ශ්‍රී ලංකාවේ අගමැති සුවිශාල කැබිනට්ටුවක් පත් කරයි

Sri Lankan prime minister appoints huge cabinet

කේ. රත්නායක විසිනි , 2015 සැප්තැම්බර් 05

ශ්‍රී ලංකාවේ නව “ජාතික එකමුතුවේ ආන්ඩුවේ” ප්‍රධාන කොටස් කරුවන් වන එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සති දෙකකට ආසන්න කාලයක් පැවති කේවලයෙන් පසු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, සැප්තැම්බර් 4දා 48 දෙනෙකුට නොඅඩු කැබිනට් ඇමතිවරුන් නම් කලේය.

දීර්ග ලැයිස්තුවක් ඉදිරිපත් කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ, ඉදිරි දින වලදී තවත් රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුන් 45ක කන්ඬායමක් පත්කරනු ඇති බව ඇඟවුම් කර ඇත.

මෙම නිවේදන පෙන්නුම් කරන්නේ, දේශපාලන පගාවන්ට වෙනස් නැති කැබිනට් තනතුරු විශාල ගනනක් බෙදා දීම මඟින් “ශක්තිමත් සභාගයක්” ඇටවීමේ සිරිසේන-වික්‍රමසිංහ පාලනයේ මංමුලාසහගත උත්සාහයයි.

නව ආන්ඩුව, චීනය සමඟ කිට්ටු සම්බන්ධකම් පවත්වාගෙන ගිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පහකර, ජනවාරියේ සිරිසේන ජනාධිපති ලෙස පත් කල ඇමරිකාවේ අනුබලය සහිත තන්ත්‍ර මාරු මෙහෙයුම සවිමත් කර ගැනීමට, බලාපොරොත්තු වෙයි. ජාත්‍යන්තරව ද ආසියාව පුරා ද ගැඹුරු වන ආර්ථික අර්බුදයක කොන්දේසි යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝග කර තිබෙන කප්පාදු පියවර ක්‍රියාත්මක කරමින් කම්කරු පීඩිත ජනතාවගේ ප්‍රතිරෝධය මැඬීමට ද ආන්ඩුව සූදානම් වේ.

ශ්‍රීලනිපයේ නායකයා වන සිරිසේන හා එජාප නායකයා වන වික්‍රමසිංහ, කැබිනට් ඇමතිවරු 52ක් හා එවැනිම නියෝජ්‍ය හා රාජ්‍ය ඇමතිවරු සංඛ්‍යාවක් පත්කරගෙන “මහජන මුදල් නාස්ති කරන” බවට කලින් රාජපක්ෂ හෙලාදුටුවෝය. ඊයේ වන විට එම කුහක දෙඩවිලි පසෙකට දමා තිබුනි.

කැබිනට් ඇමති තනතුරු 48න් 43කට පත් කරන ලද ඇමතිවරු බ්‍රහස්පතින්දා දිවුරුම් දුන්හ. එයින් 32ක් එජාපය නායකත්වය දරන පෙරමුනට හිමිවූ අතර 11ක් පත් කෙරුනේ ශ්‍රීලනිපයෙනි. රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරු පත් කිරීම ප්‍රමාද වන්නේ ද රටේ ප්‍රධාන ධනපති පක්ෂ දෙක අතර කෙරෙන තුච්ඡ කේවලය නිසාය.

ජනාධිපති සිරිසේන ආරක්ෂක ඇමති ලෙස ආරක්ෂක හමුදා ආඥාපති ද වේ. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික සංවර්ධනයේ ප්‍රධාන තනතුරු වික්‍රමසිංහ තමා අතෙහිම තබා ගනියි. මුදල් හා විදේශ අමාත්‍යාංශවල පාලනය ද එජාපය සතුවේ. ප්‍රවාහන, පෙට්‍රෝලියම් හා ගෑස් ශ්‍රීලනිපයට දී ඇති වැදගත් අමාත්‍යාංශ අතර වේ.

කුඩා පක්ෂ වලට ද කැබිනට් හා කැබිනට් නොවන ඇමතිකම් ගනනාවක් ලැබී ඇත. මේ පක්ෂ අතර රටේ මුස්ලිම් ධනපති කොටස් නියෝජනය කරන වර්ගවාදී ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය හා සිංහල අන්තවාදී ජාතික හෙල උරුමය වෙයි. ආන්ඩුව, වතු යටිතල අමාත්‍යාංශය කම්කරු ජාතික සංඟමයේ නායක පී. දිගම්බරම්ට ද ජාතික සංවාදය පිලිබඳ ඇමතිකම ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුනේ නායක මනෝ ගනේෂන්ට ද ලබාදී ඇත. ඒ පක්ෂ දෙක යලි යලිත් වතු කම්කරුවන් පාවාදීමේ වගකීම දරන වෘත්තීය සමිති-දේශපාලන පක්ෂ වෙති.

ජනවාරියේ සිරිසේන බලයට පත්වීමෙන් පසුව පාර්ලිමේන්තුවෙන් සම්මතවූ 19වන ව්‍යවස්ථා සංශෝධනය මඟින් කැබිනට් ඇමතිවරු සංඛ්‍යාව 30ට සීමා කරනු ලැබුන ද “ජාතික ආන්ඩුවක්” පිහිටුවන්නේ නම් සංඛ්‍යාව පාර්ලිමේන්තුවේ අනුමැතිය ඇතිව වැඩිකර ගැනීමට හැකිවන නරුම වගන්තියක් ද ඊට ඇතුලත්ව තිබේ. වික්‍රමසිංහ 3දා අමාත්‍ය තනතුරු වැඩිකිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත්කල අතර ඡන්ද 143ක් සහිතව සම්මත විය.

සියලු පක්ෂ ආන්ඩුවට එකතුවී නැති බැවින් එය ජාතික ආන්ඩුවක් නොවේය යන පදනමින් පමනක් ජනතා විමුක්ති පෙරමුනු නායක අනුර කුමාර දිසානායක යෝජනාවට විරුද්ධ විය. ජවිපෙ ජනවාරි මාසයේ පටන්ම එජාප ආන්ඩුවට සහාය දෙමින්, ජාතික විධායක කමිටුව නම් එහි ප්‍රධාන උපදේශක සභාවට ද ඇතුලුවී සිටීමේ කාරනාව සමඟ දැන් කරන එහි මවාපෑම ප්‍රතිපක්ෂ වේ.

වික්‍රමසිංහ ඊට ප්‍රතිචාර දක්වමින් මෙසේ විමසීය. තමා එජාප නායකත්වය දරන අතර සිරිසේන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකත්වය දරයි, “මෙය ජාතික ආන්ඩුවක් නොවන්නේ නම් කවර ආන්ඩුවක් ද? දෙවන ලෝක යුද්ධය අවධියේ බ්‍රිතාන්‍ය තුල, කුඩා පක්ෂ නොමැතිව එවන් ආන්ඩුවක් පිහිටවනු ලැබූ බව ඔහු සිහිපත් කලේය. යුද්ධයේ අවධිය පිලිබඳ මෙම සඳහන, සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව කම්කරු පන්තිය සමඟ ගැටුමකට සූදානම් වන තත්වය තුල අනතුරු ඇඟවීමක් ලෙස ගත යුතුය.

ආන්ඩුවේ අත ශක්තිමත් කර ගැනීමේ තවත් ව්‍යායාමයක් ලෙස එජාප නියෝජ්‍ය නායක කරු ජයසූරිය පාර්ලිමේන්තුවේ කථානායක ලෙස පත්කරනු ලැබින. ඔහුගේ පලමු රාජකාරියක් වූයේ එජාප-ශ්‍රීලනිප හවුල් ආන්ඩුව ජාතික ආන්ඩුවක් වන බවට වික්‍රමසිංහ කල ප්‍රකාශය අනුමත කිරීමයි.

කථානායක ජයසූරිය, දෙමල ජාතික සන්ධානයේ (ටීඑන්ඒ) නායක ආර්. සම්බන්දන් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙස පත් කලේය. සිරිසේන මුලින් ඇඟවුම් කර තිබුනේ එම තනතුරු දැරීමට ටීඑන්ඒට අවසර නොදෙන බවය. කෙසේ වෙතත් ඔහු, ආන්ඩුව පවත්වාගෙන යාමට ටීඑන්ඒ සහාය තිර කර ගැනීම පිනිස එම ආස්ථානයෙන් ඉවත්වී, දෙමල ධනපති පැලැන්තිය නියෝජනය කරන එම පක්ෂයට පත්වීමේ ඉඩ සැලසීය.

දෙමල පක්ෂයක් විපක්ෂ නායක තනතුරට පත්වී ඇත්තේ වසර 32ට පසුවය. රටේ දකුනු ප්‍රදේශවල, විශේෂයෙන්ම කොලඹ, දෙමල ජාතිකයින් සිය ගනනක් මරා දැමුනු දෙමල විරෝධී ප්‍රචන්ඩත්වය අවුලුවමින් 1983දී ජනාධිපති ජයවර්ධනගේ එජාප ආන්ඩුව, ඒකීය රාජ්‍යයකට සිය පක්ෂපාතිත්වය පිලිබඳව දිව්රුම් දීමට මන්ත්‍රීන්ට බල කෙරුනු ව්‍යවස්ථා සංශෝධනයක් සම්මත කර ගත්තේය. එවක නිල විපක්ෂයේ නායකත්වය දැරූ දෙමල එක්සත් විමුක්ති පෙරමුනේ මන්ත්‍රීන්ට පාර්ලිමේන්තුව හැර යාමට ඉන් බල කෙරුනි.

වික්‍රමසිංහ, ජයවර්ධන ආන්ඩුවේ කැබිනට් ඇමතිවරයෙක්ව සිටියේය. අද දක්වාම එම දුෂ්ඨ හයවන සංශෝධනය ව්‍යවස්ථාවේ කොටසක්ව තිබේ.

සිය පත්වීම ගැන සම්බන්ධන් ආන්ඩුවට ස්තුති කල අතර එහි “යහපත්“පියවරයන්ට සහාය දෙමින් අනෙක්වාට විරුද්ධ වන බව ඔහු පැවසීය. දෙමල ධනපති පැලැන්තියේ වරප්‍රසාද පුලුල් කරන ගිවිසුමක් ඇතිකර ගැනීමේ ව්‍යායාමයක නිරතව සිටින ටීඑන්ඒ, ඇමරිකානු ගැති ආන්ඩුවට සහාය දෙන බව දැනටමත් පවසා ඇත. දකුනු ආසියානු කටයුතු පිලිබඳ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිෂා බිස්වාල් මෑතක කොලඹදී පැවසුවේ, නව ආන්ඩුව සමඟ එකඟත්වයක් ඇතිකර ගැනීම පිලිබඳව තමා ටීඑන්ඒ සමඟ කථා කල බවයි.

ආන්ඩුවේ අස්ථාවරත්වය සලකුනු කරමින් මන්ත්‍රීන් 16ක් කැබිනට්ටුව පුලුල් කිරීමට විරුද්ධව ඡන්දය දුන් අතර 62ක් එය වර්ජනය කලහ. පක්ෂය නිල වශයෙන් එක්සත් ආන්ඩුවේ කොටස් කරුවෙක් වුව ද ශ්‍රීලනිප මන්ත්‍රීවරු 40ක් පමන විරුද්ධ පක්ෂයේ සිටිති. ඔවුන්, පසුගිය මාසයේ පැවති මහ මැතිවරන ව්‍යාපාරය තුල එජනිස මෙහෙයවමින් පාර්ලිමේන්තු අසුනක් දිනාගත් රාජපක්ෂගේ ආධාරකරුවන්ය. රාජපක්ෂ විපක්ෂ නායකයා ලෙස සම්බන්ධන්ගේ පත්වීම විවේචනය කලේය.

සිරිසේන රාජපක්ෂ හුදෙකලා කිරීමට උත්සුක වන අතර රාජපක්ෂගේ කන්ඩායම, ශ්‍රීලනිපයේ සුක්කානම අල්ලා ගැනීමට සියලු අවස්ථාවක්ම ප්‍රයෝජනයට ගනු ඇත. රාජපක්ෂ ආන්ඩුවේ ප්‍රබලයෙකුව සිටි සිරිසේන ආන්ඩුවෙන් ඉවත් වූයේ, වික්‍රමසිංහ හා හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංඟගේ සහාය ඇතිව වොෂින්ටනයේ පිටුබලය ලත් දේශපාලන මෙහෙයුම තුල, ජනාධිපතිවරනයට තරඟ කිරීම පිනිසය. පසුගිය පාර්ලිමේන්තු මැතිවරනයට පෙර සිරිසේන, තමා රාජපක්ෂ අගමැතිවීම වලක්වන බව පැවසීය.

ඊයේ පැවති දිව්රුම් දීමේ උත්සවයෙන් අනතුරුව වික්‍රමසිංහ පැවසුවේ, රට හමුවේ ඇති “ජාතික හා ජාත්‍යන්තර අභියෝගයන්ට” මුහුන දිය හැක්කේ ජාතික ආන්ඩුවක් තුලින් පමනක් බවය. මෙම “අභියෝගයන්හි” තේරුම, සියල්ලටත් වඩා, ශ්‍රී ලංකාව චීනයෙන් දුරස්ත කොට ඇමරිකානු හා ඉන්දියානු ගැති විදෙස් පිලිවෙතක් ගෙන යාමය. ජනාධිපති වීමෙන් පසුව ඉන්දියාවට සිය ප්‍රථම නිල සංචාරය යොදාගත් සිරිසේන මෙන්ම වික්‍රමසිංහ ද වොෂින්ටනයේ ප්‍රමුඛ කලාපීය සහචරයා වන ඉන්දියාව, අගමැති වශයෙන් කරන සිය ප්‍රථම විදේශ නිල සංචාරය සඳහා තෝරාගෙන ඇත.

“අභියෝගයන්ගේ” දෙවන තේරුම, ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ නියෝග ක්‍රියාත්මක කිරීමයි. ආර්ථික උපදේශකයින් හා මාධ්‍යවල තීරු රචකයින් තියුනු “ආර්ථික ප්‍රතිසංස්කරන” වෙනුවෙන් දැනටමත් හඬ නඟමින් සිටියි. පාර්ලිමේන්තුව තුල තුනෙන් දෙකක බලයක් හිමිකරගනු ඇති “ජාතික ආන්ඩුවක්” පිහිටුවීම හුවා දක්වමින් සන්ඩේ ටයිම්ස් ආර්ථික රචකයා වන නිමල් සඳරත්න, 1977 රට තුල “විවෘත ආර්ථික ප්‍රතිපත්ති” ක්‍රියාවට නැඟීම පිනිස ජයවර්ධන ආන්ඩුව දැවැන්ත පාර්ලිමේන්තු බහුතරය යොදාගත් බව සිහිපත් කරයි.

ඔහු මෙසේ ද පැවසීය. “කෙටි කාලයේ දී ජනප්‍රිය නොවූව ද කාලයක් ගතවීමෙන් පසුව වාසි ගෙන එන ප්‍රතිසංස්කරන ඇති කිරීමට ශක්තිමත් සභාග ආන්ඩුවකට අවස්ථාව සැලසෙන්නේය. රැඩිකල් ප්‍රතිසංස්කරන ක්‍රියාත්මක කිරීම සඳහා සභාග ආන්ඩුවට දුර දැක්මක් හා දේශපාලන ධෛර්යයක් තිබෙනු ඇත් ද?”

සන්ඩේ ටයිම්ස් පත්‍රයට අනුව, මුදල් ඇමති රවි කරුනායක පූර්වයෙන් කරන ලද ඉල්ලීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ප්‍රතික්ෂේප කර තිබුන ද “ගෙවුම් ශේෂයට ආධාරයක්” වශයෙන් යලිත් ඩොලර් බිලියන 4ක නයක් ඉල්ලීමේ යෝජනාවක් ආන්ඩුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු විසින් ගෙනහැර දක්වා තිබේ.

භාන්ඩාගාර මූලාශ්‍රයන් ද පුවත් පතට කියා ඇත්තේ, “කප්පාදු පියවර, බදු වැඩිකිරීම ශුභසාධන වැඩසටහන් අඩු කිරීම හා රාජ්‍ය ව්‍යවසායන්ට දෙන සහන අත්හිටුවීමට නව ආන්ඩුවට සිදුවනු” ඇති බවයි.

එල්බී ඇති අර්බුදය ඇඟවුම් කරමින්, පසුගිය වසරේ මුල් හය මාසය තුල ඩොලර් මිලියන 1954ක්ව තිබූ ගෙවුම් ශේෂ අතිරික්තය 2015 වසරේ එම කාලයටම මිලියන 791.7ක හිඟයක් බවට පත්ව තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම හා ආර්ථික සංවර්ධනය පිලිබඳ වෙස් මුහුනට පසු පසින් මෙම “එක්සත් ආන්ඩුව,” ගෝලීය ආර්ථික අර්බුදය තවත් උග්‍ර අතට හැරෙන තතු හමුවේ ජීවන තත්වයන්ට හා සමාජ අයිතීන්ට එල්ල කරන ප්‍රහාර ද දැඩි කරනු ඇත.

Share this article: