවර්ධන වැඩවලට කිසි කෙනෙක් බාධා නො කල යුතු යි.” සේනසිංහ හා එජාපය අධිකරන තීන්දුවට යටත් වන ලෙස නිවැසියන්ට කීහ.

අවතැන් වූ කිසිදු කම්කරුවෙක් හෝ දිලිඳු පවුලක් තමන්ගේ ඉරනමට සහනදායී ප‍්‍රතිඵලයක් වත්මන් ආන්ඩුවෙන් ලැබේ යයි අපේක්ෂා නො කල යුතු ය. සිරිසේන පොරොන්දු වූ දින 100 වැඩපිලිවෙල කම්කරුවන්ගේ හා දිලිඳු ජනයාගේ ජීවන කොන්දේසි කිසිවක් වර්ධනය කිරීමකින් තොර ව අවසන් වී තිබේ.

ජනාධිපති මැතිවරන සමයේ නරුම ලෙස සිරිසේන හුවා දක්වමින්, නිවාස අහිමි වූවන් ද ඇතුලු මහජනයා අතර රාජපක්ෂ ආන්ඩුව කෙරෙහි පලව තිබුනු අසතුට හා කෝපය එජාපය විසින් ගසා කෑවේ ය. සිරිසේන ජනාධිපති ලෙස පත් වීමෙන් පසුව ඉවත් කරන ලද පවුල්වල ඉරනම පරීක්ෂා කිරීමට ඇමතිවරුන්ගෙන් යුත් කමිටුවක් පත් කලේ ය. මෙය හුදෙක් ඉදිරියේ එන මහ මැතිවරනය අවසන් වන තෙක් කල් මැරීමට සිරිසේන හා ඔහුගේ එජාප ආන්ඩුව දරන නරුම ප‍්‍රයත්නයකට වැඩි යමක් නො වේ.

ජාත්‍යන්තර පරිමාන ව ආර්ථික අර්බුදය ගැඹුරු වෙද්දී දුබල වන විදේශ ආයෝජන පිලිබඳ ව රාජපක්ෂ ආන්ඩුව මෙන් ම සිරිසේන-එජාප ආන්ඩුව ද වඩ වඩා කනස්සල්ලට පත්ව සිටිති. ඊ ලඟ මැතිවරනයෙන් කවුරුන් බලයට පැමිනියත් ඔවුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව විසින් නියම කරන ආයෝජක හිතැති පිලිවෙත් හා ආර්ථික පියවරයන් අනුකම්පා විරහිත ලෙස ක‍්‍රියාවට නැගීම දිගට ම කරගෙන යනු ඇත.

Share this article: