ශ‍්‍රී ලංකාවේ නායයෑමට ගොදුරු වූවන් තව මත් තාවකාලික රැඳවුම් ස්ථානවල

Sri Lankan landslide victims still in makeshift accommodation

එස්.කේ. අයිරාංගනී විසිනි, 2015 මැයි 22

පසුගිය වසරේ යෝධ නාය යෑමේ අනතුරට පාත‍්‍ර ව දිවි ගලවා ගත්, ශ‍්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ පිහිටි මීරියබැද්ද වතුයායේ විසූ 100කට අධික තේ වතු කම්කරුවන් සහ ඔවුන්ගේ පවුල් තව මත් ජීවත් වන්නේ ඔවුනට සැපයූ තාවකාලික රැඳවුම් ස්ථානවල ය. මෙම ව්‍යසනයෙන් පසු ක්ෂනික ව ම බන්ඩාරවෙල සිට කිලෝමීටර 12ක පමන දුරින් වූ පූනාගල වත්තේ පාසැලෙහි ඔවුහු රඳවන ලදහ. දැන් මේ පවුල්වලින් කිහිපයක් මහකන්ද වතුයායේ අත්හැර දමන ලද තේ කම්හලක පදිංචි කොට ඇත.

ආරම්භක නිල වාර්තාවලින් කියැවුනේ ඔක්තෝබර් 29 වන දින සිදු වූ නාය යෑමෙන් 200ක් පමන දෙනා මිය ගිය බව ය. මෙම සංඛ්‍යාව පසුව 37ක් බවට සංශෝධනය කෙරුනි. කිලෝමීටරයක පරාසයක් නාය යෑමට ලක් ව, පවුල් 150කට අයත් නිවාස විනාශබත් වූ මෙම ව්‍යසනය 2004 වර්ෂයේ සිදු වූ සුනාමි ව්‍යසනයෙන් පසු ලංකාවේ සිදු වූ විශාලතම ස්වාභාවික විපත වෙයි.

මීරියබැද්ද නාය යෑමේ අනතුරට පාත‍්‍ර ව දිවි ගලවා ගත් අය

නාය යෑමේ ආසන්න හේතුව මහ වැසි ඇද හැලීම වුව ද, දශකයකටත් වඩා කාලයකට පෙරාතුව ම සිට මෙම ප‍්‍රදේශය නාය යෑමේ අන්තරායක් සහිත ප‍්‍රදේශයක් ලෙස හඳුනා ගෙන තිබින. 2005 වර්ෂයේ දී ජාතික ගොඩනැගිලි පර්යේෂන ආයතනය (NBRO) මෙහි වෙසෙන පවුල් 75ක් එම ප‍්‍රදේශයෙන් ඉවත් කොට ඔවුනට විකල්ප වාසස්ථාන සම්පාදනය කල යුතු බවට නිර්දේශ කලේ ය. රිචර්ඩ් පීරිස් සමූහය විසින් කලමනාකරනය කෙරෙන මස්කෙලිය වතු සමාගම ඒ සඳහා කිසිදු ක‍්‍රියාමාර්ගයක් නොගත් අතර, එසේ කල යුතු බවට මොන යම් හෝ නියෝගයක් ආන්ඩුව විසින් දී නැත.

ශ‍්‍රී ලංකාවේ කම්කරු පන්තියේ වඩාත් ම පීඩිත ස්තරයක් වන වතු කම්කරුවන්ගෙන් සියයට 80කටත් වඩා ජීවත් වන්නේ වතු සමාගම් විසින් සපයන ලද කුඩා ලයින් කාමරවල ය. මෙම ගොඩනැගිලිවලින් බොහොමයක් තනා ඇත්තේ 1948 දී අවසන් වූ යටත් විජිත පාලනය සමයේ සිටි බි‍්‍රතාන්‍ය වැවිලිකරුවන් විසිනි. ලයින් නිවසකට ඇත්තේ එක ම එක කාමරයක් හා කුඩා බරාඳයක් සහිත කුස්සියකි. කාමරවලට ඇත්තේ එක් දොරටුවක් නිසා අවශ්‍ය තරමේ වාතාශ‍්‍රයක් නිවසට නොලැබෙන අතර සමහර ඒවා අඳුරු ගුහා බඳු වේ.

පසුගිය සති අන්තයේ ලෝසවෙඅයේ වාර්තාකරුවෝ මේ මොහොතේ පවුල් 91ක් තාවකාලික ව පදිංචි කර තිබෙන ස්ථානයක වෙසෙන නාය යෑමේ අනතුරින් දිවි ගලවා ගත් අයගෙන් කොටසක් හමු වීමට ගියහ. මීරියබැද්ද සහ මහකන්ද වතුයාය දෙක ම මස්කෙලිය වැවිලි සමාගමට අයත් ය. එහෙයින් අවතැන් ගත කම්කරුවෝ දැන් මහකන්ද වතුයායේ රැකියාවේ යොදවා ඇත.

නාය යෑමේ අනතුරින් දිවි ගලවා ගත් අය කෝපයෙන් පැහැදිලි කලේ ව්‍යසනයෙන් දින කීපයකට පසුව ඔවුන් දැක ගැනීමට පැමිනි එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මාස තුනක් තුල ඔවුනට ස්ථිර වාසස්ථාන තනා දෙන බවට පොරොන්දු වූ බව ය. රජයට අයත් ITN රූපවාහිනී ජාලය වාර්තා කලේ නිවාස ගොඩ නැඟීම සඳහා රුපියල් මිලියන 300ක් වෙන් කොට ඇති බවත් හමුදාව අත් හැර දමා තිබෙන තේ කම්හලක් තාවකාලික “ආකර්ෂනීය නිවාස සංකීර්නයක්” බවට පරිවර්තනය කර ඇති බවත් ය.

මාස දෙකකට පසුව ජනාධිපතිවරනයෙන් එක්සත් ජාතික පක්ෂයේ පිටුබලය ලැබූ මෛත‍්‍රීපාල සිරිසේන විසින් රාජපක්ෂ පරාජය කෙරින; ජාතික කම්කරු සංගමයේ නායක පී. දිගම්බරම් වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් පත් කෙරින.

පෙබරවාරි 18 වන දින දිගම්බරම් ප‍්‍රකාශ කලේ සිරිසේනගේ දින සියයේ ප‍්‍රතිසංස්කරන වැඩපිලිවෙලේ කොටසක් ලෙස මාර්තු 1 දින නිවාස 500ක් ගොඩ නැඟීමේ කටයුතු ආරම්භ කරන බව ය. ඊනියා දින 100 යේ වැඩ සටහන අප්‍රේල් මස 23 දින අවසන් වූ අතර ඉටු කොට ඇත්තේ සොච්චමක් පමනි.

ව්‍යසනයෙන් මාස හතකට පසුව ද, නාය යෑමෙන් දිවි ගලවා ගත් අය ජීවත් වන්නේ කුඩා ඉඩකඩක සෙනඟින් උතුරා ගිය සෞඛ්‍ය සම්පන්න නො වූ රැඳවුම් ස්ථානවල ය. සෑම පවුලකට ම දී ඇත්තේ හාඩ්බෝඩ් ගසා වෙන් කර දෙන ලද, පැරනි ලයින් කාමරවල තිබුනු ඉඩකඩටත් වඩා කුඩා එක් කාමරයකි. ගැහැනු රාත‍්‍රියට මෙම කාමරයේ නිදන අතර පිරිමි නිදා ගන්නේ පොදු ශාලාවේ ය. මධ්‍යම කඳුකරයේ ඇති සීතල වාතාවරනය තිබිය දී ම වැඩිහිටියන්ට සහ ලමයින්ට කොන්ක‍්‍රීට් පොලොව මත නිදා ගැනීමට සිදු ව ඇත.

වතු කම්කරුවන් තම ජීවන තත්වයන් පැහැදිලි කරමින්

මැදි වයසේ කම්කරුවකු වන රාජරීඩර් මෙසේ කී ය: “මේ වින්නැහිය වුනත් එක්ක ම අපට ගෙවල් දෙන බවට ආන්ඩුව පොරොන්දු වුනා. (ආරුමුගම්) තොන්ඩමන් (ප‍්‍රධාන වතු වෘත්තීය සමිතිය වන ලංකා කම්කරු කොන්ග‍්‍රසයේ නායක) ද පැමින පොරොන්දු දුන් නමුත් කිසිවක් සිදු වුනේ නැහැ. අලුත් ආන්ඩුවක් බලයට ආවත් අපි තාමත් දිගට ම දුක් විඳිනවා. අපේ ලමයින් ලෙඩවලට ගොදුරු වෙන්න ඉඩකඩ වැඩි යි. ඒ ගොල්ලන්ට මොනව වෙයි ද කියල අපි දන්නෙ නැහැ.”

වතු කම්කරුවන් මීරියබැද්දේ ජීවත් වූ කාලයේ ඔවුන්ගේ දෛනික පඩිය යම්තම් රුපියල් 450ක් වූ අතර ඔවුනට වැඩ නැති ව දිගු කලක් සිටින්නට ද සිදු විය. “වත්තෙන් පිට වැඩ ලබා ගන්නට අපිට බැරි වුනොත් අපට කන්න ප‍්‍රමානවත් දේවල් මිලයට ගන්න බැහැ”, රාජරීඩර් කී ය. “දැන් මහකන්දේ දී වත්තෙන් පිට වැඩ අඩු යි. අපට දැන් පන ගැට ගහ ගන්න බොහොම අමාරු යි. අපිට දිනකට රුපියල් 600ක් ලැබෙනවා. නමුත් දින දෙක තුනක් පිට වැඩ නො ලැබුනොත් අපිට ඇත්තෙන් ම හරිම අමාරු යි.

නාය යෑමේ විපතට ගොදුරු වූ පවුල් පනස් නවයකට මෑත දී පර්චස් 7ක (වර්ග මීටර 170ක පමන) ඉඩම් කැබල්ලක් බැගින් ප‍්‍රදානය කෙරින. ඔප්පුවේ සඳහන් වී තිබුනේ මෙම ඉඩම “වතු කම්කරුවන් ඔවුන්ගේ දුෂ්කර ලයින් කාමර ජීවිතයෙන් නිදහස් කරනු ඇති බවත් ඉඩම් හිමිකම සහිත නිවසක සැබෑ අයිතිකරුවකු කරනු ඇති” බවත් ය. සිරිසේනගේ ජනාධිපතිවරන ප‍්‍රකාශනයෙන් උදුරා ගත් මෙම කියා පෑම වතු කම්කරුවන්ට වාසස්ථාන සැපයීමේ වගකීමෙන් වතු සමාගම් නිදහස් කරන අතර එම බර දරිද්‍රතාවෙන් පෙලෙන වතු කම්කරුවන් මත ම පැටවීමක් වේ.

අප්‍රේල් 25 වෙනි දින බන්ඩාරවෙල නගර ශාලාවේ පැවති උත්සවයක දී අගමැති රනිල් වික‍්‍රමසිංහ විසින් “ඉඩම් ඔප්පු” දහසක් බෙදා දුන් අතර එහි දී මෙම අවතැන් පවුල්වලට ද ඉඩම් ප‍්‍රදානය කෙරින. එක් කම්කරුවකු කීවේ ඉඩම් ඔප්පු නොලැබුනු ගැහැනුන් කීප දෙනකු විරෝධය පල කරනු පිනිස ආන්ඩුවේ අමාත්‍යවරයකු වන ඒ.එච්.එම්. ෆවුසි එම ප‍්‍රදේශයේ සංචාරයකට මෑත දී පැමිනි අවස්ථාවේ තමන්ගේ සිරුරට ගිනි තබා ගැනීමට උත්සාහ කල බව ය.

තවත් කම්කරුවකු මෙසේ කී ය: “පූනාගලට ලඟ මකුල්තැන්න කියන ප‍්‍රදේශයේ ඉඩමක් අපට වෙන් කර තියනවා. ඒත් එම ඉඩම කට්ටිවලට වෙන වෙන ම බෙදලා නැහැ. එම ඉඩමේ “ඇතුල්වීම තහනම්” කියලා බෝඩ් ගහලා තියනවා.”

අවතැන් වූ පවුල් වෙනුවෙන් මේ දක්වා ඉදි කොට ඇත්තේ ගෙවල් හතරක් පමනි. එහෙත් ගෙවල් දෙකකට ඇත්තේ එක් කොරිඩෝරයක් පමනි. එම කොරිඩෝරයේ පලල අඩි එක හමාරකි. එහි එක වර දෙදෙනකුට දෙපැත්තට මාරු විය නොහැක. වෙනත් ගෙවල් සාදනු ලබන්නේ ද යන්නත් සෑදුවත් ඒවා දෙනු ලබන්නේ කවරකුට ද යන්නත් කිසිවෙක් නොදනිති.

නාය යෑමට පෙර තමා මුහුන දී සිටි අමාරුකම් ඒ.වී. ගුනසේකරන් මෙසේ විස්තර කලේ ය: “ප‍්‍රමානවත් තරම් ගෙවල් තිබුනේ නැහැ. ඒ නිසා එක් ලයින් කාමරයක පවුල් තුනක් ජීවත් වුනා. පහුගිය වසරේ ඔය නාය ගිය තැන ම ඉඩම් මීට අවුරුදු පහලොවකට පෙර පවුල් 66කට බෙදා දුන්නා. ඔවුනට වෙන තැනකට යාමට තරම් මුදල් නොමැති නිසා ඔවුන් එහි ම සිටියා. ඔවුන් නාය යෑමේ දී මිය ගියා. සමහරෙක් මාසයකට රුපියල් 2100ක් ගෙවීමේ පදනමින් සමාගමෙන් නය මුදලක් ගෙන කලින් බෙදා දුන් ඉඩම්වල කුඩා නිවාස තනා ගත්තා. කාට හෝ මාසික නය වාරිකය ගෙවීමට බැරි වුනොත් ඒ අයව පොලීසියට ගෙනි යන බවට සමාගම තර්ජනය කලා.”

“නාය ගිහින් අපේ හැම දෙයක් ම විනාශ වුනා. ඒත් අපේ ප‍්‍රශ්න විසඳීමට කාට වත් වුවමනාවක් නැහැ. මේ සෙනගින් උතුරලා ගිය කාමරවල ජීවත් වීමට හරි ම අමාරු යි. වැසිකිලි උතුරා යනවා. ඒවා පිරිසිදු කෙරෙන්නේ නැහැ. දැන් ලමයින්ට හමේ රෝග හැදිලා.”

නිවාස නැතිකමටත් අඩු වැටුප් සහ දරුනු සූරාකෑමටත් මුහුන දෙමින් සිටින වතු කම්කරුවෝ සාධාරන වැටුප් සහ අනෙකුත් මූලික අයිතීන් සඳහා ඉල්ලීම් කරන තමන්ගේ සාමාජිකයන් ක‍්‍රමානුකූල ව පාවා දෙනු ලැබ ඇති වෘත්තීය සමිති නායකත්වයට ගැඹුරු ලෙස හතුරු වෙති.

එක් කම්කරුවකු කී පරිදි: “අපට නිවාස හදා ගැනීමට ඉඩම් ලබා දීම ජයග‍්‍රහනයක් බව වෘත්තිය සමිති නායකයන් කියනවා. ඒත් අපට ඕනෑ ශිෂ්ට සම්පන්න ව ජීවත් විය හැකි නිවසක්. සමාගම්කරුවන්ට ඕනෑ කරන්නේ අපට කිසිදු වාසස්ථානයක් නොසපයා අත හෝදා ගන්නට යි. ඒ එක්ක ම ඔවුන් කියා සිටින්නේ තේ කර්මාන්තය ආරක්ෂා කර ගනු පිනිස අප වැඩි වැඩියෙන් වැඩ කල යුතු බව යි. මේ සියලු දේවලට වෘත්තීය සමිති නායකයන් එකඟ යි.”

Share this article: